පැවිදි ජීවිතේ බැඳීම් වැඩියි |අනුරාධා සුදම්මිකා මෙහෙණිය (ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී)

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

නාවලපිටියේ අනුරාධා සුදම්මිකා මෙහෙණිය යන නම ලැබෙන්නේ කොහොමද?

පුංචි කාලේ ඉඳලම මට මෙහෙණියක් වන ආශාව තිබුණා. එතකොට මට වයස අවුරුදු 14යි. දවසක් මම ගෙදරටත් ලියුමක් ලියල තියලා ඉස්කෝලෙ ඇරුණාම ආරාමයක් හොයාගෙන ගියා. යාළුවො මට උදව් කළා. ඒ කාලේ දිස්ත‍්‍රික් සිල්මාතා සංවිධානෙ ලේකම් තමයි ඒ ආරාමෙ භාර මෙහෙණින් වහන්සේ. ඒ කාලෙ දැන් වාගේ ටෙලිෆෝන් නැහැනේ. ඒ මෙහෙණින් වහන්සේ එදා මාව ආපහු එව්වෙ නෑ. මම යුනිෆෝම් එකෙන් හිටි නිසා මට ඇඳුමකුත් දීලා කෑමත් දීලා ආරක්ෂාව සැපයුවා. පහුවදා උදේම මෙහෙණින් වහන්සේ ඒ කිට්ටුව අපේ පාසලේ ළමයෙක් අතේ විදුහල්පතිනියට ලියුමක් යැව්වා මම ආරක්ෂිතව ආරාමේ ඉන්න බව දන්වලා. ඒ වෙද්දිත් මම ලියපු ලියුමත් අරන් ගෙදර අය ඉස්කෝලෙට ඇවිත්. විදුහල්පතිනියයි අපේ ගෙදර අයයි තව ගුරුවරු දොළොස් දෙනෙකුයි එදා ආරාමෙට ආවා. ඒක ලොකු යුද්ධයක් වගේ. ගෙදර අය මාව බදාගෙන ඇඬුවා ගෙදර යමු කියලා. මමත් ඇඬුවා තමයි. ඒත් මම කීවෙම මට මහණ වෙන්නම ඕනෑ කියලා. ලොකු මෙහෙණින් වහන්සේ කීවා මහණ කරන්න අවසර ලැබුණොත් සංඝමිත්තා දිනය වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහයෙන් අනිද්දාට අනුරාධපුරේ පැවැත්වෙන කුල දැරියන් සිය දෙනෙක් පැවිදි කරන උත්සවේදි දරුවා පැවිදි කරන්න පුළුවන් කියලා. අම්මා කැමති වුණේම නැහැ. ඒත් මම මහණ වෙන තීරණේම හිටියා. අන්තිමට තාත්තා ඇස්වල කඳුළු පුරවාගෙන මං දිහා බලා ඉඳලා කීවේ ‘මේ දරුවා හැමදාම කීවේ මහණ වෙන්න ඕනෑ කියලානේ. ඉතින් අවසර දෙමු’ කියලා. එහෙම නොවෙන්න මම අද මෙහෙණියක් නෙමෙයි. තාත්තා තමයි ඒ අවසරය දුන්නේ. ඒක මගේ ජීවිතේ තද සංකේතයක්. (ඇගේ කටහඬ බිඳී, ඇය කඳුළු සලයි. නිහඬතාවට ඉඩ හළෙමි.) සමාවෙන්න. මගේ තාත්තා දැන් අසනීපෙන් ඉන්නේ. හුඟක් අමාරු වුණා.

අනුරාධපුරේදී අසූහයේ උඳුවප් පෝය දවසෙ මට පැවිද්ද ලැබුණා. පැවිදි නම එන්නේ ගමේ නමින්නේ. අනුරාධපුරේ එදා පැවිදි කළ සියදෙනාටම අනුරාධා නම ලැබුණා. මගේ ගිහි නම දම්මිකා වික‍්‍රමආරච්චි. දම්මිකා සුදම්මිකා වුණා.

