රාවය

ජාතික නිදහස හරහා ජාතිය ගොඩනැගීමේ රුධිර සාම්පලය

ජාතික නිදහස හරහා ජාතිය ගොඩනැගීමේ රුධිර සාම්පලය

ගාමිණී වියන්ගොඩ

මෑතකදී විදේශීය සමාගමක ලංකා ශාඛාවේ යම් කටයුත්තකට උදෑසනින් ගොස් සිටි අවස්ථාවේ, හිටි හැටියේම සීනුවක් නාද විය. සියල්ලෝ නැගී සිටියහ. මොහොතකින් ජාතික ගීය වාදනය විය. ගීයේ කොටසක් නොව, මුළු ගීයම වාදනය විය. මේ සමාගමේ සේවක පිරිස අඩු වශයෙන් තුන්හාර සීයක්වත් විය යුතු යැයි සිතමි.

මෙය මට විමතියක් විය. එහෙත් මා සමග සිටි මිතුරා මට කී පරිදි, දැන් බොහෝ කලක සිට මේ පූජාව රජයේ සහ පෞද්ගලික ආයතන බොහොමයක චාරිත‍්‍රා නුකූලව සිදුකෙරේ. එසේ ජාතික ගීය ගැයීම අනිවාර්ය කෙරෙන යම් නීතියක් ඇත්දැයි මම සොයා බැලූවෙමි. එවැන්නක් නැත. ඒ සමගම මගේ සිතේ ඇඳී ගියේ, හමුදා පාලන තන්ත‍්‍ර පවතින රටවල ස්වභාවයකි. උතුරු කොරියාවේ ගොවි බිම්වල පවා දිනපතා උදේට පොදු ශබ්ද විකාශන ඔස්සේ ජාතික ගීය මෙයාකාරයෙන් වාදනය කරන කාලයක් තිබුණි. ඒකාධිපති කොමියුනිස්ට් පාලන ක‍්‍රමයක් පවතින එරටේ රාජ්‍ය නායකත්වය යන්නේ පංති පදනමක් මත නොව, පවුල් පදනමක් මතයි. එනම්, පියාගෙන් පුතාට ආදි වශයෙනි. මෙවැනි රටවල ජාතිය වෙනුවට ආදේශ වී ඇත්තේ පරම නායකයෙකි. එවැනි රටවල ජාතික ගීය ගැයීම සහ නායකයා උත්තුංගත්වයට පත් කිරීම යනු දෙකක් නොව, එකකි. කොටින්ම, එම සම්ප‍්‍රදාය උඩ, කාලයක් යන විට ඉතිරි වන්නේ, ජාතියක් වෙනුවට නායකයෙකි.

මේ නිසා, විනාඩි දෙක තුනකට හෝ සියලූ සේවාවන් අත්හිටුවා යමෙකු දිනපතා උදේට ජාතික ගීය ගැයීම, ජාතිය ගොඩනැගීමේ තේවාව කට වඩා, එක දිගටම ජාතියක් ගොඩනැගීමට අපොහොසත් වීමේ නිරූපණයක් වශයෙන් වටහා ගැනීමට සිදුවෙයි. ඉස්සර අපේ ඉස්කෝලවල ජාතික ගීය ගැයුවේ විශේෂ අවස්ථාවකදී පමණි. දිනපතා ගායනා කෙරුණේ, ‘යෝවද තංපව රෝමනු ජේසු’ වැනි ආගමික ගාථාවකි. දැන් යුද්ධයත් සමග ජාතිකත්වය අධිනිශ්චය වී ඇත.

මෙය, ජාතිය ගොඩනැගීමේ පියවරක් වශයෙන් යම් නායකයකු කිසියම් අවස්ථාවක සලකන්ට ඇතිවාට සැකයක් නැත. එසේම, ඉතා ගෞරවයෙන් යුතුව එම ගීය වාදනය වෙද්දී එකත්පස්ව නැගිට සිටින බොහෝ දෙනාගේ සිත්සතන් තුළ ජනිත වනු ඇත්තේද යම් ජාතික අභිමානයක් විය හැකිය. මේ පුරුද්ද, රංග ශාලාවල සහ ඇතැම් විට, සාහිත්‍ය කලා උත්සව ආදියේදීත් ඇතැම් විට දකින්නට ලැබේ.

