රාවය

පැනමා පත‍්‍රිකාවලින් එළියට ආ ලාංකිකයෝ

පැනමා පත‍්‍රිකාවලින් එළියට ආ ලාංකිකයෝ

තරිඳු උඩුවරගෙදර | සඳුනිකා රත්නායක

තාක් ෂ ණ යේ දියුණුව සමග ලෝකය ගලා ආවේ සුදු ආකාරයෙන් නොවේ. මනුෂ්‍යත්වය ගෙනෙන්නට දැනුම හෝ තාක්ෂණය අසමත් විය. ගෝත‍්‍රික මිනිසා සෘජුවම ප‍්‍රාථමික ආයුධ සමගින් දුර්වලයා මර්දනය කොට බලය වඩවා ගනිද්දී දියුණු මිනිසා මුදල් නම් ආයුධය යොදාගනිමින් දුර්වලයා මර්දනය කොට බලය එක්රැුස් කළේය. සිරියාවේ යුද්ධයේ ආයුධ සපයන්නන් මෙන්ම අප‍්‍රිකාවට කුඩු සපයන්නන්ද, රුසියාවේ ස්ත‍්‍රී දූෂකයන්ද, ලංකාවේ ආර්ථික ගජමිතුරන්ද ආදි වශයෙන් ලෝකයේම ධනය හා බලය වෙනුවෙන් සූක්ෂ්ම දුෂ්ටයන්ට තම දුෂ්ට ක‍්‍රියා සාර්ථකව සිදුකිරීමට ක‍්‍රම අවශ්‍ය විය. පැනමා පේපර්ස් යනු ඒ කතාවේ නව මාතෘකාවයි. විකිලීක්ස් හෙළිදරව්ව, එඞ්වර්ඞ් ස්නෝඩන් හෙළිදරව්ව වැනි සිදුවීම්වලින් පසු ලෝකය කැළඹූ හෙළිදරව්ව පැනමා පේපර්ස් විය.

1977දි ජර්ගන් මොසැක් හා රමොන් ෆොන්සේකා විසින් ආරම්භ කරන ලද මොසැක් ෆොන්සේකා නීති උපදේශන සමාගමට ලෝකය පුරා කාර්යාල 40කට අධික සංඛ්‍යාවක් තිබෙන අතර පැනමා ජනාධිපති ජුවාන් කාර්ලෝස් වරේලාගේ සමීප හිතවතකු හා දේශපාලන සගයකු වන රමොන් ෆොන්සේකාට තමා සතු ආර්ථික හා දේශපාලන පසුබිම මත ඒවා පවත්වාගෙන යෑම ඒ තරම් අසීරු නොවන්නට ඇත.

මොසැක් ෆොන්සේකා සමාගම සැලකෙන්නේ ඕෆ්ෂෝ වෙළෙඳපොළට සමාගම් සපයන ලොව 4 වන විශාලතම සපයන්නා වශයෙනි. කෙනෙකු සිය රටෙන් පිට පවත්වාගෙන යන සමාගම් මෙම ඕෆ්ෂෝ වෙළෙදාමට අයත් වන අතර, බොහෝ විට එම සමාගම් පිළිබඳව එම පුද්ගලයාට අදාළ රටේ නිවැරදි තොරතුරු නොමැත. බොහෝ විට එවැනි සමාගම් අවි ගනුදෙනු, ගණිකා ජාවාරම සඳහා දැරියන් විකිණීම, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දේ සිදුකරන නිසාවෙන් ඒවායේ අනන්‍යතාව නිසැකයෙන්ම සැඟවීමට සිදුවේ. මොසැක් ෆොන්සේකා වැනි නීති සමාගම් ඔවුන්ගේ පිහිටට එන්නේ ඒ අයුරිනි.

