Friday, 18/8/2017 | 10:09 UTC+0
රාවය

රනිල් හැංගූ වැලිකඩ ඝාතන වාර්තාව 7 | සුදු අම්මේ මම ආස නැද්ද එළියට ඇවිල්ලා හොඳින් ඉන්න කොණ්ඩ අමිලගේ ඉරණමත් විසඳෙයි

අරුණ ජයවර්ධන

වයිඕ ශාලාවට කඳුළු ගෑස් වැටීම නිසා සිර කරුවෝ මහත් අපහසු තාවට පත්වූහ. කඳුළු ගෑස් දුම හාත්පස පැතිර පැවතියේය. හුස්ම ගැනීම කෙසේවත් කළ නොහැකි විය. සිරමැදිරිවලම කොටුවී සිටියා නම්, හුස්ම ගැනීම අපහසුවී සිරකරුවන්ගේ ජීවිත පවා අවදානමට ලක්විය හැකිව තිබුණි. මේ තත්ත්වය මත බන්ධනාගාර නිලධාරියෙක් සිරමැදිරිවල දොර හැර දුන්නේයට. රඳවුවෝ සිරමැදිරිවලින් පිටතට ආහ. එහෙත් ඔවුහු බන්ධනාගාරයේ එළිමහනට නොගොස් වාට්ටුව අසලම රැඳී සිටියෝය. බන්ධනාගාරයේ ගැටුමට අඩුවෙන්ම සහභාගිවුණෝ වයිඕ අංශයේ සිටි සිරකරුවෝය. එහෙත්, සිදුවීමේදී වැඩිපුරම ඝාතනයට ලක්වුණෝද වයිඕ අංශයේ සිරකරුවෝය.
රාත්‍රී 10 පමණ වන්නට ඇත. වයිඕ වාට්ටුවේ රඳවා සිටි ගුණ්ඩු මාමා වාට්ටුවෙන් පිටතට ගොස් යළි ඇතුළට පැමිණ තවත් රඳවුවකු ඇමතීය. ‘මල්ලි, නාකොටික් එකත් බැහැලා.’ සාමාන්‍යයෙන් කලබල ගති නොපෙන්වන ඔහු ඒ අවස්ථාවේදී බොහෝ කලබල වුණු ගතියක් පෙන්වීය. බොහෝ දේ දෙඩුවේය. එක් වරක රිමාන්ඞ් ඇඳුම ගලවා සරමක් ඇඳගත්තේය. නැවතත් සරම ගලවා රිමාන්ඞ් ඇඳුම ඇඳ ගත්තේය. ‘ඇයි ඉතින් කලබල වෙලා ඉන්නේ?’ කියා අනෙක් රඳවුවා ගුණ්ඩු මාමාගෙන් ඇසුවේය. ‘මම එළියේ ඉඳලා එනකොට නාකොටික් එකේ සුරංග මහත්තයාව දැක්කා. මම එයාට තට්ටුවක් දාගෙන සර් කියලා කියාගෙන ආවා. ඒ නිසා දැන් මට බයයි. මොනව වෙයිද දන්නේ නැහැ.’
‘නාකොටික් සුරංග මහත්තයා කහ පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ. පරෙස්සම් වෙයල්ලා’ කියාද ගුණ්ඩු මාමා අනෙක් රඳවුවන්ට කීවේය. ‘නාකොටික් සුරංග මහත්තයාට විරුද්ධව අම්මා සාක්‍ෂි දෙන නඩුවක් තියෙනවා. ඒක අම්මාට කියලා නවත්තලා තියෙන්නේ.’ ඔහු කීවේය. ගුණ්ඩු මාමාත්, කළු තුෂාරත්, අතපත්තුත් බන්ධනාගාරය තුළදී සමීපව ආශ්‍රය කළ මිතුරෝ වූහ.
