Untitled-1

Untitled-1

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම


ivan

වික්ටර් අයිවන්

යහපාලන ආණ්ඩුව හදමින් තිබෙන ව්‍යවස්ථාව පුනරුදය ව්‍යාපාරය ගොඩනැගීම සඳහා විවිධ ප්‍රදේශවල කෙරෙන මූලික සාකච්ඡාවලදී ප්‍රශ්න කිරීම්වලට හා අදහස් පළකිරීම්වලට ලක්වෙමින් තිබෙන විශේෂ මාතෘකාවක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාව අප රට කෙරෙහි බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් වන නිසා සම්පාදනය කෙරෙමින් පවතින ව්‍යවස්ථාව ගැන කරුණු සලකා බැලීම ඉතාම වැදගත් විය.
ව්‍යවස්ථා සම්පාදන විෂයේදී අප රටට තිබෙනුයේ යහපත් වාර්තාවක් නොව ඉතාමත් අයහපත් වාර්තාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය සේ ම මූලික නීතිය ලෙසද සැලකිය හැකිය. එය රාජ්‍ය පාලනය පිළිබඳව පුරවැසියන් සමඟ ඇතිකර ගන්නා ගිවිසුමක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා සම්පාදනයක් පුරවැසියන්ගේ පොදු යහපත සඳහා කෙරෙන නීති සම්පාදනයක් විය යුතු අතර එය සැඟවුණු යටි අරමුණුවලින් තොරව අවංකව හා නිසි ගෞරවයකින් යුතුව පොදු යහපත සඳහා කෙරෙන කාර්යයක් විය යුතුය.
එම කාර්යයට නායකත්වය දෙන්නන් තුළ ව්‍යවස්ථා සම්පාදනය හා සම්ප්‍රදායයන් පිළිබඳව ප්‍රමාණවත් තරමේ දැනුමක්ද තිබිය යුතු අතර ව්‍යවස්ථා සම්පාදනය සිදුවිය යුත්තේ ව්‍යවස්ථා සම්පාදනයකදී ආරක්ෂා විය යුතු ප්‍රතිපත්ති හා සම්ප්‍රදායන් ආරක්ෂා කෙරෙන ආකාරයටය. පුරවැසියන් වෙනුවෙන් පුරවැසියන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වයෙන් තොරව කෙරෙන ව්‍යවස්ථා සම්පාදනයන් අතීතයේ තිබුණද ඒ ක්‍රමය වර්තමානයට වලංගු නැත. වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදනයට මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකේ. එය අන්තර්ජාතික වශයෙන් ද පිළිගත් ප්‍රතිපත්තියකි. මහජනයාගේ නියෝජිතයන් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් සීමාවන ව්‍යවස්ථා සම්පාදනයක් පවා වර්තමානයේ හොඳ ව්‍යවස්ථා සම්පාදනයක් ලෙස සැලකෙන්නේ නැත. ව්‍යවස්ථා සම්පාදකයක් හොඳ ව්‍යවස්ථා සම්පාදකයන් වීමට මහජනයාගේ සහභාගිත්වය අනිවාර්ය කොන්දේසියකි. සම්පාදනය කෙරෙන ව්‍යවස්ථාවේ ස්වභාවය හා දර්ශනය පුරවැසියන්ට අවසානයේ නොව ආරම්භයේ සිටම දැනගන්නට හා පෙනෙන්නට තිබිය යුතුය.
ඒ සඳහාද යොදාගත හැකි පිළිගත් ක්‍රමවේදයක් නවීන ව්‍යවස්ථා සම්පාදනයට එකතු වී තිබේ. මුලදී සිදුවිය යුත්තේ සම්පාදනය කෙරෙන ව්‍යවස්ථාව පදනම් කරගත යුතු මූලික මූලධර්ම හඳුනා ගනිමින් එම මූලධර්ම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමය. එම මූලධර්ම ඇතුළත් ලියවිල්ල මහජනයාට දැනගන්නට සැලැස්විය යුතුය. එය ගොඩනගන ව්‍යවස්ථාවේ මූලික අත්තිවාරම හා මූලික දර්ශනය ලෙස සැලකිය හැකිය. එම මූලධර්ම සැලකිල්ලට ගනිමින් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කෙරෙන සාකච්ඡා ආරම්භ වන්නේ ඉන්පසුවය. ඒ ක්‍රමය යොදාගත් විට මහජනයා විසින් සේ ම අවසානයේ අධිකරණය විසින් ද සලකා බලනුයේ ඇති කරගත් මූලධර්මවලට අනුකූලව ව්‍යවස්ථාව කෙටුම්පත් කර තිබේද යන ප්‍රශ්නයයි.

