සෙල්ලං ද ඇමති


dayasiri

ටිරන් කුමාර බංගගමආරච්චි

මාත් සමඟ සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා.” ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මෙලෙස අනතුරු අඟවා තිබුණේ ක්‍රීඩා සංගම්වලටය. නව වසර ආරම්භයේම ඇමතිවරයා මෙලෙස පරල වන්නේ ඇයි?
මෙරට ක්‍රීඩා සංගම් අතිබහුතරය ඔහු කියන කිසිවක් පයිසයකට මායිම් නොකරන බැවින් මේ දැඩි බව ඇති වී ඇත. මේ දිනවල ඇමතිවරයාට ඇති එකම වුවමනාව නව ක්‍රීඩා පනතක් සකස් කිරීමය. එහි අයිතිය ඔහු නමින් ලියාගැනීමය. ඇති පනතට අනුව හෝ වැඩ නොකළ ක්‍රීඩා ඇමැත්තෝ ක්‍රීඩා පනතේ සංශෝධන ඇති කිරීමට මෙන්ම නව පනත් ගෙන ඒමට රුසියෝය. දයාසිරිට වැළඳී ඇත්තේද එම රෝගයමය.
එබැවින් ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනය සඳහා විශේෂ මහා සභා රැස්වීම් පවත්වන දින වකවානු මුල සිටම දැනුම් දුන් අතර ඒ සඳහා සංගම්වල යෝජනා අදහස්, උදහස් ද බලාපොරොත්තු විය. එහෙත් දැනට ක්‍රියාත්මක සංගම් හැට අතරින් සංගම් පනස් ගණනක්ම ඇමතිවරයාගේ ඉල්ලීම තඹේකට ගණන් ගෙන නොතිබුණි. ඉන් ඇමතිවරයා හැල්ලු වීම නිසා මේ හීල්ලීම ඇති වී ඇත.
2017 වසරට අදාළව ක්‍රීඩා දින දර්ශනය ඉදිරිපත් කිරීමේ හා ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ප්‍රදානය කිරීමේ උත්සවය පවත්වමින් අමාත්‍යවරයා ජනවාරි 2 දා මේ දෙහි කැපීම ඉටුකළේය.
මෙරට ඇති ක්‍රීඩා සංගම් 60 අතරින් ඇමතිවරයාගේ ඉල්ලීම පිළිගෙන ඇත්තේ සංගම් දහයටත් අඩු ප්‍රමාණයකි. එසේ නම් ක්‍රීඩා ඇමතිවරයාට කේන්ති යෑම අසාධාරණද?
එපමණක් නොව මෙහිදී ජාතික ක්‍රීඩා සංගම්වල තොරතුරු යාවත්කාලීන නොවීම හා බැංකු ගිණුම් අංක ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා නොදුන් සංගම්වලට එරෙහිව පියවර ගැනීමට සූදානම්වන බවද ක්‍රීඩා අමාත්‍යවරයාගේ බැණ ැදීමේ කරුණු අතර අන්තර්ගත විය.
“ජාතික ක්‍රීඩා සංගම්වල බැංකු ගිණුම් අංක අපි ඉල්ලුවා. මේ වනකොට සංගම් 60කින් සංගම් 14ක් පමණයි එම තොරතුරු ලබාදී තිබෙන්නේ.”
මේ අනුව පෙනීයනුයේ ක්‍රීඩා ඇමතිවරයා ගණන් නොගැනීමේ සීමාවක් නැති බවය. මේ නිසා ඇමතිවරයා පත්තු වී ඇත.
“මේ වසරේ මේ දේවල් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් ඇමතිවරයා විදියට මට ගන්න පුළුවන් පියවර ගණනාවක් තියෙනවා. මාව එතැනට තල්ලු කරන්න එපා.” එදින ජයසේකර දැමූ සද්දය එබඳුය. සද්දය අහවර නැත. නොඉවර වන්නේ තවත් හේතු නිසාය. එනම් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රක්‍ෂණාවරණයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත්තද ඊටද සංගම් නිලධාරීන් දැක්වූ ප්‍රතිචාර අල්පය.
“අපි ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජීවිත රක්‍ෂණාවරණයක් ලබා දෙන්න යෝජනා කළා. ඒත් ඒකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ තොරතුරු ලබාදීලා තියෙන්නේ සංගම් හයක් විතරයි. අපි රක්‍ෂණයක් ලබා දෙන්න හදනකොටත් දක්වන ප්‍රතිචාරය මෙච්චරයි නම් ඒක සුළුකොට තකන්න බෑ.” මේ ඇමතිවරයා වැටී ඇති අපහසුවේ තරමය.
මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මෙවැනි දෑ කීමට සිදුවීමට තරම් ක්‍රීඩා ඇමති තැන පහළට වැටීම සැබැවින්ම ඛේදජනකය. ක්‍රීඩා අමාත්‍යවරයෙක්, අමාත්‍යාංශයක් ඇත්තේ ක්‍රීඩාව සංවර්ධනය කරන්නටය. එහි නියමුවා ඇමතිය. ක්‍රීඩා සංගම් සියල්ල ඔහුට යටත්ය. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? ක්‍රීඩා ඇමතිවරයා දෙකයි පනහට වැටීමය. ක්‍රීඩා ඇමතිවරයා මෙතරම් සිල්ලර වූයේ ඔවුනොවුන්ම වගා කර ගත් අස්වැන්න අනුවය. වැඩ වෙනුවට කතාකාරයන් වීම නිසා සංගම් බොහෝමයක හොරු රැළ ඉතා ශක්තිමත් වූහ. මෙය දයාසිරි ඇමතිවරයා නිසා සිදුවූවක් නොව මීට පෙර ක්‍රීඩා ඇමැත්තන් කළ කී දෑ නිසා සිදුවූවකි. ජයසේකරද එහි පංගුකාරයෙකි. ගිය වසරේ පැවති සාග් ක්‍රීඩා උළෙලට පෙර ජයසේකර මහතා ක්‍රීඩා සංගම් ගණනාවකට අතදිගහැර මුදල් ලබාදුන්නේය. එය කෝටියක සිට ලක්‍ෂ අනූව, අසූව, හැත්තෑව සිට අවමය ලක්‍ෂ විස්සක් වැනි මුදලක්ය. මේ දයාසිරි ජයසේකර සාක්කුවෙන් ඇදදුන් මුදල් නොව මෙරට ජනයාගේ මුදල්ය. එබැවින් අප පුනපුනා කීවේ සාග් ක්‍රීඩා උළෙලින් පසු එම මුදල් වියදම් කළ ආකාරය ඒවාට සාධාරණයක් ඉටුවී ඇත්ද යන්න නිසි අධ්‍යයනයක් කරන ලෙසය. එහෙත් අප දන්නා තරමින් ඔහු ඒ කිසිවක් නොකළේය. ඒ වෙනුවට ඔහු ඉහත අදාළ සංගම් ගෙන්වා බොරු තගක් දමා එයද බොරු නාඩගමක් බව පෙන්වීමට කටයුතු කළා විනා වෙන කිසිවක් නොවීය. දැන් ඇමතිවරයා සිහි කැඳවාගත යුත්තේ ඒ අතපසුව ක්‍රීඩා සංගම් සියල්ල ඇමතිගේ දිග පළල මැනගත් බවය. ඇමතිගේ බොරු කයිවාරු ඇරුණු කොට කිසිවක් නැති බව ඔවුහු වටහාගත්හ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියන්නාක් මෙන් වත්මන් ක්‍රීඩා පනත යනු ක්‍රීඩා ඇමතිවරයාට ඒකාධිපති බලයක් ආරෝපණය කර ඇති ලියවිල්ලකි. එහි බලය හරිහැටි තේරුම් නොගෙන එය නිසියාකාරයෙන් පාවිච්චි නොකොට කොටින්ම අවශ්‍ය දෑ අවශ්‍ය මොහොතේ නොකොට නළුවෙකු වූ වත්මන් ක්‍රීඩා ඇමති අද විහිළුකාරයකු මෙන් කෑමොර දෙමින් සිටී.
තමන්ගේ බලතල අනුව ක්‍රියා කරනවායැයි කියමින් බොරු චණ්ඩි පාට් දමමින් මාධ්‍ය සංදර්ශන පවත් වන්නේය. මෙයින් ක්‍රීඩා සංගම් බියවී සැලෙනු ඇත්ද? නිසි නියාමනයක් නොකොට අයාලේ යන්න ඉඩදී දැන් කෙවිට ගන්නා විට සියල්ල ප්‍රමාදය. ඇමති කියන දෑ සංගම් හැටක් අතුරින් හයක් පිළිගන්නේ නම් ඉතිරි පනස් හතර ඇමතිකෙනකු තම විෂය පද්ධතියට ගාවාගන්නේවත් නැත.
ක්‍රිකට් නිලවරණය වේලාවේදී ක්‍රීඩා ඇමතිවරයා හැසිරුණේ තිලංගගේ සුරතලකු මෙනි. ඔලිම්පික් ප්‍රශ්නයේදීද එහි වෙනසක් නැත. එසේනම් සෙසු සංගම් මේවා ආදර්ශයට නොගනීද? රගර් සංගමය ක්‍රියාකරනුයේ ක්‍රීඩා අමාත්‍යාංශයට කිසිදු බැඳීමක් නැති ගානටය. එය කලක් රාජපක්‍ෂලාගේ බූදලයක් වූ අතර වත්මනෙහි මලික් සමරවික්‍රමගේ බූදලයක් වී ඇත. මේ දෙකොටසම ආවතේව කරන සේවකයා බවට අසංග පත්වී ඇත.
