2016දී අධ්‍යාපනයට වැඩි මුදලක් මොකටද?


kusal

කුසල් පෙරේරා

කොළඹ මහජන පුස්තකාලයෙහි යුරෝපා ජී.එස්.පී ප්ලස් සහනය සම්බන්ධව පසුගිය ඉරිදා (18 වන දිනෙ) පැවති පෞද්ගලික අංශ සේවක නියෝජිත සමුළුව අමතමින් ‘මෙදා අයවැයෙන් අපි වැඩිම මුදල් වෙන් කරන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ රැකියා උත්පාදනය ඉලක්ක කෙරෙන වැඩ සටහන්වලට’යැයි මුදල් ඇමති රවි කරුණානායක කීවේ සේවක ජීවිත ඒ අනුව නගා සිටුවන්නට හේතු වන්නේයැයි කීමට ය. ඔහුගේ එම ප‍්‍රකාශය සනාථ කෙරෙමින් 2016 වසර සඳහා අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කෙරෙන මුදල පසුගිය වසරේදී වෙන් කෙරුණු මුදල මෙන් සතර ගුණයක් වන බව ආණ්ඩුවද ප‍්‍රකාශ කර තිබිණ. ඒ අනුව 2016 වසර සඳහා රටේ සමස්ත අධ්‍යාපනයට රුපියල් මිලියන 1,90,400ක් වෙන් විය යුතුව ඇත.

මීට දෙවසරකට වැඩි කලෙක විශ්වවිiාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යාපනය සඳහා සියයට 6ක වාර්ෂික වෙන් කිරීමක් ඉල්ලා සිටිය විට, එහි තිබූයේ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් පිළිබඳ කතාවකි. ඊට හේතුව එලෙස මුදල් වෙන් කිරීම සඳහා ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් මත වන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සැලැස්මක් අවශ්‍යවීම ය. එනිසා ඒ සමග වහා මතු වන ප‍්‍රශ්නයක් ඇත. පසුගිය වසරෙහි අධ්‍යාපනය සඳහා වෙන් කෙරුණු මුදල වැය කෙරුණේ කුමකටද හා කෙසේදැයි පාර්ලිමේන්තුවට හෝ විස්තර ඉදිරිපත් නොවේ. ඒ ගැන කිසිදු සාකච්ඡුාවක් සමාලෝ චනයක් පාර්ලිමේන්තුවෙහි කෙරෙන්නේ නැත. ඒ අනුව මුදල් වෙන් කිරීම සඳහා යෝජනාවක් මිස මුදල් වැය කිරීම පිළිබඳව සාකච්ඡුා නැත. එනිසා මුදල් වෙන් කරන්නට අත එස වූ මන්තී‍්‍රවරුන් හෝ වෙන් කෙරුණු මුදල් වැය කෙරුණේ කෙසේදැයි දෙන්නේ නැත. එවැනි පසුබිමක 2016 වසර වෙනුවෙන් සතර ගුණයකින් මුදල් වැඩි කිරීම සඳහා ඇති අධ්‍යාපන වැඩපිළිවෙල කුමක්දැයි අපි නොදනිමු. එවැනි මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියේ නම්, ඒ කවර පදනමක් මතදැයි අපි නොදනිමු. මේ මුදල් ප‍්‍රමාණය වෙන් කරන්නට තීන්දු ගත්තේ කවුරුන්ද කවර හේතු නිසාද යන්න මේ සමාජය දැන සිටිය යුතු මූලික කාරණාවකි. මුදල් වෙන් කළ පමණින් අධ්‍යාපනයට සිදුවිය හැකි වාසියක් නැති හෙයිනි.