දකුණු අප්‍රිකාව
නූතන ලෝකයේ හොඳ ව්‍යවස්ථා සම්පාදකයන් සඳහා දැක්විය හැකි හොඳම ආදර්ශ මාදිලිය ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවය. ලෝකයේ තිබෙන සියලුම ව්‍යවස්ථා අතුරින් වඩාත්ම ලිබරල් හා වඩාත්ම නවීන ව්‍යවස්ථාව ලෙස සැලකෙන්නේද එම ව්‍යවස්ථාවය. ඊට ඇතුළත් මානව හිමිකම් ලේඛනය සම්භාව්‍ය මානව හිමිකම් ලේඛනය ඉක්මවා ගිය දියුණු ලේඛනයක් ලෙසද සැලකේ. එය සාමාන්‍ය ජනතාවට තේරුම්ගත නොහැකි නෛතික භාෂාවකින් වෙනුවට සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකි සරල භාෂාවකින් ලියැවුණු එකම ව්‍යවස්ථාව ලෙස ද සැලකිය හැකිය. එම ව්‍යවස්ථාවේ දර්ශනය, ඇතුළත්ව තිබෙන විධිවිධාන හා ඇති කර තිබෙන ආයතන ක්‍රම මහජන හිතකාමී වනවා සේ ම, එම ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේ ද මහජන සහභාගිත්වයට ලොකු බරක් තැබෙන ආකාරයටය.
දකුණු අප්‍රිකාව නව ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නා තැනකට යන්නට පෙර තාවකාලික අතුරු ව්‍යවස්ථාවක් ඇති කරගත්තේය. ඊට ව්‍යවස්ථා සම්පාදනයේදී පදනම් කරගත යුතු, පොදු එකඟතාවක් ඇති කරගෙන තිබූ මූලධර්ම 34ක් ද ඇතුළත් විය. ව්‍යවස්ථාව කෙටුම්පත් කරගත යුතු ආකාරයද, කෙටුම්පත්කරණයේ විවිධ අවස්ථාවලදී එම කෙටුම්පත මහජනයා අතට පත් කළ යුතු ආකාරයද, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මහජනයා සම්බන්ධ කරගත් ආකාරයද, කෙටුම්පත සකස් කොට එය ව්‍යවස්ථාදායකයේ සම්මත කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ යුතු ආකාරයද අවසානයේ ජනමත විචාරණයකට ඉදිරිපත් කොට එහිදී ලබාගත යුතු අවම ඡන්ද අනුපාතිකය ගැනද (අනුමැතිය සඳහා අවශ්‍ය ඡන්ද අනුපාතිකය ලෙස සලකන ලද්දේ සියයට 51ක් නොව සියයට 60කි.) ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු මැතිවරණයක් පැවැත්විය යුතු කාලවකවානුව ගැනද ඉන්පසු අවුරුදු 5ක කාලසීමාවක් සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරගත යුතු ආකාරය ගැනද, එම ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අතර නිල බලතල බෙදාගත යුතු ආකාරය ගැනද එම අතුරු ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබුණි.