පවුලේ අය එක්ක ගෙවුණ කාලය මොනවගේද?

ඒක සුන්දර මතකයක්. අපි ජීවත් වුණේ නාවලපිටියේ. තාත්තා ගුරුවරයෙක්. අයියලා තුන්දෙනෙක්, අක්කා, මල්ලි එක්ක මම හැදුණේ. අම්මායි, තාත්තායි හරියට පොත් කියෙව්වා. මට එතකොට අකුරු කියවලාත් නෑ. අම්මා ළඟ තිබුණා එළුඅත්තනගලූ වංශය කියලා පොතක්. මම ඒ පොතයි තව පොත් ටිකකුයි අරන් අයියලා ඉස්කෝලේ යද්දි ඉස්කෝලේ යන්න හදනවා. ඉතින් අම්මායි, තාත්තායි වෙන දවසක යමු කියලා අමාරුවෙන් තමයි මාව නතර කරගත්තේ. ඒ ළඟම දවසක මට අකුරු කියෙව්වා. මම ආසම කළ කොළපාට අත් නැති පුංචි ගවුම අන්දවලා කොළපාට වළලූ දාලා අම්මා මාව ගෙදර ඉස්සරහ වාඩි කළා. තාත්තා තමයි අකුරු කියෙව්වේ. ඒක මගේ මතකයෙන් නොයන චිත‍්‍රයක්.

පාසල් කාලය කියන්නේ ජීවිතේ සුන්දරම කාලයක්.

පාසල් කාලය ඇත්තටම සුන්දරයි. පහේ පන්තියට යනකන් ඉගෙන ගත්තේ වෙරළුගස්හේන කණිෂ්ඨ විද්‍යාලෙ. පන්තිය හැමදාම පළවෙනියා හෝ දෙවෙනියා. ඒ කාලේ මම හරිම දඟයි. ක‍්‍රිකට් ගහනවා. එල්ලේ ගහනවා. ශිෂ්‍යත්වෙන් පස්සෙ මම ගියේ නාවලපිටිය ශාන්ත ඇන්ඩෲස් බාලිකා විද්‍යාලයට. එහෙදි මම නෙට්බෝල් කළා. සිංහල දින තරගවලින් පාසලට ජයග‍්‍රහණත් ගෙනාවා. ඉතින් මම පාසලේ විශේෂ ශිෂ්‍යාවක්.

ළමා කාලයේ සිහින මැව්වේ ලොකු වුණාම කවුරු වෙන්නද?

තුනේ පන්තියේදී සංඝමිත්තා මෙහෙණිය ගැන පාඩමක් තිබුණා. ඒ චිත‍්‍රයත් තාම මට මතකයි. ඒ වාගේ කොණ්ඩෙ කපලා සිවුරක් පොරවන්න මම ඒ කාලේත් ආසා කළා. රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා මට තේරුමක් තිබුණෙ නෑ. ඒ වගේ වෙන්නයි ඕනෑ වුණේ. මම නිතරම කීවා මහණ වෙනවා කියලා. ගෙදර අයට ඒ ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නෑ. අනුබල දුන්නෙත් නෑ. මම දිගින් දිගට පෙරැුත්ත කළත් මාව ආරාමෙකට ගෙනිච්චෙත් නෑ. ඒ නිසා මම හිතුවක්කාර තීරණයක් ගත්තා.

කොහොමද එතරම් හිතුවක්කාර තීරණයක් ගත්තේ?

