රාවය

උඩුවේ හිමිට ඇප ලැබෙයි සැකකාර මහේස්ත‍්‍රාත් නඩු අසයි

උඩුවේ හිමිට ඇප ලැබෙයි සැකකාර මහේස්ත‍්‍රාත් නඩු අසයි

කේඩබ්ලිව් ජනරංජන

හොර අලි පැටියකු තමා සන්ත කයේ තබාගැනීමේ චෝදනාව මත උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ මාර්තු 9 වැනිදාය. එදින උදෑසන අස්ගිරියේ මහානායක ගලගම අත්ථදස්සි හිමියෝ අපවත් වූහ. ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට පත්වන්නට පෙර කියා සිටියේ අත්අඩංගුවට පත්වූ පසු රිමාන්ඞ් බන්ධනාගාරයේදී තමා බණ භාවනාවක් කරගෙන ඉන්නට අදහස් කරන බවයි. එහිදී තමන්ට ලැබෙන අවබෝධය ඉතා වැදගත් වනු ඇති බවත් එහිමියන් කියා තිබිණි. කොටින්ම එහිමියන් රිමාන්ඞ් බන්ධනාගාරයට ගියේද පාත්තරයක් උරයේ එල්ලාගෙනය. එහෙත් එදින එහිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ උඩුවේ හිමියන්ගේ භාවනාව හා අවබෝධය ලබාගැනීම සඳහා වූ ඒ ප‍්‍රාර්ථනාවට එරෙහිව යමින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියහ. එහිදී ඔවුන් කීවේ චෝදනාව පොදු දේපළ පනත යටතට නොවැටෙන බැවින් එහිමියන්ට ඇප දිය හැකි බවය. එහෙත් අධිකරණය එය පිළිගත්තේ නැත. ඒ අනුව, උඩුවේ හිමියන්ට විරුද්ධව නැගුණු චෝදනාව පොදු දේපළ පනත යටතේ වන එකක් බැවින් ඒ යටතේ ඇප ලබාගැනීමට නම් සුවිශේෂ හේතු අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. එදින එහිමියන් වෙනුවෙන් ඉදිරිපත් කරන්නට සුවිශේෂ හේතු නීතිඥවරුන්ට නොතිබිණි. එනිසා එහිමියන් රිමාන්ඞ් බන්ධනාගාරගතවීම අනිවාර්යයක් විය. බන්ධනාගාර රියට ගොඩවෙමින් ධම්මාලෝක හිමියන් කීවේ මෙය උඩුවේ ධම්මාලෝකට එරෙහිව කරන්නක් නොව බුද්ධ ශාසනයටම එරෙහිව එල්ලකරන ප‍්‍රහාරයක් බවය.

පුදුම තත්ත්වය උදාවූයේ 11 වැනි සිකුරාදාය. මෝසමක් මගින් නඩුව කැඳවුණු එදින උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් නීතිඥ කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වූහ. එක කණ්ඩායමක් ඊට පෙර දින එහිමියන් වෙනුවෙන් ඉදිරිපත් වූ කණ්ඩායමයි. අනෙක් කණ්ඩායම අලූත් එකකි. ඒ කණ්ඩායමේ ආධාරකරුවකු හැටියට පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලිද සිටිනු දැකිය හැකිවිය.

ඇප ඉල්ලීම ගැන අධිකරණය ඉදිරියේ අදහස් දක්වමින් උඩුවේ හිමියන්ගේ පරණ නීතිඥ කණ්ඩායම කීවේ, මේ වරද පොදු දේපළ පනත යටතට නොවැටෙන එකක් නිසා සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඇප නියම කළ යුතු බවයි. එහෙත් ඊට ප‍්‍රතිඋත්තර දුන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් කීවේ, පොදු දේපළ පනත යටතට නොවැටෙනවා කියන ස්ථාවරය අද දිනත් ගන්නේ නම් ඇප ගැන විවාද කිරීමට දෙයක් අද නැති බවත්, මීට පෙර දිනයේ ධම්මාලෝක හිමියන් රිමාන්ඞ් කරනු ලැබුවේ, මෙය පොදු දේපළ පනත යටතට වැටෙන වරදක් බවට අධිකරණය පිළිගෙන සෑහීමට පත්වූ නිසාවෙන් බවත්ය.

