Untitled-1

Untitled-1

අභයාරාම පන්සලේදී කී බොරු


boru

කේ. ඩබ්ලිව්. ජනරංජන

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති ජිනීවා යෝජනාව පිළිබඳ විවාදයට තමා සහභාගි නොවුණේ පෞද්ගලික හේතුවක් නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුව කීවේය. එහෙත් ඉන්පසු ඔක්තෝබර් 25වැනිදා විශේෂයෙන් කැඳවන ලද පිරිසක් ඉදිරියේ නාරාහේන්පිට අභයා රාමයේදී ඔහු ජිනීවා යෝජනාව ගැන කිසිවකු විසින් ලියා දෙන ලද කතා පිටපතක් කියවීය. එනිසා පාර්ලිමේන්තු විවාදයට සහභාගි නොවීමෙන් ජිනීවා යෝජනාව ගැන දක්වන්නට බැරිවූ අදහස් දැක්වීම නිල වශයෙන් අභයාරාමයේදී කරන ලදැයි සිතිය හැකිය. පසුගිය කාලයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්හිදී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්වන්නට ලංකාව පැත්තෙන් විශාලතම දායකත්වය දැක්වූ හිටපු ජනාධිපතිවරයා එම යෝජනාව සම්බන්ධයෙන් දක්වන නිල අදහස ඉතාම වැදගත්ය. එනිසාම, අන් සියල්ලන් දක්වන අදහස්වලටත් වඩා ඔහුගේ අදහස් බරසාර ලෙස ගැනීමේ වරදක් නැත.

එහෙත් අවාසනාවකට මෙන් සිය අදහස් දැක්වීමේදී ඔහු ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් අඳින්නේ වැරදි හා අසාධාරණ චිත‍්‍රයකි. මීට පෙරද කළාක් මෙන් ඔහු එහි අවශ්‍ය කරුණු සඟවයි. සමහර කරුණු විකෘති කරයි.

ඔහු කියන එක් කාරණයක් වන්නේ, ලංකාව මෙම යෝජනාව පිළිගැනීමෙන් රටේ පවතින යුක්තිය පසිඳලන ආයතන සියල්ලටම පරිබාහිරව තවත් යුක්තිය පසිඳලන ආයතන පද්ධතියක් ඇතිකරන බවයි.