පවුලේ අය එක්ක බැඳීම තිබුණත් මහණවීම තමයි මට අංක එක වුණේ. කෙනෙක්ට යමක් ඕනෑවෙලා තිබිලා ඒ දේ ලැබුණාම දැනෙන්නේ පුදුම සතුටක්. මට තිබුණු දිග කොණ්ඩෙ කපලා දාන එකම ලොකු සැහැල්ලූවක් වුණා. මහණවීම පුදුම දෙයක්. ඒක කියන්න මට වචන නැහැ. වරදක් හෝ හොඳක් කරන්න සිතිවිලිවල ප‍්‍රබලත්වය බලපානවා. මම එදා ගත්ත හිතුවක්කාර තීරණය ගැන මට දැන් හරිම පුදුමයි. ඒක අනිත් අයට ආදර්ශයක් නෙමෙයි. අනිත් අතට හිතෙනවා හරි කියලා හිතෙන දෙයක් අනෙක් අය අකමැති වුණත් කළාට වරදක් නෑ කියලා. ඒ වෙලාව වෙන්න ඇති වෙලාව මගේ නික්මීමට. මම මහණ වෙලා අවුරුදු 10ක් යනතුරුත් ආපහු ගෙදර එන්න කියන තැනයි අම්මා හිටියේ.

එදා තීරණය ගැන අද හිතෙන්නේ කොහොමද?

ළමා වයසේදී එදා එහෙම ගිය එක තාමත් මට පුදුමයක් වගේ. දැන් හිතද්දී නම් හිතට බයකුත් දැනෙනවා. ගෙවුණු ජීවන මග දිහා ආපහු හැරිලා බලද්දි මාව හොඳ තැනකට ගෙනත් තියනවා. දෛවය විසින් හෝ කුසල් අකුසල් විසින් වෙන්න ඇති. කොහොම නමුත් හොඳ පිරිස්, කල්‍යාණ මිතුරන් ළඟට මාව යොමුවුණා. ගැටලූ නැතිවත් නෙවෙයි. ළමා කාලයේ පටන් ගත් අධ්‍යාපන කටයුතුත් මම නොකඩවා හොඳින් කළා. ඒක සමාජයට යහපතක් කරන තැනට මාව අරන් ආවා.

යොවුන් විය සුන්දරයි. එය ඔබ කරා පැමිණියේ කොහොමද කියලා දැනගන්න කැමතියි.

මගේ යොවුන් විය ගතවෙන්නේ පැවිද්දේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අවුරුදු හතර ගෙවුණේ තරුණම ළමයි එක්ක. ඒ අය මට මෙහෙණියකට වගේම යෙහෙළියක් ලෙස සැලකුවා. ඒ කාලෙ මම භාවනා මධ්‍යස්ථානෙකට යන්න පුරුදු වෙලා හිටියා. භාවනාවට කැමති තරුණ උපදේශක පිරිසක් හා තරුණ ශිෂ්‍යයන් පිරිසක් අපේ කණ්ඩායමේ හිටියා. අපි හොඳ කල්‍යාණ මිත‍්‍රයො. අපි අතර ගැටුම් තිබුණෙ නෑ. හංගා ගත් හැඟීම් තිබුණෙ නෑ. හරි විවෘතයි. ධර්මය හැදෑරීමෙන් නිරායාසයෙන් සංහිඳියාවක් තිබුණා. හරිම සුන්දර ප‍්‍රසන්න කාලයක්.

යොවුන් පේ‍්‍රමය ගැන ඔබට හිතෙන්නේ මොකද්ද?

යොවුන් පේ‍්‍රමය හොඳයි. මේ විශ්වවිද්‍යාලෙ වුණත් මම දකිනවා පෙම්වතුන්. ඒ හැමදේම අනිත්‍ය සංකල්පයට යටයිනේ. ඒ දේ තේරුම් අරන් ප‍්‍රබෝධමත්ව ජීවිතය ගතකරන කෙනෙක්ට පුළුවන් නම් ඒක තමයි දක්ෂකම.

