Sunday, 20/8/2017 | 4:11 UTC+0
රාවය

වැලිකඩ මෙහෙයුම ගෝඨාභයගේ සැලසුමක්

අරුණ ජයවර්ධන

වරින් වර වෙඩි හඬ ඇසෙන බන්ධනාගාරය තුළින් ත්‍රීවීලරයක් එළියට ආවේ සවස හයහමාර පමණ වන විටය. කලබලය අතරතුර සිරගෙයින් මිදී තමන්ට පැනයා හැකියැ’යි සිතූ රැකවල්ලු පිරිසක් ත්‍රීවීලරයේ සිටියෝය. තවත් රැකවලුන් එක්කෙනකු දෙන්නකු ත්‍රීවීලරය පිටුපසින් මුවා වී තමන්ටත් පැන යා හැකියැ’යි සිතූ නමුත්, ඉතාම කෙටි කාලයක් තුළ ඇස් පනාපිටම ත්‍රීවීලරයට අත්වුණු ඉරණම විසින් ඒ අය බියටත්, පසුබැසීමටත් ලක්කෙරිණි. එස්පී ජීඑච් 3423 අංකය දරන, කොළ පැහැති ඒ බජාජ් ත්‍රීවීලරය බන්ධනාගාර නිලධාරියකුට අයත් එකකි. බන්ධනා ගාරයේ ඉදිරි දොරටුව පසෙක නවතා තිබුණු ඊට රඳවුවෝ ගොඩවූහ. ඔවුනට සිතුණේ නිදහස ගැන පමණකි. එහෙත්, ක්‍ෂණයකින් ඒ ගමන මරණයෙන් අවසන් විය.
ඒ වන විට බන්ධනා ගාරයෙන් පිටතට පැමිණ සිටි එස්ටීඑෆ් නිලධාරීහු බන්ධනාගාරය ඉදිරිපිට බේස්ලයින් මාර්ගය දිගට රැකවල් ලා උන්හ. ප්‍රධාන දොරටුව දෙස සිට බේස්ලයින් මාර්ගය දෙසට පැමිණෙමින් තිබුණු ත්‍රීවීලරයේ සිට රඳවුවන් එස්ටීඑෆ් නිලධාරීන් සිටි දෙසට වෙඩි තැබූ බව සමහරු කියති. වාර්තා වන අන්දමට ත්‍රීවීලරයේ සිට එල්ලවුණු වෙඩි පහරවලින් එස්ටීඑෆ් අණදෙන නිලධාරී රණවන හා තවත් එස්ටීඑෆ් නිලධාරීන් පස් දෙනකුට තුවාල සිදුවිය. පිටත සිටි එස්ටීඑෆ් නිලධාරීහු මේ තුවාලකරුවන් රෝහලට පිටත්කර යවන්නට උත්සාහ දැරූහ. කෙසේ වෙතත්, ක්‍ෂණයකින් එස්ටීඑෆ් භටයන් විසින් දෙපසින් හා පසුපසින් ත්‍රීවීලරය එල්ල කොට නිකුත්කරන ලද වෙඩි වරුසාවක් ත්‍රීවීලරය මත හැම පැත්තෙන්ම පතිත විය. ගොම්මන් අඳුර හා මාර්ගයේ කහ පැහැති මලානික විදුලි ආලෝකය මැදින් ත්‍රීවීලරයට එල්ලවුණු වෙඩි ප්‍රහාර පෙනුණේ දල්වන ලද අහස්කූරු එහා මෙහා ගමන්කරනා ආකාරයෙනි. එහෙත්, එසේ ගමන් කළේ ත්‍රීවීලරය තුල සිටි සියල්ලන්ගේ ජීවිත විනාස කරන්නට හේතුවූ බිහිසුණු වෙඩි උණ්ඩය. එහි සිටි පිරිසට වෙඩි වැදිණ. සමහරු ත්‍රීවීලරයෙන් පිටතට ඇදවැටුණාහ. ත්‍රීවීලරයේ මුළු ගමනම අඩි සියයකට පමණ සීමා විය.
