රාවය

ගමේ අරාජකත්වය

ගමේ අරාජකත්වය

වික්ටර් අයිවන්

ලංකාවේ අන් හැම අංශයක සේ ම ග‍්‍රාමීය ආර්ථිකයද හා ග‍්‍රාමීය ආර්ථිකයේ අත්තිවාරම ලෙස සැලකිය හැකි ග‍්‍රාමීය කෘෂිකර්මයේ ඇත්තේ අවුල්සහගතභාවයක් හා අරාජකභාවයකි.

වෙනදා වල් ඌරන්, ගෝනුන්. මුවන් හා මොනරුන් සිටියේ කැලෑබද ප‍්‍රදේශවලය. අද මේ සතුන් නාගරික ප‍්‍රදේශවල ද දැකිය හැකිය. හිනිදුම, තවලම ප‍්‍රදේශයේ ගෝන්නු සිටින්නෝය. අම්බලන්ගොඩ බටපොළ ප‍්‍රදේශයේ මුවන් සිටින බව අසන්නට ලැබුණි. මා පදිංචි වී සිටින්නේ ගාලූ නගරයට විනාඩි 10ක් වැනි කාලයකින් වාහනයකින් යාහැකි දුරක පිහිටි ගමකය. මා සිටින ගමේද ලොකු මොනර රංචු කිහිපයක් සිටින්නෝය. ඉන් එක රංචුවක් රාත‍්‍රිය ගතකරන්නේ මාගේ නිවසට ආසන්නයේ තිබෙන උස් පොල්ගසකය. වඳුරු ජනගහනයේ ව්‍යාප්තියද අතිවිශාලය. වඳුරන් වෙනත් වගාවන්ට සේ ම පොල් වගාවට කරන හානිය අතිවිශාලය. පොල් මල උන්ගේ ජනප‍්‍රිය ආහාරයක් වී තිබේ. මොනරා ලස්සන වුවත් වගාවන්ට කරන හානිය අතිවිශාලය. ගමේ සාමාන්‍ය ප‍්‍රමාණයේ ඉත්තෑවන් නොව දැවැන්ත ප‍්‍රමාණයේ ඉත්තෑවෝද දකින්නට ලැබෙන්නෝය. උන්ද වගාවට කරන හානිය අතිවිශාලය. ගමේ වල් ඌරන් නැතත් ගමට ළඟ ප‍්‍රදේශවල බහුල ලෙස වල් ඌරන් සිටින බව අසන්නට ලැබෙන්නේය.

නිල්වලා ගඟ කිඹුලන්ට දීම

දැන් කාලයක් තිස්සේ නිල්වලා ගඟ මුළුමනින්ම කිඹුලන්ට භාරදී තිබේ. මා දන්නා කිසියම් කාලයක නිල්වලා ගඟ අවට ජීවත් වන ජනයා ඒ ගෙඟන් විවිධ ඵල ප‍්‍රයෝජන ලැබුවෝය. එයද රටට හොඳ පිහිනුම්කරුවන් බිහිකරන ලද ගඟක් ලෙස සැලකිය හැකිය. නිවාඩු දිනවල තරුණ තරුණියන් ගෙඟ් මෙගොඩ සිට එගොඩට පිහිනායෑම සුලබව දකින්නට තිබුණු දර්ශනයක් විය. දැන් ඒ ගඟ බොහෝ දුරට මිනිසුන්ට තහනම්ය. පූර්ණ අයිතියට සමාන අයිතියක් ලබාදී තිබෙන්නේ කිඹුලන්ටය. කිඹුලන් මැරීම මිනිසුන්ට තහනම්ය. මිනිසුන් මැරීමේ අයිතිය කිඹුලන්ට ලබාදී තිබෙන්නේය. වෙනදා මෙන් ගෙඟ් උඩට පහළට හෝ හරස් අතට පිහිනීමේ අයිතියක් මිනිසුන්ට නැත. කිඹුලන්ට ආ නොහැකි ලෙස මිනිසුන්ට නෑම සඳහා සාදවන ලද පුංචි නාන තොටවල් තැනින් තැන දැකිය හැකිය. එහෙත් කිඹුලා මාළු මෙන් ජලයට පමණක් සීමාවූ සතකු නොවේ. ගොදුරු නැතිවිට උන් ගොදුරු ලබාගැනීම සඳහා ගොඩබිමටද එන්නේය.

එහි තිබෙන කිඹුල් මිනිස් ගැටුම ගැන මට අසන්නට ලැබුණු, මට මතක තිබෙන ආකාරයට මීට කිසියම් කලකට පෙර මා විසින් ලියන ලද අනුවේදනීය කතාවක් මෙසේය. ගඟට පැමිණි ලස්සන නව යොවුන් තරුණියක කිඹුලකුගේ ග‍්‍රහණයට හසුවී අවසානයේ ඇය මරණයට පත්විය. මේ සිද්ධිය එම පවුලේ සාමාජිකයන් අතර සේ ම අසල්වැසියන් අතරද මහත් කම්පනයක් ඇතිකරන්නට ඇති බවට සැකයක් තිබිය නොහැකිය. මේ තරුණියගේ එකම සොහොයුරා සිය සහෝදරියගේ ජීවිතය බිලිගත් කිඹුලාගෙන් පළිගත්තේය. ඌ වෙඩි තබා මරා දැමුවේය. පොලිසිය මේ තරුණයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරුවේය. නඩුවෙන් ලැබුණු තීන්දුව මා දන්නේ නැත.

