Sunday, 20/8/2017 | 4:13 UTC+0
රාවය

ව්‍යවස්ථා සභාව ගෞරවය නැතිකර ගනීවිද?

කේඩබ්ලිව් ජනරංජන

නව පොලිස් පතිවරයා හැටි යට පූජිත් ජය සුන්දර මහතා, අපේ‍්‍රල් 20 වැනිදා ජනාධිපති වරයාගෙන් පත්වීම් ලිපිය ලැබ එදිනම ධුරයේ වැඩ භාරගත්තේය. ඊට පෙර දින එනම් 19 වැනි දින අපරභාගයේ ඔහුගේ නම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත යවන ලදි.

පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළ ආකාරය විවාදාත්මකය. එහෙත්, ඒ විවාදයට සහභාගිවීමට සදාචාරාත්මක ඉඩක් උදය ගම්මන්පිළ මහතාට හෝ බන්දුල ගුණවර්ධන මහතාට හෝ බැසිල් රාජපක්‍ෂ මහතාට හෝ නැත. මහින්ද රාජපක්‍ෂ මහතා ගෙනා 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සා ඡුන්දය දුන් හෝ අදත් ඒ සංශෝධනය අනුමත කරන හෝ කිසිවකුට අද සිදුවෙමින් තිබෙන වැරදි ගැන කතාකිරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. 18 වැනි සංශෝධනයෙන් කරන ලද්දේ රටේ සියලූම ප‍්‍රධාන තනතුරුවලට හා ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයන් පත්කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතට ගැනීමයි. ඒ අනුව ඔහු කළ පත්කිරීම් ඉහේ දෑත් බැඳ පිළිගන්නවා විනා ඒවා ගැන ප‍්‍රශ්න කිරීමේ අවකාශයක් එදා තිබුණේ නැත. 18 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තු සභාව නම් රූකඩ සභාවක් පිහිටුවා තිබුණු අතර, ඊට කළ හැකි වූයේ තනතුරුවලට ජනාධිපතිවරයා නම් කරන පුද්ගලයන් ගැන සිය ‘නිරීක්‍ෂණ’ ඉදිරිපත්කිරීමය. ඒ නිරීක්‍ෂණ පිළිගැනීමට කිසිම බැඳීමක් ජනාධිපති වරයාට තිබුණේ නැත. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගෙන් ඉඩම් ප‍්‍රතිලාභ ලැබූ මහින්ද බාලසූරිය වැනි අන්ත දූෂිතයකු පොලිස්පතිධුරයට පත්කළේ මේ ප‍්‍රතිපාදන යටතේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බව අපට අමතක නැත. මහින්ද රාජපක්‍ෂ පාලන කාලය වනාහි රටේ ස්වාධීන තනතුරු හා කොමිෂන් සභා වෙනුවට රාජපක්‍ෂලාගේ වැඩවසම් චින්තනය මූලාසනාරූඪ කළ එකක් විය. මහින්ද බාලසූරිය පොලිස්පති ධුරයට පත්කරන විට කරබාගෙන හුන් හෝ මහින්ද රාජපක්‍ෂගේ හිතුවක්කාර පාලනයට අත ඉස්සීමෙන් හෝ මතවාදිව හෝ සහාය දුන් කිසිවකුට දැන් පවතින ක‍්‍රමය විවේචනය කරන්නට සදාචාරාත්මක අයිතියක් නැත.

19 වැනි සංශෝධනය ගෙනඒමට සිදුවුණේ මහින්ද කළ විනාශය ආපස්සට හැරවීමටය. ඒ යටතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඇතුළත් සාමාජිකයන් දස දෙනාගෙන් හත් දෙනකු සිවිල් සමාජයෙන් පත්කරන්නට කෙටුම්පත් කොට තිබියදී, කෙටුම්පත හැකි තරම් දියාරු කොට ඒ ගණන තුනක් දක්වා අඩුකොට, ඉතිරි අවස්ථා හත දේශපාලකයන්ගෙන් පුරවන්නට බලපෑම් කළේ මහින්ද රාජපක්‍ෂගේ පාර්ශ්වයයි. නැතිනම් 19 වැනි සංශෝධනයට තමන්ගේ ඡුන්දය නොදෙන බවට තර්ජනය කරමිනි. මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර ඒ අවස්ථාවේදී කිව්වේ සභාවේ සාමාජිකයන් දස දෙනාම දේශපාලකයන් වන තරමට හොඳ බවයි. මේ අසාධාරණ බලපෑම නිසා අවසානයේ සම්මත වුණේ හැකි තරම් බල බිඳින ලද 19 වැනි සංශෝධනයකි.
එහෙත් එසේ වූ පමණින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ගැන දැන් පැනනැගෙන විවේචනවලින්් මුක්තියක් ඔවුන්ට හිමි නොවේ.

