යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් දැල්වුණ අපේක්ෂා


sarath-wijesppriya

මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි පළමු වෙනිදා උදෑසන මට මගේ පැරණි ශිෂ්‍යාවකගෙන් ලැබුණ දුරකථන ඇමතුම අමුතු විදිහක සුබ පැතීමකි. ඇය පැවසුවේ, ‘දේශපාල නඥයන්ගේ මුසා බස්වලට තව දුරටත් මුළා නොවන, අපේක්ෂාභංගත්වයෙන් පීඩාවට පත් නොවන, නිදහස් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා’ යන්නයි. මා කිසිවක් නොපැවසූ නිසාදෝ ඇය යළිත් කතා කළාය. “රට හදන්න අවංකව කැපවන නායකයො අපේ රටේ නෑ සර්. අපේ රටට අනාගතයක් නෑ”
මේ ඇමතුමෙන් පළකර සිටියේ අහඹුවෙන් සිතට ආ අදහසක් නොවේ යයි සිතුණි. අවම වශයෙන් පෙර දින හැන්දෑවේ සිට කල්පනා කොට එළඹි නිගමනයක තීන්දුව මේ ඇමතුම විය හැකිය.
ජනවාරි 08 වෙනිදා සිදුවුණ වෙනසට දායක වීම හේතුවෙන් අප කෙරේ කෝපව සිටින අය දොස් නැඟීමත්, අපගේ තීරණයට පක්ෂව කටයුතු කළ අය අද අපට අනුකම්පා කිරීමත් පවසන්නේ කුමක් ද? දෙවසරක් ගෙවී යන තැන නීති ගරුක පුරවැසියන්ට පොදුවේ තිබෙන නොසතුටයි. යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් දැල්වුණ අපේක්ෂා ශෝචනීය ඉරණමකට බඳුන් වී තිබීමයි. එය අභාග්‍යයකි.
මාදුළුවාවේ සෝභිත හිමියන් දින සියයේ ආණ්ඩුව වැඩ පටන් ගෙන මාසයක් ගත වන්නට මත්තෙන් දිනක පැවසුවේ, ‘යන පාර හරි නෑ’ යන්නයි. මැතිවරණයට මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීම ගැන කතා කරමින් උන් වහන්සේ පැවසුවේ, ‘අපේ බලාපොරොත්තු සේරම පාවා දුන්නා’ යන්නයි. අසාමාන්‍ය රාජ්‍ය පාලනයක්, අසාමාන්‍ය අන්දමින් පරාජය කළ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ජයග්‍රහණ යෙන් අනතුරුව, පරාජිත බලවේගය හා අත්වැල් බැඳගෙන ශීලාචාර රටක් ගොඩ නැඟීමට කල්පනා කිරීම සෝභිත හිමියන්ගේ විමතියටත් අප්‍රසාදයටත් හේතු විය. එහෙත් ජනතාවට ලබා දුන් ප්‍රතිඥා ඉටු කර ගැනීම සඳහා උන් වහන්සේ අපේක්ෂා අත් නොහළහ. මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීම සමඟින් සෝභිත හිමියෝ සියලු බලාපොරොත්තු අත් හැර දැමුහ. පාර්ලිමේන්තු මැතිවරණයට මොනම අන්දමකින්වත් සම්බන්ධ නොවී සිටීමට උන් වහන්සේ තීරණය කළහ. ජනවාරි 08 වෙනසට සිවිල් සමාජය ඒකරාශී කළ සෝභිත හිමියන්, මැතිවරණය වෙනුවෙන් දායක කර ගැනීමට උන්වහන්සේ ගොඩ නැඟූ සමාජ ව්‍යාපාරයේ සාමාජිකයන්ට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු වුණ බව කිව යුතුය. මැතිවරණයේ දී අග්‍රාමාත්‍යවරයා සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට පදනම් ආයතනයට සෝභිත හිමියන් පැමිණියේ, ‘මේකත් නිෂ්ඵල වැඩක්’ යන්න පවසමිනි.
