Untitled-1

Untitled-1

එක්නැලිගොඩ චුදිතයන් යළි හමුදාවේ අණ ජනපතිගෙන්ද?


eknaligda

ලසන්ත රුහුණගේ

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජයට ජනවාරිය සුවිශේෂිය. ඒ ජනමාධ්‍ය සමාජයට එරෙහිව එල්ලවූ අපරාධ රැසක් ජනවාරි මාසයේදී සිදුවී තිබීම නිසායි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, සිරස මැදිරි සංකීර්ණයට පහරදීම, ලංකා ඊනිව්ස් කාර්යාලය ගිනිතැබීම ආදි ප්‍රධාන සිදුවීම් රැසක් ජනවාරියට අයත්ය. ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය පසුගිය රාජපක්‍ෂ පාලන කාලයේදී ජනවාරිය හඳුන්වනු ලැබුවේ ‘කළු ජනවාරිය’ යන නමින්ය. මේ කළු ජනවාරියේදී උද්ඝෝෂණ පවත්වමින්ද පෙළපාළි යමින්ද ජනමාධ්‍ය සමාජය පසුගිය කාලය පුරාම ඉල්ලා සිටියේ යුක්තියය. ජනමාධ්‍යයට එරෙහි අපරාධ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ලෙසත් ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසත් නීතිය ඉදිරියේ ඔවුන්ට දඬුවම් කරන ලෙසත්, නැවත එවැනි තත්ත්වයත් ඇති නොවීමට කටයුතු සලස්වන ලෙසත් ජනමාධ්‍ය සමාජයේ ඉල්ලීම් විය.
එම ඉල්ලිම්වලදී ජනමාධ්‍ය සමාජය සමඟ උද්ඝෝෂණවලට සභාගිවූ පෙළපාලි ගිය බොහෝ පිරිසක් අද ආණ්ඩුව කරන්නවුන්ය. එසේම රාජපක්‍ෂ යුගය පරාජය කිරීම සඳහා වත්මන් යහපාලන ආණ්ඩුවේ වගකිවයුත්තන් ඉදිරියට ගෙන ජනතාව හමුවේ තැබූ එක් ප්‍රබල සටන් පාඨයක් වූයේද ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජයට යුක්තිය ඉෂ්ට කිරීමය. ජනමාධ්‍යයට එරෙහි අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් කිරීමය.
එහෙත් ජනමාධ්‍ය සමාජයේද ආශීර්වාදය හා සහයෝගය ඇතුව ජනමාධ්‍ය සමාජයේ සටන් පාඨද උපයෝගිකර ගනිමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව ඒ පොරොන්දු කඩකරමින් තිබෙන බව ජනවාරියේ දීම පසක් කරමින් තිබීම ඛේදජනකය. ඊට උදාහරණය ජනවාරියේ දීම අතුරුදන් කරන ලද ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට යළි රැකියා ලබාදීමය.
මෙම හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නැවත සේවයේ පිහිටුවීමට යන ආරංචියත් සමග ඊට හේතු විමසූ විට යුද හමුදාවේ පළමුවර පිළිතුරු වූයේ ඔවුන් තවම අදාළ නඩුවේ සැකකරුවන් බවත්, එම සැකකරුවන්ගෙන් ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න හා මාණ්ඩලික සැරයන් සුබ්‍රමනියම් යුද හමුදා ස්වේච්ඡා බලකායේ සාමාජිකයන් බැවින් යුද හමුදාපතිවරයාට ඔවුන් යළි සේවයේ පිහිටුවීමට ආයතන සංග්‍රහය අනුව බලය තිබෙන බවත්ය. එමෙන්ම යුද හමුදාවේ ස්ථිර සේනාංකයක සේවය කරන්නකු නම් ඔවුන් යළි සේවයේ පිහිටුවීම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බවත් ඒ අනුව ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ ඉතිරි සැකකරුවන් වන සාජන් මේජර් නෙරංජන් උපසේන, ලුතිනන් චමින්ද කුමාර අබේරත්න යළි සේවයේ පිහිටුවීම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බවත්ය. එමෙන්ම සැකකරුවන් අතර සිටින සැරයන් ප්‍රියන්ත කුමාර රාජපක්‍ෂ විශ්‍රාමිකයකු බවත්, කෝප්‍රල් රවීන්ද්‍ර සුබසේන යුද හමුදාවෙන් ඉවත් කළ අයකු බවත් හමුදාව තහවුරු කළේය.