මේ අවස්ථාවේදී ඉදිරිපත්වූ අලූත් නීතිඥ කණ්ඩායම කීවේ තමන් ඇප ඉල්ලීමට සුවිශේෂ හේතු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවයි. පරණ නීතිඥ කණ්ඩායම කීවේ එය එසේ නම් තමන් ඊට බාධාවක් නොකරන බවයි. ඒ අනුව, හොර අලි පැටියකු තමන් සන්තකයේ තබාගැනීම පොදු දේපළ යටතේ වරදක් බව පිළිගනිමින් එම නීතිඥ කණ්ඩායම එම පනත යටතේ ඇප ලබාගැනීම සඳහා සුවිශේෂ හේතු ඉදිරිපත් කරන ලදි. ඔවුන් ඉදිරිපත් කළ ‘සුවිශේෂ හේතු’ පහකි.

1. උඩුවේ හිමියන්ට අස්ගිරිය මහානායක හිමියන්ගේ අවමංගල්‍ය කටයුතුවලට දායකයන්ද සමග බාධාවකින් තොරව ක‍්‍රියාකාරීව සහභාගිවීමට අවශ්‍යය. ඒ හිමියන් එම අවමංගල්‍ය කමිටුවේද සාමාජිකයෙකි.

2. උඩුවේ හිමියන් ප‍්‍රසිද්ධ විචිත‍්‍ර ධර්ම කථිකයෙකි. එහිමියන් සෑම දිනකම උදේ සිට රාත‍්‍රිය දක්වා දවස පුරා විවිධ තැන්වල ධර්ම දේශනා සඳහා ඇණවුම් භාරගෙන තිබේ. ඒවායින් එහිමියන්ගේ දිනපොත පිරී තිබේ. ඒවාට යන්නට බැරිවුණොත් උන්වහන්සේගේ විචිත‍්‍ර ධර්ම දේශනා අසන්නට අපේක්‍ෂාවෙන් සිටි ජනතාවට බලවත් පාඩුවක් අගතියක් සිදුවෙයි.

3. මේ අලි පැටියා පන්සල ළඟ අතරමංව සිටියදී උඩුවේ හිමියන් පන්සලට ගෙනවුත් කන්නට බොන්නට දී පෝෂණය හා සුරක්‍ෂණය කොට බලාකියාගන්නා ලදි. ඒ අතර වෙනත් පන්සල්වල පෙරහැරවලටද මේ අලිපැටියා දිගටම සහභාගි කරවා ඇත.

4. මේ අලිපැටියා පැහැරගැනීමක් සිදුවුණා නම් ඒ සම්බන්ධයෙන් හානියක් සිදුවූ කෙනකු හෙවත් වින්දිතයකු සිටිය යුතුය. එහෙත් එවැන්නෙක් නැත. නඩුවක් පවත්වාගෙන යන්නට නම් වින්දිතයකු අවශ්‍යය.

5. මේ වරද සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට අවසන්වී ඇත. ඒ නිසා ඇප ලබා එළියේ හිටියත් ධම්මාලෝක හිමියන්ගෙන් පරීක්‍ෂණ කටයුතුවලට හානියක් සිදුවන්නේ නැත.

උඩුවේ හිමියන් වෙනුවෙන් අලූත් නීතිඥ කණ්ඩායමෙන් ඉදිරිපත්වූ මේ සුවිශේෂ හේතු සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප‍්‍රතිතර්ක ඉදිරිපත් කළේය.

ඔහු කිව්වේ, අස්ගිරියේ මහානායක හිමියන් අපවත්වුණේ උඩුවේ හිමියන් අධිකරණයට ඉදිරිපත්කළ දවසේම උදේ බවයි. ඒ නිසා අවමංගල කමිටුවේ සාමාජිකයකු ලෙස එහිමියන් ඇතුළත්කිරීමට ප‍්‍රායෝගික හැකියාවක් නැති බවයි. හැරත්, එවැනි කමිටුවකට උඩුවේ හිමියන් ඇතුළත් කර ඇති බවට කිසිම ලිඛිත සාක්‍ෂියක් අධිකරණය ඉදිරියේ නැත.
විචිත‍්‍ර ධර්ම කථිකයකු ලෙස බණ දේශනා සඳහා ඇණවුම් රට පුරාම උදේ හවා බාරගෙන ඇති බවට කිසිම ලිඛිත සාක්‍ෂියක්, අඩුගණනේ එහිමියන්ගේ දිනපොතවත් අධිකරණයට ඉදිරිපත් කොට නැත.