කුමාර් ගුණරත්නම්

මට අසන්නට ලැබුණේ ඔහු අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පමණය. ඒ නඩුවෙන් ඔහුට කුමක් වීදැයි මම නොදනිමි. එහෙත් ඔහු පිළිබඳ කතාව අසන්නට ලැබුණු විට මගේ හිතේ ලොකු කම්පනයක් ඇතිවිය. දේවල් සිදුවන ආකාරයේ සිත්පිත් නැතිකමක් සේ ම මහ අවුල්සහගත භාවයක් තිබෙනවායැ’යි මට හැඟුණි. කුමාර් ගුණරත්නම් හිරේ දැමූ වෙලාවේ මට ඇතිවූයේද එවැනිම හැඟීමකි. තමන්ගේ නංගිගේ මරණය වෙනුවෙන් කිඹුලාගෙන් පළිගත් තරුණයා සමග ගුණරත්නම්ගේ සිද්ධිය සසඳන්නට යන්නේ නැත. දෙදෙනාම ග‍්‍රාමීය අය වෙති. දෙවැන්නා දෙවැනි කැරැුල්ලේ උරුමකරුවෙකි. ඔහුගේ සහෝදරයා දෙවැනි කැරැුල්ලේ කැපී පෙනෙන නායකයෙකි. දෙවැනි කැරැුල්ල පරාජය කිරීමෙන් පසු ජවිපෙ නැවත ගොඩනගන ලද රහසිගත නායකයා ලෙස සැලකෙන්නේ කුමාර් ගුණරත්නම්ය. ඔහු දරන දේශපාලන අදහස් හෝ ඔහු පසුව ගොඩනගන පෙරටුගාමී සමාජ ව්‍යාපාරයේ දේශපාලන අදහස් හෝ මම පිළිනොගනිමි. ඔවුන් දරන දේශපාලන අදහස් පිළිබඳව මම ප‍්‍රසිද්ධ විවේචනයක් කර ඇත්තෙමි.

ඔහු විදේශගත වීමේ ක‍්‍රමයේ හෝ ඔහු පාවිච්චි කළ ගමන් බලපත‍්‍රයේ ප‍්‍රශ්න තිබෙනවා විය හැකිය. එහෙත් ඔහු දෙස බැලිය යුතුව තිබුණේ සාමාන්‍ය අපරාධකාරයකු දෙස බලන ආකාරයකට නොව දේශපාලන නායකයකු දෙස බලන ආකාරයටය. ඔහු නැවත ලංකාවේ පුරවැසිභාවය ඉල්ලා සිටියේ නම් බාධා කිරීමකින් තොරව ඔහුට ඒ දෙය දිය යුතුව තිබුණි. ඔහු විදේශගත වන්නට ඇත්තේ ඔහුට තමන්ගේ මව්බිම තුළ මුහුණ දෙන්නට සිදුවී තිබුණු ප‍්‍රශ්න නිසාය. ඔහු කරන දේශපාලනයේ ස්වභාවය කුමක් වුවත් ඔහුට තමන්ගේ දේශයට පැමිණ කටයුතු කිරීමට අවශ්‍ය වී නම් පැකිළීමකින් තොරව ඒ අයිතිය ඔහුට ලබාදිය යුතුව තිබුණි. ඔහු දේශපාලන වශයෙන් දරන අදහස් නිවැරදි නොවේ නම් ඔහු මතවාදී වශයෙන් පරාජය කළ යුතුව තිබුණා මිස හිරේ දැමීමෙන් එසේ නොකළ යුතුව තිබුණි. ඔහු අතින් ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමක් සිදුවී නම් ඔහුගේ ප‍්‍රශ්නයේ විශේෂ ස්වභාවය සලකා ඔහුට දෙන දඬුවම දඩ පැනවීමකට සීමා කළ යුතුව තිබුණේය. මේ වරද නිවැරදි කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙන්නේය. පෙරටුගාමී පක්ෂයේ තරුණ තරුණියන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කරන ලද පහරදීම අනුමත කළ නොහැකිය. එසේම එම තරුණ ව්‍යාපාරයේ නායකයා කර තිබෙන දේ ද අනුමත කළ නොහැකිය.

සතුන්ට එක මිනිසුන්ට දෙක

කෘෂිකර්මයට හානිකරන සතුන් සම්බන්ධයෙන් ලංකාවේ ක‍්‍රියාත්මක වන ප‍්‍රතිපත්තිය සතුන්ගේ යහපතට හේතුවනු ඇතත් මිනිසුන්ගේ යහපතට නම් හේතුවන්නේ නැත. ආදි කාලයේ අපේ මුතුන් මිත්තන් පවා තමන්ගේ වගාවන්ට හානිකරන සතුන් සම්බන්ධයෙන් ඉතාමත් කාරුණික ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේයැ’යි කිව නොහැකිය. ඔවුහු එවැනි සතුන්ට උගුල් අටවා මරා දැම්මෝය. එසේ මරා දමන සතුන් ආහාරයට ගත්තෝය. ලොකු සතෙකු මරා ගත් විට ඒ මස් ගමේ අය අතර බෙදාගත්තෝය. කුරක්කන් තලප කෑවේ දඩමස් සමගය.

