Untitled-1

Untitled-1

තිළිණ ගමගේ විනිසුරු අසුනෙන් බස්සනු


jana

කේඩබ්ලිව් ජනරංජන

අලි හොරකම ගැන තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන නියෝගයක් ඉල්ලා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප‍්‍රභ කළේය. ඒ නිසා අලි හොරකම සම්බන්ධයෙන් මේ වන විටද ඔහු අත්අඩංගුවට පත්වී සිටිනු විය හැකිය.

මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේගෙන් නිදහසට කරුණු ඉල්ලන්නට අධිකරණ සේවා කොමිසම ක‍්‍රියාකරන බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේය. ඒ ඊට පෙර සතියේ එනම් පෙබරවාරි 21වැනිදා, රාවයේ ‘පින්නවලදී යකා නැටූ තිළිණ ගමගේ තාමත් නඩු අහයි. අධිකරණ සේවා කොමිසම නිදි.’ මැයෙන් යුත් ලිපිය පළවූ පසුවය. එතෙක් කොමිසම හිටියේ හොර නින්දේය. කොමිසම අවදියෙන් සිටියේ නම්, තිළිණ ගමගේගෙන් නිදහසට කාරණා ඇසිය යුත්තේ මීට බොහෝ කාලයකට පෙරය. අඩුගණනේ පසුගිය පෙබරවාරි 10 වැනිදා ආසන්නයේය. පෙබරවාරි 10 වැනිදා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඇමතූ රජයේ අධිනීතිඥ දිලීප පීරිස් කීවේ, 2015 දෙසැම්බර් 23 වැනිදා පින්නවල අලි අනාථා ගාරයට අනවසර යෙන් ඇතුළුවූ තිළිණ ගමගේ චෝදනා පහකට වගකිව යුතු බවය. ඇත්ත වශයෙන්ම අධිකරණ සේවා කොමිසම කළ යුතුව තිබුණේ, මේ චෝදනා නැගුණු දාට පසුවදාම, තිළිණ ගමගේ විනිසුරු අසුනට ගොඩවීම නවත්වා, ඔහුට එරෙහිව පරීක්‍ෂණයක් ආරම්භ කිරීමය. එවැන්නක් සිදුවූයේ නැත. කොමිසම මෙලෙස හිතවත් පිළිවෙතක් තිළිණ ගමගේ වෙනුවෙන් අනුගමනය කිරීම නිසා අද සිදුවී ඇත්තේ අධිකරණයේ ගෞරවය කුණුකූඩයට යෑමය. ඇයි? ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි තිළිණ ගමගේගේ අලි හොරකම ගැන විභාග වෙයි. ඊට යාබද අධිකරණයේ් තිළිණ ගමගේ නඩු අසයි.
තිළිණ ගමගේගෙන් නිදහසට කරුණු ඉල්ලීමට හෝ ඔහු පොලිස් අත්අඩංගුවට ගැනීමට හෝ තිබුණේද ඊටත් බොහෝ කාලයකට පෙර, 2014දී පමණය. නිසි බලපත‍්‍රයක් නැති අලි පැටියකු දැන දැනම තමන්ගේ සන්තකයේ තබාගෙන පොදු දේපළ පනත උල්ලංඝනය කිරීම ඔහුට එල්ල කළ හැකි ප‍්‍රාථමිකම චෝදනාවයි. කූඨ ලේඛන සැකසීම ඊට අමතරවය. සීඅයිඩිය මේ නීති විරෝධී අලි පැටියා අත්අඩංගුවට ගන්නට යන විට එය වැළැක්වූවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියෙකි. ඔහු කීවේ නඩු ඇසීම සඳහා අධිකරණයේ අසුන් ගන්නා නඩුකාරයකුගේ ගෙදරදී අලි පැටියා අත්අඩංගුවට ගත්තේයැ’යි මාධ්‍යවල ප‍්‍රසිද්ධ වුවහොත් එය මහේස්ත‍්‍රාත්වරයාට කරන මදිපුංචිකමක් බැවින් එසේ නොකරන ලෙසය. ලද අවසරයෙන් තිළිණ ගමගේ අලි පැටියා රාත‍්‍රි කාලයේ වනජීවී දෙපාර්තමේන්තුවට ගෙනැවිත් බාරදුන්නේය. දෙසැම්බර් 23 වැනිදා පින්නවල අලි අනාථාගාරයට තිළිණ ගමගේ අනවසරයෙන් ඇතුළු වුණේ එහි රඳවා සිටින මේ අලිපැටියා බලන්නටයැයි කියමිනි.