එයට විශේෂ හා ඉතා වැදගත් හේතුවක් ඇත. අධ්‍යාපනය දියුණු කිරීම යන්නම මතභේදයට හේතුවන බොහෝ කරුණු කාරණා සහිත ජාතික අවශ්‍යතාවක් වන හෙයිනි. සියල්ලට පෙර, අප කතා කරන්නේ නිදහස් අධ්‍යාපනයක් ගැන වූවත් එහි යොමුව නැතිනම් අරමුණ විය යුත්තේ කුමක්ද යන්න මතභේදාත්මක ය. නිදහස් අධ්‍යාපනය යන්නම අද ප‍්‍රශ්නයකි. දේශපාලන වාසි තකා කෙරෙන උද්ඝෝෂණ පැත්තකින් තබා එය පැරණි කන්නන්ගර අධ්‍යාපන සැලැස්මට සීමා කළ හැක්කේද යන්නට පිළිතුරු සෙවිය යුතුව ඇත. කන්නන්ගර අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හැදෙන්නේ තරගකාරිත්වයකින් තොර ආර්ථික ජීවිතයක් භුක්ති විඳි සමාජයකය. එනිසා ආණ්ඩුවකින් කෙරෙන සැලසුම්වලින් බැහැරව අධ්‍යාපනයක් නොතිබුණු අතර, එය ජාතික වශයෙන් පොදු අධ්‍යාපනයක් වෙනුවෙන් අරමුණු කෙරුණකි. අද පැවැත්ම ඊට බෙහෙවින් වෙනස් ය. අද ආණ්ඩුවේ සැලසුම්වලින් බැහැර ප‍්‍රාථමික හා ද්විතීයික විධිමත් අධ්‍යාපනයක් ඇත. එවගේම ආණ්ඩුවේ සැලසුම්ද සියලූ දරුවන්ට සමාන අවස්ථා ලබා දෙන සැලසුම් ලෙස කි‍්‍රයාවට නැගෙන්නේද නැත. එක් කාරණයක් සරලව කිවහොත් විවිධාකාර ප‍්‍රයෝග මත විශාල මුදල් වැය කර කොළඹ අතිජනපි‍්‍රය පාසල්වලට දරුවන් ඇතුළු කරන දෙමාපියන් ඇත. එය හැම අතින්ම වියදම්කාර අධ්‍යාපන පැවැත්මකි. එවැන්නක් නඩත්තු කළ හැකි ආර්ථික ශක්තියක් එම දෙමාපියනට ඇත. එහෙත් ගමේ අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට එවැනි අවස්ථා සහ පහසුකම් සහිත නිදහස් අධ්‍යාපනයක් ඇත්තේ නැත. දෙමාපියන්ට ඒ උදෙසා ආර්ථික ශක්තියක් ඇත්තේද නැත.

එය කදිමට පෙන්විය හැක්කේ මෙලෙසින් ය. රටේ සමස්ත අධ්‍යාපන වියදම හැදෙන්නේ ආණ්ඩුව වාර්ෂිකව වෙන් කරන මුදලින් පමණක්ම නොවේ. ජාතික අධ්‍යාපන වියදමෙන් සියයට 27ක පමණ ප‍්‍රමාණය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ආයතනය, ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (USAID) වැනි ආයතන සහ සංවිධාන විසින් අධ්‍යාපනය සඳහා අමාත්‍යාංශය හරහා කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘති සඳහා එකතු කරන මුදල් ය. මේ මුදල පවා අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ සියලූ දරුවන් අතර සමානව බෙදී යන්නේ නැත. දිස්ති‍්‍රක්ක අතර මෙන්ම පාසල් අතරත් මේ සමස්ත මුදල බෙදී යෑමේ බරපතළ විසමතා ඇත. ඊටත් අමතරව තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දෙමාපියන් වැය කරන මුදලක් ඇත. එය දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කෙරෙන ඉතාම වැදගත් මුදල වන්නේය. ඊට හේතුව මේ තරගකාරී විභාග පාදක අධ්‍යාපනයෙහි අමතර හා බොහෝ විට තීරණාත්මක වාසිය හැදෙන්නේ දෙමාපියන්ගේ ඒ මුදල මත වන හෙයිනි. එය ජන ගහනයෙන් පොහො සත්ම සියයට 10හි දරුවන් සඳහා 2002 වන විට මාසිකව රුපියල් 518ක් යැයි ප‍්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ පර්යේෂණ වාර්තාවක ගණන් බලා තිබිණ. එකල ජනගහනයෙන් දුප්පත්ම සියයට 10හි දරුවන් සඳහා දෙමාපියන්ට වැය කළ හැකිව තිබූයේ රුපියල් 121කි.