ඉන් සතියකට පසු සිදුකළ අපගේ දෙවනවර විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප්‍රකාශ කර තිබුණේ ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ ඇපපිට නිදහස් වූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, මාණ්ඩලික සැරයන් බාල සුබ්‍රමනියම්, මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර රාජපක්‍ෂ, ලුතිනන් චමින්ද කුමාර අබේරත්න හා සැරයන් තරංග ප්‍රසාද් යන අය නැවත සේවයේ පිහිටුවා ඇති බවය. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබුණේ යුද හමුදා විශේෂ නියෝග 3/75 යටතේ යුද හමුදාපතිවරයා විසින් සේවයේ පිහිටුවීම සිදුකර ඇති බවත්, එම නියෝග ප්‍රකාරව චුදිතයන්ගෙන් නඩුවට බලපෑමක් සිදු නොවන බවට තීරණය කිරීමෙන් පසු යුද හමුදාපතිවරයා විසින් එම නැවත සේවයේ පිහිටුවීම සිදුකර ඇති බවත්ය. එසේම ඒ ආකාරයට නැවත සේවයේ පිහිටවනු ලැබු අය මෙන්ම නැවත සේවය ලබා නොදුන් පිරිස්ද සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබුණි.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ චූදිතයන් නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් හා යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් සති දෙකක කාලයකදී කරන ලද පැහැදිලි කිරීම් එකිනෙකට පරස්පරය. සාවද්‍යය. මාධ්‍ය මෙන්ම ජනතාවද නොමග යවනසුලුය. කොටින්ම කිවහොත් අමූලික බොරුය.
ඉන් පළමුවැන්න යුද හමුදා සාමාජිකයන්ට රාජ්‍ය සේවකයන්ගේ විනයට අදාළ ආයතන සංග්‍රහය කිසිසේත් අදාළ නොවීමය. යුද හමුදාව පාලනය වන්නේ 1949 අංක 17 දරන යුද්ධ හමුදා පනත යටතේය. අමතරව යුද හමුදාපතිවරුන් විසින් නිකුත් කරන හමුදා නියෝග යටතේය. එසේම යුද හමුදාවේ විනය කරුණුවලට අදාළව ස්වේච්ඡා බලකායේ සාමාජිකයන්ට වෙනම නීතියකුත්, ස්ථිර බලකායේ සාමාජිකයන්ට වෙනම නීතියකුත් නැත. ස්වේච්ඡා බලකායේ සාමාජිකයන්ගේ විනය බලධාරියා යුද හමුදාපතිවරයා වන විට ස්ථීර බලකායේ සාමාජිකයන්ගේ විනය බලධාරියා ආරක්‍ෂක අමාත්‍යාංශය වන්නේ නැත. පොදු විනයට මේ සියල්ලන්ම යටත්ය. යුද හමුදා පනතේද එය පැහැදිලිවම දැක්වෙන අතර එහි ඪෂෂ කොටසේ සංග්‍රාමික නීතියට යටත් තැනැත්තන් වශයෙන් එය පැහැදිලිව සඳහන්වේ. ඒ අනුව ස්ථීරව බල හමුදාවේ සියලුම නිලධරයන් හා සෙබළුන්, ස්ථිර බල හමුදාවේ නිලධරයන් හා සෙබළුන් ලෙස සලකනු ලබන ස්ථිර උපසේවයේ, ස්වේච්ඡා, බල හමුදාවේ හෝ ස්වේච්ඡා උපසේවයේ සියලුම නිලධාරීන් හා සෙබළුන් හමුදාවේ විනය නීතියට යටත්ය.
