රාවය

තොරතුරු සංස්කෘතියක් කරා යන ගමන

තොරතුරු සංස්කෘතියක් කරා යන ගමන

කේඩබ්ලිව් ජනරංජන

ප්‍රජාතන්ත‍්‍රවාදී ශ‍්‍රී ලංකාවක් ගොඩ නගා ගැනීමට වෙහෙසෙන බහුතර ජනතාවකගේ සිත් ප‍්‍රමෝදයට පත්කරමින් තොරතුරු දැනගැනීම සඳහා ඇති අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත, බොහෝ ප‍්‍රමාදවීම්වලින් පසු වුවද, මාර්තු 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. එය, වහල් භාවයට පත්නොවී සිය පරමාධිපත්‍ය බලය නගා සිටුවාගැනීමට වුවමනාවක් තිබෙන පුරවැසි යන්ගේ ජයග‍්‍රහණයකි. මෙවැනි පනතක් වහලූන්ට අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය තවදුරටත් වහල්භාවයේ සතුටින් ගැලීසිටීමට නිසා මෙවැනි අයිතිවාසිකම් පිළිබඳ නීති ඔවුන්ගේ සතුට සිඳබිඳ දමයි. ඒ නිසා උගුලක්, කුමන්ත‍්‍රණයක් ලෙස මේ පනත පවා හැඳින්වීමට ඔවුන් ඉදිරියේදී පියවර ගනු ඇත.
ලංකාව තොරතුරු පනතක් ගෙන එන්නේ දකුණු ආසියාතික කලාපයේ බොහෝ රටවල් එය කළාට පසුවය. මාලදිවයින පවා ලංකාවට පෙර එවැනි පනතක් සම්මත කරගත්තේය.

ලංකාවේ 1990 දශකයේ මුල සිටම තොරතුරු පනතක් ගැන වුවමනාව දැක්වූවෝ මාධ්‍යවේදියෝය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය, මාධ්‍ය නිදහස හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් අවශ්‍ය වන නීති ප‍්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 1994දී පත්කරන ලද ආර්කේ ඩබ්ලිව් ගුණසේකර (සභාපති*, ශිරාණි බණ්ඩාරනායක, රොහාන් එදිරිසිංහ, ලූෂන් රාජකරු ණානායක, ජයම්පති වික‍්‍රමරත්න, සහ ජාවිඞ් යූසුෆ් යන සාමාජික යන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ අතර, (පසුව වික්ටර් ගුණවර්ධන හා සූරියා වික‍්‍රමසිංහද කමිටුවට පත්කරන ලදහ.) එම කමිටුව 1995 අපේ‍්‍රල් 7 වැනිදා සිය අතුරු වාර්තාව නිකුත් කළේය.

1996 මැයි 27 ඉදිරිපත්කරන ලද අවසන් වාර්තාවෙන් මේ ආර්කේඩබ්ලිව් කමිටුව, පහත ලක්‍ෂණවලින් සමන්විත තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනතක් නීතිගත කළයුතුයැ’යි නිර්දේශ කළේය. 1. තොරතුරු හෙළිකිරීම රීතිය වන හා ඊට ඇති සීමා ව්‍යතිරේකය වන, 2. සෑම පුද්ගලයකුටම තොරතුරු සඳහා සමාන ප‍්‍රවේශය ඇතිකරන, 3. තොරතුරු නොදී සිටීමට හේතු යුක්තිසහගත කිරීමේ භාරය ආණ්ඩුව මත පැටවෙන, 4. අනිසි ලෙස තොරතුරු ලබාදීම ප‍්‍රතික්‍ෂෙප කරන විට සහන ඉල්ලා අධිකරණයට යෑමට හැකිවන. 1998 අපේ‍්‍රල් 27-29 දිනවල පැවැති සමුළුවකින් පසු නිකුත් කළ මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශනයෙහි, ඉහත කමිටුවේ කරුණුද අවධාරණය කරමින් මෙසේ සඳහන් විය. ‘නිල රහස් යන්න පුළුල් හා අනියමිත ලෙස නිර්වචනය කර ඇති නිල රහස් පනත අහෝසි කොට ඒ වෙනුවට තොරතුරු හෙළිකිරීම සාමාන්‍ය පිළිවෙත හා රහසිගතභාවය ව්‍යතිරේකය ලෙස සලකන තොරතුරු නිදහස පිළිබඳ පනතක් පැනවිය යුතුය. එම පනතෙන් විනිවිදභාවය සහ විවෘත රාජ්‍ය යන්ත‍්‍රයක මූලධර්ම පිළිබිඹු විය යුතුය.’