වෙඩි වැදීමෙන් පසු ගමන අඩාලවූ ත්‍රීවීලරය නැවතී තිබුණේ බන්ධනා ගාරයේ ප්‍රධාන පිවිසුමට හරියටම ඉදිරියෙන්, පුංචි බොරැල්ල දක්වා ඇදෙන මාවතේ ආරම්භයේ හතරමං හන්දියේ පදික වේදිකාව ආසන්නයට වන්නටය. ත්‍රීවීලරය මුහුණ ලා තිබුණේ ඒ හතරමං හන්දියේ පැත්තක තිබුණු විශාල කටවුට් එකක් වෙතය. ‘රට රැකදුන් අප ජනපති. අප ඔබ සමඟයි’ යන්න මීටර් 16ක් පමණ දිග ඒ කටවුට් එකේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ඡායාරූපයක්ද සමග පළකොට තිබුණි. ඒ වනවිටත් ඒ කටවුට් එකේ සෑම තැනකම වෙඩි පහරවල් වැදී සිදුවූ සිදුරු දක්නට තිබුණි.
ත්‍රීවීලරය නැවතුණු පසුත් බන්ධනාගාරය දෙසින් පිටතට වරින් වර වෙඩි එල්ල විය. ත්‍රීවීලරයේ සිටියවුන්ට කුමක් සිදුවී දැයි බලන්නටවත් ඊට ළංවන්නට ඒ නිසා හැකිවුණේ නැත. ඒ අතර යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ රථයක් බන්ධනාගාර දොරටුව හා වෙඩිවැදී තිබුණු ත්‍රීවීලරය අතරමැදට වන්නට නතර කරන ලදි. ඒ ආවරණයෙන් ත්‍රීවීලරය පරීක්‍ෂාකරන්නට අවසරයක් ලැබුණි. පොලිසිය කළ සෝදිසියේදී ත්‍රීවීලරය තුළ තිබී රඳවුවන් 8 දෙනකුගේ වෙඩිවැදුණු මළසිරුරු හමුවිය. ගිනි අවි දෙකකුත් මැගසින් දෙකකුත් ඒ තුළ තිබිණ. පණ තිබෙන බව පෙනුණු රඳවුවන්ද ඇතුළු සියල්ලෝම රෝහල වෙත පිටත්කර හරින ලදහ.
අවසානයේ ත්‍රීවීලරය තුළ නැගී පලායෑමට තැත්කරන අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය රඳවුවන් පිරිස 11ක් බවට සොයාගත හැකිවිය. ඒ අය අතර සිටි අක්කරෙයි පත්තුවේ එම්එච් නවුෆර් බීමතින් රිය ධාවනය කිරීමේ චෝදනාවට සැකකරුවකු වශයෙන් බන්ධනාගාරගතව සිටියෙකි. රාජගිරියේ ආර්පී ලෙස්ලිද එසේම බීමතින් රිය පැදවීම ගැන වැරදි කරුවකුව මාස දහයකුත් සතියක සිර දඬුවමක් ලබා සිටියෙකි. කොළඹ 14 හේනමුල්ලේ අසිත සංජීව දිසානායකට එරෙහිව නඩු දෙකක් තිබුණු අතර ඒ වන විට ඔහු මාස හතරක් බන්ධනාගාරයේ ගෙවා තිබිණ. ගාල්ලේ ලලන්ත විජේසිරි මරණීය දඬුවම ලැබූවෙක් විය.