ඉන් පෙනෙන්නේ දකුණු අප්‍රිකානු ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනට ඉතා විධිමත් මාර්ග සැලැස්මක් තිබුණු බවය. ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේ ඇති කරගත් මූලධර්ම 34ට අනුකූලවය. අවසාන කෙටුම්පත සම්මත කරගැනීමෙන් පසු අධිකරණයට යොමු කරන ලදි. එහිදී අධිකරණය කළේ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට දායක වන ලෙස ප්‍රසිද්ධ දැන්වීම් මගින් මහජනතාවට දැනුම්දෙමින් ව්‍යවස්ථාව අදාළ මූලධර්ම 34ට අනුකූලව සිදුකර තිබේද යන්න සලකා බැලීමය. එම අධිකරණ ක්‍රියාවලියට දේශපාලන පක්ෂ 5ක නියෝජිතයෝද විවිධ පුද්ගලයෝ 84 දෙනෙක්ද සහභාගි වූහ. මූලධර්ම 11කට අදාළ පරස්පර තැන් අධිකරණය හඳුනාගන්නා ලදි. ව්‍යවස්ථාදායකය අධිකරණ නිර්දේශවලට අනුකූලව ඒවා නිවැරදි කරන ලදි. දකුණු අප්‍රිකාවේ සිදුවූ ව්‍යවස්ථා සම්පාදනය සේ ම ව්‍යවස්ථා සම්පාදන විෂයේදී වැදගත්කමක් වෙනත් සමහර රටවල සිදුවූ ව්‍යවස්ථා සම්පාදනයන් පිළිබඳ තොරතුරු මාගේ ‘නව ව්‍යවස්ථාවක් හදාගැනීම’ යන පොතට ඇතුළත්ය.

ව්‍යවස්ථා සම්පාදනයේ දෝෂ
යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ මට පෙනෙන බරපතළ දෝෂ මේවාය.
1. ව්‍යවස්ථාව සම්පාදනය කෙරෙමින් තිබෙනුයේ ශක්තිමත් හා ඵලදායී ඉදිරි දර්ශනයකින් තොරවය. පරණ ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබෙන්නේ ඇයිද කියන මූලික ප්‍රශ්නයට ආණ්ඩුවට නිල අර්ථකථනයක් තිබිය යුතුය. එහෙත් ආණ්ඩුව එවැනි අර්ථකථනයක් ඉදිරිපත් කර නැත.
2. සාමාන්‍යයෙන් රටක සිදුවන ව්‍යවස්ථා සම්පාදනයකදී ඒ විෂය පිළිබඳව පළපුරුද්දක් හා දැනුමක් ඇති විශේෂඥයන් සහභාගි කරගනී. එහෙත් මෙම ව්‍යවස්ථා සම්පාදනයේදී එම විෂයෙහි අප රටට සිටින (ලංකාවේ හෝ විදේශ රටවල සිටින) විශේෂඥයන් පොදුවේ සහභාගි කරගැනීමක් සිදුවී නැත. ඒ අර්ථයෙන් සිදුවන ව්‍යවස්ථා සම්පාදනය විශේෂඥයන් ලෙස සැලකිය හැකි පිරිසකගේ පරීක්ෂාවට ලක්වෙමින් ඉදිරියට යන ක්‍රියාවලියක් ලෙස සැලකිය නොහැකිය.
3. එසේම ව්‍යවස්ථා සම්පාදනයට අතගසා තිබෙනුයේ ප්‍රධාන මූලධර්ම හඳුනාගෙන ඒ සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමෙන් තොරවය. ඒ අර්ථයෙන් එය මාර්ග සැලැස්මක් නැතිව ඉදිරියට ගමන් ගනිමින් තිබෙන ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකිය. බිහිවන්නට යන්නේ කෙබඳු ව්‍යවස්ථාවක් ද යන්න මහජනයා පමණක් නොව, ව්‍යවස්ථා සම්පාදකයන් පවා දන්නේ නැත. ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවාද නැද්ද යන්න ගැන පවා පොදු එකඟත්වයක් ඇතිවී නැත.
4. ව්‍යවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබාගැනීමට උත්සාහ කරනුයේ ඔවුන් දැනුවත් කරන ක්‍රමයක් මඟින් නොව, ඔවුන් සතුටු කිරීමට අවශ්‍ය වරදාන ලබාදෙන ක්‍රමයක් මඟිනි.
5. ප්‍රංශයේ හැර ව්‍යවස්ථාවක් වර්තමාන නායකයන් සැලකිල්ලට ගෙන ගොඩනගන්නේ නැත. එහෙත් මෙම ව්‍යවස්ථා සම්පාදනය ජනාධිපතිවරයා හා අගමැතිවරයා සැලකිල්ලට ගනිමින් තනන ව්‍යවස්ථාවක් බව පෙනෙන්නට තිබේ.