එසේ නම් සංගම් කිහිපයකට එක විදියකුත් අනෙක් සංගම්වලට තවත් විදියකටත් බෙදන්න යෑමෙන් සියල්ල අනාගෙන ඇත්තේ ක්‍රීඩා ඇමතිය.
ඇමති අණ නොතකන ක්‍රීඩා සංගමයක් විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කිරීමේ බලය ඇමති සතුය. එහෙත් සංගම් පනහක් පමණ විසුරුවා හැර අතුරු කමිටු පනහක් පත්කළ හැකිද? මන්ද ක්‍රීඩා සංගම් පනහක් පමණ ඇමති තුට්ටුවකට කේවල් නොකරයි. එසේ නම් ඇමති අන්ත අසරණ වී ඇති බව පැහැදිලිය.
තමන්ට වැඩ කළ හැකි පිරිසක් නැති බව කියමින් මාස එකොළහක් තිස්සේ කෙඳිරිගාන ක්‍රීඩා ඇමති වැඩකළ හැකි පිරිසක් හදාගන්නේ කවදාද? වත්මන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් පතෝල මැස්සකි. ලේකම්ගේද වෙනසක් නැත. මේ දෙපළ හමුවීමද ක්‍රීඩා සංගම්වලට මහත් අපහසු කර්තව්‍යයක් වී ඇත. මේ නිකමුන් නිසා හෑල්ලුවන්නේ ඇමතිමය. එහෙත් එලෙස හෑල්ලුවෙමින් ඇමති සිටිනුයේද ඒ නිකමුන් සංගමය හොරු සමඟ හෙළුවෙන් සිටිමින් අනෙක් අයට හූ කියා පලක් නැත. ක්‍රීඩා අමාත්‍යාංශයේ වික්‍රමසිංහ නමැත්තා හොර තක්කඩි වැඩ සියල්ලම කරද්දී ඒ බව දැනදැනම ඇස්කන් පියාගෙන සිටින ක්‍රීඩා ඇමතිට කළ හැකි කිසිවක් වෙත්ද? සංගම් බොහොමයකට මේ පුද්ගලයා විකාරයක් වී ඇත. එවන් පසුබිමක අවසානයේ හෑල්ලුවන්නේ ඇමතිම නොවේද?
ක්‍රීඩා සංගම් ක්‍රීඩා අමාත්‍යාංශය පිළිනොගන්නා තැනට පත්වූයේ අද ඊයේ නොවේ. සංගම් යාළුකරගෙන එම සංගම් සමඟ රට සවාරි යන ගිණුම් නිලධාරීන් සිටින අමාත්‍යාංශයක එම සංගම්වලට යහමින් මුදල් පාස්කරන බව නොදන්නේ කවුද? සෙසු නිලධාරීන් සංගම්වල එල්ලී රට යති. එබැවින් සංගම් මේ නිකමුන්ගේ ඕනෑ එපාකම් හොඳාකාරවම දනියි. එවන් නිලධාරීන්ට තවදුරටත් සංගම් පාලනය කළ හැකිද? ඇමති පැටලුණේ සංගම් සමඟ පමණක් නොව සමස්ත ක්‍රීඩා යාන්ත්‍රණය සමඟමය. ඒ නිසා නව වසරේ මුලින්ම කළයුත්තේ තම අමාත්‍යාංශය වැඩකළ හැකි තැනක් බවට පත්කිරීමට වෙහෙසීමය. එසේ නොවී සංගම් මට්ටු කරන්නට යෑමෙන් අමාරුවේ වැටෙනුයේ ඇමතිමය. මන්ද ඇමති දැනටමත් මට්ටුවී හමාරය. තේරුම්ගත යුත්තේ තමන් සතු බලය අසීමිත බව නොදැන මෙතෙක් ක්‍රියාකිරීමේ පාපය තමන්ටම අත්වී ඇති බවය. නව පනත් ගෙනෙන්නට පෙර ඇති පනතෙන් කළ හැකි වැඩ අපමණ තිබුණි. ඒ කිසිවක් නොකර අයාලේ ගිය ක්‍රීඩා ඇමති දැන් හරි පාරට එන්නට තතනන බව කෑගසා කියමින් සිටින්නේය. එහෙත් ඔහු වැරදි පාරේ බොහෝ දුර ගොස් හමාරය. ඉන්දියාවේ විදී ගානේ ගිය රියෝහි වීදී ගානේ මහත් සතුටින් ගිය දයාසිරිට මෙරට හරි පාර අමතක විය. මෙතෙක් ඔහු අයාලේ ගිය බව දැන් හෝ සිහිවී ඇත්නම් මරුය. නැත්නම් ක්‍රීඩාවට මරුමය. ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරට අප කියනුයේ දැන් හෝ නියම පාරට එන්න. ඔබට වැඩක් කළ හැකිය. එහෙත් තවමත් ඒ බව පෙන්වා නැත. දැන් හෝ උත්සාහ කරන්න. ප්‍රමාද වී ඇති මුත් තවමත් කල් ඇත.■