Untitled-1

Untitled-1

වන්දනා මානසිකත්වයෙන් ඔබ්බට යා යුතු සංවර්ධන මාධ්‍යකරණය


nalaka

පුරාණ ලංකාවේ වාරි සභ්‍යත්වයේ තිරසාර බව ගැන ගිය සතියේ මා ලියූ ලිපියට ලැබුණු එක් ප්‍රතිචාරයක් වූයේ: “මේ මොහොතේ අපේ රටේ හැදෙන ලොකුම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ගැන වචනයක්වත් කථා නොකර අතීතකාමයෙහි ගැලී සිටින්නේ ඇයි?”
මා කිසිසේත්ම අතීතකාමයේ කොටු වූවකු නොවෙයි. මගේ ලිපියට පැහැදිළි නිමිත්තක් තිබුණා. එනම් පසුගියදා වියෝ වූ ශ්‍රේෂ්ඨ ලාංකික ආචාර්ය සී. ජී. වීරමන්ත්‍රීගේ මෙරටට අදාළ විග්‍රහයක් පාඨකයන් සමග බෙදා ගැනීමයි.
එහෙත් මොරගහකන්ද ගැන ඇති තරම් මාධ්‍ය අවධානයක් හෝ ආවරණයක් නොලැබෙතැයි යන්න අසන්නට ලැබුණේත් පසුගිය දින කිහිපයේයි. මෙය තව ටිකක් විමසා බැලීම වටිනවා.
2007 ඉදි කිරීම ඇරැඹුණු මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතිය, මහවැලි ගංගා සංවර්ධනය ව්‍යායාමයේ අවසන් දැවැන්ත ව්‍යාපෘතියයි. එය කලක් නොසළකා හරිනු ලැබ, පසුවද සීමිත ප්‍රමුඛතාවකින් දියත් කළ ව්‍යාපෘතියක් බව වත්මන් ජනාධිපතිවරයා නොයෙක් විට කියා තිබෙනවා. මෙහි දේශපාලනය කුමක් වෙනත්, මාධ්‍ය ආවරණය ගැන යමක් විමසීම මගේ අරමුණයි.
මොරගහකන්ද ව්‍යාපෘතිය ගැන ඇති තරම් මාධ්‍ය ආවරණයක් නොලැබී ඇතැයි ජනාධිපතිවරයා හා රජය කියන්නේ කුමන නිර්නායක මත පදනම් වී දැයි පැහැදිලි නැහැ. හොඳ වැඩක් අවංකව කළොත් එය අගය කරන මාධ්‍ය මෙන්ම ජන සමාජයක් අපේ රටේ තවමත් තිබෙනවා. කල් ගත වී හෝ ඒ සිහිකිරීම සිදුවනවා. (මහපොල ආරම්භක ලලිත් ඇතුලත්මුදලිට මෙරට බොහෝ දෙනකු තුළ ඇත්තේ ගරුත්වයක්.)
සංවර්ධනය ව්‍යාපෘති රටට අවශ්‍යයි. ගොවිතැනට වාරි ජලයත්, සමස්ත රටට ජල විදුලියත් සම්පාදනය කරන මොරගහකන්ද – කළු ගඟ වැනි ව්‍යාපෘතිවලින් ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. අදාල ප්‍රදේශවල යටිතල පහසුකම්ද දියුණු වනවා.
මහා පරිමාණ සංවර්ධන යෝජනාක්‍රම/ව්‍යාපෘති ආවරණය කිරීමේදී මාධ්‍යවල කාර්ය භාරය ගැන කලක් තිස්සේ ලෝක මට්ටමින් හා මෙරට සංවාදයක් පවතිනවා.
රජය කරන හැම දෙයක්ම වර්ණනාත්මකව, වන්දනාත්මකව වාර්තා කිරීම එක් ප්‍රවේශයක්. සංවර්ධනයේ ප්‍රතිලාභ මෙන්ම අහිතකර බලපෑම් ගැනද අවධානය යොමු කරමින් විචාරශීලීව හා තුලනාත්මකව වාර්තා කිරීම අනෙක් ප්‍රවේශයයි.
