රාවය

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (1)

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (1)

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යැයි කියන විට අවධාරණය විය යුත්තේ ‘අලුත්’ යන වචනයයි. එසේ නැතහොත් අප කිව යුත්තේ, ආණ්ඩුක්‍රම ‘සංශෝධන’ කියා ය. ගතවුණු අවුරුදු 38 ක කාලය තුළ එවැනි සංශෝධන 19 ක් අප ඇති කරගෙන තිබේ. එනම්, හැම දෑවුරුද්දක් ගානේම මේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ‘ටින්කරින්’ කොට පැලැස්තර අලවා ඇති බවයි. ඇමරිකානු ව්‍යවස්ථාව 27 වාරයක් සංශෝධනය කොට තිබේ. හැබැයි ඒ, අවුරුදු 227 ක කාලයක් තුළ ය. රටක ව්‍යවස්ථාවක් ගලක් සේ නොවෙනස් විය යුතු නැත. එසේම, පරඬැලක් මෙන් චපල විය යුතු ද නැත. සංශෝධනයක් හරහා, ව්‍යවස්ථාවක් ‘අලුත්’ වෙනවා මිස, ‘අලුත් ව්‍යවස්ථාවක්’ හැදෙන්නේ නැත. පරණ වාහනයක, රෝද, පැති කණ්ණාඩි, මඩ ආවරණය වැනි දේවල් අලුතෙන් දැමූ පමණින් හෝ අලුතෙන් වාහනය පාට කළ පමණින් එම වාහනය ‘අලුත්’ වාහනයක් නොවන්නා සේ ය.
කෙසේ වෙතත්, ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ගත් විට වැදගත් වන්නේ එය අලුත් එකක්ද නැත්ද යන්නට වඩා, එය රටක සහ සමාජයක සමකාලීන අවශ්‍යතාවන්ට ඔබින්නේද නැත්ද යන්නයි. අලුත් ව්‍යවස්ථාවක් වුවත් රටේ අවශතාවන්ට නොගැළපෙයි නම් සහ ප්‍රමාණවත් නොවෙයි නම්, ඒ ව්‍යවස්ථාවෙන් වැඩක් නැත.
එසේ නම්, ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවට අප ‘අලුත් ව්‍යවස්ථාවක්’ ගැන අවධාරණය කරන්නේ මන්ද යන ප්‍රශ්නය පැන නගී. ඉහත කී සාදෘශ්‍යයම ගතහොත්, වාහනයේ එන්ජිම ප්‍රමුඛ කරගත් සමස්ත සැකිල්ලේ සුසංයෝගය විකෘත වී ඇති බැවිනි. ඕනෑම රටක ව්‍යවස්ථාවක පදනම් ගලක් හෝ ගල් කිහිපයක් (මූලික යාන්ත්‍රණයක් හෝ අන්තර්-යාන්ත්‍රණයක්) තිබේ. සර්වජන ඡන්ද බලය මත පදනම් වන විධායක ජනාධිපති ක්‍රමය ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාවේ මූලික පදනම් ගලයි (එන්ජිමයි). ඊට සමගාමීව, සර්වජන ඡන්ද බලය මතම පදනම් වන පාර්ලිමේන්තු ක්‍රමයකුත්, ඊටත් අමතරව, සර්වජන ඡන්ද බලය මතම පදනම් වන පළාත් සභා සහ පළාත් පාලන ආයතන පද්ධතියකුත් (අන්තර්-යාන්ත්‍රණයන්) තිබේ. පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන වැනි ‘ද්විතීයික’ නියෝජන මණ්ඩලවලට කෙතරම් බලයක් බෙදා හැරෙන්නේද යන්න තීරණය වන්නේ, ‘මූලික විධායක ජනාධිපති’ ක්‍රමයේ මුල්ගල් සීමාවන්ට යටත්වයි. උදාහරණයක් වශයෙන්, පළාත් සභාවකට පැවරෙන බලතල, විධායක ජනාධිපතිගේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයා හරහා සීමා කෙරේ. තවත් උදාහරණයක් ගතහොත්, අවුරුදු පහක කාලයකට සර්වජන ඡන්ද බලයෙන් පත්වෙන පාර්ලිමේන්තුවක්, එවැනිම සර්වජන ඡන්දයකින් බලයට පත්වෙන විධායක ජනාධිපතිවරයාට අවුරුදු හතර හමාරක් අවසානයේදී විසුරුවා හැරිය හැකිය. ඉහත සඳහන් සර්වජන ඡන්ද තුන (ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා) අතර ඇති පැහැදිලි වෙනස නිරන්තරයෙන් කැරකෙන කක්ෂය, ‘විධායක ජනාධිපති’ ක්‍රමයයි. ඒ වනාහි, සර්වජන ‘සාමූහිකයට’ (පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට) ඉහළින් සර්වජන ‘පුද්ගලයා’ (ජනාධිපතිවරයා) බලගැන්වීමකි. ගත වූ දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ ‘ඒකාධිපති ප්‍රවණතාව’ වශයෙන් අප අඩුවැඩි වශයෙන් හඳුනාගත්තේ එම ලක්ෂණයයි.
