Untitled-1

Untitled-1

හම්බන්තොට යුද්ධයට පසුවදනක්


hambantota

කේ. සංජීව

දැන් අපි ඉන්නේ හරි බයෙන්. කොළඹින් ආ පොලිස් කණ්ඩායම් එදා උද්ඝෝෂණයට හිටපු අය හොය හොයා අත්අඩංගුවට ගන්නවා. හරියට 88/89 කාලේ වගේ. අපි එදා එතැනට ගියේ සාමකාමී උද්ඝෝෂණයකට. කොළඹින් ආ මැරයෝ තමයි ප්‍රහාරය පටන් ගත්තේ. අපිට අන්තිමට මොකද වුණේ… ගුටිකෑවා, මඩවතුර නෑවා, තුවාල කර ගත්තා දැන් හිරේටත් යන්න වෙලා.”
මේ අම්බලන්තොට බැරගම අප මිතුරෙකුගේ හඬය. ඔවුන් කියන ලෙස ඔවුන් දැන් සිටින්නේ විශාල බියකින්ය. ඒ තමන් කුමන වේලාවක හෝ පොලිස් අත්අඩංගුවට පත්වන්නට පුළුවන් බැවිනි. මේ මොහොත තුළ පොලීසිය එදා උද්ඝෝෂණයේ වීඩියෝ නරඹමින් පුද්ගලයන් හඳුනා ගනිමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී. මේ පසුබිම තුළ එදා හම්බන්තොට සිදුවූවේ කුමක්ද යැයි සොයාබැලීමට අපි පුංචි පසුවිපරමක් කළෙමු.