මෙයින් දෙවැන්න දේශපාලකයන්ට දිරවා ගැනීම අපහසු විය හැකි නමුත්, රටට හා සමාජයට වඩාත් ඵලදායකයි.
සංවර්ධන මාධ්‍යකරණය හෙවත් Development Journalism 1960 දශකයේ මතුව ආයේ මෙම උදාර අරමුණින්. එය මුල් යුගයේ ආසියාවේත්, වෙනත් දියුණුවන රටවලත් ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමියකු වූයේ මෙරටින් බිහි වූ කීර්තිමත් පත්‍ර කලාවේදී හා කතුවර ටාසි විට්ටච්චි (1921-1993).
ටාසිගේ දැක්ම වූයේ සිරස්තලවලට පාදක වන සිදුවීම්වලින් ඔබ්බට ගොස්, ඒවාට තුඩු දෙන ප්‍රවනතා හඳුනා ගැනීමත්, සාමාන්‍ය ජනයාට සංවර්ධනයෙන් ලැබෙන ධන හා ඝෘන බලපෑම් නිර්ව්‍යාජව විග්‍රහ කිරීමත් සංවර්ධන මාධ්‍යකරණය බවයි.
අවාසනාවට මේ හොඳ අරමුණු පසු කාලීනව විකෘතියකට ලක් වුණා. සංවර්ධනයේ නාමයෙන් රජයන් කරන ඕනෑම දෙයක් වර්ණනා කිරීම හා ප්‍රශස්ති ගැයීම බවට සංවර්ධන මාධ්‍යකරණය පත් වුණා.
“සංවර්ධන මාධ්‍යකරණය සමහර රටවල රාජ්‍ය මාධ්‍ය පටුව නිර්වචනය කළේ රජයන් විසින් කරන හොඳ දේ පමණක් ඉහළින් වාර්තා කොට, සිදු කරන වැරදි හා අහිතකර ප්‍රතිඵල නොදුටුවා සේ සිටීමේ වන්දිභට්ට මාධ්‍යකරණයක් හැටියටයි. මේ නිසා මාධ්‍යකරණයේ මුල් අරමුණු අමතකව ගියා. අලස මාධ්‍යකරුවන් සංවර්ධන වාර්තාකරණය නම් ලේබලයට මුවා වී නිරස හා ප්‍රචාරාත්මක මාධ්‍යකරණයක නියැලීමට පටන් ගත්තා” යයි 1980 දශකය අගදී ටාසි කණගාටුවෙන් ප්‍රකාශ කළා.
එහෙත් මෙකී රැල්ලට හසු නොවූ මාධ්‍යවේදීන් කිහිප දෙනකු අපේ රටේත්, වෙනත් රටවලත් දිගටම සිය සමාජ මෙහෙවර ඉටු කළා.
ගෝලීය ආර්ථික කැළඹිලි, දේශගුණ විපර්යාසවල බලපැම් වැනි ප්‍රබල ප්‍රවාහයන් මැද සංවර්ධන ක්‍රියාවන්හි යෙදෙන රජයන්ට අවශ්‍ය සැබෑ මිතුරන් වන්නේ විචාරශීලී, තුලනාත්මක මාධ්‍යවේදීන්ම තමයි.
මාධ්‍යකරණයේ එක් මූලික ලක්‍ෂණයක් විය යුත්තේ (කියන්නා කෙසේ කීවත්) හැම දෙයක්ම ප්‍රශ්න කිරීමයි. මාධ්‍යවේදියා සංශයවාදී (skeptical) විය යුතුයි. රජයකට හෝ වෙනත් කිසිදු ආයතනයකට මහජන සම්බන්ධතා නැතහොත් ප්‍රචාරණ කටයුතු කිරීම මාධ්‍යවල කාර්ය භාරය නොවෙයි.
