සංහිඳියාව යනු යුක්තිය මිස සහනාධාර නොවේ

ලසන්ත රුහුණගේ

සංහිඳියාව අවශ්‍ය වන්නේ බෙදුණු විරසක දෙපිරි සක් අතරටය. එසේ බෙදුණු, විරසක දෙපාර්ශ්වයෙන් කිනම් පාර්ශ්වයක් හෝ සැඟවුණු අරමුණු හෝ සැඟවුණු න්‍යාය පත‍්‍ර නොමැතිව සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, සංහිඳියාව වෙනුවෙන් කැපවෙන්නේ නම් එය අගය කළ යුතුය. ඊට දිරි දිය යුතුය.

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ සංහිඳියාව ගැන මේ වනවිට මාධ්‍ය ඔස්සේ කතාබහ කරන්නට පටන්ගෙන තිබේ. මේ කතාබහට නිමිත්ත වී ඇත්තේ පසුගිය සතියේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ප‍්‍රමුඛව උතුරේ සංචාරයක යෙදුණු මාධ්‍ය කණ්ඩායමේ චාරිකාවය. මේ මාධ්‍ය සංචාරය පිළිබඳව පූර්ව ප‍්‍රචාර රැුසක් සිදුවූ අතර ඒවායින් කියවුණේ ‘තල්පතයි පන්හිඳයි එකට යා කෙරෙන සංහිඳියාවේ චාරිකාව ‘දකුණේ මාධ්‍ය සහෝදරත්වය හා උතුරේ මාධ්‍ය සහෝදරත්වය එකට යා කරන සංහිඳියාවේ චාරිකාව’, ‘එන්න එකට හුස්ම ගන්න’ ආදී ආකර්ෂණීය පාඨය.

මේ පූර්ව ප‍්‍රචාර පිළිබඳව සිදුකෙරුණු මාධ්‍ය වාර්තාකරණයන් තුළදී ප‍්‍රධාන වශයෙන්ම මූලික කරුණු තුනක් ඉස්මතු කිරීමට උත්සාහ ගෙන තිබුණි. ඒ සංහිඳියාව සඳහා උතුරට යන පළමු මාධ්‍ය කණ්ඩායම මේ බව ඒත්තු ගැන්වීම, උතුරේ මාධ්‍යවේදීන්ට පළමුවරට පුහුණු අවස්ථා ලබාදුන්නේ එම චාරිකාවේ සංවිධානයට උරදී සිටින සංවිධානය බව පැවසීම හා සංහිඳියාව සඳහා උතුරේ මාධ්‍යවේදීන්ට අවශ්‍ය වෙන්නේ ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර බව ඒත්තු ගැන්වීමය.
මාධ්‍ය හරහා තොරතුරු ලබාගන්නා සාමාන්‍ය පොදු මහජනතාව මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පිරිස්ද මේ ඒත්තු ගැන්වීම් සත්‍ය ලෙස සිතීමට හැකි නිසා ඒ පිළිබඳව කරුණු දැක්වීම මෙහි අරමුණය. ඒ සඳහා බොහෝ විට ලියුම්කරුගේ පෞද්ගලික අත්දැකීම් ආශ‍්‍රයෙන් කරුණු ගෙනහැර පෑමට සිදුවන අතර, ඊට වෙනස් බොහෝ අත්දැකීම්ද තිබිය හැකි බව කිව යුතුය.

