බදු ගෙවන ජනතාවගේ සල්ලිවලින් උගන්ඩා ගිය මහින්ද


mahinda

අරුණ ජයවර්ධන

සියයට 11 සිට 15 දක්වා සියයට හතරකින් වැට් බද්ද වැඩිවීම නිසා මහජනතාවට අතිරේක ආර්ථික බරක් දැනෙමින් තිබේ. එය විශාල පීඩනයක් බවට තර්කයක් නැත. ඒ ගැන කිසිවකු ඇත්තටම කරදර වන්නේ නම් කළ යුත්තේ, එම බද්දට විරුද්ධ වීම පමණක් නොව, හැකි පමණින් ජනතාව පිට තවත් එවැනි වියදම් බර පැටවීමෙන් වැලැකීමත්ය. හුදෙක් වචනයෙන් වැට් ගැන ආණ්ඩුව විවේචනය කර, ක‍්‍රියාවෙන් එසේ නොවන විට පෙනෙන්නේ තමන්ගේ පටු වුවමනාවක් සඳහා ජනතාව විඳින දුක දඩමීමා කරගන්නා බවකි. හෙවත් එවැන්නන් කරන්නේ ජනතා දුක ගැන කිඹුල් කඳුළු හෙළීමකි.

ජනතාවට වැට් බදු පටවන අතරේ අලූත් වාහන ගැනීම්, ගිනි ගණනට කාර්යාල ඉඩකඩ ගැනීම්, පඩි වැඩිකරගැනීම් මැති ඇමතිවරුන් කරන විට මහජනතාව අතරෙන් විරෝධයක් පැනනගින්නේ ඒ අනවශ්‍ය වියහියදම්වලින් මහජනතාවගේ බදු බර තවත් වැඩි වන නිසාය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාත්, ඔහුගේ දේශපාලන කණ්ඩායමත් මේ දිනවල වැට් බද්ද වැඩිවීම නිසා මහජනතාවට සිදුවන ආර්ථික අපහසුව ගැන බොහොම කැක්කුමකින් කතාකරති. ඔවුන් ඒ කතාකරන්නේ තමන්ගේ දේශපාලන වුවමනාවන් නිසා පමණක් බව හොඳින්ම පෙනෙන්නේ ඔවුන් කරන දෙයත් සමඟ සැසඳීමෙනි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ උගන්ඩා සංචාරයත් ඒ වගේ දෙබිඩි වැඩකි.

උගන්ඩා ජනාධිපති යොවෙනි මුසවෙනිගේ ජනාධිපති පදවිප‍්‍රාප්ති උත්සවය සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාට පෞද්ගලික ආරාධනයක් ලැබුණේය. පසුගිය මැයි 12වැනිදා උගන්ඩාවේ කම්පාලා නුවර පැවැති මේ උත්සවයට ආරාධනාව අපේ‍්‍රල් 25වැනිදා ඔහුට ලැබුණේ ඔහුගේ පෞද්ගලික නමටය. උගන්ඩා විදේශ රාජ්‍ය ඇමති හෙන්රි ඔකෙලෝ ඒ ආරාධනය මහින්ද රාජපක්‍ෂ වෙත කර තිබුණේය. ඒ ආරධනාවෙන් කියන්නේ ‘මේ උත්සවය සඳහා ඔබේ සහභාගිත්වය දෙරටේ ජනතාව අතර උණුසුම් හා කාරුණික සම්බන්ධතා ශක්තිමත් කිරීමට හේතු වනු ඇත’ කියාය. එහෙත්, වසරක් තුළ දෙවරක්ම ලංකාවේ ජනතාව විසින් පරාජයට පත්කරන ලද, යළි කිසි දිනෙක බලයට නොපැමිණෙන බව පැහැදිලිව පෙනෙන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා උගන්ඩාවට ගෙන්වාගැනීමෙන් රටවල් දෙකේ ජනතාව අතර සම්බන්ධතාව වර්ධනය වන්නේ කොහොමදැ’යි දන්නේ දෙවියන් පමණි.

