‘හම්බන්තොට චීනාට යන්නේ අපේ මළකඳන් උඩින්’


china

කේ. සංජීව

හම්බන්තොට චීනාට, තිරිකුණා මලය ඉන්දියා වට, ඇමෙරිකන්කාරයාටත් කෑල්ලක් දෙයි. දැන් වෙනස සැපද? මේ වෙනකොට මුන් සේරම විකුණලා ඉවරයි. අපිවත් විකුණලා. අපි බොරුවට කෑගහලා වැඩක් නැහැ. කොළඹ වරායත් දෙනවාලු. මිනිරන් පතල් දෙකත් දෙනවාලු…. ඉස්සරහට අපිට මරාගෙන මැරෙන්න තමයි වෙන්නේ. නැත්තං අපේ දරුවන්ට යනේනමන් නැතිවෙයි.”
මේ හම්බන්තොට මිරිජ්ජවිලදී අපට මුණගැසුණු මිනිසෙකු කියූ කතාවක් ය. මිරිජ්ජවිල හංදියේ ඉඳලා වරාය පිවිසුමට හූවකි. කිලෝමීටර් නම් එක හමාරකි. මත්තලට නම් ගොඩාක් දුරය. මම කාලයකට පසු රාජපක්ෂ විජිතයේ කරක්ගසමි. හැම තැනම වගේ ගෙවල් පිවිසුම් කළුකොඩිවලින් සරසා ඇත. හැම තැනම ජවිපෙ පෝස්ටර් ය. හම්බන්තොටින් චීන කොලනියට විරුද්ධව නැගෙන හඬ තීව්‍ර වී ඇත. කොටින්ම කියනවා නම් දැන් මෙනුවර වහා ගිනි ඇවිලෙන සුලුය. මේ ගින්න මේ අවුරුද්ද තුළ ලංකාවටත් ගිනි තියන ලකුණු දැන් දැන් පහළකර හමාරය. ආණ්ඩුවත් ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්ත්වයට පත්වී ඇති බව පෙනේ. දැන් නිතරම හම්බන්තොට උද්ඝෝෂණ කරළියට පැමිණ ඇත. මහා සංඝ ආඥාවක්ද මග එන බව මේ විරෝධයට නායකත්වය දෙන හිමිවරු කියති. ආණ්ඩුවට මේ කිසිවකට පිළිතුරු නැතිව පාණ්ඩුව සෑදී ඇත.
අපි මේ චීන කොලනියේ තොරතුරු සොයමු. ආණ්ඩුව කොලේ වහලා මේ සෙල්ලම කරගෙන යන නිසා මේ හෙවිල්ල කළුනික හොයනවා වගේ වන්නටත් පුළුවන.
“හම්බන්තොට ටවුන් සීමාවේ ඉඳලා වළවේ ගඟට යනකම් මේ පැත්තෙන් මුහුද. අනෙක් පැත්තෙන් සූරියවැව…. මේ සේරම. අපිටත් මේ මිරිජ්ජවිලින් අයින්වෙලා රත්නපුරේ පැත්තට යන්න වෙනවාලු. හැබැයි මේ ගැන හරිම තොරතුරු ගන්න නම් මහත්තයාට අම්බලන්තොට යන්න වෙනවා. එතැනින් බැරගමට යන්න වෙනවා. පහළ බැරගම පන්සලේ නාථ හාමුදුරුවෝ මුණගැහුණා නම් හාමුදුරුවෝ මේ සේරම කියයි.”
මිරිජ්ජවිල මිතුරාගේ මග කියුමට අනුව මම මුලින්ම පහළ බැරගම පන්සලට ආවෙමි.
“නාථ හිමි සැතපිලා. හතරට තමයි අවදිවෙන්නේ….”
නාථ හිමියන්ගේ හිතවතෙක් අපට කියයි. අප පන්සලට එනකොට දහවල් දෙකට විතරය. දැන් මම තව පැය දෙකක් මෙතැන නිකම් ඔහේ සිටිය යුතුය. මම රැඳෙමි. මම කියමි… මම කොළඹ ඉඳලා..
“හාමුදුරුවෝ සැතපු ණාම අපි කතාකරන්නේ නැහැ.”
මම මගට බැස්සෙමි. බැරගම සහ තවත් ගම්නියංගම් ඇවිද්දෙමි. කතාකතා එකතු කෙළෙමි.