රටේ උතුරු පළාතත් දකුණු පළාතත් මායිම් වශයෙන් වෙන්ව බෙදී තිබී දරුණුතම යුද්ධයක් අවසන් වීමෙන් පසු දකුණේ පිරිස්වලට උතුරට හෙවත් යාපනයට යෑමට තිබුණේ ක‍්‍රම දෙකක් පමණය. ඒ නැව් මගින් මුහුද ඔස්සේ ගමන් කිරීම හා ගුවනින් ගමන් කිරීමය. ඒ නවය මාර්ගය වසා තිබීම ඊට හේතුවය. එසමයේ ලියුම්කරුද ඇතුළු මාධ්‍ය ක‍්‍රියාකාරීන් පිරිසක් ගුවන් මගින් යාපනයට ගියේ ජාතික සාම මණ්ඩලයේ අනුග‍්‍රහයෙන්ය. යාපනයේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතනවල දුෂ්කරතා ගැටලූ ඔවුන්ට ඇති බලපෑම් අපි සාකච්ඡුා කළෙමු. යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම දේශපාලනඥයන්ද, අමතරව යාපනය තුළ සුළුතරයක් ලෙස ජීවත්වන මුස්ලිම් ජනතාවද අපි හමුවුණෙමු. කොළඹ ආ පසු ඒ සඳහා විවිධාකාරයේ විසඳුම් සෙවීමට උත්සාහ ගත්තෙමු. එදා යාපනයට ගිය මාධ්‍ය ක‍්‍රියාකාරීහු බොහෝ පිරිසක් මාධ්‍යවේදීන් ලෙස හෝ වෙනත් ක්ෂේත‍්‍රවල කටයුතු කරමින් තවමත් රට තුළ සිටින්නෝය. ඒ නිසා ඒ ඉතිහාසය කාටවත් වළලා දමන්නට හැකිවන්නේ නැත.

ඒ නවය මාර්ගය විවෘත කිරීමෙන් පසු ජනමාධ්‍ය සංවිධාන එකතුව යළි යාපනයට ගියේ හමුදා පාලනයක් යටතේ ඒ වනවිටත් යාපනයේ මාධ්‍යයට එල්ල වෙමින් තිබූ මර්දනයට එරෙහිව හඬ නැඟීම සඳහාය. හමුදා පාලනයට නතුවීමෙන් පසු යාපනය නගර මාධ්‍යයේ විරෝධතා පුවරු සහිත සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක් කළේ මාධ්‍ය සංවිධාන එකතුවය. ඉන් නොනැවතී යාපනය නගරය පුරා විරෝධතා පෙළපාලියකද අපි නිරත වූවෙමු. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (එවකට ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය* දෙමළ මාධ්‍ය සංසදය, මුස්ලිම් මාධ්‍ය සංවිධානය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දකුණු ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ශ‍්‍රී ලංකා පාර්ශ්වය සහ නිදහස සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය ඊට එක්වූහ. ලැබූහ. ඒ වූකලි යුද ජයග‍්‍රහණයෙන් උන්මාදයට පත්වී සිටි හමුදා පාලනයක් සහිත ප‍්‍රදේශයකදී මරණයත් සමග අප අත්හදා බැලූ සහෝදරත්වයේ අවදානම් පිම්මක් විය.