කෙසේ වෙතත්, 2015 ජනවාරි 8 වැනි දා වන විට, පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව මේ රටේ ශක්තිමත් පොදු එකඟතාවක් තිබුණි. ආචාර්ය එන්.එම්. පෙරේරාගෙන් (1978) පටන්ගෙන, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් (2016) දක්වා විටින් විට ඒ ඒකමතිකත්වය සමාජගත විය. අනුමත විය. කෙසේ වෙතත් එම පොදු එකඟතාව අද විසිරී යමින් සහ හැඩි වෙමින් ඇති සෙයක් පෙනේ. මේ දියාරුවේ මුහුණුවර විවිධාකාර ය. පසුගිය දා (16) මා සහභාගී වූ රූපවාහිනී සංවාදයක දී අදහස් දැක්වූ, එදා මාදුළුවාවේ සෝභිත හිමියන් සමග සිටි එක් ස්වාමීන් වහන්සේ නමකට අනුව, මේ වෙලාවේ ‘දඩිබිඩියේ’ අලුත් ව්‍යවස්ථාවක් කරලියට ගැනීම, දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව දැනට දියත් වෙමින් ඇතැයි කියන ව්‍යාපාරය යටපත් කිරීමේ කූට වෑයමක්ලු. දූෂණ විරෝධය සහ අලුත් ව්‍යවස්ථාවක් පනවා ගැනීමේ අවශ්‍යතාව අතර ඇති සහසම්බන්ධය කුමක්දැ යි වටහා ගැනීමට මුලදී මට නුපුළුවන් විය. එහෙත් ඊළඟ මොහොතේ උන්වහන්සේ, මහ බැංකු බැඳුම්කර වංචාව යට ගැසීමට මොන විදිහකින්වත් තමන් ඉඩ නොදෙන බව කියන විට මට ඒ කාරණා දෙක අතර ඇති සහසම්බන්ධය හසු විය.
අලුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමට ඇති පැකිලීම පසුපස ඇති රනිල්-විරෝධය එළියට පැන්නේ එලෙසිනි. එය, අලුත් ව්‍යවස්ථා-විරෝධය අස්සේ පවතින ව්‍යවස්ථාමය නොවන පුද්ගල විරෝධතාවන්ගෙන් එකකි. තවත් එවැනි පුද්ගල-කේන්ද්‍රීය විරෝධතාවන් ගණනාවක් තිබේ. (ඒවා මතුවට සාකච්ඡා කෙරෙනු ඇත). මීට පෙර විවිධ තැන්වලදී, ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ මාතෘකාවට අදාළව රනිල්-විරෝධය වෙනත් ආකාරයන්ගෙන් ද ප්‍රකාශයට පත්ව තිබේ. බලගතු විධායක ජනාධිපතිවරයෙකු වෙනුවට, ‘බලගතු විධායක අගමැතිවරයෙකු’ පත්කර ගැනීම යනු රනිල් රජ කැරැවීමකැයි ඔවුහු කියති. රනිල් වික්‍රමසිංහ යනු ඉබ්බෙකු හෝ කැස්බෑවෙකු නම්, මේ පුද්ගල කෝන්තරය භාර ගැනීමට බැරිකමක් නැත. එහෙත් එවැනි චිරාත් කාලයක් රනිල් තියා දෙවි කෙනෙකුවත් ජීවත් නොවන නිසා, රනිල් වැනි අස්ථිර ජීවියෙකුගේ ආයු කාලයේ බරට, රටක ව්‍යවස්ථාවක ආයු කාලය සහ අවශ්‍යතාව නතු කිරීම ‘ව්‍යවස්ථා-විරෝධී’ ය.
කෙසේ වෙතත්, ඉහත කී ස්වාමීන් වහන්සේගේ අලුත් ව්‍යවස්ථා-විරෝධය උසිගන්වන මතුපිට තලය (එහි යටි තලය ගැන පසුවට) සලකා බැලීම යෙහෙකි. අලුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමට වෙහෙසීම පසුපස දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම යට ගැසීමේ ආයාසයක් ඇතැයි යන ‘තර්කය’ සලකා බලමු. යහපාලන ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර දෙකක කාලය තුළ ඔය කියන දූෂිතයන් හෝ අපරාධකරුවන් එකෙකු හෝ හිරේට නොගියේ, අලුත් ව්‍යවස්ථාවක් සඳහා තිබූ උද්ඝෝෂණයක් නිසාද, නැතහොත් එම දූෂණ සහ අපරාධවල කොටස්කරුවන් මේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වූ නිසාද යන්න මුළු රටම දනිති. අලුත් ව්‍යවස්ථාවක් සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය කාර්ය පරිපාටිය පටන්ගෙන දැන් වසරකට ආසන්නයි. වෙන කිසි දවසක නොතිබූ ආකාරයෙන් මෙවර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතා අදහස් උදහස් විමසීමක් ද කෙරුණි. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් වශයෙන් රැස්වීම, පාර්ලිමේන්තු නියාමන කමිටුවක් පත්කර ගැනීම, අනුකමිටු හයක් පත්කොට ඒවායේ වාර්තා ලබා ගැනීම ආදි, අලුත් ව්‍යවස්ථා වෑයමට සම්බන්ධ පාර්ලිමේන්තු පරිපාටියට කලින්, තව වසරක පමණ නෑඹුල් යහපාලන කාලයක් මේ ආණ්ඩුවට තිබුණි. ඒ කාලයේ පවා, දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කිරීමේ ඈලිමෑලිය අපි ඕනෑවටත් වඩා දැක්කෙමු. එනිසා, අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ උද්‍යෝගය විසින් දූෂණ-විරෝධය යටපත් කරතැයි කීම, එක්කෝ බොළඳ විරෝධයක් නැතහොත් වෙනත් යටි සැලසුමක් බව, බැලූ බැල්මටම පෙනේ.