මේ පෞද්ගලික ආරාධනය ලැබීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරිය, චිත‍්‍රාංගණී වාගිශ්වර අමතා මැයි 5වැනිදා ලිපියක් යවමින් කියන්නේ, උගන්ඩාවට යෑමට මහින්දට ආරාධනයක් ලැබී ඇති බවත්, එහි පිටපතක් මේ ලිපිය සමඟ ඉදිරිපත් කර ඇති බවත්, ඔහුගේ ගුවන්ගමන් වියදම් හා අනෙකුත් වියදම් ගැන පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසත්ය. මෙය පෞද්ගලික ආරාධනාවක්ය කියන්නේ, උගන්ඩා ඇමතිවරයා ඍජුවම මහින්දට ආරාධනා කර ඇති බැවිනි. නිල ආරාධනාවක් නම්, උගන්ඩාවෙන් එය ලැබිය යුත්තේ ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහාය. එවිට එම නිල උත්සවය සඳහා ලංකා රජයෙන් නියෝජිතයා ලෙස මහින්ද නම් කර යැවිය යුතුය. මේ කිසිවක් සිදුවී නැත. එනිසා මහින්ද උගන්ඩා ගියේ රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරයක් ලෙසවත්, රජය නියෝජනය කිරීමටවත් නොවේ.

මැයි 5වැනිදාම තවත් ලියුමක් යවමින් පෞද්ගලික ලේකම්වරයා කියන්නේ, පෞද්ගලික ලේකම් හැටියට තමාද මහින්ද සමඟ උගන්ඩාවට යන බවයි. මැයි 11 සිට 15 දක්වා කම්පාලා නුවර ආහාර හා නවාතැන් පහසුකම් රජය මඟින් සලස්වන ලෙසත් ඔහු ඉන් ඉල්ලා සිටියි. නැවතත් මැයි 10 වැනිදා ලියුමක් ලියමින් පහත සඳහන් පිරිස මහින්ද රාජපක්‍ෂ සමඟ උගන්ඩාවට යන බව ඔහු කියයි. එනම්, ගාමිණී ලොකුගේ, ලොහාන් රත්වත්ත, උදිත් ලොකුබණ්ඩාර, ධනසිරි අමරතුංග, මහේන්ද්‍ර එෆ් සම්පත්, නෙවිල් වන්නිආරච්චි, සමන් උදය අමරසිංහ, හසිත රවි වික‍්‍රමාරච්චි යන අයය. මහින්දගේ පුත් යෝෂිත රාජපක්‍ෂද මේ ගමනට සහභාගි කරගන්නට බලාපොරොත්තු වුණු නමුත් නඩුවක චූදිතයකු නිසා ඔහුට රටින් පිට යෑමට අධිකරණය අවසර දුන්නේ නැත.

පෞද්ගලික ලේකම් වරයා විදේශ ලේකම් වරියගෙන් ඉල්ලන්නේ මේ පිරිසට ගුවන් ගමන් ගාස්තු, නවාතැන් හා ආහාර සඳහා අවශ්‍ය පියවර ගන්නා හැටියටය. රාවයට දැනගන්නට තිබෙන අකාරයට, මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලිකවම විදේශ ඇමති මංගල සමරවීරට දුරකථනයෙන් කතාකොට සිය ගමනට පහසුකම් සපයන ලෙස ඉල්ලා තිබේ. එහිදී මංගල සමරවීර ඇමතිවරයා එකඟවී ඇත්තේ මහින්දගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍රයේ වියදම ගෙවීමට පමණකි. ඒ ගුවන් ප‍්‍රවේශ පත‍්‍රයේ මිල පමණක් රුපියල් 4,25,000කි. කොළඹ 5, හැව්ලොක් පාරේ, අංක 62හි, වර්ඞ් එයාර් ප‍්‍රයිවෙට් ලිමිටඞ් නම් ආයතනයකින් ඉන්වොයිස් අංක 73835 යටතේ ලබාගෙන ඇති ඒ ගුවන් ප‍්‍රවේශපත‍්‍රය පළවැනි පන්තියේ එකකි.

