Untitled-1

Untitled-1

ලෝකයේ ස්ථාවරම රටවල තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නෙවෙයි | පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්


jayampathi

තරිඳු උඩුවරගෙදර ඡායා/රුවන් මීගම්මන

ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කියා තිබුණත් නව ව්‍යස්ථාවක් ගෙන එන බව, ඔහුගේ පක්ෂයේ ඇතැම් අය කියා තියෙනවා ජනමත විචාරණයකට යා යුතු නැති බව. නව ව්‍යවස්ථාවක් සහ ජනමත විචාරණයක් නැති ව්‍යවස්ථාවක් කියන දෙකේ වෙනස මොකක්ද?
මම බලන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවලිය. ඒක මුලින් ආණ්ඩුවෙන් හැදුවාට පස්සේ ශ්‍රීලනිපය සහ ජවිපෙ සංශෝධන ගණනාවක් යෝජනා කළා. ඒ සංශෝධන පිළිගෙන ඒකමතිකව තමයි සම්මත වුණේ. ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා ජනමත විචාරණයක් ගැන. ඒ කියන්නේ එක්කෝ අලුත් ව්‍යවස්ථාවක්, එක්කෝ වර්තමාන ව්‍යවස්ථාවේ සංශෝධනයක් වුණත් ජනමත විචාරණයක් දක්වා යන සංශෝධනයක් කියලා. ඒක ඉතා පැහැදිලියි. ජනාධිපතිවරයා පැහැදිලිව කියා තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. ඒක අහෝසි කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව තමයි සාමාන්‍යයෙන් පිළිගන්නා නීති තත්ත්වය.

ජනමත විචාරණයක් පරාද වෙන්න ඉඩ තියෙන හින්දා පුළුවන් වෙනස්කම් විතරක් කරමු කියලා තමයි තර්ක කරන්නේ. ඒ ගැන අදහස මොකක්ද?
අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් අපට ඕනෑ නිකන්ම නිකම් ව්‍යවස්ථාවක් නෙවෙයිනේ. අපට ඕනෑ නවීන ව්‍යවස්ථාවක්. සමහරු නවීන ව්‍යවස්ථාවලට බයයි. ලෝකේ තියෙන ඉතාමත්ම නොදියුණු රටවල් පවා ඉදිරිගාමී ව්‍යවස්ථා නිර්මාණය කරමින් සිටිනවා. දැන් පෘතුගීසි යටත්විජිතවාදයෙන් සහ පසුව ඉන්දුනීසියානු යටත්විජිතවාදයෙන් පෙළුණු නැගෙනහිර ටිමෝරය ලෝකයේ තියෙන දුප්පත්ම රටවල්වලින් එකක්. ඒ අය පවා ඉදිරිගාමී ව්‍යවස්ථාවක් හැදුවා. නේපාලයේ ව්‍යවස්ථාව දියුණුයි. දකුණු ඇමරිකාවේ දරුණු පාලනයන් යටතේ තිබුණු රටවල් නවීන ව්‍යවස්ථා ඇති කරගත්තා. හැම තැනම තියෙන ප්‍රවණතාව ඒක.