කිසියම් අවස්ථාවක යුක්තිය පසිඳලීම සඳහා අලූත් ආයතන ඇතිකිරිම ලෝකයේ අනිත් රටවලට මෙන්ම ලංකාවටද අලූත් දෙයක් නොවේ. කිසියම් විශේෂ ක්‍ෂෙත‍්‍රයක් අළලා යුක්තිය පසිඳලීමට පවතින ආයතන පද්ධතිය ප‍්‍රමාණවත් නොවේ නම් හෝ සුදුසු නොවේ නම්, අලූත් යුක්තිය පසිඳලීමේ ආයතන හැදීමට කිසිම බාධාවක් රටේ නීතියෙන් ඇත්තේ නැත. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 (1) (ඇ) ව්‍යවස්ථාවෙන් කියන්නේ, ‘ශ‍්‍රී ලංකා ජනරජයේ පාර්ලිමේන්තුව විසින් කලින් කල නියම කොට පිහිටුවනු ලැබිය හැකි යම් මුල් අවස්ථා අධිකරණ, විනිශ්චය අධිකාර හෝ ආයතන තිබෙන බව’යි. මෙහි තේරුම පාර්ලිමේන්තුව විසින් එවැනි අධිකරණ අලූතෙන් පිහිටුවනු ලැබිය හැකි බවයි. අපේ අධිකරණ පද්ධතිය තුළම මෑත කාලයේ සිවිල් අභියාචනා මහාධිකරණ, වාණිජ මහාධිකරණ ආදි නව අධිකරණ විශේෂිතවූ ක්‍ෂෙත‍්‍ර සඳහා පිහිටුවා තිබෙන්නේ මේ අවසරයෙනි. ඈත කාලයෙන් උදාහරණයක් ගතහොත්, 1971 කැරැුල්ලේ ප‍්‍රධාන සැකකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු විභාගයක් කිරීම සඳහාම 1971 අංක 14 දරන අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත නමින් අලූත් නීතියක් ජාතික රාජ්‍ය සභාව විසින් පනවන ලද අතර, ඒ යටතේ එවකට අගවිනිසුරු එච්එන්ජේ ප‍්‍රනාන්දු යටතේ පස් පුද්ගල පරීක්‍ෂණ කොමිෂන් සභාවක් පිහිටුවන ලදි. කැරැුල්ලේ ප‍්‍රධාන සැකකරුවන්ට එරෙහිව එම කොමිසම මගින් නඩු විභාග කොට, (රෝහණ විජේවීරට) අවුරුදු 20ක් ද, (සමහර වරදකරුවන්ට) අවුරුදු 2ක්ද වන පරාසයක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කරන ලද්දේ එම කොමිසම විසිනි. මෙයින් පෙනෙන්නේ කුමක්ද? ‘පවතින යුක්තිය පසිඳලන ආයතන සියල්ලටම පරිබාහිරව තවත් ආයතන පද්ධතියක් ඇතිකිරීම’ක් කියමින් මහින්ද රාජපක්‍ෂ මහතා හිතාමතා මවන්නේ ජනතාව ගොනාට අන්දවන බිල්ලෙකු බවයි. රාජපක්‍ෂ මහතා තවදුරටත් කියන්නේ, ‘අපේ විමර්ශන නිලධාරීන් වෙනුවට විදෙස් විමර්ශකයනුත්, අපේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවට විදෙස් පරිචෝදක කාර්යාලයකුත්, අපේ උසාවි වෙනුවට විදෙස් විනිසුරුවරුන්ගෙන් සමන්විත උසාවිත් පිහිටුවීමට සිදුවන’ බවයි. මේ කරුණුද අමූලික අසත්‍යයන්ය. ජිනීවා යෝජනාවෙන් කියන්නේ ලංකාව විසින් ඇතිකරන යාන්ත‍්‍රණයට ඉහත කී පාර්ශ්වවල සහාය ලබාගන්නා ලෙසයි. සහාය ලබාගැනීමක් මිස මුළුමනින්ම විදෙස් පරිචෝදකයන්, විමර්ශකයන් හෝ විනිසුරුවරුන්ගෙන් සැදි යාන්ත‍්‍රණයක් ගැන යෝජනාවේ කිසිම තැනක සඳහන් නොවේ. ඇතිවිය හැක්කේ මිශ‍්‍ර කණ්ඩායමක් සහිත යාන්ත‍්‍රණයකි. රාජපක්‍ෂ මහතා මේ සත්‍යය හොඳින් දැනගෙනම එය විකෘති කරන්නේ මහජනතාව ඉන් නොමග යාවියැ’යි සිතාගෙනය.

