Untitled-1

Untitled-1

ආණ්ඩුවට ඕනෑ ඡන්දය කල් දමන්නයි | සීමා නිර්ණය කමිටුවේ සභාපති අශෝක පීරිස්


seeema-nirna

තරිඳු උඩුවරගෙදර

සීමා නිර්ණය කමිටුව පත්කිරීමේ ඉතිහාසය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
පළාත් පාලන ඡන්දය සඳහා 2012 අංක 2 පළාත් පාලන ඡන්ද විමසීම කියලා පනතක් සම්මත වුණා. මේ පනතෙන් නියම වුණා මීළඟ පළාත් පාලන ආයතන ඡන්දය සමානුපාතික සහ කොට්ඨාස මිශ්‍ර ක්‍රමයකට පවත්වන්න. සීයට තිහක් සමානුපාතික ක්‍රමයට තෝරන්නත් ඉතිරි කොටස කොට්ඨාස ක්‍රමයට තෝරන්නත් තමයි තීරණය කරලා තිබුණේ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් තමයි මේක තීරණය කරලා තිබුණේ. පළාත් පාලන මැතිවරණ සඳහා කොට්ඨාස කඩා වෙන්කරන්න සීමා නිර්ණය කමිටුවක් පත්කළා. මේ කමිටුව අවුරුදු දෙකහමාරක් විතර අරගෙන වාර්තාවක් හැදුවා. මේ වාර්තාව එවකට හිටපු අතාවුල්ලා ඇමතිවරයා ළඟ අවුරුදු එකහමාරක් විතර තියාගෙන ඉඳලා මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ගැසට් කළා. මේකේ කොට්ඨාස කඩන්න නිර්ණායක හතරක් තියෙනවා. ඒ වුණත් ලොකු කතිකාවතක් ඇතිවුණා ඒ නිර්ණායක හැර වෙනත් සාධක මත තමයි කොට්ඨාස කඩලා තියෙන්නේ කියලා. පනතේ ඩී වගන්තිය අනුව විෂයභාර ඇමතිවරයාට පුළුවන් මෙතැන ප්‍රශ්නයක් ඇතිවුණොත් මේක විමර්ශනය කරන්න කමිටුවක් පත්කරන්න. ඒ අනුව වර්තමාන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇමතිවරයා විසින් මගේ ප්‍රධානත්වයෙන්, උපුල් කුමාරප්පෙරුම, මිස්බා සතාර්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි සහ සාලිය මැතිව් කියන අයව පත්කළා. අපි කමිටුව අවුරුද්දක් වැඩකළා. අපි සෑම දිස්ත්‍රික්කයකටම ගිහින් දිස්ත්‍රික් රැස්වීම් පැවැත්වූවා. ඒවාට දේශපාලන පක්ෂ නියෝජිතයෝ, සිවිල් සංවිධාන නියෝජිතයෝ, මේ ගැන උනන්දු මහජනතාව, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහභාගි වුණා. මේ රැස්වීම් හැම එකකටම අපි පස්දෙනාම තමයි ගියේ. අපි කාර්යාලයේදී මුණගැහිලා ඉන්පස්සේ වාර්තාව හැදුවා.

එහෙත් එය බාරදෙන්න බැරිවුණේ ඇයි?
පසුගිය විසිහත්වැනිදා පස්දෙනාම රැස්වෙලා තීරණය කළා දෙවැනිදා වාර්තාව විෂයභාර අමාත්‍යවරයාට බාර දෙන්න ඕනෑ කියලා. ඇත්තටම අපි විසිහත්වැනිදා බාරදෙන්න තීරණය කරලා තිබුණා. විසිහත්වැනිදා දිනය මැද්දට වැටෙන්න විෂයභාර ඇමතිවරයා විදේශගත වුණා. වැඩ බලන්නට පත්කළේ පියංකර ජයරත්න ඇමතිවරයා. ඔහු එදා ඉල්ලා අස්වුණා. ඇත්තටම පනතේ කොහේවත් ලියැවිලා නැහැ අමාත්‍යවරයාට බාරදෙන්න ඕනෑ කියලා. පනතේ තියෙන්නේ ඇමතිවරයා විසින් ගැසට් කළ යුතුය කියලා. කාටද බාරදෙන්නේ කියලා ලියලා නැහැ. අපට ලේකම්වරයාට වුණත් බාරදෙන්න පුළුවන්. හැබැයි අපි එහෙම නොවී ඇමතිවරයාට බාරදෙන්න තිීරණය කළා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් තමයි පිටපත් හැදුවේ. මේකේ තියෙනවා වාර්තාව, සංයුතියේ ගැසට් පත්‍රය, තුන්වැනි කොටස සිතියම් කට්ටලය. පනතේ ප්‍රතිපාදනවල හැටියට සංශෝධනය කළ තැන් විතරයි ගැසට් කරන්නට ඕනෑ. මාත් මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි මහතාත් උපුල් කුමරප්පෙරුම මහතාත් මේකට අත්සන් කළා. ඉන්පස්සේ සාලිය මැතිව් මහතාට සහ මිස්බා සතාර් දුරකථනයෙන් කතාකළාම ඔහු කීවා මේක කියවන්න ඕනෑ කියලා. කියැවීමේ අවශ්‍යතාවක් නැහැ. මොකද මේක හැදුවේ ඔහුත් ඇතුළුව අපි එකතුවෙලා.

