Untitled-1

Untitled-1

පින්නවලදී යකා නැටූ තිළිණ ගමගේ තාමත් නඩු අහයි. අධිකරණ සේවා කොමිසම නිදි


jana

කේ ඩබ්ලිව් ජනරංජන

කොළඹ මහේස් ත‍්‍රාත් තිළිණ ගමගේ පින්නවල අලි අනාථාගාරයට අනවසර යෙන් ඇතුළු වී කළ යකා නැටීම ගැන පසුගිය රාවය මුල් පිටුවේ පුවතකින් අනාවරණය කළේය. එහි සඳහන් වූයේ, පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා පින්නවල අලි අනාථාගාරයට බලහත් කාරයෙන් හා අනවසරයෙන් ඇතුළු වූ මේ මහේස්ත‍්‍රාත් වරයා සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවීම ගැනය. පුවත්පත්වල පළවූ ආකාරයට, ප‍්‍රවේශ පත‍්‍රයක් නොමැතිව අනාථාගාර පරිශ‍්‍රයට ඇතුළුවීම, අලින්ට ආහාර ලෙස පලතුරු කූඩයක් රැුගෙන යෑම, වෙඩි උණ්ඩ සහිත තුවක්කුවක් ගෙන මහේස්ත‍්‍රාත්ගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියා පරිශ‍්‍රයට ඇතුළුවීම, පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර ඇති පිවිසුමකින් පරිශ‍්‍රයට ඇතුළු වීම, සහකාර අධ්‍යක්‍ෂවරිය ඇතුළු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ආදි චෝදනා පහක් සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් වරයා ගැන පරීක්‍ෂණ පවත්වන්නට පොලිස්පති වරයාට නියෝග කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස්, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගෙන් පෙබරවාරි 10වැනිදා ඉල්ලීමක් කර තිබේ. රජයේ අධිනීතිඥවරයා එම අවස්ථාවේදී පෙනීසිටියේ නීතිපතිවරයා වෙනුවෙන් වුවද, මහේස්ත‍්‍රාත්වරයා එවිට කියා ඇත්තේ ඒ ගැන නීතිපතිගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසය. නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු අධිකරණ යෙන් ඉල්ලීමක් කළ විට තවදුරටත් නීීතිපති උපදෙස් අනුව කටයුතු කරන්නට යැ’යි අධිකරණයෙන් ඔහුට දැනුම්දීම විශේෂ කාරණාවකි.

බැලූ බැල්මට ඒ ප‍්‍රවෘත්තියෙන් පෙනෙන්නේ තිළිණ ගමගේ කළ වැරදි වැඩ ගැන හොයන්නට පොලිසියට නියමයක් කරන ලෙස රජයේ අධිනීතිඥවරයා 10වැනිදා අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි. එහෙත් ඇත්ත කතාව ඊට වැඩි දුරක් ගමන් කරයි.

තිළිණ ගමගේ මහේස් ත‍්‍රාත්වරයා දෙසැම්බර් 23 වැනිදින පින්නවල අලි අනාථාගාරයට ඇතුළුවුණේ අනවසරයෙන් හා බලහත්කාරයෙනි. ඔහුගේ පොලිස් ආරක්‍ෂක නිලධාරියා සිටියේ ගිනි අවිය හා පලතුරු මල්ලක් අතැතිවය. මහේස්ත‍්‍රාත්ගේ ආරක්‍ෂාවට සිටින පොලිස් නිලධාරියාට සිය බල ප‍්‍රදේශයෙන් පිටතට මෙසේ යෑමට නීතියෙන් කිසිදු ඉඩක් නැති අතර, ආරක්‍ෂාව පසෙක තබා පලතුරු මලූ උස්සාගෙන යන්නටද බැරිය. අනාථාගාරයට ඇතුළුවී අත්අඩංගුවට ගත් අලි පැටවුන් රඳවා සිටි ස්ථානයට තිළිණ ගමගේ බලහත්කාරයෙන් ගිය විට අනාථාගාරයේ නිලධාරීහු ඔහුට විරෝධය පෑහ. තිළිණ ගමගේ කළේ, පසුව කොළඹ ඇවිත් තමන්ට ‘බාධා කළ’ (තිළිණට බාධා කළේ ඔහු නීතියට එරෙහිව ගිය නිසාය.) අනාථාගාරයේ නිලධාරීන් අධිකරණයට ගෙන්වන ලෙස ඉල්ලා 2016 ජනවාරි 5දා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ මෝසමක් ගොනු කිරීමයි.

