රාවය

ආණ්ඩුව ඇතුළේ කොමිස් ගන්න හොරකම් කරන ඇමතිවරු ඉන්නවා | නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

ආණ්ඩුව ඇතුළේ කොමිස් ගන්න හොරකම් කරන ඇමතිවරු ඉන්නවා | නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

තරිඳු උඩුවරගෙදර

ජනතා නියෝජිතයන් මරාගනිද්දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය තියන්න පුළුවන්ද?

ඇත්තටම ඒ සිදුවීම ගැන එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් මම සමාව ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව කියන්නේ කටින් මිසක් අතින් පයින් සටන් කරන තැනක් නෙවෙයි. ඒ තත්ත්වයට නොයා යුතුව තිබුණා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව මදි කියලා යෝජනා කළා. ඒකට අගමැතිවරයා තාක්ෂණිකව පිළිතුරක් දෙන්න ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහත්තයාට යෝජනා කළා. කථානායකතුමා අවසරය දුන්නා. ඉතිං එතැන කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. කථානායකතුමා තමයි එතැන ලොක්කා. අගමැති ජනාධිපති පවා ඔහුට යටත්. හැන්සාඞ්ගත වෙලා තියෙන විදියට කථානායකතුමා අවසරය ලබා දුන්නා කතා කිරීමට. ඒත් සරත් ෆොන්සේකා මහතා කතා කරද්දී මීට කලින් ලෝකයේ හොඳම හමුදාපති කියපු පුද්ගලයාට තිරිසන් වචනයෙන් බැන වැදුණා. මේක මීට කලින් ඉඳන්ම වෙලා තියෙනවා. මුජිබුර් රහුමාන්ට කුණුහරුපෙන් බැනලා ගහන්න හැදුවා. මට කුණුහරුපෙන් බැනලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සභාගර්භය මැදට ඇවිත් කලබල කිරීමටත්, පාර්ලිමේන්තුවේ අදහස් ඉදිරිපත් කිරීම වෙනුවට වෙනත් දේවල් කිරීමටත් මේ අය හුරුවෙලා. ඒ සිදුවීම දුරදිග ගියේ ඒ නිසා. අපි සරත් ෆොන්සේකා මහත්මයා ළඟින් ඇවිත් හිටගත්තේ ඔහුට පහරදෙයි කියලා බිය නිසා. මං හිතන්නේ ඒ වෙලාවේ තානාපතිවරුත් පාර්ලිමේන්තුවේ හිටියා. පාසල් ළමයි දෙසීයකට වැඩි පිරිසක් හිටියා.

පක්ෂවල පැත්තෙන් නෙවෙයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගත්තොත්?

සීසීටීවී කැමරාවල සිදුවුණ දේ සටහන් වෙලා තියෙනවා. ජනතාව පැත්තෙන් ජනතාව අපව පත්කළේ ගහගන්න නෙවෙයි. ඒක උත්තරීතරයි කියන ස්ථානය. අපට එතැන ඉඳන් ඕනෑම කෙනෙක්ව විවේචනය කරන්න වරප‍්‍රසාදය දීලා තියෙනවා. අපි එතැනට යන්න කලින් දිවුරුම් දෙනවා. කතාකිරීමේ උපරිම නිදහස භුක්ති විඳන්න ඉඩ දීලා තියෙනවා. එතැන මරණයක් වුණත් සිද්ධ වෙන්න ඉඩ තිබුණා සන්දීප්ට බිම දාගෙන පහරදීපු විදියට. කොහොම වුණත් මේකෙන් පස්සේ ඒකාබද්ධ විපක්ෂයේ අය සභාගැබට බැස්සේ නැහැ. කථානායකතුමා ඉතාම මානව හිතවාදී මනුස්සයෙක් වෙන්න පුළුවන්. ඒත් මීට වඩා තදින් නීතිය ක‍්‍රියාත්මක කළා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද මේ සිදුවීම ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් හොඳ වුණත් ආණ්ඩුව පැත්තෙන් හොඳ නැහැ.

හෙම මරාගනිද්දී බදු නගිනවා. ජනතාව දැන් තෘප්තිමත්ද?