ඉන්පසු පත් අදටත් කිසිවකු දඬුවම් ලබා හෝ නීතිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවකු නොමැති ඝාතනය කරන ලද මාධ්‍යවේදී නිමලරාජන් සමරු දේශනය සඳහා යාපනය මාධ්‍ය සමාජය ආරාධනා කරනු ලැබුණේ ලියුම්කරුටය. සහෝදර ටී. නඩරාසා මාධ්‍යවේදියා සමග රාත‍්‍රී බසයක නැඟ එහි යනවිටත් මාධ්‍යවේදිනී සීතා රංජනී එහි පැමිණ තිබුණි. ඒ නිමලරාජන් සමරු වැඩසටහන තුළදී ඇය විසින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සකසා තිබූ ‘අදහස් ඝාතනයේ ගොදුරු’ නම් වූ පොත පිළිබඳව අදහස් කිහිපයක් දක්වන්නටය. අමතරව මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ පැමිණ සිටියේ ප‍්‍රගීත්ගේ කාටුන් ඇතුළත් පොත බෙදාහැරීම සඳහාය. නිමලරාජන් සමරුව සඳහා වෙන්කර තිබූ ශාලාව ලබාදීමට නොහැකි බව සංවිධායකයන්ට දන්වා තිබුණේ හමුදාවේ උපදෙස් මතය. එම සමරුව සඳහා යාපනය නගරයේ කිසිදු ශාලාවක් ලබානොදෙන ලෙස හමුදාව නියෝග කර තිබුණි. අවසානයේ සංවිධායකයන්ගේ පිහිටට ආවේ යාපනය රදගුරු නිවසේ ශාලාවය. පෙරවරුවට නියමිත නිමලරාජන් සමරුව අවසානයේ පවත්වන්නට සිදුවූයේ පස්වරුවේය. ගවේෂණාත්මක මාධ්‍ය වේදියා හා නිමලරාජන් මැයෙන් එදා අප විසින් සිදුකරනු ලැබූ කතාව යාපනයේ යුද හමුදා පාලනය ගැනද, ඒ හා බැඳුණු දේශපාලන සබඳතා ගැනද කරනු ලැබූ සඳහන් කිරීම් එම සමරුව සඳහා සහභාගි වූ ටීඑන්ඒ මන්ත‍්‍රීවරුන් පවා තැතිගන්වනසුලූ විය. අපගේ කතාව අතරතුර සහෝදර මාධ්‍යවේදී නඩරාසාට එම මන්ත‍්‍රීවරුන් කියා ඇත්තේ එවැනි කතාවක් කිරීම අනතුරකට හේතුවක් බවය. සංහිඳියාව යන වචනය කෙසේ වෙතත් අප ඒ ආකාරයට යාපනයට ගියේ හා ක‍්‍රියාකාරකම්වල යෙදුණේ සහෝදරත්වයේ හා වගකීමේ නාමයෙන්ය. ඒ කිසිවක් සඳහා පූර්ව හෝ පසු ප‍්‍රචාරක පටි තැනුවේ නැත.

උතුරු පළාත් මාධ්‍යවේදීන් පුහුණුව සඳහා අප මුලින්ම ගියේ ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ආරාධනයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්.එස්.එම්. අයුබ් මහතා සමගය. පුහුණුව පැවැත්වූවේ වව්නියාවේය. ඊට හේතු වූයේ උතුරු පළාතට අයත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම හා වව්නියාව යන සියලූ දිස්ත‍්‍රික්කවල මාධ්‍යවේදීන්ට පැමිණීමේ පහසුව එමගින් සිදුවන බව සංවිධායකයන් කල්පනා කිරීමය. ඉන් පසු අවස්ථාවක යාපනය මාධ්‍ය සමාජය, අප හා දුෂ්‍යන්ති කනකසභාපතිපිල්ලේට ආරාධනා කළේ යාපනය මාධ්‍යවේදීන් පුහුණු කරනු සඳහාය. දුෂ්‍යන්තිත්, අපිත් කොළඹ යාපනය බසයක නැග ගොස් එම කටයුත්ත සිදු කළෙමු.

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයද සංහිඳියා කොමිෂන් වාර්තාවේ ඇති මානව හිමිකම් ගැටලූ සම්බන්ධයෙන් වාර්තා කිරීම් පිළිබඳ මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ පුහුණු වැඩසටහනක් ආරම්භ කරනු ලැබූ අතර උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් සඳහා වු පුහුණුව දෙපළාතටම අතරමැදි ස්ථානයක් වූ ගිරිතලේදී සූදානම් කර තිබුණි. එහෙත් එම පුහුණුව අවසන් කරන්නට ඉඩ ලැබුණේ නැත. අද ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරෙන් කරන ලද දැනුම්දීම අනුව එම පුහුණුව කරගෙන යෑමට ඉඩදිය නොහැකි බව හෝටල් පාලනාධිකාරිය දන්වනු ලැබීය. පුහුණුවට පැමිණි උතුරු නැගෙනහිර දෙමළ භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් ආරක්ෂාකාරීව නැවත ඔවුන්ගේ ගම්බිම්වලට පිටත් කරන්නට අපට සිදුවිය. එදා පුහුණුකරුවන් වශයෙන් ඊට මුහුණ දුන් අප ද ඇතුළු ශාන් විජේතුංගද, නීතිඥ ජගත් ලියනආරච්චිද ඒ සඳහා සාක්ෂිකරුවන්ය.