ඊටත් වඩා, දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සහ දඬුවම් පැමිණවීම කළ යුතුව ඇත්තේ, පොලීසිය සහ අධිකරණය ඇතුළු ආයතන පද්ධතිය මගින් බව අපේ හැඟීමයි. අනිත් අතට, අලුත් ව්‍යවස්ථාව ගෙන එන්නේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව තුළින් බව ද අපේ විශ්වාසයයි. යම් හෙයකින් ඉහත ‘තර්කයෙන්’ ඒ ස්වාමීන් වහන්සේ අවධාරණය කිරීමට අපේක්ෂා කෙළේ, දූෂිතයන් ඇල්ලීමට ඇති කාලය අලුත් ව්‍යවස්ථාවක් සඳහා ‘නාස්ති’ කිරීමක් ගැන නම්, එයින් ගම්‍ය වන්නේ, දූෂිතයන් ඇල්ලීමට පොලීසියේ සහ අධිකරණයේ නොව, පාර්ලිමේන්තුවේ මැදිහත් වීමක් අවශ්‍ය බවකි. එනම්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථකව ඇති බවකි. පොලීසියේ සහ අධිකරණයේ රාජකාරිය කිරීමට, ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ කාලයත් අවශ්‍ය යැයි කියන්නේ එබැවිනි. අප කියන්නේ ඉඳුරා එහි විලෝමයයි. එනම්, දූෂිතයන් සහ අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට මේ දක්වා නොහැකි වී ඇත්තේම, ඔය කියන ව්‍යවස්ථාදායකය සහ විධායකය, පොලීසිය සහ අධිකරණයට කරන ලද ඇඟිලි ගැසීම් නිසාම වන බවයි. එසේ හෙයින් දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා යුක්තිය ඉෂ්ට කරන්නැයි දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටීම පසුපස ඇත්තෙන්ම තිබිය යුත්තේ, නීතියට සහ අධිකරණයට ඇඟිලි ගැසීමෙන් වැළකී, රටේ ව්‍යවස්ථා සම්පාදනය ඇතුළු රාජ්‍ය පාලනයට යොමු වන ලෙස දේශපාලනඥයන්ගෙන් කරන ඉල්ලීමකි.
උන්වහන්සේ පාවිච්චි කළ ‘දඩිබිඩියේ’ යන විශේෂණය ඊටත් වඩා බොල් ය. ලංකාවට වඩාත් ගැළපෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් යැයි එදා විශ්වාස කළ දේශපාලනඥයන් (එක්සත් ජාතික පක්ෂය) එම ක්‍රමය පාවිච්චියට ගත්තේ වසර 16ක් පමණි. එනම්, 1978 සිට 1994 දක්වා ය. එහෙත් 1978 සිට අද දක්වාමත් එම ක්‍රමයට තඩිබාන දේශපාලඥයන් එම ක්‍රමය අවුරුදු 22ක් තිස්සේ, එනම් 1994 සිට කෑදර කමින් රසබලා රැකගෙන විත් ඇත. (චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 2000 දී එය වෙනස් කිරීමේ යම් ප්‍රයත්නයක් ගත්තාය). 1994 සිට මේ දක්වා මෙම ප්‍රතිඥාව දුන් ජනාධිපති අපේක්ෂකයන් 5 වතාවක්ම (1994, 1999, 2005, 2010, 2015) මේ රටේ ජනතාව බලයට පත්කරගෙන තිබීමෙන් පෙනී යන්නේ, රටේ ජනතාව එම ක්‍රමය අහෝසි කිරීමේ අනුමැතිය දීර්ඝ කාලයක් තිස්සේ ඕනෑවටත් වඩා පාලකයන්ට ලබා දී ඇති බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාවෙන් තොරව මේ කියන කාලය තුළ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂයි. ඒ 2015 ජනවාරියේ දී ය. එහිදී ඔහුට අත්වූ ඉරණම කවුරුත් දනිති. එහිදීත් ඔප්පු කෙරුණේ, විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කර ගැනීම රටේ බහුතරයක් ජනතාව නොඉවසන බවයි. ඉතිං, අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ ‘දඩිබිඩිය’ මොන තරම් දීර්ඝ සහ මොන තරම් සරුසාර එකක් වී ඇත්ද යන්න මැනැවින් පෙනේ. (ඉතිරිය ඉදිරියට)■