Untitled-1

Untitled-1

අඳුරේ අතපත ගානා මාධ්‍යයට ආලෝක දහරාවක්


kusal

කුසල් පෙරේරා

ජනමාධ්‍ය ගැන විශේෂයෙන් සිංහල බසින් පොත් ලියැවෙන්නේ කලාතුරකිනි. පවතින ජනමාධ්‍යයේ සහ ඒවායේ නිරතව ඉන්නා කර්තෘවරුන් හා මාධ්‍යවේදීන්ගේ හැසිරීම ගැන විචාරාත්මකව ලියැවෙන පොත් ඇත්තේම නැත. එවැනි හිස් අවකාශයක වික්ටර් අයිවන් විසින් රචිත ‘අයාලේ යන ජනමාධ්‍ය’ පොත වර්තමාන ජනමාධ්‍ය ගැන ලියැවුණු ඉතා වැදගත් පොතකි.

එහි පෙරවදනෙහි වික්ටර් ලියා ඇති ‘රටේ ජනමාධ්‍යවල ඉතිහාසය ආශ‍්‍රයෙන් ජනමාධ්‍යවල පසුගාමිත්වය කෙරෙහි බලපා තිබෙන හේතු මේ කෘතියෙන් සලකා බලා තිබේ. ආණ්ඩුවේත් හිමිකරුවන්ගේත් දැන්වීම්කරුවන්ගේත් හෝ වෙනත් ආකාරවලින් එල්ලවන බලපෑම්වලට යට නොවී ස්වාධීන ලෙසත් නිර්භීත ලෙසත් ආචාරධර්මානුකූලව හා වෘත්තීය පරිචයකින් කි‍්‍රයාකරන ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකර ගැනීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන්නේ යැයි කිව හැකිය.’ යන්නෙන් මේ පොතෙහි අඩංගුව පැහැදිලි වන්නේය. වර්තමානයේ ජනමාධ්‍ය හැසිරෙන ආකාරය ගැන විචාරයක් ලිවීමට වික්ටර් මාධ්‍ය විකාශනයේ ඉතිහාසය ඇසුරෙන් ප‍්‍රවිෂ්ටයක් මෙහි ලබා ගෙන ඇත.

‘ලංකාවේ ජනමාධ්‍ය තිබෙන්නේ ලොකු අර්බුදයක ය.’ ඔහු සිය කෘතිය ආරම්භ කරන්නේ එසේය. එය සනාථ කිරීම සඳහා ඔහු ලොකු ගමනක් යන්නේ ය. යුරෝපා පුනරුදයේ දේවධර්මවාදී ආධිපත්‍යය බිඳ වැටීමේ සිට ජාතික රාජ්‍යය තහවුරුවීම ඔස්සේ ව්‍යවස්ථාපිත ආණ්ඩුක‍්‍රම හා බහුසංස්කෘතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ බිහිවීමත් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ ජාතිකවාදී මතවාදය ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ ඌනතා සමග සැසඳීමත් මේ කෘතියෙන් කෙරෙන්නේය. ලංකාවේ නිදහස් ව්‍යාපාරය බහුජන ව්‍යාපාරයක් නොවීමත් එහි පුරෝගාමීන් රට නිදහස් කර ගැනීමට කතා කළද රටේ සියලූ පුරවැසියන් සමානයන් වන ජාතික රාජ්‍යයක් හැදීම පිළිබඳව ඔවුන්ට නිනව්වක් හෝ නොතිබීමත් එහි මාධ්‍ය පිළිබඳ විවරණයට මුල පිරීමක් ලෙස සටහන් කෙරෙන්නේය. ‘ජාතික නායකයන් අයාලේ යනවිට ජනමාධ්‍යවේදීන් ගියේද අයාලේය.’ වික්ටර් කියන්නේ ය.