යාන්ත‍්‍රණය සඳහා පිටරට මුදල් ලබාගැනීමට ලංකාව දැනටමත් එකඟවී ඇති බවත්, එවිට යාන්ත‍්‍රණය බටහිර රටවල මුදල්වලින් නඩත්තු වන බවත් කියන ඔහු යුද්ධයේ අවසන් අදියර නැවැත්වීමට උත්සාහ ගත් රටවල ආධාර මෙලෙස ලබාගැනීමෙන් යුක්තියක් ඉටුවේයැ’යි බලාපොරොත්තු විය හැකිදැ‘යිද අසයි. යාන්ත‍්‍රණය සඳහා විශේෂඥ ආධාර මෙන්ම මූල්‍යමය ආධාරද සැපයෙන්නේ යාන්ත‍්‍රණය පවත්වාගැනීම ලංකාවට බරක් වීමෙන් වළක්වා ගන්නටය. එවැන්නක් නැතිවුවහොත්, හුදෙක් ආර්ථික කරුණු මත පිහිටා යුක්තිය පසිඳලීම නොවිය හැකි බවත්, යාන්ත‍්‍රණය ලංකාවට බරක් වීමෙන් ඒ බරද ජනතාව පිට පැටවිය හැකි බවත් දන්නා නිසා මේ සහාය ලංකාවට ලැබෙයි. එහෙත් ඒ ආධාර නිසා යුක්තිය ඉටුවීම ඒ රටවලට වාසිදායක ලෙස සිදුවේයැ’යි මිථ්‍යාවක් පැතිරවීම සාහසිකය. සරල උදාහරණයක් ගතහොත්, ලංකාවේ අධිකරණ පද්ධතියේ නඩත්තුව මෙන්ම, විනිසුරුවරුන්ගේ වැටුප් ගෙවීම මෙන්ම සියලූ පහසුකම් සැලසීමද කරන්නේ අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වන නිසා රටේ සියලූ විනිසුරුවරු රජයට හෝ අධිකරණ ඇමතිවරයාට පක්‍ෂපාතීව නඩු අසන්නෝද? තවත් උදාහරණයක් කිවහොත්, ලෝක බැංකුව. රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී ලංකාවේ නීති හා අධිකරණ ක්‍ෂෙත‍්‍රවල යටිතල පහසුකම් හා වෙනත් වැඩිදියුණු කිරීම් ව්‍යාපෘතියක් ඩොලර් මිලියන 18කට ආසන්න මුදලක් යොදවා ක‍්‍රියාත්මක කළේය. තෝරාගත් අධිකරණ අලූතෙන් ඉදිකිරීම, නවීකරණය කිරීම, අධිකරණ විනිසුරුවරුන්ගේ හා නීතිය සම්බන්ධ රාජය ආයතනවල වෘත්තීයමය තත්ත්වය දියුණු කිරීම. අධිකරණ නිලධාරීන් පුහුණුකරන ආයතනය වැඩිදියුණු කිරීම වැනි විවිධ සංවර්ධන වැඩසටහන් ඊට ඇතුළත් විය. මේ ලෝක බැංකු ආධාර සහිත වැඩසටහන නිසා ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් ක‍්‍රියාත්මක වන්නේ ලෝක බැංකුවට පක්‍ෂපාතී ආකාරයටද? එසේ නැත. එනයින් එක්සත් ජාතීන් හා සහායක රටවල් මූල්‍ය හා වෙනත් පහසුකම් සැපයූ පමණින් විමර්ශනය පක්‍ෂපාතී වන්නේ නැත. එවැනි දේට සහභාගි වන ලෝක ප‍්‍රකට විනිසුරුවරුන් පවා, තමන් පක්‍ෂපාතී වීයැ’යි කැළලක් ඇතිකරගන්නට කැමති සිල්ලර නඩුකාරයන් හැටියට රාජපක්‍ෂ මහතා හිතනවාද? එනිසා රාජපක්‍ෂ මහතාගේ මේ කතාවද අමූලික බොරු මවාපෑමකි.

