රාවය

මේ ගමම හඬයි

මේ ගමම හඬයි

නිමල් අබේසිංහ

ගල්ගමුව මාතලේ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් දිළිඳුතම ජනතාවක් වෙසෙන බලප්‍රදේශයක් ලෙස සැලකිය හැක්කකි. ජනගහනය 33,363ක් වන අතර මුළු පවුල් සංඛ්‍යාව 9,734කි. 2016 මැයි 31 වන විට සමස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වාර්තා වූ වකුගඩු රෝගීන් ප්‍රමාණය 752ක් වන අතර මියගිය සංඛ්‍යාව 138කි. ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් බැලූවිට වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වෙසෙන්නේ නාමිණිගම හා දේවගිරිය ග්‍රාම නිලධාරි වසම්වලය. මැයි මාසය වන විට නාමිණිගම වසමෙන් වකුගඩු රෝගීන් පනස්දෙනකු වාර්තා වී ඇති අතර අප එම වසමට ගිය පසුගිය ජනවාරි 1 දිනය වනවිට වකුගඩු රෝගීන් සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් තිබෙන බව දැනගන්නට හැකි විය. දේවගිරිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඉහත දිනය වන විට වකුගඩු රෝගීන් 47ක් වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව නිශ්චය කරගත හැකිවූයේ අප දේවගිරියට ගිය විට පවතින සංඛ්‍යාලේඛනවලට අයත් නොවන තවත් රෝගීන් දෙදෙනෙකු මුණගැසුණ බැවිණි.

පළමුවැනි රෝගියා
නාමිණිගම පදිංචි කේ.එම්. සිරිවර්ධන වකුගඩු රෝගයෙන් පෙළෙන්නෙකි.
“එක් දහස් නමසිය පනස් තුනේදී තමයි අපි නාමිණිගමට ආවේ. ඒ මිණිපේ වාරියෝජනා ක්‍රමය යටතේ නාමිණිගමටත් වාරි ජලය ලැබීම නිසා. ඒ කාලේ වකුගඩු රෝගය තිබුණාද කියන්න දන්නේ නැහැ. හැබැයි දෙදහස් හතර අවුරුද්දේදී තමා මේ වාගේ රෝගයක් තිබෙන බව අපි දැනගත්තේ.”
මේ අය පවසන විදියට වකුගඩු රෝගයෙන් මියගිය පළමුවැන්නා ජයසිංහ බණ්ඩා නමැත්තෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු මියගිය බැවින් නිශ්චිත ලෙසම වකුගඩු රෝගයෙන් මියගිය වග තහවුරු කරගෙන තිබූ බවද මේ අය පවසති.
උණ, හන්දිපත් රුදාව, හන්දි ඉදිමීම, ආහාර අරුචිය රෝගයේ මූලික ලක්‍ෂණ වන බව පවසන මොවුහු වකුගඩු රෝගය හඳුනාගන්නට කලින්ද මෙවැනි රෝග ලක්‍ෂණ සහිතව රෝගි වූ පිරිස් මියගිය බවත් එය පාණ්ඩු රෝගය ලෙස හැඳින්වූ බවත් කියති.
“අපිට කුඹුරු වැඩ මිසක වෙන වැඩක් නෑ. ඒ නිසා මොන අමාරුව තිබුණත් අපිට බඩවියත රැකගන්න කුඹුරු වැඩ කරන්න සිද්ධවෙනවා.” රෝගියකු වූ ධර්මසේන කියයි. රන්බණ්ඩා, නවරත්න, මුදියන්සේ, පියදාස යන පිරිසද රෝගයට ගොදුරුවූවෝය. සියල්ලෝම ගොවියෝය. වසර ගණනාවක සිට රෝගයෙන් පීඩා විඳින මුත් ඔවුන් තුළින් දැකගන්නට හැකි විශේෂත්වය වූයේ රෝගය නිසා කනස්සල්ලට පත්ව නැති බවකි. ‘එහෙම හිටියොත් අපි බඩගින්නේම මැරිලා යාවි’ ඔවුහු කියති.
මෙම ප්‍රදේශවල ළිංවල ජලයෙහි තත්ත්වය පිළිබඳ පරීක්‍ෂාවක් කර ඇත්ද යන්න විමසූ විට ඔවුන් කීවේ, “වතුර නම් අරන් ගියා තමා. ඒවට මොකද වුණේ කියලා නම් දන්නේ නැහැ. කීවේ වතුර හොඳ නැත්නම් ලියුම් එවනවා කියලායි. තවම නම් ලියුම් ඇවිත් නැහැ.” ඒ සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ට සලකන විදියයි.

