Untitled-1

Untitled-1

සත්‍යයට සත්‍ය ලෙස මුහුණදීම


kusal

කුසල් පෙරේරා

පක්ෂග‍්‍රාහිත්වය දම් වැලකි. ඉන් ඔබ බැඳ දැමෙනු ඇත. ඔබ පක්ෂග‍්‍රාහි නම් ඔබට ගමනක් නැත.
අවුරුදු ගණන් එකම තැන සිටිය හැක. පක්ෂග‍්‍රාහිත්වයෙන් ලැබෙන කිසිත් නැත.: බොබ් මාලේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි 30 වන සැසිවාරය සැප්තැම්බර 30 වන දින අවසන් වන විට ශී‍්‍ර ලංකාව පිළිබඳව සභාගත කෙරුණු මහ කොමසාරිස්වරයාගේ වාර්තා වෙහි නිර්දේශ සඳහා ලැබෙන අනුමැතිය කවරේදැයි අනුමාන කිරීම දැන් (සැප්. 25 වන දින) එතරම් අපහසු නොවේ. එම වාර්තාව පදනම් කරගෙන ඇමෙරිකාව විසින් මුල පිරූ ශී‍්‍ර ලංකාව සම්බන්ධ ඔවුන්ගේ සිව් වන යෝජනාවට හවුල් වන සාමාජික රටවල පොදු එක`ගත්වයක්ලැබී ඇත. ඒ වෙනුවෙන් ඔවුන් මුල් කෙටුම්පත සැලකිය යුතු අයුරින් දියාරු කර ඇතැයි බොහෝ මානව හිමිකම් සංවිධාන සහ පිටමං දෙමළ සමාජයේ ඇතැම් සංවිධාන චෝදනා නගති. දෙමළ ජාතික සන්ධානයෙහි සම්බන්තන්ගේ නායකත්වයෙන් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි හැර අනෙක් පක්ෂ 3 ම ඊට විරෝධය පා ඇත. අවසන් කෙටුම්පතට අනුව උතුරු නැගෙනහිර හමුදා ඉවත් කර ගැනීම සහ පිටමං දෙමළ සමාජයට ‘ජාතික’ පරීක්ෂණයට හවුල් වන්නට ඇති ඉඩ අසුරා ඇතැයි ඔවුහු චෝදනා කරති. එහෙත් මෙවර එම යෝජනාවට ශී‍්‍ර ලංකාණ්ඩුව සහාය දෙන බව අගමැති වික‍්‍රමසිංහ නිල වශයෙන් ප‍්‍රකාශ කර ඇත.

ඇමෙරිකාව මුල පිරූ එකී හවුල් යෝජනාවෙන් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකාව සම්බන්ධ වාර්තාවෙන් නිර්දේශ කළ දෙමුහුන් පරීක්ෂණ යෝජනාව අත හැර ඇත. එනිසා විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මානව හිමිකම් කොමිසම හමුවේ තැබූ දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණය පිහිටුවීමෙන් යුද අපරාධ හා අදාළ පරීක්ෂණ කිරීම් ආරම්භ විය යුතුව ඇත. ඒ ගැන මේ රටේ ඇත්තේ පොදු එක`ගත්වයක්ම නොවේ. සම්මත කෙරෙන ඇමෙරිකානු යෝජනාවෙහි වචන හරඹයක් ඇති හෙයින් ඊට දෙනු ලැබෙන අර්ථකථනද පරස්පර වන හෙයිනි.

