Untitled-1

Untitled-1

අපේ වාරි සභ්‍යත්වයේ තිරසාරබව ලෝකයට කියා දුන් වීරමන්ත්‍රී


weeramanthri

මෙරටින් බිහි වූ විශිෂ්ඨතම නීති වේදියකු, විනි සුරුවරයකු හා නීති පර්යේෂකයකු වූ ක්‍රිස්ටෆර් ග්‍රෙගරි වීරමන්ත්‍රී 90 හැවිරිදිව ගිය සතියේ මිය ගියා.
1926 කොළඹදී උපන් වීරමන්ත්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් කලා (BA) උපාධියක්ද, ලන්ඩනයේ කිංස් කොලෙජ් (King’s College, London) සරසවියෙන් LLB හා LLD උපාධිද ලබා ගත්තා. 1967-1972 වකවානුවේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකු ලෙස සේවය කළ ඔහු ඉනික්බිති ඔස්ටේ්‍රලියාවේ මොනෑෂ් සරසවියේ නීති මහාචාර්ය ලෙස දිගු කලක් ක්‍රියා කළා.
1991දී හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ (International Court of Justice ICJ විනිසුරුවරයකු ලෙස පත් වූ ඔහු 2000 දක්වා වසර 9ක් එම ධුරයේ කටයුතු කළා. එයින් අවසන් තෙවසර එහි උපසභාපති වූවා.
වීරමන්ත්‍රී මානව හිමිකම් ක්‍ෂෙත්‍රයට ලබා දුන් විද්වත් දායකත්වය ගැන අප මීට පෙර කථා කළා. (2014 ජනවාරි 31 හා 2013 දෙසැම්බර් 22 තීරු ලිපි බලන්න)
අද මා අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරය උදාහරණයට ගනිමින් ලෝක පාරිසරික නීති හා තිරසාර සංවර්ධනය ගැන සංවාදවලට වීරමන්ත්‍රී ලබා දුන් බුද්ධිමය නායකත්වය ගැනයි.
වරක් ඔහු ලියූ ආවර්ජනයක මෙසේ කියනවා: ‘මා කුඩා කාලයේ මගේ දෙමව්පියන් ලංකාවේ පැරණි නගර හා නටබුන් පෙන්වීමට මා රැගෙන ගියා. වියළි කලාපයේ වැව් හා වාරිමාර්ග පද්ධතිය දැකීමෙන් මා මවිතයට පත් වුණා. මෙතරම් සුවිසල් හා සංකීර්ණ පද්ධතියක් ආදි ලංකාවේ බිහි වූයේ කෙසේද? එය සියවස් ගණනාවක් තිස්සේ නිසි ලෙස පවත්වාගෙන යන්නට අපේ මුතුන් මිත්තන්ට තිබූ සංයමය හා චින්තනය කෙබඳු එකක් වීද? මෙවන් ප්‍රශ්න කලක් තිස්සේ මගේ මනසේ රැඳී තිබුණා.’
වීරමන්ත්‍රී ජාත්‍යන්තර අධිකරණයේ උපසභාපතිව සිටි කාලයේ මහා වාරිකර්මාන්තයක් පිළිබඳ දෙරටක් අතර ආරවුලක් විසඳුම් පතා අධිකරණයට ආවා.
යුරෝපයේ රටවල් කිහිපයක් හරහා ගලා යන ඩැනියුබ් ගංගාව යම් තැනකදී හරස් කොට වේල්ලක් බැඳ මහා ජලාශයක් බිහි කිරීමට ස්ලොවාකියාව හා හංගරිය දැවැන්ත ඉංජිනේරු ව්‍යාපෘතියක් අරඹා තිබුණා. ගැබිකෝවෝ නැගිමරෝස් (Gabcikovo -Nagymaros) ව්‍යාපෘතිය නම් වූ එයින්, දෙරටේ මායිම් අසබඩින් ඩැනියුබ් ගංගාවේ වේලි ඉදිකර ජල විදුලිය නිපදවීමටත්, ගංවතුර පාලනයටත් තමයි සැලසුම් කළේ. ජනනය කරන විදුලිය දෙරට අතර බෙදා ගැනීමට එකඟව සිටියා.