මාස දෙකකට පමණ පෙර පැනමා පත‍්‍රිකා පිළිබඳව පළමුවෙන්ම සඳහන් වන්නේ ජර්මන් පුවත්පතක් වන ීමාාැමඑිජයැ ’ැසඑමබට නම් පුවත්පතේය. පුද්ගල නාම සහිතවම ප‍්‍රකාශයට පත්වන එය ලෝකයේම අවධානය දිනා ගන්නේ කළු සල්ලි සැඟවූ ලෝක ධනවතුන් එළිදරව්වීම යන කරුණ මූලික කරගෙනය. එහිදී බොහෝ දෙනෙකු ඒ කළු සල්ලි පිටුපස ඇති මෙම ඕෆ්ෂෝ සමාගම්වල කූට කාර්යභාරය අමතකව ගොස් තිබිණ. පැනමා පත‍්‍රිකා යනු ටෙරා බයිට් 2.6ක් විශාල දත්ත ගොනුවකි. ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍ය වේදීන්ගේ සංගමය එම තොරතුරු වරින්වර ප‍්‍රසිද්ධියට පත්කරන්නේ එම නිසාවෙනි. පැනමා පත‍්‍රිකා පිළිබඳ පළමු හෝඩුවාව ලැබූ ීමාාැමඑිජයැ ’ැසඑමබට නම් ජර්මන් පුවත්පතේ වාර්තාකරුවෙකු විසින් එම තොරතුරු විශ්ලේෂණය කිරීම ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍ය වේදීන්ගේ සංගමයට භාරදෙනු ලබන්නේද ඒ සා විශාල දත්ත ප‍්‍රමාණයක් තනිවම පිරික්සීම කළ නොහැකි වූ නිසාය. පසුගිය මැයි නවවැනිදා ප‍්‍රසිද්ධියට පත්වූයේ තවත් එවන් ගොනුවකි.

පැනමා පත‍්‍රිකා බෝම්බය පුපුරා යන්නේ ලෝකයේ රටවල් 80ක වාර්තාකරුවන් 370 දෙනෙකු වසරක් පුරා කළ ගවේෂණයක ප‍්‍රතිඵලය නිසාවෙනි. වසර 40ක් පුරා අතිශය සුරක්ෂිතව තිබූ මෙම ලියකියවිලි එළිදරව් වීම විමසා බැලීමට ප‍්‍රථම එකී සුරක්ෂිතතාව පිටුපස සැඟවී සිටි සමාගම් හා පුද්ගලයන්ගේ කෙරුවාව විමසා බැලීමට වටී. සිවිල් යුද්ධ සඳහා අවි ආයුධ සැපයීම බොහොමයක් ජාත්‍යන්තර සමාගම්වල කාර්යභාර්යයයි. දෙපක්ෂ යටම ආයුධ සැපයීම මගින් සිය මඩි තර කර ගන්නා මෙම කූට ව්‍යාපාරයේ නිරත සමාගම් මේ කතාන්දරයට සම්බන්ධ වන්නේ හදිසියේ එළියට එන පැනමා පත‍්‍රිකාවල සඳහන් වීමෙනි. එනම් කළු සල්ලි ඇති පදම් ගැවසෙන සමාගම් හා පුද්ගලයන් එම තත්ත්වය ලොවෙන් වසන් කිරීමට පැනමාවේ පිහිටි මොසැක් ෆොන්සේකා නීති සමාගමේ පිහිට පතා තිබුණි.

360,000 ක් පුද්ගල නාම සහිත ලිපිගොනු මිලියන 11.5 ක් පැනමා පත‍්‍රිකා ලෙස එළිදරව්වේ. එංගලන්ත අගමැති ඬේවිඞ් කැමරන්ගේ පියා, රුසියානු ජනපති වැලැද්මීර් පුටින්ගේ සමීපතමයන්, අරාබි කුමාරවරුන් ආදි බලවත්තු රාශියක්ද ඒ අතර වෙති. පළමුවෙන්ම මෙම හෙළිදරව්වෙන් දිනකට පසු අයිස්ලන්ත අගමැතිවරයා ඉල්ලා අස්වෙන්නේ එරට ජනතාවගේ උද්ඝෝෂණ මධ්‍යයේය. මෙම පත‍්‍රිකාවල ලෝක නායකයන් 12 දෙනෙකු හා දේශපාලනඥයන් 128කගේ නම් ඇති බව ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍ය වේදීන්ගේ සංගමයේ වාර්තාවල සඳහන් වේ. එසේම නීතිවිරෝධී මිනිස් අවයව ජාවාරම්කරුවන්, අල්ලස් දූෂණ සිදු කළ ආයතන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආදින්ද මේ ලැයිස්තුවේ සිටින බව ඔවුන් අනාවරණය කර තිබේ. එවන් ඇතැම් දෙනා මොසැක් ෆොන්සේකාහි ලියාපදිංචි වීම සඳහා යොදාගෙන ඇත්තේ හැරී පෝටර්, විනී ද පූ වැනි නම් සාවද්‍ය නම්ය.