මෙය අවුරුදු 67ට වැඩි ඉතිහාසයක් පුරා පදම් කරගනු ලැබූ සිංහල සමාජ මානසිකත්වයෙහි පලයකි. සිංහල වෙළඳ ප‍්‍රජාවගේ ආර්ථික පංගුව වෙනුවෙන් රටේ අයිතිය සිංහලයන්ට පවරා ගැනීමට හදා ගත් මතවාදය කාලයත් සමග විශ්වාසයක් බවට පත්ව ඇත. දැන් මේ රට මතු පරම්පරා වෙනුවෙන් බෞද්ධාගම සුරැුකීමේ වගකීම පැවරුණු සිංහල බෞද්ධයන්ගේ ශුද්ධ භූමියයැයි විශ්වාස කෙරෙන්නකි. මෙය ‘ගෞතම බුදුන්ගේ දේශයයැ’යි කියන්නේ එබැවින්ය. යුද සමයේ කැනඩාවට ගිය එවක හමුදාපති වූ ජනරාල් සරත් ෆොන්සේකා කැනේඩියානු පුවත්පතක් සමග කීවේ මේ රට ඓතිහාසිකව සිංහලයන්ගේ ජන්ම භූමිය වන හෙයින් සුළුතර ජනතාව එය තේරුම් ගෙන ජීවත් විය යුතුයැයි කියා ය. දෙමළ ජනතාව මේ රටේ සිටිය යුත්තේ සිංහල ජනතාවගේ කැමැත්ත ඇතිව මිස ඔවුන්ට මෙහි හවුලක් නැතැයි එහි සරල අර්ථය විය. හවුලක් නොදෙන්නේ නම් වෙන්ව ජීවත්වීමට දෙමළ ජනතාවට අයිතියක් තිබිය යුතුයැයි පිළිගන්නටද සිංහලවාදී දේශපාලනය සූදානම් නොවුණි. දෙමළ බෙදුම්වාදයට එරෙහිව දියත් කෙරුණු යුද්ධයක් ලෙස මෙය අවසන් වන්නේ එලෙසිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරුණු ශී‍්‍ර ලංකාව පිළිබඳ වාර්තාවෙහි යුද හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය සම්බන්ධයෙන් දෙමුහුන් පරීක්ෂණ යාන්ත‍්‍රණය පිහිටුවීම පිළිබඳ නිර්දේශය මතභේදයට හසු වන්නේද එතැනින්මය. ශී‍්‍ර ලංකා ආණ්ඩුව දේශීය යාන්ත‍්‍රණයක් පිහිටුවීම වෙනුවෙන් ඉතා දැඩිව පෙනී සිටින්නේද ඔවුන්ට එහි සිංහල ඡන්ද ගැන කතාවක් ඇති බැවින්ය.

යුද්ධයෙන් පසු ඉතිරි වූ ඛේදවාචකය ලිහා ගැනීමේදී අප නතරව ඉන්නේ තවමත් අතීතයේය. ‘බෙදුම්වාදයට එරෙහි යුද්ධයෙන් අප දිනුවාය’ යනු දකුණේ සිංහල සමාජයේ නාගරික වෙළඳ මතය මිස සිංහල සමාජයේ පොදු මතය නොවේ. යුද කි‍්‍රයාවලිය එලෙසින් දේශපාලනිකව කියැවීම මෙතෙක් සමාජය හමුවේ අභියෝග නොකෙරුණු නිසාම ඉතිරි වූ කාරණා දෙකකි. එකක් එය සිංහල සමාජයේ පොදු මතය යැයි පිළිගැනිණ. අනෙක පරාජය කරනු ලැබූයේ එල්.ටී.ටී.ඊය නොව දෙමළ අන්තවාදය යැයි මතයක් තහවුරු විය. දෙමළ අන්තවාදය යොදා ගැනීමෙන් සමස්ත දෙමළ සමාජයම ආවරණය කළ හැකි විය. යුද පරීක්ෂණ පිළිබඳ මතභේදයේ හරය ඇත්තේ එහිය.