මේ මෝසම පදනම් කරගෙන පින්නවල අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඞීසී මානවඩු මහත්මියට අධිකරණයෙන් ලැබුණු නොතීසියේ මෙසේ සඳහන් වෙයි. ‘ඉහත අංක දරන නඩුවට අදාළව අධිකරණයේ කිසිදු තහනමක් පනවා නොතිබියදී අංක 334 දරන අලියා බැලීමට ගිය අවස්ථාවේ බාධා කරමින් පලවා හැරි බවට නීතිඥ මහතා මෝසමක් මගින් ගරු අධිකරණයට කරුණු දක්වා ඇත. එබැවින් ඉහත නම් සඳහන් ඔබට පෙබරවාරි 10 දින විවෘත අධිකරණයේ පෙනීසිට කරුණු දැක්වීමට සහ අධිකරණයට අවශ්‍ය සහාය ලබාදීමට ගරු අධිකරණය නියෝග කර ඇති බව මෙයින් දන්වමි. අණපරිදි, රෙජිස්ට‍්‍රාර්.’

ඇත්ත වශයෙන්ම පෙබරවාරි 10දා නඩුව කැඳවුණේ එසේ නොතීසි මත අධිකරණයට කැඳවා තිබූ පින්නවල අනාථාගාරයේ නිල ධාරීන්ගෙන් ‘බාධා කිරීම’ගැන කරුණු විමසන්නටය. මේ පුදුම නීතියකි. මහේස්ත‍්‍රාත්වරයා බලහත්කාරයෙන් හා අනවසරයෙන් රජයේ දේපලකට ඇතුළුවී එහි සිටි නිලධාරීන්ට බාධා කොට, කොළඹ පැමිණ, එම නිලධාරීන් තමන්ට බාධා කළැයි කියමින් ඔවුන් උසාවියට කැඳවන ලෙස මෝසමක් ගොනුකරයි.

පින්නවලදී සිදුවුණේ මොකක්ද? ඒ ගැන එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඞීපී මානවඩු මහත්මිය අධිකරණයට කරන ප‍්‍රකාශය මෙසේය.
‘2015 දෙසැම්බර් 23වැනි දින සවස 4ට පමණ අලි අනාථාගාරයේ ‘ඒ’ ගේට්ටුව වෙත පැමිණි 65-7959 දරන වාහනයේ පැමිණි ස්වාමින් වහන්සේ නමක්, මෙම වාහනයේ පැමිණ ඇත්තේ කොළඹ මහේස්ත‍්‍රාත් බවත් ඔහු මෙහි සහකාර අධ්‍යක්‍ෂවරයා හමුවීමට පැමිණ ඇති බවත්, තමන්ට පමා නොවී ඉතා හදිසි කාරණයක් සඳහා පරිශ‍්‍රයට ඇතුළුවිය යුතු බවත් ‘ඒ’ ගේට්ටුවේ එම අවස්ථාවේදී රාජකාරියේ නිරතව සිටි ඒ. රංජිත් වෙත කියා සිටියා.

