රාවය

වස විස නැති රටකට පොළොවට පෙර බෝග පරීක්ෂා කරමුද?

වස විස නැති රටකට පොළොවට පෙර බෝග පරීක්ෂා කරමුද?

ලසන්ත රුහුණගේ

යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි වසර කිහිපයකට ඉලක්ක කෙරුණු ප‍්‍රධානතම ව්‍යාපෘතිය බවට පත්වී ඇත්තේ ‘වස විස නැති රටක්’ ජාතික වැඩපිළිවෙළය. එම වැඩපිළිවෙළේ නිල සමාරම්භක අවස්ථාව මාර්තු 7 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර, වස විස නැති ජාතික පොළ යනුවෙන් එම පරිශ‍්‍රයේදී ඊට පෙර දින හා පසු දින ඒ පිළිබඳව විවිධ දැනුවත්කිරීම් සිදුකරනු ලැබීය.

මෙම වැඩපිළිවෙළට අදාළව මාධ්‍යයේ පළවූ දැන්වීම් අනුව ආහාර නිෂ්පාදන ජාතික කෘෂිකාර්මික වැඩසටහන නම් වූ එය 2016 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ ක‍්‍රියාත්මක වීමට නියමිතය. එම කාලය තුළදී පලතුරු ගම්මාන 15,000ක් ඇති කිරීම, කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීමේ අරමුණින් තරුණ ව්‍යවසායකයන් 1,000කට ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදීම, තරුණයන් සඳහා කෘෂිකර්මාන්තයට අදාළ ස්වයං රැකියා 1,000ක් නිර්මාණය කිරීම, වස විස නැති කාබනික පොහොර භාවිත කරමින් පාරිසරික ගෙවතු වගාවන් ලක්ෂ 5ක් ආරම්භ කිරීම, ගමට කෘෂිකර්මාන්තය ප‍්‍රචලිත කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට නියමිතය.

මෙම ජාතික වැඩපිළිවෙළ නිල වශයෙන් ආරම්භ කිරීමට පෙරම පසුගිය අයවැය මගින් ගොවින්ට එතෙක් ලබා දුන් පොහොර සහනාධාරය වෙනුවට තමන්ට කැමති පොහොරක් මිලදී ගැනීම සඳහා හෝ නිෂ්පාදනය කරගැනීම සඳහා (කාබනික පොහොර) මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට යෝජනා කරනු ලැබූ අතර, ඊට නැගුණු ගොවි විරෝධතා මේ වනවිටත් අවසන්ව නැත. එම විරෝධතාවලදී ගොවීන් කියන ප‍්‍රධානම කාරණාව වන්නේ පොහොර සහනාධාරය වෙනුවට ලබාදෙන මූල්‍ය ප‍්‍රතිපාදන ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් වැයවන ලිපිලේඛන හා අනුමැති ක‍්‍රියාවලියක නිරතවීමට සිදුවී ඇති බවය. එසේම තවත් චෝදනාවක් වන්නේ රජය ලබාදෙන මුදලෙන් වගාවට අවශ්‍ය තරම් පොහොර මිලදී ගැනීම හෝ කාබනික පොහොර නිෂ්පාදනය කර ගත නොහැකි බවයි. එසේ වුවද රසායනික පොහොරවලට විරුද්ධත්වය දක්වන ප‍්‍රගතිශීලී ගොවිජන සංවිධානයේ කවුඩුල්ලේ ජයතිස්ස ප‍්‍රමුඛ කණ්ඩායම පවසන්නේ රජය ලබාදෙන මුදලින් කාබනික පොහොර නිෂ්පාදනය කරගෙන වගා කටයුතුවල යෙදිය හැකි බවයි.