19 වැනි සංශෝධනයට අනුව, අගවිනිසුරුවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්, අභියාචනාධිකරණ සභාපති හා විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිසමේ සභාපති හැර අනෙකුත් සාමාජිකයන්, නීතිපතිවරයා, විගණකාධි පතිවරයා, පොලිස්පතිවරයා, ඔම්බුඞ්ස්මන්වරයා, පාර්ලි මේන්තු මහලේකම්වරයා යන තනතුරුවලට පත්කිරීම් සිදුකිරීමේදී විය යුත්තේ, ජනාධිපති විසින් සභාවට කරනු ලබන නිර්දේශයක් සභාව විසින් අනුමත කිරීම පමණකි. සභාව විසින් අනුමත කරන ලද නම හිමි පුද්ගලයා එකී තනතුරට පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. හෙවත් පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපති වරයාටය.

ඒ අනුව, ජනාධිපතිවරයා කරන්නේ ඉහත තනතුරුවලට පුද්ගලයන් නිර්දේශ කිරීමය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට කළ හැක්කේ එම නිර්දේශ අනුමත කිරීම පමණකි. අනුමත කිරීමේ කාර්යය හැර වෙනත් කිසිම බලයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ව්‍යවස්ථාවෙන් බැලූ බැල්මට පැවරී නැත. හෙවත් යම් පුද්ගලයකු ඉහත තනතුරකට ‘තේරීමේ’ බලයක් ව්‍යවස්ථා සභාවට නැත.

මේ කාරණය පළමුව පැනනැංගේ මේ වසරේ පෙබරවාරි 10 වැනි දින සිදුවූ නීතිපතිවරයා පත්කිරීමේ අවස්ථාවේදීය. ඒ අවස්ථාවේදී ජනාධිපති වරයා කළේ නීතිපති ධුරයට සුදුසුයැ’යි තමා හඟින තිදෙනකුගේ නම් ව්‍යවස්ථා සභාවට දන්වා යැවීමයි. එනම්, ජයන්ත ජයසූරිය, සුහද ගම්ලත් හා කපිල වෛද්‍යරත්නය. ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වන කතානායක කරු ජයසූරිය කළේ, තමන්ට තුන් දෙනකු අතරින් එක් අයකු තෝරාගැනීමට ව්‍යවස්ථා වෙන් අවසරයක් ලබා දී නැති නිසා එක් නමක් පමණක් සභාව වෙත නිර්දේශ කරන ලෙස ජනාධිපතිවරයාට දන්වා යැවීමයි. ඉන්පසු ජනාධිපති සිරිසේන, ජයන්ත ජයසූරියගේ නම පමණක් නැවතත් ව්‍යවස්ථා සභාව වෙත යැවීය. සභාව ඒ නම ඒකමතිකව අනුමත කළේය. ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවේ එම අනුමතය පිළිගෙන ජයන්ත ජයසූරිය නීතිපතිවරයා ලෙස පත්කළේය.

එහෙත්, පොලිස්පති වරයා පත්කිරීමේදී සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙන පරිදි, පොලිස්පතිවරයා ලෙස නිර්දේශිත නම් තුනක් තමන් වෙත එවන්නැ’යි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. එස්එම් වික‍්‍රමසිංහ, පූජිත් ජයසුන්දර, චන්දන වික‍්‍රමරත්න යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා ගේ නම් ජනාධිපති වරයා සභාව වෙත යවන්නේ ඒ අනුවය. සභාව අදාළ නිලධාරීන් තිදෙනා අපේ‍්‍රල් 19 වැනිදා පැවැති තමන්ගේ රැුස්වීම් වාරයට කැඳවන ලද අතර, ඔවුන් සම්මුඛ පරික්‍ෂණයකට භාජනය කරන ලදදැයි දැනගන්නට නැත. කෙසේ වෙතත් පත්කිරීම සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගන්නට බැරිවුණු නිසා සභාව තුළ ඡන්දයක් විමසන ලද බවද, එහිදී වැඩි ඡන්දය ලබාගත්තේ පූජිත් ජයසුන්දර මහතා බවද මාධ්‍ය වාර්තා කළේය. ව්‍යවස්ථාවට අනුව සභාවේ තීරණ ඒකමතික කරගැනීමට උත්සාහ දැරිය යුතුය. එසේ නොවන විට තීරණයට පස් දෙනකුවත් පක්‍ෂ නොවේ නම් එය බලරහිත වෙයි. ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනක්ම එනම්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි හා ජනාධිපති නීතිඥ ෂිබ්ලි අෂීස් මේ රැුස්වීමට සහභාගි නොවූහ. සිටියේ ආචාර්ය ඒටී ආරියරත්න පමණකි. සාමාජිකයන් අට දෙනකු සහභාගිවූ රැස්වීමේදී සභාපතිවරයාට මුල් ඡන්දයක් නැත. එනිසා ඉතිරිවන්නේ හත්දෙනෙකි. පූජිත් ජයසුන්දරට පක්‍ෂව ඡන්ද පහක්වත් ලැබුණේ නැතිනම් නම අනුමත වන්නේ නැත. ඒ අනුව ඉතිරි දෙදෙනාට බෙදී යන්නේ ඡන්ද දෙකක් පමණකි.