මේ සම්බන්ධව ප‍්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සඳහන් කළේ මෙම පත‍්‍රිකාවල අඩංගු බොහෝ සමාගම් නීත්‍යනුකූලව ලියාපදිංචි සමාගම් වීම මගින් පෙනී යන්නේ නීතිවල හා නීති සෑදීමේ ඇති දුගීභාවය බවය. ඒ සඳහා යම් ක‍්‍රියාමාර්ගයක් වශයෙන් ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව හා ජර්මනිය සිය රටවල් තුළ මෙවැනි සමාගම් සත්‍ය තොරතුරු සමග ලියාපදිංචිය සඳහා ක‍්‍රමවේදයක් සකසා මේ වන විට එය ක‍්‍රියාත්මක කරමින් සිටී. එංගලන්තය මෙවැනි සමාගම් සඳහා ජාත්‍යන්තර දූෂණ මැඬලන ආයතනයක් පිහිටුවීම සඳහා ක‍්‍රියාකරමින් සිටී. ඉන්දියාව හා ඇමරිකාව මේ වන විටත් පැනමා පත‍්‍රිකාවල සඳහන් තම රටවල පුද්ගලයන් හා සමාගම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියෝග ලබාදී ඇත.

ශ‍්‍රී ලංකාව

මොසැක් ෆොන්සේකා සමාගම හරහා හෙළිවූ ජාත්‍යන්තර සමාගම් ලැයිස්තුවෙහි ලංකාවේ සමාගම් හා පුද්ගල නාම රැුසක් තිබුණි. ඒ අතරින් පැනමා පත‍්‍රිකාවල ආයෝජනය කර ඇති නම් ලැයිස්තුව පසුගියදා එළිදරව් විය. එහි පුද්ගලයන් 19 දෙනෙකු සිටින අතර, ආයෝජන 22ක් පිළිබඳව තොරතුරු එළිදරව් වී තිබෙන්නේය. මීට පෙර හෙළිදරව් වූ ජාත්‍යන්තර ඕෆ්ෂෝ සමාගම්වල නම් ලැයිස්තුවෙහි ඇති ශ‍්‍රී ලාංකික නම් සංඛ්‍යාව නොමැතිව ගත් කල සම්පූර්ණයෙන්ම මොසැක් ෆොන්සේකා ලිපිගොනුවල ඇති ශ‍්‍රී ලාංකික නම් 22ක් සමාගම් සංඛ්‍යාව 3ක්, තැරැුව්කරුවන් සංඛ්‍යාව 3ක් හා ලිපින සංඛ්‍යාව 21ක් වන අතර ඇතැම් නම් ගනුදෙනු දෙකක් සඳහා දෙවතාවක් සඳහන්ව ඇත.

මීට පෙර රාවය පැනමා පත‍්‍රිකා පිළිබඳව පළකළ පුවත ඉන් පසු සතියෙහි අප විසින් පැහැදිලි කළ ආකාරයට දෝෂ සහිත පුවතකි. එහි සඳහන් වන්නේ පැනමා පත‍්‍රිකාවල ආයෝජනය කළ නම් ලැයිස්තුව නොව, ඊට පෙර නිකුත් කර තිබූ ඕෆ්ෂෝ ජාත්‍යන්තර සමාගම් අතරෙහි තිබුණු ශ‍්‍රී ලාංකික නම් ලැයිස්තුවයි. කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසුවද ලංකාවේ මාධ්‍ය පැනමා පත‍්‍රිකා සහ ඕෆ්ෂෝ නම් ලැයිස්තු පටලවාගෙන සිටින බව පෙනෙන්නේය. ඕෆ්ෂෝ යනු විශාල ජාවාරමක් බව සැබෑය. එහෙත් ඒවා තවදුරටත් අධ්‍යනය කළයුතු ගනුදෙනුය. එම නම් මෙම ලැයිස්තුවට එක්ව ඇත්තේ මොසැක් ෆොන්සේකා සමාගමේ උපදේශන ලබාගෙන තිබෙන නිසාය.