එවිට රංජිත් මහතා කාර්යාලයෙන් විමසා තමා ඔවුනට ඇතුළුවීමට ඉඩ සලසා දෙන බව එම පිරිසට ප‍්‍රකාශ කර කාර්යාලය වෙත දුරකථන පණිවිඩයක් පව 4.01ට පමණ ලබාදුන්නා. එම ඇමතුම ලබාගත් සිරිල් පෙරේරා නමැති නිලධාරියා එලෙස කොළඹ මහේස්ත‍්‍රාත්වරයකු පැමිණ ඇති බවත්, හදිසි කාරණයකට මා හමුවිය යුතු බව කියා සිටින බවත් මට ප‍්‍රකාශ කළා. නමුත් ඒ වන විට ඒ ගේට්ටුව වෙත පැමිණි 65-7959 වාහනයේ වූ පිරිස රංජිත් මහතාට, තමන්ට ප‍්‍රමාද වන බවත් සහකාර අධ්‍යක්‍ෂවරයාගෙන් මේ ඇතුළුවීම සඳහා අවසර ලබාගෙන ඇති බවත්, ඇතුළුවීමට අවසර නොදුනහොත් තමාහට විශාල ප‍්‍රශ්නයක් ඇතිවිය හැකි බවත් පවසා බලහත්කාරයෙන් රාජකාරි යෙහි නියුක්තව සිටි නිලධාරියා බියගන්වා ආයතනය තුළට ඇතුළුවී තිබුණා.

එනමුත් මොවුන් පැවසූ පරිදි මා හමුවීමට නොපැමිණ, ‘ඒ’ ගේට්ටුවේ සිට මීටර් 200ක් පමණ ඉදිරියෙන් අලි ඇතුනට පලතුරු ලබාදෙන මඩුව ඉදිරිපස පිහිටි කුඩා තණ පිටිය අසළින් පව 4.03ට පමණ වාහනයෙන් බැස තිබුණා. එලෙස බැස්සේ සංඝයා වහන්සේ නමක්, සිවිල් වැසියෙක් සහ පලතුරු මලූ කිහිපයක් අතැතිව සිටි ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරියෙක් වූ බවත්, වාහනය පමණක් මාගේ කාර්යාලය වෙත එවූ බවත් එම දින ක්‍ෂෙත‍්‍ර රාජකාරියේ නියුතුව සිටි එච්කේ ප‍්‍රදීප් ප‍්‍රියන්ත මහතා මා වෙත කියාසිටියා. මේ වනවිට මා සත්ව අංශයේ ප‍්‍රධානියා වූ සංජය රත්නායක මහතාට සහ එදින රාජකාරියේ නියුතුව සිටි ආරක්‍ෂක අංශයේ ප‍්‍රධානියාවූ එච්ඒ සුරවීර මහතාට මෙලෙස පුද්ගලයන් පිරිසක් ඇතුළුවී ඇති බවත් ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් සිට කාර්යාලය වෙත ගෙනෙන ලෙසත් දන්වා සිටියා…..පව 4.10-4.15 අතර කාලය තුළදී එම පිරිස පලතුරු මල්ලක්ද සහිතව ආරක්‍ෂක අංශයට සහ සත්ව අංශ නිරීක්‍ෂණය යටතේ අලි ඇතුන් සිටින ප‍්‍රදේශයේ ඇවිදිමින් සිටි බවත්, ඉන්පසු ඔවුන් කාර්යාලය වෙත පැමිණෙමින් සිටින බවත් එච්කේ ප‍්‍රදීප් මහතා සහ සංජය රත්නායක මහතා විසින් මා වෙත වාර්තා කළා. ඒ නිසා මා කාර්යාලයෙන් පිටතට අවුත් ඔවුන් පැමිණි රථය ඉදිරිපස ඔවුන් හමුවීමට සිටගෙන සිටියා.

පව 4.17ට පමණ කාර්යාලය පිහිටි ප‍්‍රදේශයට එම පිරිස පැමිණියා. මා ඔවුන්ගෙන් ඉදිරියෙන් පැමිණි සිවිල් වැසියාගෙන් යම් නිලධාරියකුගෙන් අවසර ලබා පැමිණියේදැ’යි විමසුවා. එවිට එම පුද්ගලයා මෙහි සහකාර අධ්‍යක්‍ෂගේ අවසර මත මෙම පරිශ‍්‍රයට ඇතුළුවූ බව ප‍්‍රකාශ කළා. අලි අනාථගාරය ඒ අවස්ථාව වන විට භාරව සිටින සහකාර අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළේ මා බැවින්ද, මාගෙන් එසේ අවසරයක් ලබානොගත් හෙයින්ද, ඔහු අත ලිඛිත අවසරයක් හෝ මිලදී ගත් ප‍්‍රවේශ පත‍්‍රයක් නොවූ හෙයින්ද, කිනම් සහකාර අධ්‍යක්‍ෂවරයාගෙන් අවසර ලබාගත්තේදැයි මා විමසුවා. එවිට එම පුද්ගලයා තමා තිළිණ ගමගේයැයි වාචිකව හඳුන්වා දෙමින් මෙහි පැමිණියේ ‘චූටි මහත්තයා’ හෙවත් 334 දරන අලියා බැලීමට බවත් පලතුරු ටිකක් කැවීමට අවශ්‍ය බවත් එයට අධිකරණයෙන් අවසරයක් ලබා දී ඇති බවත් කීවා.