වැට් බදු බර ගැන කතාකරමින් මහින්ද ආණ්ඩුවේ වියදමින්ම උගන්ඩාවට යන්නට ඉල්ලූවේ ඇයි? ඔහු රාජ්‍ය බලය ගැන හිතාගෙන ඉන්නා හැටි නිසාය. මෙතැනදී වගේම තමන් බලයේ සිටි මුළු කාලය තුළදීද ඔහු සිතා සිටියේද කටයුතු කළේද රජය නම් තමාය යන සිතුවිල්ලෙනි. ඒ නිසා ඔහුගේත්, පවුලේත්, ඥාති මිත‍්‍රාදීන්ගේත් සුඛ විහරණය සඳහා රාජ්‍ය සම්පත් රිසි රිසි සේ යොදාගන්නා ලදි. ඒ අවලස්සන පිළිවෙත පැහැදිලි කරන්නට එක් උදාහරණයක් පමණක් දක්වතොත්, 2012, 2013, 2014 වර්ෂවල පමණක් ඔහුගේ විදේශ සංචාර සඳහා යොදාගත් ශ‍්‍රීලංකන් ගුවන් යානා ගමන් වාර 90ක් සඳහා කර ඇති වියදම රුපියල් ලක්‍ෂ 7,850 කි. හරියටම කිව්වොත්, රුපියල් 785,079,185කි. 2012 දී ඔහු පෘතුගාලය, කියුබාව, බ‍්‍රසීලය හා දකුණු අප‍්‍රිකාවට කළ එක් සංචාරයකට පමණක් වියදම් වී ඇති මුදල රුපියල් ලක්‍ෂ 98,270,460කි. එපමණක් නොවේ. මහින්ද රාජපක්‍ෂ සිය සංචාරය නිමවා එන තුරු ගුවන් යානා ඒ ඒ රටවල ගුවන් තොටුපොලේ දින ගණනක් නවතා තැබූ අවස්ථාද අඩුවක් නැත්තේය. මේ සංචාර සඳහා යොදාගත්තේ ශ‍්‍රී ලංකන් සතු විශාලතම ගුවන්යානා ලෙස සැලකෙන ආසන 243ක් සහිත හා 299ක් සහිත එයාර් බස් ්340 යානාය. මහින්දට හා ඔහුගේ දැවැන්ත පරිවාර සේනාවට ඒවා තනිකර වෙන්වන විට ඒ යානාවලට ප‍්‍රවේශ පත‍්‍ර ලබාගත් සාමාන්‍ය ගුවන් මගීන්ගේ ගමන් වාර එක්කෝ අවලංගු කෙරෙයි. නැතිනම් වෙනත් යානාවල පටවා ඒ මගීහු යවන ලදහ.

2013 මාර්තු මස මත්තල ගුවන් තොටුපොළ විවෘත කිරීමට මහින්ද රාජපක්‍ෂ කටුනායක සිට මත්තලට පෙර කී ආසන 243 ශ‍්‍රීලංකන් ගුවන් යානයෙන් පියාසර කළේය. මේ බොරු පුරාජේරු ගමනට කාබාසිනියා කළ මුදලද රුපියල් 1,780,800කි. මහින්ද මහජන මුදල් මංකොල්ල කෑ එක ආකාරයකි ඒ.