ජාතිය ගොඩනැගීම යැයි ගන්නා ක‍්‍රියාවලිය තුළ මෙවැනි ‘ආමිස පූජා’ බොහොමයකි. ජාතික කොඩි, ජාතික ගී, ජාතික නිවාඩු සහ ජාතික මිථ්‍යා ඒවායින් සමහරකි. විශේෂ අවස්ථාවලදී ප‍්‍රදර්ශනය කෙරෙන ජාතික කොඩි සහ ගැයෙන ජාතික ගී හැරුණු කොට, ජාතියට ඈඳුණු ඇතැම් මිථ්‍යාවන්, විශේෂ අවස්ථාවන්හිදී පමණක් නොව, සමහර විට මිනිසෙකුගේ ජීවිත කාලය තිස්සේම, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඇතැම් රටක සමාජ සහ දේශපාලනික ස්වභාවය කෙරෙහි නිරන්තරයෙන් බලපැවැත්විය හැක. එය තීන්දු වන්නේ, එකී රටේ මිනිසුන් මුහුණදෙන විශේෂ අභියෝගකාරී සමාජ තත්ත්වයන් මතයි. ලංකාවේ යුද වාතාවරණය තුළ ගොඩනැගුණු සහ ගොඩනගන ලද දේශපේ‍්‍රමී මනෝභාවය, මෙකී නිසරු මිථ්‍යාවන්ට සරු තෝතැන්නක් විය.

ජාතිය සමග ගැට ගැසුණු එවැනි මිථ්‍යාවන් ගෙන් වඩාත් ප‍්‍රබල නූතන ප‍්‍රකාශනයක් බවට පත්ව ඇත්තේ සිංහයාගෙන් සිංහලයා පැවත එන්නේය යන්නයි. මේ මිථ්‍යාව පසුපස ඇති ඓතිහාසික මතවාදය මොන තරම් ලැජ්ජා සහගතද යන්න පිළිබඳ හාංකවිසියක් බොහෝ දෙනාට නැති වීම ඇත්තෙන්ම පුදුම සහගත ය.

වංග දේශයේ (වර්තමාන බංග්ලාදේශයේ) රජුගේ රූමත් දියණිය සුප්පා දේවිය යම් දවසක සතෙකු සමග සංසර්ගයේ යෙදෙන බවට ජ්‍යොතිෂඥයන් අනාවැකි කියා ඇති බව මහාවංශයේ සඳහන් වෙයි. මහාවංශයට වසර 100 කට පමණ කලින් ලියැවිණැයි සිතන දීපවංශය කියන්නේ, ඇගේ නම සුසිමා බවයි. දවසක් මගධ දේශයට යන අතරේ ඇය සිංහයෙකු සමග පේ‍්‍රමයෙන් වෙලූණාය. මේ මිනිස් ගැහැනිය සහ සිංහයාගේ සහවාසයෙන් නිවුන් දරුවන් දෙන්නෙක් බිහි වූහ. මෙසේ මිනිස් ගැහැනියක් හෝ පිරිමියෙකු, තිරිසනෙකු සමග සංසර්ගයේ යෙදීම හැඳින්වෙන්නේ, සහමෘග සංවාසය යනුවෙනි. මෙය, ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 305 වැනි වගන්තිය යටතේ අවුරුදු දහයක් දක්වා වන සිර දඬුවමක් ලැබිය හැකි අපරාධයකි.
මේ අපරාධයෙන් උපන් නිවුන් දරුවන් දෙන්නාගෙන් අයියා, සිංහබාහු විය. නංගී, සිංහ සීවලී විය. පසුව සිය මව සහ නැගෙනිය සමග කැලයෙන් පැන එන සිංහබාහු, රජුගෙන් පිරිනැමෙන තෑග්ගක් වෙනුවෙන්, තම පියා වන සිංහයා ඝාතනය කරයි. පීතෘ ඝාතනය, බුද්ධ ධර්මයට අනුව, මෙලොවදීම විපාක දෙන ආනන්තර්ය පාප කර්ම පහෙන් එක් පාපයකි.

