අන්ත හරිතවාදියකු නොවී සැබෑ පරිසරවේදියකු වූ අනිල් අගර්වාල්


siwmansala

ඉන්දියාවෙන් මතු වී සමස්ත තුන්වන ලෝක යේම (එනම් ගෝලීය දකුණෙහි) පාරිසරික චින්තනයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අනිල් අගර්වාල් (Anil
Agarwal, 1947-2002) අකාලයේ මියගොස් මේ මාසයට 15 වසරක් පිරෙනවා.
නවීන විද්‍යාත්මක දැනුම, ගාන්ධියානු දර්ශනය හා ප්‍රබල සන්නිවේදන හැකියාවන් සංකලනය කිරීම හරහා අනිල් සිය රටේත්, ලෝකයේත් තිරසාර සංවර්ධනය සංවාදයන්ට දැවැන්ත දායකත්වයක් ලබා දුන්නා.
වසර 54ක කෙටි ජීවිත කාලයක් තුළ ඔහු මාධ්‍යවේදියකු, පර්යේෂක යකු, සමාජ ක්‍රියාකාරියකු හා චින්තකයකු ලෙස භූමිකා ගණනාවක් රඟපෑවා. කෙළින් කථා කරන, තීක්‍ෂ්ණ එහෙත් සානුකම්පිත මනසකින් යුතුව සන්නිවේදනය කරන හා විවෘත මනසකින් ප්‍රශ්න විග්‍රහ කරන අයකු ලෙස අනිල්ගේ ජීවන කාලයේ අවසාන දශකයක පමණ කාලයක් මා ඔහු හඳුනාගෙන සිටියා.
චින්තකයකු ලෙස ඔහු කලකට ඉහත කී දේ වඩාත් වැදගත් ලෙසින් මතුව එන්නේ අදයි. අනිල් අගර්වාල් චින්තනය තෙවන ලෝකයටම තවමත් මග පෙන්වන්නේ ඒ නිසායි.
අනිල් උපන්නේ ඉන්දියාව නිදහස ලැබූ 1947 වසරේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් නුවර. ගංගා නදී මිටියාවතේ පිහිටි කාන්පූරය අද වන විට බෙහෙවින් කාර්මිකකරණය වූ හා පරිසර දූෂණයන්ට ලක් වූ නගරයක්.
කාන්පූර්හි ඉන්දියානු තාක්‍ෂණ විද්‍යාලය (IIT Kanpur) නම් ප්‍රකට සරසවියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවකු ලෙස 1972දී සුදුසුකම් ලත් අනිල් එකී වෘත්තික මාවත වෙනුවට පත්‍ර කලාව තෝරා ගත්තා. 1973දී එරට ප්‍රධානතම පුවත්පතක් වන හින්දුස්ථාන් ටයිම්ස් පත්‍රයට බැඳුණේ එහි විද්‍යා වාර්තාකරු හැටියටයි.
1970 දකය, ඉන්දියාවේ පාරිසරික ජනතා ව්‍යාපාරයන් පිබිදී ආ කාලයයි. ආර්ථික සංවර්ධනය හා පරිසර සංරක්‍ෂණය අතර නිරන්තර ගැටුම වඩාත් ප්‍රබල ලෙස මතුව ආයේත් මේ වකවානුවෙයි. මේ ප්‍රවණතා ගැන වාර්තා කළ පුරෝගාමී මාධ්‍යවේදීන් කිහිප දෙනා අතර අනිල් අගර්වාල් සිටියා.
අනිල් මාධ්‍යකරණයට පිවිසි 1973දීම ඉවක් බවක් නොමැතිව වනාන්තරවල ගස් කැපීමට එරෙහිව ගස් බදා ගැනීමේ චිප්කෝ ආන්දෝලන් (Chipko
Andolan) නම් ජනතා උද්ඝෝෂණ ව්‍යාපාරය පැතිර ගියා. එහි මුල් තැන ගත්තේ ගැමි කාන්තාවන්. නිලධාරීන්ට හා ව්‍යාපාරිකයන්ට සෘජුවම අභියෝග කළ මේ විරෝධතාවන්ට තුඩුදුන් සමාජ හා ආර්ථික පසුබිම් සාධක ගවේෂණය කරන්නට තරුණ අනිල් යොමු වුණා.