සමාජ ආර්ථික ගැටලු
දේවගිරිය වසමද වකුගඩු රෝගයට බහුලව ගොදුරුවූවන් සිටින ප්‍රදේශයකි. එම්.ජී. නන්දාවතී හා පී.ජී. ලීලාවතී ද රෝගයට ගොදුරුවූවෝය. මේ දෙදෙනාගේම ස්වාමි පුරුෂයන්ද වකුගඩු රෝගයට ගොදුරුවූවන් වන අතර නන්දාවතීගේ ස්වාමියා රෝගයට ගොදුරුව මියගොස් වසරක් පමණය.
“අපි දෙන්නාටම ලෙඬේ හැදිලා වැඩක්පොළක් කරගන්නත් අමාරුයි. කුඹුරු වැඩ කරන එක පහසු දෙයක් නෙවෙයි. ජීවත්වෙන එක තමයි දැන් අපට තියෙන ප්‍රශ්නය.” ලීලාවතී කියයි. ඔවුනට වයස අවුරුදු දොළහ, නමය හා පහ වයසේ දරුවන් තිදෙනෙකි. තිදෙනාම පාසල් යන්නන්ය. ලෙඩදුක් ඇතැයි කියමින් දරුවනගේ කටයුතු අතපසු කළ නොහැක. එහෙත් ඒවාට විසඳුම් ඔවුන්ගේ පෙනෙන තෙක් මානයේවත් නැත්තේය. රුපියල් තුන්දහසක දීමනාවක් වකුගඩු රෝගීන්ට ලබාදුන්නත් ඒ තුන්දහස ඔවුන්ගේ බේත්හේත් ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. අනෙක් අතින් මේ රෝගීන් සියලු දෙනාටම තුන්දහසේ ආධාරය නොලැබේ.

රහසක්
විල්ගමුවේදී කළ සංචාරයේදී වකුගඩු රෝගීන් වාර්තා නොවන හා රෝගීන් ඉතා අඩු සංඛ්‍යාවක් සිටින, ග්‍රාමනිලධාරි වසම්ද තිබෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල තොරතුරුවලින් අනාවරණය වෙයි.
ඒ අනුව උඩුවෙල්වල හා ගොඩඋල්පත ග්‍රාම නිලධාරි වසම්වලින් රෝගීන් වාර්තාවී නැත. එසේම හිඹිලියාකඩ වසමෙන් වාර්තාවන්නේ එක් රෝගියෙකු පමණකි. සුළුගුණේ ග්‍රාමනිලධාරි වසමෙන්ද වාර්තාවන්නේ එක් රෝගියෙකි. මෙහි රහසක් තිබිය යුතුය. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ ග්‍රාමනිලධාරි වසම් පිහිටා ඇත්තේ කඳු ආශ්‍රිතව නිසාවෙන් ඒවායේ ජලය කිවුල් ජලය නොවන බවයි. අනෙක් සියලුම ප්‍රදේශ ගොවිබිම් සහිත තැනිතලා ප්‍රදේශයන්ය. මේ ප්‍රදේශවල ඇති ළිංවල ජලය අධික කිවුලෙන් යුතු බව පැවසෙයි. අනෙක් විශේෂ කාරණය වන්නේ විල්ගමුව ග්‍රාම නිලධාරි වසමෙන් වකුගඩු රෝගීන් දහතුන් දෙනකු වාර්තා වුවත් එම රෝගීන් විල්ගමුව නගරයෙන් පරිබාහිරව වීමයි. එමෙන්ම ගොවිතැන් නොකරන රජයේ සේවයේ යෙදෙන්නන්ද වකුගඩු රෝගයට ගොදුරුවී ඇති බවක් වාර්තා නොවේ. රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතාව වකුගඩු රෝගයට සෘජුව බලපාන බවක් මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කර නැතත් විල්ගමුවේ වකුගඩු රෝගීන් ආශ්‍රිතව මතුවෙන ඉහත සාධක කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය යොමුකිරීම වැදගත් වන බවක් අමුතුවෙන් කිවයුතු නොවේ.