දේවානම්පියතිස්ස රජුට මිහිඳු මහ රහතන් වහන්සේ හමුවන්නේ රජු මුව දඩයමේ ගිය අවස්ථාවකදීය. බුද්ධාගම වැළඳ ගැනීමෙන් පසු රජවරු දඩකෙළියේ නොගියෝය. ඒ කාලයේ රජ වාසලට අවශ්‍ය කරන දඩමස් හා මී පැණි සැපයීමේ වගකීම භාරවී තිබුණේ වැදි ජනයාටය. ධාතුසේන රජු පක්ෂි මාංසවලට ලොල් බවක් දක්වා තිබෙන බව කියන්නේ ගයිගර්ය. අටවැනි වැනි අග්ගබෝධි රජු (9 වැනි ශතවර්ෂය* පෝය දිනවල නගරයට මස්මාංශ හා මත්පැන් ගෙන ඒම තහනම් කර තිබීමෙන් පෙනෙන්නේද එකල ජනයාද මස්මාංශ ආහාරයට ගත් බවය, මත්පැන් බී බවය. පස්වැනි සේන රජු ගැන වංශකතාවල සඳහන්වන්නේ ඔහු සුරාපානයට ඇබ්බැහි වී සිටි රජකු ලෙසය.

තරුණ කැරලි ඇතිවන්නට පෙර කාලයේදී ග‍්‍රාමීය සමාජයේ කිසියම් ප‍්‍රමාණයකට තුවක්කු තිබුණි. මිනිස්සු වගාවන්ට හානිකරන සතුන් මැරුවෝය. එසේ මරන සතුන්ගේ මස් ආහාරයට ගත්තෝය. වඳුරන් පවා ආහාරයට ගත් අය සිටියෝය. ගෝන කරවල තිබුණේය. සමහර ප‍්‍රදේශවල කිඹුල් කරවලද තිබුණේය. ඒ නිසා ඒ කාලයේ වගාවන්ට හානි කරන සතුන්ගේ වර්ධනයේ පාලනයක් තිබුණි.

ඒ විෂයේදී දැන් තිබෙන්නේ පූර්ණ අරාජක තත්ත්වයකි. ඉහත කී සතුන් වගාවන්ට කරන හානියේ තරම පිළිබඳව කිසිදු තක්සේරුවක් කර ඇති බවක් පෙනෙන්නට නැතත් බැලූ බැල්මට පෙනෙන්නේ උන්ගෙන් වගාවට සිදුවන හානිය අතිවිශාල බවය. ඒ තත්ත්වය පාලනය කළ හැකි හොඳම ක‍්‍රමය වනුයේ එවැනි සතුන් දඩයම් කිරීමට මිනිසුන් පොළඹවන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙනි. එවැනි සතුන් මැරීමද, මස් ප‍්‍රවාහනයට හා විකිණීමට අනුබල දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙනි. දියුණු රටවල් පවා සමහර සත්ව වර්ගවල වර්ධනය පාලනය කිරීම සඳහා තෝරාගත් සමහර සතුන් දඩයම් කිරීමේ අයිතිය සමහර කාලවලට ලබාදෙයි. දුලබ සතුන් ආරක්ෂා කරගත යුතු අතර වගාවන්ට හානිකරන සුලබ සතුන්ගේ ව්‍යාප්තිය පාලනය කළ යුතුය. එවැනි ප‍්‍රතිපත්තියක් මගින් ජාතික කෘෂි නිෂ්පාදිතයේ වර්ධනයක් ඇති කළ හැකි අතර ග‍්‍රාමීය ජනයා බෝග වගාවෙන් උපයන ආදායමේද වර්ධනයක් ඇති කළ හැකිය.

දඩාවතේ යන බල්ලන්

දඩාවතේ යන බල්ලන් සම්බන්ධයෙන් වර්තමානයේ ලංකාව අනුගමනය කෙරෙමින් තිබෙන පිළිවෙතද හාස්‍යජනක වනවා පමණක් නොව විනාශකාරීද වේ. බල්ලා කැලේ හැදෙන සතෙකු නොව නිවාස ආශ‍්‍රයෙන් මිනිසුන් හදන සතෙකි. ඒ නිසා අයිතිකාරයන් ඇති බල්ලන් මිස අයිතිකාරයන් නැති දඩාවතේ යන බල්ලන් රටේ සිටිය යුතු නැත. බල්ලන් හපාකන මිනිසුන්ට ලබාදෙන ප‍්‍රතිකාර සඳහා රජය දරන වියදම විශාලය. දඩාවතේ යන බල්ලන් රිය අනතුරුවලට හේතුවී තිබෙන වැදගත් සාධකයකි. අතීතයේදී දඩාවතේ යන බල්ලන් අල්ලාගෙන ගොස් උන් මරා දමන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක විය. ඒ කාලයේ දඩාවතේ යන බල්ලන් මැඬලීමේ වගකීම පැවරී තිබුණේ පළාත් පාලන ආයතනවලටය. දැන් එවැනි ක‍්‍රමයක් රටේ නැති අතර දඩාවතේ යන බල්ලන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා පෙනී සිටින සංවිධාන නම් රාශියක් රටේ පවතී.