සොබා සම්පත්වලින් නොඅඩු ග්‍රාමීය ඉන්දියානු ප්‍රදේශවල දුගී බව බෙහෙවින්ම හමු වූයේ ඇයි? දුගී ජනයා පණ කෙන්ද රැක ගැනීමට කරන දෛනික අරගලයේදී සොබා සම්පත්වලින් සොච්ච මක්වත් භාවිත කරන්නට ඉඩ නොදෙන දරදඬු නීති රීති හා නිලධාරිවාදයන් මොනවාද? පුංචි මිනිසුන්ට සොබා සම්පත් පරිහරණයට තහංචි පනවන රාජ්‍ය ප්‍රතිපත්තිම ඇති හැකි අයට සම්පත් රිසි සේ පරිභෝජනයට ඉඩ සලසන ව්‍යුහමය අසමානතා නිමා කළ හැක්කේ කෙසේද?
මෙවැනි මහා ප්‍රශ්නවලට පිළිතුරු සොයා යෑමට අනිල් සිය තාක්‍ෂණික දැනුම හා සංවේදී මනස යොදා ගත්තා. ගස් බදා ගැනීම සංකේතාත්මකව ප්‍රබල ක්‍රියාවක් වූවත්, එය මාධ්‍යවලට හොඳ රූපමය ප්‍රවෘත්ති ජනනය කළත්, ගස් බදා ගන්නට ග්‍රාමීය ජනයා පෙළඹ වූ පසුබිම් සාධක විග්‍රහ කිරීමේ වැදගත්කම තරුණ වියේදීම ඔහු තේරුම් ගත්තා. එනම් පුවත් සිරස්තල මවන සිදුවීම්වලින් ඔබ්බට යෑමයි.
හැම ගසක්, සතෙක් හා වනයක්ම අනිවාර්යයෙන් රැක ගත යුතුයි යන අන්තවාදී හරිතවේදී ස්ථාවරයෙන් අත්මිදී අනිල් බුද්ධිමය වශයෙන් බොහෝ දුරක් ගමන් කළා.
මිලියන 400කට අධික ඉන්දියානු දුගී ජනයාට අවම ජීවන තත්ත්වයක් ලබාදීමට යම් සීමා තුළ සොබා සම්පත් පරිභෝජනයට ඉඩ සලසන අතර මිනිස් අවශ්‍යතා හා පාරිසරික සංරක්‍ෂණය තුලනය කර ගත හැක්කේ කෙසේද? මෙය ඔහු ජීවිත කාලයම අධ්‍යයනය කළ හා ප්‍රවර්ධනය කළ මුඛ්‍ය තේමාව බවට පත් වුණා.
දේශීයත්වය අගය කළත් ඔහු කිසි දිනෙක තම රටට හා සංස්කෘතියට කොටු වූ ළිං මැඩියකු වූයේ නැහැ. 1970 දශකය අගදී ඔහු ලන්ඩනයේ පිහිටි පරිසරය හා සංවර්ධනය පිළිබඳ ප්‍රකාශන ආයතනයක් වූ Natureහි සේවය කර ජාත්‍යන්තර අත්දැකීම් ලැබුවා. එසේම වසර ගණනක් පුරා ලොව ඉහළම පෙළේ විද්‍යාත්මක සඟරාවක් වන භ්එමරු ප්‍රකාශනයේ ඉන්දියානු වාර්තාකරු ලෙස ක්‍රියා කළා.
හින්දි බස හොඳින් දැන සිටියත් අනිල් සිය විද්‍යා හා පාරිසරික ලේඛනයේ යෙදුණේ ඉංග්‍රීසියෙන්. සමස්ත ඉන්දියාව එකවර ඇමතීමට හැකි එකම පොදු බස එය නිසාත්, සිය රටේ මෙන්ම ලෝකය පුරා සිටින පාඨකයන්ට සමීප විය හැකි මාධ්‍යය නිසාත් ඔහු ඉංග්‍රීසිය තෝරා ගන්නට ඇති.
ඕනෑම සංකීර්ණ සංකල්පයක් එදිනෙදා ඉංග්‍රීසියෙන් සරලව විග්‍රහ කිරීමේ හැකියාව ඔහුට තිබුණා. එසේම කරුණු ගවේෂණයෙන් පසු සම්මතයට එරෙහිව යන, ජනප්‍රිය නොවන මතයන් ප්‍රකාශ කිරීමේ ධෛර්යය හා හැකියාව ඔහු සතු වුණා.
