Saturday, 19/8/2017 | 5:27 UTC+0
රාවය

ඉදිරියට මිස ආපස්සට ගමනක් නැත

මනුවර්ණ

මෛත්‍රී පාලන යට වසර දෙකක් පිරෙන්නේ මේ ජනවාරි 8වැනිදාටය. වසර තුනක් තිබෙන්නේ ඉදිරියටය. එසේම, මෛත්‍රී පාලනයත් සමඟ මෙතෙක් ඉදිරියට ආ රටටත් ඉදිරියට මිස ආපස්සට යා නොහැකිය. ගඟෙහි අඩකට ආසන්න දුරක් සියල්ලන්ම පිහිනා ඇවිත් තිබේ. දැන් සම්පූර්ණ කළ යුත්තේ ඉතිරි අඩ මිස, මෙතෙක් පිහිනා ආ කොටස ආපස්සට නොවේ.
මෙතෙක් ආ දුර ගැන ආණ්ඩුවෙන් පිටත මෙන්ම ආණ්ඩුව තුළද විසංවාදයන් බහුලව තිබේ. ආණ්ඩුවෙන් පිටත, ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන එන්නට උර දුන් ජනතාව අතර ආණ්ඩුව ගැන දැන් ඇත්තේ ඒ තරම් හොඳ අදහසක් නොවේ. එහෙත්, අවුරුදු දෙකක් තුළ මේ තරම් ජනප්‍රියත්වයේ පිරිහීමක් ලංකාවේ කිසිම ආණ්ඩුවකට සිදුවී නැතැ’යි කීම නම් අතිශයෝක්තියකි. යම්කිසි සිදුවීමකින් හෝ දෙකකින් වහාම ආහ්ලාදයට පත්වී ඊළඟ සිදුවීම දෙකේදී වහාම දුකට හා කලකිරීමට පත්වන, හුදෙක් සිදුවීම් මත පදනම්ව සිතන මහජනතාවක් ඉන්නා ලංකාව වැනි රටක, මෛත්‍රී පාලනය බරපතළ ලෙස පරිහානියට පත්වී ඇතැ’යි කියන කතාව ඇත්තක් ලෙස පෙනිය හැකි නමුත්, සමස්තයක් ලෙස එය එසේ නොවන බව කිව හැකිය. උදාහරණයක් හැටියට, ජනවාරි 8 වැනිදා වැනි දේශපාලන තීන්දුවක් ගත යුතු මොහොතක් හෙට අනිද්දා උදාවුණොත්, රටේ මහජනතාව කුමක් කරනු ඇද්ද? ඔවුන් දේශපාලන වශයෙන් බෙදෙනු ඇත්තේ කුමන ධ්‍රැව වටාද? මනුවර්ණගේ තක්සේරුව නම්, සංඛ්‍යාත්මක වශයෙන් යම් වෙනස්කම් විය හැකි නමුත්, ජනවාරි 8 වැනිදා සිදුවුණු බෙදීම තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇති බවයි.
මෛත්‍රී පාලනය ගැන මහජනතාව දක්වන කනස්සල්ල හරහා බොහෝ විට තහවුරු කෙරෙන්නේ ඒ බෙදීම තවමත් නොවෙනස්ව පවතින බවයි. උදාහරණයක් හැටියට, මෛත්‍රී පාලනය සම්බන්ධයෙන් ජනතාව දක්වන එක් කනස්සල්ලක් පදනම් වන්නේ, හොරුන්ට දූෂිතයන්ට එරෙහිව නීතිය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක නොකිරීම, එවැන්නන් වර්තමාන පාලනයටද හවුල් කර ගැනීම, විවිධ අවස්ථාවලදී ඔවුන් ආරක්‍ෂා කිරීම යන කාරණා මතය. මේ හොරුන් දූෂිතයන් යනු කවුද? පසුගිය ආණ්ඩුවේ සිටිමින් රටේ මහජන දේපළ මංකොල්ලකෑවුන්ය. එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන විරෝධය පෑමෙන් මහජනතාව අඟවන්නේ කුමක්ද? එවැනි දූෂිතයන්ට මහජන, ඒ වාගේම දේශපාලන අවකාශයේ ඉඩක් තවදුරටත් නොපැවතිය යුතුය යන්නය. එහි අනෙක් හැඟවුම නම්, මේ ආණ්ඩුව තුළද එවැනි දූෂිතයන්ට ඉඩක් නොතිබිය යුතුය යන්නය. මේ හැඟවුම් එක් පැත්තකින්, වර්තමාන ආණ්ඩුව පිරිසිදු කරවන්නට බල කරන අතර අනෙක් පැත්තෙන් පරණ දූෂිතයන්ට එරෙහි ඔවුන්ගේ මතය තවමත් එලෙසම පවතින බව පෙන්වයි. කවර හේතුවක් නිසා හෝ පරණ හොරුන් සමඟ එකතුවන්නට ඇති අකමැත්ත එහි ප්‍රකාශනයයි.