මෙය ගැටගැසෙන සහ අධ්‍යාපනය සමග එකට තබා කතා නොකරන තවත් සාධක ඇත. රටේ දළ දේශීය නිෂ්පාදනය පළාත් අනුව බෙදී යන ආකාරය මත ඒ පළාත් වාසීන්ට රාජ්‍ය සේවාවන් හා පහසුකම් සැපයෙන ආකාරය හා ප‍්‍රමාණය තීන්දු වන බව අප අමතක කරන්නකි. ශී‍්‍ර ලංකා මහ බැංකුවෙහි 2013 වසරෙහි ආර්ථික හා සමාජීය සංඛ්‍යා ලේඛනවලට අනුව 2012 වසර වන විට දළ දේශීය නිෂ්පාදනය පළාත් අනුව තිබූයේ බස්නාහිර පළාතෙහි සියයට 44.4කි. ඌවෙහි සියයට 04.5කි. උතුරු මැද සියයට 04.6කි. සබරගමුවෙහි සියයට 06.2කි. ඊටත් පහළින් ඇති දසක ගණනාවක් යුද්ධයට ගොදුරු තිබූ උතුරු නැගෙනහිර ගැන කතා කිරීම දැනට තේරුමක් නැත. ඉතිරි පළාත් ගත්තද මෙය ජාතික සම්පත් බෙදී යෑම පිළිබඳව ඇති සමාජ අසාධාරණය ප‍්‍රකාශවන සරල කතාවකි. බස්නාහිර සමග ගත් කල අනෙක් පළාත් ආර්ථික වශයෙන් අතිශය දුර්වලය. දේශීය නිෂ්පාදනයට හවුල් විය හැකි ආර්ථික ශක්තියක් නැති දුප්පත් පළාත් යනු ඒවායේ ජනතාවට රාජ්‍ය සේවා සහ පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් හා අවකාශයක් නැත යන්න ය. එයට එක නිදසුනක් ලෙස ඉදිරිපත් කළ හැක්කේ එවැනි දිළිඳු පළාත්වල ගුරුවරුන් නොරැුඳීමය. එම පළාත්වල පවා ගුරුවරුන් තරමකට හෝ රැුඳෙන්නේ නගරයෙහිය. ගුරු අවශ්‍යතා සැපිරීම පිළිබඳ දත්තවලට අනුව ජාතික සැපිරීම සියයට 92කි. එය බස්නාහිර පළාතේ සියයට 97කි. ජාතික සැපිරීම් මට්ටමටද වඩා ඉහළය. එහෙත් එහි විෂමතාව දැකිය හැක්කේ කොළඹ සහ කළුතර සැසඳීමෙනි. ඌව ගත් විට ගුරු අවශ්‍යතා සැපිරී ඇත්තේ සියයට 84කි. ඌවේ ග‍්‍රාමීය පෙදෙස් වෙනම ගත් විට එය ඊටත් වඩා පහළ අගයකි. වැවිලිකරය ගත් විට මෙය සියයට 77කි. නිදහස් අධ්‍යාපනයේ පොදු හා සමාන බව ඇත්තේ කොතැන ද? නිදහස් අධ්‍යාපනය මේ අතිශය තරගකාරී සමාජයෙහි සැමට සමාන අවස්ථා සහිත අධ්‍යාපන ක‍්‍රමයක් බවට පත් කරන්නේ කෙසේද යන්න එනිසා අතිශය වැදගත් ප‍්‍රශ්නයකි.

මහා ව්‍යාපාරික වාණිජ සංගම්වල චෝදනාව වන්නේ උගතුන් බිහි කළද මේ අධ්‍යාපනයෙන් ඔවුන්ට අවැසි රැුකියා සඳහා කුසලතාපූරක උගතුන් බිහි කෙරෙන්නේ නැත යන්න ය. එය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාම මූලික කාරණාවක් ප‍්‍රශ්න කරන්නකි. අධ්‍යාපනයෙන් මේ නූතන සමාජය බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ඉන් මතු කරන ප‍්‍රශ්නය වේ. එයට උත්තරයක් නැතිව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සඳහා අත තියන්නටද නොහැක. එවගේම එය විශ්වවිiාල අධ්‍යාපනයට වඩා තෘතියික අධ්‍යාපනය හා ගැට ගැසෙන්නකි.

