ස්වාධීන කොමිෂන් සභා තවම රාජ්‍ය තන්ත‍්‍රයටත් ආගන්තුකයි | ආචාර්ය දීපිකා උඩගම මානව හිමිකම් කොමිසමේ සභාපති

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය හැටියට ඔබ වැඩ බාරගෙන දැන් ටික කාලයක්. ඒ කාලෙදි අත්දැක්ක අභියෝග මොනවාද?

මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටෙව්වාට පස්සේ අපිට මතුවෙලා තියෙන විශාලම අභියෝගය තමයි සැබෑ ප‍්‍රමුඛතාවන්ට අනුව වැඩ කරන්නේ කොහොමද කියන එක. මේ අභියෝගය අපිට විතරක් නෙමෙයි අනිකුත් කොමිෂන් සභාවලටත් තියෙනවා කියලායි මට හිතෙන්නේ.

මානව හිමිකම් කොමිසමේ බලතල හා කාර්යභාරය ඉතාම පුළුල්. පැමිණිලි විභාග කිරීම කියන්නේ ඒ අතරින් එකක් විතරයි. අපිට තියෙන තවත් වැදගත් කාර්යයක් තමයි, රටේ නීති සහ ක‍්‍රම සම්පාදනයන් සිදුවෙද්දී ඒවා මූලික අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ප‍්‍රමිතීන් ආරක්ෂා කරමින් සිදුකිරීමට උපදෙස් දීම. ඒ වාගේම මානව හිමිකම් පිළිබඳව රට තුළ දැනුවත්භාවයක් ඇති කිරීමත් අපි සතු ප‍්‍රමුඛ කාර්යයක්. නමුත් අපිට තේරෙන විදිහට, ජනතාව මානව හිමිකම් කොමිසම ගැන කල්පනා කරන්නේ ඒක ඒ අයට පැමිණිලි ඉදිරිපත් කරන්න තියෙන ආයතනයක්ය කියලා විතරයි.

කොහොම වුණත් අපිට අවුරුද්දකට පැමිණිලි දහදාහක් විතර එනවා. ඉතින් ඒ පැමිණිලි අපි අධීක්ෂණයට ලක්කරනවා. ඒත් එතැනදී මතුවන විශාලම ගැටලූව තමයි, මේවායෙන් බොහොමයක් මානව හිමිකම් කොමිසමට එන්න ඕනෑ ඒවා නෙමෙයි. ඒවායෙන් සමහර ඒවා යන්න ඕනෑ රාජ්‍ය සේවා කොමිසමට. තවත් සමහර ඒවා පොලිස් කොමිසමට යා යුතු ප‍්‍රශ්න. සමහර ඒවා ඔම්බූඞ්ස්මන්වරයා වෙත යන්න අවශ්‍ය ගැටලූ. තවත් බහුතරයක් සිවිල් නඩු. ඒ විදියට බලද්දී පැමිණිලි කොච්චර ආවත් අපිටම ගැළපෙන ගැටලූ එන්නේ ඉතාමත් අඩුවෙන්. උදාහරණයක් විදියට, මේ ළඟදී ණය අයිරාවකට අත්සන් කිරීම ගැන එක පුද්ගලයෙකුගෙන් පැමිණිල්ලක් ලැබුණා. බැංකුව ඔහුගේ අයැදුම ප‍්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ ණයක් ලබාගැනීමේදී ඔහුගේ බැදුම්කරයේ තිබිය යුතු ප‍්‍රමිතිය අඩුවීම නිසා. ඉතින් ඔහොම පැමිණිලි මානව හිමිකම් කොමිසමට නිතර එනවා.

ඒ විතරක් නෙමෙයි අපිට පෙනෙන්න තියෙන විදියට අපිට ලැබෙන බොහොමයක් පැමිණිලි රටේ සැබෑ ප‍්‍රශ්න නියෝජනය කරන ඒවා නෙමෙයි. එන පැමිණිලිවලින් සියයට අනූවටත් වඩා ලැබෙන්නේ මධ්‍යම පංතිකයන්ගෙන්. මධ්‍යම පංතික ප‍්‍රශ්න මඟහරින්න ඕනෑ කියනවා නෙමෙයි. නමුත් පොළවේ තියෙන, ජන ජීවිතයට බලපාන සැබෑ මානව හිමිකම් ප‍්‍රශ්න ඒවා නෙමෙයි.

ආකල්පමය වෙනසක් ඇති කරන ගමන්ම ආයතනයේ පොදු දර්ශනය ක‍්‍රියාත්මක කරන එක මෙතැනදී ලොකු අභියෝගයක්.

ලැබෙන පැමිණිලි මත සීමා නොවී පොදු ප‍්‍රශ්න හඹායන්න කොමිසමට හැකියාවක් නැද්ද?