පසුදින ත්‍රීවීලරය පරීක්‍ෂා කළ පොලිස් අපරාධ පරීක්‍ෂකයන්ට ත්‍රීවීලරයට ඉදිරියෙන් වැදී තිබූ උණ්ඩ සලකුණු 37ක් දක්නට හැකිවිය. පිටුපස උණ්ඩවලින් වූ සිදුරු 90ක් විය. වම් පස බඳේ වෙඩි තැබීම නිසා වූ සිදුරු 32ක්ද, දකුණු පැත්තේ සිදුරු 56ක්ද විය. මේ වෙඩි උණ්ඩ සලකුණුවලින් ත්‍රීවීලරයට එල්ලවුණු ප්‍රහාරයේ තරම වටහාගත හැකි වනු ඇත. පරීක්‍ෂාවට ලක්කරන විට ත්‍රීවීලරයේ රියැදුරු අසුනේත්, පසුපස අසුනේත් ලේ ගංගාවක් ගලාගිය ආකාරය දැකගන්නට ලැබිණි. ත්‍රීවීලරයට ආසන්නයේ බිම වැටුණු මිනිස් අතක ඇඟිල්ලක පුරුක් දෙකක්ද දැකගන්නට හැකිවිය. එහි සිටි එක් රඳවුවකුගේ අතට වෙඩිවැදී ඇඟිල්ලේ නියපොත්ත ඇතුළු ඉහළ පුරුක් දෙක මෙසේ වෙන්වන්නට ඇතැ’යි පරීක්‍ෂක නිලධාරීහු කල්පනා කළහ.
බන්ධනාගාරය තුළ මේ සන්නද්ධ මෙහෙයුම මුළුමනින්ම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ සංකල්පයකි. සතියේ අඟහරුවාදා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්‍ෂක බුද්ධ් සමාලෝචන රැස්වීමේදී ඔහු දිගින් දිගටම කියා සිටියේ විවිධ අපරාධ හා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් බන්ධනා ගාරය තුළ රඳවා සිටින රඳවුවන් ජංගම දුරකථන මාර්ගයෙන් පිටස්තර අපරාධකරුවන් හා සම්බන්ධවී මංකොල්ලකෑම්, මිනීමැරුම්, කප්පම් ගැනීම් හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අදාළව වෙනත් අපරාධ කරන බවය. බන්ධනාගාරය තුළ ජංගම දුරකථන හා මත්ද්‍රව්‍ය බහුලව භාවිත වන බව තමන්ට පොලිසිය වාර්තා කර ඇතැ’යිද ඔහු කීවේය. 2010 වසරේ සිටම මේ ගැන විවිධ සාකච්ඡා ඔහුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි. බන්ධනාගාර නිලධාරීන්ද සහභාගිවුණු ඒ සාකච්ඡාවලදී බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියේ මේ තත්ත්වය පාලනය කරන්නට තමන්ට හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය ජංගම දුරකථන සංඥා අවුල් කෙරෙන ජෑමර්, ස්කෑන් යන්ත්‍ර ආදි උපකරණ හා පහසුකම් තමන්ට ලබාදෙන ලෙසත්ය. ඒ අනුව, බන්ධනාගාරය තුළ පාවිච්චි කරන ජංගම දුරකථනවල සංඥා අවුල්කිරීම සඳහා භාවිත කෙරෙන ජෑමර් බන්ධනාගාරය වටා සවිකර ලදි. එහෙත් ඒවා ප්‍රමාණවත් බලයක් සහිත නොවීය.
මේ හා සම්බන්ධව ආරක්‍ෂක ලේකම්වරයා කැඳවූ තවත් සාකච්ඡාවක් 2012 ජුලි මාසයේදී ආරක්‍ෂක අමාතශාංශයේ ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි, බන්ධනාගාර අමාතයාංශයේ අතිරේක ලේකම් නිමල් කොටවල ගෙදර, අමාත්‍යාංශයේ නීති උපදේශක ලලිත් අන්ද්‍රාහැන්නදි හා බන්ධනාගාරයේ සියලුම අධිකාරිවරුද ඊට සහභාගිවී සිටියෝය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ ඇතුළු උසස් පොලිස් නිලධාරීහුද ඊට එක්ව සිටියෝය. මත්ද්‍රව්‍ය වරදවල් සම්බන්ධයෙන් බන්ධනා ගාරගතව සිටින රඳවුවන් ඒ තුළ සිට පිටත මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානයක එහිදී කීවේය. බන්ධනාගාරය තුළ සෝදිසිය කඩිනම්න් කළ යුතු බවටත්, ඒ සඳහා පොලිසිය හා එස්ටීඑෆ් නිලධාරීන් සහභාගි කරගත යුතු බවටත් ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසට තදින් දැනුම් දුන්නේය. 2012 නොවැම්බර් මේ බිහිසුණු මෙහයුම ක්‍රියාත්මක වන්නේද එම ගෝඨාභය සංකල්පය අනුවය.