ඊළඟට, මේ අයියා සහවාසයට ගන්නේ, එකම පියෙකුට දාව, එකම මවගේ කුසින්, එකට උපන් තමන්ගේ නංගීවයි. එය, අපේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 364 වැනි වගන්තිය යටතේ අවුරුදු 20 දක්වා සිර දඬුවමකට යටත් වන අපරාධයකි. විජය යනු, මේ අයියා-නගෝ දෙන්නාගේ ව්‍යභිචාරී සංවාසයෙන් උපන් දරුවන් 32 න් පළමු වැන්නා ය. සිංහල ජාතිය පැවත එතැයි කියන්නේ ඔහුගෙනි.

මේ අනුව, මුලින්ම සහමෘග සංවාසයේ යෙදුණු, දෙවැනුව පියා ඝාතනය කළ, තෙවැනුව ස්වකීය නංගී සමග සංවාසයේ යෙදුණු මූලයකින් පැවත ඒම, මොනම ජාතියකවත් ආඩම්බරයට කාරණයක්ද, නැත්නම් හතර විළි ලැජ්ජාවට කාරණයක්ද යන්නවත් තේරුම් බේරුම් කරගත නොහැකි තරමට, අප වල්මත්ව ඇති සැටි පෙනේ.

ශත වර්ෂ ගණනක් යටත්විජිත රාජ්‍ය ක‍්‍රමය තුළ සිට නිදහස ලබා ගත් ලංකාව වැනි රටවල ජාතිය ගොඩනැගීම, වනචාරී අතීත මිථ්‍යාවක් උත්කර්ෂයට නංවමින් කළ හැක්කක් නොවේ. එසේම එය හුදෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් පමණක් කළ හැක්කක් ද නොවන බවට ලංකාවේ මෑත කාලීන අතීතයෙන් දෙස් දෙයි.

ජාතිය ගොඩනැගීම යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ, රාජ්‍ය බලය පාවිච්චි කරමින්, ජාතික අනන්‍යතාවක් ගොඩනැගීමයි. එහෙත් මේ සඳහා නූතන රාජ්‍ය ක‍්‍රමය තුළ තවත් කොන්දේසියක් අවශ්‍ය කෙරේ. එනම්, රාජ්‍යය යන පද්ධතිය ගොඩනැගීමයි. එයින් අදහස් වන්නේ, ඉහත කී ජාතික අනන්‍යතාව දරා ගත හැකි වන අන්දමේ සහ එය යාවත්කාලීනව පෝෂණය කළ හැකි ආකාරයේ පාලන ව්‍යුහයක් ගොඩනගා ගැනීමයි. එනම්, රාජ්‍ය යටිතලය සහ රාජ්‍ය ව්‍යුහය, නූතන දේශපාලනික ප‍්‍රමිතීන් ඔස්සේ ස්ථාපිත කර ගැනීමයි. මෙය පැහැදිලි ඉරක් ගසා වෙන්කර ගත නොහැකි වෙතත්. ඒ දෙක දළ වශයෙන් එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීම අපහසු නොවේ. කෙසේ වෙතත්, එක ජන වර්ගයක් හෝ ආගමක් පමණක් ඇති රටක මෙය, සාපේක්ෂ අර්ථයකින් ගත් විට, සරල ක‍්‍රියාවලියක් විය හැකිය. එහෙත්, වාර්ගික සහ ආගමික වශයෙන් හෝ වෙනත් ආකාරයකින් බෙදී පවතින සමාජයක එය ඉතා සංකීර්ණ සහ දීර්ඝ ඓතිහාසික ක‍්‍රියාවලියක් වන්නේය.