ජනතාව මේ ආණ්ඩුව ගැන තෘප්තිමත් නැත්නම් මට කෙළින්ම කියන්න තියෙන්නේ එයා ගිය අවුරුද්දෙ ජනවාරි අටෙන් පස්සෙ ඉපදුණු කෙනෙක් වෙන්න ඕනෑ. මොකද අපි දැක්කා රාජපක්ෂලා ආණ්ඩු කළ හැටි. රාජපක්ෂ පවුල් ගහේ සිය ගණන් ඉහළ තැන්වල හිටියා අපි දැක්කානේ. ශ‍්‍රී ලංකන් සමාගම කාපු හැටි විතරක් බලන්න. මහජන දේපළ කොච්චර නාස්ති කළාද? අපරාධ කොච්චර වුණාද? ඉතින් ඒවා නැවතුණ එක ගැන තෘප්තිමත් නොවුණා නම් ඒ ඒවා සිදුවුණු කාලයේ නොඉඳපු කෙනෙක් වෙන්න එපැයි. නැත්නම් ඒවා නොදැකපු කෙනෙක් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඒවා නොදැක්කා වගේ හිටපු කෙනෙක් වෙන්න ඕනෑ. මට මේ ආණ්ඩුව ගැන ස්වයං විවේචනයක් තියෙනවා. අපි කවුරුත් බෝධිසත්වයෝ නෙවෙයි. ඒ කාලයේ මර්වින් සිල්වාලා වැරදි කරලා ඒ බව ප‍්‍රසිද්ධියේ කිව්වා. මම තමයි ගැටගැහුවේ, මම තමයි කකුල් කැඩුවේ කියලා කයිවාරු ගැහුවා. විමල් වීරවංශලා පොලිස් ලොක්කන්ගේ තොප්පිය ගැලවෙන්න ගහපු ඒවා, ගෝඨාභයට කෝල් දීලා පොලිසිය එළවපු හැටි අමතක වෙන්න බැහැනේ.

අපට තියෙන චෝදනා තමයි මංතීරු ගලවපු එක. ඒකට විරුද්ධව අපි කතා කළා. ඊට පස්සේ ඩිෆෙන්ඩරයකින් ගිහින් හිරුණිකා කළ බොළඳ වැඬේ. ඒකටත් මම විරුද්ධ වුණා. ඉන් පස්සේ ඇවන්ගාඞ් සිදුවීම. ඒකෙදී මම පාර්ලිමේන්තුවේ බොහොම තදින් කතා කළා. බොහොම නම්‍යශීලී වෙලා තිලක් මාරපන ඇමතිවරයා ඉල්ලා අස්වුණා. මේවා කලින් සිද්ධවෙලා නැහැ. කලින් ආණ්ඩුව එක්ක සන්සන්දනය කරද්දී පුංචි වුණත් ඥාති සංග‍්‍රහය අපි දැක්කා, අර්ජුන රණතුංග ඇමතිවරයා සම්බන්ධයෙන්. තියෙන වැරදි විවේචනය කරමින් ඒවා හදාගෙන වැඩ කරන්න ඕනෑ. දැන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට වුණත් බනින්න අවස්ථාව තියෙනවා. වාසුදේවලා අමු කුණුහරුපෙන් බනිනවා. දවස ගාණේ තියන මාධ්‍ය සාකච්ඡුා පළ කරන්න මාධ්‍යවල ඕනෑ තරම් ඉඩ තියෙනවා. විරෝධතාවක් කළොත් ආණ්ඩුව ඒවාට ඇහුම්කන් දීලා ප‍්‍රතිපත්ති සංශෝධනය කරලා තියෙනවා. උද්ඝෝෂකයන්ට ගහලා බලෙන් ප‍්‍රතිපත්ති සම්පාදනය කරලා නැහැ. ලංකාවේ මෑත කාලීන ආණ්ඩුවලින් සුපිරිම ප‍්‍රජාතන්ත‍්‍රය ලැබුණේ මේ ආණ්ඩුවෙන් බව සන්සන්දනය කරලා බැලූවොත් කියන්න පුළුවන්. අඩුපාඩු තියෙන බව ඇත්ත. අපි කඬේ යන්නේ ජනතාවට. අපි ඒ වැරදි පෙන්වලා ඒවා විවේචනය කරන්න ඕනෑ.