ඇත්තටම මාධ්‍යවලට මොරගහකන්ද නොපෙනේද? රජය මේ ව්‍යාපෘතිය ගැන ඇති තරම් තොරතුරු මහජනයා සමග බෙදා ගෙන තිබේද? මෙය විවාදාත්මකයි.
රටේ ජනගහනයෙන් තුනෙන් එකක් දැන් භාවිත කරන ඉන්ටර්නෙට් තුළ මේ ගැන තොරතුරු ඉතා සීමිතයි. දේශීය බසින් ඊටත් අල්පයි.
පුවත්පත්වලට නිතර විද්වත් ලිපි ලියන ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් මෑතදී මොරගහකන්ද ව්‍යාපෘතිය ගැන තාක්‍ෂණික විස්තර ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලා සිටියා. එවන් විස්තර අවශ්‍ය නම් කොළඹ සිටින විද්‍යාඥයාට (තම වියදමින්) දුර ගෙවා ව්‍යාපෘති ප්‍රදේශයේ කාර්යාලයට පැමිණෙන්නට යයි කියා තිබෙනවා.
රටේ මහජන මුදලින් හා මහජනයාට අවසානයේ ගෙවීමට සිදුවන විදෙස් ණය මුදල්වලින් (සෞදි අරාබිය, කුවේටය හා චීනය) ඉදි කරන මේ ව්‍යාපෘතිය ගැන විස්තර මහජනයාට දීමට නිලධාරීන් මෙතරම් මැලි ඇයි?
මහවැලියේ මුල් මහා ජලාශ ඉදි කළ කාලය සමග අද සසඳන්නට කොහෙත්ම බැහැ.
මහවැලි ව්‍යාපෘතියේ මුල් අදියර සංකේතවත් කළ පොල්ගොල්ල වේල්ල විවෘත කිරීම සිදු කළේ 1976දී. එයකට දස හැවිරිදි පාසල් සිසුවකුව සිටි මට, ලේක්හවුස් පුවත්පත් හා ගුවන්විදුලි සංස්ථාව එය විස්තරාත්මකව වාර්තා කළ සැටි මතකයි. එහි අතිශයෝක්තීන් තිබූ බව ආවර්ජනය කළ හැකියි.
1977 ආණ්ඩු පෙරළියෙන් පසු පත් වූ රජය මහවැලිය කඩිනම් කිරීම තීරණය කළා. කොත්මලේ, වික්ටෝරියා, මාදුරු ඔය හා රන්දෙනිගල ජලාශයන් අධිවේගීව ඉදි කරනු ලැබුවේ 1978 – 1986 වකවානුවේ.
1970-77 රජය හෝ 1977-1988 රජය හෝ මහවැලි ව්‍යාපෘතිය ගැන විවෘතව සංවාද කිරීමට කැමති වූයේ නැහැ. මහා වේලි ඉදිකර ජලාශ පිහිටුවීමේ පාරිසරික බලපෑම් ගැන ඉඳහිට හෝ කථා කෙරුණේ ඉංග්‍රීසි පුවත්පතක විද්වත් ලිපි හරහා පමණයි.
ඒ ප්‍රකාශන පවා මහවැලිය සෘජුව විවේචනය කිරීමට මැලි වූවා. එයට නොබියව ඉඩක් දුන්නේ The Ecologist වැනි ජාත්‍යාන්තර ප්‍රකාශනයි.
මේඅතර සිංහල මාධ්‍ය “මහවැලි වන්දනාව” ඉහළින්ම කළා. එසේ කිරීමට අවශ්‍ය තොරතුරු, ඡායාරූප හා ක්‍ෂෙත්‍ර චාරිකා පහසුකම් එකල මහවැලි අමාත්‍යාංශය නොමසුරුව මාධ්‍යවලට ලබා දුන්නා. එහෙත් සිදු වූයේ විචාරශීලී හෝ ගවේෂණාත්මක මාධ්‍ය ආවරණයක් නම් නොවෙයි. මහවැලිය විවේචනය කිරීම රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස එකල සිටි දේශපාලන නායකයන් සැළකුවා.
