වසන්තය සොයන මනියන්තෝට්ටෙයි

තරිඳු උඩුවරගෙදර

සතියක පමණ කාලයක් යාපනයේ ජීවත්වීම වෙනමම අත්දැකීමක්. පුංචි රෝසා බස්රියකට නැඟුණු විට ඇහෙන දෙමළ චිත‍්‍රපට ගීත, අයිස්ක‍්‍රීම්, සයිකල් පදින ගැහැනු ළමයින්, දකුණටත් වඩා දියුණු යැයි කිවහැකි කාපට් කළ පාරවල් යාපනය නගරය ආශ‍්‍රිතව ඇවිදින ඔබට විඳින්න ලැබෙනවා. යාපනය නගරයෙන් ටිකෙන් ටික ඈතට යනවිට තමන්ගේ අය අහිමිවූවන්ගේ වේදනාබර සුසුම්වලට ඔබ නිරාවරණය වෙනවා. වෙනත් කාගේදෝ වැරැුද්දකට විඳවන ජීවිත මුණගැහෙනවා. යුද්ධය අවසන්ව වසර පහක් නිසා යාපනයේ සිනහව ඕනෑ තරම් දකින්න පුළුවන්. ඒ නිසා තමන්ගේම රටේ වෙනස් සංස්කෘතියක්, භාෂාවක් තියෙන මිනිසුන් කොටසකට අයිති භූමියක් අත්විඳින්න ඔබට පුළුවන්. යාපනයේ දැන් සිනහව විකුණන්නත් තියෙනවා. මෙය යුද්ධය අවසන් වුණු නිසා ලැබුණු සිනහවක් කියා කවුරුන් හෝ කල්පනා කළ හැකියි. එහෙත් යුද්ධය අවසන් කරන බව කියා යුද්ධ කරමින් ජීවිත අහිමි කරන ලද සිය දහස්ගණන් මිනිසුන්ගේ වේදනාබර සුසුම් මේ යාපනය අහස පුරා සැරිසරනවා. සුව නොවුණු තුවාල යාපනය දේහයේ හැමතැනම තියෙනවා. මේ බෙලහීන කරවන ලද සොඳුරු පුරවරයක්. මේ පුරවරයේ ජීවත්විය යුතු නමුත් තමන් දෙමළ වීම නිසාම එසේ ජීවත්වෙන්න අයිතිය අහිමි කළ ජීවිත ලක්ෂ ගාණක් තියනවා.

යාපනයට නිදහසේ යන්න ඉඩකඩක් ලැබෙන්නේ ඊනියා යුද්ධාවසානයෙන් අවුරුදු පහකට පස්සේ. නිදහසේ කතා කරන කටහඬවල් ඇහෙන්නේ ජනවාරි අටවැනිදා ඒකාධිපතියෙක් බලයෙන් එළවපු ජනතා විප්ලවයකින් පස්සේ. ඒ ලැබුණු ඉඩකඬේ මා යාපනයට ගිය වාර ගණන අතෙහි ඇඟිලි ගණනට වැඩියි. යාපනය පුරා කරක් ගැහුවේ එහි ජීවත්වන මිනිසුන්ගේ සිනහව මෙන්ම ඊට වඩා ගැඹුරින් නැෙඟන කඳුළ බෙදාහදාගන්නට. නල්ලූර්හි භක්තිය ද, මුගාම්වල වේදනාව ද, යාපනය නාට්‍ය උළෙලද, ෂන්මුගම් මුත්තුලිංගම් නම් විශ‍්‍රාමික ගුරුවරයාගේ මතකාවර්ජනයද, යාපනය මාධ්‍ය සමාජයේ මිත‍්‍රශීලීත්වයද යාපනයේ අපව දින ගණනාවක් තියා ගත්තා. යාපනයේ ඇවිදගිය තැන් අතර මනියන්තෝට්ටෙයි ගම්මානය යුද්ධයෙන් සමතලා වී නැඟී සිටින්නට පොරකන ජීවිත සමූහයක් අපට මුණ ගැස්සුවා.