උදාහරණයකට දේශීය වූත්, ග්‍රාමීය වූත් සියල්ල සුන්දරයි යන රොමැන්ටික්, සිල්ලර මතවාදයන්ට ඔහු යොමු වූයේ නැහැ. දේශීයත්වය අගය කරන අතර සාම්ප්‍රදායික ඉන්දීය සමාජයේ අමිහිරි හෝ බිහිසුණු පැතිකඩ වන ගතානුගතිකත්වය, පසුගාමී බව, මිථ්‍යා විශ්වාස, අන්ධ භක්තිය හා කුලවාදය ආදිය ඔහු නොබියව විවේචනය කළා.
1980 අනිල් අගර්වාල් හා සගයන් කිහිප දෙනකු එක්ව විද්‍යාව හා පරිසරය පිළිබඳ කේන්‍ද්‍රය (Centre for Science and Environment) හෙවත් ක්‍ීෑ පිහිටුවා ගත්තා. පර්යේෂණ, ගවේෂණ හා සන්නිවේදන අරමුණු කර ගත් රාජ්‍ය නොවන සංවිධානයක් වූ සීඑස්ඊ, ඒ දක්වා එරට පැවති පාරිසරික සංවිධානවලට වඩා පැහැදිලිවම වෙනස් මගක ගියා.
වනාන්තර හා වනජීවීන් රැකීමේ අරමුණින් ක්‍රියාත්මක වූ වෙනත් බොහෝ හරිත සංවිධාන, දුගී ජනයාගේ ප්‍රශ්න නොතකා සිටියා. සමහරුන් දුගී විරෝධී පිළිවෙත් අනුගමනය කළා. එහෙත් සීඑස්ඊ මුල පටන්ම සොබා සම්පත්වලට ඇති ජන අයිතිය පිළිගනිමින්, දුගී ජනයාගේ ජීවිකා හා ජීවන අරගලය ගැන විශේෂ අවධානය යොමු කළා.
උදාහරණයකට වනජීවී හා වන සංරක්‍ෂණය සඳහා රක්‍ෂිත ප්‍රදේශ (protected areas) ප්‍රකාශයට පත් කොට ඒවා රාජ්‍ය දෙපාර්තමේන්තු යටතේ කළමනාකරණය කිරීමේ අධිරාජ්‍යවාදී ක්‍රමවේදය අනිල් දැඩි ලෙස විවේචනය කළා. වනාන්තර තුළ හා ඒ අසබඩ පාරම්පරිකව ජීවත්වන ජනයාට එවන් රක්‍ෂිතවලින් කිසිදු සම්පතක් ලබා ගැනීම නීති විරෝධී කිරීම බෙහෙවින් අසාධාරණ බව ඔහු කියා සිටියා.
රක්‍ෂිත ප්‍රදේශ කළමනාකරණයට ගාඞ්ලා සහ තුවක්කු යොදාගැනීම(“Guns and Guards” approach) අධිපතිවාදී වූත්, අසාර්ථක වූත් ක්‍රමවේදයක්. ඒ වෙනුවට යම් සීමාවලට යටත්ව ප්‍රාදේශීය ප්‍රජාවන්ට සොබා සම්පත් උකහා ගන්නට ඉඩ දෙමින්, එම සම්පත් සංරක්‍ෂණයට ඒ ජනයාගේ සහාය ලබා ගත හැකි බවට අනිල් තර්ක කළා.
දශක ගණන් පැරණි රක්‍ෂිත කළමනාකරණ සම්ප්‍රදායන්ට අරක්ගත් නිලධාරීන් හා
මෙන්ම එම රක්ෂිතවලට නිවාඩු ගත කිරීමට ටි්‍රප් යන්නට පුරුදුව සිටි මධ්‍යම පන්තික
නාගරික හරිතවේදීන් ජනතාවාදී ක්‍රමවේදය පිළිගත්තේ නැහැ. එහෙත් අනිල් 1980 ගණන්වල යෝජනා කළ මේ ක්‍රමවේදය දැන් වෙනත් ඝර්ම කලාපීය රටවල් ගණනාවක ක්‍රියාත්මක වනවා.