යුද හමුදාව පැමිණි පසු වයිඕ අංශයේ සිරකරුවෝ සියල්ලෝම පිටතට ගෙන කොරිඩෝරයේ දණගස්වනු ලැබුවෝය. අත්වලට ප්ලාස්ටික් මාංචු දමන ලදි. යුද ටැංකි දෙකෙන් විහිදෙන එළිය වයිඕ අංශය පුරා පැතිර තිබුණේ එහි සිටින ඕනෑම කෙනකු හඳුනාගත හැකි වන තරමට පැහැදිලි බවක් ඇතිකරමිනි. නාකොටික් සුරංග තමාගේ අතේ තිබුණු කඩදාසියෙන් බලමින් නම් කියන්නට පටන් ගත්තේය. ඒ නම් කියැවෙන අය හමුදා නිලධාරීන් විසින් කොරිඩෝරයට යාබද සිරකුටිය තුළට ඇදගෙන යන ලදහ. එසේ නම් අඬගසා සිරමැදිරිවලට දමන ලද අය අතර සුසන්ත, අතපත්තු, ගුණ්ඩු මාමා සහ ඩොල්පින් චන්දන යන අයද වූහ. කළු තුෂාරගේ සහ පින්වත්තේ උක්කුවාගේ නම් අඬගසන ලද නමුත් ඔවුහු ඒ වෙලාවේ එහි නොසිටියහ. වාට්ටුවේ ‘කාමර පාටි’ බාර රඳවුවාගෙන් කළු තුෂාර කොහේදැයි එක් හමුදා නිලධාරියෙක් ඇසීය. ඔහු දැන් ශාලාවේ නැති බව රඳවුවා කීවේය. ි
කළු පැහැති, සාමාන්‍ය උසක් ඇති, තර සිරුරක් හා නෙරා ආ උදරයක් සහිත පුද්ගලයෙකු නිසා ඔහුගේ රූපය හැමෝටම මතකය. ගුණ්ඩු මාමා කීවාක් මෙන් ඔහු ඇඳගෙන සිටියේ කහපාට ක්‍රොකඩයිල් වර්ගයේ ටීෂර්ට් එකකි.
සුසන්ත, අතපත්තු, ගුණ්ඩු මාමා සහ ඩොල්පින් චන්දන සිරකුටියට දමා ටික වේලාවකට පසු ඩොල්පින් චන්දන නැවත සිරකුටියෙන් පිටතට ගෙන අනෙක් සිරකරුවන් රඳවා සිටි තැන දණගස්වනු ලැබීය. දැඩි ලෙස පහරකෑම්වලට ලක්වුණු බවක් ඔහුගේ මුහුණෙන් හා ඉරියව්වලින් දිස්විය. ඉන්පසු හමුදා නිලධාරියෙක් නාකොටික් සුරංග අමතා, ‘සර් හරි’ යැයි කීවේය. ඒ කතාවත් සමඟ නාකොටික් සුරංග දණගස්වා සිටි සිරකරුවන් අතරින් ඇවිදගෙන සිරකරුවන් තිදෙනා රඳවා සිටි සිරකුටිය තුළට ගියේය. විනාඩි තුන හතරකට පසු ඔහු සිරකුටියෙන් පිටතට ආවේය. ඉන් පසු, සුසන්තත්, අතපත්තුත්, ගුණ්ඩු මාමාත් සිරකුටියෙන් පිටතට ගෙන දණගස්වා සිටි සිරකරුවන් අතරින් ගොඩනැගිල්ලෙන්ද පිටතට ගෙන යනු ලැබූහ. ඔවුන්ගේ උඩුකයට ඇඳ සිටි ටීෂර්ට්වලින් එකිනෙකාගේ ඇස් වසා බැඳ තිබිණ. අත්ද බැඳ දමා තිබිණ.
පසු දින උදෑසන වන විට ඒ තුන්දෙනාගේද මළසිරුරු දක්නට ලැබිණ. නිර්මල අතපත්තුගේ මළසිරුර අසළද ටී56ක් දමා තිබිණ. කළු තුෂාරගේ මළසිරුරද ඒ අසළ විය. මළසිරුරු වැටී තිබුණේ මීටර 20ක පමණ දුරක් තුළය. කළු තුෂාරගේ මළසිරුරේ අත උඩ ටී 56 ආයුධයක් තිබිණි.