6. ව්‍යවස්ථා සම්පාදනයකින් ‘ජාතිය’ ගොඩනැගිය නොහැකිය. ව්‍යවස්ථාවකින් කළහැක්කේ ගොඩනගන ලද ජාතියට නෛතික පදනමක් ලබාදීම පමණය. එහෙත් ගොඩනගන ව්‍යවස්ථාව මඟින් ජාතිය ගොඩනැගීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බව පෙනේ.
7. ව්‍යවස්ථා සම්පාදනයකදී පසුගාමී මතවාදී බලවේගයන් සතුටු කිරීම සඳහා එම මතවාද ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ නැත. විය යුතුව තිබෙන්නේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ පසුගාමී මතවාදවලට එරෙහිව කෙරෙන මතවාදී ව්‍යාපාරයක් මඟින් පසුගාමී මත දරන්නන්ගේ අදහස් වෙනස් කරමින් ව්‍යවස්ථාවේ අන්තර්ගතය නවීන හා නූතන තත්ත්වයක තබාගැනීමය. එහෙත් මෙම ව්‍යවස්ථා සම්පාදනයේදී සිදුවෙමින් පවතින බව පෙනෙනුයේ පසුගාමී මතවාදවලට අනුගතවෙමින් එම පසුගාමී මතවාද ව්‍යවස්ථාවට එකතු කරන පිළිවෙතකි. ඉන් පෙනෙන්නේ පසුගාමී මතවාදවලට එරෙහිව මතවාදී අරගලයක නිරතවීමට අවශ්‍ය ඉදිරිගාමී දැක්මක් හෝ අධිෂ්ඨානයක් මෙම ව්‍යවස්ථා සම්පාදනයට නායකත්වය දෙන්නන් තුළ නොමැති බවය.

අවලස්සන ඉතිහාසය
8. මීට පෙරද සඳහන් කර ඇති පරිදි ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි ලංකාවට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයක් මිස කීර්තිමත් ඉතිහාසයක් නොවේ. ව්‍යවස්ථාවක් හදන්නේ කෙටිකාලීන පැවැත්මක් සඳහා නොව දීර්ඝකාලීන පැවැත්මක් සඳහාය. ලංකාව දැන් හදමින් සිටිනුයේ තමන්ගේ පළමු ව්‍යවස්ථාව නොව හතරවැනි ව්‍යවස්ථාවය.
සෝල්බරි ව්‍යවස්ථාව තනන ලද්දේ සුළු වර්ගවල හා සුළු කුලවල අභිලාෂයන් නොසලකා ඩී.ඇස්. සේනානායකයන්ගේ සිතැඟියාවන්ට ගැළපෙන ලෙසය. ඊට මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට අසමත්වීම තමන් අතින් සිදුවී තිබෙන බරපතළ දෝෂයක් බව සෝල්බරි සාමි ඉන් අවුරුදු 14කට පසුව පිළිගත්තේය.
ඉන්පසු 1972දී කොල්වින් සුළු වර්ගවලට පරණ ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ සීමිත ආරක්ෂාව පවා ඉවත් කරමින් නව ව්‍යවස්ථාවක් ඇතිකර ගත්තේද සුළු වාර්ගික පක්ෂවල අදහස් නොසලකා සමඟි පෙරමුණු ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමිනි. ඉන් තවත් අවුරුදු 6කට පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දුන් 1978 ව්‍යවස්ථාව සම්මත කරගත්තේ ව්‍යවස්ථාව සඳහා පොදු සම්මුතියක් ඇතිකර ගැනීමෙන් නොව තමන්ගේ ආණ්ඩුවට තිබුණු හයෙන් පහේ බලය පාවිච්චි කරමිනි. ඉන්පසු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ද 2000දී නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට උත්සාහ කළේ තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්‍ය අඩු ඡන්ද සංඛ්‍යාව මිලදී ගන්නා ප්‍රතිපත්තියක් ඔස්සේය.