මෙහිදී ජාතිය යනුවෙන් අදහස් විය යුත්තේ කුමක්ද යන පැනය මතුවෙයි. එය ජන වර්ගයක් හෝ භාෂාවක් මුල් කරගෙන ඇති විය යුත්තක්ද, නැත්නම්, ඉතිහාසයක් හෝ සංස්කෘතියක් මුල් කරගෙන ඇති විය යුත්තක්ද, එසේත් නැත්නම්, භූමියක් මුල් කරගෙන ඇති විය යුත්තක්ද යන්න සලකා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානියේ ජාතීන් හතරක් වෙසෙති. ඉංගී‍්‍රසි, අයර්ලන්ත, ස්කොට්ලන්ත සහ වේල්ස් යනුවෙනි. මොවුන්ට තමන්ගේම වන සුවිශේෂී ජාතික අනන්‍යතා තිබෙන අතර එක්සත් රාජධානිය වශයෙන් එක රටකට ඔවුහු ගොනු වී සිටිති. එනම්, එක්සත් රාජධානිය නැමැති ඒකකය තුළ ඔවුහු පොදු අනන්‍යතාවක් දරති. ලංකාවේදී සිංහල ජාතිය ප‍්‍රධාන හෝ එකම නිර්ණායකය වශයෙන් ගත් විට, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් වැනි ප‍්‍රජාවන් එම ‘ජාතියෙන්’ බැහැර කෙරේ. එසේම, බුද්ධාගම නිර්ණායකය කර ගතහොත්, කිතුනු, හින්දු සහ මුස්ලිම් ආදි ආගමිකයන් බැහැර කෙරේ. ඊළඟට, ඉතිහාසය යනුවෙන් අදහස් වන්නේ සිංහලයන්ගේ ඉතිහාසයක් යැයි ගතහොත්, අනිත් ජාතීන්ගේ ඉතිහාසය එයින් බැහැර කෙරේ. මේ නිසා, ඉහත කී සියලූ සාධක රාජ්‍ය පාලනය තුළ ලංකාවේදී ක‍්‍රියාත්මක වන්නේ සහ වුණේ අභාග්‍ය සම්පන්න ආකාරයකින් බව කිව යුතුය. සියවස් ගණනාවක් තිස්සේ යටත් විජිතයක් වශයෙන් පැවතීම හේතු කොටගෙන එය තවත් සංකීර්ණ විය.

යටත්විජිතහරණය නැමැති ක‍්‍රියාවලියට මුහුණදුන් විවිධ ජාතීන් අත්කරගෙන ඇති ප‍්‍රතිඵල, ඔවුන්ගේ නිදහස් අරගලවල ස්වභාවය විසින් සේම, ඔවුන්ගේ සමාජ සංයුතියේ ස්වභාවය විසින්ද තීරණය කරනු ලැබ තිබේ. උදාහරණයක් වශයෙන් නූතන ඇමරිකාව, ජාතික රාජ්‍යයක් වශයෙන් ගොඩනැගීම, සාපේක්ෂ අර්ථයකින් ගත් විට, ‘පහසු’ කර්තව්‍යයක් විය. මුලින්ම එම රට සමන්විත වූ යටත් ප‍්‍රදේශ 13 ක ඒකාබද්ධතාව, එකිනෙකින් වෙනස් සමාජ වටපිටාවන් සහ මූලයන්ට අයත් විය. ඇතැම් පිරිස් පැමිණ සිටියේ එංගලන්තයෙනි. තවත් පිරිස් අයර්ලන්තයෙනි. තවත් පිරිසක් ප‍්‍රංශයෙනි. තවත් පිරිසක් නෙදර්ලන්තයෙන් ආදි වශයෙනි. එසේම, වහල් ක‍්‍රමය නිසා, කළු-සුදු වෙනසක්ද ඒ සමාජයේ මුල් බැසගෙන තිබුණි. ඒ වෙනස්කම් නිසාම, එකී ඒකාබද්ධතාව 1865 දී බිඳී යාමට ආසන්නව පැවතියේය. එහෙත් එම අභියෝගය ජය ගත් ඇමරිකාව, තව අවුරුදු 100 ක් ගත වන විට, කළු-සුදු වශයෙන්ද, උතුරු-දකුණු සහ බටහිර- නැගෙනහිර වශයෙන්ද පැවති වෙනස්කම් ජයගෙන, ශක්තිමත් නූතන රාජ්‍යයක් බවට වර්ධනය වුණේය. මේ කර්තව්‍යය ‘පහසු’ කැරැුවූ එක් තීරණාත්මක සාධකයක් වුණේ, ඒ කිසි ජන කොටසක් ඓතිහාසික අයිතියකින් සන්නද්ධව නොසිටීමයි. හෙවත් එකී සමාජය මුළුමණින්ම සංක‍්‍රමණිකයන්ගෙන් සමන්විතව පැවතීමයි.

