ව්‍යවස්ථාවක් කියන්නේ සිල්ලර ලියවිල්ලක් නෙවෙයි | නාලක ගුණවර්ධන

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයක මූලික ස්වරූපය මොකද්ද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය දිහා ඓතිහාසිකව බලද්දි පේන්න තියෙන දෙය තමයි ලෝකයේ බොහෝ රටවල ව්‍යවස්ථා සංශෝධන වෙන්නේ සීමිත විද්වතුන් හා ප‍්‍රභූන් පිරිසක් මගින් වීම. ඇමරිකානු ව්‍යවස්ථාව කියන්නේ ලෝකේ තියෙන ඉතා හොද දාර්ශනික සහ ප‍්‍රබල නීතිමය ලියවිල්ලක්නේ. නමුත් ඒක කළේත් ජනරජයේ සමාරම්භකයන් විදිහට හැඅදින්වූ දේශපාලන නායකයන් හා ප‍්‍රභූන් පිරිසක්. ඒ පිරිස අතර ඉතාම දුරදක්නා නුවණ සහිත හරබරව හිතපු අය හිටියා. ඒත් ඒක පුළුල් සහභාගිත්ව ක‍්‍රියාදාමයක් වුණේ නෑ.

ඊට වඩා මෑතකාලීන උදාහරණයක් වන ඉන්දියානු ව්‍යවස්ථාව වුණත් ගොඩනගන්නේ ආචාර්ය අම්බෙඞ්කාර්ගේ නායකත් වයෙන් යුතු කණ්ඩායමක්. අම්බෙඞ්කාර් කියන්නේ ව්‍යවස්ථා විශේෂඥයෙක් වගේම මහා බුද්ධිමතෙක්.

ලංකාවේ ජනරජ ව්‍යවස්ථා දෙක ම හදන්නේත් මොළකාරයන් තමයි. හැත්තෑදෙකේ ව්‍යවස්ථා සම්පාදනයට නායකත්වය දුන්නේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා. ඔහුගේ දැනුම හා දේශපාලන දැක්ම ගැන කිසි විවාදයක් නෑ. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නේත් ඒ වාගේම උගතුන් පිරිසක් අතින්. නමුත් ඔවුන් අතින් නිර්මාණය වුණ ව්‍යවස්ථා දෙකට ම කාලයාගේ අභියෝගයට මුහුණ දෙන්න බැරිවුණා. ඒවායේ තිබුණ දුර්වල තැන් කාලයාගේ ඇවෑමෙන් ඉරිතලන්න ගත්තා. විවිධාකාර පැලැස්තර සංශෝධනවලින් වහගන්න හැදුවේ ඒ ඉරිතැලීම් තමයි.

ව්‍යවස්ථා සම්පාදනය මහජන සහභාගිත්වයෙන් තොරව හොර පාරෙන් කිරීම නෙවෙයිද ඒවා ඉක්මනින් ම එපාවීමට හේතුව?

ඒකෙ කිසියම් ඇත්තක් තියෙනවා තමයි. නමුත් හැත්තෑ දෙකේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදද්දි වුණත් සමහර වෙලාවට ජනමතයන් භාවිත කරනු ලැබුවා. ඒ සංදේශ ආකාරයට. උදාහරණයක් විදියට, ඒ ව්‍යවස්ථාව පිළිබද හේතුවාදීන් ලියූ ඒ විදියේ් සංදේශයක් හේතුවාදීන්ගේ අමතක වුණ ප‍්‍රකාශයක තිබිලා මට හම්බ වුණා. පස්සෙ මං ඒක කෙටි හැදින්වීමකුත් එක්ක ග‍්‍රවුන්ඞ් වීව්ස් වෙබ් අඩවියේ පළ කළා. හේතුවාදී සංගමයේ නායකයා වුණ ආචාර්ය ඒබ‍්‍රහම් ටී කොවුර් විසින් ඒ සංදේශය කොල්වින්ට යවලා තියෙන්නේ එක්දහස් නවසිය හැත්තෑවේ සැප්තැම්බර් විසිපහ.