මම දකින දෙයක් තමයි පේ‍්‍රම කරන කාලේ වෙන කිසිම දෙයක් ගැන සිහියක් නැහැ. මම විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලේ හොස්ටල් එකේ සමහර ළමයි හැන්දෑවට දන්න ජාති දාලා සුවඳට උයනවා. පිරිමි ළමයා ආවාම කෑමත් ඔතාගෙන යනවා. ගොඩක් වෙලාවට කෑම සඳහා ඇති කරගත්ත පේ‍්‍රම සම්බන්ධතා තමයි තියෙන්නේ. ඒ කාලසීමාවෙදි වෙනදා දකින චරිතවලට වඩා මේ අය වෙනස් කියලා මට පේනවා. ටික කලකින් ඒ සබඳතා බිඳවැටුණාම අඬනවා, මුහුණ දෙන්නෙ නෑ, කතා කරන්නෙ නෑ. මේවා සිත්වල ගැටලූ. සිතිවිලි නොගැළපෙන දෙන්නෙක් ගළපාගෙන ඉන්න නම් ලොකු ඉවසීමක් තියෙන්නෙ ඕනෑ.

ඔබේ ජීවිතය තුළත් පේ‍්‍රම කතා ඇති නේද?

එහෙම අත්දැකපු පේ‍්‍රම කතා නැහැ. ඒත් එක එක්කෙනා මගෙන් එහෙම අහලා නෑ කියන්න බෑ. ගිහි අය අතළොස්සක් දෙනා අහලා තියෙන්නේ. සමහර අයට කියාගන්න දහිරියක් නෑනේ. ඒවා මම හැමවිටම ප‍්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මම පැවිද්දෙක්. අපි යාළුවො වගේ ඉමු, එවැනි දේට සම්බන්ධ වෙන්න බැහැ, වෙන කෙනෙක් හොයාගන්න කියන උත්තරේ ඒ හැමෝටම මම කියලා තියනවා. ඉතින් ඒක මම ඍජුවම ප‍්‍රතික්ෂේප කළ දෙයක්.

ඔබ ගිහිගෙය අත්හැර පැවිදි ජීවිතයක් තෝරා ගත්තා. අද විශ්වවිද්‍යාලයක වෘත්තියක නියැලීම ඒ අදහසත් සමග පරස්පරයි කියලා හිතෙනවා.

උසස් පෙළෙන් ලංකාවෙන් තෙවන ස්ථානය ලබාගත් නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න තිබුණු අවස්ථාව මම ප‍්‍රයෝජනයට ගත්තා. මම හිතුවේ ත‍්‍රිපිටකය කියවන්න ලැබෙයි වාගේ හැඟීමක්. සෞන්දර්යය පැත්ත නෙමෙයි, පළමු අවුරුද්දේ විභාගයේ ප‍්‍රතිඵල අතර එක් විෂයකට මට ලැබුණු සී සාමර්ථ්‍යය මට වැදුණු පහරක් වුණා. ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. මම විශේෂ උපාධියක් කරන්න තේරුණා. පොත්පත් කියවන්න තිබුණු දැඩි කැමැත්ත නිසා සිංහල විෂය මාලාව තෝරා ගත්තා. අවසන් වසරේ වැඩිම ලකුණු ලබාගත්තා. මාව දෙපාර්තමේන්තුවට බඳවා ගන්න බව අංශ ප‍්‍රධානියා කීවත්, පසුව සිල්මෑණි කථිකාචාර්යවරියන් විශ්ව විද්‍යාලවල නෑ කියලා ඒ අය මට කීවා. එය මට තදින් රිදුණා. සුදුසුකම් තිබිලාත් මගේ මහණකම නේද මෙයට හේතුව කියලා හිතුණා. අන්න ඒ රිදීම තමයි මගේ ජීවිතේ මම මෙතැනට එන්න හිතපු තැන. වෛරයකින් නෙමෙයි කතා කරන්නේ. ඒක එක මොහොතක කෙනෙක්ගේ සිතිවිල්ලක් නිසා වුණු දෙයක්. පසුව මම කැලණි විශ්වවිද්‍යාලයේ ගුරු සහායක තනතුරට ඉල්ලූම් කළා. ස්ථිර ලෙස නොවුණත් අවුරුදු දෙකක් සේවය කළා. පසුව නැවත ආරාමෙට ගියා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත්, මිහින්තලයටත් නැවත සම්මුඛ පරීක්ෂණ වලට ගියත් මාව ගත්තේ නැහැ. ඔහොම ඉද්දි තමයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලෙ සම්මුඛ පරීක්ෂණයට මම එන්නේ. එදා මාව මේ විශ්වවිද්‍යාලයට තෝරාගත්තා. මම මේ විශ්වවිද්‍යාලයට සිය දහස් වරක් ස්තුතිවන්ත වෙනවා. එහෙම නොවුණා නම් මගේ හිතේ ඇතිවූ රිදුම සුවපත් කරගන්න වෙන්නේ නැහැ.