අතරමඟ නවත්තන්නට වූ මෙම පුහුණුව වෙනත් දිනයක, වෙනත් ස්ථානයක පවත්වන්නට තීරණය කරන ලද අතර ඒ සඳහා තෝරාගනු ලැබුයේ මීගමුවයි. මීගමුවේදීත් වැඩසටහන කිරීමට නොහැකි වූ අතර, ඊට හේතුව වූයේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සාමාන්‍ය ජනතාව මෙන් පැමිණ පුහුණුකරුවන් වූ අප රට පාවාදීම සඳහා දෙමළ මාධ්‍යවේදීන් පුහුණු කරනවා යැයි පවසමින් (ජිනීවා සඳහා ගතු කීමට) අපගේ රුවද සහිත බැනර් ප‍්‍රදර්ශනය කරමින් පුහුණුව පැවති හෝටලය වටලා උද්ඝෝෂණ සිදුකිරීමය. එහිදී දිගින් දිගටම අපගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියද ඊට අපොහොසත් වූ පොලිසිය පැවසුවේ පුහුණුව නවතා දමා ඉක්මනින් පිටවී යන ලෙසයි. උතුරු නැගෙනහිර පළාත්වලින් පැමිණි දෙමළ මාධ්‍යයෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් අනාරක්ෂිතව රාත‍්‍රියේ පිට කිරීමට නොහැකි බැවින් එදින රාත‍්‍රියේ ආරක්ෂා සහිතව ඔවුන් නවාතැන් ගැන්වීමට අපට සිදුවූ අතර, ඒ අනුව අප තීරණය කළේ කොළඹ නගර මධ්‍යයේ තරු හෝටලයක රාත‍්‍රිය ගතකිරීමට ඔවුන් පහසුකම් සැලසිය යුතු බවයි. ඊට හේතු වූයේද කොළඹ නගරයේ තරු හෝටල් ගෝලීය වශයෙන් පැතිර පවත්නා හෝටල් ජාලයක සාමාජිකයන් වන බැවින් එවැන්නකට බලපෑම් කිරීමට කිසිවකු ඉදිරිපත් නොවන බවට උපකල්පනය කිරීමය.

ඒ අනුව කොළඹ ගලදාරි හෝටලයේ ආරක්ෂාව සඳහා රාත‍්‍රිය ගතකිරීමට මාධ්‍යවේදීන් නවතා ඔවුන්ට රාත‍්‍රී ආහාරය සොයාගෙන ඒම සඳහා මධ්‍යම රාත‍්‍රිය කිට්ටු වී තිබූ එම මොහොතේ අපිත්, ශාන් විජේතුංගත් අනතුරක්ද අත දරාගෙන මහමඟට පිළිපන්නෙමු. එසේ පිටත්වී කෑම රැුගෙන හෝටලයට පැමිණීමට පෙරම පැය භාගයක පමණ කාලයක් ඇතුළතදී වහාම හෝටලයෙන් පිටවී යන ලෙස ගලදාරි හෝටලය අපට දන්වනු ලැබීය. අපව හෝටලයෙන් එළියට දමන ලෙස ඔවුන්ට නියෝග කර තිබුණේ දුරකථන ඇමතුමක් මගින්ය. එසමයේ ගලදාරි හෝටලයට දුරකථන ඇමතුමකින් නියෝග දීමට හැකි, එම නියෝගය ගලදාරි හෝටලය බයටම පිළිගන්නට තරම් ප‍්‍රබලයා කවුද?