ඇත්ත. ජන ජීවිතයේ පවතින ප‍්‍රශ්නයක් අපේ මූලිකත්වයෙන් හඹා යෑමේ හැකියාවක් මානව හිමිකම් කොමිසමට තියෙනවා. පුවත්පත් මගින් හරි, වෙන ප‍්‍රවෘත්ති මාර්ගවලින් හරි සිවිල් සමාජ ක‍්‍රියාධරයන් මගින් හරි රටේ යම් ප‍්‍රශ්නයක් සාකච්ඡුා වෙද්දී අපිට පුළුවන් ඒකට මැදිහත් වෙන්න. ඇත්තටම අපි දැන් කළ යුත්තේ ඒ දේ තමයි.

ඒකපුද්ගල පැමිණිලි භාරගන්න එක නවත්තනවා කියන එක නෙමෙයි ඒකෙන් අදහස් කරන්නේ. නමුත් අපි කරන්න අවශ්‍ය රටේ ප‍්‍රශ්න සහගතව පවතින මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් නවත්තන එකනේ. රටේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දාන්න පුළුවන් එහෙම කළොත් විතරයි.

අර්ථයක් නැති පැමිණිලි එක්ක වැඩ කරලා රටේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය ඉහළ දාගන්න පුළුවන් කියලා හිතන්න බෑ. ඒවාට කාලය මිඩංගු කිරීමෙන් වෙන්නේ සැබෑ ප‍්‍රශ්න මගහැරී යෑමක්. මේ නිසා අපි අපේ සියලූ නිලධාරීන් එක්ක සාකච්ඡුා කරලා තියෙනවා නිවැරදි ප‍්‍රශ්න අඳුනාගන්නේ කොහොමද කියලා. ඒ වාගේම අදාළත්වයක් නැති ප‍්‍රශ්නයක් ආවාම ඒක නොසලකා හරින්නේ නැතිව ඒ අය නිවැරදි තැනට යොමු කරන්න දැන් අපි කටයුතු කරනවා. ඒ සඳහා අපි අපේ නිලධාරීන්ට පුහුණුවක් ලබා දීලා තියෙනවා.

පොළව මට්ටමේ පවතින ගැටලූ කොමිසමට එන නොඑන එකට ජනතාවගේ අවබෝධය බලපානවා. ඒ වාගේම කොමිසමේ මූලික අරමුණක් විදියට සඳහන් වුණෙත් මේ කියන දැනුවත්භාවය ඇති කිරීම. මේ කාර්යය සිදු කරන්නේ කොයි විදිහටද?

මේක මානව හිමිකම් කොමිසම මගින් බොහොම කාලයක් තිස්සේ කරන එකක්. මූලික අයිතිවාසිකම් ගැන පාසල්වලට, ගුරුවරුන්ට, වෘත්තිකයන්ට වගේ විවිධ කොටස්වලට මේ දැනුවත්වීමේ වැඩසටහන් පවත්වනවා. ඒ වගේම දැන් අපේ දැනුවත්කිරීමේ වැඩසටහන් වැඩි වශයෙන් යොමුවෙලා තියෙන්නේ පොලීසිය, හමුදාව වගේ ආයතනවලට. මොකද මානව හිමිකම් ආරක්ෂා කරද්දී විශේෂයෙන් නිතර දෙවේලේ වගඋත්තරකාර පාර්ශ්ව වන ආයතන දැනුවත් කිරීම තමයි වැඩිපුරම අවශ්‍ය වෙන්නේ. රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවත් ඒ තරමට ම තියෙනවා. වගඋත්තරකරුවන් හැටියට රාජ්‍ය පාර්ශ්වයට අවබෝධය දෙන්න ඕනෑ, වගකීම් පැහැර හැරීම තුළින් ඔවුන් සිදු කරන්නේ තමන්ගේ තත්ත්වය නැති කර ගන්න එක විතරක් නෙමෙයි, මුළු පද්ධතියක්ම කඩා බිඳ දමන එක කියලා.