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ චුදිතයන් රිමාන්ඞ් භාරයට පත්වීමත් සමඟ ඔවුන් ස්වේච්ඡා බලකායේද ස්ථිර හමුදා බලකායේද යන්න නොසලකා ඔවුන්ගේ සේවය අත්හිටුවන්නේ ඒ නිසාය. එය සිදුකරන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය නොව යුද හමුදාව හෙවත් යුද හමුදාපතිවරයා විසින්ය. නැවත සේවයේ පිහිටුවීමේදී පමණක් ස්වේච්ඡා බලකාය හා ස්ථිර හමුදා බලකාය වශයෙන් යුද හමුදාවට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට අදාළ වශයෙන් වෙනම නීතියක් යුද හමුදා පනත අනුව මෙන්ම යුද හමුදා විශේෂ නියෝග අනුවද තිබිය නොහැකිය.
කෙසේ හෝ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගේ පැහැදිලි කිරීම අනුව සතියක කාලයක් ගතවන විට යුද හමුදාපතිවරයා විසින් නැවත සේවයෙහි පිහිටුවනවා යැයි කියූ ස්වේච්ඡා බලසේනාවේ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න හා මාණ්ඩලික සේවයේ සැරයන් සුබ්‍රමනියම් මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පිහිටුවනවා යැයි කියූ ස්ථීර බල හමුදාවේ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර රාජපක්‍ෂ ලුතිනන් චමින්ද කුමාර අබේරත්න හා සැරයන් තරංග ප්‍රසාද් යන අය නැවත සේවයේ පිහිටුවා තිබේ.
යුද හමුදාවේ පළමු පැහැදිලි කිරීම අනුව නම් මේ ස්ථීර හමුදාවේ සාමාජිකයන් නැවත සේවයෙහි පිහිටුවා ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය හෙවත් ආරක්‍ෂක අමාත්‍ය, සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. එය සත්‍යයක් ද යන්න කියා ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම මේ සටහන කියවීමෙන් පසු රටට පැහැදිලි කළ යුතුය. කෙසේ වෙතත් දෙවන පැහැදිලි කිරීම හෙවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගේ පැහැදිලි කිරීම අනුව යුද හමුදාපතිවරයා විසින් අදාළ හමුදා සාමාජිකයන් නැවත සේවයෙහි පිහිටුවා ඇත්තේ යුද හමුදා විශේෂ නියෝග 3/75 යටතේය. මේ 3/75 යන විශේෂ හමුදා නියෝගය කුමක්ද? ‘නිලධාරීන්/සෙබළුන් තනතුරුවල යෙදී සිටීමෙන්ද හමුදා රාජකාරිවල යෙදී සිටීමෙන් අත්හිටුවීම’ එහි උද්ධෘතයය.
නිලධාරියකු සෙබළෙකු යම් අවස්ථාවක කළ සාපරාධි වරදක් මත සිවිල් උසාවියක චූදිතයකු ලෙසට සිවිල් පොලීසිය මඟින් හෝ වෙනත් නීත්‍යනුකුල බලධාරියකු මගින් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති විටක හෝ නිලධාරියකු /සෙබළෙකු යම් වරදක් කර ඇති බවට 1973 අංක 44 දරන යුක්තිය පසඳලීමේ පනතේ 77 වෙනි වගන්තිය යටතේ රජයේ නඩු අධ්‍යක්‍ෂ වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලද අවස්ථාවකදී හෝ අල්ලස් කොමසාරිස් විසින් අල්ලස් පනත යටතේ යම් නිලධාරියෙකුට /සෙබළෙකුට විරුද්ධව ගන්නා ලද ක්‍රියාමාර්ගයක් හමුදාව දැනගත් අවස්ථාවකදී එසේ ගන්නා ලද එම ක්‍රියාමාර්ගයන් සේනාංක අඥාපති අ.දෙ.න් (අණදෙන නිලධාරීන්) විසින් යු.හ.මු. නීති ශාඛාව (යුද හමුදා මූලස්ථාන) වෙත වහාම දැනුම් දිය යුතුයි යන්න එහි පැහැදිලි කිරීමය. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ 1949 නිලධාරී රෙගුලාසි මාලාවට අදාළව හා 1950 විනය රෙගුලාසි මාලාවට අදාළව ප්‍රශ්නගත නිලධාරියා හෝ සෙබළා යුද්ධ හමුදාවේ යහපත සඳහා එම තනතුරුවල යෙදීම හෝ හමුදා රාජකාරීවල යෙදී සිටීමෙන් අත්හිටුවිය යුතුද යන්න සලකා බැලිය යුතු බවයි. එසේම පුද්ගලික පැමිණිල්ලක් මත නිලධාරියකු සෙබලෙකු චූදිතයකු වූ අවස්ථාවකදී ද ඉහත සඳහන් ක්‍රියා පිළිවෙතම අනුගමනය කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන්ය.