කෙසේ හෝ වස විස නැති රටක් යන ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළට ප‍්‍රමුඛම හේතුව වී තිබුණේ විශේෂයෙන්ම උතුරු මැද පළාත හා ඒ ආශ‍්‍රිතව හටගෙන තිබෙන වකුගඩු රෝගය බව පැහැදිලිය. එම වකුගඩු රෝගය ඇතිවන්නේ රසායනික පොහොර හා කෘෂි රසායනික නිසා බවට ප‍්‍රබල මතයක් බෞද්ධ ආගමික නැඹුරුවක් සහිත කණ්ඩායමක් විසින් පසුගිය කාලය පුරා සමාජගත කර තිබෙන අතර, එය විද්‍යාත්මක සාක්ෂි මගින් මෙතෙක් සනාථ කර නැත. එසේ වුවද විද්‍යාත්මක සාක්ෂියක් යැයි කියමින් එම මතය සනාථ කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ විද්‍යාර්ථීන් පිරිසක් එක් අවස්ථාවක දැඩි උත්සාහයක් ගත්තද එම විද්‍යාත්මක යැයි කියූ පරීක්ෂණයේ එක් ගැටලූවකට එම කණ්ඩායමට අවශ්‍ය නිගමනය ලබාදී තිබුණේ අදෘශ්‍යමාන නාථ දෙවියන් නිසා එය විහිළුවට ලක්වීම වළක්වනු බැරිවිය. එසේම මෙම වකුගඩු රෝගය හා බැර ලෝහ අතර සම්බන්ධයක් තිබෙන බවට ඇති මතය මෙතෙක් බිඳ හෙළා හෝ තහවුරු කර නැතිවීමද මෙම රෝගයේ රෝග මූලය කුමක්ද යන්න හඳුනාගැනීමට අපහසුවක් වී ඇත.
කෙසේ වෙතත් මෙම වකුගඩු රෝගයට බලපාන්නේ යැයි උපකල්පනය කරමින් උතුරුමැද පළාත් හා ඒ අවට ප‍්‍රදේශ කිහිපයක තහනම් කර තිබූ ග්ලයිෆොසේට් වල්නාශකය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව මේ වනවිට මුළු රටේම තහනම් කර ඇති අතර, ඊට විකල්ප වශයෙන් වල් නැසීම සඳහා ගොවීන් මේ වනවිට යොදාගනිමින් තිබෙන රසකාරකයක් වන මොනො සෝඩියම් ග්ලූටමේට් හෙවත් අජිනොමොටෝද තහනම් කිරීමට තීරණය කර ඇත.

මේ සියලූ තීරණ තීන්දු පසුපස ඇති ජනාධිපතිවරයාගේ අභිලාෂය වන්නේ වස විස නැති රටක් නිර්මාණය කිරීම බව පෙනේ. 2020 වසරේ සිට සිගරට් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීන්දු ගැනීමද, මත්පැන් සඳහා අධික බදු පැනවීමද එම සටන් පාඨයේ අතිරේක කාරණා බව තවදුරටත් පෙනේ.

වස විසෙන් තොර පොළොවක් තිබිය යුතු බවට විවාදයක් නැත. ශරීරයට දරාගත නොහැකි තරමට වස විස ශරීරයේ නොතිබිය යුතු බවට විවාදයක් නැත. එහෙත් ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණයකින් හෝ නිවැරදි ගණන් බැලීමකින් තොරව එක් පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ හිතැඟි පරිදි ජනප‍්‍රිය තීන්දු තීරණ ගැනීම රටක් වශයෙන් සලකන කල කොතරම් යෝග්‍යද යන්න අප නැවත නැවතත් සලකා බැලිය යුතුය.

එය වී වගාව ආශ‍්‍රයෙන්ම සරලව තේරුම් ගැනීමට උත්සාහ කළහොත් අපට හමුවන්නේ කාබනික පොහොර යොදා සිදුකරන වගාවේ අස්වැන්න, රසායනික පොහොර යොදා සිදුකරන වගාවේ අස්වැන්නට වඩා අඩු බවය. කාබනික ගොවිතැනේදී වැඩි මිනිස් ශ‍්‍රමයක් හා කාලයක් අවශ්‍ය බව යන කාරණා ඊට අතිරේක වශයෙන් හමුවේ. කාලය හා මිනිස් ශ‍්‍රමය යන කාරණා පසෙක තබා මුළු රටේම වී ගොවිතැන කාබනික පොහොර යොදා සිදුකරනවා යැයි උපකල්පනය කළහොත් රටේ අවශ්‍යතාවට අවශ්‍ය සහල් ඉන් සපයාගත හැකිද යන්න මේ ජනප‍්‍රිය තීන්දු තීරණවලදී නොසලකා ඇති කරුණකි. එසේම එසේ කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරනු ලබන සහල් රසායනික පොහොර යොදා නිපදවනු ලබන සහල්වල මිලට ලබාදිය හැකිද යන්නද මෙහිදී සලකා බලා නැත. මන්ද දැනටමත් වැඩි ගුණාත්මකභාවයක් ඇතැයි සැලකෙන කාබනික වගාවේ සහල් වෙළඳපොළේ විකුණන්නේ ඉහළ මිලකට බැවින්ය. මෙයම ගොවියාගේ පැත්තෙන් බැලූ කල වැඩි මුදලක් හා ශ‍්‍රමයක් යොදවා අඩු පලදාවක් ලබාගන්නා ගුණාත්මක නිෂ්පාදනයක්, එහි නිෂ්පාදන මිලට වඩා අඩුවෙන් දීම වත්මනේ පවා බොහෝ ප‍්‍රදේශවල අලාභ වී ඇති වී ගොවිතැන, ගොවියාගේ පැත්තෙන් තවත් අර්බුදයකට යවන්නකි.