මනියන්තොට්ටම්

‘මනියන් කියන ව්‍යාපාරිකයාට අයිති ඉඩම්වල තමයි මනියන්තෝට්ටම් ගම්මානය බිහිවෙන්නේ. තෝට්ටම් කියන්නේ වත්ත. මේ ගම්මානයේ මිනිසුන්ව පදිංචි කළේ 1985දී විතර. ඒත් අනූහතරේ විතර රිවිරැුස මෙහෙයුම කාලයේ මෙහේ පදිංචි වෙලා හිටපු අය අයින් වුණා. ඒක ඉවර වුණාට පස්සේ තමයි මිනිස්සුන්ට ඉඩම් ආයෙමත් ලැබුණේ. සමහර මිනිස්සු ඇවිත් පදිංචි වුණා. සමහරු මිය ගිහින්, තවත් සමහරු ලංකාවේ හිටියේ නැහැ. උදයපුරම්, සන්තපුරම්, මෙලන්තෝට්ටෙයි, මනියන් තෝට්ටෙයි කියන ගම්මාන හතරට තමයි මෙතැනින් යන්න තියෙන්නේ. මේ ගම්මානවල ගොඩක්ම ඉන්නේ ධීවරයෝ. ධීවර පවුල් සීයක් විතර ඉන්නවා. ධිවර රස්සාව හැරුණාම අනිත් අය කුලී වැඩ කරන්නේ. අපට ලැබෙන්නේ පුංචි ආදායමක්. මේ ගම්මාන හතර යාපනයෙන් කිලෝමීටර් හතරක් පහක් දුරින් තිබුණත් ඉතාම දුෂ්කරයි. බස් එක යන්න පුළුවන් ටික දුරයි. ඉන් එහාට පාරවල් තනිකර වැල්ල. වාහන යන්න බෑ. පයින් තමයි යන්න තියෙන්නේ. ඒත් දවල් වරුවේ මේ වැල්ලේ ඇවිදිනකොට කකුල් පිච්චෙනවා. අපායේ ගිනිගොඩක ඇවිදිනවා වාගේ. සංවර්ධනේ කියන එක ලැබෙන්නේ එයාලා යන පාරවල්වලට විතරයි.’

අප සමඟ කතාබහට එක්වුණේ මනියන්තෝට්ටම් ගම්වාසියෙක් වෙච්ච ක‍්‍රිස්ටෝෆර් මරියාන්. ඔහු දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ ජීවත් වෙන්නට තියෙන අමාරුව ගැන. ඒ අමාරුව විඳින මිනිසුන් බණ්ඩාරවෙල වතු කම්කරු වෙකුගේත්, කොළඹ පැල්පත් නිවාසයකත්, මොනරාගල දුෂ්කර ගම්මානයකත් ජීවත් වෙනවා. ඒත් තමන්ට තියෙන ප‍්‍රශ්නවලට හේතුව මේ එක එක මිනිසුන් දකින්නේ එක එක විදියට.

‘දැන් වගේ කාපට් කළ පාරවල් නැති වුණත් එල්ටීටීඊය තිබුණු කාලේ අපි හොඳ සන්තෝසෙන් ජීවත් වුණා. ළමයි ගැන බය වෙන්න දෙයක් තිබුණේ නෑ. දැන් ගෑනු ළමයෙක්ව පාරට දාන්න බෑ. මත්ද්‍රව්‍යවලින් පිරිමි ළමයින්ව බේරගන්න බෑ.’ උතුරේ මිනිස්සු එක්ක කතා කරනකොට කියැවෙන සුපුරුදු කතාව මනියන්තෝට්ටෙයි ගම්මාන යෙනුත් ඇහුණා.

