අර්ජුනවත් ටීම් එකට ගන්න


arjuna

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

දයාසිරි ජයසේකර, අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල යහපාලන ආණ්ඩුවේ කෙරුම්කරුවෝ තිදෙනෙකි. මේ අතුරින් අර්ජුන රණතුංග අන් දෙදෙනාට වඩා මඳක් වෙනස් ය. ඒ ඔහු යහපාලන වේදිකාවේ ආරම්භයේ සිට ම සිටි නිසා ය. දයාසිරි සහ තිලංග යහපාලන ආණ්ඩුව පත් වූ පසු යහපාලන සඵපිළි පැළද ගත්තෝ ය.

අර්ජුන ආරම්භයේ දී ම යහපාලන සඵ පැළද ගන්නේ බොහෝ කැපවීම් කරමිනි. දයාසිරිත් තිලංගත් බැරිම තැන යහපාලන සඵ පැළද ගත්තේ යැයි අප අනුමාන කරමු. ඒ ඇමැති වරදාන හමුවේ ය. පුරවැසි බලාපොරොත්තු පසෙකට දැමීමට දේශපාලන න්‍යායන්ට සිදුවෙන එක් අවස්ථාවක් සේ අප එය දකිමු. එහෙත් එසේ වූ පමණින් ක‍්‍රීඩා පරිපාලනයේ දී මේ තිදෙනාගේ කියුම් කෙරුම් තම තමන්ට ඇවැසි ආකාරයට සිදුවිය හැකිදැයි අප තුළ ඇත්තේ විචිකිච්චාවකි.

අද වනවිට මේ තිදෙනා ක‍්‍රිකට් සම්බන්ධයෙන් විවිධාකාරයෙන් මැදිහත් වෙති. දයාසිරි ජයසේකර විෂයභාර ඇමැතිවරයා ලෙසත් තිලංග සුමතිපාල ක‍්‍රිකට් පාලකයා ලෙසත් සහ අර්ජුන රණතුංග ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු, ක‍්‍රීඩා සමාජ නියෝජිතයෙකු, පරාජිත අපේක්ෂකයෙකු ලෙසත් ය. මොවුන්ගේ භූමිකාවන් තුළ යම් යම් සන්ධාන ගතවීම් ද අප දකිමු. ඒ ඔවුනොවුන්ගේ අවශ්‍යතාවන් මත මිස ක‍්‍රීඩාවේ උන්නතිය සම්බන්ධයෙන් නම් විය නොහැකි ය.

කෙසේ වෙතත් අද මේ තිදෙනා ක‍්‍රිකට් වෙනුවෙන් එකිනෙකාගේ සඵපිළි විවර කරගන්නා අයුරක් නම් පෙනෙන්නට තිබේ. එහි වඩාත් උත්ප‍්‍රාසය නම් යහපාලන වේදිකාවේ සිට මේ කර්තව්‍යයේ නිරත වීමයි.

අර්ජුනට අනුව නම් ක‍්‍රිකට් සම්බන්ධයෙන් ඔහුට වඩා කෙනෙක් නැත. පසුගිය ක‍්‍රිකට් නිලවරණයේ දී පරාජයට පත් වූ අර්ජුන එහි ප‍්‍රතිඵල සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි විරෝධයකි. තමන්ට දේශපාලනයේ දී කප් ගැසීමට හැකි වූව ද ක‍්‍රිකට් නිලවරණයේ දී එය නොහැක්කේ එහි පවතින මුදලාලිකරණය නිසා බැව් පවසයි. එනිසා අර්ජුන මේ ක‍්‍රිකට් පරිපාලනයට අකමැතිය. කොතෙක් අකමැතිදැයි කියන්නේ නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයේ ඕනෑම දෙයක් වග විභාගයකින් තොරව විවේචනය කිරීමට පෙළඹෙන්නේ ය.

පසුගියදා එෆ්.සී.අයි.ඞී.යට ඇන්ජලෝ මැතිව්ස් කැදවීම සම්බන්ධයෙන් අර්ජුන මාධ්‍ය මගින් දොස් පැවැරුවේ ය. එය ඔහුගේ මතය ය. අප ඊට ගරු කරමු. එෆ්.සී.අයි.ඞී.යට කැදවනු වෙනුවට එෆ්.සී.අයි.ඞී.ය ඇතැමුන් වෙත ගොස් සාක්ෂි ලබා ගැනීමේ තත්ත්වයන් ද තිබීම තුළ මැතිව්ස්ගෙන් ද එසේ කළ යුතුව තිබිණැයි පැවැසෙන අර්ජුනගේ මතය දේශපාලනමය තත්ත්වයකි. යහපාලන රජයේ වඩාත් වගකීම් සහිත අමැතිවරයෙකු ලෙස දැන් දැන් රජයෙන් කෙරෙන වැඩ සම්බන්ධයෙන් මඳ හෝ කණස්සල්ලක් ඔහු කෙරේද තිබිය හැකිය. ඔහු පමණක් නොව වෙනසක් අවශ්‍ය වූ පුරවැසි සැවොම දැන් සිටින්නේ රජයේ කටයුතු සම්බන්ධයෙන් මන්දෝත්සාහීව ය.