අතපත්තු හෙවත් නිර්මල අතපත්තුගේ මළසිරුර වයිඕ ශාලාව අසළ වැටී තිබිණ. පිළියන්දල පදිංචිකරුවකු වූ ඔහු හෙරොයින් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූවෙකි. හෙරොයින් ජාවාරම්කාරයෙකු ලෙස සලකනු ලැබූවෙකි. විවාහකයකු වූ අතර එක් දරු පියෙකි. ඔහුගේ ජීවනෝපාය රියැදුරුකම විය. 2009 ජුනි 25වැනි දින ඔහු කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී තිබුණි. ප්‍රශ්න කිරිම්වලදී නිරුවත්කොට අමානුෂික ලෙස නිර්මල අතපත්තුට පහර දී තිබුණි. ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ මව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කලාය. එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම් කොට තිබුණේ, වැලිකඩ ඝාතන සිදුවීමේ හැම තැනම නම සඳහන් වන මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උපපොලිස් පරීක්‍ෂක සුරංග ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකි. බන්ධනාගාරයේදී අතපත්තු ඝාතනය වීමට දින පහකට පෙර ඔහුගේ ඉල්ලීම පරිදි මව සිය පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන තිබුණේය. අතපත්තුගේ බිරිඳ අතපත්තු බැලීමට බන්ධනාගාරයට ගිය විට ඔහු ඇයට පවසා තිබුණේ මානව හිමිකම් නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස තමාට බලපෑම් තිබෙන බවයි. ඊට අමතරව නාකොටික් සුරංගට එරෙහිව අතපත්තුගේ මව පොලිස් මූලස්ථානයට, අධිකරණ අමාත්‍යාංශයට, නීතිපති දෙපාර්ත මේන්තුවට, ශ්‍රේෂ්ඨාධි කරණයට මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයටද පැමිණිලි කළාය. මේ පැමිණිලි නිසා අතපත්තුට බන්ධනාගාරය තුළ කරදරයක් වේයැයි සිතුණු බැවින් වැලිකඩ සිට මැගසින් බන්ධනාගාරයට ඔහු මාරුකර දෙන ලෙස මව විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ටද ඉල්ලීමක් කර තිබුණි. එහෙත් ඊට පෙර අතපත්තුගේ ඉරණම විසඳිණ. ඊට සුළු මොහොතකට පෙරනිර්මල අතපත්තු ජංගම දුරකථනයක ආධාරයෙන් තම නිවසට අමතා තිබුණි. ඔහුගේ බිරිඳත් ඥාති සහෝදරයකුත් ඔහු සමඟ කතා කළෝය.
සුසන්ත පෙරේරා, රත්මලානේ පදිංචිකරුවෙකි. සොරකම්, මංකොල්ල හා හෙරායින් ජාවාරමේ හා කප්පම් ගැනීමේ යෙදුණු සුසන්ත බන්ධනාගාරයේ සිටියේ සැකකරුවකු වශයෙනි. වරක් ඔහු නීත්‍යනුකූල අත්අඩංගුවෙන් පැන ගිය බවටද වාර්තා වී තිබේ.
ගුණ්ඩු මාමාගේ නියම නම මොහොමඞ් විජය රෝහණය. ඔහු වැලිකඩ බන්ධනාගාරය එහා පැත්තේ, බොරැල්ල මැගසින් පාරේ පදිංචිව සිටි අයෙකි. බොරැල්ල ප්‍රදේශයේ පාතාල නායකයකු හා ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරයකු වශයෙන් ඔහු සැලකිණ. හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධ යෙන් කොළඹ මහාධි කරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියමවී සිටි ඔහු ඝාතනය වන විට ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණේය.