යෝජනාවේ අටවන ඡෙදයෙන් මානව අයිතීන් උල්ලංඝනය කළායැයි උසාවියක නඩු පැවරීමට ‘ප‍්‍රමාණවත් සාක්‍ෂි නැති’ රණවිරුවන් පවා ‘පරිපාලනමය ක‍්‍රියාදාමයකින් සේවයෙන් නෙරපා හැරීමට නියම කර ඇතිි බව’ත් මහින්ද රාජපක්‍ෂ මහතා කියයි. මෙයද අමූලික අසත්‍යයකි. වාර්තාවේ අටවන ඡෙදයේ සිංහල අදහස මෙසේය. ‘ආරක්‍ෂක හමුදාවන්හි ගරුත්වය හා වෘත්තීයභාවය වර්ධනය වීමට ඉඩ සැලසෙන පරිදි සාම්ප‍්‍රදායික අධිකරණ ක‍්‍රියාවලියේ කොටසක් ලෙස ආරක්‍ෂක අංශයේ ප‍්‍රතිසංස්කරණ සඵලදායි ආකාරයට හඳුන්වා දීම සඳහා ලංකා රජය දිරිගන්වන අතර, මානව හිමිකම් උල්ලංඝනය හෝ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධයැ’යි ‘සාධාරණ අධිකරණ ක‍්‍රියාවලියක්’ මගින් වරදකරුවන් වූ ආරක්‍ෂක හා බුද්ධි ඒකක සාමාජිකයන් ඇතුළු කිසිදු අයෙකු ආරක්‍ෂක හමුදාවලට බඳවාගැනීමට හෝ ආරක්‍ෂක හමුදාවල රඳවාගැනීමට කිසිදු ඉඩකඩක් නොමැති බවට තහවුරු කරමින් සියලූ ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් හා ප්‍රෝත්සාහන ලබාදීම් වැඩිකිරීම දිරිගන්වනු කැමැත්තෙමු.’ මෙහි කියන්නේ ‘සාධාරණ අධිකරණ ක‍්‍රියාවලියක්’ මගින් වරදකරුවන් වූ අය ගැන මිසක් රාජපක්‍ෂ මහතා මවන බිල්ලාට අනුව ‘සාක්‍ෂි නැති අය’ ගැන නොවේ. මෙයින් පෙනෙන්නේ රාජපක්‍ෂ මහතා රටද නොමග යවා, හමුදා සාමාජිකයන් අතර ආණ්ඩුවට එරෙහි වෛරයක් අවුළුවාලීමට ගන්නා උත්සාහය මිස අන් කුමක්ද? රජයේ නිලධාරියකු කුඩා වරදකට හසුවී උසාවියෙන් දඩ ගැසූ විටත් රාජ්‍ය සේවයේ විනය නීතිවලට හසුවන රටක, මෙවැනි බරපතළ වැරදි ඇතියවුන් හමුදා සේවයේ තබාගත යුත්තේ ඇයි? ඒ අතර මතක තබාගත යතු තවත් අතිරේක කරුණක් වන්නේ, 1994 අංක 22 දරන පනත මගින්, කිසිවකුට වධහිංසා පැමිණවීයැ’යි වැරදිකරු වන පොලිස් හෝ හමුදා සාමාජිකයකුට මහාධි කරණයක් මගින් අවුරුදු 7සිට 10 දක්වා සිර දඬුවම් පැමිණවිය හැකි බවත්, ඔවුන්ගේ හමුදා රැුකියාවද එනයින්ම අහෝසි වන බවත්ය. එවැනි බලවත් නීති පවා දැනටත් ලංකාවේ තිබියදී, රාජපක්‍ෂ මහතා මේ අලූත් බිල්ලන් මවන්නේ කුමන දුෂ්ට අරමුණකින්දැ’යි පැහැදිලිය.

