පැරණි විකල්ප සංගීතය සිංහල ජාතියේ සහ බුද්ධාගමේ සිරකරුවෙක් වුණා | විරාජ් ලියනආරච්චි

කේ. සංජීව

සංගීතය පමණක් නොව දෘශ්‍ය (වීඩියෝ) කලා, රංග කලා, ස්ථාපන කලා, ඡුායාරූප ප‍්‍රදර්ශන ආදි වශයෙන් පසුගිය වසරවලට වඩා පුළුල් වපසරියක කලා භාවිතාවන් හා නිර්මාණ එකතුවකින් ‘ඩවුන් ටවුන් පල්ස් 2016’ සමන්විත වන අතර මෙවර උළෙල දින තුනක් පුරා (මාර්තු මස 11,12,13 දිනවලදී උදෑසන 9 සිට රාත‍්‍රී 11 දක්වා* කොට්ටාව, මහල්වරාව බේකරියේදී පැවැත්වීමට නියමිතය.

මෙවර ඩවුන් ටවුන් පල්ස් 2016 උළෙල සඳහා Happy journey” Whakan Thanka” SKITZOsl” Wagon Park” Ghosha” Music matters collective” Local” Rebel exodus” Paranoid Earthlingsසංගීත කණ්ඩායම් එක් වන අතර සංගීත ප‍්‍රසංගය තෙදිනම රාත‍්‍රී 7ට ආරම්භ වේ. The Hole (සිදුර)නමින් නූතන ඡායාරූප කලාව පදනම් කරගත් විරාජ් ලියනාරච්ච්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනයක්ද තෙදිනම එහිදී පැවැත්වේ.

නූතන රංග කලාවට මෑත කාලීනව සාධනීය මැදිහත්වීමක් සිදුකළ බන්දු මනම්පේරි, ජනනි කුරේ, ප‍්‍රියන්ති අනුෂා, ඔමාලි රන්දිකා, කුමාරි කුමාරගමගේ, ඉසුරු කුමාරසිංහ යන කලාකරුවන්ද මේ තෙදින පුරාවට උළෙල සමග එක් වේ. මීට අමතරව ස්ථාපන කලාව සම්බන්ධයෙන් ලංකාව තුළ සිටින ප‍්‍රවීණයෙකු වන ප‍්‍රදීප් චන්ද්‍රසිරිද තම නිර්මාණ සමගින් සම්බන්ධ වීමට නියමිතය.

ලාංකික කලා ක්ෂේත‍්‍රයන්ට නව හඳුන්වාදීමක් වන දෘශ්‍ය කලා (Video art) මාධ්‍යයෙන් ධනුෂ්ක මාරසිංහ හා නිසල් ගුරුගේ දායකත්වය ලබා දෙති..

ලංකාව තුළ අවිධිමත් ලෙස සංවර්ධනය වෙමින් පවතින කලා මාධ්‍යයක් වන Graffiti Art ප‍්‍රදර්ශනයක් ද ඊට එක් කර ඇත. 2013 හා 2014 වසරවල මෙන් උළෙලට සමගාමීව මෙවරද Down Town Pulse 2016 ග‍්‍රන්ථය එළිදැක්වීමද සිදුකෙරේ.

මාර්තු 11,12,13 දිනවලදී ප.ව. 2 සිට ‘සමකාලීන කලාව’,මාර්තු 11,12,13 දිනවලදී ප.ව. 2 සිට ‘සමකාලීන කලාව’, Alternative මියුසික් Alternative මිනිස්සුද’ හා ‘කාර්මිකකරණයෙන් පසු කලාව’ යන මාතෘකා යටතේ ලාංකික කලාව සම්බන්ධයෙන් වන සංවාද තුනක් විද්වත් සම්පත් දායකයන්ගේ දායකත්වයෙන් හා මෙහෙයවීමෙන් සිදුකෙරේ.

බේකරියේ කට්ටිය ගැන මුලින්ම කතා කරමු.