පාසලක් නෑ

මනියන්තෝට්ටෙයි ගමට යන්නට තියෙන්නේ ශ‍්‍රී ලංකාවේ විශාලතම කතෝලික දේවස්ථාන අතරෙන් එකක් විය හැකි යාපනය ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ට කැප වූ දේවස්ථානය පසුකරගෙන. දේවස්ථානයටත් ගොඩවී අප ගිය ගමනේදී මුණගැසුණු ලියෝ ආම්ස්ට්‍රෝන්ග් පියතුමා ගම්මානය ගැන විස්තර කතා කළා. ඔහු පෙන්වුවේ ගමට පාසලක් නැති වීම ගැන.

‘මනියන්තෝට්ටම් සහ ඉන් එහාට තියෙන ගම් හතරටම ඉස්කෝලයක් නැහැ. මිනිස්සු ළමයින්ව තමන් කරන රස්සාවටම යොමු කරවීමෙන් එහාට හිතන්නේ නෑ. ළමයින්ට උගන්වන්න ආසාවක් තිබුණත් උගන්වන්න තරම් සල්ලි නැහැ. අතරින් පතර ඉන්නවා කොහොමහරි ළමයින්ට උගන්වන්න ඕනෑ කියලා හිතන අය. එහෙම අය තමන්ගේ ළමයින්ව ඉස්කෝලෙට යවන්න උත්සාහ කළත් අනිත් අය ගියත් එකයි නැතත් එකයි කියලා අත්හැරලා දාලා තියෙන්නේ. ළමයින් ගොඩක් වෙලාවට ටික කාලයක් ගිහින් අධ්‍යාපනය නවත්වනවා. නීතිය නිසා ළමයින්ව ඉස්කෝලේ යැව්වත් සතියකට දවසයි දෙකයි ඉස්කෝලයට යන්නේ. දේශපාලන නායකයන්ට කිව්වාට ඔවුන්ට ඉස්කෝලයක් හදන්න වුවමනාවක් නෑ. සල්ලි පාස් වුණාට දැන් හදන්න ඉඩමක් නැහැ. පොඩි පොඩි ඉඩම් කට්ටි තමයි මිනිස්සුන්ට තියෙන්නේ. එකක් පර්චස් දහයක් විතර. ඉස්කෝලයක් හදන්න තරම් ඉඩක් නැහැ. දේශපාලඥයන් ඇවිත් කියන්නේ අපි හදන්න උත්සාහ කරනවා කියලා. මිනිස්සු පාසලක් ඉල්ලනවා. ඇත්තටම ඒ මිනිස්සු ඉස්කෝලයක අවශ්‍යතාව දන්නවා. බිෂොප් හරහා මේ වෙනකොට උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයාට ඉස්කෝලයක් ඉල්ලලා ලියුමක් යවලා තියෙනවා. මාස තුනකට කලින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඇවිත් බලලා ගියා.’

ශෝබියා පුෂ්පරාජ් පාසල් ඇරිලා ගෙදර යන අතරතුරේ අපට මුණගැහුණා. පාසල් හැරී පසෙකින් බයිසිකලයක් තල්ලූකරගෙන එන ඇය දුටු විගස සිහිපත් වුණේ විද්‍යා දැරිය. යාපනය නගරයේ පාසලකට ගිහින් පැයක් තිස්සේ ඇය ගෙදර එනවා. පාර දිගේ බයිසිකලයෙන් ආවත් ගම්මානයට යන්න තියෙන වැල්ල සහිත මාර්ගයේ බයිසිකලය පදින්න බැහැ.

‘හැමදාම ඉස්කෝලේ යන්න අමාරුයි. පැය එකහමාරක් විතර ගතවෙනවා ඉස්කෝලයට යන්න. මම නම් බයිසිකලයෙන් යනවා. ඒත් යාළුවෝ ගොඩක් බස්එකේ යන්නේ. අම්මලාට එදා බස්ගාස්තුව හොයාගන්න බැරි වුණොත් ඉස්කෝලේ යන්න බැහැ. දවල්ට කෑම කන්න දෙන්න සල්ලි නැහැ. ගොඩක් අය ඉස්කෝලේ යන දවසට හාමතේ. ගමට ඉස්කෝලයක් ලැබෙනවා නම් හොඳයි. දැන් සිද්ධ වෙන දේවල් එක්ක අපව තනියෙන් යාල්පානම් ටවුන් එකේ ඉස්කෝලවලට යවන්න ගෙවල්වල අයත් බයයි.’