එලෙසින් වන සිංහල මතවාදය අවුරුදු 30 ට වැඩි පරණ මතවාදයකි. එය නලින් ද සිල්වා-ලා, ගුණදාස අමරසේකර-ලා ‘‘ජාතික චින්තනය’’ ගොඩ නැගූ යුගයෙහි මතවාදයකි. සිංහල නාගරික වෙළඳ ව්‍යාපාරයෙහි විකාශනය හේතුවෙන් ඒ පැරණි සිංහලවාදී බල ව්‍යාපෘතිය දැන් අත හැරී ඇත. එනිසා ශී‍්‍ර.ල.නි.ප නායකත්වය සමග දැන් ගනුදෙනු කරන්නේ බණ්ඩාරනායකගේ සිංහල බල ව්‍යාපෘතියට හවුල් වූ සාම්ප‍්‍රදායික දේශීය වෙළෙන්දා නොවේ. ඒ වෙනසට හේතු වන්නේ ජයවර්ධන ජනාධිපති විසින් විවෘත කළ නිදහස් වෙළඳපල ආර්ථිකයෙහි තරගය පමණක් නොව, ඒ තරගකාරිත්වය ගෝලීය ආර්ථිකය හා ගැටගැසීමත් ය. ලොවට විවෘත වන්නට සිදුවීම මේ සිංහල වෙළඳ ප‍්‍රජාවට සිදුවූ අපූරු අත්දැකීමකි. එසේ විවෘත වීමෙන් පසුගිය අවුරුදු 30 ක පමණ කාලයේ එතෙක් ඔවුන්ට නොතිබුණු ඇ`ගළුම් නිෂ්පාදනය, ඇසුරුම් කර්මාන්තය, අන්තර්ජාල ව්‍යාපාර කි‍්‍රයාකාරකම් මෙන්ම ක්ෂණික හා කෙටි ආහාර නිෂ්පාදනය සහ වාහන ආනයනය වැනි අලූත් ආර්ථික අවකාශ හමු විය. ඒ හේතුවෙන් දේශීය වෙළෙඳුන් අතරින් අලූත් නාගරික ව්‍යාපාරික පැලැන්තියක් බිහි වන්නට විය. ඔවුන්ට සිංහල බල ව්‍යාපෘතියෙහි එතරම් ආකර්ෂණයක් නොවිණ. එහි නතරවීමෙන් ගෝලීය ආර්ථිකයෙහි පල ලබා ගැනීමට නොහැකිවන හෙයිනි. ඒ සමග ජයවර්ධන ජනාධිපති විවෘත ආර්ථිකය හා ගැට ගැසූ නව මැතිවරණ ක‍්‍රමය මගින් මන්තී‍්‍රවරුන් තේරීමේ ආසනය දිස්ති‍්‍රක්කය දක්වා විශාල කිරීම, මේ අලූත් සල්ලිකාර වාණිජත්වයෙහි දේශපාලන බලයට ගැළපූවක් විය.