එතැන් සිට ඞීආර් විජේවර්ධනගේ මාධ්‍ය අධිකාරය බිහිවීම සමග නිදහස් ප‍්‍රකාශකයන් ඊට යටවූ ආකාරයත් ඔහු සංලේඛ්‍ය නිදහස සියතට ගෙන කටයුතු කළ ආකාරයත් වික්ටර් මැනැවින් විස්තර කරන්නේය. 60 දසකය වන විට තහවුරුව තිබූ මාධ්‍ය කලාව තුල ඞීබී ධනපාලගේ භූමිකාව වික්ටර් හඳුන්වන්නේ පුවත්පත් කලාව සිංහල කරණය වීමක් ලෙස පමණක් නොව, එහි හැඩරුවද වෙනස් වූ යුගයක් ලෙසය. එහෙත් ඒ සමග ඔහු කියවන්නා දියුණු කරන පුවත්පත් කලාවකට ඉඩ නොතැබූ බවද වික්ටර් කියයි. 60 දසකයේ බොහෝ අය අසා ඇති දේශපාලන සිද්ධීන් පිළිබඳව බොහෝවිට නොදන්නා තවත් වැදගත් කරුණු මෙම කෘතියෙහි අර්ථ කථනවලින් බැහැරව ඉදිරිපත් කිරීමත් වැදගත්ය. ඉන් එක් කාරණයක් වන්නේ පුවත්පත් පනතට විරුද්ධ වූ පත්තර සමාගම් තුන 1964 දී ශී‍්‍රලනිප හා සමසමාජ සභාග ආණ්ඩුව බිඳදැමීමේ පත්තර කුමන්ත‍්‍රණය පිළිබඳ තොරතුරුය. එම කුමන්ත‍්‍රණයෙහි ප‍්‍රතිඵලයක් ලෙස දවස පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදීන් 9ක් පොදු ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් තබා මෙවැනි දේශද්‍රෝහි කාර්යයන් වෙනුවෙන් හවුල් විය නොහැකියැයි වහා ඉල්ලා අස්වී ඇත. ඔවුහු බොහෝ දෙන මෑත කාලය වනතෙක් වාමගාමී දේශපාලනයේ මාධ්‍යවේදීන් ලෙස කටයුතු කළහ.

එවැනි මාධ්‍ය හිමිකාරත්වයක දේශපාලනය සාමාන්‍යයෙන් එජාප හිතවාදී වූ අතර විශේෂයෙන් සමසමාජ පක්ෂයට ගැරහීමේ පුවත්පත් කලාවක් ලෙස පැවතුණු ආකාරයද මෙම කෘතියෙහි ඇති තවත් විවරණයකි. අවිස්සාවේල්ලෙන්් වාර්තා වූ දැරියක දූෂණය කිරීමේ නඩුවක් සමසමාජ දේශපාලනයට ගැට ගැසීමේ ලේක්හවුස් පත‍්‍ර කලාව ගැන එහි ඇති එක් සඳහනකි.

පොතෙහි නම කල් තබා පොතේ අරමුණ වෙනුවෙන් වෙන් කෙරුණු බව දැක්වෙන බොහෝ විස්තර හා විශ්ලේෂණ ඇතුලත් වැදගත් පරිච්ෙඡ්දයක් වනුයේ ‘ජනමාධ්‍යවලට වැරදුණේ කොතැනද?’ යන පස් වන පරිච්ෙඡ්දය ය. එහි වික්ටර් මූලික කාරණා 3ක් වෙත අවධානය යොමු කර ඇත. එම කාරණා ඔහු වෙන් වෙන් වශයෙන් ගෙන 1. පොදු චින්තනයේ දුර්වලතා 2. විෂය චින්තනයේ දුර්වලතා සහ 3. බලය අයුතු ලෙස භාවිත කිරීම වශයෙන් සවිස්තරාත්මකව කතා කරන්නේ ය.

පොදු චින්තනයේ දුර්වලතා වික්ටර් බහාලන්නේ නිදහස් ව්‍යාපාරයේ තිබූ මතවාදී දුර්වලතා තුළය. එය ඇත්ත බහුජන ව්‍යාපාරයක් නොවීමේ හේතුවෙන් එක්සත් ජාතියක් ගොඩනගා ගැනීම පිළිබඳව වූ නොපනත්කම ජනමාධ්‍යයටද බලපෑ බැව් ඔහුගේ අදහසය. එය ධර්මපාලගේ සිට දැරණියගල දක්වා ලංකා ඉතිහාසය නිවැරදිව කියැවීමේ උත්සාහයේ සිට ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ ශක්තිය සමගින් සසඳා ඇත. ඉන්දීය නිදහස් ව්‍යාපාරයට හවුල් වූ මාධ්‍යවේදීන්ගේ දායකත්වය ඉතා ඉහළ විය. ඇතැම් මාධ්‍යවේදීන් පසුව පූර්ණකාලීන දේශපාලනයට පිවිසි බවත් අනෙකුන් වෘත්තීය මාධ්‍යවේදීන් ලෙස කටයුතු කළ බවත් එහි සඳහන්ව තිබේ.