එවිට මෙහි දැනට සිටින සහකාර අධ්‍යක්‍ෂ මා බවත්, ඒ අලි පැටියා ඒ වන විට ගාල්කර තිබුණු ස්ථානය මහජනයාට නැරඹිය නොහැකි ස්ථානයක් බවත්, කිසිසේත් අධිකරණයෙන් අප වෙත ලබා දෙන අලින් සඳහා පිටස්තර පුද්ගලයන්ට පලතුරු හෝ වෙනත් ආහාරයක් පශූ වෛද්‍ය පරීක්‍ෂණයෙන් තොරව ලබාදීම කළ නොහැකි බවත් පහදා දුන්නා.

මෙම තත්ත්වය එම අවස්ථාවේදීම මා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පින්නවල) වෙත දුරකථනයෙන් කතා කොට දැනුම්දීමට කටයුතු කරන ලද අතර මෙලෙස මහජනයා ළඟාවීමට නොහැකි ස්ථානයකට මෙම පුද්ගලයා ගෙනයෑම සිදුකළ නොයුත්තක් බව ඇයද කියා සිටියා.

එවිට ඔහු කලහකාරී ලෙස හැසිරෙමින් ඔහුගේ දුරකථනයේ වූ, අංක 334 දරන අලියාගේ යැයි සැකකළ හැකි ඡුායාරූප පෙන්වමින්, එම අලියාට අප විසින් හානි කර ඇතැ’යි චෝදනා කරමින්, එම සත්වයා බැලීමටත් පලතුරු කැවීමටත් අවශ්‍ය බව නැවත නැවත කියා සිටියා. එවිට මා එලෙස මහජනයා ළඟානොවිය හැකි ස්ථානයකට යන්නේ නම් විශේෂ අවසරයක් ලබා පැමිණිය යුතු බවත් කියා සිටියා. ඔහු අලි ඇතුන් බැලීමට අවසර ලබාදුන් අධිකරණ නියෝගය නිකුත් කළ මහේස්ත‍්‍රාත්වරයාට දුරකථනයෙන් කතාකොට මේ ප‍්‍රශ්නය විසඳාගන්නා බව මා වෙත පවසා, දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගැනීමට උත්සාහ කළද එම උත්සාහයන් අසාර්ථක වුණා.

එවිට පව 4.35ට පමණ තිළිණ ගමගේ නම්වූ ඒ මහතා ඉතා කෝපයෙන් තමා මේ පිළිබඳව දැඩි ලෙස කටයුතු කරන බව පවසා ‘සී’ ගේට්ටුවෙන්ම පිටව ගියා.’
තිළිණ ගමගේගේ යකා නැටීම ගැන ‘ඒ’දොරටුවේ රාජකාරියේ සිටි ඒ. රංජිත් කියන්නේ මෙසේය.
‘පව 4ට පමණ මා රාජකාරි කළ දොරටුව අසළට 65-7959 දරන ජීප්රථයක් පැමිණෙන ලදි. එහි හාමුදුරු නමක් ඇතුළු ගිහියෝ හතරදෙනෙක් සිටියහ. මා වාහනයේ සිටි හාමාදුරුවන් ළඟට ගිය විට එහි සිටි අයකු පැවසුවේ මෙහි පැමිණ සිටින්නේ කොළඹ මහේස්ත‍්‍රාත්තුමා බවත්, ඉතා හදිසි කාරණයකට මැඩම් හමුවීමට කාර්යාලයට පමා නොවී යෑමට අවශ්‍ය බවය. මා ඔවුන්ට කීවා මැඩම්ගෙන් අවසර ගන්නා තෙක් පොඞ්ඩක් සිටින ලෙස. මා මැඩම්ට කෝල් කරන වෙලාවේ ඔවුන් කිව්වා, අපට රස්තියාදු වෙන්ට බෑ, ඉක්මනට යවන්න. පරක්කු කළොත් ඔයාට විශාල ප‍්‍රශ්නයක් වෙයි. උත්තර බඳින්න වෙයි කියලා, මගේ අවසරයක් නැතිව එක පාරටම වාහනය අනාථාගාරය ඇතුළට අරගෙන ගියා.’