චීන කොලනියේ ඉම
මේ කතාවේ ඉතිහාසය, චීන කොලනිය මේ හැමදෙයක්ම හොයාගෙන පහළ බැරගම ගජබාපුර ඇවිද යන මට මුලින්ම මුණගැසුණේ විමලසේන මාමාය. ඔහු මේ අරගලයේ සක්‍රීය චරිතයකි. මුලින්ම ඔහුගේ කතාවට ඉඩහදන්නේ මේ ගැටලුවේ නියම ස්වරූපය දකින්නට ඔහුගේ කතාවෙන් ආලෝකයක් ලැබෙන නිසාය.
“මුලින්ම මහින්ද මහත්තයා වරාය හැදුවනේ. ඒ වෙලාවේ වරායට අක්කර 5000ක් දීලා තියෙනවා 99 අවුරුදු බදුවලට. ඊළඟට ආණ්ඩුව පෙරළුණනානේ. දැන් ණය ගෙවාගන්න බැහැ කියලා මේ ආණ්ඩුව මොකද කළේ 99ය ඩබල් කරලා ඒකට තව ඉඩම් අක්කර 10000කුත් වැඩිපුර එකතුකරලා චීනෙට දෙන්න එකඟවෙලා තියෙනවා. ඇත්ත කතාව දැන් දීලා ඉවරයි කියලා තමයි අපිට ආරංචිය. එතකොට මේ ඉඩම් අත්පත්කරගන්නවා කියන්නේ අදියර තුනකට. අක්කර 5000 ගානේ. දැන් අපේ ගම් අහුවෙලා තියෙන්නේ මුල්ම අදියරේ අක්කර 5000ට තමයි. මේ කියන අක්කර 5000 සීමාවට අහුවෙනවා බැරගම, ගජබාපුර, මානජ්ජාව, මැඩිල්ල, දැහැමිපුර, අරවනමුල්ල, මහ අරවනමුල්ල, මහ ආර, බොල්හිඳ, උස්ගල වාගේ ගම්. මේකේ හරියට හතරකොන කිව්වොත් මුහුද, වළවේ ගඟ, කරබගල, වැඩිහිටිකන්ද.”
විමලසේන මාමා කියන මේ සීමාව යනු 1935දී ඩීඑස් ඇරඹූ ගොවිජනපදයක් ය. ඒ රිදීගම වැව ව්‍යාපාරයයි. මෙහි ජනීජනයා කියන ලෙස මේ ජනපදය කුඹුරු අක්කර 5000කින් සශ්‍රීකය. මේ කුඹුරු නිලට හරවන්නේ වළවේ ගඟ මතින් එන දිය ලියන්ගස්තොට හැරවීමෙන් විසල් රිදීගම වැවට පිරවීමෙන්ය. මේ තත්ත්වය තුළ මෙහි මිනිසුන්ගේ පැවැත්ම සරිකරන්නේ ගොවිතැනයි. එයිනුත් වී ගොවිතැන අංක එකය. අංක දෙක කෙසෙල් වගාවය. දැන් කළුකොඩිවලින් සරසා තිබෙන මේ ගම් ගෙවල් බොහොමයක් සිමෙන්ති බිතෙන් උස්ව නැගුණු ස්ථිර නිවාසය. බැලුබැල්මට පෙනෙන්නේ මේ මිනිසුන්ගේ ජීවිතයත් එතරම් අගහිඟයක් නැති ජීවිත බවය. හම්බන්තොට සුරපුරයක් කරම් යැයි සද්ද පූජා තබමින් මහින්ද රාජපක්ෂ මේ බිමේ පැල කළ වරාය සහ ගුවන්තොට දැන් මේ මිනිසුන්ගේ ජීවිත මත වැළලු කොඩිවිනයක් වී හමාරය. දැන් අලුත් ආණ්ඩුව මේ සුදු අලින් දෙදෙනා කළුකරන්නට මේ මිනිසුන් වළවේ ගඟට විසිකර හමාරය. අහස සිඹින කුලුනු මැදුරු සඳළුතලා මත අත්සන් තැබෙන ඩීල් නූල් සුත්‍ර ගිවිසුම්වලට මේ මිනිසුන්ගේ දුක පෙනෙන්නේ නැති බව හොඳටම පැහැදිලිය. ඒක තවතවත් හොඳට පෙනෙන්නේ ආණ්ඩුව කොලේවහලා කෙළින කෙලිල්ල නිසාය.