කොරේ පිටට මරේ
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පොදුවේ ගතහොත් එය පිහිටා ඇත්තේ වනාන්තරවලින් වටවය. වස්ගමුව වනාන්තරය හා නකල්ස් වනාන්තරය මින් ප්‍රධානය. මේ වනාන්තරවල වල් අලි සුලබව වෙසෙති. ඒ නිසා විල්ගමුව යනු ජනපද ව්‍යාපාරය ආරම්භ කළ අවධියේ සිටම වල් අලි තර්ජනයට ගොදුරු බිමක්ය. දැනට ඉදිවෙමින් පවතින මොරගහකන්ද සහ කළුගඟ ජලාශ හේතුවෙන් වල් අලි වෙසෙන විශාල භූමි ප්‍රමාණයක් ජලයෙන් යටවෙන බවත් කිවයුතුම වේ.
වකුගඩු රෝග තර්ජනය එල්ලවුණු මේ විල්ගමුවේ ප්‍රජාවට වල් අලි තර්ජනයද නොඅඩුවම විඳගන්නට සිදුවෙයි. සැමදා වල් අලි ගම්වැදී ඔවුනගේ බවබෝග පමණක් නොව නිවෙස් පවා විනාශ කරති. සතියකට පමණ ඉහතදී වල් අලියෙකු කඩාවැදී විනාශ කළ නිවෙසක් දැකගන්නට හැකිවිය. ඒ විල්ගමුවේ පිදුරුවැල්ල ගමේදීය. ගෙහිමියා කේ.ජී. නිමල් කරුණාතිලකය.
“දවස දෙසැම්බර් විසිතුන්වෙනිදා රෑ එකොළහයි හතලිස් පහට විතර ඇති. මම ටීවී බලලා නිදාගන්න ගියා විතරයි. එකපාරටම දඩස්ගාලා සද්දයක් ඇහුණා. මම ඇඳෙන් නැගිටලා ලයිට් දාලා බලනකොට ජනේලේ ගේ ඇතුළට පෙරළලා. මම කෑගහන කොට අල්ලපු කාමරේට ගැහැව්වා. ඒකේ වී මිටි දහයක් තිබුණා. වී මිටි දෙකක් අලියා කෑවා. ඉතිරි වී මිටි සුන්බුන්වලට යටවෙලා විනාශ වුණා. කොච්චර කෑගැහැව්වත් අලි ගියේ නැහැ. තනි අලියානේ. ඌ ලේසියෙන් යන්නේත් නෑ. පස්සේ එළියට ඇවිත් කෑගහන කොට ගමේ අය ඇවිත් කෑගහලා ගල් ගහලා තමා එළෙව්වේ. අලි වෙඩිවලටත් ගල්හැහැව්වාට වත් අලි බය නෑ. පැය එකහමාරකට වැඩිය ඌ යන්නේ නැතිව හිටියා. ”