රොමැන්ටික් උද්‍යොග පාඨ හා ආවේගයන් මත පමණක් පදනම් වෙමින් ක්‍රියාත්මක වූ ඉන්දියානු පාරිසරික ජනතා ව්‍යාපාරයන් වඩාත් විද්‍යාත්මක හා සාක්‍ෂි මත පදනම් වූ මට්ටමකට ගෙනඒමට අනිල් හා සහෘදයන් සමත් වුණා.
1982 පටන් ඉන්දියාවේ පරිසරය පිළිබඳ වාර්ෂික පුරවැසි වාර්තා (Citizens’ Reports on State of India’s Environment)  පළ කිරීමට සීඑස්ඊ පටන් ගත්තා. ආපදා කළමනාකරණය, නාගරික පාරිසරික ප්‍රශ්න, වාත දූෂණයේ සැබෑ තත්ත්වය ආදි තේමා යටතේ පළ වූ මේ වාර්තා එරට රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම ජනමතයටද ප්‍රබල බලපෑමක් කළා.
නිරවුල් මනසක්, අදීන චින්තනයක් මෙන්ම කා සමඟත් සංවාද කිරීමේ හැකියාවක් අනිල්ට තිබුණා. ඔහු රාජ්‍ය ප්‍රතිපත්ති හා ව්‍යාපාරිකයන්ගේ ඇතැම් ක්‍රියා දැඩි සේ විවේචනය කළත්, අවස්ථාව ලද විටෙක දේශපාලකයන් හා ව්‍යාපාරික නායකයන් සමඟ වාද විවාද කළා.
සියලු සංවාද ප්‍රසිද්ධ අවකාශයේ කිරීමට වගබලා ගත්තා. රහසිගත ඩීල් කිසිවක් තිබුණේ නැහැ. මේ නිසා අනිල් අතින් නිර්දය විවේචනයට ලක්වූවන් පවා ඔහුගේ අවංක බව හා කැපවීම ප්‍රශ්න කළේ නැහැ.
ඉන්දියාවේ පරිසරය පිළිබඳ වාර්ෂික පුරවැසි වාර්තා කියැවූ අගමැති රාජීව් ගාන්ධි, 1986දී ඉන්දියානු කැබිනට් මණ්ඩලය අමතා දේශන කිරීමට අනිල්ට ඇරැයුම් කළා. මෙය දුර්ලභ ඇරියුමක්.
ඉන්දීය රජයටත්, අමාත්‍යවරුන්ටත් අනිල් කීවේ ගාන්ධිතුමන්ගේ ග්‍රාම ස්වරාජ්‍ය සංකල්ප නූතන යුගයට සරිලන ලෙස අදාළ කර ගන්න කියායි. ගාන්ධිගේ ලිපි ලේඛන සමීපව අධ්‍යයනය කළ අනිල් දුගී ජනයාට හිතකර සම්පත් පරිභෝජන පිළිවෙත් රැසක් ඒ හරහා හඳුනා ගන්නට සමත් වුණා.
දැනුම ගවේෂකයකු ලෙස අනිල් ඉන්දියාව පුරාම සංචාරය කළා. විශේෂයෙන්ම දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල සම්පත් පරිභෝජන රටා ගැනත් ප්‍රජා මූලික පරිසර සංරක්‍ෂණ උත්සාහයන් ගැනත් ඔහු අධ්‍යයනය කළා.
ඉන්දියාවේ වැසි වතුර එකතු කිරීමේ දේශීය දැනුමක් හා තාක්‍ෂණයක් කලක සිට පැවතියා. නූතන වාරි ඉංජිනේරුවන් අවඥාවට ලක් කළ මේ දේශීය දැනුම අනිල් හා සගයෝ ගවේෂණය කළා. සාම්ප්‍රදායිකව ජලය එක් රැස් කොට ගොවිතැනටත්, ගෙදරදොර අවශ්‍යතා සඳහා පාවිච්චි කරන ක්‍රම (traditional knowledge in
rainwater harvesting) ගැන විශේෂ අවධානයක් යොමු කළා.
තැන තැන විසිර පැවති මේ දේශීය දැනුම ලේඛනගත කොට, තක්සේරු කිරීමකින් පසු නාගරික විද්වතුන්ට හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට ලැබෙන පරිදි මාධ්‍ය ලිපි හා පොත්පත් රචනා කළා. රටේ බොහෝ ප්‍රදේශවල ජල හිඟයට හා නියඟයට බිම් මට්ටමේ විසඳුම් මේ දේශීය දැනුම හරහා අඩු වියදමින් ලද හැකි බව ඔහු පෙන්වා දුන්නා.