2002දී එජාප ආණ්ඩුව තොරතුරු පනත පිළිබඳ ක‍්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා කමිටුවක් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පත්කළේය. මේ කමිටුව සකස් කළ පනත් කෙටුම්පත 2003දී කැබිනට් මණ්ඩලය අනුමත කළේය. එහෙත් පාර්ලි මේන්තුව විසුරුවාහැරීම නිසා එය පනතක් බවට පත්නොවීය.

ඉන් අවුරුදු හතකට පසු 2010 ජූලි මාසයේ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පෞද්ගලික පනත් කෙටුම්පතක් ලෙස එයම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යද්දී, විපක්‍ෂ නායකට පෞද්ගලික පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ නොහැකිය යන පදනම මත එය වලක්වන ලදි. එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය 2010 සැප්තැම්බර් 23 වැනිදා නැවතත් පෞද්ගලික පනත් කෙටුම්පතක් ලෙස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන කීවේ, කරු ජයසූරියගේ කෙටුම්පත හකුළාගත යුතු බවත්, ආණ්ඩුව මාස හයක් තුළ එවැනි පනතක් ගෙනෙන බවත්ය. කරු සිය වෑයම හකුළාගත්තේය. එහෙත් රාජපක්‍ෂ ආණ්ඩුවෙන් කෙටුම්පතක් ඉදිරිපත්වුණේ නැත. එනිසා කරු ජයසූරිය මහතා නැවතත්, 2011 ජුනි 21 වැනිදා පෞද්ගලික පනත් කෙටුම්පතක් ලෙස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ අවස්ථාවේදී නැගීසිටි ඇමති බැසිල් රාජපක්‍ෂ, කරු ජයසූරියට පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නට ඉඩ දෙනවාද යන්න ගැන පාර්ලිමේන්තුවේ ඡුන්දයක් පැවැත්විය යුතුයැ’යි කීවේය. ඊට ඉඩ නොදීමට පක්‍ෂව ආණ්ඩුවෙන් ඡුන්ද 99ක් ලැබුණු අතර, කරු ජයසූරියගේ උත්සාහයට පක්‍ෂව ලැබුණේ 32කි. ඒ රාජපක්‍ෂ ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතියට සැලකූ හැටිය. උදෑසන හමුවීමකදී පුවත්පත් කර්තෘවරයකු තොරතුරු පනතක් ගෙනඑන්නේ නැතිදැ’යි ජනාධිපති රාජපක්‍ෂගෙන් ඇසූවිට ඔහු ගත්කටටම කිව්වේ, මොකටද පනතක්, ඔය තොරතුරු හැම තැනම තියෙන්නේ, වුවමනා නම් මගෙන් ඉල්ලන්න, මං කියන්නම් කියාය.

ඒ ප‍්‍රකාශයෙන් තොරතුරු අයිතිය ගැන රාජපක්‍ෂ මතවාදය පැහැදිලි කෙරෙන්නේය. එනම් ‘තොරතුරු ඇත්තේ රාජපක්‍ෂ ළඟය. තොරතුරු ඉල්ලිය යුත්තේ රාජපක්‍ෂලාගෙනි. ඉල්ලූ විට තමන්ගේ කැමැත්ත පරිදි රාජපක්‍ෂවරු තොරතුරු දෙන්නෝය හෝ නොදෙන්නෝය.’ මේ ද ඒ තාක් රාජපක්‍ෂ පාලනය විසින් පවත්වාගෙන ගිය වහලා සහ වහල් හිමියා මතකයට නංවන උදාහරණයකි. වහලාට අයිතීන් ඇත්තේ වහල් හිමියා කැමති ප‍්‍රමාණයටය. ඒවා ඉල්ලාගත යුත්තේද වහල් හිමියාගෙනි.