එහි තේරුම වන්නේ හමුදාවේ විනය යන්න සාපරාධි වරදක් සම්බන්ධයෙන් පමණක් නොව සිවිල් වරදක් සම්බන්ධයෙන් පවා කෙතරම් තදින් ක්‍රියාත්මක කළ යුතුද යන්නය. සාපරාධි වරදක් නොවන ඊට ඇති මෑතක හොඳම උදාහරණය මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාට එරෙහි රාජගිරිය ඔබේසේකර වළව්වට නඩුවේදී ඔහුගේ සේවය අත්හිටුවීමය.
කෙසේ වුවද යුද හමුදා 3/75 විශේෂ නියෝගයේ සේවය අත්හිටවූවකු නැවත සේවයෙහි පිහිටුවීම පිළිබඳ කිසිදු සඳහනක් නැත. ඒ අනුව එය යුද හමුදාපතිවරයාගේ අභිමතය පරිදි සිදුකර ඇති එකක් බව පැහැදිලිය. චුදිතයන්ගෙන් නඩුවට බලපෑමක් සිදුනොවන බවට තීරණය කිරීමෙන් පසු එසේ නැවත සේවයෙහි පිහිටුවීම ලබාදිය හැකි බවට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා කරන පැහැදිලි කිරීමෙන් එය තවදුරටත් පැහැදිලි වේ.
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවට මෙම චූදිතයන්ගෙන් කිසිම බලපෑමක් නැද්ද? ප්‍රගීත් එක්නැලිගොඩ ඒ කොළඹදී පැහැරගෙන ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ රඳවා තබාගෙන ප්‍රශ්නකළ බවට සියලු කරුණු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනට අනාවරණය කරගෙන හමාරය. විසඳාගැනීමට ඇති ගැටලුව බුද්ධි අංශ කඳවුරේ රඳවා ප්‍රශ්න කරමින් සිටි ප්‍රගීත් එක්නැලිගොඩට ඔවුන් ඉන්පසුව සිදුකළේ කුමක්ද යන්නය. මෙම හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඔවුන්ගේ රාජකාරියෙන් බැහැර සංවිධානාත්මකව නියැලී සිටි අපරාධයක කොටස්කරුවන් බැවින් ඉන්පසු වූ දේ ගැන ස්වයං පාපෝච්චාරණයක යෙදෙන්නේ නැත.

ඉන්පසු තත්ත්වය සොයාගැනීම සඳහා ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරට අදාළ රාජකාරි ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍යව ඇත. එම ලේඛන ලබාදෙන ලෙස අධිකරණයන් කිහිප අවස්ථාවකදීම යුද හමුදාපතිවරයාට පවා නියෝග කර ඇත. එහෙත් ඉල්ලන ලේඛන වෙනුවට ලැබෙන්නේ වෙනත් ලේඛනය. සමහර අත්‍යවශ්‍ය ලේඛන නැති බවද කියති. එහෙත් යුද හමුදා පනත යටතේ වරදක් වන එවැනි රාජකාරි අතපසුකිරීම් ගැන ඒවාට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව යුද හමුදාපතිවරයා ගත් ක්‍රියාමාර්ගයන් අසන්නට නැත. එසේම යුද හමුදා රාජකාරියට පරිබාහිර වූ ප්‍රගීත් එක්නැලිගොඩ අත්අඩංගුවට ගෙන ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇති බවට දැනට ඔප්පු වී ඇති කරුණු සම්බන්ධයෙන් එම චූදිතයන්ට එරෙහිව හමුදා පරීක්‍ෂණයක් පවා තවමත් ආරම්භ කර නැත.
හෝමාගම අධිකරණයේ මෙම නඩුව පැවති අවස්ථාවල ඇති වූ උද්ඝෝෂණ, විරෝධතා මෙහෙයවනු ලැබුයේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව ඡායාරූප සාක්‍ෂි සහිතව දැනට ඔප්පු වී හමාරය. එමෙන්ම එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පිරිස්ගේ නිවස අවට ඔහුට අපහාස වන ආකාරයේ තර්ජනාත්මක පෝස්ටර් අලවන ලද්දේද යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව හෙළිවී හමාරය.