ග්‍රාම සංවර්ධනයට අපේ රටේ මෙන්ම ඉන්දියාවේත් කලක් තිස්සේ කෙරුණේ රාජ්‍ය තන්ත්‍රය හරහා සහනාධාර හා තාක්‍ෂණික දැනුම යොමු කිරීමයි. මෙහිදී මහජන මුදල් බොහොමක් අපතේ ගිය අතර, නිසි දැක්මක් නැති බැවින් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති ග්‍රාමීය ජනයාගේ ජීවන මට්ටම් නගා සිටුවීමට දායක වුණේ නෑ. පාරවල්, පාලම්, බෝක්කු හා පාසල් හැදුවත් දුගී දුප්පත්කම අඩු වුණේත් නැහැ.
සොබා සම්පත් කළමනාකරණය පදනම් කරගත් ග්‍රාම සංවර්ධන දැක්මක් 1989දී අනිල් ලියූ Towards Green Villages නම් ග්‍රන්ථයෙන් යෝජනා කෙරුණා. පරිසර සම්පත් නොනසා ඒවා ජනතාවට පරිභෝජනය කිරීමට දීම  හරහා ජීවන මට්ටම් නගා සිටුවන ක්‍රමවේදයක් එහි තිබුණා. පසු කලෙක එරට ග්‍රාම සංවර්ධන ප්‍රතිපත්ති මේ නිසා වෙනස් වුණා.
ඉන්දියාවේ නගරවලත් ගම්වලත් වාතය, ජලය හා පස එන්න එන්නම දූෂණය වන බව 1980 දශකයේ පටන් පෙනී ගියා. 1991 එරට ආර්ථිකය විවෘත කිරීමත් සමඟ මේ ප්‍රවනතා උත්සන්න වුණා.
එහෙත් ගතට දැනෙන දේ සාක්‍ෂි සමග කීමට අනිල් ඕනෑ වුණා. ඒ සඳහා පාරිසරික තත්ත්වයන් නිරීක්‍ෂණයට අවශ්‍ය අංග සම්පූර්ණ රසායනාගාර පහසුකම් ඔහු සීඑස්ඊ තුළ පිහිටවූවා. රජයේ හෝ සරසවිවල රසායනාගාර නොයන තැන්වලට ගොස් මිනුම් කිරීමට ජංගම රසායනාගාර කණ්ඩායමක් ද බිහි කළා.
රටේ පාරිසරික තත්ත්වයන් දිගටම අයහපත් වන බව දත්ත හා සාක්‍ෂි සමඟ පෙන්වා දීමට ඔහු සමත් වුණා. මෙයට දැක්විය යුතු ප්‍රතිපත්තිමය ප්‍රතිචාර ගැන ඔහු නිතරම කථා කළා. ලිපි ලිව්වා. කැම්පේන් කළා.
අනිල් අගර්වාල් විද්‍යාත්මක චින්තනය හා පරිසර දැනුම රටටත් ලෝකයටත් බෙදන්නට 1992දී Down to Earth නම් දෙසතිපතා සඟරාව ඇරඹුවා. එය ජාත්‍යන්තර ප්‍රමිතියට වසර 25ක් තිස්සේ අද දක්වාත් පළ වනවා. එහි ආරම්භක කතුවරයා ලෙස සිය රටේත්, ලෝකයේත් දැවෙන සංවර්ධන ප්‍රශ්න ගැන ඔහු කෙටියෙන්, ව්‍යක්තව ලියූ කතු වැකි අද දක්වාත් ඒ මාතෘකා ගැන හරවත් විග්‍රහයන් ලෙස සැලකිය හැකියි.
අනිල් බුද්ධිමය නායකත්වය දුන් ලෝක මට්ටමේ මහා ප්‍රශ්න දෙකක් නම් දේශගුණ විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම සහ කෘෂි රසායන අධිභාවිතය / අවභාවිතය පිටු දැකීමයි. මේ ක්‍ෂේත්‍ර දෙකෙහි ඔහුගේ දැවැන්ත සෙවණැල්ල අද දක්වාත් පවතිනවා. ඒ ගැන ඉදිරි සතියක කථා කරමු.■