මේ ව්‍යාපෘතිය සංකීර්ණ ඉතිහාසයක් තිබූ එකක්. 1977දී එය ඇරඹනු ලැබුවේ එවකට පැවති චෙකොස්ලොවාකියානු ජනරජය හා හංගරිය අතර නීතිමය ගිවිසුමකින්. එකල දෙරටම සෝවියට් දේශයට සමීප වුණා. සෝවියට් සංවර්ධන පිළිවෙත වූයේ හැකිතාක් යටිතල පහසුකම් හා ඉංජිනේරු ඉදිකිරීම් සිදු කිරීමයි. පාරිසරික හා සමාජයීය බලපෑම් ඔවුන් සැලකුවේ නැහැ.
1980 දශකයේ දෙරටේම ප්‍රබල දේශපාලන විපර්යාස සිදු වුණා. දරදඬු කොමියුනිස්ට් පාලනය 1989දී අවසන් කළ හංගරිය 1990 සිට පාර්ලිමේන්තු ප්‍රජා තන්ත්‍රවාදයකට පිවිසියා. සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු අවිනිශ්චිත වකවානුවක් පසු කළ චෙකොස්ලොවාකියාව 1993 ජනවාරියේ රටවල් දෙකකට බෙදුණා – ස්ලොවාකියාව හා චෙක් ජනරජය වශයෙන්.
1980 දශකයේ හංගරියේ පාරිසරික ක්‍රියාකාරීන් මතුව ආවා. ගැබිකෝවෝ-නැගිමරෝස් ව්‍යාපෘතියෙන් ඩැනියුබ් ගංගා පරිසර පද්ධතියට කරන පාරිසරික හානිය ප්‍රසිද්ධියේ විවාද කිරීමට ඔවුන් රජයට බල කළා. මේ බලපෑම් හමුවේ ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමටත් පසුව එය නතර කිරීමටත් හංගරියට ඕනෑ වුණා.
එහෙත් ව්‍යාපෘතියේ ආර්ථික ප්‍රතිලාභ තම ජනයාට අත්‍යවශ්‍ය බව ස්ලොවාකියාව කියා සිටියා. අර්බුදය විසඳා ගත නොහැකි වූ විටයි ඔවුන් ජාත්‍යන්තර අධිකරණයට ගියේ.
හිටපු කොමියුනිස්ට්/ සමාජවාදී පාලකයන් ඇති කරගත් 1977 ගිවිසුම තවදුරටත් තමන්ට අදාළ නැතැයි යන ස්ථාවරය හංගරිය මතු කළා. එහෙත් ස්ලොවාකියාව එය පිළි ගත්තේ නැහැ. 1989දී තමන්ගේ පැත්තේ ව්‍යාපෘති ඉදිකිරීමේ කටයුතු හංගරිය විසින් නතර කළත්, ස්ලොවාකියාව දිගටම ව්‍යාපෘතිය ගෙන යාමට තැත් කළා. අර්බුදය විසඳා ගැනීමට නොහැකියාව 1996දී ඔවුන් ජාත්‍යන්තර අධිකරණයට ගියා.
1945දී පිහිටුවන ලද ජාත්‍යන්තර අධිකරණය එක්සත් ජාතීන්ගේ ආයතනික සමූහයේ අධිකරණමය ආයතනයයි. එහි නඩු ගොනු කළ හැක්කේ එජා සංවිධානයේ සාමාජිකයන් වන ආණ්ඩුවලට පමණයි.