මේ දිනවල තිළිණ ගමගේ ගැන අලූත් ප‍්‍රචාරයක් ගෙනයනු පෙනෙයි. හොඳ මොළයකින් නිර්මාණාත් මකව ලියා තිබෙන තිර පිටපතකට අනුව ගෙනයන මේ ප‍්‍රචාරයෙන් කියැ වෙන්නේ ජනාධිපතිවරයාට, ආණ්ඩුවට, ඇමතිවරුන්ට එරෙහි ඉතාමත් වැදගත් නඩු කිහිපයක් මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ ඇසෙමින් තිබුණු නිසා පළිගැනීමට ආණ්ඩුව ඔහුට එරෙහිව මේ චෝදනා ගෙනෙන බවය. ජනාධි පතිවරයාට විවාහයෙන් පිට පුතකු සිටින බවට පැවරූ නඩුව, නඩරාජා රවිරාජ් ඝාතන නඩුව, රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුතකු දැරියක අපහරණය කළේයැයි පැවරූ නඩුව, ගල්අඟුරු ලංකාවට ගෙන්වීම සම්බන්ධ දූෂණ චෝදනා නඩුව, තිස්ස අත්තනායකගේ රනිල්-එල්ටීටීඊ හොර ගිවිසුම් නඩුව යන මේ නඩුවලදී ‘ස්වාධීනව හා අපක්‍ෂපාතව’ ක‍්‍රියාකළ හේතුවෙන් තිළිණ ගමගේට එරෙහිව අලි ප‍්‍රශ්නයක් ඉදිරියට ගෙන ඔහු අධිකරණයෙන් පන්නා දමන්නට හදන බව මේ ප‍්‍රචාරය ගෙනයන අය (එහෙත් හඬ ඔවුන්ගේ ස්වාමිවූ නඩුකාරයාගේය.) මවා පෙන්වන්නට හදන කාරණයයි.

තිළිණ ගමගේගේ ස්වාධීනත්වය හා අපක්‍ෂපාතිත්වය බලන්නට තිබුණේ සරත් එන් සිල්වා නමැති අපකීර්තිමත් පුද්ගලයා අගවිනිසුරු ධුරයේ සිටි කාලයේය. තමන්ගේ බෝධි පූජා පිංකම් සංවිධානය කරන බත්බැලයන් පිරිසක් අධිකරණ විනිසුරුවරුන් අතරින් තෝරාගෙන සිටි සරත් එන් සිල්වා, ඔවුන්ට රිසි-රිසි වරදාන දෙන අතරේ තමාට එරෙහිවන සියලූ ලොකු පොඩි විනිසුරුවරුන්ගෙන් එළව-එළවා පළිගන්නා පිළිවෙතක් ක‍්‍රියාත්මක කළේය. එවැනි විනිසුරුවරුන්ට පැයක් ඇතුළත ඉල්ලා අස්වන ලෙස සරත් සිල්වා තර්ජනය කළ අතර, නැතහොත් අධිකරණයෙන් එළවා දමන බවට බියගැන්වූයේය. එසේ එළවාද දැමුවේය. තිළිණ ගමගේ ඒ කාලයේ මේ බෝධි පූජා කල්ලියේ මුල් පෙළේ සාමාජිකයෙකි. සරත් නන්ද සිල්වාගේ හුරතලෙකි. කැත මුහුණක් තිබූ සරත් නන්ද සිල්වාට හුණු පිරියම් කරන්නට සංවිධානය කළ මේ බෝධි පූජා එකල එකම විහිළුවක් වූ නමුත් රට පුරා බෝධි පූජා සංවිධානය කළ බෝධි පූජා කල්ලියේ සාමාජිකයෝ එයින් තමන් කැමති කැමති පල නෙළාගත්හ. මේ නින්දා සහගත අධිකරණ අතීතය ගැන රාවය ඇති පදමට වාර්තා කොට තිබේ. පුදුමය නම් තිළිණ ගමගේ වැනි සරත් සිල්වාගේ බෝධිපූජා හුරතලූන් තවමත් අධිකරණවල වැජඹෙමින් ‘ස්වාධීනත්වයක්, අපක්‍ෂ පාතිත්වයක්’ ගැන කතාකිරීමය.