පැවිදි ජීවිතේ බැඳීම් නම් අඩුයිද?

ගොඩාක් අය හිතන්නේ එහෙම තමයි. මට හිතෙන්නේ පැවිදි ජීවිතේ බැඳීම් වැඩියි කියලා. මාව පැවිදි කළ මෙහෙණින් වහන්සේලා ඉන්නවා. දැන් ඉන්න ආරාමේ අය ඉන්නවා, විශ්වවිද්‍යාලෙ අය, දායක පිරිස්. ඒ අයට ලෙඩක් දුකක් වුණාම බලන්න නොගියොත්, කතා නොකළොත් හිත් රිද්ද ගන්නවා. අම්මලා තාත්තලාත් වයෝවෘද්ධ අය. ඉතින් මේ හැමදේම බැලිය යුතුයි.

බුදුන් වහන්සේ කාන්තාවට පැවිදි බව ලබාදෙන්න එක්වරම අනුමැතිය නොදුන් බවයි සඳහන් වෙන්නේ. ඒ පිළිබඳ ඔබේ විග‍්‍රහය?

ඒකට සාධාරණ හේතු තිබුණා. ප‍්‍රජාපතී ගෝතමියට පැවිද්ද දීම තෙවරක් ප‍්‍රතික්ෂේප කළායැ’යි කීම වැරදියි. පළමුවෙන්ම පැවිද්දට අවසර පැතුවෙ යසෝධරා දේවිය. සාමාජික වශයෙන් ගැටලූ ඇතිවිය හැකි නිසා එය ප‍්‍රතික්ෂේප වුණා. පළමු පැවිද්ද ලබන්න සංසාරේ පතන් ආ කෙනා යසෝධරා නොවන බව බුදු නුවණින් දකින්න ඇති.

දෙවනවර ශාක්‍ය, කෝලිය, දෙපාර්ශ්වයෙන් කුමාරවරු 250 බැගින් පැවිදිවුණු වෙලාවේ ඒ කුමාරවරු හමුවීමේ අරමුණින් ඔවුන්ගේ කුමාරිකාවෝ පන්සිය දෙනා පැවිදි වෙන්න අවසර පැතුවා. අරමුණ නිවන නෙමෙයි. එයත් ප‍්‍රතික්ෂේප වුණා.

සුද්දෝධන රජුගේ මරණයෙන් පසුව ප‍්‍රජාපතී දේවිය පැවිදිවෙන්න අවසර පැතුවා. වැන්දඹුවන්ගේ සමාජයක් ලෙස හඳුන්වයි කියා සිතූ නිසා එයත් ප‍්‍රතික්ෂේප වුණා. ඒ්ත් ඇය හිතුවක්කාර ගමනක් ආවා.