මේ අධිකරණය ලෝක මට්ටමින් ඉහළම නීති විශාරදයන්ගෙන් සැදුම්ලත් විනිසකරුවන් 15 දෙනකුගෙන් සමන්විතයි. එජා සංවිධාන ප්‍රඥප්තියේ 24වන වගන්තියට අනුව අධිකරණයේ තීන්දු ක්‍රියාත්මක කිරීමට සියලු සමාජික රටවල් බැඳී සිටිනවා. එය බලාත්මක කිරීමට ආරක්‍ෂක මණ්ඩලයට හැකියි.
මෙම ජාත්‍යන්තර අධිකරණය (ICJ), හේග් නුවරම පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court, ICC) සමඟ පටලවා නොගත යුතුයි. 1998දී පිහිටුවනු ලැබූ ICC ජන සංහාරය (genocide) මානව වර්ගයාට එරෙහි අපරාධ හා යුද අපරාධ චෝදනා ලබන පුද්ගලයන්ට විරුද්ධව නඩු විභාග කරන විශේෂිත අධිකරණයක්.
1945 සිට විවිධාකාර අන්තර්-රාජ්‍ය නඩු අසා තිබුණත් ජාත්‍යන්තර අධිකරණය හමුවට ආ මුල්ම පාරිසරික නඩුව වූයේ හංගරිය හා ස්ලොවාකියාව අතර අර්බුදයයි. මේ නිසාම එයට වැඩිපුර ලෝක අවධානයක් යොමු වුණා.
1997දී මාස කිහිපයක් පුරා දෙරටේ රාජ්‍ය නිලධාරීන් හා විශේෂඥයන් ජාත්‍යන්තර අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. අධිකරණ විනිසුරුවරුන් ව්‍යාපෘතිය ඉදිවෙමින් පැවති ප්‍රදේශය හා එයට පසුගං (downstream) පරිසරය නිරීක්‍ෂණ චාරිකාවකද යෙදුණා. නඩුවේ කරුණු ඉදිරිපත් කිරීම්වලට සවන් දෙනවාට අමතරව විනිසකරුවන් ක්‍ෂෙත්‍ර චාරිකාවක යෙදුණු මුල්ම අවස්ථාවද මෙය වූවා.
දීර්ඝ ලෙස කරුණු විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය විස්තරාත්මක තීන්දුවක් ලබා දුන්නා. 1977 ගිවිසුම තවදුරටත් වලංගු බවටත්, දෙපාර්ශ්වයම එක්ව සාකච්ඡා මගින් මේ මතභේදය නිරාකරණය කරගත යුතු බවත් එහි කියැවුණා. එසේම සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මතුවන අන්තර්රාජ්‍ය මතභේදවලදී ජාත්‍යන්තර පාරිසරික නීති හා සංකල්ප අදාළ බවත් සඳහන් වුණා.
මේ තීන්දුවට එකඟ වන අතරම තිරසාර සංවර්ධනය (sustainable development) ගැන අමතර විග්‍රහයක් විනිසුරු වීරමන්ත්‍රී තීන්දුවට එක් කළා. තමන් උපන් රටේ වාරි කර්මාන්ත සභ්‍යත්වය උදාහරණයට ගනිමින්, සංවර්ධනය හා පරිසර සංරක්‍ෂණය තුලනය කර ගත හැකි අන්දම ගැන අගනා විවරණයක් ඔහු එහි ඉදිරිපත් කළා.
සංවර්ධනය වීමේ අයිතිය (Right toDevelopment)”, සාමූහික මානව අයිතියක් ලෙස එජා මහා මණ්ඩලය 1986දී පිළිගෙන තිබෙනවා. සංවර්ධනය යනු ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන මානයන් සහිත ක්‍රියාදාමයක් බවත්, සංවර්ධනයේ ප්‍රතිලාභ සියලුදෙනා අතර සාධාරණව බෙදී යා යුතු බවත් එහි කියැවෙනවා. වීරමන්ත්‍රී මෙය සිහිපත් කළා.