රාජපක්ෂ පවුලම හොරු කියලා අපි දන්නවා. එහෙම වෙලාත් ඒ අය අපට කුණුහරුපෙන් බනින බව අපි දකිනවා. එහෙම වුණා කියලා වල් විදියට නීතිය ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ අයටත් කතා කරන්න අයිතිය තියෙනවා. පරීක්ෂණත් සිද්ධ වෙනවා.

රාජපක්ෂලා හොරු කිව්වාට කෝ පරීක්ෂණ ප‍්‍රතිඵල?

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනුත් කියලා තිබුණා පරීක්ෂණවල ප‍්‍රතිඵලවල ප‍්‍රමාදයක් දකිනවා කියලා. හැබැයි අපට දෙන්න තියෙන උත්තරය මේ ප‍්‍රමාදය තමයි යහපාලනය, විනිවිදභාවය සඳහා අපට ගෙවන්න වෙලා තියෙන මිල. ශිරාණි බණ්ඩාරනායකව දවස් දෙකෙන් තුනෙන් එළියට ඇදලා දැම්මා. ෆොන්සේකා කියන හිටපු ජනාධිපති අපේක්ෂකයා, හිටපු යුද හමුදාපතිවරයාව, ළඟදී පරාලයක් ඔළුවට වැටිලා මියගිය මානවඩු කියන හමුදා නිලධාරියා විසින් ඇදගෙන ගියේ. මට පහුගිය සතියේ ජනාධිපතිවරයා එක්ක සෑහෙන වෙලාවක් ගත කරන්න ලැබුණා. ඔහු කීවේ පරීක්ෂණ පියවරෙන් පියවර සිද්ධ වෙන බව.

මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනු ගත්තාම සල්මන් රජු ඩොලර් මිලියන එකසිය අසූවක් තැන්පත් කරලා තියෙන්නේ වෙනත් කෙනෙක්ගේ නමින්. රාජපක්ෂ මහත්මයා ඊයේ කියලා තිබුණා එයාගේ නමින් මොකුත් නෑනේ කියලා. අයිස්ලන්තයේ අගමැති විතරයි තමන්ගේ නමින් දාලා කොටු වුණේ. අද ඉන්නේ ඇඞ්වාන්ස්ඞ් හොරු. එයාලා හොරකම් කරන්නේ තමන්ගේ නම නොගෑවෙන විදියට. ඒවා එකකට එකක් සම්බන්ධයි. කෑල්ලක් විතරක් එළියට ඇදලා වැඩක් නෑ. සම්පූර්ණ ජාලයම එළියට ඇදලා ගන්න ඕනෑ. යෝෂිත රාජපක්ෂ පොළොවේ පස් කාලා කිව්වානේ එයා සීඑස්එන් එක එක්ක සම්බන්ධයක් නැහැ කියලා. ඒත් ඔහු සීඑස්එන් සභාපති හැටියට අත්සන් කරලා තියෙනවා. සන්නාම තානාපති විදියට කටයුතු කරලා තියෙනවා. ගෑනු ළමයාව ළඟ තියාගෙන ෆොටෝ අරන් තියෙනවා. මිලියන 234ක් හොයාගත්තේ කොහොමද කියලා තාම කියන්න බැරිවෙලා තියෙනවා. දැන් යෝෂිත බොරුවට එෆ්සීඅයිඞී එකට ගිහින් ත‍්‍රීවීල් එකෙන් ගෙදර යනවා. කාවද රවට්ටන්න හදන්නේ. අපි දැක්කා යෝෂිත සුපිරි වාහනයකට නඟින වීඩියෝ එකක්. චිචී ටානියා එක්ක සුදු අස්වයෝ පදිනවා දැක්කා. නාමල් රාජපක්ෂලා දැන් බොරුවට පොඩි බත් කඩවල ගිහින් බත් කනවා. ඒත් ඒ කාලේ ෆොටෝ තවමත් ඩිලීට් කරන්න බැරි වෙලා තියෙනවා. කොච්චර රඟපෑම්වල නිරත වුණත් අපි දන්නවා එයාලාගේ වැඩ.