තිළිණ ගමගේ තවමත් කියන්නේ, තමා අලි පැටියා නීත්‍යනුකූලව ලක්‍ෂ 30කට මිලදී ගත්තේ චන්ද්‍රරත්න යටවර නම් පුද්ගලයකුගෙන් බවය. මේ චන්ද්‍රරත්න යටවර යනු අලි රොෂාන් නමින් හැඳින්වෙන, සමරප්පුලිගේ නිරාජ් රොෂාන්ගේ, බිරිඳගේ අම්මාගේ සහෝදරයාය. කැලෙන් අලි පැටව් අල්ලාගෙන ඇවිත් පුද්ගලයන්ට හා පන්සල්වලට ලක්‍ෂ ගණන්වලට ජාවාරම් කිරීම ගැන ප‍්‍රධානතම චෝදනාව එල්ලවී ඇත්තේ අලි රොෂාන්ටය. මේ අලි රොෂාන් හා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ එකට සිටින ඡුායාරූප රාවය මීට පෙර පළකර තිබේ.

පසුගිය පෙබරවාරි 24වැනිදා මේ කියන මහදිසානායක බණ්ඩාරගේ චන්ද්‍රරත්න යටවර රිකිල්ලගස්කඩ සිට සීඅයිඩියට ආවේය. ඒ ඔහුගේ අක්කාගේ මහරගම නිවෙසට ගිය සීඅයිඩිය කළ දැනුම්දීමක් අනුවය. පැමිණ සීඅයිඩියට ප‍්‍රකාශයක් දෙමින් ඔහු පවසා ඇත්තේ තමාට කිසිදා අලි නොසිටි බවය. 1965දී උපන් තමාගේ පියා ඔරලෝසු කාර්මිකයකු බවත්, ඔහු බොරැුල්ල තැපැල් කන්තෝරුව අයිනේ ඔරලෝසු අලූත්වැඩියා කළ බවත්, තමන් ඉගෙන ගත්තේ තර්ස්ටන් විදුහලේ නමවැනි පන්තිය දක්වා පමණක් බවත්, පසුව පාසල් නොගොස් වෙල්ඩින් වැඩ පුරුදු වුණු බවත් ඔහු එහිදී කියයි. තමන් ඇතුළු පවුල පදිංචිව සිටියේ නාවින්න, මහරගම, හයිලෙවල් පාරේ, අංක 367හි නමුත් තම පවුල පිස්කල් බලෙන් එතැනින් එළියට දැමූ බවත් ඔහු වැඩිදුරටත් කියයි. බිරිඳ, දරුවා ඔහු අතැර ගොස්ය. ප‍්‍රකාශය අනුව ඔහු දැනට ඉන්නේ රිකිල්ලගස්කඩ යාළුවකුගේ පියාගේ ගෙදරකය. ඒ ගෙය වෙනස් කරන නිසා ඔහු අත්වැඩ දී ජීවත්වෙන බවත්, තමාට දැන් අලි ඇතින්නන් නැති බවත්, ඉස්සර කිසිදාකවත් හිටියේද නැති බවත්, පැටියෙකු හිටියේද නැති බවත් ඔහු සීඅයිඩියට සිය ප‍්‍රකාශයෙන් කියා තිබේ.

ඉන්පසුදා, එනම් පෙබරවාරි 25වැනිදා, සීඅයිඩියේ දැනුම්දීම මත ඔහු කොළඹ අංක 2 දරන අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු මිඛායෙල් වෙත ඉදිරිපත් කරන ලදි. තමා ඉදිරියේ ප‍්‍රකාශයක් කරන්නට කිසිවකු සැරසෙන විට මහේස්ත‍්‍රාත්වරයකු සාමාන්‍යයෙන් පළමුව අසන ප‍්‍රශ්න කිහිපයක් තිබේ. තමා මේ ප‍්‍රකාශය කරන්නේ කිසිවකුගේ බියගැන්වීමක්, තර්ජනයක්, බලකිරීමක් හෝ පෙළඹවීමක් නිසාද, නැතිනම් පූර්ණ වශයෙන් සිය කැමැත්තෙන්මද යන්නයි ඒ. මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිට අදාළ පුද්ගලයා සිටින්නේ තනිවම බැවින් එවැනි බියක් තර්ජනයක් තිබේ නම් මහේස්ත‍්‍රාත් වෙත කීමට කිසිදු නොහැකියාවක් නැත. යටවර, මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ එවැනි තර්ජනයක්, බියගැන්වීමක් ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව ස්වේච්ඡාවෙන්ම කෙටි ප‍්‍රකාශයක් දී තිබේ.