අලි පැටියා පන්සල ළඟ දමා ගොස් තිබුණු බවට ධම්මාලෝක හිමියන් ගන්නා ස්ථාවරය අලූත් එකකි. 2015 අපේ‍්‍රල් මාසයේ අලි පැටියා අත්අඩංගුවට ගත් පසු සීඅයිඩිය එහිමියන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගනිද්දී කීවේ, අලි පැටියා රොෂාන් නමැත්තකුගෙන් තමන්ට ලැබුණු බවය. (ඒ රොෂාන් යනු, අලි රොෂාන් නමින් කුප‍්‍රකට මේ අලි පැටව් ජාවාරමේ ප‍්‍රධාන සැකකරුය.) එසේම අලි රොෂාන්ගෙන් අලි පැටියා ලබාගැනීමට සම්බන්ධී කරණය කළේ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ විහාරාධිපති කොළොන් නාවේ සුමංගල හිමියන් බවද ධම්මාලෝක හිමියන් එම ප‍්‍රකාශයේදී කියා ඇත. ඒ නිසා පන්සල ළඟ අලි පැටියා දමා ගිය බව පිළිගැනීමට නොහැකිය.

මේ සිදුවීමේ වින්දිතයා මුළු සමාජයයි. අලි පැටියා පොදු දේපළක් වන අතර පොදු දේපළ යනු සමාජයටම අයිති දේපළයි. තමන්ගේ පවුලේ කෙනකු ඝාතනය කළ විට ඒ පවුලේ අය නිශ්ශබ්දව සිටියත් ඒ වෙනුවෙන් රජය නඩු පවරන්නේ එය මුළු මහත් සමාජයටම එරෙහිව කරන ලද වරදක් ලෙස සලකාය. එනිසා, මේ අවස්ථාවේදීද වින්දිතයා පොදු සමාජය වන අතර ඒ වෙනුවෙන් පෙනීසිටින්නේ රජයයි.

විමර්ශන අවසානය යන්න පිළිගත හැක්කකි. මේ කරුණු පහෙන් එකම පිළිගත හැකි කරුණ වන්නේ විමර්ශන අවසාන වී ඇතිය යන්න පමණෙකි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාගේ මේ කරුණු දැක්වීමෙන් පසු අධිකරණය කටයුතු කළේ උඩුවේ හිමියන්ට ඇප ලබාදීමටයි. උඩුවේ හිමියන්ගේ අලූත් නීතිඥවරුන්ගේ සුවිශේෂ හේතු පහෙන් අධිකරණය පිළිගත්තේ පළමුවැන්නයි. එනම්, අස්ගිරි මහානායක හිමියන්ගේ ආදාහන කටයුතුවලට සහභාගිවීම සුවිශේෂ කරුණක් ලෙස සලකා ඇප ලබාදීමටයි. එහෙත්, එවැනි අවමංගල උත්සව කමිටුවකට ධම්මාලෝක හිමියන් ඉන්නා බවට කිසිදු ලිඛිත සාක්‍ෂියක් අධිකරණය ඉදිරියේ නොවීය. උඩුවේ හිමියන්ගේ නීතිඥයන් කිව්වේ, එය ‘මහජන දැනුමේ’ තිබෙන එකක් බැවින් ලිඛිත සාක්‍ෂි අවශ්‍ය නොවන බවයි. එහෙත් මහජන දැනුම තුළ එවැනි දෙයක් තිබෙන්නේ කෙසේදැයි ඒ නීතිඥවරුන් අධිකරණයට පැහැදිලි කළේ නැත. කෙසේ වෙතත් උඩුවේ හිමියන්ට ඇප ලබාදීමට අධිකරණය තීරණය කළේය.

තමන් විසින්ම පොදු දේපළ සම්බන්ධයෙන් වරදක් කර ඇතැ’යි තීරණය කර රිමාන්ඞ් බන්ධනාගාරගත කළ සැකකරුවකු දින දෙකකට පසුව එම අධිකරණය විසින්ම ඇප මත මුදාහරින ලද්දේ එලෙසය. අධිකරණයෙන් පිටත සිට බලන විට මේ සිදුවීම පුදුමාකාරය. පළමු දින පෙනීනොසිටි නීතිඥ පිරිසක් පළමු නීතිඥ පිරිසද අබිබවා කරුණු ඉදිරිපත් කොට ඇප ලබාගනිති. ඒ සඳහා ඉදිරිපත් කරන ලද සුවිශේෂ හේතුවලට පිළිගත හැකි ලිඛිත සාක්‍ෂිද නැත. එහෙත් ඇප ලැබෙයි.