අපේ අධ්‍යාපනයෙහි තෘතියික අධ්‍යාපනය බාල්දු කෙරුණකි. එබැවින් උසස් අධ්‍යාපනය යන්නෙන් පාසල් අධ්‍යාපනයෙන් පසු සියල්ලන් විශ්වවිiාලයට ඇතුළු කිරීම අර්ථ ගැන්වේ. මෙය තෘතියික අධ්‍යාපනය සමගින් ලිහා ගත යුතු ගැටලූවකි. තවත් පැත්තකින් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට ඇති විරෝධය විශ්වවිiාල අධ්‍යාපනයට සීමා කරගත් පටු දේශපාලන කතාවකි.පෙර පාසල්වල සිට උසස්පෙළ දක්වා පාසල් අධ්‍යාපනය හැමදාම මුදලට ගත හැකිව තිබිණ. අදටත් එය එසේමය. අද පෙරටත් වඩා ලාභදායි ලෙස සංවිධානාත්මකව ව්‍යාප්ත වූවකි. එවගේම ලොකු මුදල් වියදම් කර විදේශ විශ්වවිiාලවල උපාධි ලබා පැමිණ රජයේ රැුකියා කරන්නටද හැකිය. ඒ කිසිත් නිදහස් අධ්‍යාපනය තුළ ප‍්‍රශ්න නොකෙරේ. එහෙත් පෞද්ගලික විශ්වවිiාලවලට පමණක් ඉඩ නොදිය යුත්තේ ඇයිද යන්න තවමත් මතභේදයකි.

දියුණු අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය දියුණු ගුරු පරපුරක් ගැන සංවාදයක් නොතිබුණද එය අතිශය වැදගත් මාතෘකාවකි. මේ රටේ වර්තමාන ගුරු වෘත්තිය වටිනාකමක් සහිත සමාජ පිළිගැනීමක් ඇති වෘත්තියක් නොවේ. එතැනට එය ඇද වැටී ඇත්තේ දසක ගණනාවක ඇතිවූ සමාජ ආර්ථික හේතු බොහෝමයක් සමගය. ගුරු වෘත්තියෙහි සමාජ වටිනාකම ඉහළට එසැවීමෙන් තොරව දියුණු ගුරු පරපුරක් බිහිකරගත නොහැක. ප‍්‍රශ්නය ඇත්තේ එය කරන්නේ කෙසේද යන්නෙහිය. ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය පාසල් ව්‍යුහය තුල සංවිධානය කිරීම තවත් කතාවකි. ජාතික පාසල්, නවෝද්‍යා පාසල්, මහින්දෝදය පාසල්, මධ්‍ය මහවිද්‍යාල, මහ විද්‍යාල, විද්‍යාල, බාලක පාසල්, බාලිකා පාසල්, දෙමළ විද්‍යාල, මුස්ලිම් විද්‍යාල, කි‍්‍රස්තියානි පාසල්, මිශ‍්‍ර පාසල් යන මේ සියල්ල දැනට පාසල් ව්‍යුහයෙහි තිබෙන වර්ග කිරීමකි. ඒ වර්ග කිරීම එසේ තිබිය යුතුද යන්න එක ප‍්‍රශ්නයකි. පාසල් පරිපාලනය සංවිධානය විය යුත්තේ කෙසේද යන්න තවෙකකි.

ඒ සියල්ලට අමතරව හෝ ඒ සියල්ල සමග මග හැර යා නොහැකි තවත් අතුරු කතා ඇත. පාසල් අධ්‍යාපනයට ආගම් ඉගැන්වීම අවශ්‍යද යන්න ඉන් එකකි. ආගම යනු පෞද්ගලික අවශ්‍යතාවක් මත වන පෞද්ගලික අයිියකි. එය පාසල තුළට ගෙන එන්නේ මන්දැයි ඇසිය යුතු ප‍්‍රශ්නයකි. ඊට වෙනස්ව ව්‍යාපාරික ප‍්‍රජාව නිෂ්පාදන කි‍්‍රයාවලිය වෙනුවෙන් ඉල්ලා සිටින කුසලතාපූරක ශ‍්‍රමිකයා වෙනුවට යහපත් සමාජීය පැවැත්මට අවශ්‍ය සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියකු හැදීමට පාසල හවුල් කර ගන්නේ කෙසේද යන්න තවත් වාදයකි. එවගේම ජාතික අධ්‍යාපනයෙහි වැඩිහිටි අධ්‍යාපනය සංවිධානය කර ගැනීමත් අතිශය වැදගත් නමුත් කිසිදු වැදගත් අවධානයක් නොලබන්නකි.