ව්‍යවස්ථා සම්පාදන යකදී ජන මතය භාවිත කරන්න පුළුවන් ක‍්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මගින් මහජන අදහස් විමසන එක. තමන් මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළහොත් අහවල් අහවල් ව්‍යවස්ථා සංශෝධන කරන බව ජනතාවට කල් තියා හෙළි කරමින් ඒ සදහා ඔවුන්ගේ වරම ගන්න පුළුවන්. නමුත් ඒ මගින් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද ව්‍යවස්ථාවක අඩංගු කරන හැම සියුම් කාරණාවක්ම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක අඩංගු කරන්න බෑ. ඒ නිසා හො`දම දේ ව්‍යවස්ථා සංශෝධනයේදී මහජන අදහස් විමසන එක.

මේ වෙනවිට සිදුකරමින් පවතින ව්‍යවස්ථා කෙටුම්පත්කරණයට අදහස් ලබා දෙන ලෙස මාධ්‍ය මගින් දන්වලා තියෙනවා මම දැක්කා. ඒත් ඒ ක‍්‍රමවේදය හරියට පැහැදිලි නෑ. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ අයත් මේ විදිහට සාක්කි ඉල්ලූවානේ. ඒත් එතැනදී ඔවුන් කොමසාරිස්වරුන් පත් කරලා තිබුණා. යමෙක් ලිඛිතව සාක්කි දෙනවා නම් ඒවා ලබාදිය හැකි කාර්යාලයක් තිබුණා. වාචිකව සාක්කි දෙන්න පුළුවන් දවස් කල් තබා දැන්නුවා. ඒත් මේ සිදුකරන සංශෝධන ක‍්‍රමවේදයේ මහජන සහාභාගිත්වයට ලබාදෙන ඉඩ පැහැදිලි නෑ. ඒ නිසා මේක මීට වඩා විනිවිද දකින මට්ටමකට ගේන්න ඕනෑ. ඒ ස`දහා රටේ ජනතාව හා සිවිල් සංවිධාන වහාම මැදිහත් වෙන්න ඕනෑ. ඒ වාගේ කරුණු විමසීමක් විවෘත වුණාම ඒකට සහභාගි වෙන්න මිනිස්සු සූදානම් වෙන්නත් අවශ්‍යයි.

මේ වාගේ අදහස් විමසීමකදී තොරතුරු තාක්ෂණය නිර්මාණශීලීව යොදාගන්න බැරිද?

දැන් ලෝකයේ ගොඩක් රටවල සිද්ධවෙන්නේ ඒ දේ තමයි. හොද ම උදාහරණය විදියට අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ ගන්න පුළුවන්. අයිස්ලන්තය කියන්නේ සාපේක්ෂව කුඩා ජනගහනයක් ඉන්න උතුරු යුරෝපීය රාජ්‍යයක්. ඒ රටේ ජනගහනය ලක්ෂ තුනහමාරක් විතර. මේ අය දෙදහස් දහයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. එහිදී පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ බේදයකින් තොරව තීරණය කළා ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ මහජනයා එක්කම සිදු කළ යුතුයි කියලා.

එතැනදී ඔවුන් ඉස්සෙල්ලාම කළේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අමතරව රටේ සෑම ප‍්‍රදේශයක්ම හා ජන කොටසක්ම නියෝජනය කරන ආකාරයේ නියෝජිතයන් නවසිය පනහක් තෝරාගන්නා එක. ඒ ඒ ප‍්‍රදේශවල ජනතාවගේ ගැටලූ සහ ආශාවන් නියෝජනය කරන මහජන මණ්ඩලය විදියට කටයුතු කළේ ඒ පිරිස. එහෙම නැත්තම්, ව්‍යවස්ථා සම්පාදක කමිටුව හා රටේ සමස්ත ජනයා අතර අතරමැදියන් විදියට කටයුතු කළේ ඒ අය.