එහෙත් ඊට දින දෙකකට පසු 27වැනිදා තමාගේ දිවුරුම් ප‍්‍රකාශයක් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන යටවර කියන්නේ, 24 වැනිදා සීඅයිඩිය තමන්ට තර්ජනය කළා හා බියගැන්වූ බවත්, ඉන් අනතුරුව ප‍්‍රකාශයක් තමා දුන් බවත්, ප‍්‍රකාශය සටහන් කරගත් නිලධාරියා තමාට එය කියවා තේරුම් කර නොදී තැන් කිහිපයකටම තමාගේ අත්සන ගත් බවත්ය. දැනුම්දීම අනුව 25වැනිදාද සීඅයිඩියට ගියවිට කැමැත්ත නොවිමසා හිස් කොළ කිහිපයකට අත්සන් ගත් බවත්, තමාගේ ඡුායාරූප කිහිපයක්ද ගත් බවත් ඔහු දිවුරුම් පෙත්සමෙන් වැඩිදුරටත් කියයි. එහෙත් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මේ දිවුරුම් පෙත්සම පිළිගැනීම ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

තිළිණ ගමගේට අලි පැටියා ලැබුණු අන්දම ගැන විගණකාධිපති දෙපාර්ත මේන්තුවේ සිටින කීර්තිධර නිලධාරියකු වූ නියෝජ්‍ය විගණකාධිපති ඒඑච්එම්එල් අඹන්වෙල මහතා පරීක්‍ෂණයක් කළ බව මීට පෙර රාවය වාර්තා කර ඇත. ඔහුගේ නිගමනය වූයේ ඒ වනාන්තරයෙන් අල්ලාගෙන නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටින අලි පැටියකු බවය. කෙසේ වෙතත් චන්ද්‍රරත්න යටවර නමින්, 409, මීගොඩ, ඕවිටිගම යන ලිපිනය ඇතිව අලි පැටියකු ලියාපදිංචි කරන ලෙස ඉල්ලූම්පතක් ඉදිරිපත් කර තිබී ඇත. එහෙත් එම ලිපිනයේ කිසිදාක මව් අලියකු හෝ පැටවකු හෝ සිට නැති අතර අලි උපතක්ද සිදුවී නැත. යටවර කෙනකු එම ලිපිනයේ කිසිදාක පදිංචිව සිට නැති බවද අඹන්වෙල නිගමනය කරයි.

දැන් වැදගත් කාරණය වන්නේ, වෘත්තියෙන් වැල්ඩින්කරුවකු බව කියන, යාළුවකුගේ පියාගේ නිවසේ අත්උදව් දෙමින් ජීවත්වන යටවරට අලි පැටියකු සිටියේ කෙසේද යන්නයි. සාමාන්‍යයෙන් අලි පැටියකුට මාසයක් කන්න බොන්න දෙන්නට රුපියල් ලක්‍ෂ දෙකහමාරත් තුනත් අතර මුදලක් වැයවෙයි. විටමින් බෙහෙත් හරියට දෙන්නේ නම් තවත් ලක්‍ෂ දෙක තුනක අතිරේක වැයකි. වැල්ඩින් වැඩ කරන යටවර මේ මුදල උපයාගත්තේ කෙසේද? නැතිනම් තමාගේ ඥාති පුත‍්‍ර අලි රොෂාන් වනයෙන් හොරෙන් අල්ලාගෙන ඇවිත් ජාවාරම් කළ තවත් අලිපැටියකු ලියාපදිංචියට ඔහු තමාගේ නම ගම දුන්නා විතරද?
පෙබරවාරි 27වැනිදා යටවර ඉදිරිපත් කරන දිවුරුම් පෙත්සමේ අවසන් ඡෙදය මෙසේය. ‘.. එකී අභියාචනය අනුව අමාත්‍යාංශය විසින් කලූහැන්දිවෙල නමැති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු යටතේ විමර්ශනයක් ආරම්භ කරන ලද අතර මාගෙන් ප‍්‍රකාශයක්ද සටහන් කරගත් බවත්, එකී විමර්ශනය මගින් ලියාපදිංචි අංක 334 දරන අලි පැටවා සම්බන්ධව අවලංගු කරන ලද බලපත‍්‍රය නැවත ලබාදෙන ලෙස එවකට වනජීවී විෂය භාර ඇමතිවරයා විසින් නිර්දේශ කර බලාත්මක කර තිබුණු බවත්, එම නිර්දේශය සහ බලාත්මක කිරීම වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතේ 56(4* වගන්තිය ප‍්‍රකාරව අවසානාත්මක හා තීරණාත්මක වන බවද ප‍්‍රකාශ කරමි.’ පනත්, වගන්ති උපුටා දක්වමින් අධිකරණ භාෂාවෙන්, හරියටම නීතියට අනුකූල වචන හා මහාප‍්‍රාණ සහිතව ලියන මේ දිවුරුම් පෙත්සම ඇත්තටම යටවර ලියූ එකක්ද? නැතිනම් යටවර පිටුපස සිට නූල අදින නඩුකාරයකුගේ වචනද? පළමුව සීඅයිඩියට ප‍්‍රකාශයක්ද, දෙවනුව මහේස්ත‍්‍රාත්වරයාට ප‍්‍රකාශයක්ද දුන් යටවර දින දෙකකට පසුව දිවුරුම් පෙත්සමක් මගින් ඒ සියල්ල බොරුයැ’යි කියන්නේ කාගේ නූලට අනුව නැටවෙමින්ද?