ආයෝජන හැකියාවක් ඇති ඵලදායී ආර්ථික ව්‍යාපාර ආරම්භ කිරීමට නොදන්නාකම හා ඒ සඳහා ඔවුන්ට මගපෙන්වන ක‍්‍රමයක් රටේ නැතිකමද ග‍්‍රාමීය දුප්පත්කම කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවකි. ගම්වල වෙළෙඳාම සඳහා පවත්වාගෙන යන කඩ ක‍්‍රමය ග‍්‍රාමීය සමාජයේ සිදුවන ධන නාස්තිය පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. කඩයක් ආරම්භ කිරීම සඳහා කිසියම් ප‍්‍රමාණයක ධනයක් අවශ්‍ය කරන අතර ඒ සඳහා අවශ්‍ය කරන ආරම්භක ප‍්‍රාග්ධනය සොයා ගන්නේ දුෂ්කර දේවල් කිරීමෙනි. හැම ගමකම ඒ ගමේ තරමට තිබිය යුතු කඩ සංඛ්‍යාව මෙන් දෙගුණයක් තරම් කඩ පවතී. ගමේ වෙළෙඳාම විශාල ගණනක් අතර බෙදීයෑම නිසා බොහෝ කඩකරුවන්ට ආයෝජනයට සරිලන ආදායමක් නොලැබේ. ඒ නිසා නිරන්තරයෙන් සමහර පරණ කඩ වැසී අලූත් කඩ ඇතිවේ. පරණ කඩ වැසීමෙන් විනාශ වී යන ධනයේ ප‍්‍රමාණය මුළු රටක් වශයෙන් ගත්විට අතිවිශාලය. ගමකට අවශ්‍ය කරන කඩ ප‍්‍රමාණයට වැඩි කඩ ප‍්‍රමාණයක් ඇතිවීම අනියම් ලෙස පාලනය කරන ක‍්‍රමයක් රටේ නැත. සුළු පරිමාණයේ ආයෝජන හැකියාවක් තිබෙන අයට ඵලදායී ආර්ථික මාර්ග ඇතිකර ගැනීමට මග පෙන්වන ක‍්‍රමයක්ද රටේ නැත.

දුප්පත්කම වගා කිරීම

ගොවිතැනේදීද කරන්නට පුරුදු වී තිබෙන එකම දේ කරමින් සිටිනවා විනා වඩා ඵලදායී අලූත් වගාවන්ට යොමුනොවීමද ගමේ අඩු ආදායම් කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් සාධකයකි. ඒ සඳහා ඔවුන්ට මගපෙන්වන ක‍්‍රමයක්ද රටේ නැත. ග‍්‍රාමීය ආර්ථිකය බොහෝ දුරකට වී ගොවිතැන මත රඳා පවතින තත්ත්වයක පැවතීමද ග‍්‍රාමීය සමාජයේ පවත්නා අඩු ආදායම් කෙරෙහි බලපවත්නා තවත් වැදගත් සාධකයක් වී තිබේ. වී ගොවිතැනට ලබාදෙන සහනාධාර ඉහළ මට්ටමක තිබියදීත් වෙනත් බෝග වගාවන් සමග සසඳන විට වී ගොවිතැනින් උපයාගත හැකි ආදායම තිබෙන්නේ පහළම මට්ටමකය. වී රටේ අවශ්‍යතාවන්ගේ ප‍්‍රමාණයට වඩා නිපදවන තත්ත්වයක් ඇතිවීම වීවලින් ඉපැයිය හැකි ආදායම තවදුරටත් පහළ දැමීමට හේතුවී තිබේ. මා මීට පෙර අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇති පරිදි රටට අවශ්‍ය සහල් වියළි කලාපයෙන් පමණක් නිපදවිය හැකිය. එහෙත් එවැනි තත්ත්වයකට යා හැකි වනු ඇත්තේ තෙත් කලාපයේ වී ගොවිතැන සඳහා වෙන්කර තිබෙන ඉඩම් ආර්ථික වශයෙන් වඩා ඵලදායී දේවල් සඳහා යොදා ගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් හා ප‍්‍රායෝගික දැක්මක් රටට ඇත්නම් පමණය.

වී ගොවීන් උපයන ආදායමට වැඩි ආදායමක් තේ වතු ගොවීන්, කෙසෙල් ගොවීන් හා එළවළු ගොවීන් උපයති. සත්ව පාලනයෙන් ඉපැයිය හැකි ආදායම වී ගොවිතැනින් උපයන ආදායමට වඩා ඉහළ මට්ටමක පවතී. වී ගොවීන්ගේ ආරක්ෂාව සඳහා තුන්වේලම බත් කන්නට මහජනයා පොළඹවන ප‍්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත. දැනටමත් අප බත් කන ප‍්‍රමාණය කෑ යුතු ප‍්‍රමාණයට වඩා වැඩිය. ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ අනුපාතිකය තිබෙන්නේ ඉහළම මට්ටමකය. අනවශ්‍ය තරම් ප‍්‍රමාණයකට බත් කෑම ශරීර අභ්‍යන්තරයේ පුංචි සීනි කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනවාට සමානය.