අනෙක් පැත්තෙන්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන ආණ්ඩුව ප්‍රමාණවත් ලෙස උනන්දු නොවීම වැනි කාරණා ගැන මහජනතාව දක්වන කනස්සල්ලෙන්ද පිළිබිඹු වන්නේ, ජනවාරි 8වැනිදා තෙක් පැවැති පරණ සම්ප්‍රදායෙන් කැඩීමට ඔවුන්ගේ ඇති වුවමනාවයි. පරණ සම්ප්‍රදායෙන් කැඩීම යනු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් උච්ඡතම ආකාරයෙන්ද, ඊට පෙර ජනාධිපතිවරුන් විසින් අඩුවැඩි ආකාරයෙන්ද පවත්වාගෙන ආ ව්‍යවස්ථාමය ඒකාධිපතිත් වයක් නැවත ඇති නොවන ලෙස වෙනස්කම් කිරීමයි. ජනවාරි 8වැනිදා තිබුණු තත්ත්වයට ආපසු ගියොත්, එහි තිබුණේ පැරණි විධායක ජනාධිපති ක්‍රමය පදනම් කරගත් ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය තවදුරටත් පවත්වාගෙන යෑම හා ඒ වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය නැති අලුත් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායක් ඇතිකර ගැනීම සඳහාවූ දේශපාලන ධ්‍රැවීකරණයයි. ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය කළේ දෙවැන්නයි. එය කළ යුත්තේ කෙසේද යන්න ගැන විවිධ සංවාදයන් ඇති නමුත්, ඒ වෙනස කළ ජනතාව තවමත් තමන්ගේ ස්ථාවරයේ ස්ථිරසාරව සිටිති.
මේ ආකාරයෙන් බලන විට, ජනවාරි 8 වැනිදා මහජන අභිලාෂයන් පැත්තෙන්, මහජනතාව තවමත් තමන්ගේ මතයෙහි ස්ථිරසාරව සිටින බව පැහැදිලිව පෙනෙයි. ඒ මහජන ස්ථාවරයේ වාසිය තවමත් පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වර්තමාන ආණ්ඩුවත් පැත්තේය. සමහර විට ආණ්ඩුව මේ ඇත්ත දැනගෙන සිටිනවා වන්නට පුළුවන. ඒ කියන්නේ, ජනවාරි 8 පන්නයේ තීරණාත්මක අවස්ථාවකදී තවමත් තමන් ඉදිරියෙන් සිටින බව ආණ්ඩුවට දැනීමක් තිබෙන්නට පුළුවන. එහෙත්, ඉදිරි අවුරුදු තුන වනාහි ඒ ශක්තිය අඩුවන්නට නියමිත කාලයයි. එහි තේරුම ආණ්ඩුවට, ‘කොහොමටත් මිනිස්සු අපේ පැත්තේයැ’යි සිතා නිවී සැනහිල්ලේ මොකුත් නොකර ඉන්නට බැරි බවය. ඉදිරි වසර තුනේදී ආණ්ඩුව මුහුණ දෙන්නේ, මෙතක් අඩුවැඩි වශයෙන් පවත්වාගෙන ආ තමන් කෙරෙහි වන ජනතා අනුමැතිය තවදුරටත් පවත්වා ගෙන යෑමේ අභියෝගයටයි.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය, ආණ්ඩුව පැත්තට විශාල බලපෑමක් කරන බව බැලූ බැල්මට පෙනෙන නමුත්, එය ඇත්තක් නොවේ. ජනවාරි 8වැනිදා වන විට මහින්ද රාජපක්‍ෂ මහතා හිටියේ ඊටත් උස ස්ථානයකය. මහ මැතිවරණයේදී ඒ උස පැහැදිලිව අඩුවුණු අතර, අද වුණත් එය වර්ධනය වන්නට කිසිම හේතුවක් උද්ගතවී නැත. වෙන විදියකට කිව්වොත්, මහින්ද තවමත් සෙල්ලම් පෙන්වන්නේ ඔහුගේ වත්ත ඇතුළේය. ඒ වත්තේ වර්ග ඵලය තිබුණාට වඩා කුඩා වන්නට හොඳටම ඉඩ ඇති නමුත්, ඊට වඩා විශාල වන්නට, වටේ ඇති වෙනත් වතු ඊට ඈඳෙන්නට කිසිම ඉඩක් තවමත් උද්ගත වී නැත. එකතු වී ඇතැ’යි කියන්නේ නිකම් බේා්ඞ් ලෑලි මිස වතු නොවේ.