විෂයානුගත චින්තනයේ දුප්පත්කම ඊටත් වැඩි අභාග්‍යයකි. ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය ගැන වැදගත් අවබෝධයක් නොමැතිවීම ගැන සඳහන් කරන වික්ටර්, මාධ්‍ය නිදහස සහ සංලේඛ්‍ය නිදහස ගැන යුරෝපයේත් ඇමෙරිකාවේත් දිග ඇරුණු ඉතා තියුණු හා ගැඹුරු සංවාද ගැන සැලකිය යුතු දිග සටහනක් තබා ඇත. මාධ්‍යයෙහි අන්තර්ගතය තීන්දු කිරීමේ අයිතිය තිබිය යුත්තේ හිමිකාරිත්වයටද නැතිනම් කර්තෘ හෝ කර්තෘ මණ්ඩලයටද යන කතිකාවද ඔහු ඒ සමග සැකෙවින් ඉදිරිපත් කර ඇත. ඉන් ඔබ්බට ජනමාධ්‍ය සතු සමාජ වගකීම් ගැනද ඔහු සඳහන් කරයි. වර්තමානයේ ජනමාධ්‍ය ගැන ඔහු දක්වන අදහස් මතභේදාත්මක ය. එහෙත් ඔහුගේ අදහස් කතිකාවකට නියත මාතෘකාවකි. එක් පැත්තකින් ආණ්ඩු බලය යොදා ගැනීමෙන් විශේෂයෙන් ගුවන් විදුලි හා රූපවාහිනී බලපත‍්‍ර නාමික මිලකට තම හිතවතුන්ට හා ගජමිතුරන්ට ලබාදුන් අශීලාචාර ක‍්‍රමය ගැන සඳහන් කර ඇති එහි මාධ්‍ය වෙත කළු සල්ලි ගලා ආ බවද සඳහන් කරයි. ‘ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට කළු සල්ලිකාරයන්ගේ කඩාවැදීම ජනමාධ්‍යවල පරිහානියද දෙගුණ තෙගුණ කිරීමට හේතුවී යැයි කිව හැක.’ යනුවෙන් ඔහු නිගමනය කරයි. ජනමාධ්‍ය කළු සල්ලිකාරයන්ට වැදගත් වූයේ තම කළු සල්ලි අපුල්ලා ගැනීමට අමතරව සමාජය හමුවේ නම්බුකාර පෙනුමක් තබා ගැනීමටත් දේශපාලන බලය හා තැග් ගැහීමටත්යැ’යි වික්ටර් හේතු දක්වා ඇත. එනිසාම ඔවුන්ට සමාජ වගකීමක් ඇත්තේ නැතැ’යිද ඔහු සටහන් තබයි.

එය ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාවලට පමණක් සීමා නොවන බවටද විස්තර ඇත. මාධ්‍ය ආයතනය පාඩු ලැබුවද දේශපාලන හවුල් ඔස්සේ වෙනත් ආකාරයකින් මාධ්‍ය ආයතනයට සල්ලි පොම්ප කිරීමේ අවකාශයක් මාධ්‍ය හිමිකාරිත්වය විසින් ලබා දෙන බැවින් ය. පොදුවේ ගත් කල මේ මාධ්‍ය සියල්ල බාල සරල වින්දනයන් වෙනුවෙන් ඉඩ ප‍්‍රමාණ හා කාලය වෙන් කරන අතර විශේෂයෙන් පසුගිය කාලයේ තාර්කික ඥානයක් වගා කිරීම වෙනුවට ඇදහිලි විශ්වාස වෙත සමාජය දක්කා ගෙන යෑමේ කාර්යක නියැලිණ. එම මාධ්‍ය ගැන වික්ටර් දක්වන එක් අදහසක් කෙටියෙන් මෙවැනිය. ‘බොහෝ ජනමාධ්‍ය හිමිකරුවන් පාලක පක්ෂය සමග කල්ලි ගැහී කි‍්‍රයාකරන තත්ත්වය නිසා ආණ්ඩුව විවේචනය කිරීමට හේතුවන උණුසුම් පුවත් ඉදිරිපත් කිරීමේ හැකියාවද එවැනි ආයතනවල මාධ්‍යවේදීන්ට අහිමිවී තිබේ. ඒ නිසා ඔවුන්ට ආණ්ඩුවට ප‍්‍රශ්න ඇති කිරීමට හේතු නොවන වෙනත් ආකාරයක උණුසුම් පුවත් මවන තත්ත්වයකින් කි‍්‍රයාකරන්නට සිදුවී තිබේ. මේ තත්ත්වය ජනමාධ්‍ය වර්ගභේදය හා ආගම්භේදය ඇවිස්සීමට හේතුවන හා අද්භූත දේවල් වෙත මහජන අවධානය යොමු කරන පුවත් මවන තත්ත්වයකට තල්ලූ කිරීමට හේතුවී තිබේ.’

මෙය අයාලේ යන වර්තමාන මාධ්‍ය යහමගට ගත හැකි කතිකාවකට පාදක කරගත හැකි වික්ටර් අයිවන්ගේ කෘතියට කෙරුණු සාධාරණත්වයකට වඩා කෙටි හැඳින්වීමකි. එනිසා මතු දිනෙක මේ විෂය ක්ෂේත‍්‍රය ගැන දියුණු කතිකාවකට මෙය මුල පිරුමක් විය හැකි යැයි සිතමි.
මෙය ‘රාවය’ ප‍්‍රකාශනයකි. මිල රු.350/- කි.