1980 දශකය හමාර වන විට මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වුණා. මහවැලි ව්‍යාපෘතිවල බලපෑම් ගැන ලෝක මට්ටමින් මෙන්ම දේශීයව ද සංවාද මතුව ආවා. 120 කට අධික පිරිසක් මරණයට පත් කරමින් 1986 අප්‍රේල් 20 වනදා සිදු වූ කන්තලේ වේල්ල බිඳී යාමේ අනතුරින් පසු වේලි ඉදිකිරීම හා නඩත්තුව ගැන වැඩිපුර ජන සමාජයේත්, ජන මාධ්‍යවලත් අවධානය යොමු වුණා.
දි අයිලන්ඞ් පත්‍රයේ විද්‍යා සංස්කාරකවරයා ලෙස මා ක්‍රියා කළ 1980 දශකය අග හා 1990 දශකය මුල් වසර කිහිපයේදී මහවැලි හා අනෙක් නවීන වේලි ව්‍යාපෘති ගැන විද්වත් සංවාද සඳහා මා පත්‍රයේ ඉඩ වෙන් කළා. වික්ටෝරියා ජලාශය නිසා පාරම්පරික ඉඩම් අහිමි වූවන් අතර සිටි ආචාර්ය ලක්‍ෂ්මන් මැදිවක, ඉංජිනේරු පර්යේෂකයන් වන ඩී. එල්. ඕ. මෙන්ඩිස් හා ඩෙනිස් ප්‍රනාන්දු වැනි විද්වතුන් එයට සම්බන්ධ වූ බව මට මතකයි.
මහාවේලි ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් පමණක් නොව සමාජ විද්‍යාත්මක බලපෑම්ද දිගු කාලීනව අධ්‍යයනය කළ යුතු බව මේ වන විට පිළි ගෙන තිබුණා. අලුතෙන් හෙළි පෙහෙලි කළ මහවැලි ඉඩම්වල අලුතෙන් පදිංචි කරනු ලැබූ, වියලි කලාපයට ආගන්තුක වූ කඳුකර ජනයා එයට හැඩ ගැසෙන ආකාරය මේ රටේ කරන ලද දැවැන්ත සමාජවිද්‍යාත්මක අත්හදා බැලීමක් ලෙස දැකිය හැකියි.
මහවැලි මහා ජලාශ තැනීම ඒ කාලයේ තිබූ සංවර්ධන අවශ්‍යතාවන්ට එවකට පැවති රජයන් දැක්වූ ප්‍රතිචාරයක්. මහවැලියේ පසු කාලීන අහිතකර බලපෑම් හඳුනාගෙන ඇතත්, එයින් ලැබූ හා තවමත් ලබන ප්‍රතිලාභ ඇතත්, එයින් ලැබූ හා තවමත් ලබන ප්‍රතිලාභ වැඩි බව මගේ වැටහීමයි.
1978දී මහවැලි වැඩ කඩිනම් කිරීම හරහා ප්‍රවේශම්කාරීව ගත හැකිව තිබූ යම් පියවර අතපසු වූ බවද පිළිගත යුතුයි. මහවැලි වතුර ලැබූ වියලි කලාපීය සමහර ප්‍රදේශවල 1990 දශකයේ පටන් නිදන්ගත වකුගඩු රෝගය හමුවීම අහඹු සිදුවීමක්ද?
මහවැලි ව්‍යාපාරය ගැන සමාජ විද්‍යාත්මක විග්‍රහයන් රැසක් අඩංගු පර්යේෂණාත්මක ග්‍රන්ථයක් 1995දී පළ කෙරුණා. The Blurring of a Vision: The Mahaweli ඵ්ය්ඇකස (මහවැලියේ බොඳ වූ සිහිනය) නම් වූ එය සංස්කරණය කළේ කොළඹ සරසවියේ සමාජ විද්‍යා මහාචාර්ය සිරි හෙට්ටිගේ සහා ස්විට්සර්ලන්තයේ සූරික් සරසවියේ මානව විද්‍යා මාහාචාර්ය එච්. පී. මුලර් විසින්.