නව ව්‍යවස්ථාවක් සඳහා ප්‍රමාණවත් සංවාදයක් අවශ්‍යයි නේද?
මම දන්නවා අලුත් ප්‍රතිසංස්කරණයකට යනවා නම් ඒ වෙනුවෙන් ලොකු සටනක් කරන්න ඕනෑ. එහෙම සටන් ඉතිහාසයේ අපි දැක්කා. අනූහතරේ සිටන් දෙදාහ දක්වා අපිත් ක්‍රියාකාරීව දායක වුණා ඒ ව්‍යාපාරයට. ඒ ව්‍යවස්ථා වැඩපිළිවෙළේ වෙනත් දුර්වලතා තිබුණු බව අපි දන්නවා. අපට විවේචන තියෙනවා. හැබැයි මට මතකයි අනූහයේ විතර සමීක්ෂණයක් කරලා තිබුණා, බලය බෙදාහැරීමට පක්ෂ වෙලා තිබුණේ සීයට විසිඅටක් විතර අඩු ප්‍රමාණයක්. ඒ වගේම ඔවුන් හොයාගත්තා ඒකට පක්ෂ නොවෙන්න බහුතරයකගේ හේතුව අනවබෝධය කියලා. ඊට පස්සේ විශාල කැම්පේන් එකක් කළා. ඒකට දේශපාලන නායකත්වයක් ලැබුණා. මන්ත්‍රීවරු, ඇමතිවරු ඔක්කෝම බැස්සුවා එවකට සිටි ජනාධිපතිවරිය. ඒ වගේම පුරවැසි සංවිධාන, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන්, වෘත්තීය සංවිධාන වගේ නොයෙකුත් කොටසක් ගෙනල්ලා රට පුරා විශාල ව්‍යාපෘතියක් කළා. අර විසිඅටේ තිබුණු තත්ත්වය හැට ගාණකට වැඩි වුණා. ජනතාවට හොරෙන් ව්‍යවස්ථා හදන්න බැහැ.
මට පෙනෙන්න තියෙන එක අඩුවක් තමයි ශ්‍රීලනිපය සහ මුළුමනින් ආණ්ඩුව ගත්තාම මුලින් ආණ්ඩුව අතර එක ස්ථාවරයක් නැහැ. ඒක හංගන්න දෙයක් නැහැ. ඇත්ත කතාව තාමත් එකඟතාවක් නැහැ. ඉතින් ඉක්මනට ආණ්ඩුව එක් ස්ථාවරයකට ආවොත් මේ ව්‍යාපෘතිය කරන්න පුළුවන්.

දැනටමත් ඒකීය ව්‍යවස්ථාවක් ඇති කරන බව කතාකරන්න පටන් අරන්. ඒක බාධාවක් නෙවෙයිද?
මම ඒකීය කතාව ගැන ලොකු වැරැද්දක් දකින්නේ නැහැ. සාමාන්‍ය සිංහල ජනතාව ඒකීය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ නොබෙදිය හැකි රටක්. ඒ වුණත් සාම්ප්‍රදායික පැරණි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව ඒකීය කියන්නේ වෙන තත්ත්වයක්. තනි බලයක් තියෙන බවයි ඒකේ තේරුම. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව වගේ. මහා බි්‍රතාන්‍යයට කියන්නේ ඒකීය රාජ්‍යවල මව් රාජ්‍යය කියලා. 1801 දී පැරණි අයර්ලන්තය මහා බි්‍රතාන්‍යය සමඟ එකතු වුණා. ඉන්පස්සේ ඒකීය රාජ්‍යයක් තිබුණේ. හැබැයි පසුගිය ශතවර්ෂයේ මුල් කාලයේ අයර්ලන්තය නිදහස සඳහා වූ යුද්ධයකින් පස්සේ අයර්ලන්තයට වෙන්වෙන්න දුන්නා. උතුරු අයර්ලන්තය විතරක් තියාගත්තා. පස්සේ 1998 උතුරු අයර්ලන්තයේ තිබුණු ආපසු අයර්ලන්තය එක්ක එකතුවුණ ව්‍යාපාරයකින් පස්සේ මහ සිකුරාදා ගිවිසුමෙන් මහා ඒකීය රාජ්‍යය උතුරු අයර්ලන්තය එක්ක එකඟතාවකට එනවා, කවදා හරි උතුරු අයර්ලන්තයේ බහුතර පුරවැසියන්ට අයර්ලන්තය සමඟ එක්වෙන්න වුවමනා වෙන දවසට ඊට පසුබිම හදන බවට. ස්කොට්ලන්තය මුලින් වෙනම රාජ්‍යයක්. එකම පුද්ගලයා ස්කොට්ලන්තයේ සහ බි්‍රතාන්‍යයේ රජු බවට පත්වුණා. විවාහවලින් කිරීට දෙක එකතු වුණා. බි්‍රතාන්‍යයට ස්කොට්ලන්තය ඈඳාගත්තා. ස්කොට්ලන්තයේ බොහෝ දෙනෙක් වෙන්වෙන්න හිතනවා. ස්කොට්ලන්තයේ ජනමත විචාරණයක් පැවැත්වූවා, වෙන්වෙන්න කැමති නම් වෙන්වෙන්නට පහසුකම් හදන්න. ඒකීය රාජ්‍ය සංකල්පය මුලින්ම ආ රටේ ඉතිහාසයෙන් පෙනෙන්නේ ඒකීය රටක් බෙදන්න බැහැ කියන එක බොරුවක් බව. වර්තමාන ශ්‍රී ලංකාව ගත්තාම ඒකීය රාජ්‍ය කියන සංකල්පයේ අදහස වෙනස් වෙලා. සිංහල ජනතාව ඒකීය රාජ්‍යය කියලා අදහස් කරන්නේ කිසිදා නොබෙදිය හැකි රාජ්‍යයක්. අපට ඕනෑ වෙන්නේ නොබෙදුණු නොබෙදන සහ අනාගතයේ කිසිදා බෙදන්න බැරි රටක්. අපි ඒ අදහසට ගරු කරන්න ඕනෑ. රට බෙදන්න බැහැ කියන අර්ථයෙන් මේ පොරොන්දුව දෙන්නේ. ඒ ගැන මම විරුද්ධ නැහැ.