ඊළ`ගට ඔවුන් තම ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් නිල ෆේස්බුක් පිටුවක් පටන්ගත්තා. ඒ අනුව ඒ රටේ හැම පුරවැසියෙකුට වගේම පිටරට ජීවත්වන අයිස්ලන්ත ජාතිකයන්ට තම ව්‍යවස්ථාව පිළිබද අදහස් දක්වන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අයිස්ලන්ත ව්‍යවස්ථාව ගැන උනන්දු විදේශිකයකුට පවා අවශ්‍ය නම් අදහස් දක්වන්න පුළුවන් වුණා ඒ ෆේස්බුක් පිටුව තුළ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හැම කොටසක් ම කෙටුම්පත් වූ විගස ඒ පිටුව මගින් ප‍්‍රචාරය කළා. ඒ හැම පරිච්ෙඡ්දයක් ම නරඹමින් අදහස් දක්වන්න, තර්ක විතර්ක කරන්න හැමෝටම අවකාශය හිමිවුණා. ඒ අනුව ලැබෙන අදහස් දැක්වීම් මත කෙටුම්පත යළි යළි සංශෝධනය කෙරුණා. අයිස්ලන්ත ව්‍යවස්ථාව කෙටුම්පත් කළ කාලය අවුරුදු දෙකක්. ඒ කාලය තුළ මේ අදහස් දැක්වීම් මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැවත නැවත දොළොස් වතාවක් කෙටුම්පත් කෙරුණා.

ඒ විතරක් නෙමෙයි, ව්‍යවස්ථා සම්පාදක කමිටුව රැස්වෙන හැම වාරයක්ම සජීවීව රූපගත කරලා ප‍්‍රචාරය කෙරුණා. කොහොමින් කොහොම හරි දෙදහස් දොළහේදී ව්‍යවස්ථාව අනුමත වෙද්දී ඒක බහුතර ජනතාවගේ දායකත්වය මත කෙරුණ හා රටේ බහුතරයකගේ පිළිගැනීමට ලක්වුණ එකක් වුණා. ඇත්තටම අයිස්ලන්ත ව්‍යවස්ථාව තමයි මං දන්න තරමින් වැඩිපුරම ජන සහභාගිත්වයෙන් සිදුවුණ ව්‍යවස්ථාව. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී අපිටත් මේ දේවල් කරන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ.

ඒ විතරක් නෙමෙයි අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවට තෝරාගත්තේ රටේ දක්ෂ නීතිඥයන්, වෛද්‍යවරු, පූජකයන්, ගොවි නියෝ ජිතයන්, පාරිභොගිකයන් නියෝජනය කරන්නන්, ශිෂ්‍ය නියෝජිතයන්, වෙළද නියෝජිතයන්, කලාකරුවන් වගේ පුළුල් ක්ෂේත‍්‍රවල අය. ඒ වගේ ම එතැනදී ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම යොදාගන්න ඔවුන් වගබලාගත්තා.

ලංකාවේ සමාජ්‍ය මාධ්‍ය භාවිත කරන ආකාරයත් එක්ක ගොඩනැගුණු සුවිශේෂී ගැටලූ මේ වාගේ කටයුත්තකදී හරස් වෙන එකක් නැද්ද?

සමාජ මාධ්‍ය කියන්නේ කොහොමත් නොයෙක් ගාලගෝට්ටිවලින් පිරුණු සතිපොළක් වගේ තැනක් තමයි. මේ වාගේ පියවරකට යද්දී අපිටත් යම් යම් ගැටලූ මතුවෙන්න පුළුවන් තමයි. සමාජ්‍ය මාධ්‍යවල හරවත් දේ වාගේම හරසුන් දේ කියන කරන අයත් ඉන්නවා. ඒ වාගේම තේරුමක් නැතිව ගැටුම් ඇතිකරගන්න අයත් ඉන්නවා. ඒක තමයි සමාජ මාධ්‍යයේ ස්වභාවය.

සමහර විට ෆේස්බුක් තුළ ඉලක්කයක් නිවැරදිව තියාගන්න සංවාද දිගට ගෙනියන්න අමාරු වෙයි. නමුත් ඒක තමයි අභියෝගය. ඒක අයිස්ලන්තය වගේ රටවල් කළා නම් අපිට බැරිවෙන එකක් නෑ. අනික ජනසම්මත ආණ්ඩුවක් හැටියට ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ ඒ වාගේ වඩා ගාලගෝට්ටියක් තියෙන තැනක ඉදන් ම තමයි.