එහෙත් සිංහල සහ දෙමළ යන ප‍්‍රජාවන් දෙකම, වසර සහස‍්‍ර ගණනකට පෙර සිටම තමන්ගේම වන ජාතිකත්වය පිළිබඳ යම් අදහසක් ඇති කරගෙන සිටියහ. ඒ, නූතන ජාතිය නැමැති ප‍්‍රපංචයට සමාන අර්ථයකින් නොව. වෙනස් ප‍්‍රජාවක් යන හැඟීමෙනි. මේ ඉතිහාසය තුළ, එකී ප‍්‍රජාවන් සතුව පැවති සංස්කෘතික, ආගමික සහ භාෂාමය වෙනස්කම් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා කෙරෙහි බලපැවැත්වීය. ඒ එකිනෙක සම්ප‍්‍රදායයන්හි ශක්තිය සහ ජවය එකිනෙකා පෝෂණය කැරැවීය.

එක් ජාතියක් අනිත් ජාතියට වඩා සංස්කෘතිකමය වශයෙන් ශක්තිමත් තත්ත්වයක සිටින විට, ඇතැම් විට, දුර්වල සංස්කෘතිය හෝ භාෂාව, ශක්තිමත් සංස්කෘතිය සහ භාෂාව තුළට පහසුවෙන් උරා ගැනීම සිදුවිය හැක. එහෙත්, යම් ජාතීන් දෙකක් එක සමාන හෝ එකිනෙකා පරයා යාමට තරම් වන සංස්කෘතිකමය සහ ඓතිහාසික ශක්තියකින් යුක්ත වන විට, එයින් එක ජාතියක්වත් අනිත් ජාතිය තුළට උරා ගැනීම පහසු වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ඔවුනොවුන් අතර තරගයක් ඇති වීමත්, ඒ තරගය තුළ, එක්කෝ එකිනෙකා පෝෂණය වීම හෝ එකිනෙකා ගහමරා ගැනීමත් ය.

මහාවංශ කතුවරයා සිංහල දෙමළ ජාතීන් දෙක අතර සිදුවිණැයි කියන යුද්ධයක් ප‍්‍රහර්ෂයට නංවා, වැඩිම පරිච්ෙඡ්ද ගණනක් එළාර-දුටුගැමුණු යුද්ධය වෙනුවෙන් වැය කර තිබුණත්, ඔහු අතින්ම ලියැවී ඇති අවශේෂ කරුණු විසින් ඔප්පු කරනු ලැබෙන්නේ, එය වෙනත් ඕනෑම යුද්ධයක් මෙන් පුද්ගලයන් දෙන්නෙකුගේ බල අරගලයක ප‍්‍රතිවිපාකයක් බව මිස, ජාතීන් දෙකක් අතර යුද්ධයක් වී නැති බවයි. එසේ වෙතත්, ඒ ආදානග‍්‍රාහී ඉතිහාස නිරූපණය මගින් පරම්පරාවෙන් පරම්පරාවට සිංහල සිත්සතන් දැදුරු කෙරුණි. සිංහයෙකුගේ ලේ හරහා සිංහල ජාතිය යන්න අර්ථවත් කර ගැනීමට ඇතැම් වනචාරී කොටස් තවමත් වෙර දරන්නේ එබැවිනි.