ඒ හරහා සිංහල වාණිජ පැලැන්තියේ වූ ඒ අලූත් පිබිදීමත් ව්‍යාප්තියත් මුදල් බලයත් සමග ශී‍්‍ර.ල.නි.ප.ටද සිට ගන්නට සිදුවිය. එවැනි වෙනස්වීම් සමග දේශපාලන පක්ෂ හා සමාජ කාණ්ඩ එකවර තම මතවාද අත හරින්නේද නැති හෙයින් පසුගිය දසක දෙකෙහි පැරණි සිංහලවාදී මතය තවදුරටත් ගෙන යෑමේ උත්සාහ අපි දැක්කෙමු. වෙනස් වූ ආර්ථිකයෙහි වෙනස්වන බල ව්‍යාපෘතිය නොතකා සිංහල වෙළඳ බලය තවදුරටත් රැුක ගැනීමේ උත්සාහ නාගරික වෙළඳ ප‍්‍රජාව අතර ඉතිරි විය. අනූව දසකය වන විට ශී‍්‍ර.ල.නි.ප. ඔවුන්ගේ බල ව්‍යාපෘතියෙහි සෘජුව නොසිටියෙන් සිංහල වෙළඳ ප‍්‍රජාවෙහි ඇතැම් සාම්ප‍්‍රදායික පිරිස් අලූත් දේශපාලන ප‍්‍රකාශකයෙකු සොයා ගියේය. ඔවුහු පළමුව ශී‍්‍ර.ල.නි.ප. අතුරින්ම අලූත් උත්සාහයකට මුල පිරූහ. එහෙත් ශී‍්‍ර.ල.නි.ප. නායකත්වය දේශපාලන බලය වෙනුවෙන් විවෘත ආර්ථිකයෙහි අලූත් නාගරික වාණිජත්වය සමග ගමන් ගත්තෙන් සිංහල වෙළඳ බල ව්‍යාපෘතියට ශී‍්‍ර.ල.නි.ප. තව දුරටත් නොගැළපුණි. ඊළග දසකයට ළගාවෙත්ම සිහල උරුමය බිහිවීමත් ඒ සමග සිංහල ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබන සංඝයා දේශපාලනයට පිවිසීමත් එතෙක් වූ සිංහල ව්‍යාපෘතිය සිංහල-බෞද්ධ බල ව්‍යාපෘතියක් ලෙස තිරිහන් කෙරුණක් විය. එහෙත් විවෘත ආර්ථිකයෙහි පැළපදියම් වූ අලූත් සල්ලිකාර නාගරික වාණිජත්වය නිසා 90 දසකය අවසන් වන විට මේ සිංහල වෙළඳ උත්සාහය සඳහා නගරයේවත් වැදගත් ආකර්ෂණයක් ඉතිරිව නොතිබිණ.

පළමුවරට ඔවුන් ශී‍්‍ර.ල.නි.පෙන් ඉවත්ව ඔවුන්ගේ හයිය උරගා බැලූයේ 2000 මැතිවරණයේදීය. වෙළඳ ප‍්‍රජාව මූලිකවූ සිංහල වීරවිදානයේ සහාය ඇතිව එවර තරග කළ සිහල උරුමයට රටින්ම ලැබුණේ ඡුන්ද 1,27,000 (සියයට 1.47) කි. ඊළඟට 2001 වසරෙහි ඔවුන්ට ලැබුණේ ඡන්ද 50,665 (සියයට 0.56) කි. අතිබහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්නා මොනරාගල, හම්බන්තොට වැනි දිස්ති‍්‍රක්කවල ඔවුන්ට ඡන්ද දාහක් හෝ නොලැබිණ. හෙළ උරුමය අවසන් වරට තනිව තරග වැදුණේ 2004 අපේ‍්‍රල් මහ මැතිවරණයට ය. එයට ඔවුන් බෞද්ධ භික්ෂුන් ඉදිරිපත් කර ලබා ගත්තේ ඡන්ද 5,52,724 (සියයට 5.9) ක් පමණි. එම ඡන්ද අතුරින් අතිබහුතරය ලැබී තිබුණේද බස්නාහිර පළාත ප‍්‍රධානව කොළඹ දිස්ති‍්‍රක්කයෙනි. ජාතික ලැයිස්තුව හැර දිස්ති‍්‍රක් පදනමින් තේරී පත් වූ 7 ගෙන් 6 දෙනෙක්ම බස්නාහිර පළාතෙනි. අවුරුද්දක් යනවිට සංඝ මන්තී‍්‍රවරුන් 9ගෙන් ඉන් ඉතිරි වූයේ මන්තී‍්‍රවරුන් 3කු පමණි.