මැතිවරණයෙන් අන තුරුව කටයුතු සිදු වුණ අන්දම ගැන අප්‍රසාදය උන් වහන්සේ මාධ්‍ය ඔස්සේ ද පළ කළහ. තත්වය වඩාත් නරක බව පවසමින් පොදු අපේක්ෂකයා සංවිධාන හතළිස් නවයක් සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම නොසලකා කටයුතු කරන බව උන්වහන්සේ අවධාරණයෙන් පැවසූහ. ඒ නිගමනයට ඉක්මන් වැඩිය යන අදහස අප පළ කරන විට එය උන් වහන්සේ පිළිගත්තේ නැත. වසර දෙකක් ගෙවී යන විට පසක් වන්නේ ජනාධිපතිවරණය සහ මැතිවරණය වෙනුවෙන් සිවිල් සමාජය සමඟ අත්සන් කළ ගිවිසුම් දෙකම අකාරුණික ලෙස අමතක කර තිබෙන සැටියකි.

ජයග්‍රහණයට පිටුපෑම
ජනවාරි 08 වෙනිදා ජනතාව ලබා දුන් ජන වරමට ප්‍රථමයෙන් පිටුපෑවේ රනිල් වික්‍රමසිංහ මහතාය. උදෑසනින් අරලිය ගහ මන්දිරයට තිරු නඬේසන් කැටුව යාමෙනි එය සිදු කළේ. ඒ ගමන ගියේ කුමට ද? මහින්ද රාජපක්ෂගෙන් බලය ඉල්ලා සිටින්නට කිසිදු උවමනාවක් නැත. ඔහුට බලය අත් නොහැර සිටීමට පුළුවන්කමක් ද නැත. ඒ වන විට බලයේ රැඳී සිටීමට රාජපක්ෂවරුන් සැලසුම් කළ කුමන්ත්‍රණය ද අසාර්ථකව තිබුණ බව ද නොරහසකි. රාජපක්ෂ වරුන්ගේ හා ඔවුන්ගේ ගජ මිතුරන්ගේ රැකවරණය සලසා දෙන්නට රනිල් වික්‍රමසිංහ මහතා ඒකපාක්ෂිකව මහින්ද රාජපක්ෂට ප්‍රතිඥාවක් ලබා දීම ජනවාරි 09 වෙනිදා සිදු වී තිබේ. එය ජනවරමට පිටුපෑමක් නොව ජන වරම කෙලෙසීමකි.
ජනාධිපතිවරණයෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියට පත්වීමට තීරණය කිරීම අදූරදර්ශී ක්‍රියාවක් බව කිව යුතුය. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ පාර්ලි මේන්තුවේ සහාය ගැන විශ්වාසයක් තබා ගැනීම ද ප්‍රඥා ගෝචර නොවුණ බව පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ මහතාට පොදු අපේක්ෂකයා සමඟ ඇති කර ගත යුතු එකඟතාව විය යුතුව තිබුණේ දින සියයක ආණ්ඩුවක් තැනීම නොව, වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට මුහුණ දීමය. අලුත් රාජ්‍ය පාලනයකට පිරිසිදු ජනවරමක්, නැවුම් ජනවරමක්, ලබා ගැනීමට එය නිසැකවම හේතු වන්නට ඉඩ තිබුණි. වහාම මැතිවරණයකට මුහුණ නොදීමෙන් විශද වන්නේ එතුමා පළපුරුදු දේශපාලනඥයෙකු වුව, දූරදර්ශී නායකයෙකු නොවන බවය. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටය යන කියමන අද එතුමා පුන පුනා සනාථ කරමින් සිටියි.
පොදු අපේක්ෂකයා ද තමන්ට ලැබුණ ජන වරමට පිටු පෑ බව කිව යුතුය. ජනාධිපති පදවියේ දිවුරුම් දුන් වහාම තමා පරාජය කිරීමට කැපවුණ ශ්‍රීලනිපයේ මහජන නියෝජිතයන් රහසිගතව මුණගැසී රාජපක්ෂවරුන් ද, දූෂණ සහ අපරාදවලට වගකිව යුතු පුද්ගලයන් ද, ආරක්ෂා කිරීමට පොරොන්දු වීම බරපතළ තත්වයකි. සිය ජයග්‍රහණය උදෙසා සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් කළ ගිවිසුම ඉවතලා ශ්‍රීලනිපයේ සාමාජිකයන් සමඟ අත්වැල් බැඳ ගැනීම සැබවින්ම ජනවරම පාවාදීමකි. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් අනතුරුව හෝ දූරදර්ශීව සාකච්ඡා කොට ගත යුතුව තිබුණ තීරණය නම්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම නොව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගැනීමය. එසේ වී නම් අද විiමාන රාජ්‍ය පාලනයේ විපරීත තත්වය; ආරවුල් සහගත තත්වය සැබවින්ම ඇති වන්නේ නැත.

