රාවය

ශ්‍රීලනිපයේ උභතෝකෝටිකය සහ ජනපතිගේ ඉරණම

ශ්‍රීලනිපයේ උභතෝකෝටිකය සහ ජනපතිගේ ඉරණම

බළලා මල්ලෙන් එළියට පැන්නේය. එනම් ශ්‍රීලනිප අනාගත නායකත්වය පිළිබඳ උභතෝකෝටිකයයි. කෙටියෙන් කියන්නේ නම් පක්ෂයේ අනාගතය අයත් වන්නේ (ගෝඨාභය) රාජපක්ෂටද මෛත්‍රීපාල සිරිසේනටද යන්නයි. අනෙක් අතට විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේද නැත්ද යන්නයි. මෙම උභතෝකෝටිකයන් දෙක එකිනෙකට සම්බන්ධය.
මෙම උභතෝකෝටිකය පැනනගින්නේ ශ්‍රීලනිපයට එරෙහිව යූඇන්පිය සමඟ එක්ව තරග කර ජනාධිපති බවට පත් වූ මෛත්‍රීපාල සිරිසේන අද තමා විසින් පරදවන ලද ශ්‍රීලනිපයේ නායකයා වී සිටීම නිසාය. ඔහුට ශ්‍රීලනිපයේ නායකත්වය නොදී එවකට එහි බලයේ සිටි රාජපක්ෂවාදී මධ්‍යම කාරක සභාව කැඳවා සිරිසේන පක්ෂයෙන් පළවා හැරීමට රාජපක්ෂ පියවර ගත්තේ නම් අද දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට තිබුණි.
එසේ වූයේ නම් අද ශ්‍රීලනිපය රාජපක්ෂවාදීන්ගේ දේශපාලන වේදිකාව බවට පත්වී පාර්ලිමේන්තු විපක්ෂය ලෙස රනිල්-සිරිසේන ආණ්ඩුවට මහත් තර්ජනයක් වන්නට තිබුණි. මෛත්‍රීපාල සිරිසේන යූඇන්පීය අත නැටවෙන රූකඩ ජනාධිපතිවරයකු වීමට හෝ ස්වාධීන නිර්පාක්ෂික ජනාධිපතිවරයකු වීමට හෝ ඉඩ තිබුණි. වඩා යෝග්‍ය විය හැකිව තිබුණේ දෙවන තෝරාගැනීමයි.
තේරුම් ගැනීමට දුෂ්කර ප්‍රහේළිකාව වන්නේ පක්ෂය අතහැර ගොස් තමා සහ පක්ෂය පැරදවූ සිරිසේනට රාජපක්ෂ විසින් පක්ෂ නායකත්වය වහාම පිරිනමන ලද්දේ ඇයිද යන්නයි. එමෙන්ම ඉන් පසු වහාම සිරිසේන නායකත්වයට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟන ලද්දේ මන්ද යන්නයි.
දැන් ශ්‍රීලනිපයේ නායකයා සිරිසේනය. එය පලා යා නොහැකි වගකීමකි. පක්ෂ දේශපාලනය අනුව ඔහුට දැන් පැවැරෙන එක් වගකීමක් නම් සිය පක්ෂය යළි බලය කරා ගෙනඒමයි. එම වගකීම අතහැරියහොත් ඔහුගේ නායකත්වය පුස්සක් බවට පත්වෙයි.
එහෙත් සිරිසේනට තර්ජනයක් වන මට්ටමට රාජපක්ෂ විසින් ශ්‍රීලනිපයේ මංත්‍රී සංඛ්‍යාවක්ද ඊටත් වඩා ශ්‍රීලනිප ජන පදනමෙන් විශාල කොටසක්ද තමන් සතු කරගෙන සිටී. බොහෝ විට බහුතර ශ්‍රීලනිප පාක්ෂිකයා මානසිකව සිටින්නේ ඔහු සමඟ විය හැක. ඔහු එම පදනම මත සිරිසේන නායකත්වයට එරෙහිව බලගතු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා තිබේ. සිරිසේන නායකත්වයට එරෙහි රාජපක්ෂවාදීන්ගේ ප්‍රධාන අවිය නම් ඔහු රනිල් වික්‍රමසිංහගේ යූඇන්පීය සමඟ සන්ධානගත වී සිටීමයි. ඊට එරෙහිව සිරිසේන සතු ප්‍රබලම අවිය නම් පක්ෂයේ නිල අයිතිය ඔහු සතු වීමයි.