යුද්ධය වෙනුවෙන් රාජපක්ෂ ජනාධිපති මේ ඉතිරිව තිබූ සිංහලවාදය යොදා ගත්තේ හමුදාව සමග බලහත්කාර පාලනයක් වෙනුවෙනි. ඒ සඳහා ඔහු අතට ගත්තේ නගරයේ වෙළඳ බලය නොව, ඔවුන්ගේ සිංහල මතවාදය පමණි. ඔහු එය රණවිරු කීර්තිය හා බද්ධ කර සිංහල දේශපේ‍්‍රමය ලෙසින් ඔහුගේ බලහත්කාර පාලනයේ මතවාදී සහතිකය ලෙස තබා ගත්තේය. ඒ මතින් ඇතිවූ අතිශය දූෂිත කොල්ලකාර පාලනය විසින් හමුදාවද හවුල් වූ විවෘත ආර්ථිකය රාජ්‍යගත වෙළඳපලක් බවට පත් කර ගත්තේය. ගෝලීය ආර්ථිකයෙහි අලූත් අධිරාජ්‍යවාදී සරදියෙල් වන චීනයේ ආධාර වෙත රාජපක්ෂ පාලනය ගියේ නව ලිබරල්වාදයෙහි කොල්ලකාර අවධිය හැදෙන්නේ චීනය සමග වන හෙයිනි. එය අලූත් සල්ලිකාර සිංහල වාණිජත්වයට හොඳින් ගැළපුණකි. ඉන් කළු කෙරණුු සල්ලි ඔවුන්ට අවශ්‍ය දේශපාලන බලයට වල්ගය වැනූවකි.

රාජපක්ෂ පාලනයේ අලූත් යුදවාදී සිංහල ව්‍යාපෘතිය ඔස්සේ නැවත පැරණි සිංහල බලය හදා ගැනීමේ ඊළඟ වෙළඳ කැරැුල්ල මතුවන්නේ මුස්ලිම් විරෝධයකට මාරු වීමෙනි. එය වඩාත් මෘග වන්නේද බලයක් සමගින් ප‍්‍රකාශයට පත් නොවුණහොත් සමාජ ආකර්ෂණයක් ලබාගත නොහැකියැ’යි වූ අර්ථ ගැන්වීමත් සමගය. එහෙත් ජනවාරි සහ අගෝස්තු මතිවරණවලින් කියැවෙන්නේ සිංහලවාදී බල ව්‍යාපෘතිය මේ නව ලිබරල් ආර්ථිකයෙහි හැදුණු අලූත් සිංහල ව්‍යාපාරික පැලැන්තියට අවශ්‍ය නොවන බව ය. හෙළ උරුමය අභාවයට යන්නේත් එහි ඉතිරි වූ නායකයන් දෙදෙන එජාප පිහිටෙන් පාර්ලිමේන්තු එන්නේත් ඔවුන්ව නඩත්තු කළ වෙළඳ ප‍්‍රජාව ගෝලීය ආර්ථිකය හා ගනුදෙනු කරන අලූත් සල්ලිකාර පැලැන්තියක් බවට පත්ව ඇති හෙයිනි. ඒ සල්ලිකාර වෙළඳ පැලැන්තියට තවදුරටත් හෙළ උරුමයක අවශ්‍යතාවක් නොමැති වූයෙනි. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිට ශී‍්‍රලනිපය රැුගෙන එජාප ආණ්ඩුවට ගොඩ වන්නට හැකි වන්නේද ඒ නිසාමය. මේ ශී‍්‍රලනිපය තවදුරටත් බණ්ඩාරනායකගේ සිංහල ශී‍්‍රලනිපය නොවන හෙයිනි.