නිශ්ශංක සේනාධිපති කිව්වේ මම මෙච්චර ගාණකට උදව් කරලා තියෙනවා, ගෙවල් හදලා දීලා තියෙනවා කියලා. එයා කිසිම දෙයක් වංචා කරලා නෑ කියලා තියෙනවා. මම ඇහුවමයි සල්ලි දාන්නැතිව එකවුන්ට් එකක් ඇරපු ක‍්‍රමයක්. අපි මහජන බැංකුවට ගියත් එකවුන්ට් එකක් අරින්න ගාණක් ඕනෑ. දැන් නිශ්ශංක සේනාධිපති කියනවා සතයක්වත් තිබුණේ නෑලූ එකවුන්ට් එකේ. ලංකාවේ ඉන්න එයාගේ නම බොරුවට දාලා අන්තර්ජාතික මාධ්‍යවේදීන්ට ලැබෙන්නෙ මොනවාද? අනික සල්ලි නොදා ඉන්න එකවුන්ට් අරින්නේ මොකද? මේවායින් පෙනෙන්නේ මෙයාලාගේ හොරකම් හරිම සංකීර්ණයි. සීඑස්එන් හොරකම් හොයන්න අවුරුද්දක් ගියා. ඊමේල් දොළොස්දාහක් බලන්න වුණා.

වංචා පැත්තකට දැම්මත් අපරාධ කොච්චර තියෙනවාද?

මම මේවා ගැන පාර්ලිමේන්තුවේ කතා කළාම මට ගහන්න ආවා. ජොන්ස්ටන්ගේ නඩුව ගැන කතා කළාම හිරු නාලිකාවට ගහන්න කට්ටිය ආවා. දැන් සේරම එළිවෙලා තියෙන්නේ. වසීම් තාජුඞීන් සිදුවීමේදී සත්‍යය වෙනුවට අනතුරක් කියලා පෙන්වපු අය දැන් තොරතුරු එළිකරමින් ඉන්නවා. අධිකරණ වෛද්‍ය නිලධාරියා ප‍්‍රශ්න කරනකොට බොහොම බයවෙලා ඉන්නවා. භාරත නඩුවත් අවසාන වෙන්න ළඟයි. අපරාධ වුණත් එළිදරව් කරන්න හරි අමාරුයි.

මහින්දලා හොරු අපරාධකාරයෝ කියලා ඔබ බොරු කියනවැයි දිගටම චෝදනා නේද?

මේවා කතා කරනකොට ඒ අයට කේන්ති යන එක සර්ව සාධාරණයි. හිටපු ආණ්ඩුවේ පොඩි පාරක ගල්වලින් හොරකම් කළ කෙනාට පවා තමන්ගේ ආදායම නැතිවුණ එක ගැන වේදනාවක් තියෙනවා. රත්තරන් නියෝජ්‍ය වරාය හා නාවික ඇමති හැටියට ඉන්නකොට නිශ්ශංක සේනාධිපති යොට් එකක් දීලා තියෙනවා. නාමල් රාජපක්ෂ ශ‍්‍රීලංකන් එකේ ගෑනු ළමයින්ට සල්ලි ගෙවලා නැද්ද? සල්මාන් ඛාන්ලා, ජැකලින්ලා ගෙනාවේ මැදමුලනින් ගෙනාපු සල්ලිවලින් නෙවෙයිනේ. බේබිලා ගතකළ මධුසම ජීවිත රහසක් නෙවෙයි. මේවා හැමෝම ගෙවල්වල කතා කරනවා. අන්තර්ජාලයේ කතා කරනවා. එයාලාගේ ආදායම නැවතිලා අද ත‍්‍රීවිල් එකෙන් යන්නේ. චිචීගෙන් රොකට් එක ගැන අහන්න ඕනෑ මාධ්‍යවේදියෝ.