පසුවදා ඔවුන්ගේ ගම්බිම් කරා එම ජනමාධ්‍යවේදීන් පිටත්කර යවන තෙක් එදින රාත‍්‍රියේ ඔවුන් ආරක්ෂා සහිතව තබාගන්නේ කොහිද? අප මුහුණ දුන් බරපතළම ප‍්‍රශ්නය වූයේ එයයි. අවසානයේ විකල්ප නොවූ තැන එදින රාත‍්‍රිය ගතකිරීම සඳහා ඔවුන් රැුගෙන ගියේ ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ කාර්යාලයටය. ඒ සඳහාත් හේතුවක් තිබුණි. බුද්ධි අංශ යම් ප‍්‍රහාරයක් එල්ල කළේ නම් එල්ල කරන්නට වන්නේ ජනමාධ්‍ය සංගමයක කාර්යාලයකටය. එසේ වුවද එදින රාත‍්‍රියේ අපට ප‍්‍රහාරයක් එල්ල නොවේ යැයි සහතිකයක්ද අපට තිබුණේ නැත. ඒ නිසාම උතුරු නැගෙනහිර ජනමාධ්‍යවේදීන් ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ කාර්යාලයේ රඳවා ඉන් පිටත මහා මාර්ගයේ සිට සැකකටයුතු යමක් සිදුවුවහොත් එම පණිවිඩය ඉක්මනින්ම සන්නිවේදනය කිරීමට නිදිවර්ජිතව රැුය පහන් කරන්නට අපටත්, ශාන් විජේතුංගටත්, ජයසිරි ජයසේකරටත් සිදුවිය. අවසානයේ එම මාධ්‍යවේදීන් ඔවුන්ගේ ගම්බිම් කරා පිටත් කරන ලද්දේ පසුවදාය.

ජනමාධ්‍යවේදීන් මරාදමා, ජනමාධ්‍යවේදීන් අතුරුදන් කර, ජනමාධ්‍යවේදීන්ට පහරදී, ජනමාධ්‍ය ආයතන ගිනි තබා, ජනමාධ්‍යයට එරෙහි වෙනත් ආකාරයේ තර්ජනය කිරීම් හා භීෂණය වපුරා ගෙවුණු කාලයක සංහිඳියාව ඇති කළ හැක්කේ කෙසේද? යහපාලන ආණ්ඩුව බලයට පත්වී ටික දිනකින්ම ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ලිඛිතව ඉල්ලා සිටියේ එම ඝාතන, අතුරුදන් කිරීම්, පහරදීම්, ගිනි තැබීම් ඇතුළු ජනමාධ්‍ය සමාජයට එරෙහිව දියත් වූ සකලවිධ අපරාධ හා බලපෑම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසය. එම ඉල්ලීමේ වසරක කාලය ගෙවුණු පසුගිය ජනවාරියේදී නැවත එම ඉල්ලීම සිහිපත් කරමින් ජනාධිපතිවරයාට ලිඛිත දැනුම්දීමක් සිදුකරමින් ඒ සඳහා බලකරන විරෝධතාවක්ද සිදුකරනු ලැබුයේ එහෙයින්ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්දෝ, ජනාධිපති අතිරේක ලේකම්වරයකු පසුගිය මාර්තු මුල් සතියේදී පුවත්පත් දැන්වීමක් පළ කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ 2005 වසරේ සිට 2011 වසර දක්වා යම් හිරිහැරයන්ට පීඩාවන්ට පත්වූ ජනමාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා කමිටුවක් පත්කර ඇති බව හා ඊට තොරතුරු සපයන ලෙසටය.