එහෙත්. බන්ධනාගාරය තුළ එවැනි මහා මෙහෙයුමක් කිරීමට තරම් තත්ත්වයක් උද්ගතවී තිබුණේ නැත. යම් අවස්ථාවලදී රඳවුවන් මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන පාවිච්චි කරන බව දැනගන්නට තිබුණු අතර, බන්ධනාගාර බුද්ධි අංශ විසින් දෛනිකව හා වරින් වර සෝදිසි ක්‍රියාත්මක කර ජංගම දුරකථන හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම්ද නිරන්තරයෙන් සිදුකෙරිණි. ජංගම දුරකථන හා මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ සංසරණය සඳහා ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහායද ලැබී තිබුණු බවට සැකයක් නැත. රඳවුවන් අතර සිටි විශාල ජාවාරම්කරුවන් බන්ධනා ගාර නිලධාරීන්ට යහමින් මුදල් වියදම් කළ අතර ඒ මගින් තමන්ට අවශ්‍ය දේ බාධාවකින් තොරව බන්ධනාගාරය තුළට ගෙන්වාගැනීමේ වරප්‍රසාදය ඔවුන්ට හිමිවී තිබුණි. එවැනි සිදුවීම් අනාවරණය වුණු අවස්ථාවලදී නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්‍ෂණ පැවැත්වීම් මෙන්ම සේවය අත්හිටුවීම්ද සිදුවී තිබේ. එහෙත්, එවකට බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සිට සියලු බන්ධනාගාර නිලධාරීන් දැරූ පොදු අදහස වුණේ එස්ටීඑෆ් (මෙහෙයුමට පැමිණ සිටි එස්ටීඑෆ් නිලධාරින් මුළු සංඛ්‍යාව 798කි.) හා හමුදා නිලධාරීන් යොදවා මෙවැනි විශාල මෙහෙයුමක් කිරීමේ අවශ්‍යතාවක් කිසිසේත් බන්ධනාගාරය තුළ නොවුණු බවයි. මේ නිසා නීතිය අනුව පොලිසියේ සහායක් බන්ධනාගාර නිලධාරීන් විසින් කර තිබුණේද නැත.
එසේ වුවත්, 2012නොවැම්බර් 09 වැනිදා මෙහෙයුම සිදුවිය. බන්ධනාගාර අමාත්‍යාංශ ලේකම්වරයාට අනුව එය මුළුමනින්ම ගෝඨාභය රාජපක්‍ෂගේ අණ අනුව සිදුවූවකි. ඔහුගේ අණ ඉටුකිරීමට සියලු අමාත්‍යාංශවල ඉහළ පහළ නිලධාරීහු නැමී සිටියෝය.
‘ජනාධිපතිතුමාගේ සොහොයුරා වශයෙන් ආරක්‍ෂක ලේකම්තුමා මේ අමාත්‍යාංශයට පමණක් නෙවෙයි, අනිකුත් අමාත්‍යාංශවලට පවා විවිධ බලපෑම් කළ අවස්ථාවන්වලදී එය නොකර හැරියොත් අපට අමාත්‍යාංශවල කටයුතු කිරීමට නොහැකිවන තත්ත්වයක් උද්ගත වන නිසා එවැනි බලපෑම්වලට අවනත වීමට අපට අනිවාර්යයෙන්ම සිදුවුණා. මේ තමයි සත්‍යය හා යතාර්ථය.’ ගෝඨාභයගේ අත්තනෝමතික පාලනය ගැන, වැලිකඩ ඝාතන සිද්ධියට අදාළ අමාත්‍යාංශයක ලේකම් වරයකු පළකළ අදහසකි ඒ.■

ඝාතන සිද්ධියට වගකිවයුත්තෝ කවුද? ලබන සතියේ රාවයෙන් කියවන්න.