මාධ්‍ය හරහා විද්‍යා අමරපාල, ජගත් සුමතිපාල වැනි නම් ද පැනමා පත‍්‍රිකා ගොඩට දමා වාර්තා කොට තිබුණද පැනමා පත‍්‍රිකාවල ඔවුන්ගේ නම් සඳහන්ව තිබුණේ නැත. ඔවුන්ගේ නම් තිබුණේ මොසැක් ෆොන්සේකා සමාගමේ ලියාපදිංචි වී සිටි ඕෆ්ෂෝ නම් ලැයිස්තුව අතරෙහිය.

ඉහත කීවාක් මෙන් මොසැක් ෆොන්සේකා සමාගමේ ලිපිගොනුවල වෙනත් නම් යොදාගනිමින් ලියාපදිංචි වූවන් සිටිනවාක් මෙන්ම, තමන්ගේ නම් වෙනුවට වෙනත් පුද්ගලයන්ගේ නම් යොදාගනිමින් ලියාපදිංචි වූ පුද්ගලයෝ්ද සිටින්නෝය. එබැවින් මහින්ද රාජපක්ෂට ‘කෝ අපේ නම නෑනේ’ කියා ගැලවී යෑමට ඉඩක් ඇත්තේ නැත. මහින්ද රාජපක්ෂ පමණක් නොව ලංකාවේ ප‍්‍රධාන පෙළේ ඕනෑම දේශපාලන නායකයකු මෙයට ගෑවී සිටිය හැක. සැබෑ ලෙස පරීක්ෂණ කෙරෙන්නේ නම් ඒවා සොයාගැනීම අපහසු නොවනු ඇත. ගවේෂණාත්මක මාධ්‍ය වේදීන්ගේ අන්තර්ජාතික සංසදය අමාරු කොටස කර දී ඇත්තේය. ආණ්ඩුවට ඇත්තේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමයි. ලොව අනෙක් රටවල් මේ හෙළිදරව් වූ කරුණු පසුපස හඹා යන්නේය.

මේ පැනමා පත‍්‍රිකාවල ගනුදෙනු කළායැයි හෙළිදරව් වූ නම් ලැයිස්තුවයි.

කෙනත් ජෝන් පෙන්ඩිග‍්‍රාස්ට් – ස්කැටෝලා ෆයිනෑන්ස් ලිමිටඞ් (සිංගප්පූරුව), යාපා හෙට්ටි පතිරන්නැහැලාගේ නිශ්ශංක යාපා සේනාධිපති – ඇවන්ගාඞ් පෞද්ගලික සමාගම, සෙනරත් බණ්ඩාර දිසානායක – ඇවන්ගාඞ් පෞද්ගලික සමාගම, මින් ෂුවාන් – ලෙන්ස්කි ඉන්ටර්නැෂනල් සමාගම (හොංකොං), ජයකොඩි ආරච්චිලාගේ දෝන මේරියන් ශ‍්‍රීනි පැමලා ජයකොඩි – ග‍්‍රෑන්ඞ් රයිස් ඉන්ඩස්ටි‍්‍ර සමාගම (චීනය), පලවින්නේගේ සුමිත් කුමාරණතුංග – එම්පයර් ස්ටාර් හෝල්ඩින්ස් (සිංගප්පූරුව), ප‍්‍රසන්න අතනේසියස් සිරිමෙවන් රාජරත්න – ඇවන්ගාඞ් සමාගම, ත‍්‍රිස්ටන් ලොරේන්ස් බර්නාඞ් – හොටෙල් අයිකියු ඉන්ටර් නැෂනල් (තායිලන්ත), නිකොලා ඩොවින් හකන්සන් – නෙට්වර්ක් ලිමිටඞ් (සීෂෙල්ස්), මයිකල් රොබට් නස්මිත් මැක්පසන් – කැචයින් ලිමිටඞ් (බි‍්‍රතාන්‍ය දූපත්), ආරුන් හයිඩ‍්‍රාමනි සහ මෝනා හයිඩ‍්‍රාමනි – ස්ටෝන්ක්‍රොෆ්ට් ඉන්වෙස්මන්ට්ස් (බි‍්‍රතාන්‍ය දූපත්), අරුන් ප‍්‍රකාශ් මතානි – පැෂන් චයිනා ලිමිටඞ් (හොංකොං), මුකේෂ් කුබ්චාන්ඞ් – අද්වානි ඉන්වෙස්මන්ට්ස් (බහමාස්, න්ග් යින් පින් – ජීනියස් කොම් ලිමිටඞ් (සිංගප්පූර්), සයිමන් ෆින්ච් – බෙස්ට් චියර්ස් ලිමිටඞ් (ශ‍්‍රී ලංකා), කිත්සිරි මංජුල කුමාර යාපා – ඇවන්ඞ්ගාර්ඞ් සමාගම, ක‍්‍රිස්ටෝපර් රොහාන් මාර්ටින් – ට‍්‍රම්ප් ට‍්‍රරේඩින් ලිමිටඞ් (හොංකොං), මොහොමඞ් සිද්දික් මොහොමඞ් – කාලින් ඉන්ටර්නැෂනල් කම්පැණි ලිමිටඞ් (හොංකොං)