බුදුන්වහන්සේ තැන දුන්නේ අසහාය මානසික ශක්තියට මිසක් ස්ත‍්‍රීපුරුෂභාවයට නොවෙයි. බුද්ධ ධර්මය සුරක්ෂිත කිරීම පළමු සංගායනාවේ සිටම මෙහෙණින් වහන්සේලාට පැවරිලා නෑ. භික්ෂූන් වහන්සේලාම තමයි ඒ කොටසත් එකතු කරන් ඇවිත් තියෙන්නේ. සංගායනා කරන කොට අටුවා ලියනකොට ඕවා වෙනස් වෙනවා ඇති කියලා හිතෙනවා. ඒත් සමාජ ගැටලූවක් ලෙස මම මේකට මුහුණ දෙනවා. සමහර තැන්වල තර්ක කරලා දිනන්න බෑ.

ශ‍්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනයට හිමි ස්ථානය කුමක්ද?

දෙවන ස්ථානය. මම 2010 වසරේ උපසම්පදා වෙනතුරු දසසිල් මාතාවක්. මහනුවර යුගයේ භික්ෂු ශාසනය නැතිවේගෙන ගිහින් ගණින්නාන්සේලා තත්ත්වයට පත්වුණා. ඒ කාලේ සිල්වත් සමාජය කියලා පටන් ගත්තේ දසසිල් මාතාවන් වගේ දසසිල් පියවරු.

මේ දසසිල් මාතාවෝ නම් ඒ දසසිල් පියවරු නේද?

පසුව උපසම්පදාව වෙන රටකින් ගෙනත් සියම් නිකාය පිහිටෙව්වා. මේ අතීතය මතක නෑ වගේ. ඊට කිට්ටුයි අපේ එකත්. විනයකර්ම අතින් ථේරවාද, මහායාන ආදි විවිධ නිකායන්වල ප‍්‍රාතිමෝක්ෂය හා භික්ෂුණී ප‍්‍රාතිමෝක්ෂය සංසන්දනය කළොත් ශික්ෂාපදවල තියෙන්නේ බොහොම සමානකම්. බොහොම කුඩා දේවල් කීපයක් එහෙමෙහෙ වෙලා තියෙන්නේ. ඉතින් මේවා සසඳලා බලලා තමයි නැවත උපසම්පදාව ගේන්නේ. කැතරින් අල්විස් මහත්මිය බුරුමයට ගිහින් පැවිදි බව ලබලා 1905 ලංකාවට එද්දී රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණා. පේ‍්‍රමදාස රජය කාලේ එය වඩාත් ක‍්‍රමවත් වෙලා උපසම්පදාව ගේන්න සාකච්ඡුා වුණා. ඊට රාජ්‍ය අනුග‍්‍රහය තිබුණා.

මම උපසම්පදා වෙද්දී සිල්මාතා සංගමයට අවශ්‍ය වුණා මාව ඒ කණ්ඩායමේ නවත්වා ගන්න. මගේ උපසම්පදාවෙන් පස්සේ ඒ අය නඩුවක් ගොනු කළා උපසම්පදාව එපා කියලා. මට මෙහෙණියක් ලෙස හැඳුනුම්පතක් තියනවා. ඉන්පසු උපසම්පදා වූ භික්ෂුණීන්ට හැඳුනුම්පත් දුන්නේ නැහැ. එහෙම හැඳුනුම්පතක් නැති පන්දාහක් පමණ ඉන්නවා. අපි මේ රටේ පුරවැසියෝ. ඉස්ලාම්, කතෝලික, හින්දු පූජක පක්ෂවලට ඒ වටිනාකම දෙනවා නම් බෞද්ධ මෙහෙණිවරුන්ට ඒ අවස්ථාව දෙන්න බැරි ඇයි?

ඔබට අනුව ජීවිතය යනු කුමක්ද? එහි අරුත කුමක්ද?

ජීවිතය කියන්නේ සිංහල භාෂාවේ අකුරු හතරක්. ඒ අකුරු හතර ඇතුළෙ මුළු විශ්වයම පැතිරිලා තියෙනවා. කරුණාව, දයාව, මෛත‍්‍රිය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි හැඟීම් හැමදේම එකතුවුණ එක තමයි ජීවිතය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;