ඒ කියන්නේ මේක ඒකීය කියන වචනය තියන ෆෙඩරල් ව්‍යවස්ථාවක්ද? ඇතැම් පාර්ශ්ව ඒ විදියට තර්ක කරන්න පටන් අරන් තියෙනවා නේද?
දේශපාලන විසඳුමකට විරුද්ධ වෙන අය මොකක් ගෙනාවත් විරුද්ධයි. ඔවුන් හොඳටම දන්නවා රට බෙදෙන්නේ නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේනගේ කැමැත්ත මොකක් වේවිද? ඔහු කැමති මුළු රටේම ජනාධිපති විදියට ඉන්නද? නැත්නම් ඔහු පළාත් දෙකකට වෙන්වෙන්න දීලා පළාත් හතක ජනාධිපති වෙන්න කැමති වේවිද?
සමහරු පෙන්වන්න හදනවා එයාලා විතරයි රටට ආදරේ කියලා. මේක බොරුවක්. මේ අය දන්නවා මේක බොරු කියලා. ඔවුන් මේකට විරුද්ධ වෙන්න හේතුව ඔවුන් බල හවුල්කාරීත්වයකට විරුද්ධයි. ඔවුන් ඉල්ලන්නේ සිංහල බෞද්ධ ආධිපත්‍යයක්. අනිත් අය යටත්වෙලා ඉන්නවාට ඔවුන් කැමතියි. සමහර අය පිස්සුවෙන් වගේ කියනවා අපි රට බෙදනවා කියලා. එහෙම කියන්නේ කොහොමද? අපේ සිංහල බෞද්ධකමේ අඩුවක් තියෙනවාද? අපි කොඩියක් අරන් වන වනා නොගියාට අපිත් හොඳ සිංහල බෞද්ධයෝ. මට ඕනෑ නම් මගේ සිංහල බෞද්ධකම ගැන රටම පිළිගත් භික්ෂූන් වහන්සේලාගෙන් සහතික අරන් පෙන්වන්න පුළුවන්.
මගේ මිත්‍ර වෘත්තියවේදියෙක් ඉන්නවා. ඔහු ව්‍යවස්ථාව ගැන ලියනවා. වසර පහළොවකට විතර කලින් එවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍යාංශය විසින් තිබුණු වැඩමුළුවකදී ඔහු කීවා, මොනවාද දෙමළ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න? අපි එකම බස් එකේ යනවා. එකම තේ පෝච්චිය බෙදාගෙන බොනවා. මගේ වාරය ආවාම මම කීවා ඒක තමයි ප්‍රශ්නය කියලා. තේ පෝච්චිය බෙදාගන්න සූදානම්. රාජ්‍ය බලයට හවුල් කරගන්න කැමති නැහැ. අපි තේ පෝච්චිය විතරක් නෙවෙයි ආණ්ඩුකරණයටත් විවිධ ජන කොටස් සම්බන්ධ කරගන්න කැමතියි.

