Monday, 21/8/2017 | 3:41 UTC+0
රාවය

මහේස්ත‍්‍රාත් කට්ටි පනියි

අරුණ ජයවර්ධන

නීති විරෝධීව අලියකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කොළඹ මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගන්නට එහි එන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම දැන්වීම් කළත් සැකකාර මහේස්ත‍්‍රාත්වරයා එහි යෑම මඟහැර කට්ටි පනිමින් සිටියි.

ප‍්‍රකාශයක් සටහන් කරගෙන සැකකාර මහේස්ත‍්‍රාත්වරයා ඇතුළු සැකකරුවන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුව(සීඅයිඞී)ට පසුගිය මැයි 12වැනිදා දන්වා යැවීය. ඒ අනුව 13වැනිදා උදේ 9.30ට සීඅයිඞීයට පැමිණෙන ලෙස ඔවුන්ට දන්වන ලදි. එහෙත් මහේස්ත‍්‍රාත්වරයා ඇතුළු පිරිසම එදින සීඅයිඞීයට පැමිණියේ නැත. ඒ වෙනුවට මැයි 18වැනිදා දක්වා කල් ඉල්ලා ලිපියක් සැකකාර මහේස්ත‍්‍රාත්වරයා සීඅයිඞීයට එවා තිබුණේය. එහෙත් 18 වැනිදාද ඔහු සීඅයිඞීයට ආවේ නැත. මැයි 18 වැනිදා අලි ජාවාරම පිළිබඳ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවුණු අවස්ථාවේදී මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය සීඅයිඞීයේ නිලධාරීන්ගෙන් ඒ ගැන විමසා, සැකකරු මඟහරින බවට කරුණු දැනගෙන, මැයි 25 වැනිදා සීඅයිඞීය හමුවේ පෙනීසිට ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස මහේස්ත‍්‍රාත් වරයාට නියම කොට තිබේ. මේ අනුව, අධිකරණයට ඉදිරිපත් කරන්නට නියම කර සතියකටත් වඩා කාලයක් මහේස්ත‍්‍රාත්වරයා දැන දැනම නීතිය හමුවට නොපැමිණ කට්ටි පනිමින් සිටියි.

මේ අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නට පොලිසියේ අදාළ අංශවලට බලපෑම් කරමින් පොලිසියට මෑතක පත්වූ ඉහළම නිලධාරියකුද පෞද්ගලිකවම වෙහෙසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් රාවයට වාර්තා වෙයි.

අගමැතිවරයා හමුවීමට සැකකාර මහේස්ත‍්‍රාත්වරයා ඒ අතර ගත් උත්සාහයක් ඊට අගමැතිිවරයා අකමැති වීම නිසා ව්‍යර්ථ වී ගිය අතර නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායකටද ඔහු හමුවීමෙන් වැළකී සිටින ලෙස අගමැතිවරයා දැනුම්දී ඇතැයි දැනගන්නට තිබේ. ඊට අමතරව සැකකාර මහේස්ත‍්‍රාත්වරයාගේ සහෝදරයා වන පළාත් සභා මන්ත‍්‍රීවරයාද සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රබලයකු හමුවීමටද ඔහු ගොස් ඇති බව වාර්තා වෙයි.