බරපතළම අඩුව නම්, ජනවාරි 8 වැනිදා තමන් පරාජය වුණේ කුමක් නිසාදැයි මහින්ද පාර්ශ්වය තවමත් වැරදි විදියට තේරුම් ගැනීමය. තවමත් ඔවුන්ට එය අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කළ කුමන්ත්‍රණයකි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියට තමන් පරාජය වුණේයැ’යි මහින්ද කියන විට, ඔහු තේරුම්ගත යුත්තේ තමන් පුම්බාගෙන සිටි ‘ජාතියේ ශක්තිමත් නායකයාය’ කියන ප්‍රතිරූපය ඒ අදහස සමඟම දියවී යන බවය. ශක්තිමත් නායකයකු නම් කුමන්ත්‍රණ වලින් පෙරළන්නේ කෙසේද? කුමන්ත්‍රණවලින් පෙරලිය හැක්කේ දුර්වල නායකයන් නොවැ. රටේ වාසනාවකට මෙන්, කුමන්ත්‍රණ ගැන විශ්වාස කරන්නෝ මහපොළව ගැන විශ්වාස නොකරති. ඇත්ත වශයෙන්ම මහින්දට විරුද්ධව ඡන්දය දුන්නේ රටේ මහජනතාවය. නැවතත් දේශපාලන ජයග්‍රහණයක් ලබන්නට නම් මහින්ද දිනාගත යුත්තේ ඒ මහජනතාවය. ඔහුටද මහජනතාවක් සිටියි. එහෙත්, එය රටේ බහුතරය නොවේ. ජනවාරි 8 වැනිදා එය ලක්‍ෂ 58කි. අගෝස්තු 17 වැනිදා වන විට එය ලක්‍ෂ 47කි. ලක්‍ෂ 47කින් රටේ බලය අල්ලන්නට බැරිය.
මහජනතාව නිකම්ම තමන්ගේ ඔඩොක්කුවට වැටෙන්නේ නැත. තමන් පරාජයට පත්කළ ජනතාව දිනාගන්නට වැඩ කළ යුතුය. අද මහින්ද රාජපක්‍ෂ මහතා කරන්නේ ඒ ජනතාව දිනාගැනීම නොව, එදත් අදත් තමා වටා සිටින ජනතාව සමඟ ආණ්ඩු පෙරළීමක් ගැන පාරම්බෑමය. එහි විශේෂ ප්‍රතිඵලයක් ඇත්තේ නැත.
මහින්දගේ විශ්වාසය තව තවත් කුමන්ත්‍රණ ගැනය. මේ අවුරුද්දේ ආණ්ඩුව පෙරලන්නට කියන කතාව ඒ කුමන්ත්‍රණ මනසේ නිෂ්පාදනයකි. ඒ සඳහා ඔහු උපයෝගි කරගන්නේ ගර්හිත විද්‍යා ලෙස බුදුදහමේ වුණත් හැඳින්වෙන ජ්‍යෙතිෂයයි. මහින්ද රාජපක්‍ෂ මහතා සිය ආණ්ඩු කාලයේ කොයිතරම් ජ්‍යොතිෂයට ඇබ්බැහිවි සිටියාද කියා කියන හොඳම සංකේතය ඔහුගේ අතේ තිබුනු වශී බෝලයයි. දැන් ඔහු එය අතහැර තිබේ. එහෙත් ජ්‍යොතිෂය අතහැර නැත. සිදුවී ඇත්තේ අතේ තිබුණු වශී බෝලය වෙනුවට අතේ මැණික් කටුවට ලොකු බෝල සහිත වශී වළලලක් පැමිණීමය. ඒ අතර ඔහුගේ කඳවුරේ ඊනියා ජ්‍යොතිෂකාරයෝ ජනවාරි මසදී සිදුවන ජනාධිපති මෛත්‍රීගේ අභාවය ගැන අනාවැකි කියති. එක පැත්තකින්, මේ බොරු අනාවැකිකාරයන්ගේ කතාවලින් පෙනෙන්නේ දැන් උදාවී තිබෙන අදහස් පළකිරීමේ නිදහස කෙතරම් වල්බූරු ආකාරයට භාවිත කෙරෙන්නේද යන්නය. ජනාධිපතිවරයා අහවල් දවසේ මියයන බව කියන්නටද දැන් නිදහස තිබේ. මේ තත්ත්වය සංසන්දනය කළ යුත්තේ ජනවාරි 8ට පෙර කාලය සමඟය. ජනවාරි 8ට පෙර, මහින්ද රාජපක්‍ෂ අහවල් දවසේ මිය යනු ඇතැ’යි කවරකු හරි කීවේ නම් ඔහුගේ ඉරණම විය හැකිව තිබුණේ කුමක්ද? සරල උදාහරණයක් කියමු. ජනවාරි 8 ජනාධිපති වරණයට මාසයකට පමණ පෙර, ආණ්ඩුවේ බුද්ධි අංශ වාර්තාවකින්, වැඩි ප්‍රතිශතයකින් මෛත්‍රී දිනන බව ආණ්ඩුවට පෙන්වාදී ඇතැ’යි කියන ප්‍රධාන ප්‍රවෘත්තියක් රාවය පළකළ විට, හැරෙන තැපෑලෙන් රාවය කර්තෘවරයා සීඅයිඩීයට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනුණේය. ඔහු අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම හෝ ඒ අවස්ථාවේදී කාලය පිළිබඳ කාරණයක් පමණක් විය. යම් හෙයකින් අහවල් දවසේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මිය යන බව ඒකාන්තයි යනුවෙන් පුවත්පතේ පළවුණි නම්. විය හැකිව තිබුණේ කුමක්ද?