එහෙත්, දෙවරක් මහජනතාව විසින් පරාජය කරනු ලැබීමෙන් පසුවද මහින්ද තවමත් ඉන්නේ තමාගේ දේවල්වලට රජය වියදම් කළ යුතුය යන රාජ මානසිකත්වයේ බව, උදිත් ලොකුබණ්ඩාරගේ ලියුම්වලින් පැහැදිලි වෙයි. නැතිනම්, තමාගේ ආණ්ඩුව කාලයේ අඩු නැතිව සල්ලි හම්බකරගත් යහළුවකුගෙන් මේ රුපියල් 4,25,000ක මුදල සොයාගැනීම මහින්දට ඒ තරම් ප‍්‍රශ්නයක් විය නොහැකිය. එසේ නොකොට රජයෙන්ම මුදල් ඉල්ලීමෙන් එක අතකින් පෙනෙන්නේ රජය නියෝජනය කරමින් උගන්ඩාවට යන බව පෙන්වීමට විය හැකිය. එහෙත්, ඔහු රජය නියෝජනය කිරීම සඳහා ලංකාවේ රජය විසින් නම් කොට තිබුණේ නැත. අනෙක් අතට ඔහුගේ රජයෙන් මුදල් ඉල්ලීමේ හැසිරීම හරියටම සමපාත වන්නේ 2005 සිට මහින්දගේ හැසිරීමටය. ඔහු සිතුවේ යුද්ධය කරන නිසා හා යුද්ධය දිනූ නිසා රටේ පාලන බලය ඇතුළු හැම දේපළක්ම තමන්ටත්, තමන්ගේ සමීපතමයන්ටත් රිසි දෙයක් කරගන්නට මහජනතාව විසින් පවරා දිය යුතු බවයි. 2015 ජනවාරියේ බලයෙන් පහකරන තුරු ඔහු කළේද, බැරි වෙලාවත් පරාජය නොවුණා නම් දහදොළොස් ගුණයක් වැඩියෙන් ඔහු කරන්නේද රට තමන්ගේ බූදලයක් ලෙස සිතා මෙලෙස කටයුතු කිරීමයි.
මෙලෙස මහජන මුදල් නාස්ති කරමින් ඔහු ගියේ කුමන අන්දමේ උත්සවයකටද?

උගන්ඩා ජනාධිපති යොවෙනි මුසවෙනි යනු වර්තමාන ලෝකයේ ඉන්නා අංක එකේ මානව හිමිකම් විනාශකයෙකි. ඒකාධිපති පාලකයෙකි. ඔහු මේ ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නේ 5වැනි වතාවටය. 1986දී මුලින්ම බලයට පත් පත් ඔහු ඒ කාලයේ හැඳින්වුණේ ප‍්‍රගතිශීලී නායකයකු හැටියටය. එහෙත් දැන් ඔහු අංක එකේ මර්දනීය පාලකයෙකි. 1996දී ඔහු එහි ජනාධිපති පදවියට පත්විය. එහෙත් කාලය ගතවන විට මහින්ද රාජපක්‍ෂට මෙන්ම ඔහුටද හැමදා ජනාධිපතිව සිටීමේ සිහිනය රාත‍්‍රියට පෙනෙන්නට විය. 2001දී ඔහු එරට ව්‍යවස්ථාව වෙනස්කොට ධුර කාල දෙකක් පමණක් ජනාධිපති විය හැකියැයි තිබුණු සීමාව ඉවත් කළේ මැරෙන තුරුම ජනාධිපතිව සිටීමේ වුවමනාවෙනි. මහින්ද රාජපක්‍ෂ ලංකාවේදී කළේද එයයි. මුසවෙනි පස්වැනි වරටත් ජනාධිපති පදවියට පත්වීමට යොදාගත් පෙබරවාරි මැතිවරණය අන්ත දූෂිත එකක් බව එය නිරීක්‍ෂණය කළ ජාත්‍යන්තර නිරික්‍ෂකයන් මෙන්ම උගන්ඩාවේ විරුද්ධ පක්‍ෂ නායකයන්ද කියා තිබුණි. ඒ කාලය තුළ විපක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරයට මුසවෙනි බාධා කළා පමණක් නොව, මැතිවරණ කාලය තුළ සියලූ සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි අත්හිටුවන ලද්දේය. පදවි ප‍්‍රාප්ති දිනයට පෙර ඔහු උගන්ඩාවේ ප‍්‍රධාන විපක්‍ෂ නායකයා අත්අඩංගුවට ගත්තේය. ප‍්‍රාප්ති දිනද සියලූ සමාජ මාධ්‍ය වෙබ් අඩවි ක‍්‍රියාකාරිත්වය අත්හිටුවා තිබිණි.