එවැනි උදාහරණ හා කරුණු පිළිබඳව සලකා අවධානය යොමු කිරීමේදී මිනිස් ශරීරය උග‍්‍ර වස විසවලින් බේරාගැනීම සඳහා අනුගමනය කළ හැකි හා අනුගමනය කළ යුතු යැයි පනවා ඇති නීති රීති ක‍්‍රමවේදයන්ද මේ රට තුළ පවතී. එහෙත් ඒ සඳහා කිසිදු අවධානයක් එම නීති රීති හඳුන්වා දුන් දිනයේ සිට මේ දක්වා සිදුකෙරී නැත. මේ වූ කලි වෙන කිසිවක් නොව ආහාර මනුෂ්‍ය පරිභෝජනයට මුදාහැරීමට පෙර ඒවාහි රැුඳී ඇති පළිබෝධනාශකවල අවශිෂ්ට ප‍්‍රමාණය මැන පරීක්ෂා කර මිනිස් පරිභෝජනයට සුදුසුද, නුසුදුසුද යන්න තීරණය කිරීමේ ක‍්‍රමවේදයය. 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ 1986 දෙසැම්බර් 24 වැනිදා පළ කර ඇති අංක 433/9 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය අනුව ආහාර බෝගවල ඇති පළිබෝධනාශකවල අවශිෂ්ට ප‍්‍රමාණය මැන, එය මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයක තිබේ නම් පමණක් වෙළඳපොළට නිකුත් කළ යුතු අතර, එසේ නොවේ නම් විනාශ කළ යුතුය. එම ගැසට් නිවේදනය අනුව අවශිෂ්ට ප‍්‍රමාණයේ නියාමනයන්ට අමතරව එක් එක් පළිබෝධනාශකය ආහාර බෝග වගාවකට ඉසීමෙන් පසු එම ආහාර බෝගයේ අස්වැන්න නෙළිය යුත්තේ කිනම් කාලයකින්ද යන්නද නිශ්චය කර ඇත. උදාහරණයකට කාබොෆියුරාන් නමැති කෘෂි රසායනය පතෝල, කරවිල ආදි බෝගයකට අවසාන වරට ඉසීමෙන් පසු අස්වැන්න නෙළිය හැක්කේ දින 14කට පසුය. එහිදීත් එම බෝගවල රැුඳී තිබිය හැකි පළිබෝධනාශක අවශිෂ්ට ප‍්‍රමාණයේ උපරිමය ආහාර බෝග කිලෝග්රෑමයක් සඳහා මිලිග්?ම්වලටත් අඩු සිලිග්?ම් 1කි. ඊට වඩා වැඩි මිලිග්?ම් ප‍්‍රමාණයක් ඇත්නම් එම ආහාර බෝගය මිනිස් පරිභෝජනයට නුසුදුසුය. ළුෑණු සඳහා එම සිලි ග්?ම් ප‍්‍රමාණය දක්වන්නේ කිලෝග්?ම් එකකට සිලිග්?ම් 0.1ක් වශයෙන්ය.

එහෙත් ශ‍්‍රී ලංකාවේ මේ ආහාර ප‍්‍රමිතිකරණයන් පවතින්නේ අතිවිශේෂ ගැසට් පත‍්‍රවල පමණය. ආහාරවල එම ප‍්‍රමිතිකරණය අවුරුදු 30ක් ගතවීත් රට තුළ ක‍්‍රියාත්මක වී නැත. පළිබෝධනාශක යෙදීමෙන් පසු අස්වැන්න නෙළන්නේ නියමිත කාලයේදීද යන්න සොයා බැලීමේ මෙන්ම නෙලූ අස්වැන්න මිනිස් පරිභෝජනයට යොමුකිරීමේදී එහි රැුඳී ඇති පළිබෝධනාශක අවශිෂ්ට ප‍්‍රමාණය සුදුසුද යන්න පරීක්ෂා කිරීමේ ක‍්‍රමවේදයක් අපට තවම නැත. එහෙත් ලෝකයේ වෙනත් රටවල එවැනි ක‍්‍රමවේද පවතී. එය දේශීය වගාවන්ට පමණක් නොව, ආනයනික බෝග වගාවන්ටද අදාළය. ආනයනික ආහාර බෝගවලද පළිබෝධනාශක අවශිෂ්ට ප‍්‍රමාණය මැන බැලීමේ ක‍්‍රමවේදයක් අප රටට තව නැත. ඒ ආකාරයේ ක‍්‍රමවේදයක් නැති තත්ත්වය තුළ දේශීය වේවා, ආනයනික වේවා ආහාර බෝගවලින් උග‍්‍ර වස විස මිනිස් ශරීරයට ඇතුළුවීම වැළැක්විය නොහැකිය. අවශ්‍ය වන්නේ නූතන මිනිස් අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස අඩු වියදම්, කාර්යක්ෂම හා වැඩි ඵලදාවක් සහිත ආහාර බෝග වගාවක් හා අස්වැන්න නෙළීමෙන් පසු එය මිනිස් පරිභෝජනයට සුදුසුද යන්න සොයාබැලීමේ ක‍්‍රමවේදයක්ය. හුදු ජනප‍්‍රිය තීන්දු තීරණ නොවේය.