ඔප්පුවක් නැති ජීවිත

මේ ගම්මානය පෞද්ගලික අයිතිකාරයෙකුගෙන් මිනිස්සුන්ට හිමිවුණ ඉඩම්වල ගොඩනැඟුණු එකක්. තවමත් මේ මිනිස්සුන්ට තමන් ජීවත් වෙන ඉඩම්වල ඔප්පු ලැබිලා නැහැ. ඔවුන්ට ගෙවල් දෙන්නට රාජ්‍ය නොවන සංවිධානවලින් උත්සාහ කළත් ඉඩම් ගම්වාසීන්ට අයිති නැති නිසා ඒ ව්‍යාපෘති මේ ගම්මානවල ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ.

‘අපි මොකක්හරි කරන්න හැදුවාම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කියනවා මේවා රජයේ ඉඩම් කියලා. රජයේ ඉඩම් නම් අපට ඔප්පු ලියලා දෙන්න කියලා ඉල්ලූවාම කියනවා ඔප්පු දෙන්න බෑ මේක පෞද්ගලික ඉඩම් කියලා. මේ ඉඩම්වල අයිතිකාරයෙක් නෑ. අවුරුදු හතළිහකට කලින් අපට ඉඩම් ලැබුණේ.’ මරියාන් එසේ කියනවා.

ඉල්මහේ ප‍්‍රභාකරන්

එළැඹුණේ ඉල් මාසය හෙවත් නොවැම්බරය. විජේවීර මරාදැමීම වගේම ප‍්‍රභාකරන්ගේ ඉපදීම සිදුවුණෙත් ඉල් මාසයේදී. ඉල්මහ විරු සමරුව වගේම දෙමළ මිනිසුන්ගේ මහවිරු සමරුව තියෙන්නෙත් ඉල් මාසයේ. මනියන්තෝට්ටෙයි වගේම යාපනයේ පීඩිත මිනිස්සුන්ට අවංකවම ළංවෙද්දී ඇහෙන සුපුරුදු දේ මනියන්තෝට්ටම් ගම්වාසීන් ගෙනුත් ඇහෙනවා. ඒ හඬවල් නොලියා සිටින්නේ කොහොමද?

නිර්මල් අන්ජන් මහත්මයා වයස අවුරුදු හැත්තෑව ඉක්මවපු කෙනෙක්. ඔහු මේ වෙනකොට එක් බස්රියක් විතරක් යන එන බස් නැවතුම්පලේ වේලා සටහන්කරුවා විදියට ක‍්‍රියා කරනවා. ගම්මාන හතරටම ඇතුල්වෙන පිටවෙන මිනිසුන් දිහා බිත්ති ඔරලෝසුවක් අතේ තියාගෙන කතා කරන එක එයාගේ රස්සාව. අන්ජන් මහත්තයාගේ පවුලේ අය යුද්ධය විසින් පැහැරගෙන ගිහින්.

‘අර තියෙන්නේ. අතන එල්ටීටීඊ කෑම්ප් එකක් තිබුණා.’ අන්ජන් මහත්තයා පෙන්වනවා. දේශපාලනය? දේශපාලනට ගැන අහනකොට ඔහු සමච්චලයට වගේ හිනාවෙනවා. දේශපාලනඥයෝ දැන් ජිනීවා යනවලූ. ඊට පස්සේ ප‍්‍රශ්න විසඳන්නම්ලූ. එයාලාට හැමවෙලාවෙම අපේ ප‍්‍රශ්නවලට වඩා වැඩ තිබුණා. ප‍්‍රභාකරන්ට තරම් වැඩ තිබුණු නායකයෙක් ඉන්න නැතුව ඇති. ප‍්‍රභා දෙමළ මිනිස්සුන්ට තිබුණු පොඩි ප‍්‍රශ්නය ගැනත් හොයලා බැලූවා.’ ඔහු බය නැතිව කියනවා.