ප්‍රතිඥා කොයිබටද?
ජනවාරි 08 වෙනිදා බල පෙරළියේ තේමාව වූයේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමයි. එය සිදු නොවන බව ජනවාරි 08 වෙනසට කැපවුණ පුද්ගලයන්ම 19 වෙනි සංශෝධනයට විරුද්ධව අධිකරණයට යාම ඔස්සේ තහවුරු කළ බව කිව යුතුය. ජනාධිපතිවරයා අද කටයුතු කරන්නේ බල පෙරළියේ තේමාවට ප්‍රතිපක්ෂව සිටි පිරිස සමඟ බැවින් මොනම අන්දමකින්වත් විධායක ජනාධිපති පදවිය අහෝසි වන්නේ නැති බවය දිනෙන් දින තහවුරු වෙමින් තිබෙන්නේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත නොවන බව ද පිළිගැනීමට සිදුව තිබේ. සිදු වන්නේ ජනමත විචාරණයකට නොගොස් කළ හැකි තවත් සංශෝධනයන් කිහිපයක් සිදු කිරීම විය හැකිය. එබැවින් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලැබෙන්නේ ද නැත.
ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන් ලබා දුන් ප්‍රතිඥාවක් වූයේ දූෂණ වංචා සහමුළින්ම උපුටා දමන බවයි. නායකයන් සහමුළින්ම උපුටා දැමීමක් ගැන පැවසුව ද, එහෙම දෙයක් සිදු නොවන බව පුරවැසියෝ වටහා ගත්හ. එහෙත් යම් තරමක පාලනයක් නීති ගරුක පුරවැසියෝ අපේක්ෂා කළහ. අද තත්වය කුමක් ද? ගත වුණ වසර දෙක තුළ අලුත් ආණ්ඩුවේ දූෂිත ඇමතිවරු ගණනාවක් කැපී පෙනෙති. රාජපක්ෂ සමයේ දූෂිත නිලධාරීහු අලුත් ආණ්ඩුව තුළත් නිර්භය අන්දමින් දූෂණයේ යෙදෙති. බරපතළ දූෂණ චෝදනාලාභීන් අද වැජඹෙන්නේ ඉහළම පුටුවලය. මහ බැංකුවේ සිදු වූ දූෂණය සම්බන්ධව විධිමත් පියවර නිසි විනිවිදභාවයකින් නොගෙන, පැවති දූෂණ හෝ සිදු වෙන අලුත් දූෂණ සම්බන්ධව ආණ්ඩුවට කිසිවක්ම කළ නොහැකි ගැටලුවක් නිර්මාණය වී තිබේ. ඒ ගැටලුව නිරාකරණය කර ගැනීමට අසමත් වුවහොත්, ජනාධිපතිවරයා බලයට පත්ව දෙවසරක් සපිරෙන මොහොතේ ආණ්ඩුව නිල වශයෙන් පැවසිය යුතුව තිබෙන්නේ, දූෂණ සහ අපරාද රාජ්‍ය පාලනයේ දී අවශ්‍ය බව පිළිගැනීමට තීරණය කර තිබෙන බවය.
ලංකාවේ භික්ෂූන් වහන්සේලා බහුතරයක් මහින්ද රාජපක්ෂගෙන් විවිධ වරදාන ලබා ගත් බව නොරහසකි. මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ භික්ෂූන් වහන්සේලා කටයුතු කළ ආකාරය ද ඉතා පැහැදිලිය. මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් කම්පාවට පත්ව සිටින මේ භික්ෂූන් වහන්සේලා අද දවසේ කතා කරන්නේ එක්තරා ප්‍රචණ්ඩ වේශයකින් බව පෙනේ. ද්‍රවිඩ ජාතික සන්ධානය ඉතා පැහැදිලිව බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන ආස්ථානයක සිටියදීත්, භික්ෂූන් වහන්සේලා ජන විඥානයට කා වැද්දීමට වෙර දරන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් නිර්මාණය කර තිබෙන බවයි. මොනම අන්දමක හෝ ව්‍යවස්ථාවක් සකස් කර නැති බව හොඳින් දැන දැනම ඇති කරන ඝෝෂාවේ පරමාර්ථය ජාතිවාදය අවුලුවාලීිමය. ජාතිවාදයේ අවසානය කුමක් ද? ප්‍රචණ්ඩත්වය බව කිව යුතු නැත. ජනවාරි 08 ජයග්‍රහණය ඔස්සේ නීති ගරුක පුරවැසියන් අපේක්ෂා කළේ ප්‍රචණ්ඩත්වයේ නිමාවකි. එක් පැත්තකින් සංවර්ධනයත්, තවත් පැත්තකින් ප්‍රචණ්ඩත්වයත් පවතින රටක කවර නම් දියුණුවක් ද?