මේ සිදුවීමත් සමගම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සුපිළිපන්භාවය සම්බන්ධයෙන් වැදගත් ප‍්‍රශ්නයක් මතුවෙයි. නීතිපතිවරයා හා පොලිස්පතිවරයා පත් කිරීමේදී එකිනෙකට සපුරා වෙනස් පිළිවෙත් දෙකක් එම සභාව විසින් අනුගමනය කළේ ඇයි? ඒ සඳහා ඇති සාධාරණ තර්කණය කුමක්ද? පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා නම් තුනක් නිර්දේශ කරද්දී, ඔවුන් අතරින් එක්කෙනකු තෝරන්නට සභාවට හැකියාවක් නැති බව ජනාධිපතිවරයාට දන්වා නොයැවුවේ ඇයි? එක් නමක් පමණක් තෝරා එවන්නට නොකීවේ ඇයි?

එක පැත්තකින් මේ ප‍්‍රශ්න ව්‍යවස්ථා සභාවේ විනිවිදභාවය අභියෝගයට ලක්කරන අතරම, රටේ නීතිය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්කරන තත්ත්වයක් මේ ආණ්ඩුව යටතේද පවතින බව පෙන්වා දෙයි. සිදුවූ දෙය පිළිබඳව මේ වනතෙක් ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය හෝ අන් සාමාජිකයකු පැහැදිලි කරදීද නැත. ව්‍යවස්ථා සභාව යනු මුළුමනින්ම රහස්‍යභාවයක් ආරක්‍ෂා කරගත යුතු දෙයක් ලෙස සැලකිය යුතු නොවේ. එය මහජන වුවමනාවක් ඉටුකරනු පිණිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් පිහිටුවන ලද මහජන නියෝජිතයන් හත් දෙදනකුගෙන් හා සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනකුගෙන් සමන්විත සභාවකි. ඉන් හත්දෙනකු මහජන නියෝජිතයන් ලෙස සිය කාර්යයන් ඉටුකළ යුතු අතර ඉතිරි තිදෙනා සිවිල් සමාජ නියෝජිතයන් ලෙස කාර්යයන් ඉටුකළ යුතුය. මේ ක‍්‍රම දෙකම අනුව ඔවුන් අවසාන වශයෙන් වගකියන්නේ තමන් නියෝජනය කරන්නාවූ රටේ ජනතාවටයි.

මේ සිදුවීමෙන් පෙනෙන්නේ ව්‍යවස්ථා සභාව සිය කාර්යයන් පිළිබඳ කාර්ය පටිපාටිමය රීති සෑදීම මෙතෙක් නොකර ඇති බවද? ව්‍යවස්ථාව අනුව, සිය කාර්ය හා කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළ රීති සභාව විසින් සෑදිය යුතුය. ඒවා ගැසට් කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ව්‍යවස්ථා සභාව එවැනි රීති ගැසට් කළ බවක් තවමත් දැනගන්නට නැත. පවතින වෙනස් තත්ත්වයන් යටතේ (එය කෙතරම් දේශපාලනික කාරණා මත පදනම් වුණත්) එකිනෙකට වෙනස් කාර්ය පටිපාටි අනුගමනය කරන්නට ව්‍යවස්ථා සභාවට සිදුවන්නේ මේ අඩුපාඩුව නිසායැ’යි පෙනෙයි. සභාව විසින්ම එම රීති සම්පාදනය කරගැනීම එහි ගෞරවයත්, විනිවිදභාවයත් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන්නේය.