ඉන්පසු දැන් යහපාලන ආණ්ඩුව ගොඩනගමින් තිබෙන ව්‍යවස්ථාවට කුමක්වේද යන්න තවමත් පැහැදිලි නැතත් ඊට අවශ්‍ය පාර්ලිමේන්තු එකඟතාව ලබාගැනීමට උත්සාහ කරන බව පෙනෙන්නේ ද මන්ත්‍රීවරුන්ට විශේෂ වරදාන ලබාදෙන ක්‍රමයක් මගිනි. කෙටිකාලීන බව ලංකාව මෙතෙක් තනාගනු ලැබූ හැම ව්‍යවස්ථාවකටම ආවේණික විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකි අතර එම ලක්ෂණයෙන් අත්විඳීමේ හැකියාවක් මේ හදන ව්‍යවස්ථාවට තිබෙන බවක් පෙනෙන්නට නැත.

19 වැනි සංශෝධනය
9. යහපාලන ආණ්ඩුව ලොකු ජයග්‍රහණයක් ලෙස සලකන 19 වැනි සංශෝධනය තිබුණු නරක ව්‍යවස්ථාව වඩා අවුල්සහගත ව්‍යවස්ථාවක් බවට පත් කොට අර්බුද අවස්ථාවකදී රට අරාජික තත්ත්වයකට පත්කිරීමට අවශ්‍ය වටාපිටාවක් ඇතිකර තිබෙන්නේයැ’යි කිව හැකිය. 19 වැනි සංශෝධනයේ නිර්මාතෘවරුන් ඒ මඟින් අපේක්ෂා කළේ අලුත් ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමෙන් තොරව තිබුණු පාර්ලිමේන්තුවට පූර්ණ බලය ලැබෙන ආකාරයට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. ඒ මඟන් ආණ්ඩුක්‍රමයේ ඇතිවන අවුල්සහගතභාවය ඔවුන් සැලකිල්ලට ගත්තේ නැත. අනෙක් අතට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමත විචාරණයකින් ලබන අනුමැතියද අත්‍යවශ්‍ය බව ඔවුන් සැලකිල්ලට ගත්තේ නැත. අවසානයේ එම සංශෝධනය ආණ්ඩුක්‍රමයේ ඇති කර තිබෙන විකෘතිය අර්බුද අවස්ථාවකදී රට අරාජිකත්වයකට තල්ලු කිරීමට පවා හේතුවිය හැකිය. බරපතළ අර්බුද තත්ත්වයක් පවතින අවස්ථාවකදී වුවත් දැන් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. පාර්ලිමේන්තුවේ දැන් තිබෙන බල තුලනය අනුව අගමැතිටද එසේ කළ නොහැකිය. එම විසම තත්ත්වය අර්බුද අවස්ථාවකදී අරාජික තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය.
එම සංශෝධනය නීතිගත කරන තැනකට යන්නට පෙර ව්‍යවස්ථා සම්පාදන විෂය පිළිබඳ පරිචයක් ඇති විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගත යුතුව තිබුණේය. එහෙත් එය ක්‍රියාවට නගන ලද නායකයන් එම ජනප්‍රිය අදහසක් කරතබා ගත්තා විනා ඒ ගැන සොයා බලන තැනකට යෑමට අවශ්‍ය ප්‍රඥාව ඔවුන්ට නොතිබුණේය. නව ව්‍යවස්ථාව සම්පාදනය කෙරෙනුයේද 19 වැනි සංශෝධනයේ දිගුවක් ලෙසය. නව ව්‍යවස්ථා සංශෝධනයේ මොළකාරයා ලෙස ක්‍රියාකරනුයේද 19 වැනි සංශෝධනයේ නිර්මාතෘවරයාය. 19 වැනි ව්‍යවස්ථාව ඇති කරන අවුල්සහගතභාවය තේරුම් ගැනීමට අසමත් වූ පුද්ගලයෙකු නව ව්‍යවස්ථාවකට හරි දර්ශනයක් දෙන්නේ කෙසේද?