ඒ සියලූ වෙනස්කම් නොතකා එජාප නායකත්වය රාජපක්ෂ යෝජනා කළ දේශීය යාන්ත‍්‍රණයකට එහා නොයන්නේ ඔවුන් තවමත් පැරණි එජාපයේ සිංහල මතවාදයෙහි නතරව ඉන්නා නිසාය. දකුණු අපි‍්‍රකානු නායකත්වය සමග රාජපක්ෂ ආරම්භ කළ සත්‍යය සෙවීමේ සහ සංහිඳියා කොමිසම පිළිබඳ අදහස ඔවුන් ඔසවා ගන්නේ එහෙයිනි. ඒ වෙනුවෙන් දකුණු අපි‍්‍රකානු සහාය ලබාගන්නා බව විදේශ කටයුතු ඇමති සමරවීර ලංකාණ්ඩුව වෙනුවෙන් මානව හිමිකම් සමුළුව ඉදිරියේ කීවේය. ලංකාණ්ඩුව එලෙසින් යෝජනා කරන දේශීය යාන්ත‍්‍රණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සහ ජාත්‍යන්තර විනිසුරුවරුන්, නඩු මෙහෙයවන්නන්, නීතිඥයන් උදව් කරනු ඇතැයි අවසන් ඇමෙරිකානු යෝජනාවෙහි ඇත්තේද දේශීය යාන්ත‍්‍රණය පිළිබඳ ප‍්‍රායෝගික කි‍්‍රයාවලිය පසුව තීන්දු කරගැනීමට එජාප-මෛතී‍්‍ර හවුල් ආණ්ඩුවට ඉඩ තැබීමක් ලෙසින්ය.

මේ සියල්ලෙහි වඩාත් වැදගත් සාධකය වන්නේ එය සතු විශේෂඥතාව හා නිපුණතාවට ප‍්‍රථම එවැනි යාන්ත‍්‍රණයක් කෙතරම් ස්වාධීන හා අපක්ෂපාතී වන්නේද යන්න අනුවය. විපතට පත් අතිබහුතරයක් දෙමළ වීම නිසාම ඔවුන්ට මෙවැනි පරීක්ෂණ යාන්ත‍්‍රණයක් ගැන කෙතරම් විශ්වාසයක් තැබිය හැකිද යන්න දැනටත් ප‍්‍රශ්න කෙරෙන්නකි. අලූත් සල්ලිකාර වාණිජ පැලැන්තිය සිංහල බල ව්‍යාපෘතිය අතහැර දැමුවද බණ්ඩාරනායක යුගයේ සිට සුරතල් කර හැදූ රාජ්‍යය තවමත් සිංහලවාදී ය. එපමණක් නොව, එය කාලයක් පුරා දේශපාලනීකරණය වූ සහ අවුරුදු 10ක් තිස්සේ රාජපක්ෂ විසින් සහමුලින් දේශපාලනීකරණය කෙරුණු අතිදූෂිත, අකාර්යක්ෂම, සිංහලවාදී රාජ්‍යයකි. එහි දිග හැරෙන අධිකරණ කි‍්‍රයාවලියද එනිසාම සිංහලවාදී කි‍්‍රයාවලියකි. දූෂිත අකාර්යක්ෂම කි‍්‍රයාවලියකි.

අනෙක් වැදගත්ම සහ අවාසනාවන්තම කාරණාව නම් දසක ගණනාවක් පුරා පුද්ගල බලය වෙනුවෙන් රාජකාරියද එකතු කරගත හැකි වූ පරීක්ෂණ පැවැත්වීමේ හා නීතිය කි‍්‍රයාත්මක කිරීමේ පොලිස් බලයක් දිගු කාලීන හදිසි නීති පාලන යටතේ පුරුදු පුහුණු වී පැවතීමය. එවැනි පොලීසියක් අධිකරණ කි‍්‍රයාවලියට පාදක වීම සමස්ත කි‍්‍රයාවලියෙහි ස්වාධීනත්වයට හා අපක්ෂපාතිත්වයට බරපතළ හානියකි. ඒ පොලිස් බලය අභියෝග කරන්නට ඔවුන් ඉඩ නොදෙන බව දින 360ක් අත්අඩංගුවේ තබා ගත් ජෙයකුමාරි මෙන්ම රුකී ප‍්‍රනාන්දු සහ ප‍්‍රවීන් පියනම අත්අඩංගුවට ගෙන කොන්දේසි මත ඇප ලබාදීමේ සිට වධහිංසනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ වත්තල ජෙරල්ඞ් පෙරේරාගේ ඝාතනය දක්වා සියල්ල ඉතා පැහැදිලිව ඔප්පු කරන සාධකය. එවගේම මේ රාජ්‍යයෙහි සිංහලවාදී හැසිරීම වැලිකඩ අධිආරක්ෂිත බන්ධනාගාරයේදී 1983 ජූලියේදී දෙමළ දේශපාලන සිරකරුවන් 53ක් ඝාතනය කිරීමේ සිට 2011 නැවත වැලිකඩ බන්ධනාගාරයේ සිටි දෙමළ සිරකරුවන්ට පහර දීම දක්වා වවුනියාව, කළුතර බන්ධනාගාර පහරදීම්ද 2000 දී බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරට පළාතේ සිංහල මැර පිරිසක් කඩා වැදී රැුඳවියන් ඝාතනය කිරීමත් එහි කිසිදු සැකකරුවකු වරදකරුවකු නොවීමත් හෙළිකළ අපරාධ ය.