වැඩ තහනම් කර ඇතැයි ප්‍රකාශයට පත්වූවත් ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්නට ඔහුගේ රාජකාරි වාහනය දිගටම ලබාදී තිබූ බවද, අනෙකුත් අයගේ පවුලේ සාමාජිකයන්ට නඩු දින අධිකරණයට පැමිණීමට යුද හමුදා බුද්ධි අංශ වාහන ලබාදී තිබු බවද කවුරුත් දන්නා රහස්ය. තවදුරටත් මෙම යුද හමුදා සාමාජිකයන්ට එම කාලයේදී විගණනයට ලක් නොවන බුද්ධි අංශ ගිණුමෙන් මුදල් ලබා දුන් බවද එම විෂය ගැන දන්නා අය දන්නා රහසක්ය.
එම බුද්ධි අංශ සාමාජිකයන් වැඩ තහනම් යැයි කියූ සමයේ සිදුවූ දෑ එයාකාරයෙන් නම් ඔවුන් යළි හමුදා සේවයේ පිහිටුවීමෙන් පසු ඇතිවිය හැකි තත්ත්වය සිහිමොළය ඇති කිසිවකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව යනු පෙර සඳහන් කළ මේජර් ජනරාල් සුමේධ පෙරේරාට එරෙහි නඩුව වැනි ඉඩම් ආරවුලක් සම්බන්ධ සිවිල් නඩුවක් නොවේ. මෙය සිවිල් පුද්ගලයෙකු වූ ජනමාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ සාපරාධි අපරාධයක් පිළිබඳ නඩුවක්ය. යහපාලන ජනාධිපතිවරයා හා ආණ්ඩුව බලයට පත්වීම සඳහා යුක්තිය ඉටුකරනවා යැයි ප්‍රසිද්ධ පොරොන්දු ලබාදුන් දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට ලක්වූ සිද්ධියකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව අවධානය යොමුකර ඇති ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වලට අදාළ ප්‍රධාන සිද්ධියකි.
එහෙව් සිද්ධියක චූදිතයන් ඇප ලැබීමෙන් පසු යළි හමුදා සේවයෙහි පිහිටුවීම ජනමාධ්‍ය සමාජයට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවටද බරපතළ කාරණාවකි. මන්ද සිවිල් වරදවල් සම්බන්ධයෙන් සේවය අත්හිටුවා ඇති හමුදා සමාජිකයන් රාශියක් නැවත සේවයේ නොපිහිටුවා ඇති තත්ත්වයක, මෙම සේවයෙහි පිහිටුවීම සිදුවීම නිසාය. යුද හමුදාවේ පැහැදිලි කිරීම් අනුව මෙයට ජනාධිපතිවරයාත් සම්බන්ධද? ජනාධිපතිවරයා එම සේවයෙහි පිහිටුවීමට සම්බන්ධ නැතිනම් එය යුද හමුදාපතිවරයාගේ අභිමතය පරිදි පමණක් සිදුකර ඇත්නම් හේතු රහිත සේවා දිගු ලබාදෙමින් ජනාධිපතිවරයා විසින්ම යුද හමුදාපතිධුරයේ තබාගෙන සිටින යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන්ද සේනාධිනායකයා වශයෙන්ද ඔහු ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න වහාම ඉක්මනින්ම රටට පැහැදිලි කළ යුතුය. එවැනි පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා රට හමුවේ නොකරන්නේ නම් එහි තේරුම වන්නේ යුද හමුදාපතිවරයාගේ මෙම තීන්දු තීරණ පිටුපස ඔහු සිටින බවය. එහි අනෙක් තේරුම වන්නේ මාධ්‍යයට එරෙහි සිදුවූ අපරාධවල වින්දිතයන්ට යුක්තිය ඉටුනොවනවා මෙන්ම පොදුවේ රට තුළ සිදුවූ අපරාධවල වින්දිතයන්ට යුක්තිය ඉටුනොවන බවය.■