තොරතුරු පනතක් මේ වැඩවසම් සම්බන්ධය මුළුමනින්ම උඩුයටිකුරු කරන අතර, පුරවැසියා බලගන්වයි. බලවත්වූ පුරවැසියෙක් පාලකයන් ගැන ප‍්‍රශ්න කරන්නට පටන්ගනියි. එනිසා, පුරවැසියා බලගන්වන විට බිය වන්නේ හිතුවක්කාර පාලකයාය. ඒ අර්ථයෙන්, තොරතුරු පනත යනු රටේ පුරවැසියන්ට සිය අයිතියක් ක‍්‍රියාත්මක කරවාගැනීමට ලැබුණු වැදගත්ම අවස්ථාවකි.

තොරතුරු පනතේ ප‍්‍රතිලාභ කෙළින්ම ලැබෙන්නේ මහජන තාවටය. තමන්ට අවශ්‍ය, රජය භාරයේ පවතින තොරතුරු හෝ ඒවායේ පිටපත් සුදුසු මුදලක් ගෙවා ලබාගැනීමට මෙහිදී පුරවැසියන්ට අවස්ථාව ලැබේ. දැනටමත් විවිධ අවස්ථාවලදී විවිධ අය විසින් පැහැදිලි කර ඇති පරිදි තොරතුරු පනතක ප‍්‍රතිලාභ බොහෝය. මාධ්‍යවේදීන්ටද ඒ අවස්ථාව හිමිවෙයි. තොරතුරු පනතක් නීතිගත වීම මාධ්‍යවේදීන්ට සිය කාර්යය පහසු කරවන නමුත්, මෙතෙක් ඉතාමත් වැදගත් තොරතුරු ඔවුන් සිය මාධ්‍ය මගින් එළිදරව් කළේ එවැනි පනතක් නොතිබුණු පරිසරයක බවද සටහන් කරනු වටියි.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අලූත් අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළත් කරන ලද්දේය. ඒ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ, 14 වැනි ව්‍යවස්ථාවට පසුව 14 (අ* අංකය දරන අලූත් ව්‍යවස්ථාවක් ඇතුළත් කරමිනි. ඒ අනුව විධායක හෝ පරිපාලන හෝ ක‍්‍රියාවකින් පුද්ගලයකුගේ තොරතුරු දැනගැනීමට ඇති මූලික අයිතිවාසිකම කඩවුවහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරනයට වෙතට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.

19වැනි සංශෝධනයෙන් මේ අයිතිවාසිකම ලැබුණද, එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරිම එතරම් පහසු නොවේ. පුද්ගලයකු තොරතුරු ඉල්ලන්නේ කාගෙන්ද? රාජ්‍ය ආයතනයක ප‍්‍රධානියා ගෙන්ද? ලේකම් වරයකුගෙන්ද? ලිපකරු වකුගෙන්ද? තොරතුරු ලබාදීමට බැඳී සිටින්නේ කවුරුද? ඒ කිසිවක් ගැන මූලික අයිතිවාසිකම්වලදී පැහැදිලි නොවේ.
තොරතුරු අයිතිය පිළිබඳ පනතක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. පනතින් කෙරෙන්නේ ජනතාවට ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය ප‍්‍රායෝගික යතාර්තයක් කිරීම සඳහා අවශ්‍ය කාරණාකාරණ සකස් කිරීමය.