අලිවෙඩි හා අලිවැට
අලි තර්ජනයට මුහුණ දෙන ප්‍රදේශවල පදිංචිකරුවනට වනජීවි දෙපාර්තමේන්තුවෙන් අලිවෙඩි ලබාදෙයි. ඒ මාසයකට අලිවෙඩි දෙක ගණනේය. සමහර විටෙක එයද ලැබෙන්නේ වල් අලියකු පැමිණ නිවෙසක් විනාශකළ පසුය. මසකට මුළු විල්ගමුවටම ලැබෙන්නේ අලිවෙඩි හයසීයක් පමණක් බවත් ඒ නිසා එයට වැඩි ප්‍රමාණයක් ලබාදීම නොහැකි බවත් විල්ගමුව අඩවි වනසත්වාරක්‍ෂක එම්. එම් ගැමුණු කුමාර කියයි.
කෙසේ වුවත් අලිවෙඩිවලට දැන් දැන් අලි බිය නැති බවත් අලිවෙඩිල්ල අලියා අසලට දැමු පසු ඌ එය පයින් පාගා නිෂ්ක්‍රිය කරන බවත් ගම්මු කියති. මෙය වලක්වා ගැනීම සඳහා දැන් ගම්මු උපක්‍රමයක් භාවිත කරති. ඒ පැට්‍රල් පිරවූ කුඩා වීදුරු කුප්පියක් අලිවෙඩිල්ලට බැඳතැබීමයි. එවිට අලිවෙඩිල්ල දැල්වුණ විගස පැට්‍රල්වලට ගිනිගෙන ගිනි ජාලාවක් මැවෙන අතර එයට අලියා බියවෙයි. මෙහි අතිශය බිහිසුණුකමක් ඇත්තේය. ඒ අලිවෙඩිල්ල අතටගෙන ගිනි තබද්දී පැට්‍රල්වලට ගිනි ඇවිළුණුහොත් කුප්පියද පුපුරා එය දල්වන්නා බිහිසුණු අනතුරකට ලක්වීමයි. අලින් එළවීම සඳහා මෙය සාර්ථක උපක්‍රමයක් වුවත් මරණයද කැඳවිය හැක්කකි. නීති විරෝධී ක්‍රියාවක්ද විය හැකිය. එසේ වුවත් තම ජීවිත හා දේපොළ රැකගැනීමට ඔවුහු මෙවැනි දෑ කරති. දොසක් කියන්නට නොහැක්කේ ඔවුන්ට විසඳුම් දෙන්නට අප අසමත් වන බැවින්ය.