එසේම පාරිසරික සංරක්‍ෂණය ද නූතන යුගයේ මූලික මිනිස් අයිතිවාසිකම් (විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය හා ජීවත් වීමේ අයිතිය) සාක්‍ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක්  බව ඔහු පෙන්වා දුන්නා.
එහෙත් සංවර්ධනය වීමේ අයිතිය තහවුරු කර ගැනීමේදී පරිසරයට හානි වී පිවිතුරු පරිසරයක ජීවත්වීමේ අයිතියට හානි වෙනවා නම් කුමක් කළ හැකිද? තිරසාර සංවර්ධනය යනු මේ අයිතීන් දෙක තුලනය කර ගැනීමයි.
නූතන යුගයේ මෙය 1972 පටන් අන්තර්-රාජ්‍ය මට්ටමින් වාද විවාද කොට පිළිගෙන තිබෙන මූලධර්මයක්. 1987 ප්‍රකාශයට පත් වූ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ලෝක කොමිසමේ (බෘන්ට්ලන්ඞ් කොමිසමේ) වාර්තාවේ මෙයට මනා නිර්වචනයක්ද ලබා දුන්නා. ‘ඉදිරි පරම්පරාවල අවශ්‍යතා සපුරා ගන්නට ඇති සොබාවික හැකියාවට හානි නොකර වත්මන් පරම්පාරවේ අවශ්‍යතා සපුරා ගැනීම තිරසාර සංවර්ධනයයි.’
මෙහිදී අවශ්‍යතා ලෙස පිළිගත්තේ මූලික මානව අවශ්‍යතායි.
නූතන ලෝකයේ තිරසාර සංවර්ධනය සොයා ගන්නට කරන ව්‍යායාමයේදී ලෝකයේ විවිධ පැරණි සභ්‍යත්වයන් එම තුලනය පවත්වා ගත් ආකාරය අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් බව කී වීරමන්ත්‍රී, ශ්‍රී ලංකාව, ටැන්සේනියාව, ඉරානය, චීනය වැනි රටවලින් නිශ්චිත උදාහරණ ගෙනහැර පෑවා.
මෙතැන් සිට මා ඉදිරිපත් කරන්නේ ඔහු ශ්‍රී ලංකාව ගැන කළ විවරණයේ සංක්‍ෂිප්ත අනුවාදයක්.
‘තිරසාර සංවර්ධනය නූතන විද්‍යාත්මක හා නීතිමය සංකල්පයක් පමණක් නොව අතීත සභ්‍යත්වයන් ගණනාවක ප්‍රගුණ කළ අත්දුටු ක්‍රමවේදයක්.
සොබා සම්පත් අයිති තනි පුද්ගලයන්ට නොව සාමූහිකව ප්‍රජාවන්ටයි. මේ නිසා ඒවා පරිහරණය බහුතරයගේ හිතසුව පිණිස විය යුතුයි. අපතේ යාම අවම කරමින්, පැළෑටි හා සත්ත්ව සම්පත්වලින් උපරිම ඵල නෙළා ගත යුතුයි, එසේ කරන විට ඒවා පුනර්ජනනය වීමට (නැවත හට ගැනීමට) ඉඩ ඇති පරිදි සීමා දැන ගෙන කළ යුතුයි.
පුරාණ ලංකාවේ මෙම තුලනය මනා සේ පවත්වා ගත් බවට සාක්‍ෂි තිබෙනවා. මෙයට හොඳම උදාහරණය නම් එරට පැරණි වාරිමාර්ග පද්ධතියයි. ඇත්තටම එය ජල හා පාංශු සංරක්‍ෂණ පද්ධතියක් බව පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා.