දෙස් විදෙස් විද්වතුන් 14 දෙනකු ලියූ පරිච්ඡේදවලින් සමන්විත මේ පොත, මහවැලිය ගැන විචාරශීලීව ආපසු හැරී බලන්නට ගත් මුල්ම ක්‍රමවත් උත්සාහයන්ගෙන් එකක්. සර්වෝදය ප්‍රකාශනයක් වූ මෙය කෙතරම් දුරට මෙරට පාඨකයන් අතට ගියාද යන්න ප්‍රශ්නයක්. එසේම ඉංග්‍රීසි බසින් තිබෙන මේ දැනුම හා විග්‍රහයන් මෙරට සිංහල හා දෙමළ පමණක් කියවන බහුතරයක් ජනයා අතරට යන්නේ සීමිතවයි.
මේ පොතට විද්වත් ලිපි ලියූවන් අතර මහවැලි අධිකාරියේ හිටපූ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් දෙදෙනෙක් (ජයන්ත ජයවර්ධන සහ මහී වික්‍රමරත්න), පේරාදෙණිය සරසවියේ කෘෂි ආර්ථික විද්‍යා මහාචාර්ය ටී. යෝගරත්නම්, මහජන සෞඛ්‍ය විශේෂඥ රුවනි ජයවර්ධන වැනි අය සිටියා.
කඩිනම් මහවැලිය යටතේ 1980 දශකයේ ඉදිකරන ලද මහාවේලි මහා ජලාශ හා ඒවාට සම්බන්ධ ඇල මාර්ග සඳහා දැවැන්ත ප්‍රාග්ධනයක්, හා ඉංජිනේරු ශිල්ප ඥානයක් වැය කෙරුණා. (අද මෙන් නොව එකල අප රටට ලැබුණේ නැවත ආපසු ගෙවීමක් නැති විදේශ ආධාරයි.) එහෙත් මේ ඉදිකිරීම්වලට දුන් ප්‍රමුඛතාව හා ආයෝජන, මහවැලියෙන් ජලය ලබන බිම් ප්‍රදේශවල පදිංචි කරනු ලැබූ ජනයාගේ යටිතල පහසුකම්, ජීවිකා සුරක්‍ෂිතබව හා වෙනත් මානව අවශ්‍යතා සඳහා නොලැබුණු බව මේ පර්යේෂකයන්ගේ මැදහත් විග්‍රහයයි.
මහවැලියේ හරියට කෙරුණු දේ මෙන්ම වැරදුණු දේත් ශාස්ත්‍රීය පරීක්‍ෂණය හරහා ඔවුන් සාකච්ඡා කරනවා. මාධ්‍යකරණයටත් මෙතරම් ශාස්ත්‍රීය මට්ටමකින් නොවූවත් මෙවන් පුළුල් දැක්මක් හා විවෘත මනසක් අවශ්‍යයි.
“ජනමාධ්‍යයට මොරගහකන්ද පුංචි වුණේ ඇයි?” යන මැයෙන් ITN සජීව සාකච්ඡාවකට මා මේ සතියේ සහභාගි වුණා. එහිදී මා මතු කළ එක් ප්‍රධාන කරුණක් නම් 1970-1980 දශකවල වඩා අද ලක් සමාජයේ සංකීර්ණත්වයත්, මාධ්‍ය ක්‍ෂේත්‍රයේ විවිධත්වයත් ඉහළ ගොස් ඇති බවයි.