විදුලියට බිය නැති අලි
තිබෙන තොරතුරු අනුව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදිකර තිබේ. විදුලි වැටක් තිබේ නම් අලි ගම්වදින්නේ කෙසේද නිතැතින්ම පැනනගින ප්‍රශ්නයයි. වල් අලියා විදුලිවැටද කඩාගෙන ගම් වැදීමට සමත්ය. ඔවුහුද මිනිසුන් මෙන්ම ඒ සඳහා උපක්‍රම දනිති. එසේ විදුලිවැට කඩා දමා අලි ගම්වැදුණ තැන්ද දැකගන්නට අපගේ සංචාරයේදී හැකිවිය. කඩාදැමූ විදුලිවැට නැවත ඉදිකරමින් සිටි සිවිල් ආරක්‍ෂක භටයා පැවසුවේ “දැන් ඉන්න අලි කරන්ට් වැඩ දන්නවා. විදුලිය නොවැදී විදුලි වැට බිම දමන්නත් උන්ට පුළුවන්” යනුවෙන්ය.
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එක් පැත්තකින් මායිම් වන්නේ මහවැලි ගඟය. ගඟෙන් එපිට ඇත්තේ වස්ගමුව වනාන්තරයයි. දැවැන්ත ගං ඉවුරෙන්ද බැස ගඟ තරණය කරමින් ගම් වදින්නටද අලි සමත්ය. හිතාගන්නටවත් නොහැකි ස්ථානවලින් අලින් ගඟට බැස මෙගොඩට ආ ස්ථාන අපට අනන්තවත් දැකගත හැකි විය.
නිලධාරීන් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබතත් ඔවුන් ජනතාවට පෙරලා සේවය කරන්නේ කෙසේදැයි හොඳින්ම පැහැදිලි වූයේ 2017 ජනවාරි දෙවනි දින විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වී නිරීක්‍ෂණයේ යෙදුන විටදීය. මෙම රැස්වීමට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා තබා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයකුවත් සහභාගී වී නොසිටියේය. වකුගඩු රෝගය පිළිබඳ සාකච්ඡාව සිදුවුණේ ඔවුන්ගේ සහභාගිත්වයේ තොරවය. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාද ඔහේ කරන්නන් වාලේ සේවය කරන්නෙකි. වකුගඩු රෝගීන් පිළිබඳ සංඛ්‍යාලේඛන ඔහුගෙන් අප ඉල්ලා සිටි විට ඔහු ඒවා ලබාදීම ප්‍රතික්‍ෂේප කළේය. මෙවැනි ප්‍රදේශවලට වෛද්‍යවරුන් පැමිණීම මගහරින හෙයින් මෙවැන්නෙකුගෙන් ලැබෙන්නේ අවම සේවයක් වුවත් ඔහුට එරෙහිව ක්‍රියාකරන්නට බලධාරීහු ද නොපෙලඹෙති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම දරුවන්ට පාසල් ලබාගැනීමට උද්ඝෝෂණ ව්‍යාපාරවලට යොමුවෙතත් මෙවැනි ප්‍රදේශවලට සේවයට නොයන වෛද්‍යවරුන් ගැන ක්‍රියාමාර්ගයක් ගන්නට උත්සුක නොවන්නේ ඔවුන් මහජන සේවකයන් නොවන නිසා විය යුතුය.
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එන්. දිනිප්‍රිය සංඛ්‍යාලේඛන ලබාදීමෙන් පමණක් නොව තොරතුරු ලබාදීමෙන්ද අපට සහාය දැක්වීය.
“වකුගඩු රෝගය නගරයේ අයට වැළඳී නෑ. සියයට සීයක්ම රෝගය වැළඳී ඇත්තේ කුඹුරු ගොවිතැන් කරන අයටයි. විල්ගමුවේ අක්කර හත්දාහක විතර වී ගොවිතැනුත් කරනවා. මට හිතෙන්නේ පානීය ජලයේ ප්‍රශ්නයක් තියනවා. ළිංවතුර පාවිච්චි කරන්න බැහැ. කිවුල වැඩියි.”
‘මේ වනවිට බවුසර් මගින් අපි ජලය බෙදාහරිනවා. ජලසම්පාදන මණ්ඩලය කළ යුතු වැඩක්. ඒත් අපි තමා මැදිහත්වෙලා කරන්නේ. වකුගඩු රෝගයත් එක්කම ආර්ථික සමාජමය ප්‍රශ්නත් මතුවෙලා තිබෙනවා. මේ වගේ අයට බර වැඩ කරන්න බැහැ. රස්සාව කරන්නත් බැහැ. ළමයි පාසල් යනවා නම් ඒ අයගේ කටයුතු කරගන්න විදියක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් උපකාර කිරීමට සංවිධානයක් පිහිටුවලා තිබෙනවා. අපි නාට්‍යයක් පෙන්නලා මේ වෙනකොට රුපියල් ලක්‍ෂ හයක අරමුදලක් එකතුකරගෙනත් තියෙනවා. විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මෙතැනදී අපට බොහොම උදව් කළා.”
සොබාදහම සමඟ අනුගතවීමෙන් සොබා දහමෙන් සිදුවෙන හානි අවම කරගැනීමට හැකිය. වල් අලි උවදුරේදී ද මෙය සමපාත කරගත හැකිය. ප්‍රාදේශීය ලේකම්වරයා ඒ සඳහා යෝජනා කරන්නේ ජීව වැටක් ඉදිකිරීමෙන් විපුල ප්‍රයෝජන ලබාගත හැකි බවයි. ඔහුගේ මැදිහත්වීමෙන් විදුලි අලිවැටට සමාන්තරව දෙහි ගස් සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත්තේ එහෙයිනි. එසේ සිටවූ දෙහි පැල ඇතැම් තැන්හි මැරී ගොස් ඇතත් ඇතැම් ස්ථානයන්හි හොඳින් වැඩී තිබේ. දෙහිගස්වල කටුවලට අලි බියය. සාර්ථකව ක්‍රියාත්මක කළහොත් එය වන අලි තර්ජනයට හොඳ විසඳුමක් වනු ඇත.■