රාජපක්‍ෂ මහතා තවදුරටත් කියන්නේ රණවිරුවන්ට දඬුවම් දීමට නම්, යුද්ධය සිදුවන අවස්ථාවේ අප රටේ නීතියට අනුව අපරාධයක් නොවූ බොහෝ දේවල් අපරාධ හැටියට නීතියට ඇතුළත් කර, එම නීති ආපස්සට ක‍්‍රියාත්මක කිරීමට සිදුවන බවයි. තමා නීතිඥයකු බව කියන රාජපක්‍ෂ මහතා මේ අවස්ථාවේදීද සත්‍යය බරපතළ ලෙස විකෘති කරයි. යෝජනාව අනුව පිහිටුවන යාන්ත‍්‍රණයෙන් විමර්ශනය කරන්නට යන වැරදි මොනවාද යන්න තවමත් නිශ්චිත නැත. ඒ, ඊට අදාළ නීතිය තවමත් සම්පාදනය කර නැති නිසාය. එහෙත් මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාවේ සඳහන් වන නිශ්චිත චෝදනාවලින් ඒ ගැන යම් අදහසක් ගත හැකිය. ඒ චෝදනා අතර, නීති විරෝධී මිනිමැරීම්, ලිංගික හා ස්ත‍්‍රීපුරුෂභාවය පදනම්කොට ගත් ප‍්‍රචණ්ඩත්වය, බලහත් කාරයෙන් කරන ලද අතුරුදන්කිරීම්, වධහිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්, ළමයින් හමුදාවට බඳවාගැනීම් සහ ඔවුන් සටන්වලට යොදාගැනීම මෙන්ම වැඩිහිටියන් පැහැරගෙන යෑම, බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම, සාමාන්‍ය ජනතාවට හා පොදු ස්ථානවලට ප‍්‍රහාර එල්ල කිරීම, මානුෂීය ආධාර වැළැක්වීම, විවෘත නොවූ කඳවුරුවල අවතැන් පුද්ගලයන් රැුඳවීම යනාදිය වෙයි. බැලූ බැල්මටම එක්කෝ මේ චෝදනාවලින් අතිශය බහුතරයක් ලංකාවේ දැනට පවතින නීතිය යටතේ එනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා වෙනත් නීති යටතේ වැරදිය. අනෙක් චෝදනා, ලංකාව සම්මුතිගතව ඇති පිළිගෙන ඇති ජාත්‍යන්තර සම්මුතීන්හි ඇති නීති අනුව වැරදිය. එම ජාත්‍යන්තර සම්මුතීන්ට අදාළව ලංකාවේ දැනට දේශීය නීතියක් නැතත්, අලූතෙන් නීීති පැනවීමට අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම අවසර දී තිබේ. මහින්ද රාජපක්‍ෂ මහතාද උපුටා දක්වා ඇති සේපාල ඒකනායක ඉතාලි ගුවන්යානයක් පැහැර ගැනීමේ සිදුවීමට අදාළ නඩු කටයුත්ත සිදුවූයේ ඒ අවසරය මතය.

අනෙක් අතට මේ නඩු විභාග කරන්නට යන්නේ යුද්ධ කළ සියලූම ඊනියා රණවිරුවන්ට එරෙහිව නොවේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ කාලයේ කීවේ, අපේ හමුදව ඉතා විනයගරුක හමුදාවක් බවත් ඔවුන් යුද්ධයට ගියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයත් අත් දෙකෙන් අරගෙන බවත්ය. ඔහු කියන එවැනි පිරිසිදු රණවිරුවන්ට මේ යාන්ත‍්‍රණයෙන් කිසිදු වරදක් සිදුනොවේ. චෝදනා එල්ලවනු ඇත්තේ, ඉහත සඳහන් කළ චෝදනාවලට ලක්විය හැකි පුද්ගලයන්ට පමණය. ඔවුන් අතිවිශාල ප‍්‍රමාණයක් හමුදාවේ සිටියා වන්නට බැරිය. උදාහරණයක් හැටියට, චෝදනාවල එකක් වන, නීති විරෝධී මිනීමැරුම් හමුදාවේ සියලූම ‘රණවිරුවන්’ කළා විය නොහැකිය. කරන්නට ඇත්තේ ඉතාම සුළු ප‍්‍රමාණයක් විසිනි. ඉතින්, ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා, ඔවුන්ට විරුද්ධව සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සමස්ත හමුදාවේ කීර්තිනාමය ඔප දැමීමට හේතුවනවා මිස, අපකීර්තියක්. අධෛර්ය වන්තකමක් ඇතිකිරීමට කිසිසේත් හේතු නොවේ. එහෙත්, මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස තමන්ගේ වාසි තකා කියන කතාවලින් තේරෙන්නේ මුළු හමුදාවම මේ නීතිවිරෝධී වැඩවල යෙදුණාක් වැනි දෙයකි. ඇත්ත වශයෙන් එසේ කීමෙන් මුළු හමුදාවම අපකීර්තියට ලක්කරන්නේ මානව හිමිකම් කවුන්සිලය නොව මහින්ද රාජපක්‍ෂ මහතාම විසිනි.