Untitled-1

Untitled-1

විධායකය ඕනෑ ව්‍යවස්ථාවක් එපා ශ්‍රීලනිප මතය ඉදිරියේදී


Leed

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාවක් සම්මත නොකර ජනමත විචාරණයකට නොයන මට්ටමේ සංශෝධන පමණක් සිදු කළ යුතු බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ඉදිරියේදී ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවට දැනුම් දෙනු ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

ව්‍යවස්ථාව පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටු වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කොට ව්‍යවස්ථාව පිළිබඳ නිල ස්ථාවරයක් ඉදිරිපත් කිරීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂ කමිටුව අදාළ තීරණය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ඇති බවත් එය මධ්‍යම කාරක සභාවේ සම්මත කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත් වාර්තා වෙයි. නිමල් සිරිපාල ද සිල්වා කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන්නේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන් වන ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි හා සුසිල් ප්‍රේම්ජයන්ත්ය.
එම කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනකු පැවසුවේ ශ්‍රීලනිප සාමාජිකයන් බහුතරයක් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමට සහාය දක්වන බවට ජනමත විචාරණයකට නොයන ආකාරයේ සංශෝධන පමණක් ඉදිරිපත් කළ යුතු බවට පවසන බවත්ය.
කෙසේ වෙතත් පළාත් සභාවල බලය ශක්තිමත් කළයුතු බව ශ්‍රීලනිපයේ බහුතර මතය බවත් ශ්‍රීලනිප සාමාජිකයන් වන පළාත් මහ ඇමතිවරුන් හත්දෙනාද එම මතයේ සිටින නිසා එම මතය කමිටුව විසින් ඉදිරිපත් කරන බවත් එම සාමාජිකයෝ පැවසූහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ පිළිබඳව ස්ථිර අදහසක් ඉදිරිපත් නොකරනු ඇති බවත් නිමල් සිරිපාල කමිටුව ඉදිරිපත් කරන වාර්තාව ශ්‍රීලනිපයේ නිල මතය ලෙස ඉදිරිපත් කරන්නට හැකිවනු ඇති බවත් එම සාමාජිකයෝ විශ්වාසය පළ කළහ.
දේශපාලන පක්ෂවල නිල මතය ඉදිරිපත් නොකිරීම නිසා මේ වනවිට ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කිරීම සහ එම වාර්තාව මත පදනම්ව නව ව්‍යවස්ථාවක් පිළිබඳ පාර්ලිමේන්තු විවාද පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත. ■