රටට සැබෑ ආදරයක් තිබේ නම් භික්ෂූන් වහන්සේලා ඒකරාශී විය යුත්තේ සහජීවනය උදෙසාය. විවිධ හේතු සාධක නිසා පීඩාවට පත්ව සිටි කවර ජාතිකයෙකු වුව පීඩනය හේතුවෙන්ම දරුණු වීමට පුළුවන. එය පොදු තත්වයකි.
භික්ෂුව ලාංකේය දේශපාලනයේ දී බලසම්පන්නය. ඒ තත්වය පිරිහුණ දේශපාලන සංස්කෘතිය විසින් ඇති කර තිබෙන තත්වයකි. භික්ෂුව සතුව තිබෙන බලය නිතරම ඉවහල් කර ගන්නේ මානව ජීවිතයේ යහ පැවැත්මට නොවීම කනගාටුදායකය. ඒ බලය ඉවහල් කර ගන්නේ බල අරගල ගොඩනැඟී මටය. මේ තිත්ත ඇත්තකි.
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හෝ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් හෝ බොහෝ භික්ෂූන් වහන්සේලා පෙනී සිටින්නේ ඔවුන් ධාර්මිකව රාජ්‍ය පාලනයේ තත්පර වූ නිසා නොවන බව විස්තර කළ යුතු නොවේ. පෙනී සිටින්නේ සැබවින්ම කරුණු දෙකක් නිසාය. එකක් නම්, පෞද්ගලිකව ඔවුන්ගෙන් ලැබුණ වරදානයි. දෙවනුව ඔවුන් ජාතිවාදය හා ආගමික අන්තවාදය කෙරේ දක්වන නැමියාවයි. මේ වූ කලී බෞද්ධ දර්ශනයට සහමුළින්ම පටහැනි තත්වයකි.
අභියෝගය පිටු දැකීම
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට මුහුණ දීමට ආණ්ඩුව තුළ කිසියම් බියක් දක්නට ලැබේ. මේ බිය උවමනාවෙන් ඇති කර ගන්නා ලද්දක් ද?
ජාතිවාදී බලවේග විසකුරු අදහස් සාපරාධී අන්දමින් පතුරුවන විට ආණ්ඩුව තමන් අබිමුව තිබෙන අභියෝගය ජය ගැනීමට කිසිදු පියවරක් නොගෙන බියවීම ශෝචනීය වේ. මේ සැබවින්ම උභතෝf කා්ටිකයකි.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජාත්‍යන් තරයට ලබා දී තිබෙන ප්‍රතිඥා මත රාජ්‍ය පාලනයේ සාධනීය තත්වයන් ඇති කර පෙන්වීම අවශ්‍යව තිබේ. ඒ සඳහා ලැබී තිබෙන්නේ පරිවාස කාලයක් විය හැකිය. ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව තවම නිfදාස් කොට නිදහස් කර නැත. මේ වු කලී සරල තත්වයක් නොවේ. එබැවින් අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම හා එය ජනමත විචාරණයකින් සම්මත කර ගැනීම මඟහැරිය නොහැකි කාරණයකි.
ජනාධිපතිවරයා සිය දෙවර්ෂ පූර්ණය තුළ දී රටට, ලෝකයට පවසන්නේ මොනවා ද?
ජනවාරි 08න් පසුව ආණ්ඩුව කිසිවක්ම සිදු නොකළේ ද? යන ප්‍රශ්නය ඇසීම ශිෂ්ට සම්පන්න නැත. 19 වැනි සංශෝධනය තව දුරටත් සිහිපත් කර දීම ද ශිෂ්ට සම්පන්න නැත. ඉදිරි කාලය තුළ සියලු ප්‍රතිඥා ඉටු කරන බවට පැවසීම ද ශිෂ්ට සම්පන්න නැත.