සැකකරුවන් දෙදෙ නකුගේ බිරින්දන් දූෂණය කර වාර්තාවක් තැබූ හිටපු මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක ගැන රාවය එළිදරව් කරන විට ඔහු කළේ හාමුදුරුවන් හා මිනිසුන් පාරට බස්සවා තමාගේ බෞද්ධකම, විනීතකම ගැන පාරේ උද්ඝෝෂණ කරවීමය. ලෙනින් රත්නායක නමැති මානව හිතවාදී පින්බර යුග පුරුෂයා රාවය ඇතුළු මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් ආරක්‍ෂා කර දෙන ලෙස ඔවුන් ලවා දෙවියන්ට කන්නලව් කරවීමය. අලි හොරකම ගැන බදාදා අත්අඩංගුවට ගැනුණු උඩුවේ ධම්මාලෝක භික්‍ෂුව උසාවිය ඉදිරිපිටදී කීවේ, ‘මේ ගහන්නේ උඩුවේ හාමුදුරුවන්ට නොව බුද්ධාගමට’ කියාය. නීති විරෝධී වැඩකරන බොහෝ තක්කඩින්ගේ අවසාන නවාතැන්පළ ආගම හෝ ජාතියයි. දැන් තිළිණ ගමගේ යමින් ඉන්නේද ඒ පාරේය. යුක්තිය වෙනුවෙන් අපක්‍ෂපාතීව හා ස්වාධීනව නඩු ඇසූ තිළිණගෙන් පළිගන්නට විරුද්ධවාදීන් අලි හොරකමක් ගැන නිරපරාදේ චෝදනා කරන බව කියමින් සමහරුන් මාධ්‍ය සාකච්ඡුා ලහිලහියේ පවත්වන්නේ ඒ න්‍යාය පත‍්‍රය අනුවය. හොර අලි ඇල්ලීම, පන්සල්වල අලි ගහනය විනාස කිරීමට හා බෞද්ධ පෙරහැර පැවැත්වීමට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදීන් අටවන කුමන්ත‍්‍රණයක් බව කියමින් තිළිණ බේරාගැනීම සඳහා හෙට අනිද්දා භික්‍ෂූන් සිය ගණන් පාරවලට බැස්සොත් ඒ ගැනත් අප පුදුම විය යුතු නැත.

දැන් තිළිණ ගමගේ සිටින්නේ නීතිය වෙතින් බිත්තියට හේත්තු වී ය. අලි හොරකම ගැන චෝදනාවලට මුහුණ දෙනවා ඇරෙන්නට තවත් සරණක් ඔහු වෙත ඇති බවක් නොපෙනේ. එහෙත් එවැනි චෝදනාවලට මුහුණ දෙන්නකුට ඒ අතරම විනිසුරු අසුනට ගොඩවී නඩු ඇසීමේ හැකියාවක්වත් සදාචාරයක්වත් නැත. එනිසා එක්කෝ ඔහු විනිසුරු ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. නැතිනම් මහේස්ත‍්‍රාත්වරුන්ගේ විනය පාලනය පැවරී ඇති අධිකරණ සේවා කොමිසම නිවැරදි තීරණයක් ගෙන ඔහු විනිසුරු අසුනෙන් බස්සා ගෙදර යැවිය යුතුය. අධිකරණය සිය ගෞරවය නැවත ලබාගනු ඇත්තේ එවිට පමණය.