රාජ්‍යයෙහි මේ කි‍්‍රයාකාරිත්වය තවමත් වෙනස් වී නැති බවට ඕනෑ තරම් සාක්ෂි ඇති නමුත් එයට උත්තර දිය හැක්කේ නීති සංශෝධන මගින් පමණක් නොවන බව අවධාරණය කරගත යුත්තකි. රාජ්‍යයෙහි මේ හැසිරීම ව්‍යවස්ථා මණ්ඩලය හා ස්වාධීන කොමිසම් මගින් වහා වෙනස් කෙරෙන්නේ නැතැයිද අප දත යුතුය. එය සැබැවින් හා මතවාදීව වෙනස් කළ හැක්කේ රාජපක්ෂ යුගයේ තහවුරු කෙරුණු දකුණේ රණවිරු සිංහල මතවාදය අභියෝග කිරීමෙන් පමණි. අපක්ෂපාති ස්වාධීන දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණයකට අවශ්‍ය දකුණේ නව සමාජ මතවාදය සඳහා තියුණු සමාජ කතිකාවක් ආරම්භ කිරීමෙනි. එය දුරදිග යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය ප‍්‍රතිව්‍යුහයක අවශ්‍යතාව සමගින් ගොඩනගා ගත යුත්තකැයි සිතමි. සිංහල මතවාදී වෙළඳ ආධිපත්‍යය බිඳ වැටී ඇති වත්මන් සන්දර්භය තුළ අද දකුණට අවශ්‍ය වන්නේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන නායකත්වයකි. නාගරික වෙළඳ බලපෑමෙන් ඉවත් වූවද සිංහල දකුණේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවීම ඇත්ත ගැටලූවකි. ඔවුන් නව ලිබරල්වාදී ආර්ථිකයේම රටේ සංවර්ධන කි‍්‍රයාවලිය සැලසුම් කිරීම නිසා දූෂණය ගැන සහතික නොමැති වීමත් අවශ්‍ය රාජ්‍ය ප‍්‍රතිව්‍යුහයට තිරිංගයක් වනු ඇත. අද වමේ යැයි ගණන් ගත හැකි ජාතික දේශපාලන නායකත්වයක් නොමැතිවීමත් ඉතිරි කිහිප දෙනට ඔවුන්ගේ පෞරාණිකත්වයෙන් මිදෙන්නට නොහැකි වීමත් සමාජය එක තැන නතරව තිබීමට තවත් හේතුවකි. එනිසා දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණයෙහි අපක්ෂපාතිත්වය හා ස්වාධීනත්වය තහවුරු කරගත හැකි සමාජ බලයක් හදා ගැනීමේ අර්බුදය විසින් දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ ගැටලූව අප හමුවේ ඉතිරි වනු ඇත.