12වැනිදා කම්පාලා නුවර පැවැති පදවි ප‍්‍රාප්ති උත්සවයේදී තවත් කලබැගෑනි සිදුවිය. උත්සවයට ආරාධනා ලැබ ඇවිත් තිබුණේ චැඞ්, ඉතියෝපියා, කෙන්යා, සෝමාලියා, දකුණු අප‍්‍රිකා, ටැන්සානියා, සිම්බාබ්වේ හා සුඩානයේ රාජ්‍ය නායකයෝය. මේ අයගෙන් අඩු වැඩි වශයෙන් බහුතරයක් තමන්ගේ රටවල්වල මානව හිමිකම් කුණුකූඩයට දා ව්‍යවස්ථා වෙනස්කර ධුර කාල සීමා ඉවත්කර ගනිමින් සිය බලය දිගටම පවත්වාගෙන යන්නෝ වෙති. ඒ අතරින් සුඩානයේ ජනාධිපති ඔමාර් අල් බෂීර් විශේෂය. සුඩානය තුළ ඇවිළුණු සිවිල් යුද්ධයේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළාය කියන චෝදනාව මත නෙදර්ලන්තයේ හේග්හි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහුට විරුද්ධව චෝදනා එල්ල කොට ඇත. කොයි මොහොතක හෝ ඒ නඩු විභාගය සඳහා තමා අත්අඩංගුවට ගනීවියැ’යි බියෙන් අප‍්‍රිකාවේ විශ්වාසවන්ත රටවල් කිහිපයකට හැර ඔහු කිසිම විදේශ රටකට සංචාරයේ යන්නේ නැත. (මහින්ද රාජපක්‍ෂත් දිගටම බලයේ සිටියේ නම් සමහර විට ඒ ඉරණමට ගොදුරුවන්නට තිබිණි.)

මුසවෙනි සිය කතාවේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය දැඩි විවේචනයට භාජනය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ඇතිව නෙදර්ලන්තයේ පිහිටුවා ඇති ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වාර්ගික සමූලඝාතන වැනි අතිවිනාශකාරී මහා පරිමාණ අපරාධ සම්බන්ධයෙන් නඩු අසා වගකිවයුත්තන්ට දඬුවම් කරන අධිකරණයකි. එහි චූදිතයකුවූ අල් බෂීර් ආරාධනය කොට ගෙන්වා හිඳුවාගෙන, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විවේචනය කරන මුසෙවෙනිගේ ක‍්‍රියාවට විරෝධය පාමින් අමෙරිකාව, කැනඩාව, යුරෝපා හවුල ආදිය නියෝජනය කළ රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීහු රාජ්‍ය උත්සවයෙන් නැගිට පිටවී ගියෝය. ජනාධිපතිවරයකුගේ පදවි ප‍්‍රාප්ති උත්සවයකදී මේ සා අවමානයකට ලක්වීම ඉතා විරල දෙයකි. එහෙත් මුසෙවෙනිට එය සිදුවිය. ඒ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දනීය පාලන පිළිවෙත නිසාය. එහෙත් මහින්ද රාජපක්‍ෂ නොසැලී මුසෙවෙනි සමඟම සිටියේය. ඒ දෙදෙනාම තකට තක නිසාය.