අමාත්‍ය දයාසිරි ජයසේකර කී කතාව හරිය. එනම් 2020 මැතිවරණ සටන සඳහා ශ්‍රීලනිපයට මෛත්‍රීපාල සිරිසේන හැර අන් නායකයෙක් නැත. මන්ද යත් රාජපක්ෂ, සිය පවුලට පිටින් වෙනත් නායකත්වයක් මතුවීමට පසුගිය සමයෙහි අවස්ථාවක් නොදුන් නිසාය.
වන්ද්‍රිකා බණ්ඩාරනායක සමයෙහි අනාගත නායකත්ව ලක්ෂණ පෙන්වූ එස්.බී. දිසානායක, මංගල සමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ නිමල් සිරිපාල සිල්වා යනාදින්ට අද එම විභවය නැත. ඒ අතුරින් රාජපක්ෂ සමය දක්වා පැමිණි ජෙයරාජ් අබිරහස් මරණයකට ගොදුරු විය. මංගල, රාජපක්ෂ කතුරට හසුවිය. එස්.බී. පක්ෂ මාරුකිරීමෙන් සහ කට වරද්දා ගැනීමෙන් පහත වැටුණි. නිමල් කාලයාගේ ඇවෑමෙන් දුර්වර්ණ වූ අතර සුසිල් මහඇමැතිකම අත හැරදා යෑමෙන් වැඩ පෙන්වීමට තිබූ අවස්ථාව නැති කර ගත්තේය.
මේ අතරවාරයේ ශ්‍රීලනිප නායකත්වය බවට චමල්, බැසිල්, ගෝඨාභය සහ නාමල් යන රාජපක්ෂවරු පත්වූහ. මේ හැම රාජපක්ෂවරයකුම මහින්ද රාජපක්ෂට ණයගැති අතර තමන්ටම කියා දැක්මක් නැත. ඔවුන්ගේ දේශපාලනය මර්දනකාරී සහ දූෂිතය. සිංහල බෞද්ධ මහා ජාතිවාදය, යුද්ධ ජය උන්මාදවාදය, සහ දෙමළ විරෝධය සිය දැක්ම ලෙස පවත්වා ගනිත්. මහින්ද රාජපක්ෂ නැත්නම් ඒකාබද්ධ විපක්ෂයක් නැත.
රාජපක්ෂවරු බලයේ මහිමයෙන් උපයාගත් ධනයෙන්ද අන්තේවාසිකයින්ගෙන්ද ජනයා ඇදගැනීමේ හැකියාවෙන්ද නූල් සූත්තරවලින්ද පොහොසත්ය. බලය ඔවුන්ගේ එකම පරමාර්ථයයි. ඒ සඳහා යක්ෂයා සමඟ වුව එක පැදුරේ නිදාගැනීමට ඔවුහු සූදානම්ය.
2015 ජනවාරි 08 දා ඇදවැටුණේ රාජපක්ෂවරුන්ගේ අපේක්ෂාව වන බලය මෙන්ම එමගින් ලැබෙන අධිසුඛෝපභෝගිත්වය සහ ධනයයි. බල සහ ධන තණ්හාව කිසි දිනෙක තෘප්තිමත් නොවේ. එපමණක් නොව කරන කලට පව් මිහිරිය මී සේ කියන්නාක් මෙන් බලයේ සිටියදී කළ පව් විඳවන්නට රාජපක්ෂවරුන්ට සිදුවන විභවයක්ද ජනවාරි 08 පෙරළියෙහි තිබුණි. එම හැකියාව තවමත් රාජපක්ෂවරුන්ගේ හිසට ඉහළින් එල්ලෙන කඩුවකි.
අඩුම වශයෙන් 2020දී බලයට පැමිණීමට නොහැකි වුවහොත් තම භීෂණ සහ දූෂණ දේශපාලනයට තොණ්ඩුව වැටී සිරදඬුවම් විඳීම වළක්වාගත නොහැකි බව දැන් රාජපක්ෂවරුන්ට සහ හෙංචයියන්ට පසක් වී තිබේ. සිය ඝෝෂකයා වන වීරවංශට වැටෙන්නට යන තොණ්ඩුවෙන් ඔවුන් සසල වී ඇති බවට සැකයක් නැත.