මලින් සමීර පෙරේරා හෙවත් කොණ්ඩ අමිලගේ ඉරණමද එවැනිම විය. ඔහු දෙහිවල කළුබෝවිල පදිංචිකරුවෙකි. හෙරොයින් ජාවාරම්කරුවකු වූ අතර කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදාගේ සහචරයකු ලෙස සැලකුණෙකි. කප්පම් ගැනීමේ නිරතවූවෙකි. වෙලේ සුදා සමඟ ගනුදෙනු තිබුණු කාලයේ අමිලත් වෙලේ සුදාත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ දේශපාලන වැඩවලට ඉදිරිපෙළ සහායකයන් හැටියට සම්බන්ධ වූවෝය. එක් අවස්ථාවක අමිලත් වෙලේ සුදාත් එකට මැගසින් බන්ධනාගාරයේ සිටියහ. වෙලේ සුදාට පෙර අමිලට ඇප ලැබිණ. ඇප ලැබී එළියේ සිටින විට, දුමින්ද සිල්වාගේ ඡන්ද වැඩවලට වාහන කුලියට ගැනීම, කෑම බීම ලබාදීම වැනි දෙයින් අමිල සහාය විය. ඒ බන්ධනාගාරය තුළ සිටිමින් වෙලේ සුදා දුන් උපදෙස් අනුවය. ඒ කාලයේ වෙලේ සුදාටත් ඔහුගේ බිරිඳටත්, ‘අයියා අක්කා’ කියා කතාකරන තරමට අමිල සමීපව සිටියේය. එහෙත් 2011දී පමණ ඔහු වෙලේ සුදාගෙන් වෙන්වී කළුබෝවිල රෝහල පිටුපස, පරණ වළව්වක් වැනි නිවසක් කුලියට ගෙන තමන්ගේම ෆිනෑන්ස් කොම්පැනියක් පටන් ගත්තේය. එය විවෘත කරන්නට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාය. ෆිනෑන්ස් කොම්පැනියක් කීවාට එයින් කෙරුණේ දවසේ පොලියට සල්ලි දීම, ත්‍රීවීල්, මෝටර්සයිකල්, ඉඩම්වල පොත්, ඔප්පු ඇපයට තබාගෙන මුදල් ණයට දීමයි. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධනය අමිලට තිබිණ. එහෙත්, ඒ සල්ලි කොහෙන් ආවාදැ’යි අමිලගේ පවුලේ අයවත් දන්නේ නැත.
අමිල අත්අඩංගුවට ගන්නේ නාකොටික් සුරංග විසිනි. ඒ තම පෙම්වතියකගේ නිවසේ අමිල සිටිද්දීය. බන්ධනාගාරය තුළදීද අමිල අත දිග හැර වියදම් කළේය. ඒ නිසා බන්ධනාගාර නිලධාරීහු අමිලට යහමින් උදව් කළෝය. අමිල, බන්ධනාගාර නිලධාරීන් ලවා සමහර ඉරිදා දවස්වලට ෆ්‍රයිඞ් රයිස්, කොත්තු රොටි ගෙන්වාගෙන කෑවේය. බියර්, අරක්කු වැනි දේද එලෙසම ගෙන්වා ගන්නා ලදි. අමිලගේ ළඟ කැමරා ෆෝන් එකක් තිබුණි. ඔහුගේ පෙම්වතිය පුරුද්දක් හැටියට නිවසේ සිට තම කැමරා ෆෝන් එකෙන් බන්ධනාගාරයේ සිටින අමිලගේ කැමරා ෆෝන් එකට රූපය දකිමින්ම කතාකළාය. තමා ඉන්නා සිරකුටියේ හැටි සොබාව අමිල ෆෝන් එක හරහා ගෙදර අයට පෙන්නුවේය.
2011 අවසාන භාගයේදී පමණ මැගසින් බන්ධනාගාරයේ සිටි අමිලත් එහි ප්‍රධානියකුත් අතර ප්‍රශ්න ඇතිවිය. මේ නිසා දවසින් දවස එක එක සිරකුටියට මාරු කිරීම, කෑම දීමේදී විවිධ ප්‍රශ්න වැනි අවුල් අමිල කෙරෙහි ඇතිකෙරිණි. තමාට තිබෙන ප්‍රශ්න නිසා කරදරයක් ඇතිවිය හැකි බැවින් ඒ ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස අමිල වරෙක මවට කීවේය. ඒ වන විට, වරක් තම නිල කාමරයට අමිල කැඳවූ මැගසින් බන්ධනාගාර ප්‍රධානියෙකු, උඹ පැනලා යන්න ගියා කියලා වෙඩි තියලා දානවායැයි ඔහුට තර්ජනය කර තිබුණි. මේ තත්ත්වය නිසා අමිලගේ පෙම්වතියත් මවත් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිනිල්ලක් ඉදිරිපත් කළෝය.