මාධ්‍ය ඉදිරියේ ඇමතිවරයා මේක ප්‍රතික්ෂේප කළ අවස්ථාව දුර්වල පිටපත් සහිත නාට්‍යමය ජවනිකාවක් වගේ නේද?
ඇත්ත. ඒකේ තිරය පසුපස දේවලුත් තියෙනවා. අපි දෙවැනිදා මේක බාරදෙන්න ගියා. ඒ වෙලාවේ විෂයභාර ඇමතිතුමා කතා කළා ඔහු එක්ක හිල්ටන් එකේ කෑමට එන්න කියලා. අපි ගියේ නැහැ. පස්සේ ඇමතිවරයාත් කෑම ගෙන්නගෙන අපි එක්ක කෑම කෑවා. එතකොට කීවා තුන්දෙනෙක් අත්සන් කරලා තියෙන නිසා වාර්තාව බාරගන්න බැහැ කියලා. එහෙම කියලා ගිහින් ඔහු මාධ්‍ය සාකච්ඡාවේ ඉඳගත්තා. අපටත් කතා කළා. අපි පොත් ටික අරගෙන ඇවිත් මේක බාරදෙන්න සූදානම් වුණේ. අපි පැහැදිලිව දන්නවා මේක බහුතරයේ අත්සනින් පිළිගන්න පුළුවන්. අතිවිශාල මුදල් ගනුදෙනු සිද්ධවෙන ටෙන්ඩර් කරන්නේ බහුතරයේ අත්සනින් තමයි. අනික මගේ පෞද්ගලික මතය සභාපති අත්සන් කළා නම් ඒත් ඇති. මීට කලින් ඉදිරිපත් කළ වාර්තාවේ සභාපතිගේ අත්සන විතරයි තිබුණේ. අත්සන් කරන්න ඕනෑ කියලා කොහේවත් නැහැ. අත්සන් කිරීම චාරිත්‍රයක් වගේ දෙයක්නේ. මේකේ යට තිබුණු දේශපාලනයක් තිබුණා. ඒ තමයි මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාව. අපි අත්සන් නොකළ දෙන්නාට ලිඛිතව ඇරියා වාර්තාවේ පිටපතුත් එක්ක. අත්සන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. දවස් හතක් ඇතුළත අත්සන් කරන්න කියලා. ඒ අනුව මේ වනවිට සාලිය මැතිව් අත්සන් කරලා තියෙනවා. නවවැනිදා වෙද්දී මිස්බා මහත්තයා අත්සන් නොකළොත් අපි තියෙන අත්සන් සමඟ වාර්තාව බාරදෙනවා.