බේකරියේ අපි මුලින්ම එකතු වුණේ මහල්වරාවේ වෙසක් කූඩුව හදන්න. අපි ඒක අවුරුදු තුනක් විතර කළා. එතැනදිත් අපේ අදහස වුණේ ජනප‍්‍රිය බෞද්ධ කතිකාවත යම් ප‍්‍රශ්න කිරීමකට ලක් කරන්නේ කොහොමද කියන එක. ඒකේ තියෙන දාර්ශනික පදනම වගේ දෙයක් කොහොමද මේ වෙසක් කූඩු කලාවට එකතු කරන්නේ කියන එක. මෙහෙම වැඩ කළ අපි කණ්ඩායම අතර සංගීතය ගැන යම් හැදෑරීම් ගවේෂණයන් කරන පිරිසක් හිටියා. ගීතදේව වගේ. මේ අය සිංදු කියන්න පටන් ගත්තා. මේ ගීතය ඇතුළෙන් අපි සංගීතය සහ පද රචනාව යම් වෙනස් භාවිතාවකට ගෙනියන්න දැනුවත් උත්සාහයක් ගත්තා. එතැනදි අපි කණ්ඩායම ඇතුළේ සංගීතය පිළිබඳව ඇතිවුණ කතිකාව ලංකාවේ ප‍්‍රචලිත උත්තර භාරතීය රාගධාරී සංගීතය ප‍්‍රතික්ෂේප කළා. අපි අලූත් ශබ්දයක් හඳුන්වා දෙන්න මහන්සි වුණා. ඒකෙ ප‍්‍රතිඵලයක් තමයි පළමු ඩවුන් ටවුන් සංගීත ප‍්‍රසංගය.

මේ විදිහට විකල්ප සංගීතය ගැන අපි කළ ප‍්‍රසංගයේ දෙවැනි අවස්ථාව එනකොට අපිට, අපේ විකල්ප සංගීතයට ලංකාව ඇතුළේ යම් කිසි මට්ටමක පදනමක් හැදෙනවා කියලා දැනුණා. ඒත් එක්කම තමයි අජිත් කුමාරසිරි මේ වැඬේට එකතු වෙන්නේ. තුන්වෙනි ප‍්‍රසංගය වෙනකොට මේ විකල්ප සංගීතයේ යම් පරිණතවීමක් අපි දකිනවා. ඊළඟට අපි ගිය වර ප‍්‍රසංගය මහල්වරාවෙන් කොළඹ පරණ නගර සභාවට අරගෙන ආවා. ගියවර ප‍්‍රසංගය බෑන්ඞ් දහයක් විතර වෙනකම් පුළුල් වුණා. ඒ වාගේම මේ විකල්ප සංගීතය එක්ක වීඩියෝ ආර්ට් වාගේ දේවල් එකතු කරන්නේ කොහොමද යනාදි අලූත් දේවල් අපි ඒ ප‍්‍රසංගයේදී කළා.

අපි මෙවර නැවත මහල්වරාවේදී දින තුනක වැඩසටහනක් තමයි සංවිධානය කරලා තියෙන්නේ. සංගීතය අනෙකුත් කලාවන් සමග එකතු කරලා කලෙක්ටිව් ආර්ට් කියන අදහස තමයි අපි ඉදිරිපත් කරන්නේ.

මේ ප‍්‍රසංගයට සහ දින තුනක මේ කලා වැඩසටහනට තේමාවක් තියෙනවාද?

නැහැ. අපි කවදාවත් තේමාවක් මත පදනම් වුණේ නැහැ. මුළු වැඩසටහනම කන්ටෙම්පරරි (සමකාලීන) කියන අදහස මත තමයි යන්නේ.

බේකරියේ කට්ටිය සංවිධානය කරන මේ වැඬේ විකල්ප සංගීතය කියලා තමයි අපි අඳුනාගන්නේ. එදා නන්දා මාලිනී, කපුගේ වගේ අයගේ සංගීතයන් විකල්පයක් විදිහට අඳුනගත්තා නේද?

ඔව්. ඒකෙ පොඩි ගැටලූවක් තියෙනවා. එදා එහෙම කතිකාවක් තිබුණා තමයි. හැබැයි ඒ සංගීතය එදා සිංහල ජාතියේ සහ බුද්ධාගමේ හිර වුණා. ඒකෙ හැමවෙලාවෙම පොඩි ජාතිවාදී ස්වභාවයක් තිබුණා. අපි අද විකල්ප කියන අදහසින් අදහස් කරන්නේ සංගීතය විතරක් නෙවෙයි, එහි හැසිරෙන අය ඒ අයගේ ජීවිතය ඇතුළේ යම් විකල්පයක් දරාගන්නවා කියන එක. මෙතැනදී අපි කොහොමද ජාතික සීමාවෙන් එහාට හිතන්නේ කියන දේ වගේම කොහොමද ජාතිවාදී හෝ ආගම්වාදී නොවී ඉන්නේ කියන එක වැදගත්. ප‍්‍රචණ්ඩත්වයෙන් තොර දෙයක් ගොඩනගන්නේ කොහොමද, සාමූහිකව වැඩ කරන්නේ කොහොමද කියන එක ඇතුළේ තමයි මේ විකල්ප අදහස එළියට එන්නේ.