බන්ධනාගාර ඝාතනය සිදුවුණු දින රාත්‍රී 8ට පමණද, ඒ කියන්නේ එස්ටීඑෆ් නිලධාරීන් වෙඩි තබමින් සිටියදී අමිල ජංගම දුරකථනයෙන් ගෙදරට කිහිපවරක් කතාකර තිබුණේය. මලිත් සමීර නමැති සිරකරුවකු, වෙඩි වැදුණු සිරකරුවන් බන්ධනාගාරයෙන් පිටතට ත්‍රීවීලරයකින් ගෙනයන්නට උත්සාහ දැරූ අවස්ථාවේ වෙඩි වැදී මැරුණු බව ඔහු ඒ මොහොතේ මවට කීවේය. එහෙත් තමාට කිසි කරදරයක් නැති බවද, හොඳින් ඉන්නා බවද ඔහු පැහැදිලිවම කීවේය. ‘එළියට එහෙම යන්න එපා. ඇතුළටම වෙලා ඉන්න.’ මව ඔහුට අවවාද කළාය. ‘සුදු අම්මේ මම ආස නැද්ද එළියට ඇවිල්ලා හොඳින් ඉන්න. මම කිසි දේකට එළියට යන්නේ නැහැ.’ ඔහු යළිත් මවට කීයේය. නිවසට කතාකරන එක් අවස්ථාවක අතපත්තුද තමා අසල සිටින බව අමිල මවට කියා තිබුණේය. මව අතපත්තු සමඟද කතාකළාය. එහෙත්, තවත් නොබෝ වේලාවකින් කොණ්ඩ අමිලගේත් අතපත්තුගේත් ජීවිත අවසන්වන්නට නියමිතව තිබිණ.
රාත්‍රී, හමුදාව බන්ධනාගාරය තුළ සිටින විට කොණ්ඩ අමිල, එල් ශාලවේ තුන්වැනි තට්ටුවේ 34 හෝ 35 කාමරයේ සිටියේය. ඒ මාතර මල්ලිගේ කාමරයයි. රාත්‍රී 12 පමණ වන විට හමුදා නිලධාරීහු පැමිණ එල් ශාලාවේ සියලුම දෙනාට බිම් මහලට පැමිණෙන ලෙස දැන්වූහ. බිම් මහලට පැමිණි සියලු දෙනා එහි දණගස්වන ලද්දෝය. ‘එල් ශාලාවේ ඉන්න එවුන් ඇර අනිත් එවුන් ඉන්නවා නම් නැගිටපල්ලා.’ හමුදා නිලධාරියෝ කීහ. රඳවුවෝ අට දෙනෙක් පමණ නැගිට්ටාහ. කොන්ඩ සුරේෂ්, කොණ්ඩ අමිල ඇතුළු තවත් හයදෙනෙක් එසේ නැගී සිටියහ. මේ පිරිස ඉදිරියට ගෙන තම භාරයට ගත් හමුදා භටයෝ ඔවුන් ශාලාවෙන් පිටතට ගෙනගියහ. සුපුරුදු පරිදි නාකොටික් සුරංගද ඒ හමුදා පිරිස සමඟ සිටියේය.
රඳවුවන් පිටතට ගෙනයෑමෙන් විනාඩි 10කට පමණ පසු වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණි. අන් අයගේ මෙන්ම කොණ්ඩ අමිලාග් ඉරණමද විසඳී තිබුණේය. පසුදින උදේ වන විට කොණ්ඩ අමිලගේ සිරුර අසළ මුවහත් දිග පිහියක්ද දමා තිබිණ.
ත්‍රීවීලරය තුළ මියගිය රඳවුවන්ගේ කතාව ලබන සතියේ රාවයෙන් කියවන්න.