හේතුවාදීන් කොල්වින්ට ලියූ ඔබ දැක්වූ සංදේශයේ මේ ව්‍යවස්ථාවට වැදගත්වන සංකල්පත් ඇති?

ඒවායින් ගොඩක් දේවල් අදටත් වැදගත් තමයි. එදා කොවුර් ඇතුළු පිරිස කොල්වින්ලාගෙන් ඒ ඉල්ලීම් කළත් ඔවුන් බොහෝවිට ව්‍යවස්ථා සම්පාදනයේදී කළේ ඊට ප‍්‍රතිවිරුද්ධ දේවල්. හැත්තෑ අටේ ව්‍යවස්ථාවේදී වුණත් ඒ දේවල් හරියට වුණේ නෑ.

ඒ සංදේශයේදී හේතුවාදීන් මුලින් ම පෙන්නා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය කියන කරුණ. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය එකිනෙකට වෙන්ව පැවතීම හා සංවරණය හා තුලනය වීම ගැන එතැනදී කතා කරලා තියෙනවා. ඒ වාගේම නීතියේ ස්වාධිපත්‍යය කියන සංකල්පය සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථාව විසින්ම තහවුරු කළ යුතු බව කියන කොවුර් ඒ සංදේශය අවසන් කරන්නේ නීතියේ ස්වාධිපත්‍යය සහ ස්වභාව යුක්තියේ මූලධර්මය කියන එක සෑදීමට නියමිත ව්‍යවස්ථාවේ මුදුන්මල්කඩ කරගත යුතු බවත් කියමින්.

ඒ සංදේශයේදී කොවුර් දෙවැනියට කියන්නේ මූලික අයිතිවාසිකම් ගැන. එතැනදී ඔහු එක්දහස් නවසිය හතළිස් අටේ සම්මත කළ මානව හිමිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනය උපුටා දක්වනවා. නව ව්‍යවස්ථාව සියලූම පුරවැසියන්ගේ අයිති වාසිකම් සුරැුකීමට සමත් විය යුතු බවත් ජාතිය, කුලය, ආගම, ලිංගිකත්වය උපන් ස්ථානය හෝ වෙනස් සාධකයක් නිසා කිසිම අයෙකුට අඩුවෙන් සැලකිය නොහැකි බවත් එතැනදී කියනවා.

නිලධාරීවාදය නිසා බැටකන දුක්විදින සාමාන්‍ය ජනතාවගේ දුක්ගැනවිලි කියන්න ඔම්බුඞ්ස් මන්වරයෙක් පත් කළ යුතු බවත් ඒ යෝජනා අතර තියෙනවා. නමුත් ඒ එකක්වත් හැත්තෑ දෙකේදි සිද්ධවුණේ නෑ. ඒ වාගේම රාජ්‍ය සේවා කොමිසම හරහා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑම්වලින් ආරක්ෂා කර ගත යුතුයි කියලා හැත්තෑ ගණන්වලදී පවා එදා කොවුර් කියලා තියෙනවා.

මේ සංදේශයේ තියෙන ඉතාමත් වැදගත් යෝජනාවක් තමයි ලංකාවේ ඇදහීමේ නිදහස මුළුමනින්ම ආරක්ෂාවන පරිදි ආගමයි රාජ්‍යයයි දෙක වෙන් කළ යුතුයි කියන එක. ඕනෑම ආගමක් හා ඕනෑම චින්තනයක් ඇදහීමේ නිදහස මුළුමනින්ම ආරක්ෂා කිරීමයි එතැනදී බලපෑවේ. ඕනෑම කෙනෙක් ඕනෑම ආගමක් ඇදහුවත් රාජ්‍යයට ආගමක් තිබිය යුතු නෑ කියලා කොවුර් ඍජුව කියනවා. එදා කොවුර්ලා මේ විදියට ඉල්ලීම් කළත් කොල්වින්ලා බෞද්ධාගමට සුවිශේෂී සැලකිල්ලක් දුන්නේත් මේ ව්‍යවස්ථාවේදීමයි. ඒ වෙලාවේ කොවුර්ගේ මේ තාර්කික අනතුරු හැගවීම කොල්වින් තැකුවා නම් ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය විතරක් නෙමෙයි වාර්ගික හා ආගමික වශයෙන් රට අර්බුදයට ගිය තත්ත්වය මීට වඩා වෙනස් වෙන්නත් ඉඩ තිබුණා.