කමිටුවට මුදල් ප්‍රතිපාදන සහ වෙනත් භෞතික වශයෙන් තිබුණු බාධා මොනවාද?
කාර්යාලය පවත්වාගෙන ගියේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ. ඉතා අවම පහසුකම් යටතේ තමයි කාර්යාලය පවත්වාගෙන ගියේ. අඩු තරමේ අපට එකට ඉඳගන්න මේසයක්වත් තිබුණේ නැහැ. ඒ ඇතුළේ තිබුණේ ප්‍රමාද කිරීමේ වුවමනාවක්. අපට පරිවර්තකයන් දෙන්නායි හිටියේ. තව දෙන්නෙක් ඉල්ලුවාට තවමත් ලැබුණේ නැහැ. ඒ පාර මම කලින් වැඩකළ අමාත්‍යාංශයෙන් දෙන්f නක් ඉල්ලාගත්තේ. ඊළඟට පරිවර්තනය පරීක්ෂා කරන්න දහදෙනෙක් ඉල්ලුවාම ඒකත් දුන්නේ නෑ. ඒ පාර උපුල් කුමාරප්පෙරුම මහත්තයා එයාගේ කනිෂ්ඨ නීතිඥවරියක් ගෙන්වා ගත්තා. අගෝස්තු මාසේ තිස් එක තමයි කාලය ඉවර වුණේ. ඒ කාලය දික් කරන්න ලියුම ගැහුවේ ගිය සතියේ.
අපි දිස්ත්‍රික් රැස්වීම්වලට ගියාම දීමනා ගෙවීම්වලත් ප්‍රශ්න තිබුණා. හැබැයි ඒක අපට ප්‍රශ්නයක් නැහැ. මොකද අපට කවුරුහරි කීවා නම් මේක නොමිලේ කරන්න කියලා, අපි මේ වුවමනාවෙන්ම මේක කරනවා ගරු කටයුතු සේවයක් විදියට. මොකද මේ අපි රාජ්‍ය සේවයෙන් උපයාගත්ත දැනුම නිසා. හැබැයි මෙතැන කරපු ගෙවීම් ඉතා අඩුයි. ඒකෙන් අපේ වුවමනාව අඩු නොවුණත් ඒක කළේ අපට මේක එපා කරන්න වෙන්න පුළුවන්. අපි මේක බාරදෙන්න නියමිත වෙලා තිබුණු දවසේ අමාත්‍යාංශ ලේකම් සහ සහකාර ලේකම්වරයා වැඩට ආවේ නැහැ. මේක ප්‍රමාද කිරීමේ පැහැදිලි වුවමනාවක් තිබුණා.
පනතේ පරිවර්තන ගැන කියන්නේ නැහැ. ඉස්සෙල්ලා කමිටුවේ වාර්තාව මුලින් දුන්නේ සිංහලෙන්. අනෙක්වා දුන්නේ පස්සේ. සිතියම් සංග්‍රහය දුන්නෙත් මාස දෙකකට විතර පස්සේ. හැබැයි අපි දන්නවා ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියත්, කමිටුවේ දෙමළ සාමාජිකයෙකු සිටීමත් නිසා අපි දෙමළ පරිවර්තනය දෙන්න බලාපොරොත්තු වුණා. හැබැයි ඒක අනිවාර්ය නැහැ.

මේ ප්‍රශ්න මීට කලින් නොකීවේ ඇයි?
මම අවුරුදු ගණනක් රාජ්‍ය සේවයේ වැඩ කළා. අපට අරවා, මේවා අඩුයි කියලා අඬන්න ඕනෑ නැහැ. ඒවා හොයන්න තමයි අමාත්‍යාංශයට ලේකම් කෙනෙක් ඉන්නේ. අන්තිම දවස්වල පරිගණක මදි වුණා.
අනෙක පරිගණක පුදුම විදියට කැඩෙනවා. හිටපු ගමන් දත්ත මැකුණා. අපේ කාර්යාලයේ විතරක් පුදුම විදියට ඉන්ටනෙට් නැතිවුණා. පස්සේ ඛනිජ වැලි සංස්ථාවෙන් පරිගණක පිළිබඳ ප්‍රවීණ නිලධාරියෙක් ගෙන්වාගත්තා ඒවා කැඩුණාම හදන්න. පැෆරල් සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මා. අමාත්‍යාංශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලිඛිතව ඉල්ලුවේ නැහැ. එතැනත් අපි හිරවෙන්න හැදුවා. හැබැයි අපි බයවුණේ නැහැ, අපට ප්‍රවීණම නීතීඥවරුන් තුන්දෙනෙක් හිටියා. පස්සේ ෆයිසර් මුස්තාෆා ඇමතිවරයාගෙන් ආ නීතිඥවරයා කිව්වා අපේ වැරැද්දෙන් මේක ප්‍රමාද වුණා කියලා. ඒ විදියට හිතාමතා ප්‍රමාදයේ වැරැද්ද අපේ පිට පවරන්න උත්සාහ කළා. ඒ නිසා තමයි අපි මේ ගැන කතා කළේ.