දෙමළ ජාතික සන්ධානය එකඟ විය හැකි තැනක ඉන්නවා නේද?
ඔවුන් කියන්නේ ඒකීය කියන වචනය තිබුණත් කමක් නැහැ. කිසිදිනක නොබෙදිය හැකි රාජ්‍යයක් විය යුතුයි. හැබැයි ඔවුන් කියන්නේ බි්‍රතාන්‍ය අර්ථයෙන් ඒකීය ක්‍රමයක් හැදුණොත් අනාගතයේදී ශ්‍රේෂ්ඨාධිකරණය බලය බෙදීම නිශේධනය කරන ආකාරයේ තීන්දු දෙයි කියලා. අලුත් විදියේ වගන්ති අපට ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න පුළුවන්. කිසිදා නොබෙදන රටක් ඇතිකර ගන්න පුළුවන්. කොහොමත් ෆෙඩරල් ක්‍රමයකට යන්නේ නැහැ. ආණ්ඩුක්‍රමය වෙනස් කරන්නට පළාත්වල කැමැත්ත ඕනෑ. එහෙම තත්ත්වයක් තමයි ෆෙඩරල් තත්ත්වයක් කියන්නේ.

බලතල බෙදීම සිද්ධ වෙන්න ඕනෑ කොහොමද?
කොළඹට කිරි අපට කැකිරි කියන සටන් පාඨය නිර්මාණය වුණේ නිකම් නෙවෙයි. හැම වාසියක්ම කොළඹට. මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ දර්ශක ගත්තාම සමහර දර්ශක මුලතිව්වලටත් වඩා අන්තයි. ඒ නිසා ඒ පළාත්වල අයට ඒ ඒ පළාත්වල කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. බොහෝ කාරණාවලට ජාතික මට්ටමේ ප්‍රමිතීන් තිබිය යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් නැති සෞඛ්‍යය, අධ්‍යාපනය තියෙන්න බෑ.
සංවර්ධන විශේෂ විධිවිධාන පනත ආ වෙලාවේ පළාත් සභාවලින් කීවේ අපේ බලය පවරාගන්න එපා කියලා. ඔවුන් පිළිගත්තා ආයෝජන වේගවත් සහ විධිමත් කරන්න යාන්ත්‍රණයක් අවශ්‍ය බව. ඔවුන් කීවේ අපේ බලය දුර්වල නොකර අපවත් සම්බන්ධ කරගෙන කරන්න කියලා. පළාත් සභා දැක්වූ ප්‍රචාරයෙන්ම තේරෙනවා බලය බෙදීමේ වැදගත්කම.
ඒ වගේම රටේ සියලු පළාත් සභාවල නියෝජිතයන් මධ්‍ය – පරිධිය පිළිබඳ කමිටුවට ආවා. ඔවුන් තමා කීවේ ආණ්ඩුකාරවරයාගේ බලය වැඩියි කියලා. ඡන්දයෙන් පත් නොවුණු ආණ්ඩුකාරවරයා විසින් ජනාධිපතිටවත් නැති විදියේ බලතල ක්‍රියාත්මක කරනවා කියලා ඔවුන් කීවා. හැමෝම කීවා නීතිය හා සාමය පිළිබඳ බලය දෙන්න කියලා. මූල්‍යමය සම්බන්ධයක් තියෙන ප්‍රඥප්තිවලට දැන් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍යයි, ඒ වගන්තිය අනිසි ලෙස ආණ්ඩුකාරවරුන් පාවිච්චි කරනවා කියලා ඔවුන් කීවා. බලය බෙදීමේ ඉල්ලීම එන්නේ උතුරු නැගෙනහිරින් පමණක් නෙවෙයි.
දහතුන්වැනි සංශෝධනය ගැන අවුරුදු විසිඅටක අත්දැකීම් අපට තියෙනවා. ඒක රටට ගැළපෙන්නේ නැති බව හැමෝම දන්නවා. මේක සුදු අලියෙක් කියලා හැමෝම කියනවා. මේ ගැන වාර්තා ඇතිවෙන්න තියෙනවා. මේවා අපි අඳුනාගෙන තියෙන්නේ. ඒවා ආමන්ත්‍රණය කළ යුතුයි. පළාත් සභා අහෝසි කරන්න හෝ ඒවාගේ බලතල අඩුකරන්න කොහොමත් බැහැ. සංවර්ධන පනත සම්බන්ධ කාරණයේදී පෙනුණු යථාර්ථය ඒක. එහෙම පළාත් සභා තියෙනවා නම් නිකන්ම තියලා වැඩක් නැහැනේ. ඒකට ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕනෑ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තියෙන රටවල් පහෙන් හතරක්ම විධායක ජනාධිපති ක්‍රමය සහිත රටවල්, ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බව දයාන් ජයතිලක කියා තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය ගැන අදහස මොකක්ද?
විධායක ජනාධිපති ක්‍රමය තියෙන බලවත් රටවල තුලන හා සංවරණ ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා ඒ රටවල හොඳ දේශපාලන සංස්කෘතියක් තියෙනවා. අපේ රටේ දේශපාලන සංස්කෘතිය එක්ක කොච්චර තුලනය කරන්න හැදුවත් තුලනය වෙන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩලයේ තියෙන රුසියාව සහ චීනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යද? ඒවා එක පක්ෂයක බලයක් තියෙන රටවල්. ප්‍රංශය ගත්තාම තියෙන්නේ මිශ්‍ර ක්‍රමයක්. කොච්චර සංවරණ තියෙනවාද? අනෙක ආරක්ෂක මණ්ඩලයට ඇතුල් කරන්න සලකා බලන රටවල් මොනවාද? දකුණු අප්‍රිකාවේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් නෙවෙයි, ඉන්දියාවේ පාර්ලිමේන්තු ක්‍රමයක්, ජර්මනියේත් පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙන්නේ, ජපානය පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙන රටක්. ඇමරිකාව ගත්තාම එහි තියෙන්නේ අපට වඩා බොහෝ වෙනස් පක්ෂ ක්‍රමයක්. පක්ෂ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. පක්ෂ නායකයා නිකන්ම ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ නෑ. ජනාධිපතිවරයා පක්ෂය මෙහෙයවන්නේ නැහැ. ඇත්තටම ආරක්ෂක මණ්ඩලය නෙවෙයි සැබෑ දර්ශකය.
මේ අය ස්ථාවරභාවය ගැන කියනවානේ. ඇත්තටම බලන්න ඕනෑ ලෝකයේ ස්ථාවරම රටවල් මොනවාද කියන එක. 2016 ලෝකයේ ස්ථාවරම රටවල්වල ලැයිස්තුවක් මම කියන්නම්. පින්ලන්තය, නෝර්වේ, නවසීලන්තය, ඩෙන්මාර්ක්, ස්විට්සර්ලන්තය, ඔස්ටේ්‍රලියාව, අයර්ලන්තය, ස්වීඩන්, අයිස්ලන්තය, ලක්සෙම්බර්ග්, ඔස්ටි්‍රයාව, නෙදර්ලන්තය, ජර්මනිය, බෙල්ජියම, පෘතුගාලය, සිංගප්පූරුව, ස්ලෝවේනියාව සහ එක්සත් ජනපදය. ඔය කීව රටවල්වලින් විසිවෙනි තැනට තමයි මහා විධායක ජනාධිපති ක්‍රමයක් සහිත රට තියෙන්නේ. අනිත් තැන්වල තියෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් හෝ මිශ්‍ර ක්‍රමයක් තියෙන රටවල්.

මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අලුත් වෙනස්කම් සිදුවිය යුතුද?
ලෝකයේ ප්‍රවණතාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව සමාජ, ආර්ථික අයිතිවාසිකම්ද ඇතුළුවීමයි. දුබලතා ඇති අයගේ අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවැසි අයිතිවාසිකම් ඇතුළු විය යුතුයි. ඒ වගේම පරිසරය පිළිබඳ අයිතිවාසිකම් වගේ දේවල් ඇතුල් වෙනවා. මේකට නායකත්වය දුන්නේ දකුණු අප්‍රිකාවෙන්. මේකට විරුද්ධ වෙන්නේ දක්ෂිණාංශික කණ්ඩායම්. ඔවුන් සමාජ ආර්ථික අයිතිවාසිකම්වලට කැමති නැහැ. හැබැයි සමාජ ආර්ථික අයිතිවාසිකම් කියන්නේ සමාජවාදය නෙවෙයි. මේ අයිතිවාසිකම් හරහා ආන්තික කොටස්වලට ආරක්ෂාවක් තියෙනවා. මේවා නිරපේක්ෂ අයිතිවාසිකම් නෙවෙයි.
දකුණු අප්‍රිකාවේ තියෙනවා ආහාර, ජලය, සෞඛ්‍ය පහසුකම් පිළිබඳව මූලික අයිතිවාසිකම්. හැබැයි ඒකේ තේරුම ආණ්ඩුව නොමිලේ ඒවා දෙන්න ඕනෑ කියන එක නෙවෙයි. ඔවුන් කියන්නේ මේ පහසුකම්වලට ප්‍රවේශ වෙන්නට අයිතියක් තියෙන්න ඕනෑ කියලා. සාධාරණත්වය අනුව රටට ඇති සම්පත් තුළ තමයි ඒ පහසුකම්වලට අයිතිය ලැබෙන්නේ. ඒ වගේම නැති දේවල් සාක්ෂාත් කරගත යුත්තේ ක්‍රමිකව.
සුබ්‍රමනි කියලා මනුස්සයෙක් දකුණු අප්‍රිකාවේ හිටියා. ඔහුට ඩයලයිසීස් කරගන්න ඕනෑ නිතිපතා. ඔහු ගිය රෝහලෙන් කීවා අපට පහසුකම් නැහැ කියලා. ඔහු උසාවියට ගියා. හැබැයි අධිකරණයෙන් පරීක්ෂණයක් කරලා තීරණය කළා මේ රෝහලට ඒවා දෙන්න පහසුකම් නැහැ කියලා. ඊළඟට ආවා නඩුවක්. දකුණු අප්‍රිකාවේ ඒඞ්ස් රෝගීන්ට අවශ්‍ය ඖෂධයක් තියෙනවා. ඒ ඖෂධය නියමු ව්‍යාපෘති කිහිපයක් හරහා පමණක් ලබාදුන්නා. ඒ වෙලාවේ සෞඛ්‍යය ගැන උන්නදු වන කණ්ඩායම් ගිහින් අධිකරණයෙන් ඉල්ලුවාම කිව්වා මේක වෙනස් කියලා. මේක ලේසියෙන් දෙන්න පුළුවන් කියලා නියෝග කළා බෙහෙත් දෙන්න. ඒකෙන් ලක්ෂ ගණනක ජීවිත ආරක්ෂා වුණා. සමාජ, ආර්ථික අයිතිවාසිකම් ගැන අපි දකුණු අප්‍රිකාවේ අධ්‍යයනයක් කළා. අපට හම්බවුණා විනිශ්චයකාරවරුන් සහ වෙනත් අය. ඒ හැමෝම කීවේ අපි කවදාවත් ප්‍රතිපත්ති හදන්නේ නැහැ කියලා. ඒ අය දන්නවා සීමා. තියෙන ප්‍රතිපත්ති විමර්ශනයට ලක්කරලා ඒවායින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවාද කියලා විතරයි බලන්නේ.