මේ කතාවෙන් පැහැදිලි වන්නේ සිය මහේස්ත‍්‍රාත් හයිය පාවිච්චි කරමින් තිළිණ ගමගේ නීතිය තමන් අතට ගෙන රිසි සේ වැඩකරන බවය. මෙවැනි ක‍්‍රියාවක් සාමාන්‍ය පුද්ගලයකු (දේශපාල නඥයකු පවා) කළේ නම් සිදුවන්නේ කුමක්ද? පොලිසිය වහාම ඔහු අත්අඩංගුවට ගැනීමය. එහෙත් තිළිණ ගමගේට ක‍්‍රියාත්මක වන්නේ වෙනම නීතියකි.

ඔහු හොර අලි පැටියකු (අංක 334 නමින් හැඳින්වෙන්නේ ඒ අලිපැටියාය.) ළඟ තබාගත්තේය. ඒ අලි පැටියා හොර අලි පැටියකු බවට තහවුරු කළ තොරතුරු රාශියක් මීට පෙර රාවය විටින් විට එළිදරව් කර තිබේ. නව රජය පත්වී මේ හොර අලි පැටව් ජාවාරම ගැන පරීක්‍ෂණ පවත්වන්නට රහස් පොලිසියට බාරදුන්නේය. රහස් පොලිසිය තිළිණ ගමගේ සතු අලි පැටියා අත්අඩංගුවට ගන්නට යන්නට හදන විට, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් (අමාත්‍යාංශ ලේකම්වරයකු හැටියටද සිටි) එය වැළැක්වීය. හේතුව ලෙස කීවේ, දැනටත් නඩු අසන විනිසුරකු නිසා මාධ්‍යවල එය පළවී තිළිණ ගමගේට අපකීර්තියක් ඇතිවනු ඇතැ’යි යන්නය. ඒ අවසරයෙන්, තිළිණ ගමගේ කළේ තමා ළඟ හිටි අලි පැටියා රාත‍්‍රියක රහසේම වනජීවී කාර්යාලයට ගෙනගොස් බාරදීමය. (ඒ අලි පැටියා වෙනත් එවැනි අත්අඩංගුවට ගත් අලිපැටවුන්ද සමග දැන් පින්නවල විශේෂ කොටසක රඳවා තිබේ.) අලියා බාරදීමෙන්ම ඔහුගේ වරදකාරිත්වය ගැන යම් අදහසක් ලැබෙන නමුත්, අද වන තුරු ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත. වනයේ සිටින අලි පැටව් නීති විරෝධීව සන්තකයේ තබාගෙන සිටීම පොදු දේපල පනත යටතට වැටෙන, අත්අඩංගුවට ගැනුණු පසු ඇප ලබාගැනීමත් අසීරු ගණයේ වරදකි. එහෙත්, ඒ කිසිවක් තිළිණ ගමගේට අදාළ නැත. විකාරය නම්, ඔහුට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ හොර අලි තබාගෙන සිටීම ගැන චෝදනා එල්ල වන විට, ඊට යාබද අධිකරණයේ විනිසුරු අසුනට ගොඩවී ඔහු මහජනතාවගේ නඩු අසමින් සිටීමය. රජයේ නිලධාරියකුට එරෙහිව චෝදනාවක් එල්ලවී ඇති අවස්ථාවක පළමුව කැරෙන්නේ, ඔහු තාවකාලිකව හෝ සේවයෙන් ඉවත්කොට පරීක්‍ෂණ ආරම්භ කිරීමය. තිළිණ ගමගේට ඒ නීතියවත් නැත.