මැතිවරණය කල් දැමීමේ උත්සාහ ගැන අදහස මොකක්ද?
අපි දන්නවා මැතිවරණ කල් දැමූ අවස්ථා. පළවැනි අවස්ථාව හැත්තෑපහේ, හැත්තෑවේදී ශ්‍රීලනිපයට බලය දුන්නේ අවුරුදු පහකට. හැත්තෑදෙකේදී අලුත් ව්‍යවස්ථාව සම්මත කරලා එතැන ඉඳන් පහක් කළා. වැඩිපුර හිටපු අවුරුදු දෙකේ විශාල ප්‍රශ්න ඇතිවුණා. ආණ්ඩුව අපකීර්තියට පත්වුණා. වාමාංශික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුණා. ආණ්ඩුව ඇතුළේ හිටපු ප්‍රගතිශිලී කොටස් ඉවත්වුණා. ඒ අය වෙනම ඡන්දය ඉල්ලුවා. අන්තිමේ ගොඩක් තැන්වල යූඇන්පියේ ඡන්දවලට වඩා මේ දෙගොල්ලන්ගේ ඡන්ද එකතුවුණාම වැඩියි. අන්තිමේ ජේආර් ජයවර්ධන මැතිතුමාට හයෙන් පහක බලයක් ආවා. ඒ ආණ්ඩුව අසූදෙකේ ජනමත විචාරණයක් තියලා ආයේ ඡන්ද කල්දැම්මා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අසූනවයේ කලබල, උතුරේ සිවිල් යුද්ධය වගේ දේවල් ඇතිවුණා. මැතිවරණ කල් දැමීමේ පාපයට අපට හවුල් වෙන්න බැහැ.

සීමා නිර්ණය හැර තව කරන්නට දේවල් තියෙනවා නේද?
සමානුපාතික ක්‍රමයට පත්කරගන්නා සීයට තිහ ගැසට් කරන්න ඕනෑ. ඊට අමතරව පනතේ කුඩා සංශෝධන 58ක් තියෙනවා. ඒවා කරන්න පුළුවන්කම තිබුණත් තවම කරලා නැහැ. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් කරන්නට තියෙන සංශෝධන එකින් එක දන්වලා තියෙනවා. ඒවා ගැසට් කරන්නයි තියෙන්නේ. පෙනෙන හැටියට ඒකටත් කාලයක් ගන්න ඉඩ තියෙනවා.

ගිය අවුරුද්දේ මාර්තු දෙන්නට තිබුණු වාර්තාව මෙතරම් කල් ගත්තේ ඇයි?
මුලින්ම කල් ගත්තේ මාස තුනක් විතරයි. හැබැයි කාලය හොඳටම මදි. අපි ඒ නිසා අගෝස්තු තිස්එකට කල් ගත්තා. හැබැයි අගෝස්තු තිස්එකටත් අමාරු වුණා. මොකද අලුතින් වාර්තාවක් හදනවාට වඩා තියෙන වාර්තාවක් නිසා වැඩියෙන් අමාරුයි. ඔය අතරේ ජනාධිපතිවරයා කීවා 2016දී මැතිවරණය තියන්නේ නැහැ කියලා. ඒ නිසා අපට තේරුණා එතරම් වේගයෙන් දුවන්න ඕනෑ නැහැ කියලා. ඒ අතරේ ඇමතිතුමා අපට ඇඟෙව්වා මේක යම් ප්‍රමාණයක් හෙමින් කරන්න කියලා. එයා එහෙම කියලා මාධ්‍යවලට කීවා අපි කල් ඉල්ලුවා කියලා.