අද විකල්ප සංගීතය කියූ ගමන් සමාජයේ බහුතරයකට තියෙන්නේ අනේ අපොයි කියන හැඟීමක්. ගොඩක් දෙනෙක් කියන්නේ විකල්ප සංගීතය කියන්නේ ඝෝෂාවකට කියලා.

මම හිතන්නේ පාසලේ ඉඳලා අපිට හුරුකළ සංගීතය තමයි ඒක. උත්තර භාරතීය රාගධාරී සංගීතය තමයි අපි හැමවෙලාවෙම ඇහැව්වේ. සංගීතය නම් මිහිරි, කනට ප‍්‍රිය දෙයක් වෙන්න ඕනෑ කියන එක එන්නේ එතැනින්. ලංකාවේ විශ්වවිද්‍යාලවල වුණත් උගන්වන්නේ ඒක විතරයි. ලෝකයේ සංගීතය කියන්නේ එහෙම විෂයකට නෙවෙයි. හැබැයි මගේ අදහස නම් දැන් වෙනකොට ලංකාවේ වුණත් තරුණ පරපුර අතර ඔය මතය වෙනස්. බීච් පාර්ටි එකක් වගේ ගත්තොත් ඒක පේනවා. ඒ නිසා ඝෝෂාව මිහිරියි කියලා ඔවුන් හිතනවා.

පැරණි ගීතවල තිබුණේ සෞන්දර්යය. ලිංගික ගැටලූ වාගේ දේවල් විෂය වුණේ හරිම අඩුවෙන්. ආදරය ගැන වුණත් විරහව ගැන වුණත් අතිශය සෞන්දර්යාත්මක තලයක තමයි ගීත ලියැවුණේ.

සිංහල බෞද්ධ සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. මේ තියෙන බෞද්ධ දෘෂ්ටිවාදය වුණත් කාලයක් තිස්සේ ගොඩනගන ලද දෙයක්. ප‍්‍රධාන ධාරාව විදියට තියෙන්නේම ඔබ ඔය මුලින් සඳහන් කළ මාදිලියේ සංගීතය. ඒක තමයි අපි අද මේ විදිහට ප‍්‍රශ්න කරන්නේ. එහෙම ප‍්‍රශ්න කරන එක ඇතුළේම තමයි අපේ සාර්ථකත්වය රැුඳිලා තියෙන්නේත්. අපි පුංචි යුනිට් එකක් වෙන්න පුළුවන්. හැබැයි අපි ප‍්‍රබලයි. සෞන්දර්යයට වැඩිය අපිට පුළුවන් නම් මිනිස්සු වෙනස් කරන සංගීත භාවිතාවකට එන්න, පොඩි වුණත් මම හිතන්නේ ඒක හොඳ දෙයක්.

විකල්ප සංගීත භාවිතය එක්ක මත්ද්‍රව්‍ය ගැටගැසිලා තියෙන්නේ. මත්වීම කියන එක පිළිබඳව අපේ සමාජයේ තියෙන අදහසත් එක්ක මෙවැනි ප‍්‍රසංගයක් සංවිධානය කිරීම දුෂ්කර නැද්ද?

අපි හැමවිටම පරිස්සම් වුණ දෙයක් තමයි රජය කියන එක අපේ ප‍්‍රශ්නයක් නෙවෙයි කියන තැනෙක ඉන්න. ඒකෙන් කියන්නේ අපි දේශපාලනය පිළිබඳව සංවේදී නැහැ කියන එක නෙවෙයි. අපි හැමවෙලාවෙම කතා කරන්නේ පුද්ගලයන් විදියට අපි වට කරගෙන ඉන්න බැමි මොනවාද කියන එක ගැන. ජාතිවාදය ගනිමු. ඒක ඇතුළේ තියෙන දෙයක්. ඒක අපි හැම වෙලාවෙම පාලනය කරගෙන ඉන්නේ. ඒ වාගේ දේකට අපි කොහොමද රජයක් මාරු කරලා විසඳුම් හොයන්නේ. මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධව තිබෙන පුද්ගලික නිදහස අපට මිසක් රජයකට අදාළ නැහැ. අපේ මේ කතිකාව රජයට එහා ගිය අපේ බැමි ටික ලිහා ගැනීම පිළිබඳ වැඩක්.