ජපනුන්ද බත් කන ජාතියකි. එහෙත් ජපානය තමන්ගේ ආහාර පුරුදු විප්ලවකාරී ලෙස වෙනස් කළ ජාතියක් ලෙස සැලකිය හැකිය. එය ඔවුන්ගේ දියුණුව කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් ලෙසද සැලකිය හැකිය. ඔවුන් බත් කන්නේ අප මෙන් ලොකු පිඟානක නොව පුංචි කෝප්පයකය. අපද බත් කන ප‍්‍රමාණය අඩු කොට පලතුරු, එළවළු හා මස් මාංශ ප‍්‍රමාණය වැඩි කළ යුතුය. අපේ ආහාර පුරුදු එසේ වෙනස් කළ හැකි නම් අපේ ජාතික සහල් අවශ්‍යතාව ද තවත් සියයට විසි පහකින් පමණ අඩු කරගත හැකිය. එවිට අපේ ජාතිය මීට වඩා නිරෝගි, බුද්ධිමත් හා කාර්යක්ෂම ජාතියක් බවට පත්වනු ඇති අතර රටේ පලතුරුවලට, එළවළුවලට, බිත්තරවලට හා මස් මාංශවලට තිබෙන ඉල්ලූම වැඩිවීම තුළ ඒ ආශ‍්‍රිත රටේ ගොවි ජනතාවද හොඳ ආදායම් උපයන ගොවි ජනතාවක් බවට පත් කරගත හැකිය. එහෙත් එවැනි පරිවර්තනයක් කරා අපට යා හැකිවනු ඇත්තේ කෘෂිකර්මය පිළිබඳව ස්ථිර ජාතික ප‍්‍රතිපත්තියක් ඇතිකර ගැනීමට අපට හැකිවේ නම් පමණය.

මස් නැතිව කිරි කෑම

කිරිපිටි ආනයනය සඳහා ලංකාව විශාල විදේශ විනිමයක් වැය කරයි. ලංකාවට අවශ්‍ය කරන කිරි ලංකාවේම නිපදවා ගැනීමේ හැකියාව පවතී. එහෙත් ඒ අරමුණ ජයගත හැක්කේ හරක් මස් පිළිබඳව රජයේ පසුගාමී ආකල්පයේ වෙනසක් ඇතිකර ගැනීමට හැකිනම් පමණය. කිරි සඳහා පමණක් ගව කර්මාන්තයක් පවත්වාගෙන යා නොහැකිය. ගව කර්මාන්තය ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ එය කිරිවලට පමණක් සීමා නොකොට මස් සඳහා ද යොදා ගන්නේ නම් පමණය. මෙම න්‍යාය කුකුළු කර්මාන්තය ආශ‍්‍රයෙන් සරල ලෙස තේරුම් කළ හැකිය.

කුකුළු ගොවිපළක් පවත්වාගෙන යන්නේ බිත්තර සඳහා පමණක් නම් කිකිළියන්ගේ බිත්තර දැමීමේ ශක්‍යතාව අවසන්වීමෙන් පසු උන් මස් සඳහා ප‍්‍රයෝජනයට නොගන්නේ නම් එම කුකුළු ගොවිපළ ආර්ථික වශයෙන් ලාභදායී ගොවිපළක් වන්නේ නැත. අනෙක් අතට කිකිළියන්ගේ බිත්තර දැමීමේ ශක්‍යතාව අවසන්වීමෙන් පසු ඒ කිකිළියන්ට කරන්නේ කුමක්ද යන දුෂ්කර ප‍්‍රශ්නයද විසඳුම් දිය නොහැකි බරපතළ ප‍්‍රශ්නයක් බවට පත්වන්නේය. ඒ ගොවිපළේ සිටින කිකිළියන්ගේ සංඛ්‍යාව 500ක් ලෙස සලකතොත් බිත්තර දැමීමේ ශක්‍යතාව අවසන් වීමෙන් පසු උන්ට කරන්නේ කුමක්ද? උන් සියලූදෙනා මැරෙන තෙක් උන්ට කෑමදී නඩත්තු කළ හැකිද? එසේ කළහොත් ඒ ගොවිපළ හිමියා හිඟන්නකු බවට පත්වනු නොවැළැක්විය හැකිය. ඊළඟ විකල්පය උන්ට කෑම සොයා ගන්නට තනියම ඉඩ හැර මුදා හැරීමය. එහෙත් එය කළ හැකි දෙයක්ද? එවැනි දේකට ප‍්‍රදේශයේ ජනතාව දක්වන ප‍්‍රතිචාරය කුමක් විය හැකිද?