දැන් ඒ කියූ බෞද්ධාගමික ප‍්‍රමුඛත්වය සමාජයේ මුල් ඇදලානේ. ඒ වාගේ තත්ත්වයක් තුළ ඒක වෙනස් කරන එක පහසු වෙයිද?

හැත්තෑ දෙකේ ඇතිකළ මේ තත්ත්වයට තවමත් අවුරුදු පණහක්වත් නෑ. ඒ කියන්නේ හරියට බැලූවොත් අපේ පරම්පරා දෙකක්වත් ඔය බන්ධනයට යටත් වෙලා නෑ. රටක ප‍්‍රගමනයට ජනප‍්‍රිය නොවන තීන්දු ගන්න පාලකයන්ට සිද්ධ වෙනවා. ව්‍යවස්ථාවක් කියන්නේ සිල්ලර ලියවිල්ලක් නෙවෙයිනේ. ඉතින් මේ අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඒ සදහා විශාල කැපකිරීමක් කරන්න ඕනෑ.

ඒ විතරක් නෙමෙයි, ලෝකයේ තියෙන සංකීර්ණත්වය ළමයින්ට බාලවියේදී තේරුම්ගන්න බැරි නිසා පාසලේදී ආගම් ඉගැන්විය යුතු නැති බව පවා අර සංදේශයේදී කොවුර් කිව්වා. ආගම කියන එක තමන්ට තේරෙන වයසේදී තමන් විසින් ම තෝරාගන්න සිසුන්ට ඉඩ දෙන්න අවශ්‍ය බවයි එතැනදී හේතුවාදීන් අදහස් කළේ. ඒ වාගේ ම රජයේ සේවයක් ලබාගැනීමට රෝහලකට හරි වෙනත් කාර්යාලයකට හරි ගියාම මහජනයාගෙන් ආගම සහ ජාතිය විමසීම නැවැත්වීමට ව්‍යවස්ථාව තුළින් ම ප‍්‍රතිපාදන සැකසිය යුතු බවත් ඔහු ඒ සංදේශයෙන් කියනවා. මොකද ඒ වාගේ කාර්යයක් කරගන්න යද්දී රජය සහ පුරවැසියා අතර ගනුදෙනුවට ඒ වගේ පසුබිම් අදාළ නෑ.

කොයි දේ වුණත් අද ඒ යුගයටත් වඩා සමාජය පරිණාමය වෙලා තියෙනවා. මේත් එක්ක මතුවෙන සුවිශේෂී ව්‍යවස්ථාමය අවශ්‍යතාවන් නැද්ද?

ඇත්ත. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්මත කරන කාලයත් එක්ක බැලූවත් අද වන විට ලෝකය ගොඩක් ඉස්සරහට ඇවිත්. ඒ වාගේම ඒ කාලයේ තිබුණාට වඩා වෙනස් විදියේ් අභියෝගත් අද මතුවෙලා තියෙනවා. මානව හිමිකම් පිළිබද දැනුම හා අවබෝධය ගත්තත් ඒ වාගේ. අද මානව හිමිකම් විශාල වශයෙන් පුළුල් වෙලායි තියෙන්නේ. හැත්තෑ ගණන්වල මඳ වශයෙන් ලෝකය කතා කළ ලිංගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් වාගේ දේවල් වුණත් අද නොතකා හරින්න බෑ. මොකද අද ඒවාට ලෝක සමාජයේ විශාල පිළිගැනීමක් තියෙනවා. ඒ අයගේ අයිතිවාසිකම් රැුකගැනීම රාජ්‍යයේ වගකීමක් වෙලා තියෙනවා. ඒවා ඊනියා සදාචාරවාදීන්ගේ බලපෑම් මත අමතක කරන්න බෑ.