ඒ ආකාරයෙන් බලන විට. මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයෙන් මේ ආණ්ඩුවට විසිල් මිසක් බල්ටි පෙන්වන්නේ නැත.
එහෙත්, ආණ්ඩුවට තීරණාත්මක අභියෝගය එන්නේ එය බලයට ගෙනෙන්නට උරදුන් ජනතාවගේ දිසාවෙනි. ඒ අභියෝගය බාරගන්නටත්, එයට පිළිගත හැකි පිළිතුරු දෙන්නටත් ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක්ද තිබේ. ඒ ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් සිවිල් සංවිධාන ගණනාවක් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ නිසාම නොවේ. ඒ ගිවිසුම්වලට ප්‍රකාශිතව අත්සන් නොකළ, කිසි තැනක තමන්ගේ නම ගම සඳහන් නොවන, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ දිනවීමට කටයුතු කළ රට පුරා විසිරුණු බලාපොරොත්තු සහගත ජනතාවක් සිටින නිසාය.
පසුගිය අවුරුදු දෙක විවිධාකාර හේතු නිසා මහත්වූ පල නොදී අවසන් වුණත්, ඉතිරි අවුරුදු තුන එසේ වන්නට බැරිය. ආණ්ඩුව, සිය පොරොන්දු ඉටුකිරීමේ දේශපාලන අධිෂ්ඨානය මහජනතාව ඉදිරියේ පෙන්විය යුතුව තිබේ.
පරණ පව්ද සමාවන ලෙස එය කළ හැකි ප්‍රමුඛතම ක්‍රමය නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිගත කර ගැනීමයි. ජනාධිපතිවරයා හැකි සෑම අවස්ථාවකම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වුවමනාව ගැන කියයි. එය කුමන්ත්‍රණයක් නොවන බවට සහතික වෙයි. එහෙත් ආණ්ඩුවේ සෙසු අයගේ අදහස එය නොවන බව පෙනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට නොයා දැනට කළ හැකි දෙයක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිදුකළ යුතු බව ඔවුහු කියති. මනුවර්ණ මීට පෙරද පෙන්වා දී ඇති පරිදි අලුත් ව්‍යවස්ථාවකට නොගොස් මේ ව්‍යවස්ථාවෙන් කළ හැකි කිසිම වැදගත් ප්‍රතිසංස්කරණයක් නැත. විධායක ජනාධිපතිවරයා වෙනස් කිරීම, රටේ බලය බෙදීමේ ව්‍යුහය ශක්තිමත් කිරීම මෙන්ම නව මැතිවරණ ක්‍රමයක් ඇතිකර ගැනීමද කළ හැක්කේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකිනි.
නව ව්‍යවස්ථාවක් පිළිබඳ කාරණාව විසින් මේ වන විට දුර්මුඛව සිටින, හුදෙකලාවී සිටින ආණ්ඩුවේ මහජන පදනම යළි එකට එකතු කරනු ඇත. එසේ එකතුවීම සඳහා අවශ්‍ය වන මහා පොදු සාධකයක් (එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) තිබේ. තම තමන්ගේ පක්‍ෂ පාට භේද අමතක කර මහජනයා ඒ වෙනුවෙන් එකතුවීමේ සාධාරණ හැකියාවක් ඇත. එහි පලය නෙලාගන්නේ ආණ්ඩුවයි. එවිට, තවත් පැහැදිලි වනු ඇත්තේ ජනවාරි 8 ජනතාවගේ ධ්‍රැවීකරණය එලෙසින්ම පවතින බවයි. ආණ්ඩුවේ මේ අවුරුද්දේ න්‍යාය පත්‍රයේ අංක එක විය යුත්තේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.■

About