ඒ අනුව, සෑම රජයේ ආයතනයකටම තොරතුරු නිලධාරියකු සිටිය යුතුය. පුද්ගලයකුට තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ මේ නිලධාරියාගෙනි. පනතේ තොරතුරු ලබා නොදිය යුතු ව්‍යතිරේකී අවස්ථා කිහිපයක් ගැන සඳහන් වෙයි. එම ව්‍යතිරේකී අවස්ථාවන්ට නොවැටෙන තොරතුරු පුරවැසියන්ට ලබාදීමට මේ තොරතුරු නිලධාරියා රාජකාරිමය වශයෙන් බැඳීසිටියි. එය රජයකට පුරවැසි අයිතියක් ආරක්‍ෂාකිරීම සඳහා ඇති වගකීම හා බැඳීම සංකේතවත් කරයි.
තොරතුරු ඉල්ලා සිටීම සඳහා පුරවැසියකු කළ යුත්තේ ඊට අවශ්‍ය ඉල්ලූම්පත පුරවා අදාළ ගාස්තුව ගෙවීම පමණකි. තොරතුරු ඉල්ලන්නා සම්බන්ධ කරගත හැකි අවශ්‍ය විස්තර හැර, තොරතුරු ඉල්ලා සිටීමට හේතු කිසිවක් හෝ වෙනත් පුද්ගලික විස්තර ලබාදීම අනවශ්‍යය.

ඉල්ලීමක් ලැබුණු විට, අදාළ සීමාවලට නොවැටේ නම් තොරතුරු නිකුත්කිරීම නිලධාරියාගේ වගකීමය. එහෙත්, ඉල්ලූ තොරතුරු ලබාදීම නිලධාරියා අනීතික ලෙස ප‍්‍රතික්‍ෂෙප කරයි නම් හෝ වැරදි තොරතුරු ලබා දෙයි නම්, එනම් නිලධාරියාගේ ප‍්‍රතිචාරය ගැන අතෘප්තිමත් නම්, ඒ සම්බන්ධයෙන් අභියාච නයක් කිරීමට තොරතුරු ඉල්ලන්නාට අයිතිය තිබේ. ඒ එම ආයතනයේම සිටින නම් කල නිලධාරියා නමින් හැඳින්වෙන තවත් නිලධාරියකු වෙතය. ඔහුද ඒ සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාරය ගැන සෑහීමට පත්වීමට නොහැකි නම්, තොරතුරු කොමිසම වෙත අභියාචනය කිරිමට අවස්ථාව තිබේ.

තොරතුරු කොමිසම සාමාජිකයන් පස්දෙනකු ගෙන් සමන්විතය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන මේ කොමිසම, තමන් ඉදිරියට පැමිණෙන පැමිණිලි ගැන විභාග කර යුක්තිය ඉෂ්ට කිරීමට බැඳී සිටියි. කොමිසමේ තීරණයෙන්ද සෑහීමට පත් නොවන පුරවැසියකුට අභියාචනාධි කරණය ඉදිරියට ගොස් ප‍්‍රතිකර්මයක් ඉල්ලා සිටිය හැකිය.

තොරතුරු පනතක් පළාත් සභාවල විෂය පථයටද වැටෙන නිසා පළාත් සභාවල අනුමැතියද ඊට අවශ්‍යය. ඒ අනුව පනත් කෙටුම්පත පළාත් සභාවලට යවන ලද අතර උතුරු, උතුරු මැද හා සබරගමුව පළාත් සභා තමන්ගේ සංශෝධන යෝජනා කිහිපයක් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බව වාර්තාවෙයි. එහෙත් ඒවා පනතේ හරයට හානි නොකරන තාක්‍ෂණික ඒවා බවද, සමහර යෝජනාවලින් පනතේ විෂය පථය තවත් පුළුල් කරන බවද පෙනේ. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති පනත් කෙටුම්පත ඉදිරියේදී එහි විවාදයට ගැනීමට නියමිතය. කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අවස්ථාව ලැබේ. ඒ අවස්ථාවේදී ඉදිරිපත් වන සංශෝධන, කෙටුම්පතේ විෂය පථය තවත් පුළුල් කරන, පුරවැසියාගේ තොරතුරු අයිතිය තවත් ශක්තිමත් කරන ඒවා මිස ඊට එරෙහිව යන ඒවා නොවන බවට වගබලාගැනිම මන්ත‍්‍රී වරුන්ගේ වගකීමයි.

පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡුන්දයකින් සම්මතවී කතානායකවරයා සිය අත්සන යෙදීමෙන් මාස හයකට පසුව පනත ක‍්‍රියාත්මක වන්නට පටන්ගනියි. ඒ කාලය දක්වා ඇත්තේ, තොරතුරු නිලධාරීන් පත්කිරීම, නම් කළ නිලධාරීන් පත්කිරීම, කොමිසම පත්කිරීම, අයිතිය ක‍්‍රියාත්මක වන කාර්ය පටිපාටිය සකස්කිරීම හා අවශ්‍ය රීති සෑදීම යන ප‍්‍රායෝගික වැඩ කොට සූදානම් වීම සඳහාය.

පනතක් ආ පමණින් තොරතුරු සංස්කෘතියක් රටේ බිහි නොවේ. ලංකාවේ රාජ්‍ය ව්‍යුහය මුළුමනින්ම සෑදී තිබෙන්නේ තොරතුරු හෙළිකිරීමට නොව තොරතුරු සඟවාගැනීමටය. අතීතයේ කලින් කල පනවන ලද පනත් මෙන්ම ආයතන සංග‍්‍රහය වැනි රීතිද ඒ තොරතුරු සැඟවීමේ පුරුද්ද ශක්තිමත් කරයි. එහෙත් තොරතුරු පනතෙන් ඇතිකරන්නේ ඊට සපුරා එරෙහි පුරුද්දකි. තොරතුරු ලබා නොදීමට නොව ලබා දීමට පුරුද්දකි. එවැනි පුරුද්දක් වහාම සමාජයක ඇතිකිරීම පහසු දෙයක් නොවේ. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තොරතුරු පනත 2005දී නීතිගත කරන විටත්, ප‍්‍රාන්ත මට්ටමේ තොරතුරු පනත් නීතිගත වී තිබුණු අතර, පහළ මට්ටමේ සිට තොරතුරු ඉල්ලා සිටින සංස්කෘතියක් රට තුළ ඇතිවී තිබුණේය. එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයක් නැත. එනිසා තොරතුරු සංස්කෘතියක් ඇතිකර ගැනීමේ ලංකාවේ ගමන ආරම්භ කරන්නට සිදුවන්නේ පනත ක‍්‍රියාත්මක වීමත් සමගය.

තොරතුරු අයිතිය නිසා තමන්ට ලැබෙන ප‍්‍රතිලාභ ගැන පුරවැසියන් දැනුවත් වීමත්, දැනුවත් කිරීමත්, තොරතුරු ඉල්ලා සිටීම සඳහා ඔවුන් පෙළඹවීම හා දිරිගැන්වීමත්, අවශ්‍ය තොරතුරු නොලැබෙන විට හෝ ලැබෙන තොරතුරු ගැන සෑහීමට පත්විය නොහැකි විට අනෙක් ප‍්‍රතිකර්මවලට යෑමත් සඳහා පුරුද්දක් ජනතාව තුළ වගා කළ යුතුය. ඊට සමගාමීව පුරවැසියා යනු රජයේ තොරතුරු දැනගැනීමට අයිතියක් තිබෙන්නකු බවත්, ඒ තොරතුරු සැපයීමට රජයේ වගකීමක් ඇති බවත් රජයේ නිලධාරීන්ට ඒත්තු ගන්වන හා ඔවුන් ඒ සඳහා සූදානම් කරන වැඩපිළිවෙළක් තිබිය යුතුය. ඒ සඳහා ඇති තම කැපවීම රජයේ පාර්ශ්වයෙන් පෙන්විය යුතුය. හෙමි හෙමින් නමුත් රටේ තොරතුරු සංස්කෘතියක් ඇතිවී වර්ධනය වනු ඇත්තේ එවිටය.