මේ නිසා ලංකාව ලැබූ නිදහස අර්ථවත් විය යුතුව තිබුණේ, බි‍්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස් වීම නැමැති බාහිර ආටෝපය වෙනුවට, අභ්‍යන්තරික වශයෙන් එක්සත් විය හැකි දේශපාලනික සහ සමාජයීය පරිසරයක් ගොඩනැගීම තුළිනි. එහෙත්, නිදහස ලැබූ දා පටන් මේ රට පාලනය කළ කිසි නායකයෙකුට දේශපාලනඥයාගේ භූමිකා වෙන් මිදී රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වීමට නොහැකි වීම හේතුවෙන්, එකී පරිසරය ලංකාවේ ගොඩනැගුණේ නැත. ඒ වෙනුවට සිදුවුණේ, යටත් විජිත පාලන සමය තුළ ඇති කෙරුණු වෙනස්කම්, නිදහසින් පසු තවත් උග‍්‍ර වන ආකාරයෙන් කාරණා කටයුතු සිද්ධ වීමයි. සුද්දාගෙන් සිංහලයා නිදහස ලබන විට, සිංහලයාට වහලෙකු වීමට තමන්ට සිදුව ඇතැයි යන හැඟීමක් දෙමළ ජාතිය තුළ කෙමෙන් මෝරන්නට විය. එල්ටීටීඊ සංවිධානය එහි කූටප‍්‍රාප්තියයි.

දැන් යුද්ධය අවසන්ව තිබේ. නිදහස, ජාතිය ගොඩනැගීම සඳහා වන සරු කෙතක් බවට පත්කර ගැනීමට අප අසමත් වුණේ කෙසේද යන්න ගැන යෝනිසෝ මනසිකාරයෙන් සිතා බැලීමට තරම් වන ඉස්පාසුවක් මේ මොහොතේ අපට ලැබී තිබේ. 1948 සිට මගහැරුණු අවස්ථා වක්- යුද්ධ තත්වයක් නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නව ආරම්භයක් ඇති, දේශපාලනික වාතාවරණයක්- අද බිහි වී තිබේ. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වක යෝජනා දැන් සලකා බැලෙමින් තිබේ. සුළු ජාතීන්, මින් පෙර කිසි දවසක නොතැබූ ආකාරයේ විශ්වාසයක් අලූතෙන් දල්වාගෙන සිටී.

ඒ අභියෝගය අප භාර ගත යුත්තේ, සියලූ ජාතීන් සහ ආගමිකයන් ඒකරාශී කර ගන්නා නූතන රාජ්‍යය යළි පිළිසකර කර ගැනීමෙනි. එය පදනම් විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍ර වාදය, මානව හිමිකම් සහ බලය බෙදා හැරීම යන මුල්ගල් මතයි. නිදහස් රටක් යනු, අවුරුද්දේ එක් නිශ්චිත දිනයකදී රාජ්‍ය අනුග‍්‍රහයෙන් ජාතික උත්සවයක් පැවැත් වෙන, දිනපතා උදේට ජාතික ගීය ගැයීමෙන් පුහු ආඩම්බරයට පත්වන රටක් නොව, එක පැත්තකින් සියලූ මනුෂ්‍යයන්ට සමාන අයිතිවාසිකම් සහිත, අනිත් පැත්තෙන්, පාලකයා ඉදිරියේ විරාජමාන වන යෝධ පුරවැසි සමාජයක් සහිත රටක් බව අවධාරණය කළ යුතුව තිබේ.