දැන් මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු තියෙනවා කියලා පත්තරවල වාර්තා දාන්න පටන් අරගෙන. එහෙම අදහසක් සමාජගත වුණේ කොහොමද?
අපට බලය නැහැ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. අපට පුළුවන් තියෙන නිර්ණායක යටතේ සීමා නිර්ණය කරලා දෙන්න විතරයි. ඒ නිසා අපේ වැරදි විදියට උලුප්පන්න ගන්නා උත්සාහන් ඡන්දය කල් දාන්න ගන්න උත්සාහයන් පමණයි. පළාත් පාලන ක්‍රමයට ආවේණික අඩුපාඩු තියෙනවා. අපේ වාර්තාවට හෝ අපේ විෂය පථයට කිසිසේත් අදාළ නැති වුණත් අපට නිරීක්ෂණය කරන්න ලැබුණා කොට්ඨාස මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු තියෙන බව. සමානුපාතික ඡන්ද ක්‍රමය තමයි ලෝකේ ඉදිරිගාමී මැතිවරණ ක්‍රමය. කොට්ඨාස ක්‍රමය කියන්නේ පැරණි ක්‍රමය. එතැන ඉඳන් ඉදිරියට ආ අපි ඒක තව වැඩි දියුණු කරනවා මිසක් ආයේ පස්සට යන්න ඕනෑ නැහැ. අපි දන්න විදියට සමානුපාතික ක්‍රමය ගැන තියෙන ප්‍රශ්නය තමයි අධික ලෙස වියදම් කරන්න සිදුවීම නිසා මුදල් තියෙන අයට ඉඩ ලැබීම. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා රූපවාහිනී වැඩසටහනකදී කීවා තමන් ඡන්දයට රුපියල් මිලියන හයසීයක් වියදම් කළා කියලා. හැබැයි ඒක නියාමනය කරන්න පුළුවන්. ඡන්දයට වියදම් කරන්න පුළුවන් මුදලේ සීමා යොදන්න ඕනෑ. ඒ වගේම ඡන්දය ඉවර වුණාම වියදම් වාර්තා ඉදිරිපත් කරන්න ඕනෑ. අනෙක් අතට දැන් තියෙන ආසන වුණත් වෙනසක් නැහැ. පරණ ආසනය කියන එක දැන් හීනයක් වගේ. මේක ඇතුළේ සුළු පක්ෂ නැති කිරීමේ සැඟවුණු වුවමනාවකුත් තියෙන්න ඇති. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ.
සමහර තැන් තියෙනවා පළාත් පාලන ආයතන ඉහළට ගෙනෙන්න ඕනෑ. හොඳම උදාහරණය කිළිනොච්චිය. කිළිනොච්චි පාලනය වෙන්නේ කරච්චි ප්‍රාදේශීය සභාවෙන්. කිළිනොච්චි කියන්නේ විශාල දියුණු නගරයක්. ඒ නිසා කිළිනොච්චි කඩලා දැන් මහ නගර සභාවක් කරන්න ඕනෑ. මාතර වැලිගමත් ඒ වගේ. විශාල ප්‍රාදේශීය සභාවක්. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් තියෙනවා. අඹගමුව දෙලක්ෂ තිස්හයදාහක් ඡන්ද තියෙනවා. එතැනින් සීයට අසූවක් වතු දෙමළ ජනතාව ඉන්නේ. හැබැයි ග්‍රාම නිලධාරී වසම් වැඩිපුර තියෙන්නේ සිංහල ජනතාවට. ඒවා හැදෙන්න ඕනෑ. ඒවා ක්‍රමයේ තියෙන ආවේණික අඩුපාඩු. හැබැයි ඒක පිට දාලා ඡන්දය තවත් කල් දාන්න බැහැ. මේ ක්‍රමයෙන් කරන්න බැරි නම් පරණ මැතිවරණ ක්‍රමය අනුව හරි ඡන්දය පවත්වන්න ඕනෑ.

දැන් අගමැතිවරයා කියලා තියෙනවා වාර්තාව යළිත් පක්ෂවලට පෙන්වන්න ඕනෑ කියලා. එහෙම කරන්න අවශ්‍යතාවක් තියෙනවාද?
එහෙම අවශ්‍යතාවක් නැහැ. මේ කමිටුව පත් කළේම පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විතව. නියෝජනය වෙලා තියෙන හින්දා ආපහු එයාලා ගාවට යන්න අවශ්‍යතාවක් නැහැ. මේක පක්ෂවලට යැවීමේ සැලසුමක් තියෙන්නේ ආයෙමත් ඡන්දය කල් දාන්න. දැන් මේකේ අඩුපාඩු තියෙනවා කියලා තවත් ඡන්දය කල් දාන්න පුළුවන්. ලංකාවේ පක්ෂ හැටහතරක් තියෙනවා. දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හතර තමයි නියෝජිතයෝ පත් කළේ. ඡන්දය කල් දාන්නට දැන් සන්ධානගත වෙලා ඉන්න අනෙක් පක්ෂ කියන්න පුළුවන් අපේ නියෝජිතයෝ නැති නිසා එයාලාගේ අදහස් ඉදිරිපත් කරන්න ඕනෑ කියලා. මේ සියල්ල පිටිපස්සේ තියෙන කතාව ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාව.

අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් බාරදෙන්න කියලා තිබුණා නේද?
අපි අගමැතිවරයාට බාරදෙන්න අවස්ථාව ඉල්ලුවා කියලා තිබුණා. හැබැයි එහෙම අපි ඉල්ලීමක් කළේ නැහැ. අගමැති කාර්යාලයෙන් දාපු ප්‍රවෘත්ති නිවේදනයේ තිබුණු කරුණු වැරදියි. අපේ විෂය පථයට අයිති නොවන මැතිවරණ ක්‍රමය ගැන අදහස ගැන එයාට නෝට් එකක් හදලා දෙන්න කිව්වා. අපි අගමැතිවරයාට ඒ ගැන වාර්තාවක් දෙනවා.■