සුදු අලින් දෙදෙනා කළුකර රස්සා හදනවා කියන මේ ව්‍යාපෘතියේ අපට පෙනෙන්නට නැති තිරය පිටුපස කතාව කුමක්ද? මේ කතාවේ සරල තේරුම චීනයේ චයිනා මර්චන්ට් පෝර්ට් කියන සමාගමට හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත භූමිය අක්කර 15000ක් අවුරුදු 198ක් සඳහා බදු දෙන්නට යන බවය. (දැනටමත් දී ඇති බවක්ද කියයි). මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුම යහපාලනයට වසර දෙකක් සපිරෙන ජනවාරි 8වැනිදා අත්සන් කරන බවද දැනගන්නට ඇත. දැනට ගණන් බලා ඇති ලෙස හම්බන්තොට වරායේ වත්කම ඩොලර් බිලියන 1.5කි. ඉහත සමාගමට වරාය විකුණන්න නියමිත මුදල ඩොලර් බිලියන 1.12ක් බවද දැනගන්නට ඇත. මේ විකුණා දැමීමට හේතුව ලෙස ආණ්ඩුව කියන්නේ මේ වරාය නිසා අපි රුපියල් කෝටි 14,200ක් ණය බවය. අනෙක් පැත්තෙන් ලංකාව මෙය පාලනය කරන විට නැව් එතරම් එන්නේ නැති පසුබිම තුළ මේ ණය මුදල ගෙවා දැමීම අසීරු බවය.

මැනුම් සමීක්ෂණ
“ ඇත්තටම අපි මුලින් මේ මුකුත් දන්නේ නැහැ. අපි ඉන්නේ වරායට ටිකක් දුරින්. අනික වරායේ තව අක්කර දහස් ගණනක හිස් ඉඩම් තියෙනවා. ඒවා තියාගෙන අපේ ඉඩම්වලට අපේ ජීවිතවලට යහපාලනය අත තියයි කියලා අපි හිතුවේ නැහැ. මනින දිනය හෙටයි කියලා පන්සලේ රැස්වීමක් කැඳවලා තිබුණා. අපි ගියා. දිසාපතිතුමිය, දකුණු පළාත් ඉඩම් කොමසාරිස්, මිනින්දෝරු දෙපාර්ත මේන්තුව, ග්‍රාම නිලධාරී මේ රැස්වීමට ආවා. ඇවිත් කිව්වා වරායේ මේ ආයෝජන කලාපෙට මේ මුඩු ඉඩම් ගන්නවා, ඒවා දැන් මනින්න ලෑස්තියි. හොඳ වන්දියක් දෙනවා කියලා. ඔතැනින් තමයි අපි රත්වුණේ. ඊටපස්සේ තමයි දැනගත්තේ මේ හරියේ වතුර ප්‍රශ්න නැති නිසා චීනය මේ හරිය ඉල්ලලා තියෙනවා ගඟත් එක්කම කියලා.”
මේ හඬ බැරගම ප්‍රසාන්ත මහතාගේය. මේ රැස්වීමේදී බලධාරීන් වන්දි සූත්‍රයද හෙළිකර ඇත. ඒ කට වචනයට අනුව ක්‍රම හතරකට වන්දි ප්‍රදානයට ආණ්ඩුව සැරසේ. ඒ වන්දි ක්‍රමයට අනුව කිසිදු බලපත්‍රයක් නැති කට වචනෙට තියාගෙන ඉන්න සංවර්ධනය කර නැති ඉඩම් සඳහාද වන්දි පිරිනැමේ. එහෙත් මේ මිනිසුන්ට මේ වචන විශ්වාස නැත. ඒ අතීතය මතක නිසාය. මෙහි වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන විට ඉවත් කළ මිනිසුන් සමහර දෙනෙකුට තවමත් වන්දි පිරිනමා නැත. සමහරුන්ගේ නිවාස සම්පූර්ණ කර නිමකරගන්න නියමිත දෙනවායැයි කියූ මුදල් ප්‍රමාණය තවම ආණ්ඩුව හෝ වරාය අධිකාරිය දෙන්න කටයුතු කර නැත.