උඩුවේ හිමියන් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටීම ගැන කවුරුන් හරි බියට පත්වුණාද? ඒ සම්බන්ධයෙන් මහා සංඝ නැගිටීමක් ඒවියැ’යි බලධාරීන් සැක සිතුවාද? විචිත‍්‍ර ධර්ම කථිකයකු හා සුපේෂල ශික්‍ෂාකාමියකුයැයි කියන උඩුවේ හිමියන් රිමාන්ඞ් කර තබාගෙන 13 වැනිදා අස්ගිරි මහනාහිමියන්ගේ අවමංගල උත්සවයට සහභාගිවන්නට රටේ නායකකාරකාදීන් බය වුණාද?

අනෙක් හොර අලි පැටියා ළඟ තබාගත් අතිරේක මහේස්ත‍්‍රාත් තවමත් නඩු අසයි. ඔවුන් සම්බන්ධයෙන් විනය පාලනය පැවරී තිබෙන අධිකරණ සේවා කොමිසම තවමත් ඉන්නේ නින්දේය.

හොරණ ශ‍්‍රීපාලි විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරයකුට එරෙහිව ලිංගික බලහත්කාරකම් පිළිබඳ චෝදනාවක් පැමිණි විට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කළේ වහාම ඒ ආචාර්යවරයාගේ සේවය අත්හිටුවා ඔහුට එරෙහි චෝදනා සම්බන්ධ පරීක්‍ෂණයක් පැවැත්වීමට නියම කිරීමය. ඒ කාලය තුළ විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීමටද එම ආචාර්යවරයාට තහනම් කර තිබේ.

එහෙත්, අපේ අධිකරණය තුළ පොදු දේපළ පනත යටතේ වරදක් කළ පුද්ගලයෙක් මේ ලිපිය ලියන තුරුත් විනිශ්චයාසනයට ගොඩවී නඩු අසමින් සිටියි. මේ අපකීර්තිමත් තත්ත්වය ගැන අධිකරණ සේවා කොමිසමට වගේ වගක් නැත. අගවිනිසුරු වරයාගෙනුත් තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් දෙදෙනකු ගෙනුත් සමන්විත අධිකරණ සේවා කොමිසම මහේස්ත‍්‍රාත් වරුන්ගේ විනය පාලනය භාරව ක‍්‍රියාත්මක වන ස්වාධීන ආයතනයයි. තමන් යටතේ සිටින මහේස්ත‍්‍රාත්වරයකුට එරෙහිව රටේ නීතිය යටතේ චෝදනා එල්ලවී ඇති විට ඒ සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ගයක් ගත යුතු කොමිසම ඔහුගෙන් නිදහසට කරුණු විමසා ඇතිවා මිස අන් කිසිදු පියවරක් ගෙන නැත. ඒ නිදහසට කරුණු විමසා ඇත්තේද 2015 දෙසැම්බර් 23වැනිදා මේ මහේස්ත‍්‍රාත්වරයා බලහත් කාරයෙන් පින්නවල අලි අනාථාගාරයට ඇතුළුවීම සම්බන්ධයෙන් පමණක් බව දැනගන්නට ඇත.

කොමිසමේ මේ නිද්‍රාශීලී පිළිවෙත නිසා එක් පැත්තකින් නීතිය කඩා අලි හොරකම් කිරීම ගැන සැකකරුවන් උසාවියට ඇවිත් රටේ අනෙක් මිනිසුන්ගේ නඩු අසන විකාරසහගත රටක් බවට ලංකාව පත්වී තිබේ. අනෙක් පැත්තෙන්, රටේ ඉන්නා නීතිගරුක හා තමන්ගේ වෘත්තියේ ගෞරවය රැුකගැනීමට කැමති අනෙක් අධිකරණ විනිසුරුවරුන්ට, අලි හොරකම් ගැන සැකකරුවන් සමග එකට වාඩිවී නඩු අසන්නට සිදුවන තත්ත්වයක් උද්ගත වී තිබේ. මේ නීතිගරුක විනිසුරුවරුන් බොහෝ දෙනකු කියන්නේ, අධිකරණ සේවා කොමිසමේ මේ ක‍්‍රියාකාරිත්වය නිසා, විනිසුරු කබාය ඇඳගෙන විනිශ්චයාසනයට ගොඩ වීමේ ලජ්ජාවෙන් දැන් තමන් පෙළෙන බවය.

මේ අතර සැකකාර තිළිණ ගමගේ මහේස්ත‍්‍රාත්වරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාටත්, අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ (අධිකරණ විනිසුරුවරු මෙහි සාමාජිකයෝය.) සභාපතිවරියටත් ලිපියක් යවා තිබේ. එහි කියා ඇත්තේ තමා සම්බන්ධයෙන් ඇති චෝදනාවලට එරෙහිව තමා වෙනුවෙන් කොමිසම හා සංගමය ප‍්‍රසිද්ධියේ පෙනීසිටිය යුතු බවයි. ඒ අතර, තිළිණ ගමගේගේ ප‍්‍රකාශයක් ඇතුළත් වීඩියෝ වැඩසටහනක් අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ වෙබ් අඩවියේ ප‍්‍රසිද්ධ කරන්නට ගත් උත්සාහයක් ගැනද අපට දැනගන්නට තිබේ.

අලි පැටවුන් සම්බන්ධයෙන් ලංකාවේ සිදුවී ඇත්තේ කෲර හා බිහිසුණු ජාවාරමක් බවට සැකයක් නැත. වනයේ නිදැල්ලේ සිටින මව් අලියන්ගෙන් පැටවුන් උදුරාගැනීම කෲර අපරාධයකි. අල්ලාගන්නා අලි පැටවුන් රුපියල් කෝටියකට ආසන්න මුදලකට විකුණනු ලැබේ. විකිණීම සම්බන්ධීකරණය කර ඇත්තේ පන්නිපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ විහාරයක හිමිනමක විසිනි. උඩුවේ ධම්මාලෝක හිමි සීඅයිඩියට කටඋත්තර දෙමින් කියා ඇත්තේද තමන්ගේ අලි පැටියා ලබාගැනීම සම්බන්ධීකරණය කළේ පන්නිපිටිය දෙව්රම් විහාරාධිපති කොළො න්නාවේ සුමංගල හිමි බවය.

නීතිය ක‍්‍රියාත්මක වන විට සමහර අය කියන්නේ මෙය බෞද්ධ පෙරහැර පැවැත්වීමේ සංස්කෘතියට කරන ප‍්‍රහාරයක් බවය. බෞද්ධ පෙරහැර ගැන මේ තර්කය ගෙන එන්නේ අලි පැටවුන් හොරකම ගැන ඇත්ත වසාගන්නට බව පැහැදිලිය. බෞද්ධ පෙරහර සඳහා වනයේ නිදැල්ලේ සිටින අලි පැටවුන් අල්ලාගෙන ඇවිත් ජාවාරම් කර යොදාගතයුතුයැ’යි කියා ඇත්තේ මොන බුදුදහමේද? පෙරහර සඳහා ඉදිරියේදී ප‍්‍රමාණවත් අලින් සංඛ්‍යාවක් නැතැ’යි සිතන්නේ නම්, පින්නවල අලි අනාථාගාරයේ සිටින දැනටමත් මිනිස් අවකාශයට හුරුපුරුදු අලින් ඒ සඳහා පුරුදු කර අනාථාගාරයේ නිලධාරීන්ගේ මෙහෙයවීම මතම යොදාගෙන නැවත ඔවුන් අනාථාගාරයටම ගෙන ආ හැකියැ’යිි දඹර අමිල හිමියෝ කියති.

තිළිණ ගමගේගේ ප‍්‍රවේශය ඊට වෙනස්ය. ඔහු කියන්නේ ආණ්ඩුවට එරෙහි නඩු කිහිපයක් ඔහු ඉදිරියේ ඇසෙන නිසා ඔහුගෙන් පළිගන්නට මෙලෙස අලි හොරකමක් ගැන කියන බවය. ඔහු කරන්නේද, නීති විරෝධී ලෙස අලි පැටියකු තමා සන්තකයේ තබාගැනීමේ ගැන වරද වහන්නට ආණ්ඩු විරෝධී අධිකරණ තීරණ ගැන බොරුවක් මවා පෑම මිස අන් යමක් නොවේ.