පාර්ලිමේන්තුවේ නොදන්නාකම
10. පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථා සම්පාදනයකට අත ගසා තිබෙන්නේ පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රමයේ පිළිගත් මූලික සිද්ධාන්ත උල්ලංඝනය කෙරෙමින් තිබෙන පරිසරයක් යටතේය. ලංකාවේ පාර්ලිමේන්තුව දැන් තිබෙන්නේ පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව මූලික අවබෝධයක් පවා නැති බංකොළොත් තත්ත්වයකය. එවැනි පාර්ලිමේන්තුවක් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද? පාර්ලිමේන්තු හා ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් පිළිබඳව පාර්ලිමේන්තුවට තිබෙන නොදැනුමේ තරම පෙන්නුම් කරන නිදර්ශනයක් මෙසේය.
විධායක බලය මහජනයා විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයෙකුට ලැබෙන ජනාධිපති ක්‍රමයක් තුළ දැනට ක්‍රියාත්මක වන කවර ආකෘතියකදීවත් ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ කටයුතුවලට ඍජු ලෙස සම්බන්ධවන්නේ නැත. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකය අමතන විශේෂ අවස්ථා තිබෙන මුත් පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගිවන්නේ නැත. කවර අවස්ථාවකදීවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අසුන්වල අසුන් ගන්නේ නැත. සැසි වාරයක් විවෘත කිරීම වැනි විශේෂ අවස්ථාවකට සහභාගි වන අවස්ථාවකදී ඔහු අසුන් ගන්නේ කතානායකගේ ආසනයේය.
ජේ.ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන් ඔවුන්ගේ පාලන කාලය තුළ එම සම්ප්‍රදායය අකුරටම පිළිපැද්දෝය. ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තු කටයුතුවලට අනියම් ලෙස බලපාන්නට ඇතත් කිසිවිටෙක පාර්ලිමේන්තුවේ එදිනෙදා සිදුවන කටයුතුවලට සහභාගි වූයේ නැත. ඔවුන් කලාතුරකින් පාර්ලිමේන්තුවට ආවේ සභා වාරයක් විවෘත කිරීම පිණිස හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයක් කිරීම සඳහාය. මෙම තත්ත්වය වෙනස්වීම ආරම්භ වූයේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන කාලයේදීය. ඒ තත්ත්වය කෙරෙහි ප්‍රේමදාස ජනාධිපතිවරයාට එල්ල වූ දෝෂාභියෝගය සේ ම පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලය තුළ පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ජනාධිපතිවරයා කොතරම් බලවත් වුවත් ඔහු බලරහිත කළ හැකි බවට ඇන්.ඇම්. පෙරේරා ඉදිරිපත් කර තිබූ න්‍යායද බලපෑවේය. ජනාධිපතිනිය මුදල් ඇමති ධුරය තමන් වෙත හිමිකර ගනිමින් අයවැය සඳහා පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා තත්ත්වයක් ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ ආකාරයට ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට පළමුවෙන් පැමිණි අවස්ථාවේදී විරුද්ධ පක්ෂයේ නායකයා ප්‍රකාශයක් කරමින් ඉඳහිට නොව නිතර නිතර පාර්ලිමේන්තුවට එන ලෙස ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියේය. ඒ ගැන එදා මා ලොකු විවේචනයක් ලියූ බව මට මතකය. ඉන්පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද එම වැරදි සම්ප්‍රදාය අනුගමනය කළ අතර දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද නිතර නිතර පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රී අසුනක අසුන් ගෙන සිටින අවස්ථා දැකිය හැකිය.
ජනාධිපතිවරයෙකු ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වීම සේ ම පාර්ලිමේන්තු පරිශ්‍රයේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කළ කාර්යාලයක් පවත්වාගෙන යෑම පවා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සේ ම පිළිගත් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන්ට පටහැනිය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නට යන්නේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පිළිබඳව මළපොතේ අකුරක්වත් නොදන්නා පාර්ලිමේන්තුවක් නම් හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය හැක්කේ කෙසේද?