ඒ සියල්ල එකට ගොඩ ගැසෙන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නැතිනම් අධ්‍යාපනය දියුණු කිරීම පිළිබඳ ප‍්‍රවාදය එතෙකින් නිම වන්නේද නොවේ. ලබන වසර සඳහා සිව් ගුණයකින් වැඩි කෙරෙන මුදල් ප‍්‍රමාණය වෙන් කෙරෙන්නේ මේ අවුල් අතරින් කවරක් කෙසේ විසඳීමටද යන්න මුදල් වෙන් කළ පමණින් අවසන් වන ගැටලූවක් නොවේ. මුදල් වලට පෙර පැමිණිය යුතු සැලැස්මක් තිබිය යුතු හෙයිනි. මුදල් ගැන කතාව සැලසුම් හැදීම ගැන කතාවට වඩා පහසුය. එනිසා අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීමෙන් අධ්‍යාපනය දියුණු වන්නේයැයි අදහසක් සමාජයෙහි තහවුරු කෙරෙන්නේය. එමගින් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ පස්සට තබන්නට පමණක් නොව, දේශපාලන නායකයන්ට ඔවුන්ගේ වාසි සඳහා ජනපි‍්‍රය දේ කිරීමටද ඉන් ඉඩක් ලද හැක. සැලසුම් නොමැතිව වැඩි මුදල් වෙන් කිරීම එබැවින් හුදු ජනපි‍්‍රය පියවරක් පමණක් නොව, මුදල් විශාල වශයෙන් අපතේ යෑමට හා දූෂණයටද පාර කපන්නකි.

ඒ සමග කතා නොවන අනෙක් වැදගත්ම කතාව වන්නේ අපේ රාජ්‍ය යාන්ත‍්‍රණයට මේ වෙන් කරන මුදල් වැය කිරීමට හැකි කාර්යක්ෂමතාවක් නොතිබීම ගැන කතාවය. එය විශ්වවිද්‍යාල පද්ධතියටද එසේම ය. බොහෝ විට වසරෙහි අවසන් කාර්තුවට අවශ්‍ය මුදල් ලබා දීමේ වුවමනාවක් මතු නොවන්නේ දෙවන හා තෙවන කාර්තු සඳහා ලබා දුන් මුදල් වසර අවසන් වන විටද සම්පූර්ණ ලෙස වැය කරන්නට මේ ආයතනවලට නොහැකි බැවිනි. අවසාන වශයෙන් වැය කෙරෙන්නේ පුනරාවර්තන වියදම් පමණි. ඒවා ඉබේටම වියදම් වන මුදල්ය. ගුරු හා සේවක පඩි නඩි, අතිකාල හා ගමන් ගාස්තු, පාසල් පෙළ පොත්, දිවා ආහාර, වාහන නඩත්තු කිරීම් වැනි අනිවාර්ය වියදම් පුනරාවර්තන වැය ශීර්ෂයට ඇතුළු වන හෙයිනි. එය සමස්ත වියදමෙන් සියයට 60ක් පමණ වේයැයි ගණන් බලා ඇත. එහි අර්ථය වනුයේ ප‍්‍රාග්ධන වියදම් වශයෙන් වෙන් කෙරෙන සියයට 40ක පමණ මුදල පූර්ණ ලෙස වියදම් කිරීමට අවශ්‍ය සැලසුම් නැතිව එම මුදල් වෙන් කිරීම හා වෙන් කළ පසු වියදම් කිරීමට හැකි කාර්යක්ෂමතාවක් ආයතන සතුව නොමැත යන්න ය.

මෙවැනි පසුබිමක 2016 සඳහා අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් වැඩි කිරීම යෝජනා විය යුත්තේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණද සමගින් ය. එනමුත් අධ්‍යාපන ප‍්‍රතිසංස්රණ සඳහා ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. එවැන්නක් මේ රටේ කිසිදු ක්ෂේත‍්‍රයකට නැත. පළමු වගකීම වන්නේ ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් හදා ගැනීම ය. එයට වහා අත ගැසිය යුතු වූවත් වහා හදාගත හැකි නොවේ. ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් යනු වසරෙන් දෙකෙන් සංශෝධනය කරන්නට, බලයට එන ආණ්ඩුවල වුවමනා අනුව වෙනස් කරන්නට ඉඩ නොතබන, අවම වසර 15ක් හෝ 20ක් සඳහා වලංගු විය යුත්තකි. එම කාර්ය ඉටුවන තෙක් මුදල් විශාල වශයෙන් වැඩි කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. එබැවින් වියදම් කරන්නටද ශක්‍යතාවක් නැතුව කෙරෙන විශාල මුදල් වෙන් කිරීම් හුදු ප‍්‍රචාරකවාදී හිස් කාර්යයක් වන්නේය.