7දා සිද්ධිය
ජනවාරි 7 වැනි සෙනසුරාදා දින ආණ්ඩුවේ සැලසුම වූවේ යෝජිත හම්බන්තොට චීන ආයෝජන කලාපය සමාරම්භ කිරීමය. ඒ සඳහා බලධාරියෝ උත්සවයක් සංවිධානය කළෝය. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ සහ චීන රජයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රධානත්වයෙන්ය. මෙහිදී සමරු ඵලකයක් නිරාවරණය කරමින් නිල වශයෙන් මේ ආයෝජන කලාපයේ ප්‍රථම අදියර ආරම්භ කළ බව දැනගන්නට ඇත. මේ උත්සවය පිළිබඳව හාහෝව හම්බන්තොට පමණක් නොව ලංකාව පුරාම පැතිර ගිය අතර එයින් කියවුණේ මේ දිනය හම්බන්තොට චීනාට විකුණන දිනය බවය. හම්බන්තොට මේ කලාපයේ මිනිසුන් අවුලෙන් අවුලට ගිය අතර ඒ මානසික තත්ත්වය සමනය කෙරුමට යහපාලකයන්ට නොහැකි විය. විශේෂයෙන් ආණ්ඩුව නියෝජනය කරන හම්බන්තොට මන්ත්‍රීව රුන්ගේ හැසිරීම මේ තත්ත්වය තුළ පහත් මට්ටමක පැවති බව කිවයුතුය. මෙලෙස ආණ්ඩුවේ හම්බන්තොට මැතිඇමතිවරුන් බකතපස් විලාසයක ඉන්නා විට ඒකාබද්ධ විපක්ෂයේ නාමල් රාජපක්ෂ වැනි මන්ත්‍රීවරු බොරදියේ මාළු බාන්නට වෙහෙස වූවෝය.
“අපි එදා ඒ කියන්නේ 7 වැනිදා උදේ මිනිස්සු දාහකට වැඩිය අම්බලන්තොට ඩිපෝව ළග ප්‍රබෝධාරාමයට එකතු වුණා. හාමුදුරුවරු 150ක් 200ක් විතර හිටියා. උදේ 7.30ට 8ට විතර පිරිත් කියලා පන්සිල් අරගෙන තමයි මිරිජ්ජවිල වරාය උත්සවය තියෙන තැනට යන්න හැදුවේ. ඒ සාමකාමී උද්ඝෝෂණයක් කරලා අපේ ඉල්ලීම් මොනවද කියලා කියන්න. ඒත් නෝනාගම හංදියේ ඉඳලා සැන්ගීලා හෝටලය ළඟට බැරියර් 40ක් විතර දාලා තිබුණා. කොහොම හරි අපි බැරියර් මගෑරලා කැලේ පාරෙන් උත්සවය ළඟටම ගියා. පොලිසියටත් හිතාගන්න බැහැ. කොහොම හරි වරායට ඇතුල්වෙන තැන සැන්ගීලා හෝටලය ළඟ එක බැරියර් එකකින් අපිට යන්න දුන්නා. ඊළඟ බැරියර් එක ළඟ කැරලි මර්දන පොලිසිය හිටියා. එතකොට උදේ 10ට ඇති. අපේ හාමුදුරුවෝ කිව්වා අපිට අපේ ප්‍රකාශය කියවන්න ඉඩදෙන්න කියලා. ඒ එක්කම වරාය උත්සවය තිබුණ පැත්තෙන් අපිට ගල් ගහන්න පටන් ගත්තා. සුදුපාට ෂර්ට් ඇඳගත්ත මැරයෝ වගේ ගොඩක් හිටියා. අපි දෙගොල්ලෝ අතරේ දුර මීටර් 20ක් වෙන්නැති ඕනෑ නම්. ඊළඟට හූ කියන්න පටන් ගත්තා. අපි වාඩිවුණා. ආයෙත් ගල් ගහන්න පටන් ගත්තා. ඊළඟට ඒ පැත්තේ හිටපු කණ්ඩායමක් පොලු අරගෙන ගහන්න ආවා. කොළඹින් ආ කළු සාරියක් ඇඳගත්ත ගැහැනු කෙනෙක් තමයි මුලින්ම පොල්ලක් අතින් අරගෙන ගහන්න ආවේ. හැබැයි ඒ වෙලාවේ එස්ටීඑෆ් එක ඒ පැත්තටත් බැරියර් එකක් දැම්මා. ඊළඟට තමයි පොලිස්පතිතුමා ඇවිත් වතුර කඳුළු ගෑස් ගහන්න අණ දුන්නේ. එතැනින් පස්සේ යුද පිටියක් තමයි. හැබැයි පොලිසිය වෙඩි තිබ්බේ නැහැ.”
මෙලෙස මතකය අවදි කරන්නේ එදා උද්ඝෝෂණයට සහභාගිවූ අම්බලන්තොට වැසියෙක් ය. ඔහු කියන ලෙස මේ ගැටුමට මුල කොළඹින් හම්බන්තොටට ගිය මැරයන්ය. අපට දැනගන්නට තිබෙන ලෙස මේ මැරයෝ උතුරු කොළඹ දේශපාලන බලවතෙකුගේ ගෝලබාලයෝය. හම්බන් තොට මේ උත්සවයට සෙනඟ අවැසි නම් සජිත් ප්‍රේමදාසට හෝ මහින්ද අමරවීරට ඒ සඳහා හම්බන්තොටින්ම මිනිසුන් සොයාගන්නට බැරි නැත. එවැනි තත්ත්වයක් තුළ මේ පිරිස් හම්බන්තොටට රැගෙන ගියේ උද්ඝෝෂකයන්ට පහරදීම සඳහාම බව පෙනේ. රාජපක්ෂ යුගයේදී පොලිසිය මෙවැනි උද්ඝෝෂණවලට දිගට හරහට පහර දුන් අතර යහපාලනය තුළ ඒ පොලිස් කාර්ය මැරයන්ට පවරා ඇති බව බව පෙනේ. මේ ප්‍රහාරය නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම වැනි ඒකාබද්ධ විපක්ෂයේ අයද හොඳට දැනී තිබූ අතර ඒ නිසාම යහපාලනයක් සඳහා කැපවුණු පිරිස්ද මේ ප්‍රහාරය හොඳ බව කියමින් මෙහි තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය විවේචනය කිරීම මගහැර සිටියෝය.
“ඇත්තටම ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන වගේ මන්ත්‍රීවරු අපිත් එක්ක ඩිපෝ හංදියේ ඉඳලා ආවා. ඊළඟට නාමල් මන්ත්‍රීතුමා එක්ක තංගල්ල, හුංගම, වීරකැටිය, කුඩාවැල්ල, මිනිස්සු තංගල්ල පැත්තේ ඉඳලා ප්‍රධාන පාරේ ආවා. එයාලා දෙහිගහලන්ද හංදියෙන් නතර කරලා තිබුණා. මේ මන්ත්‍රීවරු අපිත් එක්ක ආවාට අපිට මෙතැන පක්ෂ දේශපාලනයක් නැහැ. අපි ආවේ හාමුදුරුවන්ගේ කීමට. මහින්ද මහත්තයා ඉන්න කාලේ කරපු දේවල් අපිට හොඳට මතකයි. අනික මෙතන ජේවීපී, යූඑන්පී, ශ්‍රීලනිප සේරම මිනිස්සු හිටියා. මේ මන්ත්‍රීවරු දේශපාලන වාසි බලාගෙන ආවාද දන්නේ නැහැ. හැබැයි මෙහෙම උද්ඝෝෂණයකට ආවාම එලවන්නත් බැහැ.”
මේ මෙම උද්ඝෝෂණයට දායකත්වය දී තුවාල ලද මැඩිල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක්ය. ඔහු අද පොලිසියට බයවී සැඟවී සිටියි. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ ය. මෙලෙස වැඩි වර්ධනය වූ හම්බන්තොට යුද්ධය නිසා තුවාල වූ ගණන 30ක් පමණය. ඒ ගල් ප්‍රහාර සහ පොලු ප්‍රහාර නිසාය. ඉන්පසු පොලීසිය මේ සිද්ධිය අරබයා පොදු දේපළවලට හානි කළ බව චෝදනා කරමින් මුලින්ම 34 දෙනකු අත්අඩංගුවට ගත් අතර එයින් 24 දෙනෙකු ජනවාරි 30 වැනි දින දක්වා බන්ධනාගාර ගත ඇත. එයිනුත් නොනැවතී කොළඹින් ගිය පොලිස් කණ්ඩායමක් තවදුරටත් අත්අඩංගුවට ගැනීම සදහා උද්ඝෝෂකයන් සොයමින් සහ අත්අඩංගුවට ගනිමින් උසාවිය වෙත ඉදිරිපත් කරමින් සිටියි. මේ තත්ත්වය තුළ දැන් හම්බන්තොට තිබෙන්නේ නොසන්සුන් වටපිටාවකය.