අහසින් වැටෙන හැම ජල බිඳුවකින්ම මිනිස් අවශ්‍යතා සඳහා ප්‍රයෝජන ගන්නට දියුණු වාරි තාක්‍ෂණයක් පුරාණ ලංකාවේ සහශ්‍රයකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණා. ආනල්ඞ් ටොයින්බි වැනි ලෝප්‍රකට ඉතිහාසඥයන් මවිත කිරීමට මේ වාරි සභ්‍යත්වය පසු කලෙක සමත් වුණා. එසේම වර්ෂාවන් උරාගෙන ටිකෙන් ටික ජලය ගංගාවලට නිකුත් කරන ප්‍රධාන ජලධාරක ප්‍රදේශයන් වන දිවයිනේ මධ්‍යම කඳුකරයේ වනාන්තර රැක ගැනීමේ අතිශය වැදගත්කම ලංකාවේ පැරණි පාලකයෝ දැන සිටියා.
පාරිසරික සංකල්පයන් ප්‍රායෝගිකව වාරි කළමනාකරණ තාක්‍ෂණයට බද්ධ කිරීමට පුරාණ ලංකාවේ සූක්‍ෂ්ම ලෙසින් සිදු කෙරුණා. ඕනෑම වාරි හා ජල ප්‍රවාහන පද්ධතියකට (විවෘත) කල් යාමේදී මුහුණ දෙන්නට සිදුවන රොන්මඩ එකතු වීමේ ප්‍රශ්නයට තාක්‍ෂණික විසඳුමක් සොයා ගෙන තිබුණා. බිසෝ කොටුව නමින් හැඳින්වුණේ එයයි. වැවකින් පිටතට ජලය ගලා ගෙන යන ප්‍රමාණය හා පීඩනය පාලනය කිරීමට එයට හැකි වුණා.
නූතන ලෝකයේ වාරි කර්මාන්ත ව්‍යාපෘතිවල දැකිය හැකි අමුණු, වේලි ආදි සියල්ල පැරණි ලංකාවේද යොදා ගත්තා. එහෙත් එසේ කළේ හුදෙක් ඉංජිනේරුමය පදනමක් මත පමණක් නොවෙයි. ජල කළමනාකරණය හා සම්පත් පරිභෝජනය එක් පසෙකිනුත්, පාරිසරික සංරක්‍ෂණය අනෙක් පසිනුත් එකම ප්‍රමුඛත්වය ලබාදී තුලනය කරනු ලැබුවා.
මෙයින් හොඳාකාරව පෙනී යන්නේ සම්පත් පරිභෝජනයත්, පරිසර සංරක්‍ෂණයත් යන දෙකෙහි අන්තවලට නොගොස් මේ අරමුණු දෙකම සාක්ෂාත් කර ගත හැකි බවයි. පුරාණ ලංකාවේ ජල කළමනාකරණ හපන්කම් ආර්. එල්. බ්‍රෝහියර් වැනි දේශීය විද්වතුන් මෙන්ම ජේම්ස් ටෙනන්ට් වැනි විදේශික (බි්‍රතාන්‍ය) විද්වතුන්ද විස්තරාත්මකව ලේඛනගත කොට තිබෙනවා. එහෙත් එම වාරි තාක්‍ෂණයන් තුළ ගැබ්ව තිබූ පාරිසරික සංරක්‍ෂණ ක්‍රමවේදයන් ගැන අධ්‍යයනයන් සිදුව ඇත්තේ වඩාත් මෑත කාලයේයි.
මහා වැව් හා කුඩා වැව් පද්ධති තුළ පස සෝදාපාලුවෙන් එන රොන්මඩ තැන්පත් වීමට වෙනම වැවක්ද තැනූ බව සොයා ගෙන තිබෙනවා. මේ නිසා අනෙකුත් වැව් හා ඇල මාර්ග ටිකෙන් ටික ගොඩවීමේ අවදානම සමනය කෙරෙනවා.
තවත් පාරිසරික පිළිවෙතක් වූයේ කැලෑ වැව් තැනීමයි. ගමක් ආශ්‍රිතව නොව වනයක් ආශ්‍රිතව තනන ලද මේ වැව්, මුළුමනින්ම වනජීවින්ගේ ජල අවශ්‍යතා සඳහා වෙන් කෙරුණා.
සාපේක්‍ෂව අඩු වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන වියළි කලාපයේ බිම් වගා කිරීමට අවශ්‍ය වැසි ජලය එකතු කර තබා ගන්නා අතරම, වගාබිම් හා වන බිම් අතර යම් තුලනයක්ද පවත්වා ගනු ලැබුවේ පුරාණ ලංකාවේ.
මෙය මහා පරිමාණයෙන් සිදු වූවක්. මහවැව් දුසිම් කිහිපයකට අමතරව කුඩා (ගම් මට්ටමේ) වැව් 25,000 – 30,000ක් පමණ ඉදි කොට තිබූ බවට සාක්‍ෂි තිබෙනවා. මේවා යා කළ සංකීර්ණ ඇළ මාර්ග පද්ධතියක් තිබුණා. සියලු ජනයාගේත්, සියලු සතුන්ගේත් සුබසිද්ධිය උදෙසා මේවා ඉදි කළ බව ඉතිහාස වංශකථා කියනවා.
මහින්දාගමනයෙන් පසු බුදුදහම වැළඳගත් දෙවන පෑතිස් රජු, ලෝකයේ ලේඛනගතව තිබෙන පැරණිතම වන රක්‍ෂිතය ප්‍රකාශයට පත්කළා. එම ප්‍රදේශයේ සතුන්ට අභයභූමියක් වුවා.
පුරාණ ලංකාවේත්, වෙනත් ආදි දියුණු සභ්‍යත්වයන්ගේත් සාක්‍ෂි සමීපව සලකා බලා මා තර්ක කරන්නේ තිරසාර හෙවත් ධරණීය සංවර්ධනය යනු අලුත් සංකල්පයක් නොවන බවයි. ලොව විවිධ රටවල විසූ පැරැන්නෝ එය හොඳහැටි ප්‍රගුණ කළා. අද අපට අවශ්‍ය ඒ උරුමයෙන් ආභාසය ලබමින්, නවීන ලෝකයේ සංකීර්ණ අවශ්‍යතා සඳහා අවශ්‍ය තාක්‍ෂණයන් හා නීතිමය මූලධර්මයන් සකස් කර ගැනීමයි.
පාරිසරික අයිතිවාසිකම් යනු ලික මානව අයිතිවාසිකම්වලම වැදගත් කොටසක්. සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමද එවැනිම වැදගත් මානව අයිතියක්. එකක් ලබාදී අනෙක නොලැබෙන ලෙස ක්‍රියා කිරීමට ශිෂ්ට සමාජයන්හි ඉඩක් නොතැබිය යුතුයි.’
වීරමන්ත්‍රීගේ මේ ඵෙතිහාසික විග්‍රහය, අධිකරණ නිල ලේඛනවලට අමතරව සර්වෝදය විශ්වලේඛා මගින් 2000දී ප්‍රකාශයට පත් කෙරුණා.
එයට පූර්විකාවක් ලියමින් එක් තැනෙක වීරමන්ත්‍රී මෙසේ කියනවා: ‘1997දී මා ලෝක අධිකරණයේ කළ විග්‍රහය, ලෝක පාරිසරික නීති තවත් තීව්‍ර කරන්නට දායක වනු දැකීම සතුටක්. 2000දී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, එප්පාවල පොහොර නිධිය විදෙස් සමාගම්වලට බදු දීමට එරෙහිව මතු වූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවේදී මෙම විග්‍රහය උපුටා දක්වනු ලැබුවා.’
වීරමන්ත්‍රී චින්තනය ඉදිරියටත් ලොව පුරා ප්‍රගතිශීලී අධිකරණ ක්‍රියාදාමයන්ට මග පෙන්වන බව නිසැකයි.■