ඕවසීස් ෆයිනෑන්ස් ලිමිටඞ්, ටෙක්ලොයිඞ් ලිමිටඞ් හා බෙස්ට් චියර්ස් ලිමිටඞ් යන සමාගම් ලංකාවේ සමාගම් ලෙස සඳහන්ය. තැරැව්කරුවන් ලෙස පැනමා පත‍්‍රිකා ලැයිස්තුවේ ඒසියා කැපිටල් ලිමිටඞ්, සයිමන් පෝල් ෆින්ච් හා ඇඞ්වාන්ටෙක් නෙට්වර්ක් සිස්ටම් යන පුද්ගලයන් හා සමාගම්වල නම් හෙළිදරව් කර ඇත.

හෙළිදරව් වූ නම් අතරින් බහුතරය ලංකාවේ ස්වදේශික නම් නොවන බව පෙනෙන්නේය. චීන ඌරුව සහිත නම්, ඉන්දීය හා බටහිර ස්වරූපයේ නම් ඒ අතර ඇත්තේය. ඒ නම් පසුපස සිටින්නේ අප හොඳින් දන්නා දේශීය ඌරුව සහිත නම්වලින් මැතිවරණ වේදිකාවල සිටි පුද්ගලයන් වීමට ඇත්තේ සුළුපටු සම්භාවිතාවක් නොවේ. සුදු සරම ඇඳ සුදු කතා කියන පුද්ගලයන්ද, කෝට් ඇඳ මහත්මා ගුණය පෙන්වන පුද්ගලයන්ද මොසැක් ෆොන්සේකා මුදල් විශුද්ධිකරණ ජාලාවේ අහුකොන්වල නොසිටිය හොත් මිස සිටියහොත් පුදුමයට පත්විය යුතු නැත.

ඇවන්ගාඞ් සමාගම

ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ කොටස් හිමියන් ලෙසින් පැනමා පත‍්‍රිකාවලින් හෙළිදරව් වී තිබුණු නම් හතරකි. පැනමා පත‍්‍රිකාවල ශ‍්‍රී ලාංකික ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ නිශ්ශංක සේනාධිපතිය. ඊට අමතරව සෙනරත් බණ්ඩාර දිසානායක, ප‍්‍රසන්න සිරිමෙවන් රාජරත්න, කිත්සිරි මංජුල කුමාර යාපා යන නම් තුනද ඇවන්ගාඞ් සමාගමේ කොටස් හිමියන් ලෙස මොසැක් ෆොන්සේකා සමාගමේ ලියාපදිංචි වී ගනුදෙනු කර තිබෙන බව ලෝකයම පිළිගන්නා ලේඛන ගොන්නක සඳහන්ව ඇත. නිශ්ශංක සේනාධිපති මේ වන විට ඇවන්ගාඞ් සමාගම මෙම ගනුදෙනුවට සම්බන්ධ නැති බව මාධ්‍ය නිවේදනයකින් පවසා ඇත්තේය. ඔහුට එසේ පවසන්නට අයිතිය ඇත්තේය. අයිස්ලන්තයේ අගමැතිවරයාද තමන්ට ඇති චෝදනා ප‍්‍රතික්ෂේප කළේය. පසුව ඉල්ලා අස්වෙන්නට සිදුවිය.