මොන දේ වුණත්, දැනුවත් කිරීම සම්බන්ධයෙන් මේ ප‍්‍රයත්න සම්පූර්ණයෙන් ප‍්‍රමාණවත් කියලා මම කියන්නේ නෑ. එක එක විදියේ කුඩා වැඩසටහන් පවත්වන ගමන් ම අපි උත්සාහ කරන්න ඕනෑ දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්න. මානව හිමිකම් පිළිබඳව දශක ගණනාවක් තිස්සේ වැඩකරන කෙනෙක් හැටියට මං විශ්වාස කරන්නේ අපි මේක අධ්‍යාපන පද්ධතියට ම ඇතුල් කරන්න ඕනෑය කියලා. ඒකට මානව හිමිකම් පිළිබඳ මාතෘකා දෙක තුනක් ඇතුල් කරලා බෑ. මොකද මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍ර වාදය, යහපාලනය වගේ දේවල් විෂයක් හැටියට උගන්නන්නත් බෑ. එහෙම වුණොත් වෙන්නේ ඒවාත් රටේ අනික් විෂයන්ට වෙලා තියෙන විදියට විභාගයට මාතෘකා කීපයක් විතරක් වෙන එක. ඇත්තටම මේකට අධ්‍යාපන ප‍්‍රතිපත්ති මුල ඉඳන් හදන්න ඕනෑ. විෂය මාලාව වෙනස් කිරීමට අමතරව විශේෂ ගුරු පුහුණු වැඩසටහන් පවත්වගෙන යන්න ඕනෑ. ඒ වාගේම අධ්‍යාපන ක‍්‍රමයේ නැඹුරුව වෙනස් කරන්න අවශ්‍යයි. මොකද අධ්‍යාපන ප‍්‍රතිපත්ති සකස්කරන අය තවමත් කල්පනා කරන බවක් පෙනෙන්නේ රැුකියා වෙළඳපොළට අවශ්‍ය හැකියා ලබා දෙන්න කටයුතු කරන එක. ඒ අරමුණත් වැදගත් තමයි, නමුත් රටකට මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ හිතන්න පුළුවන් ශක්ති සම්පන්න පුරවැසියන් පිරිසක් බිහිකිරීම. එහෙම බිහිවුණාම ඔවුන්ට අනික් හැකියාවන් තාක්ෂණික ආයතනයකට ගිහින් වුණත් ලබාගන්න පුළුවන්.

මේ විදියේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් කොමිසම පෙනී ඉදලා තියෙනවාද?

මේවා අපි අපේ අනාගත සැලසුම් විදියට අරගෙනයි තියෙන්නේ. අපි වැඩ පටන්ගෙන තවම ගෙවිලා තියෙන්නේ මාස පහක් විතර. මේ වගේ දේවල් ගැන අපි දැන් කතාකරගෙන යනවා. ඒ වාගේ ම අපි උපකමිටු කීපයක් පත් කරලා තියෙනවා. ඒ උපකමිටු හරහා රටේ එක එක වැදගත් මානව හිමිකම් ප‍්‍රශ්න ගැන අවධානය යොමු කරන්නයි බලාපොරොත්තුව. ඉන් එක උපකමිටුවක් පත්කරලා තියෙන්නේ මේ කියූ අධ්‍යාපනයේ ගැටලූ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න.

අධ්‍යාපනය සම්බන්ධ යෙන් මේ වන විට අපිට වැඩිපුරම මැදිහත් වෙන්න වෙලා තියෙන්නේ ඔහොම ප‍්‍රශ්නවලට නෙමෙයි. පළවෙනි වසරට ළමයින් ඇතුල් කිරීම වගේ ගැටලූවලට. මේ පිළිබඳ හැම වෙලාවෙම අපිට තොරතෝංචියක් නැතිව පැමිණිලි එනවා. ඒ පැමිණිලි එද්දී, අපි එක එක සිද්ධිය විසඳාගෙන යනවා. නමුත් එහෙම කළා කියලා මේ ගැටලූව විසඳෙනවාද, නෑනෙ. එක ගැටලූවක් විසඳලා බැලූවාම ආයෙත් ඒ පාසලටම ඒ චෝදනාවම ඇවිත්. ඒ නිසා තමයි එක් එක් හුදකලා සිදුවීම් විසඳන ගමන් ම පද්ධතිය වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනෑ. ඒ සඳහා අපි දැන් සැලසුම් කරගෙන යනවා.

එතැනින් එහාට ගියාම අපිට වැඩිපුර එන තවත් ඒ වගේ ගැටලූවක් තමයි අපේ රටෙන් විදේශගත වන සංක‍්‍රමණික සේවකයන්ගේ ගැටලූව. එතැනදීත් අපි එක් එක් සිද්ධිය ගැන විසඳුම් දෙන ගමන් සමස්ත පද්ධතියටම විසඳුම් හොයන්න බලනවා. ඒ සඳහා අපි මුලදීම පරීක්ෂණ අංශයක් පවා පිහිටෙව්වා. ඒත් මානව හිමිකම් කොමිසමේ වැඩකටයුතුත් රටේ පොදු රාජ්‍ය සේවයට අනුගතව යන නිසා අපිට තවමත් මේ අංශය සඳහා අදාළ නිලධාරීන් සම්පූර්ණයෙන් බඳවාගන්න බැරිවෙලා තියෙනවා.

රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් කොමිසම ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද?