සම්ප්‍රදායයන් නොසැලකීම
11. පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකිය. එය නීති විරෝධී දෙයක් වන අතර මන්ත්‍රී ධුරය අහිමි කිරීමට හේතුවන තරමේ බරපතළ වරදක් වේ. එම යහපත් සම්ප්‍රදායය ලකාවේ ද 1978 දක්වාම පැවතුණි. ගාල්ලේ ඇල්බට් සිල්වාට අසුන අහිමි වූයේ ඉන්ධන පිරවුම්හලක් පවත්වාගෙන යෑම නිසාය. 1978න් පසුව එම යහපත් සම්ප්‍රදාය මරණයට පත්වී මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ජාවාරම් කළ හැකි අලුත් සම්ප්‍රදායක් ඇතිවිය. මන්ත්‍රීවරුන් නොවටිනා මිල ගණන්වලට ආණ්ඩුවේ ඉඩම් මිලදී ගත්තේය. ධනය උපයාගත හැකි බලපත්‍ර ලබාගත්තේය. ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කළේය. යහපාලන ආණ්ඩුවද මෙම අවලස්සන තත්ත්වයෙහි කිසිදු යහපත් වෙනසක් සිදුකර නැත. ක්‍රියාකරමින් සිටිනුයේ එම අවලස්සන සම්ප්‍රදාය ආරක්ෂා කරන පිළිවෙතක පිහිටාය. මන්ත්‍රීවරුන්ට වැලි පර්මිට් ලබාදෙන ක්‍රමයක් ආරම්භ කර ඇති බව ජනමාධ්‍යවල පළවූයේ මේ මෑතකදීය. පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්ට පටහැනි එම අවලස්සන ක්‍රමය පවත්වාගෙන යෑමට ඉඩදී තිබෙන ආණ්ඩුවක් තමන් හදන ව්‍යවස්ථාවෙන් එවැනි බරපතළ වැරදි නිවැරදි කරනු ඇතැයි විශ්වාස කළහැක්කේ කෙසේද?

වැරදි පාලනය කිරීම
12. ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය අනුව අලුතින් ඇතිකර ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ රාජ්‍ය නායකයාට සේ ම මැති ඇමතිවරුන්ටද ඔවුන්ට ලැබී තිබෙන බලය මත වැරදි කිරීමට තිබෙන පුළුවන්කම සීමා කරන විධිවිධාන තිබිය යුතුය. නීතිය ක්‍රියාත්මක කරවන ආයතන ඒ වගකීම හොඳින් ඉටුකරන තත්ත්වයක් නැති නිසාම ඒ වගකීම අනියම් ලෙස මහජනයාට ලබාදෙන විධිවිධාන ඇති කළ හැකිය. නිදර්ශනයක් වශයෙන් බලවත් ලෙස වැරදි කරන ලොකු නිල බලයක් ඇති පුද්ගලයෙකුට එරෙහිව මහජනයාට දෝෂාභියෝගයක් හෝ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉඩ ලබාදෙන විධිවිධාන ඇති කළ හැකිය. එවැනි කාර්යයක් සඳහා අවශ්‍ය අත්සන් සංඛ්‍යාව නියම කළ හැකි අතර එම අත්සන් සංඛ්‍යාව ඇතිව විධිමත් ලෙස පාර්ලිමේන්තුවේ කතානායකට පෙත්සමක් ඉදිරිපත් කරන අවස්ථාවකදී එම පෙත්සම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කොට සභාගත කොට විවාදයට ලක් කරන සම්ප්‍රදායයක් නීතියෙන් ඇති කළ හැකිය. එවැනි ක්‍රමවේදයක් ඇතිවිට බලවත් පුද්ගලයෙකු බරපතළ වැරදි කරන අවස්ථාවකදී මහජනයා සංවිධානය වී ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් හෝ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අයිතිය මහජනයාට ලැබෙන්නේය. එය මහජනයාට තමන්ට තිබෙන පරමාධිපත්‍ය බලය වෙනත් ක්‍රමයකට අභ්‍යාස කිරීමට දෙන අවස්ථාවකි. එවැනි මහජන පෙත්සමක් සමහරවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරාජය කළ හැකිය. තවත් සමහරවිට ඔවුන් මහජන මතයට අනුකූලව ක්‍රියාකරන අවස්ථාද තිබිය හැකිය. වැදගත් දේ මහජනයාට එසේ ක්‍රියාකිරීමට අවකාශයක් ලබාදීමය. ඒ මගින් බලවත් පුද්ගලයන් අතින් සිදුවන බරපතළ වැරදි පාලනය කළ හැකිය. මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගෙන පෙත්සම පරාජය කරන අවස්ථාවකදී පවා පෙත්සම සභාගත කොට එය විවාදයට ලක් කරන තත්ත්වයක් වැරදි කරන පුද්ගලයා කෙරෙහි බලපායි.