බරපතළ කාරණය එය නොවේ. රාජපක්ෂ පවුලේ මිලිටරි මොළකාරයා වන ගෝඨාභය රාජපක්ෂ හා ඇවන්ගාඞ් සමාගම අතර ඇති සම්බන්ධයයි. ඒ සම්බන්ධය පෙන්වන්නට වැඩිදුර යන්නට අවැසි නැත. සරල ගූගල් සෙවුමකින් වුව ඒ සම්බන්ධය හෙළිදරව් කරගත හැක්කේය. ඇවන්ගාඞ් හට පාවෙන අවි ගබඩා තබාගැනීම සඳහා අවසර ලැබුණේ රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ අවසරය මතයි. නීතියට හා ක‍්‍රමවේදයට පිටින් ගොස් ඇවන්ගාඞ් ගිවිසුම්ද අත්සන් කොට තිබුණි. ගෝඨාභයලාගේ රක්නා ලංකා සමාගමේ සීමාර්ෂල්වරුන්ද ඇවන්ගාඞ් සමාගමට ලැබී තිබුණි. හිටපු ආණ්ඩුවේ ගෝඨාභයලා පමණක් නොවේ, වත්මන් ආණ්ඩුවේ තිලක් මාරපනලා, විජයදාස රාජපක්ෂලා සමගද හොඳට හෝ නරකට නිශ්ශංක සේනාධිපති සම්බන්ධතා පවත්වා ඇති බව රහසක් නොවේ. අයිස් කුට්ටියේ ජලයෙන් යටවුණු කොටස වැඩි බවට සැක නැත. නිශ්ශංක සේනාධිපති මාධ්‍ය ආයතන සමග, මාධ්‍යවේදීන් සමග මෙන්ම දේශපාලනඥයන් සමග පැවැත්වූ සම්බන්ධතා නිමක් නැත. ඒ නිසා ඇවන්ගාඞ් සමාගමේ නම මේ අතර තිබීමෙන් පැවසෙන්නේ හුදු ඇවන්ගාඞ් සම්බන්ධ කතාවක් පමණක් නොව සම්පූර්ණ දේශපාලනය ගැන කතාවකි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් කියා ඇත්තේ පැනමා පත‍්‍රිකාවල නම් සඳහන් පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි. සැබැවින්ම එසේ වන්නේ නම් යහපත්ය. සැබෑ කාරණය නම් පැනමා පළහිලව්වට හිටපු ආණ්ඩුවේ පමණක් නොව, වත්මන් ආණ්ඩුවේ පුරුක් ද ගෑවී සිටීමයි. එවන් පසුබිමක ලංකාවේ දේශපාලන ක‍්‍රමය දන්නා අපට පරීක්ෂණ ගැන බලාපොරොත්තු තැබිය හැකිවේදැයි සැකයක් තබාගන්නට සිදුවනු ඇත. පුරවැසි බලවේග කළ යුත්තේ සත්‍යය සොයන ලෙස ආණ්ඩුවට බලකර සිටීමයි.

පැනමා පත‍්‍රිකා කතාවේ ශ‍්‍රී ලංකාවට අදාළ කොටස් අවසන් නොවන්නේ එලෙසයි. තමන්ගේ රට නොවන වෙනත් රටවල ලිපිනයන්ගෙන් පැනමා පත‍්‍රිකාවල ගනුදෙනු කළ පුද්ගලයන් බොහෝ දෙනෙක් සිටින්නෝය. එවන් ලාංකිකයෝ සිටිත් නම් ඒ නම් සොයාගත යුතුය. ගිගාබයිට් 40ක් පමණ වන සම්පූර්ණ ලිපිගොනුව පිරික්සිය යුතුය. ඉහත ලැයිස්තුවේ ඇති සමහර සමාගම් පැනමා ගනුදෙනුවේ කළු ගනුදෙනු විශාල වශයෙන් සිදුකර ඇති සමාගම්ය. මෙම ලිපිනයන් හරහා තවත් තොරතුරු සොයාගත හැකිවනු ඇත.