මේ සඳහා රාජපක්ෂවරුන්ගේ තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂයි. ඊළඟ ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ශ්‍රීලනිප නායකයා ලෙස ගෝඨාභය කරලියට ගෙනඒම ඔවුන්ගේ සැලැස්මය. මන්ද යත් තමා යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇති නිසාය. එමෙන්ම මේ තාක් දුරට ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ විධායක ජනාධිපතිධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමද වන නිසාය.
එසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්වූ බොහෝ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රාජපක්ෂ පවුල යළි බලයට එනු දැකීමට කැමැති නැත. මෙම අවස්ථාවෙහි රාජපක්ෂවරුන් ශ්‍රීලනිපයේ නායකත්වය ඩැහැගැනීම වැළැක්විය හැකි එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන බව ඔවුන්ගේ විශ්වාසයයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවටත් 2020 ජනාධිපතිවරණයෙහිදී ඉදිරිපත් විය යුතු බවට ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට හේතුව එය විය යුතුය.
මෙම තීරණයේ හරය වන්නේ මෛත්‍රීපාල සිරිසේන 2020දී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නායකත්වය ගත යුතු බව නම් ප්‍රශ්නය බැරූරුම් නැත. එවිට විධායක ජනාධිපතිද විධායක අගමැතිද යන්න දෙවැනිව මතුවන කාරණයක් බවට පත්වේ.
2020දී පක්ෂයට නායකත්වය දෙන ලෙස කැරෙන මෙම තීරණයට සිරිසේන පිටුපෑවහොත් සිදුවනු ඇත්තේ ශ්‍රීලනිපය ඔහුට පිටුපෑමයි. හුදෙක් තව වසර තුනක් පමණක් දේශපාලනයෙහි රැඳී සිටීමට නියමිත දේශපාලනඥයකු මත සිය අනාගතය රැඳවීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හෝ අනුගාමිකත්වය සූදානම් නොවනවා ඇත. එවිට ගෝඨාභය එකම තේරීම බවට පත්වීමට ඉඩ තිබේ.
මෙම තත්ත්වය යටතෙහි තමා සිය පක්ෂයේ මධ්‍යම කාරක සභා තීරණය පිළිනොගන්නේ යැයි ප්‍රකාශ කිරීමට ජනපති සිරිසේනට නොහැකිය. ඔහු එවැනි ප්‍රකාශයක් කළහොත් එය දේශපාලන සියදිවි නසා ගැනීමක් වනු නොඅනුමානය. අනෙක ඔහුගේ අනුදැනුමකින් තොරව මෙවැනි තීරණයකට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එළඹෙනු ඇතැයි සිතිය නොහැකිය.
අනෙක් අතට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනවාරි පෙරළියේ මූලික මහා පොදු සාධකය විය. එම පොරොන්දුවට පිටුපෑවහොත් ජනපති සිරිසේනගේ දේශපාලන සුජාතබව අහෝසි වෙයි. එමගින් ඔහු ජනවාරි වෙනස පාවා දුන් දේශපාලනඥයකු බවට පත්වෙයි.
එබැවින් ශ්‍රීලනිපයේ නායකත්වය යළි රාජපක්ෂවරුන්ගේ මර්දනකාරී හස්තයට හසුවීමට ඉඩ නොතබන අතරම ජනවාරි පෙරළියේ ප්‍රධානතම දේශපාලන අපේක්ෂාවක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කැරෙන සූත්‍රයක් සොයාගැනීම දැන් ජනාධිපති සිරිසේන හමුවෙහි ඇති අභියෝගයයි.
නායකයකු යනු පසුපසින් යන්නකු නොව මඟ පෙන්වන්නෙකි. ඒ අනුව හුදෙක් සිය මධ්‍යම කාරක සභා තීරණය පිටුපස යෑම වෙනුවට ඊට නායකත්වය දීම මේ මොහොතෙහි මෛත්‍රීපාල සිරිසේන මුහුණ දෙන අභියෝගයයි. ඔහුගේ දේශපාලන ඉරණම තීන්දු වනු ඇත්තේ ඒ අනුවය.■