මීට සමාන ක්‍රමයක් මන්ත්‍රීවරුන් සඳහා ද යොදාගත හැකිය. මැතිවරණ කොට්ඨාසයකින් තේරී පත්වන මන්ත්‍රීවරයෙකු නියමිත අත්සන් ප්‍රමාණයක් සහිත පෙත්සමකින් මහජනයාට ආපසු කැඳවිය හැකි ක්‍රමයක් ඇති කළ හැකිය. එවැනි අවස්ථාවකදී මන්ත්‍රී ධුරය අහිමි වන පුද්ගලයාට අවශ්‍ය නම් එම කොට්ඨාසය සඳහා පවත්වනු ලබන අතුරු මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව ලබාදිය හැකිය. අතුරු මැතිවරණයෙන් ජනයා කැඳවනු ලබන මන්ත්‍රීවරයා පරාජය කළහොත් මහජන දෝෂාභියෝගයේ ජයග්‍රාහී අවසානයක් ඇතිවන අතර එසේ නොවන අවස්ථාවකදී දෝෂාභියෝගය මහජනයා විසින් පරාජය කරන ලද අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
13. දැන් තිබෙන ව්‍යවස්ථා සභා ක්‍රමයද අර්ථවත් හා විධිමත් කරන විධිවිධාන ඇති කළ හැකිය. එම සභාව විසින් ස්වාධීන කොමිෂන් සභාවලට හෝ වෙනත් ආයතනවලට පත් කරනු ලබන නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි විභාග කිරීමේ බලය එම කොමිෂන් සභාවට දිය හැකිය. ඒ මගින් ව්‍යවස්ථා සභාව විසින් පත්කරන නිලධාරීන් ව්‍යවස්ථා සභාවේ සෝදිසියට ලක්වන තත්ත්වයක් ඇති කළ හැකිය. ව්‍යවස්ථා සභාව විසින් කරනු ලබන පරීක්ෂණයකින් චූදිත පුද්ගලයකු වරදකරු කරනු ලබන අවස්ථාවලදී එම පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ක්‍රමයක් ඇති කළ හැකිය. එවිට පරීක්ෂණ වාර්තාව සභාගත කොට ඔහු පිළිබඳව අවසාන තීරණයක් ගැනීමේ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට පැවරිය හැකිය.
නූතන අර්ථයෙන් හොඳ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ මහජනයාගේ පරමාධිපත්‍ය බලය උපරිම මට්ටමකින් මහජනයාට අභ්‍යාස කිරීමට පුළුල් අවස්ථා ලබාදෙන ව්‍යවස්ථාවකටය. ඒ සඳහා දැන් තිබෙන එකම ක්‍රමය ලෙස සැලකිය හැක්කේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට ලබාදී තිබෙන බලය පමණය. ඒ බලය ඒ අවස්ථාවට පමණක් සීමා නොකොට වෙනත් අවස්ථා ලබාදෙන විශේෂ ක්‍රමවේද හා ඊට අදාළ විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත් කළ හැකිය. එහෙත් යහපාලන ආණ්ඩුව දැන් හදමින් තිබෙන ව්‍යවස්ථාව එවැනි පුළුල් දර්ශනයක් මත පිහිටා ඇති කරමින් තිබෙන ව්‍යවස්ථාවක් බව පෙනෙන්නේ නැත. එසේ වූ විට සිදුවනු ඇත්තේ හදන අලුත් ව්‍යවස්ථාවද කෙටි කාලයකින් මහජනයාට එපාවීමය.■