තවත් නම් එළියට

ශ‍්‍රී ලාංකික නොවන තවත් නම් පැනමා පේපර්ස් ලැයිස්තුවේ වෙනත් රටවල නම්වලින් තිබිය හැකිය. මෙම ලිපිය සහිත පුවත්පත් පිටුව සකසන අතරතුරේ තව තවත් නම් හෙළිවෙමින් පවතින්නේ ඒ නිසාය. ඒ අතරින් රාජපක්ෂවරුන්ගේ මුදල් ගනුදෙනු කළායැයි සැලකෙන නන්දන ජයදේව ලොකුවිතානගේ නම නිලෝමා ෆැෂන්ස් ලිමිටඞ් ආයතනයේ නමින් සීෂෙල්ස් ලැයිස්තුවෙහි සඳහන් වන්නේය. මෙම නාමයද රාජපක්ෂලාට පැනමා පත‍්‍රිකාවලින් ගැලවී යා නොහැකි බවට උදාහරණයකි. ඩුබායි මැරියට් හෝටලය ගත්තායැයි සැලකෙන්නේ නන්දන ලොකුවිතාන වන අතර වානේ සංස්ථාවේ හිමිකරුවා වන්නේද ඔහුය. බැලන්ටයින් ගෘප් ලිමිටඞ් නම් ඕෆ්ෂෝ ආයතනය හරහා එක්සත් රාජධානියේ ලැයිස්තුවෙන් ලංකාවේ කෝටිපති ව්‍යාපාරික සේන යද්දෙහිගේගේ නමද පැනමා පත‍්‍රිකාවල සඳහන් වන්නේ ය. සේන යද්දෙහිගේ යනු ලංකාවේ ඉහළම ධනවතුන් අතර සිටින්නෙකු වන අතර ආපිකෝ සමාගම අයත්වන රිචඞ් පීරිස් සමාගමේ හිමිකරුවා ඔහුය. රාජපක්ෂලාගේ හිතවතෙකු වන අසංග සෙනෙවිරත්න සමඟ සේන යද්දෙහිගේගේ නම ගෑවී තිබෙන්නේය.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලැයිස්තුවෙහි අනුරලෙස්ලි පෙරේරා යන නාමයද සඳහන් වන්නේය. ඒ රොටෝ ෆයිනෑන්ස් එන්ටප‍්‍රයිසස් යන ඩුබායි ලිපිනය සහිත සමාගමෙනි. ලෙස්ලි පෙරේරාට අමතරව එම සමාගම හරහා ගසාලා නස්රීන් පෙරේරා නමැත්තාද ආයෝජනය කර ඇත.

ඕස්ටේ‍්‍රලියාවේ ලැයිස්තුවෙහි කාබන් පොසිටිව් ලෑන්ඞ් ලිමිටඞ් නමැති සමාගම හරහා ජෝන් අන්විල් නමැත්තෙකුද පැනමා පත‍්‍රිකා ලැයිස්තුවෙන් හෙළිදරව් කර ඇත. ඔහු සමාගම් හතරක් හරහා මොසැක් ෆොන්සේකා සමාගම සමඟ ගනුදෙනු කර තිබෙන්නේය.

මීට අමතරව කලම්බු ඊක්වයිටීස් නම් ලක්ෂම්බර්ග් සමාගමක් හරහා ඇඩෝමැක්ස් නම් අතරමැදියා පැනමා පත‍්‍රිකා ලැයිස්තුවේ සඳහන්වන අතර ඇඩෝමැක්ස් සීෂෙල්ස් රාජ්‍යයේ සමාගම් සමඟද සම්බන්ධතා පවත්වා ඇත.