Monday, 21/8/2017 | 3:50 UTC+0
රාවය

සුගතදාස පිටියට බාලගිරි දෝෂේ

ඒ. වික්‍රමසුරිය

ටෙන්ඩර් යනු හැම ක්‍රීඩා ඇමැත්තෙකුටම ප්‍රිය උපදවන වදනකි. පෙර කල පැවතියේ සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත්වැඩියාවකට වැටෙන ටෙන්ඩරයක් පමණි. මේ නිසා සුගතදාස ක්‍රීඩාංගණය එළිපිටම මුදල් ඉපැයිය හැකි එකම උල්පත විය. එහෙත් අලුත්ගමගේ දක්වා එනවිට එක පිට්ටනිය වෙනුවට පිට්ටනි රට පුරා ඉදිවන්නට වූ අතර ටෙන්ඩර් දැමීමද සෙල්ලමකට වඩා යමක් නොවීය.
අලුත්ගමගේට නාවලපිටිය ක්‍රීඩාංගණය පවා ධන නිධානයක් විය. එබැවින් ඔහු ක්‍රීඩාංගණ හැදීමේ ක්‍රීඩාවේ කෙළ පැමිණියෙක් විය. ඔහු රට පුරා ක්‍රීඩංගණ සැදීමට පටන් ගත්තේය. ඒ හදන පිට්ටනිවල කොන්ත්‍රාත් තම ගෝලබාලයන්ට ලබා දෙන්නටද අමතක නොකළේය.
ක්‍රිකට් ක්‍රීඩාංගණ ඇරුණු කල මෙරට ක්‍රීඩාවක් කළ හැකි සුවිශේෂ ක්‍රීඩාංගණයක් වේ නම් ඒ සුගතදාස ක්‍රීඩාංගණය පමණි. රාජපක්‍ෂලාද කොතරම් කයිවාරු ගැසුවද ඒ ක්‍රීඩාංගණය අබිබවා යා හැකි ක්‍රීඩාංගණයක් ඉදිකරනවා තබා එය නිසි ලෙස නවීකරණය කිරීමට පවා අසමත් විය.
කාලයෙන් කාලයට පත්වන ක්‍රීඩා ඇමැත්තෝ සුගතදාස ක්‍රීඩාංගණයේ නව ධාවන පථය එළීම ජාවාරමක් කර ගත් අතර එයින් මනා වාසි ලැබූහ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරුන්ට මෙම ධාවන පථය පළුදුවීම සන්තෝෂයට හේතුවන කරුණක් වූ අතර එය මහත් ධන නිධානයක් විය. මෙය ක්‍රීඩා අමාත්‍යවරුන්ට මෙන්ම කොන්ත්‍රාත්කරුවන්ටද උල්පතකි. ඔවුන්ද සුගතදාස ක්‍රීඩාංගණය හරහා කලින් කලට විවිධ නම්වලින් පෙනීසිටිමින් ක්‍රීඩාංගණයේ ධාවන පථය එළමින් මුදල් මැවූහ. මෙවැනි ධාවන පථයක් එළීම හෝ අලුත්වැඩියා කිරීමේ හැකියාව මෙරට කිසිම සමාගමකට නැති අතර පිට්ටනිය අලුත්වැඩියාව කී සැණින් ව්‍යාජ නම්වලින් හතු පිපෙන්නාක් මෙන් කොන්ත්‍රාත් සමාගම් ඇතිවනුයේද දේශපාලනයේම පිහිටෙනි. මේවා වක්‍රාකාරයෙන් වන කුමන්ත්‍රණය. අද ඊයේ නොව සෑම කල්හිම වන දෑය. අලුත්ගමගේ කාලයේදී එය කැතම ආකාරයට සිදුවූයේ “ගහකොළ” යන නමින් සමාගමක් සාදා ගෙනය. රතු ධාවන පථය නිල් වූයේ මෙරට මුදල් කන්දරාවක් විනාශ මුඛයට යවමිනි. අවසානයේ එයට වගකිව යුතු සමාගම ලිස්සා ගියේ හරිම සැහැල්ලුවෙන්ය. එසේ වූයේ එලෙස ලිස්සා යෑමට හැකි අත යට ගනුදෙනු අත යටින්ම සිදු වූ නිසාය.
අලුත්ගමගේට පසු නවීන් දිසානායක ආවද මේ ප්‍රශ්නය නිරාකරණය නොවිණි. ඉන්පසු දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමති ලෙස පත්වුවද කිසිදු වෙනසක් නොවීය. එලෙස පහළොස් මසක් ගෙවුණේය. ආණ්ඩුව විසින් සුගතදාස පිට්ටනියට නව ධාවන පථයක් එළීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 500කට අධික මුදලක් ලබා දීමට පොරොන්දු වීමත් සමඟ පිට්ටනි හැදීම නැවත කරලියට ආයේය.