පීඩිත දෙමළ මිනිස්සු ප‍්‍රභාකරන්ව විශ්වාස කළා කියන එක පිළිගන්න කැමති හෝ අකමැති අය කොච්චර හිටියත් යාපනය බිමේ ඇවිදින අපට දැනෙන්නේ ඒක. යුද්ධය අපි කියෙව්වේ කොහොමද? ප‍්‍රභාකරන් නම් ලේ පිපාසිතයෙක් සමඟ වීරෝදාර රණවිරුවන් රට ජාතිය බේරාගන්න කළ යුද්ධයක් විදියට. යුද්ධයක් ඒ වගේ කියැවෙන්නේ ගෝත‍්‍රික යුගවලදී. රාවණා රාම යුද්ධය වගේ තැන්වලදී. යුද්ධ කියන්නේ නපුරන් සහ හොඳ මිනිසුන් අතර කරන දෙයක් නෙවෙයි. යුද්ධය ගැන සිංහලයන්ගේ කියැවීමට මනියන්තෝට්ටම් වගේ ගම්මානවල ඉන්න සහෝදර දෙමළ මිනිසුන් ගල් ගහනවා.

මේ පාසලක් නැති, දිළිඳු පීඩිත ගම්මානවල මිනිසුන් දිගින් දිගටම තමන්ට විඳින්න වෙලා තියෙන දුක්ගැහැටවලට, ජීවිත යුද්ධයට වගකිවයුත්තා විදියට දකින්නේ කවුද? ඒ පීඩාවෙන් ගැලවෙන්න මාර්ගය විදියට හොයාගන්නේ කාවද? මනියන්තෝට්ටම් විතරක් නෙවෙයි මේ වගේ ගම්මාන ඕනෑ තරම්. උතුරේ වසන්තයක් මවාපෑ මතුපිටින් පෙනෙන කාපට් පාරවල් පිටුපස වසන්තය අහිමි වුණ ලේ සහ කඳුළු කතන්දර ඕනෑ තරම්. ජනවාරි අටවැනිදා මේ මිනිසුන් යමක් විශ්වාස කළා. ඉන්පසුව දකුණේ නායකයන් ඒ විශ්වාසය කඩකළහොත් මේ මිනිසුන් ඊළඟට සොයායන විකල්පය කුමක්ද?

ඉල්මහ එළැඹුණු මොහොතේ මනියන්තෝට්ටම් ගම්වාසීන් ප‍්‍රභා ගැනත් කතා කරනවා. ඒකට ඔවුන්ට අයිතියක් තියෙනවා. යාපනය නගරයේ පුස්තකාලය අසල රජවරුන් හතරදෙනෙකුගේ ස්මාරක පිළිම හතරක් තියෙනවා. ඒ අතර එල්ලාලන් හෙවත් එළාරත් සිටින බව අන්ජන් මහත්තයා සිහිපත් කරනවා. ‘ඔයාලාගේ ඉතිහාසයේ දුෂ්ඨයෙක් අපේ ඉතිහාසයේ වීරයෙක් වෙන්න පුළුවන්. වීරයොයි දුෂ්ඨයොයි නැති ඉතිහාසයකුයි අනාගතයකුයි හදන්න පුළුවන්ද මහත්තයෝ?’ ඔහු මට ප‍්‍රශ්නයක් දමලා ගහලා හිනාවෙනවා. අපි මනියන්තෝට්ටම්වලින් එන්නේ තවත් පාසලක් නැති ගමකට සමුදීලා නෙවෙයි. මෙතැන ලියැවුණු සහ නොලියැවුණු මේ වගේ මතකයන් ගොඩක් පොදි බැඳගෙනයි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;