මහේස්ත‍්‍රාත්වරුන්ගේ පත්කිරීම්, ඉවත්කිරීම් හා විනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය අධිකරණ සේවා කොමිසමයි. එහි සභාපතිවරයා අගවිනිසුරුය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තවත් විනිසුරුවරු දෙදෙනෙක් එහි සෙසු සාමාජිකයෝ වෙති. එක පැත්තකින් මහේස්ත‍්‍රාත්වරයකු අමු අමුවේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරද්දී මෙන්ම, අනෙක් පැත්තෙන් ඒ ක‍්‍රියාව නිසා රටේ අධිකරණ පද්ධතියේම කීර්තිනාමය පළුදුවී තිබෙද්දී අධිකරණ සේවා කොමිසම ඉන්නේ නොබලා නොඅසා නොදැක නිදාගෙනය. මේ චූදිතයාට එරෙහිව පරික්‍ෂණයක් පවත්වන්නට වත්, ඒ වන තෙක් ඔහු නඩු ඇසීමේ ක‍්‍රියාවලියෙන් පැත්තකට කර තබන්නටවත්, එමගින් අධිකරණයේ කීර්තිනාමය රැකගන්නටවත් කොමිසම අවදියෙන් සිටින බවක් පෙනෙන්නට නැත. වැටත් නියරත් කන්නේ ගොයම් නම්?

ඒ අතර තිළිණ ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය. ඒ තමා අත්අඩංගුවට ගන්නට යන බවට තොරතුරු තිබෙන බැවින් එය වළක්වන නියෝගයක් දෙන ලෙස ඉල්ලමිනි. ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, ටිරාන් අලස් වැනි අය පසුගිය කාලයේ කළේද එයමය. සිත්ගන්නාසුලූ දෙය නම්, ඔහුගේ මේ පෙත්සම විමර්ශනයට ගැනුණේ අගවිනිසුරුවරයා ඉදිරියේ වීමය. තිළිණ ගමගේ අධිකරණ සේවයට පත්කරන්නේ හා ඔවුන්ගේ විනය පාලනය කරන්නේ අධිකරණ සේවා කොමිසම වන විට එහි සභාපති අගවිනිසුරුය. එහෙත් මාර්තු 2වැනිදා මීළඟ විමසුම් අවස්ථාවේ අගවිනිසුරු වරයා නොමැති විනිශ්චයා සනයක පෙත්සම ඇසෙනු ඇති බවට විශ්වාස කළ හැකිය.

හොර අලි නඩු මේ තරමින් වත් පවත්වාගෙන යන්නේ එක පැතතකින් සීඅයිඩියේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ යුක්තිගරුක, නීතිගරුක පොලිස් නිලධාරීන්ගේ හා දිලීප පීරිස් හා තවත් එවැනි රජයේ අධිනීතිඥවරුන්ගේ කටේ හා හිතේ හයියෙනි. හැම පැත්තෙන්ම එන්නේ මේ හොර අලි ජාවාරම්කරුවන් ආරක්‍ෂා කිරීමේ හා බේරාගැනීමේ මෙහෙයුම්ය. තිළිණ ගමගේ, උඩුවේ ධම්මාලෝක හිමි වැනි චූදිතයන් තවමත් නිදැල්ලේ ඉන්නේ ඒ නිසාය. වනයේ සිටින සතුන් අල්ලාගෙන ඇවිත් බොරු පුරාජේරුවට හා බුද්ධාගමේ නාමයෙන් තමන්ගේ පන්සල්වල, නිවෙස්වල තියාගෙන උන්ගේ බෝවීම වළක්වාලන හා දසවද දෙන මේ ගිහි පැවිදි හොරුන්ට එරෙහිව නීතිය තරාතිරම නොබලා ක‍්‍රියාත්මක කරන ලෙස නැවත නැවත හඬ නැගීම අවශ්‍යය.