කිරි එළදෙනුන්ගේ ප‍්‍රශ්නයද ඊට සමානය. කිරි ගොවිපොළක් ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ එම ගොවිපළේ දෙනුන්ගේ කිරි ශක්‍යතාව අවසන්වීමෙන් පසු උන් මස්වලට විකුණන්නේ නම් පමණය. එසේ නොවෙතොත් වෙන අලාභයට අතිරේක වශයෙන් එම දෙනුන්ට ඉන්පසු කරන්නේ කුමක්ද යන ප‍්‍රශ්නයටද විසඳුමක් සොයාගත නොහැකි වන්නේය. ඊට තිබෙන විසඳුම වන්නේද උන් මස් පිණිස ප‍්‍රයෝජනයට ගැනීම පමණය. සත්ව පාලනයේදී මස් නැතිව කිරි ගැන හෝ බිත්තර ගැන සිහින දැකීමට ඉඩක් නැත. ඒවා ඉතා සරල මූලික මූලධර්ම වන අතර ඒ ගැන ස්ථිර ප‍්‍රතිපත්තියක් නැතිව සත්ව පාලනය ගැන සිහින දකින ජාතියක් සැලකිය යුත්තේ ඔලමොට්ටල ජාතියක් වශයෙනි.
දැන හෝ නොදැන මේ රටේ මස් සඳහා හරක් මැරීමට එරෙහිව කෑගසන්නන් කරන්නේ ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට තිබෙන හැකියාව නැති කිරීමය. ඉතාමත්ම හාස්‍යජනක දේ ලංකාවට කිරිපිටි ආනයනය කරන සමාගමක් හරස් මස් විරෝධී ව්‍යාපාරයේ පෙරගමන්කරුවා බවට පත්ව සිටීමය. මසට ගෙනයන හරකුන් මිලදී ගෙන උන් නිදහස් කිරීම මෙම සමාගම පවත්වාගෙන යන ප‍්‍රධාන සමාජ සත්කාර ව්‍යාපාරය බවට පත්කරගෙන තිබේ. සමාගමේ පැත්තෙන් බලන විට සමාගම හිතන විදිය වැරදි නැත. ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත වන තත්ත්වයක් සමාගමේ යහපතට හේතුවන්නේ නැත. එවැනි තැනකට යෑම ලංකාව වළකාගත හැකිවනු ඇත්තේ හරක් මස් විරෝධය පවත්වාගෙන යෑමෙන් පමණය.

වස විස නැති කෘෂිකර්ම සිහිනය

වස විස නැති ගොවිතැනකට යන නාමයෙන් රසායන පොහොර හා පළිබෝධනාශක මුළුමනින් අත්හරින තැනකට ගියහොත් ලංකාවේ කෘෂිකර්මයේ මහා කඩා වැටීමක් ඇතිවනු නොවැළැක්විය හැකිය. රසායන පොහොර හා පළිබෝධනාශක භාවිතය මුළුමනින් අත්හැරිය යුතු කියන අදහස ඊයේ පෙරේදා පහළ වූ අදහසක් නොව 80 ගණන් අවසානයේ සිට තැන් තැන්වල කරකැවෙමින් තිබූ මතවාදයක් විය. ඔවුන්ට රසායන පොහොර හා පළිබෝධනාශක ගැන සැර විවේචනයක් තිබුණි. ඔවුන්ගේ අදහස වී තිබුණේ ඒ සියල්ල අතහැර කාබනික පොහොර හා සාම්ප‍්‍රදායික පළිබෝධනාශක ක‍්‍රමවලට යායුතු බවය. ඒ මගින් පරිසරයට හා මනුෂ්‍යයාට සිදුවන හානිය වළකා ගනිමින් වස විස නැති කෘෂිකර්මයක් ඇති කරගත හැකි බව ඔවුන්ගේ මතය වී තිබුණි.

මේ මතවාදය ලංකාවේ ඉපදුණු මතවාදයක් නොව බටහිරින් ආනයනය කෙරුණු මතවාදයක් විය. මේ හා සමාන අදහස් දරන විවිධ ගුරුකුල යුරෝපයේ පහළ වී තිබුණු අතර ඔවුන්ගේ එම මතවාදය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට මුදලින් ආධාර කරන පිළිවෙතක්ද ක‍්‍රියාත්මක විය. මෙම විශේෂ මතවාදය සමාජගත කිරීමේ කටයුතුවල යෙදී සිටි ලංකාවේ සංවිධානවලට නායකත්වය දුන් අයගෙන් වැඩිදෙනෙක් ජේවීපී පළමු කැරැුල්ලට හෝ දෙවැනි කැරැුල්ලට සම්බන්ධ වූ අය වූහ. සමාජවාදයට තිබුණු පිළිගැනීම අහිමිවීම නිසා දෘෂ්ටිමය වශයෙන් නන්නත්තාර තත්ත්වයකට පත්ව සිටි මේ අයට මේ මතවාදය විමුක්තිදායක මතවාදයක් ලෙස පෙනෙන්නට ඇත.

වසර කිහිපයකට ඉහතදී මරණයට පත්වන තෙක්ම මෙම මතවාදය වෙනුවෙන් ලංකාවේ පෙනී සිටි බලවත්ම ප‍්‍රකාශකයා සේ ම න්‍යායවාදියා වූයේද සරත් ජස්ටින් ප‍්‍රනාන්දුය. ඔහුගේ අභාවයෙන් පසු දැන් ඒ තත්ත්වය අතුරලියේ රතන හිමියන් විසින් හිමිකරගෙන තිබෙන්නේයැ’යි කිව හැකිය. සරත් ජස්ටින් ප‍්‍රනාන්දු ඇතුළු මෙම මතවාදය වෙනුවෙන් පෙනී සිටින සමහර ප‍්‍රධාන පුද්ගලයන් සමග මෙම මතවාදය ගැන මම දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇත්තෙමි. එම මතවාදය බාහිර පෙනුමෙන් ලස්සන අහිංසක හා විප්ලවකාරී පෙනුමකින් යුතු වුවද කිසිදු විද්‍යාත්මක පදනමක් නැති විද්‍යා විරෝධී, ප‍්‍රායෝගික නොවන පසුගාමී මතවාදයක් ලෙස සැලකිය හැකිය. ඔවුන්ගේ ක‍්‍රමවේදය පුංචි ගෙවතු වගා සඳහා කිසියම් ප‍්‍රමාණයකට වලංගුය. ලොකු ගොවිපොළ සඳහා කිසිසේත්ම යොදාගත නොහැකිය.