“දැනටත් මේ වැවෙන් තමයි වරායට වතුර පොම්ප කරන්නේ. මේ කන්නේ පැල ගොයමට දැන් වතුර නැහැ. අපි දැන් වී ගොවිතැනින් අයින්වෙලා කෙසෙල් වගාවට යනවා නම් දැන් ආණ්ඩුව හරි කැමති. අනික දැන් දවස් දහයකට සැරයක් තමයි අපිට වතුර දෙන්නේ. මේ වැවෙන් වතුර වරායට පොම්ප කරනවාට අපි විරුද්ධ වුණා. ආණ්ඩුව අපෙන් හොරාට ලියුමක් අස්සන් කරගෙන ඒ වැඩෙත් කරගෙන ජල පොම්පාගාරේ හැදුවා. දැන් මේ වතුර ප්‍රශ්නෙත් එක්ක අපි දන්නවා අපිව පන්නන්න තමයි මේ හදන්නේ කියලා. අපි සජිත් ළඟට ගියා. තෙන්නකෝන් නිලමේ ළඟට ගියා. මහින්ද අමරවීර ළඟට ගියා. හැමෝම අපිට බොරු කියලා අපෙන් ෂේප් වෙනවා. සමහරු බොරුවට අපි එක්ක පොල් ගහන්න පෙළපාළි යන්න එනවා. හැබැයි කොළඹට ගියාම වැඬේ වෙන තැනට තමයි කතාව.” නැවත මෙලෙස කතාකළේ ප්‍රසන්ත මහත්තයාය. ඔහුගේ කතාව අපට කියන්නේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක ස්වරූපයයි. මෙවැනි තත්ත්වයක් තුළ පිළිසරණ පතා, සාධාරණය පතා යන්නේ කා ළඟටද නැවත ගැටලුවකි.

වළවේ කිරිත් නැහැ දැන්
දැන් ඔයාලා මේ සංවර්ධනයට විරුද්ධ වෙනවා. හැබැයි ආණ්ඩුව පැත්තෙන් කියන්නේ විදේශ ආයෝජන නැතුව රස්සා දසලක්ෂය දෙන්න බැහැ කියලා. අනික මහින්ද මහත්තයා වරාය හදන්න ඉඩම් ගන්නකොට සද්ද නැතුව හිටිය ඔබලා දැන් මේකට විරුද්ධ වෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසායි කියලා ආණ්ඩුව කියනවා. අපේ මේ ප්‍රශ්නය මුලින්ම ගත්තේ අපට මුලින්ම කතාකළ විමලසේන මාමාය.
“මුලින්ම කියන්න ඕනෑ ඕකුන් කවුරුත් එකයි කියලා අපි දැන් තේරුම් අරගෙන ඉන්නේ කියලා. මහින්ද මහත්තයා තමයි හම්බන්තොටට මේ හෙණේ පාත්කළේ. අපි ඒක දන්නවා. ඒ වාගේම බය නැතුව කියනවා. මුලින්ම අක්කර 5000ක් දුන්නෙත් එයැයි තමයි.
හැබැයි එයැයි කළා කියලා ඒකම කරන්න යහපාලනය මොකටද? දැන් රස්සා දෙනවා කියලා උජාරුවට කියනවා. අපි අහන්නේ ඒ රස්සා දෙන්නේ බංගලි මිනිස්සුන්ටද නැත්තන් නේපාලේ මිනිස්සුන්ටද නැත්තන් චීන්නුන්ටද කියලා. දැනට අපිට තොරතුරු එන විදියට රස්සා වැඩි ප්‍රමාණේ යන්නේ පිටරටට. ඉතිං අපි අවුරුදු හැටක් හැත්තෑවක් පොළොවත් එක්ක යුද්දේ කරලා ගොඩනගාගත්ත මේ ජීවිතේ කැපකරලා වැඩක් තියෙයිද? අනික මහින්ද මහත්තයාම ගන්න.. වරායෙන් රැකියා දෙනවා කියලා රැකියා පෝරම් ලක්ෂ 7ක් ගහලා රුපියල් 150 ගානේ මිනිස්සුන්ට දුන්නා. ඊළඟට මිනිස්සු ඒකට