එස්ටීඑෆ් ප්‍රහාරය සහ රනිල්ගේ ගමන
“වතුර ගහලා, ගෑස් ගහලා ඊළඟට එස්ටීඑෆ් එකෙන් 3000ක් විතර බැහැලා මිනිස්සුන්ට හොඳටම ගැහැව්වා. අම්බලන්තොට ඩිපෝ හංදියේ අක්කර 50 කියන ගමටම ගැහැව්වා. සමහර තැන්වල ගෙවල්වලටත් පැනලා ගහලා තියෙනවා. හාමුදුරුවරුන්ට පොඩි ළමයින්ට වයසක අම්මලාට මේ සේරටම ගැහැව්වා. අපේ ඉඩම් අපි ඒවා ආරක්ෂා කරගන්න පාරට බැස්සේ. අන්තිමට අපිට දැන් ගුටිකන්නත් වෙලා. සමහර වේලාවට මැරෙන්නත් වෙයි.”
මේ අම්බලන්තොට ඩිපෝ හන්දියේ අපේ මිත්‍රයෙකුගේ හඬය. ඔවුන් අද ඉන්නේ සෑහෙන්න බයකිනි. සංවර්ධනයට මේ කිසිකෙනෙක් විරුද්ධ නැත. එහෙත් ඔවුන් කියන්නේ මේ ගැන සත්‍ය කියන්න කියලාය. ආණ්ඩුව නොකියන්නෙත් ඒකමය.
මේ යුද්ධය තව තවත් දරුණු වීම ඊට කලින් දින (ජනවාරි 6) රනිල් වික්‍රමසිංහගේ හම්බන්තොට ගමනින් වැළකුණු බව අද හම්බන්තොට බොහෝ දෙනෙක් කියති. අගමැතිවරයා පසුගිය 6 වැනි සිකුරාදා රාත්‍රියේ අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා සංඝයා වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවේය. ඒ මේ ප්‍රශ්නය අරමුණු කරගෙනය. හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ඉදිරි අදියර සඳහා චීන සමාගම්වලට ලබාදෙන්නේ අක්කර 1235 ක් පමණක් බව එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ අතර ඉතිරි ඉඩම් සොයාගන්නා ආකාරය ඉදිරියේදී සාකච්ඡා කරන බවත් ඒ සාකච්ඡා සඳහා සඟරුවනට සහභාගි විය හැකි බවත් ප්‍රකාශ කළේය. මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ හම්බන්තොටින් ඉඩම් ලබා දෙන්නේ නැතිනම් මාතර, මොනරාගල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවලින් ඉඩම් ලබාගැනීමට කටයුතු කරන බවය. චමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ සංවිධානයෙන් පැවති මේ හමුවට පසුව බොහෝ ප්‍රමාණයක් සංඝයා වහන්සේ පසුදා උද්ඝෝෂණයේ සංවිධාන කටයුතුවලින් ඉවත්වී සිට ඇති අතර ඒ නිසාම විශාල විනාශයක් වැළකුණු බවද දැනගන්නට ඇත. මෙයින් පෙනෙන්නේ ආණ්ඩුවට නිසි සැලසුමක් සහ සංවර්ධනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් තිබෙන්නේ නම් මේ සංවර්ධන වැඩ අවුලක් නොමැතිව කරගන්නට පුළුවන් බවය. එහෙත් යහපාලන සමහර ඇමතිවරුන්ගේ උද්දච්ච හැසිරීම එම තත්ත්වයට බාධාවක් බව පෙනේ. අවසන් වශයෙන් කියන්නට ඇත්තේ සංවර්ධනයට නිසි දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් තුළින් ජනතාව එතුළට එකතු කරගත යුතු බවය. අනෙක් පැත්තෙන් මේ කෙරෙන සංවර්ධනය ජනතාව කබලෙන් ළිපට හෙළන සංවර්ධනයක් නොවිය යුතුය.■