රාවය

එජාපය පරදන රහස් සැලසුමක්

එජාපය පරදන රහස් සැලසුමක්

තරිඳු උඩුවර ගෙදර /නිමල් අබේසිංහ

යහපාලන ආණ්ඩුව තුළ එජාපය හා ශ්‍රීලනිපය අතර ගැටුම මේ වනවිට වර්ධනය වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනවාරි 24 වැනිදා පවත්වන පාර්ලිමේන්තු විවාදයේදී ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමේ පිරිසක් සහ මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමේ පිරිසක් එක්ව එජාපයට විරුද්ධව කටයුතු කිරීමට නියමිත බවත් වාර්තාවේ.

කණ්ඩායම් දෙක එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන්නට සුදානම් වීමේ පළමු පියවර එය බවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් පවසති.
රාවය සමඟ අදහස් දක්වමින් ශ්‍රීලනිප ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරයෙකු පැවසුවේ මෙම කණ්ඩායම් දෙක එක් කිරීමට බාධාවක් වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් තවම නිසි ප්‍රතිචාරයක් නොලැබීම බවයි.
එළැබෙන සතියේ ශ්‍රීලනිප පළාත් මහ ඇමතිවරුන් සහ මහින්ද රාජපක්‍ෂ මහතා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරියටත් එවන් සාකච්ඡා කිහිපයක් පවත්වන බවත් කණ්ඩායම් දෙක එක්කිරීම සාකච්ඡාවල අරමුණ බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනවාරි විසි දෙවැනි දින මුණගැසීමට නියමිතව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අනුමැතිය සහිතව බව ඒ ගැන කළ විමසීමකදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය පැවසීය.
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂය ශ්‍රීලනිපය සමඟ සම්බන්ධ කරගෙන තරග වැදීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන බවත් පළාත් සභාවල ශ්‍රීලනිපය නියෝජනය කරන සියලුම ප්‍රධාන අමාත්‍යවරුන්ද ඊට එකඟ බවත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ශ්‍රීලනිප මතය ද මෙහිදී සාකච්ඡාවට ගැනෙන බවත් පවසන ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රීලනිපයට ජනාධිපති අපේක්‍ෂකයකු සිටින බව ජනාධිපති අපේක්‍ෂකයකු නැති එජාපයට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ වුවමනාවක් ඇති බවත් කීවේය.
ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු පැවසුවේ හම්බන්තොට ආයෝජන කලාපය විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවී විජිතමුණි සොයිසා ඇමතිවරයා හැර අනෙක් ඇමතිවරුන් මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමට සංඥාවක් ලබාදුන් බවයි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ විවාදයේදීද සංඥාවක් ලබාදෙන බව ඔහු පැවසීය.
මේ වනවිට ශ්‍රීලනිපය සහ එජාපය අතර අභ්‍යන්තර ගැටුම් වැඩිවී ඇතැයි ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් පැවසීය.■