නොබෝදා ජනාධිප වරයා ‘තිරසර සංවර්ධනය’ ගැන වැඩ සටහනක් පිළියෙල කොට, එය විද්වත් කමිටුවකට උත්සවා කාරයෙන් භාර දුන්නේය. අගමැතිවරයා ද ආර්ථික සංවර්ධනය ගැන වැඩ සටහන් කිහිපයක් මේ වන විට ඉදිරිපත් කර තිබේ. පසු ගිය වසර දෙක තුළ ජනතාව අබිමුව ප්‍රකාශ කර තිබෙන දේවල්, ඉදිරිපත් කර තිබෙන වැඩ සටහන් හොඳටම ප්‍රමාණවත් යයි සිතමි. ජනතාවට ඒවායෙන් අත් විඳින්නට ලැබුණ දේවල් මොනවා ද? කිසිවක්ම අත් විඳින්නට නොලැබී ද? දේශපාලන සංස්කෘතිය විපරීත කළ රටක් ශීලාචාර රටක් බවට පත් කිරීමේ දී ප්‍රමුඛ කාරණා කවරේ ද? ප්‍රමුඛතම කාරණාව වන්නේ රට, ‘නීතිය මත පාලනය’ කිරීමයි. පාලකයන් නීතියට ඉහළින් නොසිටිය යුතුය. ගත වුණ වසර දෙක තුළ ආණ්ඩුව ඒ සම්බන්ධ පරීක්ෂණයෙන් අසමත් වන්නේ ඉතා අඩු ලකුණු ලබමිනි. එබැවින් ජනාධිපතිවරයා ජනවාරි 08 සමරමින් ආකර්ෂණීය කතාවක් පැවැත්වීම හාස්‍ය උපදවනු ඇත.
කුසගින්නේ පෙළෙන සමාජයකට රසවත් ගුණවත් ආහාර ගැන ප්‍රචාරණය කුමට ද? ඔවුන්ට අවශ්‍ය වන්නේ කුසගිනි නිවා ගැනීමට ආහාර පමණි.
අනාගතය
සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියේ දී තව තවත් අව ලස්සණ හැසිරීම් විදහා දක්වනු ඇත. ප්‍රධාන පක්ෂ දෙකම අනාගතයේ දී බලය අත් කර ගැනීමේ ව්‍යාපාර වෙනුවෙන් කැප වෙනු නියතය. ආණ්ඩුව විවිධාකාර දූෂණ චෝදනාවන් වේගයෙන් අත් කර ගනිමින් පොදු ජනතාවගේ අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකිය. මේ සියල්ල සමඟින් රට තුළ රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයත් විවිධාකාර අරගල දියත් කරන්නට උත්සුක වීම ද සිදුවනු ඇත. ආණ්ඩුව මේවා මර්දනය කිරීමට විනා ඒ කිසිවක් සමථයකට පත් කිරීමට අසමත් වන බවය උපකල්පනය කළ හැක්කේ.
2015 පැවති ජනාධිපති වරණයට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණ මොහොතේ සිට එතුමා වෙනුවෙන් අවදිවුණ පුරවැසියන්, එතුමාගේ ප්‍රතිරූපය ඉහළට එසවීමට නිශ්ශරණාධ්‍යාශයෙන් තමන් සතු ශක්‍යතා නොමසුරුව කැප කළ පුරවැසියන්, වසර දෙකක් ගත වුණ තැන සුසුම් හෙළන තත්වයකට පත්ව සිටීම අවප්‍රමාණ නොකළ යුතු යයි සිතමි. තමන් සතු දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ගැන කිසියම් අභිමානයකින් කතා කරන ජනාධිපතිවරයා වසර දෙකක් ගතවුණ තැනදී ආවර්ජනය කළ යුතු වැදගත් කරුණක් ඇත. එය නම්, ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය තුළ, අප්‍රමාණ ගෞරවාදරයෙන් ඉහළට ඔසවන ලද නායකයෙකු, එසේ ඉහළට ඔසවන ලද ජනතාවගේම fදා්ෂ දර්ශනයට ඉතා කෙටි කාලයක් තුළ දී පත් වුණ බවට තවත් නිදසුනක් තිබේ ද? යන්නයි. එපමණක් නොව, බලයට පත්වුණ වහාම මෛත්‍රීපාල සිරිසේන චරිතය තරම් ජාත්‍යන්තර ප්‍රජාවගේ ගෞරවනීය අවධානයට ලක් වුණ තවත් නායකයෙකු ලංකාවේ සිටියේ ද?
තමන් බලයට පත් කළ ජනතාව තම විරෝධය එළඹෙන මැතිවරණයක දී පළ කරනු ඇත. එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව පළ කරන විරෝධය රට දරා ගන්නේ කෙසේ ද? රටට දරා ගත හැකිවේද?■