කථනයේ හා භාෂණයේ නිදහස අද වනවිටත් හැම දෙනාටම තියෙනවානේ. ඒ වගේම දහනවවන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තොරතුරු දැනගැනීමේ අයිතියත් තහවුරු වෙලා ඉස්සරහට ගියා. ඒ නිසා අලූත් ව්‍යවස්ථාව තුළ ඒවා මේ තියෙන මට්ටමින් ම පවත්වාගන්න ඕනෑ. ඒ වාගේම සයිබර් අවකාශයේ අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රකාශන නිදහසත් මේ ව්‍යවස්ථාව තුළ වෙනම සටහන් විය යුතුයි. අද මේ වාගේ කරුණක් සම්බන්ධයෙන් නීතිමය ගැටලූවක් ඇතිවුණොත් ගොඩක් වෙලාවට අධිකරණය කරන්නේ ඒවාත් අදහස් ප‍්‍රකාශනයට අදාළය කියලා අරන් තීන්දු දෙන එක. නමුත් මේ වෙනුවෙන් සෙසු අදහස් ප‍්‍රකාශනයන්ට තියෙන තරමටම ස්වාධීන ප‍්‍රතිපාදන සැකසීම ඉතාම වැදගත්. එදා ප‍්‍රකාශන නිදහස කියලා හැ`දින්වුණේ යමක් ලිවීමේ හා යමක් ප‍්‍රකාශ කිරීමේ අයිතිය. නමුත් අද වනවිට අන්තර්ජාලය හරහා එය තවත් මානයකට ගිහින් තියෙනවා. සයිබර් අවකාශයේ ප‍්‍රකාශන අයිතිය තහවුරු කරගන්නේ කොහොමද, ඒවාට තියෙන සාධාරණ සීමා මොනවාද වගේ දේවල් අද වෙන විට අවධානයට ලක්වෙනවා.

බුරුමයේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සදහා විද්වත් දායකත්වය දක්වන්න කියලා මට ආරාධනා ලැබුණ නිසා පහුගිය කාලයේ මං කීපවතාවක් බුරුමයට ගිය නිසා මට ඒ රටේ අත්දැකීම් ටිකකුත් ලැබුණා. අපි දන්නවානේ බුරුමය කියන්නේ අවුරුදු පණහක් විතර දැඩි කුරිරු හමුදා පාලනයක ඉදලා දැන් දැන් නිදහස් වෙන රටක්. පහුගිය මාසයේ පැවති ඡන්දයෙන් අවුන්සාන් සුකීගේ පක්ෂයට සියයට හැත්තෑවක ජනවරමක් ලැබුණා. ඒ අනුව ලබන මාර්තු මාසේ ඒ අය රජයක් පිහිටුවන්නයි හදන්නේ. ඇත්තටම බුරුමය මේ වෙලාවේ තියෙන්නේ ඉතාමත් තීරණාත්මක මොහොතක. මීට කලිනුත් ඡන්දයකින් සුකී මේ විදිහට ම ජයග‍්‍රහණය කළාම ඒ ප‍්‍රතිඵල අහෝසි කළ ඉතිහාසයක් බුරුමේ තියෙන්නේ.

කොහොම වුණත් දැන් බුරුමයේ ඉක්මනින් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සිදුවෙමින් තියෙනවා. ඒ වාගේම මේ වෙලාවේ මාධ්‍ය සම්බන්ධයෙන් විශාල ප‍්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් සිදුකරගෙන යනවා මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීමෙන්ම. බුරුමය කියන්නේ පහුගිය කාලයේ කිසිම නියාමනයක් නැති මාධ්‍ය සංස්කෘතියක් තිබුණ රටක්. ඒත් පහුගිය කාලයේ ඒ අය ගෙනගිය වැඩපිළිවෙළ තුළින් අපිට ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා.