රාවය

ජිඑස්පී ප්ලස්: අවස්ථාව හා අභියෝගය

ජිඑස්පී ප්ලස්: අවස්ථාව හා අභියෝගය

යෙළිත් ශ්‍රී ලංකාවට වරණීය තීරු බදු ක්‍රමවේදය හෙවත් ජීඑස්පී ප්ලස් යටතේ බදු සහන ලබාදීමට යුරෝපා සංගමය තීරණය කොට තිබේ. ජීඑස්පී ප්ලස් සහනය නැවතත් ලබාගැනීම සඳහා ලංකාව 2016දී ඉදිරිපත් කළ ඉල්ලුම්පත පිළිගත් බවට යුරෝපා සංගමය පසුගිය දා නිවේදනය කළ අතර, ඉදිරි මාස හතරක කාලය තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනෙනු ඇති බව ද සඳහන් කළේ ය. මෙය වසර ආම්භයේදී ම ලද, මුළුමනින් ම වර්තමාන ආණ්ඩුවේ විශිෂ්ට ජයග්‍රහණයකි.
ජීඑස්පී ප්ලස් ක්‍රමවේදය හරහා යුරෝපා රටවල් 26කින් සමන්විත වෙළෙඳපොළ වෙත භාණ්ඩ වර්ග 7500ක පමණ ප්‍රමාණයක් තීරුබදු රහිත ව අපනයනය කිරීමට ලංකාවට ඉඩකඩ සැලසිණි. ලංකාවේ සමස්ත ජාත්‍යන්තර අපනයනවලින් සියයට 30ක පමණ කොටසක් අත්පත් කර ගෙන ඇත්තේ මේ යුරෝපීය රටවලට කෙරෙන අපනයනයන් විසිනි. විශේෂයෙන් ලංකාවේ ඇඟලුම්, රබර් ආශ්‍රිත නිෂ්පාදන හා මත්ස්‍ය නිෂ්පාදනවලට එය ඉතාමත් වැදගත් වෙළෙඳපොළක් විය. ජීඑස්පී ප්ලස් ක්‍රමවේදයට යළි ඇතුළත්වීමත් සමඟ ම ලංකාව, එම සහනය දැනටත් භාවිත කරන, ආර්මේනියාව, බොලිවියාව, කේප් වර්ඞ්, කිර්ගිස්තානය, මොංගෝලියාව, පකිස්තානය, පැරගුවේ හා පිලිපීනය යන රටවල කුලකයට ද ඇතුළත් වෙයි.
ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුණේ 2010දී, මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ මානව අයිතිවාසිකම් පිළිබඳ නරක ක්‍රියාකාරිත්වය හේතුවෙනි. ආණ්ඩුවේ ම මෙහෙයවීමෙන් ලංකාවේ දිගින් දිගට ම සිදුවුණු මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට නැවත නැවතත් කියා සිටිද්දීත් එම ආණ්ඩුව පවත්වා ගෙන ගිය අත්තනෝමතික දරදඬු ප්‍රතිපත්තිය නිසා ජීඑස්පී ප්ලස් සහනය අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කළේ ය. ඒ තත්ත්වය විසින් ලංකාවේ ඇඟලුම් ඇතුළු විවිධාකාර භාණ්ඩ නිෂ්පාදනවලට තීරුබදු රහිත යුරෝපා වෙළෙඳපොළ අහිමිකරනු ලැබූ අතර, එහි ප්‍රතිඵල ලෙස විශේෂයෙන් ඇඟලුම් කම්හල් වැසී යෑමත්, ව්‍යවසායකයන් ලංකාව හැර වඩාත් ව්‍යාපාර හිතවාදී රටවලට යෑමත්, සැලකිය යුතු පිරිසකට රැකියා අහිමිවීමත් දකින්නට හැකි විය. එවැනි තත්ත්වයක් යටතේ වුව ද සිය මානව අයිතිවාසිකම් විරෝධී ප්‍රතිපත්තිය වෙනස් කර ගන්නට රාජපක්‍ෂ ආණ්ඩුවට වුවමනාවක් තිබුණේ නැත. ජීඑස්පී ප්ලස් අහිමිවීම, යුරෝපා රටවලට මත්ස්‍ය නිෂ්පාදන අලෙවි අවස්ථා අහිමිවීම වැනි ආර්ථික වශයෙන් ඉතාමත් නරක ආකාරයට බලපාන කාරණාවලට රාජපක්‍ෂ පාලන කාලයේ දී ලංකාවට මුහුණ දෙන්නට සිදුවුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියේ වුවත්, 2016, 2017, 2018 වැනි අවුරුදුවල ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පාන්නට නියමිත ව සිටියේ ය.
සමහරුන් කියන්නේ, ජීඑස්පී ප්ලස් සහනය ලංකාවට යළි ලැබුණේ ජාත්‍යන්තර කොන්දේසිවලට ලංකාව යටත්වීම නිසා බව ය. එය හුදු යටත්වීමක් හැටියට ගත්තත්, අප සලකා බැලිය යුත්තේ යටත් වී ඇත්තේ කුමකට ද, ඉන් ලංකාවේ ජනතාවට සෙතක් වන්නේ ද යන්න ගැන ය. යුරෝපා සංගමයේ නිවේදනයේ දැක්වෙන පරිදි, ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය යළි ලැබෙන්නේ, මානව අයිතිවාසිකම්, සේවක අයිතිවාසිකම් හා පරිසරය සුරැකීමට හා යහ පාලනයක් පවත්වා ගැනීමට අවශ්‍ය වන ජාත්‍යන්තර සම්මුතීන් 27ක් අනුමත කිරීමට හා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය එකඟවීමත්, දැනටමත් ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි පියවර තබා තිබීමත් නිසා ය. ලංකාව එම සම්මුතීන් සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන බවට සෑහීමක් ඉන් අදහස් නොවන බව කියන යුරෝපා සංගමය, ඉදිරි කාලය තුළ දී ඒවා ක්‍රියාත්මක කරන ආකාරය දෙස බරපතළ නිරීක්‍ෂණයක් පවත්වාගෙන යන බව ද කියයි. එනයින්, ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා හෝ ලංකාව එවැනි සම්මුතීන් ගණනාවක් ක්‍රියාත්මක කිරීම, රටක් හැටියට, රටේ ජනතාව හැටියට යහපත් දෙයකි. අවසානයේ, එම සහනයෙන් ලැබෙන වාසිදායක ආර්ථිකමය ප්‍රතිඵල මෙන් ම, අයිතිවාසිකම්වල වර්ධනයේ යහපත ද ලැබෙන්නේ රටේ ජනතාවට ම නිසා ය.
ලංකාවට යළි ජීඑස්පී ප්ලස් ලැබෙන්නේ, 19වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ව සොයා බැලීමට නීතිමය පියවර ගැනීම, එක්සත් ජාතීන් සමඟ හා මානව හිමිකම් කවුන්සිලය සමඟ හිතවත්ව වැඩ කිරීම වැනි වර්තමාන ආණ්ඩුවේ යහපත් වැඩපිළිවෙළ නිසාවෙනි. එම සහනය ලැබීම මෙන් ම, ඒ සමඟ යම් අභියෝගයක් ද තිබෙන බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය. එනම්, තවදුරටත් එවැනි මානව අයිතිවාසිකම් හිතවාදී, ජාත්‍යන්තර සම්මුති හිතවාදී පියවර පවත්වාගෙන යෑමත්, ඒවා වැඩිදුරටත් ශක්තිමත් කිරීමත් ය. ලංකාවට ලෝකයේ කීර්තිමත් රටක් හැටියට සිටිය හැක්කේත්, ඒ කීර්තිය හරහා ලැබෙන ආර්ථිකමය හෝ වෙනත් යහපත් දේ ලංකාවේ ජනතාවට ලබාගත හැක්කේත්, එවැනි යහපත් පාලනයක් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවත්, ඒ පිළිවෙතෙන් අපගමනය වන්නට උත්සාහ දැරුවහොත්, රටක් සමාජයක් හැටියට අප හැම පැත්තෙන් ම යළි අඳුරට ගමන් කරනු ඇති බවත් ආණ්ඩුව තේරුම් ගත යුතු ය. ■