කෙසේ වෙතත් තරග පාවාදීමේ උත්සාහයන් සම්බන්ධයෙන් මේ වනවිට සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ ඉතා ඉක්මනින් සිදුවිය යුතුයැයි අපි පවසමු. දේශපාලනයේ දී මෙතෙක් සිදුකෙරුණ දූෂණ චෝදනා පරීක්ෂණ සැලකිය යුතු ප‍්‍රමාණයක් නිමා වූ බැව් පැවැසුණ ද වරදකරුවෙකු හෝ ද`ඩුවම් ලැබූවෙකු නැති තත්ත්වය ක‍්‍රිකට් වෙතින් දුරස් විය යුතු ය.

එම සිදුවීම පමණක් නොව මේ වනවිට ක‍්‍රිකට් අරබයා පරීක්ෂණ මට්ටමේ පවතින සෑම දූෂණ චෝදනාවන් සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණ ආරම්භ විය යුතු ය. කෝප් කමිටුව මගින් ද අනාවරණය වූ කරුණු කාරණා ගණනාවක් මෑත අතීතයේ ඇත. කනස්සල්ල නම් මේ සිදුකෙරුණ කිසිදු පරීක්ෂණයක අවසානයන් නොමැති වීම ය.

හිටපු ක‍්‍රීඩා ඇමැති නවීන් දිසානායක විසින් පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයක් මගින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංගට සහ හිටපු සභාපතිවරුන් වන උපාලි ධර්මදාස සහ ජයන්ත ධර්මදාස සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති බැව් පැවැසුණි. එමෙන් ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ව සිටිය දී නිශාන්ත රණතුංග සී.එස්.එන්. ආයතනයේ ප‍්‍රධාන විධායක තනතුර හොබවමින් එම ආයතනය වෙත ක‍්‍රිකට් විකාශන අයිතිය පැවැරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වුණි. මේ සම්බන්ධයෙන් මෑත කාලයේ දී ද පරික්ෂණ සිදු කෙරුණි. එහි අවසානයක් පුරවැසියෝ නොදනිති.

එපමණක් නොවේ, වර්තමාන ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මීට ප‍්‍රථම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති පදවිය දැරූ අවස්ථාවේ හිටපු ක‍්‍රීඩා ආමාත්‍ය ජීවන් කුමාරතුංග ද එම පාලක මණ්ඩලයට විසුරුවා හැරියේ දූෂණ චෝදනා එල්ල කරමිනි. ඒ සම්බන්ධයෙන් ද එවකට මණ්ඩලයක් මගින් පරීක්ෂණ සිදු කෙරුණ අතර අවසන් නිගමනයක් නොමැත.

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ක‍්‍රිකට් නිලවරණය පැවැත්වීමට ප‍්‍රථම මාධ්‍ය මගින් ප‍්‍රකාශ කළේ ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් තේරී පත්වන ඕනෑම අපේක්ෂකයෙකු දූෂිතයෙකු බව ඔප්පු වුවහොත් ඔවුන් එම පදවිවලින් වහාම ඉවත් කරන බැව් පැවසූ අයුරු අපට මතක ය. ඉහත කී සිද්ධීන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුවී නම් දූෂිතයන් සොයා ගැනීම දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට අපහසු නැත. එහෙත් එවැන්නක් සිදු කෙරෙන අයුරක් පෙනෙන්නට නැත.

වඩාත් අවාසනාවන්තම සිදුවීම නම් පසුගිය නිලවරණයට ඉදිරිපත් වූ ප‍්‍රධානීන් කිහිප දෙනාට ම දූෂණ චෝදනා එල්ල වීමයි. එසේ වී තිබිය දී දයාසිරි ඇමැතිවරයා ජයග‍්‍රාහකයන් සිප වැළද ගනියි. එවන් තත්ත්වයක් තුළ දයාසිරි ජයසේකරගෙන් ද මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුවේ යැයි සිතිය හැකිද? එසේ ම අද දවසේ දූෂිතයන්ට විරුද්ධව මහා ඉහළින් කතා කරන අර්ජුන රණතුංග ද එහි එක් පිළක සාමාජිකයෙකු වීම කෙතරම් නම් ඛේදවාචකයක් ද?

ඇමැති දයාසිරි, තිලංග, අර්ජුන තිදෙනා ම පවසන්නේ ක‍්‍රිකට් දූෂිතයන්ගෙන් තොර තැනක් කළ යුතු බවය. අවාසනාව නම් මේ තිදෙනා ම කෑ මොර දෙන්නේ වේදිකා තුනක සිට ය. එකිනෙකාට විරුද්ධව ය. එහෙත් තිදෙනාගේ ම මාතෘකාව එක ය. සෑබෑ ලෙස ම ක‍්‍රිකට් යහපාලනයෙන් සුමට කිරීමට නම් මේ තිදෙනාට අද දවසේ එක් වේදිකාවකට ගොඩ විය යුතුය.
එහෙත් එය කවදාවත් සිදු වන්නේ නැත. ඒ කවදා හෝ දැනට සිදුකෙරී අවසන් යැයි පැවැසෙන පරීක්ෂණ වාර්තා හමස් පෙට්ටියෙන් එළියට ගතහොත් කාගෙ කාගේත් කිල්ලෝටවල තරම පුරවැසි සැමට දැකගත හැකි වන නිසා ය.