පැහැදිලිවම මෙම කමිටුව ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලූ දෙය නොවේ. පීඩාවට හෝ අගතියට පත් ජනමාධ්‍යවේදීන්ට සහන සැලසිය යුතුය. එහි විවාදයක් හෝ තර්කයක් නැත. එහෙත් එමගින් පමණක් ජනමාධ්‍ය සමාජයට යුක්තිය ඉටුවන්නේ නැත. ජනමාධ්‍ය සමාජයට එරෙහිව සිදුකළ අපරාධ නොසොයා, එම අපරාධකරුවන් නීතිය හමුවට නොපමුණුවා, නීතිය හමුවේ ඔවුන්ට දඬුවම් ලබානොදී සිදුකරන යම් ක‍්‍රියාමාර්ගයක් වේ නම් පැහැදිලිවම එය එම අපරාධ වළදැමීමකි. අපරාධකරුවන්ට නිදැල්ලේ සැරිසැරීමට ඉඩදීමකි. ජනමාධ්‍ය සමාජයට එරෙහිව යළි යළිත් අපරාධ කිරීමට අනුබල දීමකි.

සංහිඳියාවේ චාරිකාවයැයි කියූ ගමනේදී ජනමාධ්‍ය ඇමතිවරයා ප‍්‍රමුඛ කණ්ඩායමෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් අසා තිබුණේ ඉහතින් විස්තර කරන ලද සත්‍යයය. මහ ඇමතිවරයා අසා තිබුණේ ඔහු දන්නා පරිදි හතළිහකට ආසන්න ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාවක් මරාදමා හෝ අතුරුදන් කර තිබියදී ලසන්ත වික‍්‍රමතුංග ඇතුළු හතර දෙනෙකු ගැන පමණක් පරීක්ෂණ පවත්වන බවත්, පරීක්ෂණ නොපවත්වන මාධ්‍යවේදීන් අතිබහුතරය දෙමළ මාධ්‍යවේදීන් බවත්, සැබෑ සංහිඳියාවක් ඇතිවීමට නම් එම අපරාධ පිළිබඳව කඩිනමින් පරීක්ෂණ පවත්වා සිදුවූයේ කුමක්දැයි ආණ්ඩුව වහාම රටට හෙළිකළ යුතු බවත්ය.

ඒ අනුව යමින්ම උතුරේ අතුරුදන් වූ මාධ්‍යවේදියකුගේ පියෙකු ප‍්‍රකාශ කර තිබුණේ සහනාධාර කිසිවක් තමාට අනවශ්‍ය බවත්, තම පුතා සම්බන්ධයෙන් මරණ සහතිකයක් ලබාදෙන ලෙසත්ය. යථාර්ථය වන්නේ එයය. යතුරුපැදි, නිවාස හෝ බැංකු ණය නොවන්නේය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද යුද්ධයෙන් පසු උතුරට ද්‍රව්‍යමය ආධාර දුන්නේය. මහාමාර්ග පිළිසකර කළේය. ගොඩනැගිලි පිළිසකර කළේය. උතුරට එසේ සංවර්ධනයක් ළඟාකරදී තිබියදී උතුර තවත් ඉල්ලන්නේ මොනවාදැයි එදා ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රශ්න කර සිටියේය. උතුර ඉල්ලන්නේ කුමක්දැයි මහින්ද රාජපක්ෂ පරාජයට පත්කර එම ජනතාව පෙන්වූවේය. එම යථාර්ථය තේරුම් ගන්නට වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇති බව සිදුවන මේ සංදර්ශනවලින් පෙනේ. ඒ නිසාම ජනමාධ්‍ය සමාජය වෙනුවෙන් ආණ්ඩුවට මඟහැර යා නොහැකි න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛ විය යුතු සංහිඳියාවට අදාළ කරුණ වන්නේ යුක්තියය. ඒ සඳහා වූ ආණ්ඩුවේ කැපවීම හා අවංකභාවය ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ඉදිරි දිශානතිය තීරණය කරනු ඇත.