රාවය

සීමා නිර්ණය විගඩම

සීමා නිර්ණය විගඩම

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය අභියාචනා කමිටුවේ වාර්තාව හරහා ඇති වී තිබෙන සිදුවීම් දාමය හෙළි කරන්නේ ආණ්ඩුවේත්, එහි ප්‍රධාන පාර්ශ්වයන් වන පක්‍ෂ දෙකේත් නිරුවත මිස වෙන කිසිවක් නොවේ.
සීමා නිර්ණය කමිටුවක අවශ්‍යතාව එන්නේ පසුගිය ආණ්ඩුව කාලයේ පළාත් පාලන ආයතනවල සීමා මායිම් සකසා තිබුණු වැරදි, පක්‍ෂපාතී හා අවුල් සහගත ආකාරය නිසා ය. බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ අනුදැනුම මත, එවකට ආණ්ඩු පක්‍ෂයට වැඩි වාසි අත් කර දෙන ලෙස පළාත් පාලන ආයතනවල සීමා සකස් කොට තිබුණු නිසා, සීමා නිර්ණය ගැන නැවතත් සලකා බැලීම අවශ්‍ය විය. ඒ සඳහා පළාත් පාලන විෂය භාර ඇමතිවරයා පස්දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර එහි සිව්දෙනෙක් ම පක්‍ෂවල නියෝජිතයෝ වූහ.
මේ ආණ්ඩුව පත් කළ වෙනත් සිවිල් සමාජ කමිටු හා කාර්ය සාධක බලකා වැනි සියලු දේට හිමි ඉරණම මේ කමිටුවට ද හිමි විය. පත් කිරීම මිස වෙනත් සැලකිය යුතු පහසුකම් සැලසීමක් පළාත් සභා අමාත්‍යාංශයෙන් සිදු නොවුණේ ය. අදහස් විමසීමේ සැසිවාර, කමිටු රැස්වීම් සියල්ල ම කරන්නට සිදුවුණේ කමිටු සාමාජිකයන්ගේ, විශේෂයෙන් එහි සභාපති ධුරය දැරූ පළපුරුදු රජයේ නිලධාරියාගේ පෞද්ගලික මැදිහත්වීම හරහාය. මේ අසීරු තත්ත්වය යටතේ කමිටුවේ රාජකාරි ඉටුකිරීම බලවත් අභියෝගයක් වුණත්, කමිටු සාමාජිකයෝ එය නොවළහා ඉටු කළහ. ඒ අතර ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක ම උත්සාහ කළේ කමිටුවේ වාර්තාව හැකි තාක් කල් දමා ගන්නට ය. ඒ සඳහා රජයේ ඉහළ ස්ථරයන්ගෙන් පවා ඍජු මෙන් ම අනියම් බලපෑම් ද කමිටුව කෙරෙහි බෙහෙවින් සිදු විය. කමිටුවට බලහත්කාරයෙන් මෙන් කාලය දීර්ඝ කිරීම් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ලැබෙන්නට විය.
කමිටුවේ හමුවීම් සියල්ලන්ගේ සහභාගිත්වයෙන් සිදුවුණු අතර වාර්තාව පිළියෙල කිරීම දක්වා ම සියලු සාමාජිකයන්ගේ අදහස් අනුව කටයුතු කරන ලදි. එහෙත්, අවසාන මොහොතේ කමිටුවේ සාමාජිකයෝ දෙදෙනෙක් වාර්තාවට අත්සන් කිරීම ප්‍රතික්‍ෂෙප කළහ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය විසින් පත්කරන ලද සාමාජිකයෝ දෙදෙනා ය. ඒ ප්‍රතික්‍ෂෙප කිරීම් පැහැදිලි ව ම කමිටුවේ කටයුතුවලට බාධා කිරීම අරමුණු කර ගත්, සිය පක්‍ෂවල අනුදැනුමෙන් කරන ඒවා විය. තමාට වාර්තාවේ පිටපතක් ලැබුණේ නැති බව ශ්‍රීලනිප නියෝජිතයා කියන විට, එජාප නියෝජිතයා ද අත්සන් කළ නොහැකි බව කීවේ ය. සභාපතිවරයාත් සෙසු සාමාජිකයෝ දෙදෙනාත් පමණක් අත්සන් කළෝය.
වාර්තාව ඇමතිවරයාට බාර දෙන්නට නියමිත ව තිබුණු දා වන විට ඇමතිවරයා විදේශගත ව සිටියේ ය. නියෝජ්‍ය ඇමතිවරයා එදිනම ධුරයෙන් ඉල්ලා අස් විය. කමිටු වාර්තාව ගැන සාකච්ඡා කරන්නට පාර්ලිමේන්තුව රැස්වන දිනයක් තමා නියම කරන බව ඒ අතරේ අගමැතිවරයා ලහිලහියේ කීවේය. මේ සියල්ලේ ම අවසන් ප්‍රතිඵලය වාර්තාව තවත් ප්‍රමාද වීමයි.
අවසානයේ ඇමතිවරයා සිය විදේශ ගමන කෙටි කොට ආපසු පැමිණියේ ය. වාර්තාව භාර ගන්නට සූදානම් ව, එහි දෙදෙනකුගේ අත්සන් අඩුයැ’යි කියා ප්‍රතික්‍ෂෙප කළේ ය. මේ නම් ගැරහිය යුතු හැසිරීමකි. වාර්තාවට අත්සන් නොකළ එක් සාමාජිකයකු අයිති ඇමතිවරයාගේ ම පක්‍ෂයට ය. හරි නම් ඔහුත් ඔහුගේ පක්‍ෂයත් කළ යුතු ව තිබුණේ වාර්තාව නිකුත් කිරීමට නියමිත දිනයට පෙර තම නියෝජිතයා අත්සන් කර ඇත්දැ’යි සොයා බලා, කර නැත්නම් අත්සන් කරන්නැ’යි ඔහුට නියම කිරීම ය. එය නොකළ ඇමතිවරයා, අත්සන් දෙකක අඩුවක් පෙන්වමින් වාර්තාව පිළිගැනීම නොකළේ ය. එහෙත්, හාස්‍යය නම්, පස්දෙනකුගෙන් සමන්විත කමිටුවේ තුන්දෙනකුගෙන් ගණ පූරණය සමන්විත වන බව මීට පෙර පිළිගෙන තිබීමය.
එවැනි තත්ත්වයක් යටතේ, ඇමතිවරයා කළ රඟපෑම පෙන්වන්නේ ඇමතිවරයාගේ දුප්පත් දේශපාලන භාවිතය පමණක් නොවේ. යහපාලන ආණ්ඩුව ආරක්‍ෂා කරන්නට අසිපත් ගත් වානරයන් පිරිසක් සේවයේ යොදවා ඇති බව ය.
මේ විගඩම පෙන්වන්නේ කුමක් ද? එක පැත්තකින් ආණ්ඩුව පළාත් පාලන ඡන්දයට බය බවයි. අනෙක් පැත්තෙන්, ලංකාවේ දේශපාලන පක්‍ෂවල මෙන් ම දේශපාලන නායකයන්ගේ ද සදාචාරය පිරිහී ඇති තරමයි.■