චන්දෙත් දුන්නා. අන්තිමට මොකද වුණේ? රක්ෂා 540යි වරායෙන් දුන්නේ. ඒකත් වරාය අධිකාරිය යටතේ නෙවෙයි. ඊළඟට අපි ගනිමු ඔය වරායට අල්ලපු ආරබොක්ක කියන ගම. මොකද වුණේ? හම්බන්තොට ගැන කියනකොට කියන්නේ වළවේ කිරියි කිරඹ පැණියි කියලා. අද මොකෝ වෙලා තියෙන්නේ? ඔය ගමේ මිනිස්සුන්ට හරක් දාහ දෙදාහ හිටියා. අක්කර හත අටක හේනක් කළා. වැහි කාලෙට කුඹුරු කළා. අනික ඒවා නින්දගම් ඉඩම්. අද ඒ මිනිස්සු සිරිබෝපුරේ පර්චර්ස් 20ක හිරකාරයෝ කරලා. ඉඩකඩ නැති නිසා දැන් හරක් විකුණලා. ආරබොක්කේ හොඳටම ජිවත්වෙච්ච මිනිස්සු අද යනේනමං නැති අසරණයෝ කරලා. ඉතිං වරාය හම්බන්තොටට කළේ ඔහොමයි. ඉස්සරහටත් ඔයිට වැඩිය වෙනසක් නැහැ. අනික තංගල්ලේ සුනාමියෙන් අවතැන් වෙච්චි පවුල් 15ක් තවම කුඩාරමේ ඉන්නවා. ඉතිං අපිට කියන්නේ මේ දේශපාලකයෝ කියන සුරංගනා කතා විශ්වාස කරන්න කියලාද?”
මගේ ඉහත ප්‍රශ්නයට ඊළඟට උත්තර දුන්නේ ධර්මසේන හෙට්ටිආරච්චි මහත්තයාය.
”දැන් මේ කොටුව අස්සට ඉස්කෝල 15ක් විතර අහුවෙනවා. ඒ ඉස්කෝලවලිනුත් හයක් විතර ලොකු ඉස්කෝල. ඉතිං අපි දැන් ගිහින් දාන තැන මේවා, මේ පහසුකම් හැමදෙයක්ම තියෙයිද? අනික ඉඩම් දෙනවාද කොහේද කින්දමන්ද මොකුත් අපි දන්නේ නැහැ. සේරම නිලධාරීන්ගේ කට වචන විතරයි. ඒ නිසා මම නම් කියන්නේ මැරුවත් මේ ඉඩම්වලින් අපි යන්නේ නැහැ. අපේ මළකඳන් උඩින් තමයි චීනාට මේ කර්මාන්තපුරය හදන්න වෙන්නේ.”
ආණ්ඩුවේ නම යහපාලනය වුණත් මේ ආණ්ඩුව කරන බොහෝ වැඩ විනිවිදබවින් තොරය. එනිසාම දැන් යහපාලනයද චොර වී හමාරය. පහුගිය ආණ්ඩුව කළ පව් මේ ආණ්ඩුව සේදිය යුතුය. එහෙත් ඒ සේදීම බුද්ධිමත්ව කළයුතුය. විනිවිද පෙනෙන ලෙස නිවැරදිව කළ යුතුය. රටට සංවර්ධනය අවශ්‍ය ය. එහි විවාදයක් නැත. එහෙත් ඒ සංවර්ධනය ජනතාව කබලෙන් ළිපට දමයි නම් අපට ඒ සංවර්ධනය පිළිගත නොහැක. දැන් හම්බන්තොට හැම ගමකම වගේ හැම ගෙදරකම වගේ කළු කොඩි සැලෙමින් තිබේ. මිනිස් සිත්ද ඇවිලීමට ඔන්න මෙන්නය. මේ වනවිට මේ ඉඩම් අර්බුදය නිසා ප්‍රදේශයේ උද්ඝෝෂණ විරෝධතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. මේ විරෝධයන්ගේ කේන්ද්‍රය පන්සල් බවද පෙනේ. ඒ නිසා හම්බන්තොට මේ ගිනියම විසින් ලංකාවටම ගිනිතැබීමේ අවදානමක් ඇත. ඒ නිසා යහපාලකයන් මෙන්ම යහපාලනය ගෙනඒමට කැපවූ සිවිල් සංවිධානද මේ පිළිබඳව තමන්ගේ අවධානය යොමුකර මේ මිනිසුන්ට සාධාරණය ඉටුකර දිය යුතුය.■