ඔබ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විශාල මහන්සියක් දැරූ කෙනෙක් විදියට මේක සාර්ථක වේවි කියලා හිතනවාද?
මම ඉන්නේ ධනාත්මකව. මේ රට මේ අවස්ථාව මඟ නොහරියි කියලා මම හිතනවා. ප්‍රධාන පක්ෂ එක ආණ්ඩුවක ඉන්නවා. දෙමළ ජාතික සන්ධානය ඉතාම මධ්‍යස්ථ මතධාරී නම්‍යශිලී තැනක ඉන්නවා. සම්බන්ධන් මැතිතුමා දීර්ඝ කාලයක් ජීවත් වෙයි කියලා මම පතනවා. හැබැයි එතුමාගේ ජීවිත කාලය තුළ මේක කරගන්න බැරිවුණොත් ආයේ මොනවා වෙයිද කියලා මට කියන්න බැහැ. ඔහුගෙන් පස්සේ දෙමළ ජනතාවගේ නායකත්වය ලැබෙන්නේ උතුරේ අන්තවාදී කොටස්වලට. ඔහුගේ නායකත්වය දුර්වල වුණොත් අන්තවාදීන් ශක්තිමත් වේවි. ඒ නිසා ජනාධිපතිතුමා සහ අගමැතිතුමාට තියෙන ලොකුම වගකීම තමයි වැඬේට බැහැලා මේක සාක්ෂාත් කරගන්නට නායකත්වය දෙන එක.■