හොරු තමන්ගේ හොරකම් අතේ මාට්ටු වුණාමත් දැන් අපට කින්ඩි දානවා හූ හූ හොරු ඇල්ලූවාද කියලා. ඒකට අපට කියන්න තියෙන්නේ ජොන්ස්ටන්ලා, සරණ ගුණවර්ධනලා, නිශාන්ත රණතුංගලා, බැසිල් රාජපක්ෂලා, යෝෂිතලා ඔක්කෝම ඇප පිට ඉන්නේ. ඒ අයගේ නඩු අලූත් නීතිපතිතුමා යටතේ හරියට ක‍්‍රියාත්මක වෙනවා. ඉස්සර අගවිනිසුරුතුමා ජනාධිපති එක්ක ජෙරුසෙලමේ යනවා. ඔහු ප‍්‍රගීත් අතුරුදන් වුණු හැටි දෙවියෝ තමයි දන්නේ කිව්වා.

තාජුඞීන් ඝාතකයන් අත්අඩංගුවට නොගෙන බලාගෙන ඉන්නවා වගෙයි?

තාජුඞීන් ඝාතනය අවුරුදු හතරක් විතර තිස්සේ හැංගුවානේ. මං දන්න විදියට තිස්ස කියන ඝාතකයා ගැන, නෙවිල් කියන ඝාතකයා ගැන අපට තොරතුරු තියෙනවා. දුරකථන ආයතනවල සහයෝගය ලැබිලා තියෙනවා. ටොරින්ටන් එකේ තිබුණු රූපවාහිනී සාකච්ඡුාවේදී රතුකුරුසෙන් ලැබිච්ච වාහනය ගැන මම පෙන්නුවා. ඒකෙන් තමයි උස්සලා තියෙන්නේ. මරණය වුණ දවසේ යෝෂිත ඉඳලා තිබුණේ යුකේ‍්‍රනයේ. තිස්සගේ ෆෝන් එකෙන් ඒ සමහරුන්ට කෝල් ගිහින් තියෙනවා. අධිකරණ වෛද්‍ය නිලධාරියා, පොලිස් නිලධාරීන් වගේ අපරාධ යටගහපු අය රජයේ සාක්ෂිකරුවන් වේවි. මේ අයගේ තොරතුරු එළිදරව් වෙමින් තියෙනවා. මේවායේ එළිදරව් කරන්න පුළුවන් දේවල්වල සීමාවක් තියෙනවා. කොහොම වුණත් සූක්ෂ්ම විදියට මේ අපරාධ ජාලය හොයගනිමින් තියෙන්නේ. සම්පූර්ණ ජාලය එළිදරව් වුණාමයි දැල එළලා කට්ටිය අල්ලගන්න ඕනෑ. තෝරු මෝරු මිසක් හාල්මැස්සන්ගෙන් වැඩක් නැහැ.

දැවැන්ත කලාකරුවෝ රාජපක්ෂලාගේ හොඳ කියනවානේ?