මීට පරම්පරාවකට පෙර විද්‍යුත් මාධ්‍ය තනිකරම හිමි වූයේ රජයටයි. රජයට පවරා ගත් ලේක්හවුස් ආයතනයද සමඟ එම විද්‍යුත් මාධ්‍ය පවතින රජයේ කටයුතු වර්ණනාත්මකව වාර්තා කරන විට මාධ්‍ය ග්‍රාහකයන්ට විකල්පයක් තිබුණේ නැහැ.
ටෙලිවිෂන් නාලිකා 19 -20ක්, FM නාලිකා 50කට වැඩි ගණනක් හා පත්තර විශාල සංඛ්‍යාවක් අද තිබෙනවා. එදා නොතිබූ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වේදිකා තිබෙනවා. මේ නිසා තනි නිමිත්තක් වටා මුළු රටේම ජනයා රොක් වන්නේ ඉතා කලාතුරකින්. ශ්‍රී ලංකා පිළ තරග කන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් හෝ තීරණාත්මක මැතිවරණයක ප්‍රතිඵල නිකුත් කිරීමක් වැනි අවස්ථාවල පමණයි.
රජයට තිබූ තොරතුරු ඒකාධිකාරය බිඳ වැටී, මහජනයාට විකල්ප තොරතුරු ලැබීම සිදු විය යුත්තක්. මේ නව මාධ්‍ය යථාර්ථය තුළ මහවැලි මුල් යුගයේ ලද අතිමහත් මාධ්‍ය හා ජන අවධානය ලබන්නට මොරගහකන්දට ඉඩක් නැහැ.
මොරගහකන්ද ප්‍රධාන ප්‍රවර්ධකයා ලෙස ජනාධිපතිවරයා මෙය හඳුනා ගත යුතුයි. තවත් ගාමිණී දිසානායක කෙනකුට අද කාලේ ඉඩක් නැහැ.
ITN සාකච්ඡාවට මාධ්‍ය පර්යේෂක පැත්තෙන් හවුල් වූ සංජන හත්තොටුවත් මාත් මහවැලි අමාත්‍යාංශ ලේකම්වරයාට හා මොරගහකන්ද ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයාට කීවේ මෙයයි.
අනාගත ලංකාවේ අභිවෘද්ධියට වැදගත් මේ ව්‍යාපෘතියේ භෞතික ඉදිකිරීම් හා පරිපාලනමය කාර්යන් කරන අතරේ දත්ත මත පදනම් වූ, එහෙත් අනවශ්‍ය ලෙස තාක්‍ෂණික නොවූ තොරතුරු හැකි තාක් සමාජගත කරන්න. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පමණක් නොව වෙබ් මාධ්‍ය, සමාජ මාධ්‍ය හා ජංගම දුරකථන ආදී නව මාධ්‍ය හරහාද මේ තොරතුරු ගලා යා යුතුයි.
එසේම මොරගහකන්ද හා වෙනත් සංවර්ධන ව්‍යාපෘති ගැන මුළුමනින්ම පාරදෘශ්‍ය, ජනතාවට වග වීමක් කරන ප්‍රතිපත්ති අනුගමනය කරන්න. (උදාහරණයක් ලෙස මොරගහකන්ද හදන්නට ගන්නා ණය හා පොලී තොරතුරු හෙළි කරන්න.) සංවාද හා විසංවාදවලට සැම විට විවෘතව සිටින්න.
අද සිටින්නේ රජයේ දේශපාලකයන් හා නිලධාරීන් කියන ඕනෑම දෙයක් වැඳ ගෙන අසා සිටින ජනතාවක් නොවෙයි. රජයේ හඬ ප්‍රතිරාව නංවන ගිරාපෝතක මාධ්‍ය කෙරුවාවක්ද අදට ගැලපෙන්නේ නැහැ.
ඒ වෙනුවට සමහර විට දුෂ්කර විය හැකි ප්‍රශ්න නගන, සංශයවාදී මාධ්‍යවේදීන් හා මාධ්‍ය ග්‍රාහකයන් තමයි රටට ඕනෑ වන්නේ.■