අපි මානව හිමිකම් ආරක්ෂා කරන්න ඕනෑ ජාත්‍යන්තරය නිසාය කියන අදහස ගැන මගේ එකඟතාවක් නෑ. මේ වාගේ ආයතන ශක්තිමත් කරන්න ඕනෑ ජාත්‍යන්තර වශයෙන් රටේ සුජාතභාවය ඇතිකරගන්න විතරක් නෙමෙයි. ඕනෑම ක්ෂේත‍්‍රයක වෙනසක් ඇතිවෙනවා නම් ඒ වෙනස එන්න ඕනෑ ජනතාව අතරෙන්. ඒ හැ`ගීම සමාජය තුළින් නිර්මාණය වුණේ නැත්තම් ඒ වෙනස ඵලදායී විදිහට සිදුුවෙන්නේ නෑ.

අපි හැම තිස්සේම කියන්නේ ජිනීවා ක‍්‍රියාවලිය ගැනනේ. රටේ ජනතාව තුළ සංහිඳියාවක් ඇතිකිරීම, ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීම වගේ දේවල් ජිනීවා ක‍්‍රියාවලියක් නෙමෙයි. රට තුළ සිදුවිය යුතු දේ පැහැර හැරීම නිසා අපි බාහිර සමාජයට උත්තේජකාරකයක් වුණා, ඔබ මේක කරන්න ඕනෑ කියලා රටට කියන්න. ඒ අය කිවුවත් නැතත් අපි ඒ දේ කළ යුතුමයි. රටක ශක්තිමත් මානව හිමිකම් කොමිසමක් තිබීම රටේ සුජාතභාවය ජාත්‍යන්තරව ආරක්ෂා කරන්න වැදගත් තමයි. නමුත් අතිශයින්ම වැදගත්වෙන්නේ රටේ ජනතාව.

මේ ආයතන ස්වාධීනව පවත්වාගෙන යන්න සිවිල් පුරවැසියන් හැටියට ජනතාවත් මැදිහත් වෙන්න ඕනෑ. නමුත් මට තේරෙන විදියට මේ ස්වාධීන කොමිෂන් සභා තවම රාජ්‍ය තන්ත‍්‍රයටත් ආගන්තුකයි වගේ. ස්වාධීන කොමිෂන් සභා තිබිය යුතුයි කියලා කිව්වාට ඒවායේ කාර්යභාරය ඒ අයට තේරෙන්නේ නෑ. අපි කිසියම් නිර්දේශයක් නිකුත් කළාම ඒ අය සමහර වෙලාවට ඒක නුරුස්සන ගතියක් පෙනෙන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපිට තවමත් පනත් කෙටුම්පත් එන්නේ නෑ. කිසියම් අමාත්‍යාංශයක් යම් පනතක් ඉදිරිපත් කරනවා නම් ඒක අපිට ලබා දෙන්න ඕනෑනේ, මේක මානව හිමිකම්වලට පටහැනිද කියලා තමන්ට නිර්දේශ කරන්න කියලා. ඒත් ඒ විදියට එන්නේ නැති නිසා බොහොම වෙලාවට අපිට ඒවා පසුපස හඹාගෙන යන්න වෙලා තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය වෙලා තියෙන්නේ සුවිශේෂී දැනුමක් තියෙන ආයතන විදියටනේ. නමුත් ඒ දැනුම තමන්ගේ වැඩවලට යොදාගනිමින් ඒ මගින් රටේ ප‍්‍රගතියක් ඇතිකරගන්නේ කොහොමද කියලා හිතන තරමට තවම රටේ දේශපාලන සංස්කෘතිය හැදිලා නෑ.

අනික් අතට ස්වාධීන කොමිෂන් සභා අතරත් විශාල සම්බන්ධතාවක් හා තොරතුරු හුවමාරුවක් තියෙන්න ඕනෑ. කොමිෂන් සභා වෙන් වෙන් වශයෙන් කටයුතු කරගෙන යනවා නම්, එකම දේ ආයතන දෙකක් මගින් වුණත් සිදුවෙන්නත් පුළුවන්.

රටක් විදියට දියුණුවෙන්න නම් අපිට ආයතන සහ ව්‍යුහ මතම රැඳී ඉඳලා බෑ. ජනතා සහභාගිත්වය කියන දේ ඒ සියල්ලටම වඩා වැදගත්. රටේ වෙනසකට සම්බන්ධ වුණාය කියූ පිරිස පවා අද වෙනකොට පොදු කරුණු සම්බන්ධයෙන් නිහඬ බවක් දක්වනවා පෙනෙන්න තියෙනවා. එහෙම වුණාම අපි ඉක්මනට ම ආයෙමත් හිටපු තත්ත්වෙටම වැටෙනවා.