මට ලංකාවේ කලාකරුවන් ගැන මාර දුකක් තියෙන්නේ. රාජපක්ෂව බුදුහාමුදුරුවන්ගේ නෑයෙකුගේ තත්ත්වෙට ගෙනාවේ කලාකරුවොනේ. නීලා වික‍්‍රමසිංහ අහලා තිබුණානේ ගහලා හරි ගත්තේ නැත්තේ ඇයි කියලා. ඔය රාජපක්ෂලාට කඬේ ගිය අයට මොන තරම් ආදායමක් තියෙන්න ඇතිද? එක් නිළියක් කියලා තිබුණා තමන්ගේ අසනීපයකට ශිරන්ති රාජපක්ෂ නොමිලේ ඉන්ජෙක්ෂන් හතරක් එව්වාලූ. එයා නිසාලූ දැන් තමන් ජීවත්වෙලා ඉන්නේ. ඉන්ජෙක්ෂන් එකටත් කඬේ යනවා. එක් තරුණ විකට නළුවෙකුගේ බිරිඳට සුදුසුකම් නැතිව ඉහළ රැුකියාවක් දීලා. තවත් කෙනෙකුට ටෙලිනාට්‍ය දාගන්න බෙල්ට් එකක් දීලා. කලාකරුවන් විතරක් නෙවෙයි මාධ්‍යවේදීනුත් එහෙමයි. රාජපක්ෂලාගෙන් වාසි ගන්න දේශපාලනඥයෝ කොච්චර ඉන්නවාද? වාසුදේවලා චේ ගුවේරා කියලා හිතන් හිටියාට වාසුගේ බිරිඳ ජනාධිපතිගේ උපදේශකවරයෙක් හැටියට වැටුප ඇතුළු පහසුකම් ලබාගෙන තියෙනවා. හැම ලොකු ප‍්‍රතිරූපයක්ම මහින්දලාට කඬේ ගියා තමයි. ඒ එයාලාට නොයෙක් පහසුකම් දීපු නිසා. ඒ දීපුවාගේ ප‍්‍රතිඵලය රට ණය වෙලා දැන් ජනතාවට බදු ගෙවන්න වෙලා තියෙන එක. ඒ කාලේ ලයිට් කණුවක් කණුවක් ගාණේ සුදු ඇඳන් හිටපු මනුස්සයාගේ ප‍්‍රතිරූපය පිම්බුණා.

රාජපක්ෂ කියන්නේ දූෂණය කියන සර්පයාගේ ඔළුව නම් කඳ කොටස දැන් තියෙන්නේ කොහෙද?

කඳ දැන් විසිරිලා තියෙන්නේ. මම කනගාටුවෙන් කියන්නේ ලංකාවේ ඉන්න විශිෂ්ට නීතිඥවරු රාජපක්ෂලාව බේරන්න උපදෙස් දුන්නා. මිනීමරුවන්ට, මතක නෑ කියන්න, සල්ලි පොලියට ගත්තා කියන්න උපදෙස් දෙන්නේ මේ නීතිඥයෝ. හොරුන්ගෙන් මේ නීතිඥ මහත්වරු කෝටි ගණන් ගන්නවා. සමීපතම දේශපාලනඥයෝ, නිලධාරීන්, විනිසුරුවරු, චීවරධාරීන්, කලාකරුවෝ, මාධ්‍යවේදීන්, ආචාර්යවරු හිටියා. දැන් ඒ අය අපේ ආණ්ඩුවටත් ළං වෙලා තියෙන බව ඇත්ත. මේ රටට සිදුවෙලා තියෙන විනාශයට වැරදි කළ අය වගේම නිහඬව හිටපු අයත් කෙලින්ම හෝ වක‍්‍රව වගකියන්න ඕනෑ. ශිරාණි බණ්ඩාරනායකව එළවපු කමිටුවේ හිටියේ කවුද? ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්නලා, අනුර ප‍්‍රියදර්ශනලා හිටියා. අපි මැරිලා ඉපදුණේ නැහැ. ඒ අය කළේ අන්තිම අධම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩක්. එයාලා අද ඇවිත් රාජපක්ෂලාට බැන්නත් එදා කළේ මොනවාද? මේ රටේ ජනතාවට මාළු ටික තියෙනවා, ගෙවල් හදාගන්න ඉඩම් තියෙනවා, වගා කරන්න වගාබිම් තියෙනවා, හොඳ වාතාශ‍්‍රයක් තියෙනවා, සාක්ෂරතාවක් තියෙනවා, ස්වාභාවික අනතුරු අඩුයි. අපට ඕනෑ මේවා ඇති රටක් විදියට සතුටින් ජීවත් වෙන්න. ආණ්ඩුවක් විදියට අපි සර්ව සම්පූර්ණ නැතත් අපට මේක ඇදගෙන යන්න වෙලා තියෙනවා. ආණ්ඩුව ඇතුළේ කොමිස් ගන්න හොරකම් කරන ඇමතිවරු ඉන්නවා. බලය සදාකාලික නෑ. මට නං පැරදුණාම පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න බෑ. ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න ජනතා නියෝජිතයෝ විදියට අපි උත්සාහ කරන්න ඕනෑ.