දර්ශනයේ දුප්පත්කම

මෙම මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් රසායන හෝ කෘත‍්‍රිම යන යෙදුමට ලොකු බරක් තැබෙන ලෙස කතා කරති. ඒ මගින් රසායනික දේවල් පිළිබඳ ලොකු බියක් අසන්නන් තුළ ඇති කරයි. පොහොර, පළිබෝධනාශක කෘත‍්‍රිම ලෙස හැදුවද ස්වාභාවික ලෙස හැදුවද ඒ දෙකම රසායනිකය. රසායනික පොහොරවල පමණක් නොව කාබනික පොහොරවලද අන්තර්ගතය රසායනිකය. විශ්වයේ තිබෙන හැම දෙයක්මත් අවසානයේ රසායනිකවේයැ’යි කිව හැකිය.

සමහර ආහාර ද්‍රව්‍යවල විස ගණයට ගැනෙන දේවල් ද ඇතුළත්ය. ආසනික් ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. සමහර ආහාර ද්‍රව්‍යවල පමණක් නොව අප ආහාරයට ගන්නා ශාක වර්ගවලද ආසනික් කිසියම් සුළු ප‍්‍රමාණයක් තිබිය හැකිය. එම ආහාර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු වන්නේ ඒවාහි අන්තර්ගත ආසනික් පරිමාව මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තරම් ඉහළ මට්ටමක තිබේ නම් පමණය. අප රසායන පොහොර පසට එකතු කරන විට ඒ මගින් කෙරෙන්නේ විවිධ රසායන ද්‍රව්‍ය පසට එකතු කිරීමය. රසායනික පොහොර පසට එකතු කරන විට අප එය කරන්නේ මොන මොන රසායන ද්‍රව්‍ය මොන මොන ප‍්‍රමාණයකට පසට එකතු කරන්නේද යන්න දැනගෙනය. එහෙත් කාබනික පොහොර පසට එකතු කරනවිට අප එසේ කරන්නේ කාබනික පොහොරවල අන්තර්ගත රසායනික සංයුතිය ගැන අවබෝධයක් නැතිවය.

ගොවිතැනේදී හැමවිටම රසායනික පොහොර යොදා ගැනීමෙන් කාබනික පොහොර යොදා ගැනීමෙන් ලැබෙන අස්වැන්නට වැඩි අස්වැන්නක් ලබාගත හැකිය. මෙය පර්යේෂණවලින් හොඳින් සනාථ වී තිබෙන ධර්මතාවකි. අනෙක් අතට ගොවිතැනේද රසායනික පොහොර අවශ්‍ය වන ප‍්‍රමාණය පුංචිය. ඒ වෙනුවට කාබනික පොහොර යොදාගන්නේ නම් කාබනික පොහොර අවශ්‍ය ප‍්‍රමාණය හුඟාක් විශාලය. නිහාල් ප‍්‍රනාන්දු ඔහුගේ ‘ගොවි අත්පොතේ’ සඳහන් කර තිබෙන ආකාරයට රසායන පොහොර කිලෝ ග‍්‍රෑම් 250ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර ප‍්‍රමාණය ටොන් 10කි. එවිට අනුපාතිකය 1ට 40කි. රසායනික පොහොර වීල්බැරෝවක ප‍්‍රමාණයක් අවශ්‍ය කරන ගොවිපළකට කාබනික පොහොර වීල්බැරෝ 40ක් අවශ්‍යය. රසායනික පොහොර කිලෝ ග‍්‍රෑම් 250ක් හදන්නට යන නිෂ්පාදන වියදමට වැඩි නිෂ්පාදන වියදමක් කාබනික පොහොර ටොන් 10ක් හදන්නට වැයවේ. එවිට කාබනික ගොවිතැනේද වැඩි මිලක් වැය කිරීමෙන් පසුත් ලැබෙන්නේ අඩු ආදායමකි. අනෙක් වැදගත් කාරණය වනුයේ රසායනික පොහොර පරිසරයට ඇති කරන හානියට වැඩි හානියක් කාබනික පොහොර ඇති කිරීමය.

කාබනික පොහොර නිපදවීම සඳහා යොදා ගන්නේ විවිධ අසූචි වර්ග, මුත‍්‍රා වර්ග, ශාක කොටස් හා විවිධ අපද්‍රව්‍යයන්ය. ඒ මගින් මීතේන් හා කාබන් ඩයොක්සයිඞ් පරිසරයට මුදාහැරීමක් සිදුවේ. අනෙක් අතට පරිසරය දුගඳ කිරීම හා මැස්සන්ගේ වර්ධනයට එය හේතුවේ. ලංකාව සියලූ කෘෂිකාර්මික කටයුතු සඳහා කාබනික පොහොර යොදාගන්නා තැනකට ගියහොත් විය හැකි ප‍්‍රතිඵලය කුමක්ද? නිපදවන කෘෂි නිෂ්පාදනයේ පරිමාව පහළ වැටෙනු ඇත. කෘෂිකර්මයෙන් උපයාගත හැකි ලාභයද විශාල වශයෙන් පහළ වැටෙනු ඇත. මීතේන්වලින් හා කාබන් ඩයොක්සයිඞ්වලින් පරිසරය මහා පරිමාණයෙන් දූෂණය වනු ඇත. ඒ සමග රට මැස්සන්ගෙන් පිරුණු හා දුගඳ හමන රටක් බවට පත්වනු ඇත.