දයාසිරි ජයසේකර ඇමතිවරයා සුගතදාස ක්‍රීඩාංගණයට නව ධාවන පථයක් එලන්නට දඟලනුයේ ඉන් අනතුරුවය. තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි කියමින් ඒ සියල්ල ටෙන්ඩර් කමිටුව මගින් තෝරා ගන්නේ යැයි ඔහු මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළේය. එහෙත් ඒ කිසිවක් විනිවිද නොවීය. මෙවර සිදු වූයේද පරණ පුරුදු සෙල්ලමමය. මේ අයට හොඳම කෙනාට පිට්ටනිය බාර දුන්නේය. ඒ අනුව මේ තෝරාගැනීම නොබෝදා අනුමත කරගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කළේය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එළීම සඳහා නැවතත් මිල ගණන් කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
ක්‍රීඩා අමාත්‍යවරයා දැනට උද්ගතවී ඇති ටෙන්ඩර් ගනුදෙනුව ගැන යහපත් ගුණ කථනයක් කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කළද එහිදී ජනාධිපති අභියාචනා මණ්ඩලයේ නිර්දේශය වූයේ මෙම ගනුදෙනුවේ ප්‍රශ්නයක් ඇති බැවින් නැවත ටෙන්ඩර් (මිල ගණන්) කැඳවන ලෙසය.
නව ධාවන පථය එළීම සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් මස ටෙන්ඩර් කැඳවා ඒ සඳහා සමාගමක් තෝරාගෙන තිබුණි. එම තෝරාගත් සමාගමට විවිධ චෝදනා එල්ල කරගනිමින් එයටම අදාළ කටයුත්ත පැවරීමට උත්සාහ කළේය. ටෙන්ඩර් ගනුදෙනුවලදී මේ උනන්දුව කාටකාටත් ඇතිවීම සාමාන්‍යය. මේ අනුව නැවත ටෙන්ඩර් කැඳවීමත් සමඟ සුගතදාස ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නැවත නැවත කල් යන්නේය. මෙය හේතුව කරගනිමින් ටෙන්ඩර් නොකැඳවා මීට පෙර කැඳවුමේ දෙවැනි තැනට ඇති සමාගමට පිට්ටනිය භාර දීමට ක්‍රීඩා ඇමතිවරයා කළ ඉල්ලීමද ප්‍රතික්‍ෂේප වනුයේ අලුතින්ම ටෙන්ඩර් කැඳවිය යුතුය යන තීරණය මතය.
ඒ අනුව දැන් නැවත ටෙන්ඩර් කැඳවීමට නියමිතය. මෙයට ඇමතිවරයාගේ කිසිදු කැමැත්තක් ඇතුළාන්තයෙන් නැති බව පැහැදිලිය. “මේ වැඩෙන් වෙන්නේ තවත් මාස හය හතක් කල් යන එක. ඒක බලපාන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මට කරන්න දෙයක් නෑ.” වැනි ප්‍රකාශ හරහා එය මනාව පැහැදිලිය.
මිට පෙරත් ගහෙන් ගෙඩි එන්න මෙන් අමාත්‍යවරුන්ගේ අභිමතයට කළ ටෙන්ඩර් මගඩි නිසා ධාවන පථයට වූ විනාශය ඇස් පනාපිටම දක්නට ඇත්තේය. එසේ නම් මෙවරත් ඒ කලබලයට ගොස් අනවශ්‍ය කරදර නැවත ඇති නොකරගත යුතුව ඇත. මෙතරම් කාලයක් බලා සිටියේ නම් මේ වසරම වුව බලා සිට නිවැරදිවම යමක් කිරීම හැර තවත් විකල්පයක් නැත්තේය. එබැවින් මෙවර එය හරියට විය යුතු යැයිද ඒ පිළිබඳ ආණ්ඩුව මනා විමසිලිමත් විය යුතු යැයිද කිව යුතුය. මන්ද ගිය වර දේ මේ වරද විය හැකිය. ඒ මෝඩකම මෙවර නොවිය යුතුය. එසේ නොවුණහොත් අපට නැවත අහන්නට වන්නේ “මට කරන්න දෙයක් නෑ” යන වදනම පමණි.■