වකුගඩු උවදුර

වියළි කලාපයේ සමහර ප‍්‍රදේශවල පවත්නා වකුගඩු රෝග ප‍්‍රශ්නය රසායනික පොහොර හා පළිබෝධනාශක අතර
සම්බන්ධයක් ඇති බවට ඇති කරගෙන තිබෙන නිගමනය දේශපාලන නිගමනයක් මිස විද්‍යාත්මක පර්යේෂණවලින් පසු ඇති කරගෙන තිබෙන නිගමනයක් නොවන බව අවධාරණයෙන් කිව යුතුය. රසායනික පොහොර තවමත් තහනම් කර නැතත් ලංකාවේ භාවිත වූ එකම වල්නාශකය වශයෙන් පැවති ග්ලයිෆොසෙට් තහනම් කර තිබේ. ඒ මගින් දැනටමත් බඩ ඉරිඟු වගාව මුළුමනින්ම නැතිවී යන තත්ත්වයක් ඇතිවී තිබේ. එම තහනම තේ වගාව කෙරෙහි සේ ම වී වගාව කෙරෙහිද විනාශකාරී ලෙස බලපානු ඇත.

කැනඩාවේ ජීවත් වන ලංකාවේ මහාචාර්යවරයෙකු (චන්ද්‍රා ධර්මවර්ධන) මේ ප‍්‍රශ්නය ගැන ලියන ලද ලිපියක් මට කියවන්නට ලැබුණි. ඔහු එම ලිපියෙන් මතුකර දක්වන වැදගත් කරුණක් මෙසේය. රසායන පොහොර පරිහරණයේදී වෙනත් රටවල් සමග ගත්විට ලංකාව සිටින්නේ පහළම තැනකය. හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන්නේ කිලෝ ග‍්‍රෑම් 198ක් පමණය. නවසීලන්තය හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන රසායනික පොහොර ප‍්‍රමාණය කිලෝ 1700කි. ලංකාවේ වකුගඩු ප‍්‍රශ්නයට හේතුව වී ඇත්තේ් රසායන පොහොර හා රසායන පළිබෝධනාශක වේ නම් ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නයේදී ලංකාවේ කෘෂි විද්‍යාඥයන් දක්වන නිහඬතාව පෙනෙන්නට තිබෙන ලොකුම අවාසනාව ලෙස සැලකිය හැකිය.

ඉඩම්වල ප‍්‍රමාණය එකතැන තිබියදී ජනගහනයේ ඇතිවූ මහා ප‍්‍රසාරණය තුළ සීමිත ඉඩම් ප‍්‍රමාණයකින් විශාල ජනගහනයකට ආහාර නිපදවන්නේ කෙසේද යන ප‍්‍රශ්නය එක් කාලවකවානුවකදී ලෝකයට මුහුණ දෙන්නට සිදුවී තිබුණු ලොකුම ප‍්‍රශ්නයක් විය. ඊට උත්තර ලැබුණේ විද්‍යාවෙනි. විද්‍යාත්මක ගොවිතැන් ක‍්‍රමයකට මාරුවීම මගින් තිබෙන සීමිත ඉඩම් ප‍්‍රමාණයෙන් අතිවිශාල ජනගහනයකට ආහාර සැපයිය හැකි තත්ත්වයක් ඇති කළේය. රසායන පොහොර, රසායන පළිබෝධනාශක හා වැඩි දියුණු කළ වී වර්ග එම විප්ලවයේ ප‍්‍රධාන සාධක ලෙස ක‍්‍රියා කළේය. අතීතයේදී ලංකාව සිටියේද වී ගොවිතැනේ එකතැන පල්වෙන තැනකය. 1951දී ලංකාවේ කුඹුරු අක්කරයක් සඳහා අස්වැන්න තිබුණේ බුසල් 30.19ක තත්ත්වයකය. ඉන්පසු එම විෂයෙහි මහා විපර්යාසයක් ඇතිවූයේ ලංකාව ද හැට ගණන් අවසානයේ සිට ක‍්‍රමානුකූලව සාම්ප‍්‍රදායික වී ගොවිතැනේ සිට විද්‍යාත්මක වී ගොවිතැනකට මාරුවීම නිසාය. වර්තමානයේ ලංකාවේ හෙක්ටයාර් එකක් සඳහා වී අස්වැන්න කිලෝ ග‍්‍රෑම් 4500ක් දක්වා වර්ධනය වී තිබේ. අපට එම දියුණුව අත්පත් කරගත හැකිවූයේ රසායන පොහොර භාවිතයේ වර්ධනය, වල්පැළ හා කෘමීන් මර්දනය සඳහා නවීන පළිබෝධනාශක පාවිච්චි කිරීම, ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබාදෙන බීජ ඇතිකර ගැනීම හා ඒවා භාවිත කිරීම වැනි හේතු නිසාය. දැන් නැවත අප සිහින දකින්නේ විද්‍යාත්මක ගොවිතැනින් ඉවත් වී සාම්ප‍්‍රදායික ගොවිතැනට මාරුවීමට නම් කෘෂිකර්මයේ මහා පරිහානියක් මිස දියුණුවක් නම් ඇතිවිය නොහැකිය.